Total Pageviews

Saturday, February 20, 2016

කුරුවිට බටදොඹ ලෙන පිළිබඳ අලුත් කියැවීමක්



 
Human Evolution සහ Science සඟරාවල හෙළිදරව්ව



(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(ආචාර්ය නිමල් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් අසුරිණි)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ, කුරුවිට පිහිටි ‘බටදොඹ ලෙන’, දකුණු ආසියාවේ ඇති පැරණිම ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසවලින් එකකි. එය අදින් වසර 40,000ක් පැරණි ය. (නිමල් පෙරේරා-2005) බටදොඹ ලෙන, මධ්‍ය ශිලා යුගයට අයත් ‘නවීන මානවයන්ගේ’ ජනාවාසයකි. තවත් ආකාරයකට කියනවා නම්, එය ලංකාවේ විසූ ‘බලංගොඩ මානවයන්ගේ’ පැරණිම ජනාවාසයකි.
 
බටදොඹ ලෙන පිහිටා ඇත්තේ, සුප‍්‍රකට ශ‍්‍රී පාද වන අඩවියේ කුරුවිට බෑවුමේ ය. එය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ උසින් පිහිටි අතර, ලෙන ආශ‍්‍රිත ශ‍්‍රී පාද වනය වැසි වනාන්තරයකි. ලෙනෙහි ඇතුළත පළල මීටර් 10කි. ලෙන් විවරයේ උස මීටර් 11කි. අදින් වසර මිලියන 400කට ඉහත පැවති, පෘථිවි ඉතිහාසයේ ප‍්‍රාකේ‍්‍රම්බීය යුගයේ දී ලෙන නිර්මාණය වන්නට ඇතැයි, පුරාවිද්‍යාඥයෝ කියති. වසර මිලියන ගණනක් මුළුල්ලේ ලෙන ආශ‍්‍රිතව පැවති අධික ජල ක‍්‍රියාකාරිත්වයක් හේතුවෙන් ‘ලෙන් කුහරය’ සෑදුණු බව ඔවුහු පිළිගනිති. ලෙන් කුහරය නිර්මාණය වීමෙන් පසුව, ඒ අවට පරිසරය මිනිස් වාසයකට සුදුසු ලෙස සැකසිණි. ඉන් පසුව, අදින් වසර 40,000කට ඉහත දී නවීන මානවයන් විසින් එය මුල් වරට ජනාවාසකර තිබේ. (සිරාන් දැරණියගල-1986/නිමල් පෙරේරා-2005)
 
පර්යේෂණ ඉතිහාසය සහ කාලනිර්ණය
බටදොඹ ලෙනෙහි මුල්ම පුරාවිද්‍යා පර්යේෂණය කෙරුණේ, 1937 වසරේ දී ය. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු මෙන්ම, සුප‍්‍රකට සත්ත්ව විද්‍යාඥයෙකු ද වන ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා අතින් එය සිදු විය. එහි ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසය අදින් වසර 10,000ක් පැරණි, හොලෝසීන යුගයේ මුල් අවධියට අයත් වන බවට, ඔහු එකල නිශ්චය කළේ ය.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ‘කැණීම් අංශය’ 1968 වසරේ ඇරඹිණි. එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හෙබවූ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ මෙහෙය වීමෙන් එය ක‍්‍රියාත්මක විය. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් ගැන පර්යේෂණ කිරීම, එහි ප‍්‍රධාන අරමුණක් විය.
 
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,  1979 වසරේ සිට 1986 දක්වා වරින් වර බටදොඹ ලෙනෙහි පර්යේෂණ කැණීම් කළේ ය. කැණීම් මෙහෙය වූයේ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ය. ඔහු එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂවරයා විය. එම පර්යේෂණයෙන් හෙළිදරව් වූයේ බටදොඹ ලෙනෙහි පැවති ආදි මානව ජනාවාසය, අදින් වසර 36,000ත්, 17,000ත් අතර කාලයට  අයත් වන බවයි.
 
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ 1980-1982 කැණීම් වාරයේ දී, ‘කැණීම් ක්ෂේත‍්‍ර නිලධාරියා’ ලෙස කටයුතු කළේ නිමල් පෙරේරා මහතා ය. එහි දී පුද්ගලයන් (මානවයන්) 09 දෙනෙකුගේ පමණ ඇටසැකිලි කොටස් සහ අනෙකුත් ශාරීරික අවශේෂ හමු විය.
 
