නව මාධ්‍යයෙහි නැගීම
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලංකාවේ නව මාධ්‍යයෙහි නැගීම පටන් ගන්නේ, 1990 දශකය මුල් භාගයේ සිට ය. ඒ, පරිගණක තාක්ෂණය, ජංගම දුරකතන භාවිතය සහ අන්තර්ජාල පහසුකම් පුළුල් වන්නට මුල පිරීමත් සමගිනි.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා අනුව, 1998 වසරේ දී ලංකාවේ සිටි අන්තර්ජාල ග‍්‍රාහකයන් (අන්තර්ජාලය භාවිත කරන්නන්) සංඛ්‍යාව 18,984ක් විය. ඊළඟ දෙවර්ෂයේ, එනම් වසර 2000 දී එය දෙගුණයකින් (40,497ක්) ඉහළ ගියේ ය. 2005 වසර වන විට එම සංඛ්‍යාව සීග‍්‍රයෙන් ඉහළ ගොස්, 1,15,000ක් විය. ඊළඟ පස් වසර අවසන් වන විට, එනම් 2010 වසර නිම වන විට 5,02,000ක් දක්වා එය තවදුරටත් ඉහළ ගොස් තිබිණි. 2012 වසර වන විට ලංකාවේ අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව දෙගුණවී, 13,65,655ක් විණි! 2014 වසර අවසන් වන විට, එය තුන් ගුණයකටත් වඩා ඉහළ ගොස් 33,83,458ක් වී තිබිණි. 2015 වසරේ මුල් කාර්තුව වන විට එය මිලියන 40ද ඉක්ම වූහයි කියනු ලැබේ!
2014 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහණය සමග ගැලැප්පූ විට, එම වසරේ ලංකාවේ සිටි අන්තර්ජාල භාවිතාකරුවන් සංඛ්‍යාව හයකට එකකි. රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයන් හය දෙනෙකු ගෙන් එක් අයෙක්ම, අන්තර්ජාලය භාවිත කරනවාය යන්න, එහි තේරුමයි!
වර්ෂ 1998 දී ලංකාවේ අන්තර්ජාල භාවිතය පැවතියේ, ජනගහණයෙන් සෑම පුද්ගලයන් 988 දෙනෙකුට එක් අයෙක් වශයෙනි. 2014 දී එය සෑම පුද්ගලයන් හය දෙනෙකුටම එක් අයෙකි. මින් පැහැදිලි වන කාරණය වන්නේ, ගෙවී ගිය දශක දෙකහමාරක පමණ කාලය තුළ ලංකාවේ අන්තර්ජාල භාවිතය ‘යෝධ පිම්මක්’ ඉදිරියට පැන ඇති බවයි.
පරිගණක සාක්ෂරතාවය
අන්තර්ජාලය භාවිත කිරීමට නම් ‘පරිගණක’ (ඩෙක්ස්ටොප්/ලැප්ටොප්/ටැබ්ලට් ආදී) අවශ්‍ය ය. එපමණක් ද නොවේ. පරිගණක භාවිත කිරීමේ හැකියාව හෙවත් ‘පරිගණක සාක්ෂරතාවය’ ද අවශ්‍ය ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015 මුල් මාස හය වෙනුවෙන් නිකුත් කළ අංක ‘ISSN 2012-6565’ දරණ පත‍්‍රිකාවෙන්, ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ගැන අලූත්ම තොරතුරු හෙළිදරව්කර තිබිණි. එහි සඳහන් වන ආකාරයට, දැනට ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ජනගහණයෙන් සියයට 26.8කි. එසේම සමස්ත ජනගහණයෙන් සියයට 24.6ක්ම, ‘ඩෙක්ස්ටොප්’ හෝ ‘ලැප්ටොප්’ පරිගණකයක හිමිකරුවන් ය. ඔවුන් අතරින් සියයට 67ක්ම පරිගණක මිලයට ගෙන තිබෙන්නේ වර්ෂ 2010-2014 අතර කාලයේ දී ය.
2001 වසරට පෙර ලංකාවේ පරිගණක සතු පිරිස, ජනගහණයෙන් සියයට 6.2කි. 2014 වසර වන විට එය සියයට 66.9ක් දක්වා ඉහළ නැග තිබුණේ ය.
