Total Pageviews

Wednesday, February 10, 2016

ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-04


වගකීම සහ සදාචාරය



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මීළඟට සාකච්ඡුා කළ යුතු කාරණය වන්නේ, අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය, කොතෙක් දුරට සමාජ ගෝචරව ක‍්‍රියාත්මක වන්නේ ද? යන්නයි. සමාජය පිබිද වීමට තරම් සදාචාරවත් බවක් හෝ පරිණත බවක් ඒවාට තිබේ ද? යන්න, මෙහි දී පැන නැගෙන වැදගත්ම කාරණයයි. එය ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙහි එන වගකීම සහ සදාචාර සම්පන්නභාවය  සමග ගැට ගැසී ඇති දෙයකි.

ජනප‍්‍රිය අන්තර්ජාල  අඩවියක, මෑතක පළවූ සිද්ධියක් සැකෙවින් මෙසේ ය.

‘මහා පරිමාණ දුෂණ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කෙරුණු එක්තරා රාජ්‍ය කොමිසමක්, යම් රාජ්‍ය ආයතනයක ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක් වහාම සේවයෙන් ඉවත් කරන්නැයි නියෝග කරයි. එය අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයාට කෙරුණු ලිඛිත නියෝගයකි. ජාතික පුවත්පතකට අයත් ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක, ඒ සම්බන්ධයෙන් පුවතක් පළ විය.’

‘සිද්ධිය සම්බන්ධයෙන් ‘පිළිතුරු පුවතක් පළ කරන තවත් අඩවිකරු‍වෙක්, වෙබ් අඩවි පුවත අතිශයින්ම උපහාසාත්මක ස්වරයෙන් අභියෝගයට ලක්කර තිබුණේ ය. ඔහුගේ තර්කය වූයේ, පුවතෙහි සඳහන් එක්තරා නිලධාරියෙක් සහ තවත් කිහිප දෙනෙක්, දැනට වසරක කාලයක පමණ සිට එම ආයතනයෙන් ඉවත්ව සිටින නිසා, වෙබ් අඩවි පුවත පදනම් විරහිත බවයි. මෙහි දී කොමිසමට පිස්සු ද?, නැතිනම් වෙබ් අඩවි කතුවරයාට පිස්සු ද? යයි විමසා ඇති ඔහු, වෙබ් අඩවි කතුවරයා කරුණු හරි හැටි සොයා නො බලා පුවත් පළකර ඇතැයි ද චෝදනාකර තිබිණි.’

පිළිතුරු පුවත පළ කළ අඩවිකරුවාට ‘කොමෙන්ටු’ ද විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණේ ය. ඉන් වැඩි දෙනෙක්,  අඩවිකරුවා කියන කාරණය සත්‍යයයි සලකා අදහස් පළකරනු පෙනුණි. ඒ අතර ටික දෙනෙක්, ‘අඩවිකරුවා’ සිය පිළිතුර ඒ පුවත්පතයට හෝ වෙබ් අඩවියට යැව්වා ද? යන්න විමසා තිබිණි. ඇතැම් ‘කොමෙන්ටු’ මගින් වෙබ් අඩවි කතුවරයා නිර්දය ලෙස උපහාසයට ද ලක්කර තිබිණි.

ලියුම්කරුට, පිළිතුරු පුවත පළකළ  අඩවිකරුවා සමග පෞද්ගලික හෝ වෙනයම් ප‍්‍රශ්නයක් නැත. ඔහු එය නිදසුනකට ගන්නේ, ‘නව මාධ්‍ය’ ධාරාව ඔස්සේ කෙරෙන සමහර හෙළි කිරීම්, කොතෙක් දුරට යුක්ති සහගත සහ සාධාරණ දැයි පෙන් වීමේ අදහසිනි.

 පිළිතුරු අඩවි සටහන සහ ‘කොමෙන්ටු’ සමූහය කියවූ කල ලියුම්කරුට වැටහී ගියේ, සාමාන්‍යයෙන් පුවත්පතක හෝ වෙනයම් ප‍්‍රවෘත්ති වාර්තාකරණයක වන ප‍්‍රායෝගික ක‍්‍රියාවලිය ගැන අල්පමාත‍්‍ර හෝ වැටහීමක් නැතිව ඒවා ලියා, ප‍්‍රසිද්ධකර ඇති බවයි!