අලූත්ම පර්යේෂණය-2005
ඉන් පසුව 2005 වසරේ අප‍්‍රියෙල් මාසයේ, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් බටදොඹ ලෙන යළි කැණීම් කෙරිණි. ආචාර්ය සිරාන් දැරණියගල, ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ පුරා භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉයන් ඒ. සිම්ප්සන් යන මහත්වරු ඇතුළු දෙස්-විදෙස් විද්වතුන් පිරිසක් ද, එයට සහභාගි වූහ. එහිදී අදින් වසර 27,000කට ඉහත විසූ බලංගොඩ මානවයන්ගේ ඇටසැකිලි සහ අවශේෂ ද, ජ්‍යාමිතික ශිලා මෙවලම්, සත්ත්ව ඇට කටු සහ තවත් පොසිල ද සොයා ගැනුණි. වර්ෂ 1979 සිට 2005 දක්වා බටදොඹ ලෙනෙහි කළ කැණීම්වලින් බලංගොඩ මානවයන් 35 දෙනෙකුගේ පමණ ඇටසැකිලි සහ ශරීර අවශේෂ  හමු විය.
 
බටදොඹ ලෙනෙහි පැවති නවීන මානව ජනාවාසය, අදින් වසර 13,000ක සිට 37,000ක් දක්වා පැරණි බවට, නිමල් පෙරේරා මහතාගේ පර්යේෂණයෙන් කාලනිර්ණය කෙරිණි. ලෙනෙහි මානව සාධක ඇති ආදිතම පස් තට්ටුව, අදින් වසර 40,000ක් පැරණි බව ද ගණනය කෙරිණි. (පෙරේරා-2010)
 
විශේෂ කාරණයක්
බටදොඹ ලෙනෙහි විසූ බලංගොඩ මානවයන්, අදින් වසර 20,000කට පමණ ඉහත දී තාල වර්ගයේ ශාකවල (වේවැල්/කිතුල්/කටු කිතුල්/පුවක්/බට/දෝතලූ වැනි) ගොබ, පත‍්‍ර සහ අනෙකුත් කොටස්වලින් නිදා ගැනීමේ ඇතිරිලි බඳු ද්‍රව්‍ය, දඩ මස් තබන මැසිවලට එලන ඇතිරුම් ද්‍රව්‍ය සහ කුඩා පැසක් බඳු මළු ආදිය සකසා ගත් බව, අලූත්ම පර්යේෂණවලින් හෙළි විය. ඊට අමතරව මුහුදුබඩ ජනාවාස අතර සංක‍්‍රමණය, ධීවර කර්මාන්තය පිළිබඳ පැරණිම තොරතුරු යන කාරණා ද ඉන් අනාවරණය විණි. (නිමල් පෙරේරා/නිකෝස් කොරම්පාස්/ඉයන් ඒ. සිම්ප්සන්/සිරාන් යූ. දැරණියගල/ඩේවිෙඩ් බුල්බෙක්/ජෝන් කමින්ගා/ජූඞ් පෙරේරා/ඩොරියන් කියු. පූලර්/කැතරින් සාබෝ/නූනෝ ඩී. ඔලිවේරා-2005)
 
බටදොඹ ලෙනෙහි අලූත්ම පර්යේෂණ දත්ත ඇතුළත් විශේෂ ලිපියක්,
(People of the ancient rainforest:Late Pleistocene foragers at the Batadomba-lena rockshelter, Sri Lanka/Journal of Human Evolution-2011-Sep. -Volume-61, Issue-3.) නමැති ජාත්‍යන්තර මානව පුරාවිද්‍යා සඟරාවේ, 2011 සැප්තැම්බර් කලාපයේ පළ විය.

බටදොඹ ලෙනෙහි විසූවන්, ආසියානු නවීන මානවයන්ගේ ශාරීරික නවීනත්වය මෙන්ම, නවීන හැසිරීම් විලාශයන් ද පෙන්නුම් කරති.

සයන්ස් සඟරාවේ අනාවරණය 
ලංකාවේ විසූ නවීන මානවයන් සම්බන්ධ විශේෂ කාරණයක්, ජාත්‍යන්තර ‘සයන්ස් සඟරාවේ’, 2105 මාර්තු 13 කලාපයෙන්
^Science/Vol-347no6227/13March 2015& අනාවරණය කෙරිණි. එය පර්යේෂණ ලිපියකි. එය ඉදිරිපත්කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ, ඔක්ස්ෆර්ඞ් විශ්වවිiාලයේ පැටි‍්‍රක් රොබර්ට්ස්, ලංකාවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආතනයේ ආචාර්ය නිමල් පෙරේරා, ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ඔෂාන් වෙදගේ, බි‍්‍රතාන්‍යයේ, බ්රැඩ්ෆෝර්ඞ්  විශ්වවිද්‍යාලයේ පර්යේෂක, ආචාර්ය සිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ජූඩ් පෙරේරා සහ සමන් ඇරෑගම, බි‍්‍රතාන්‍යයේ, ඇන්ඩෘ ග්ලෙඩ්හිල්, මහාචාර්ය මයිකල් ඩී. පැට‍්‍රාලියා සහ ජුලියා ඒ. ලී-තොර්ප් යන විද්වතුන් විසිනි.
 