2015 වසර සම්බන්ධයෙන් ගත් කල, ලංකාවේ ජනයා ගෙන් අන්තර්ජාලය භාවිත කරන පිරිස සියයට 11.8කි. ඊමේල් භාවිත කරන පිරිස සියයට 8.8කි.
අන්තර්ජාලය භාවිත කරන වැඩිම පිරිස, අවුරුදු 15-34 වයස් කාණ්ඩයට අයත් වේ. ඒ අනුව, වයස අවුරුදු 15-19 අතර සියයට 19.6ක් ද, වයස අවුරුදු 20-24 අතර සියයට 27.2ක් ද, වයස අවුරුදු 25-29 අතර සියයට 25.9ක් ද, වයස අවුරුදු 30-34 අතර සියයට 17.2ක් ද අන්තර්ජාලය භාවිත කරති. ඊමේල් භාවිතයට ද වැඩිපුරම හුරුවී සිටින්නේ වයස අවුරුදු 20-29 අතර පිරිස් ය. ප‍්‍රාදේශීය මට්ටමින් ගත් කල, අන්තර්ජාලය වැඩියෙන්ම භාවිත වන්නේ කොළඹ (සියයට 27.6), වවුනියාව (සියයට 18.3), ගම්පහ (සියයට 18.1), යාපනය (සියයට 16.9), පුත්තලම (සියයට 14), කළුතර (සියයට 13), මහනුවර (සියයට 11.5) සහ ගාල්ල (සියයට 10.3) යන දිස්ත‍්‍රික්කවල ය. කොළඹ හැරුණු විට ගම්පහ, යාපනය, කළුතර, පුත්තලම සහ වවුනියාව යන දිස්ත‍්‍රික්ක ඊමේල් සඳහා වැඩි නැඹුරුවක් දක්වයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තම්න්තුව නිකුත් කළ මේ තොරතුරුවලින් ද පෙනී යන්නේ, ගෙවී ගිය පස් වසරක තරම් කාලය තුළ පරිගණක හා අන්තර්ජාල භාවිතය යෝධ පිම්මක් පැන ඇති බව ය. ඉන් ඇති වුණු නව තාක්ෂණික පරිසරය නිසා, ‘නව මාධ්‍ය’ බිහි වීමට සහ ඒවා වේගයෙන් වර්ධනය වීමට ඉඩකඩ සැලසිණි. දැන් ජංගම දුරකතනවලට ද අන්තර්ජාලය පැමිණ තිබේ. එය ද නව මාධ්‍යයෙහි වර්ධනයට ඉමහත් රුකුලක් විය.
අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය අපේ රටේ ජන සමාජයට පතිත වූයේ නිකම්ම ද නො වේ. සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂාවලින් පළ කෙරෙන පුවත්පත් 30කට අධික සංඛ්‍යාවක් ද, රේඩියෝ සහ රූපවාහිනී චැනල 40කට අධික සංඛ්‍යාවක් ද පවතිද්දී ය. නව මාධ්‍ය පැමිණීම නිසා රටේ තොරතුරු සමාජය ඉතා දරුණු ලෙස ප‍්‍රසාරණය විය. මේ වන විටත් ප‍්‍රවෘත්ති පළ කිරීම මුල්කර ගත් වෙබ් අඩවි ගණනාවක් ද, සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ලක්ෂ ගණනක් ද ක‍්‍රියාත්මක වේ. zreadme.lkZ වෙබ් අඩවියෙහි සඳහන් වන අන්දමට, මේ වන විට ලංකාවේ ඇති ෆේස් බුක් ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 23ක් පමණ වේ! ෆේස් බුක් යනු කිසියම් පෞද්ගලික මට්ටමේ තොරතුරු හුවමාරු මෙවලමක් බව ඇත්ත ය. එසේ වුව ද, ඒවා ඔස්සේ එදිනෙදා සිදු වීම් (ප‍්‍රවෘත්තිමය සංසිද්ධීන්) ද හුවමාරු වන බව නො රහසකි. මෙයින් තේරුම් ගත යුතු කාරණය වන්නේ, තොරතුරු මුදා හැරීම සහ ඒවා බෙදා හදා ගැනීම අතින් අන්තර්ජාල මාධ්‍ය අකුණු සැරයක් පරිද්දෙන් ප‍්‍රවෘත්ති වෙළෙඳපොළ ආක‍්‍රමණයකර ඇති බවයි. එය වර්තමානයෙහි සම්මත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට අතිශයින් පැහැදිලිවම අභියෝගයක් සහ බලපෑමක් එල්ලකර තිබේ.