වෙබ් අඩවි පුවතට මූලාශ‍්‍ර වුණු ලිඛිත නියෝගය නිකුත්කර ඇත්තේ, අධිකරණ බලතල සහිත රාජ්‍ය කොමිසමක සභාපතිවරයා විසිනි. ඔහු දැනටත් අධිකරණ විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි.




ප‍්‍රවෘත්ති වාර්තාකරණය පැත්තෙන් ගත් කල, කොමිසමේ සභාපතිවරයාගේ ලිඛිත නියෝගය අඩංගු ලිපිය, ඉතා සවිමත් ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රයකි. සාමාන්‍යයෙන් කිසිදු ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙක්, අධිකරණයක් හෝ ඊට සමාන බලතල සහිත රාජ්‍ය ආයතනයකින් දුන් ලිඛිත නියෝගයක සඳහන් කරුණු, සත්‍ය දැයි නැවත සොයා බලන්නේ නැත. එය අධිකරණ නියෝගයක් වීම, ඊට හේතුවයි. ලංකාවේ හෝ ලෝකයේ කිසිදු මාධ්‍යකරුවෙක්, ‘අධිකරණ නියෝග’ ඇත්ත දැයි ‘Re Check’ කරන්නේ නැත. ප‍්‍රායෝගිකව එසේ කරන්නට පුළුවන්කමක් ද නැත. අධිකරණ නියෝගයක යම් ගැටළුවක් ඇතැයි සිතමු. එවිට කළ යුත්තේ, සිද්ධියට සම්බන්ධ පාර්ශව ඒ සම්බන්ධයෙන් ඇති නීති ප‍්‍රතිපාදන යටතේ කටයුතු කිරීමයි. එය මාධ්‍යකට කළ  හැක්කක් නොවේ. මාධ්‍යට කළ හැක්කේ අධිකරණයෙන් කළ මුල් නියෝගය හෝ සංශෝධිත නියෝගය, ප‍්‍රවෘත්තියක් බවට පත්කර පළ කිරීම පමණකි. ඇතැම් අවස්ථාවල නීතිවේදීහු අධිකරණ තීන්දු අභියෝගයට ලක් කරති. ඔවුන් එය කරන්නේ ඒ සඳහා පැනවී ඇති නීති ප‍්‍රතිපාදන යටතේ (ඇපෑලක් හෝ මෝසමක් වැනි) යමිනි. යම් නීතිවේදීන් පිරිසක් එවැන්නක් කළ හොත්, එහි ඇතුළත් කරුණු ද සහිතව මාධ්‍යයට එය වාර්තා කළ හැකි ය.

එබැවින්  පිළිතුරු පුවත පළ කළ අඩවිකරුවා සහ ඔහුට කොමෙන්ටු එවූ බහුතර පිරිස පවසන, ‘හරි හැටි සොයා බලා වාර්තා කිරීම’ කුමක් දැයි ලියුම්කරුට නො තේරේ. යම් අධිකරණයකින් කෙනෙකුට මරණ දඬුවම පැන වූයේ යයි සිතමු.  පිළිතුරු පුවත පළ කළ අඩවිකරුවා මතු කරන තර්කය අනුව යන්නේ නම්, මාධ්‍ය එය වාර්තා කළ යුත්තේ ඔහුට මරණ දඬුවම පැනවීම නිවැරදි දැයි සොයා බලා, සැක හැර දැන  ගැනීමෙන් පසුව ය! ප‍්‍රායෝගිකව එය කළ හැක්කක් ද යන්න ගැටළුවකි.

අනෙක  පිළිතුරු පුවත පළ කළ අඩවිකරුවා පවසන කාරණය ඇත්තක් නම්, මතු වන්නේ බරපතල ප‍්‍රශ්නයකි. එනම්, අධිකරණ බලතල සහිත රාජ්‍ය කොමිසම, කරුණු හරි හැටි සොයා බැලීමකින් තොරව වැඩ කරන බවයි. එසේ නම් අගතියට පත් පාර්ශව නිහඬව සිටියේ ඇයි? එය ද ප‍්‍රශ්නයකි.

ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර
සම්මත ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක‍්‍රියාවලියේ දී ප‍්‍රවෘත්ති වාර්තාකරුවෝ, තමන්ට ලැබෙන ‘හෝඩුවාවන්’ ප‍්‍රවෘත්ති බවට පත්කර ගැනීම සඳහා නා නා මාදිලියේ ක‍්‍රියාමාර්ග අනුගමනය කරති. ඇත්තටම ඔවුන්ට සෑම සිද්ධියක්ම අත්විඳින්නට ලැබෙන්නේ නැත. එබැවින් ඔවුන් එසේ කරන්නේ, තමන්ට ලැබුණු ප‍්‍රවෘත්ති හෝඩුවාවේ සත්‍යතාවය තහවුරුකර ගැනීම පිණිස ය. ඊට අමතරව, වැඩිමනත් විස්තර ගැනීම පිණිස ය. එහි දී ඔවුන් නිල ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර (ආයතනවල මාධ්‍ය නිවේදන, මාධ්‍ය ප‍්‍රකාශකවරුන් පවසන කාරණා, පොලිස් වාර්තා, විගණන හෝ පරීක්ෂණ වාර්තා, මරණ පරීක්ෂණ වාර්තා ආදිය) මෙන්ම පෞද්ගලික තොරතුරු මුලාශ‍්‍ර පවා භාවිත කරති. යම් සිද්ධියක් ඇතිවූ විට, නිල වාර්තා මෙන්ම එය අත් විඳි හෝ සියැසින් දුටු උදවිය ගෙන් හෝ කරුණු විමසා බලති. සිද්ධියේ පාර්ශවකරුවන් ගෙන් ද තොරතුරු විමසා බලති. ඔවුන් ප‍්‍රවෘත්තිය මුදා හරින්නේ, මේ සියලූ සොයා බැලීම්වලින් පසුව ය.

එහෙත් අධිකරණ තීන්දු හෝ නියෝග, අධිකරණ බලතල සහිත කොමිෂන් සභාවල  තීන්දු හෝ නියෝග, කැබිනට් තීරණ,  පාර්ලිමේන්තුවේ කෙරුණු දේවල්, විගණන වාර්තාවල එන කරුණු ආදිය ගැන, ඒවා ඇත්තදැයි යළි සොයා බැලීමේ සිරිතක් නැත. ඒවායෙහි යම් වරදක් තිබුණ ද, යම් නෛතික පාර්ශවයක් විසින් එය මතු කළ හොත් පමණක්, මාධ්‍ය ඒ ගැන ප‍්‍රවෘත්ති පළ කරනු දැකිය හැකි ය.

අධිකරණ හෝ අධිකරණ බලතල සහිත ආයතනයක තීන්දුවක් යනු, දීර්ඝ නෛතික විමර්ශන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයකි. එවැන්නක් ගැන ‘ඇත්ත-යුත්ත’ සොයා බලන්නට ප‍්‍රායෝගිකව මාධ්‍ය ආයතනයකට පුළුවන්කමක් ද නැත. එහෙත් අධිකරණ තීන්දුවලට  එරෙහිව ද යම් යම් අය ‘ඇපැල්’ ගනිති. එනම් අභියාචනා අධිකරණයේ පිහිට පතති. එවිට ‘ඇපෑල’ එහි සඳහන් කරුණු ද සහිතව ‘ප‍්‍රවෘත්තියක්’ (කාරණය ප‍්‍රවෘත්ති වටිනාකමක් සහිත නම්) බවට පත් වේ. ඇපෑල මගින් චූදිතයන් නිදහස් වූහයි සිතමු. එය ද නිසැකවම ‘ප‍්‍රවෘත්තියක්’ බවට පත් වේ. ඇපෑල මගින් චූදිතයන් නිදහස් වූවා යයි කියන්නේ කුමන අරුතක් ද? එහි තේරුම මුල් තීන්දුව වැරදිි එකක් වූ බවයි. චූදිතයන් එය නිවැරදිකරවා ගෙන ඇත්තේ, ‘ඇපෑල’ නමින් මහජනයා අතර ප‍්‍රකට නෛතික ක‍්‍රියාවලිය ඔස්සේ යමිනි. එසේ නැතිව, මාධ්‍යකට එය නිවැරදි කරන්නට හැකියාවක් නැත.
(මතු සම්බන්ධයි)
2016/01/18.


No comments:

Post a Comment