එහි සඳහන් වන ආකාරයට, ලොව නවීන මානවයන් ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයට අනුගතව ජීවත්වූ බවට ප‍්‍රථම විද්‍යාත්මක සාක්ෂි සමූහය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවෙනි. එය සිදුව ඇත්තේ අදින් වසර 20,000ක් තරම් ඈත කාලයේ දී ය. පර්යේෂකයන් මෙම තොරතුරු අනාවරණයකර ගෙන ඇත්තේ, ලංකාවේ ප‍්‍රකට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් භූමි වන, කුරුවිට ‘බටදොඹ ලෙන’, බුලත්සිංහල ‘පාහියන් ලෙන’, බලන්ගොඩ ‘කූරගල ලෙන්’ සහ උඩ වලවේ ‘බෙල්ලන්බැඳිපැලැස්ස’ යන ස්ථානවලින් ලැබුණු නවීන මානව අවශේෂ, බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ දී ගැඹුරු හැදෑරීම්වලට ලක් කිරීමෙනි.
 
කෙසේ වෙතත්, පාහියන් ලෙන සහ බටදොඹ ලෙන ඇතුළු ලෙන් කැණිම්වලින් හෙළි වූයේ, එකල විසූ මානවයන් ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයෙහි අභියෝග සාර්ථකව ජය ගෙන ජීවත්වූ බවයි. ඔවුන්ගේ ආහාර අපද්‍රව්‍යය අතර, ශාක ද්‍රව්‍යය ද, කුඩා සතුන්ගේ අවශේෂ ද බහුලව තිබිණි. එය ඔවුන්, ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයෙහි අභියෝග සාර්ථකව ජය ගෙන ජීවත්වූ බවට සාක්ෂියක් විය. ‘සයන්ස්’ ජාත්‍යන්තර සඟරාව හෙළි කරන්නේ ඒ කතා පුවතයි.
 
අදින් වසර 20,000ක් තරම් අතීතයේ දී ලංකාවේ විසූ නවීන මානවයන්, දඩයම් කළ සතුන්ගේ මස් මෙන්ම, ශාක ද්‍රව්‍යය ද එක සේ ආහාරයට ගෙන තිබූ බව, ‘සයන්ස්’ සඟරාව කියයි. එය ඔවුන් අලූත් ආහාර සංස්කෘතියකට එක් වුණු අවස්ථාවකි. පර්යේෂක පැටි‍්‍රක් රොබර්ට්ස් මහතා පවසන අන්දමට, අදින් වසර 20,000ක් තරම් ඈත වකවානුවක එවන් සාක්ෂි හමු වන්නේ ලංකාවෙන් පමණි. ඔහුට අනුව එය, නවීන මානවයා ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර ආශ‍්‍රිතව සාර්ථකව යැපුණු බවට ලොව හමුවන පැරණිම සාක්ෂියකි.
 
‘සයන්ස්’ සඟරාවේ සඳහන් වන අන්දමට, පැටි‍්‍රක් රොබර්ට්ස් ඇතුළු පර්යේෂකයන්, ලංකාවෙන් හමුවූ නවීන මානව දත් ගැඹුරු පරීක්ෂාවන්ට ලක්කර තිබේ. එහි දී ඔවුන් ඒවායෙහි එනමලය කාබන් සහ ඔක්සිජන් සමස්ථානික ක‍්‍රමයකට (Isotope Analysis) විශ්ලේෂණයකර ඇත. නවීනයෙකු වන්නට පෙර දඩ මස් පමණක් ආහාරයට ගත් ඔවුන්, අදින් වසර 20,000ක සන්ධිස්ථානයේ දී ශාක ද්‍රව්‍යය ද ආහාරයට එක්කර ගත් බව හෙළිවී ඇත්තේ එයිනි.
^Science/Vol-347no6227/13March 2015&

එය ලෝක මානව පරිණාමයේ තවත් යෝධ පියවරකි.

2016.02.21.





2 comments:


  1. කිතුල්ගලත් ලෙනකින් මේ හා සමානම තොරතුරු ලැබුනා නේද? ඒවත් ලියන්න පුළුවන් නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.ඔබ කියන්නේ කිතුල්ගල බෙලි ලෙන ගැනයි. එය අදින් වසර 31000ක් පැරණි මානව ජනාවාසයක්. ඒ ගැන පසුව ලියමු.

      Delete