පුවත්පත් ද ඇතුළුව සම්මත විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, එක් අතකින් සීමා වීම් සහිතව ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙහි යෙදෙන අතර, අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය කිසිදු සීමාවකින් තොරව, ක්ෂණිකව තොරතුරු මුදා හරිනු පෙනෙයි. එම ක‍්‍රියාවලිය ද අතිශයින්ම වේගවත් ය. එබැවින් නව මාධ්‍යවල ක‍්‍රියාකාරිත්වය තොරතුරු සමාජයෙහි ඉහළින්ම කැපී පෙනීම, නො වැළැක්විය හැකි කාරණයක් බවට පත් වේ. ඉන් කෙරෙන්නේ, නව මාධ්‍ය කෙරෙහි බැඳෙන ජනතා විශ්වාසය තවදුරටත් පුළුල් වීම ය. එය ගැඹුරින් නිරීක්ෂණය කරන කෙනෙකුට, මුද්‍රිත මාධ්‍ය සදහටම මිහිදන් විය හැකි බවක් ද පෙනී යනු ඇත!
සැබවින්ම නව මාධ්‍ය මගින් එල්ල වන අභියෝගය සහ තරඟය, ජාතික මට්ටමේ සම්ප‍්‍රදායික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් නිවැරදිව තේරුම් ගත යුතුය යන්න, ලියුම්කරුගේ අදහසයි. අන්තර්ජාල මාධ්‍ය අපට වඩා බහුලව භාවිත කරන ලොව බටහිර රටවල ද, සම්මත මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මිහිදන්ව ගියේ නැත. නව මාධ්‍යයෙහි බලපෑම තුරල්කර ගැනීම සඳහා, අලූත් පැතිකඩ හෝ අලූත් උපක‍්‍රම සොයා ගැනීම මෙහි දී ඔවුන්ට පැවරෙන වගකීම වනු ඇත්තේ ය.
ජාතික ධාරාවේ වර්තමාන සම්මත මාධ්‍ය ආයතන (විද්‍යුත් සහ මුද්‍රිත) සියල්ලටම පාහේ, නව මාධ්‍ය ඔස්සේ එන අභියෝගය හා තරඟය ගැන යම් අවබෝධයක් තිබේ. ඒ හැම ආයතනයක්ම තම සම්මත මාධ්‍ය ක‍්‍රියාවලියට සමගාමීව, වෙබ් අඩවි හෝ ෆේස් බුක් ගිණුම් ඇරඹීමෙන්ම ඒ බව පැහැදිලි වේ. ‘ඔන් ලයින්’ (එසැණින්) මොඩලයේ ප‍්‍රවෘත්තිමය වෙබ් අඩවි ලෙස ඔවුහු ඒවා පවත්වා ගෙන යති. යම් කෙනෙකුට මුදල් ගෙවීමකින් තොරව ඒවාට පිවිසීමට ද පුළුවන. ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවි ලිපියෙහි තුෂල් විතානගේ සහෘදයා කියන්නාක් මෙන් එම වෙබ් අඩවි ද හසුරුවන්නේ, ඔවුන් සම්මත ධාරාවේ දී අනුදත් සීමා වීම්වලට යටත්ව ය! එබඳු වෙබ් අඩවිවලින්, නව මාධ්‍යයෙහි දක්නට ලැබෙන තරමේ පුළුල් වාර්තාකරණයක් දැකීම උගහට ය! ලියුම්කරුට සිතෙන්නේ, ඒවා ඔවුන්ගේ සම්මත ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ක‍්‍රියාවලියෙහිම ‘ඊ පිටපතක්’ බව ය. එබැවින් නව වෙබ් අඩවි ඇරඹීම, සම්මත ධාරාවේ මාධ්‍යට නව මාධ්‍ය මගින් එල්ල වන අභියෝගයට පිළිතුරක් නො වන බව පිළි ගැනීමට සිදු වේ.
(මතු සම්බන්ධයි)
2016/01/10.
ඔබේ බ්ලොග් සටහන නෙත ගැටුනේ අදය.ඉතා යහපත් නව මාධ්‍ය අභ්‍යාසයකි.මගේ සුබ පැතුම්
ReplyDeleteප්‍රතිචාරයට, සුබ පැතුමට ස්තුතියි.-ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-ලිපි හතක් එනවා.
Delete