Total Pageviews

Thursday, February 25, 2016

ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-06


අන්තර්ජාල දේශපාලනය සහ කොමෙන්ටුකරුවෝ




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
නව මාධ්‍ය අන් කවරකටත් වඩා දේශපාලනයට කඩේ යන බව ද ප‍්‍රසිද්ධ චෝදනාවකි. 2015 ජනවාරි 08 වැනි දා පැවති තීරණාත්මක ජනාධිපතිවරණයේ දී, මහින්ද-මෛත‍්‍රී දෙපිලම යහමින් අන්තර්ජාල මාධ්‍ය භාවිත කළ බව පසුව අසන්නට ලැබිණි. දෙපාර්ශවයේ මැතිවරණ සංවිධායකවරුන්, තම නායකයන් ඔසවා තැබීම පිණිසත්, සිය ප‍්‍රතිවාදියාට මඩ ගැසීම පිණිසත්, අන්තර්ජාලය භාවිත කළ බව අද රහසක් නොවේ. මේ සඳහා වෙනම සංවිධානාත්මක කණ්ඩායම් යොදවා තිබුණු බවත් ප‍්‍රකට ය. ඒ සඳහා ‘ඇහින්දාස් මොඩලයේ’ අන්තර්ජාල අඩවි මෙන්ම, ෆේස් බුක් ජාලා ද නිර්මාණය කෙරුණු බව කියැවේ.

readme.lk’ නම් වෙබ් අඩවියෙහි සඳහන් වන පරිදි, මේ වන විට ලංකාවේ ෆේස් බුක් ග‍්‍රාහක සංඛ්‍යාව 23,00,000කි. එහි තේරුම රටේ ජනගහණයෙන් සෑම නම දෙනෙකු ගෙන් එක් අයෙකුම ෆේස් බුක් ග‍්‍රාහකයෙකු බවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ කියන හැටියට, ඒවා පරිහරණය කරන්නන් අතර බහුතරය, අවුරුදු 17-30 අතර වයසේ තරුණ කොටස් ය. මේ කාරණය විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය කළ සමීක්ෂණයෙන් ද තහවුරු විය. එබැවින් ෆේස් බුක් යනු ඉතාමත් ප‍්‍රබල සන්නිවේදන ක‍්‍රියාවලියකි. ඉන් නැගෙන හඬ ද ඉතා ප‍්‍රබල ය.

අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය, මෙසේ හිතූ මතේ හැසිරෙන්නේ ඒ තරම් පුළුල් ෆේස් බුක් ජාලයක් ද සහිතව ය. ඔවුන්ගේ හිතූ මතේ හැසිරීමෙන් නිපදවෙන හඬ හෙට දවසේ කොතැනක නවතිනු ඇද්ද?

කොමෙන්ටු දැමීම
අන්තර්ජාල මාධ්‍ය සම්බන්ධයෙන් තවත් බරපතල කාරණයක් තිබේ. ඒ, ‘කොමෙන්ටු’ (Coments) පිළිබඳ ප‍්‍රශ්නයයි. සෑම දෙයකටම පාහේ ‘කොමෙන්ටු’ දැමීම, නව මාධ්‍ය හා බැඳී ඇති ප‍්‍රබල උප සංස්කෘතියකි. ‘කොමෙන්ටුවක්’ යනු, නව මාධ්‍යයෙහි පළවන යම් ලියැවිල්ලකට, පින්තූරයකට හෝ වීඩියෝවකට එය කියවන්නන් හෝ නරඹන්නන් විසින් කෙලින්ම, එසැණින්ම තම අදහස් පළ කිරීමේ විධි ක‍්‍රමයයි. නව මාධ්‍යයට පමණක් නොවේ. ජාතික ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය අන්තර්ජාලයට එක් කරන වෙබ් අඩවිවලට පවා සිය ගණන් කොමෙන්ටු වැටෙන අයුරු දැකිය හැකි ය. ඉදිරිපත් වෙන අදහස හොඳ වුව ද, නරක වුව ද එය පළ වීම, කොමෙන්ටු ක‍්‍රමයේ සිරිතයි. එහෙත් අඩවිකරුවාට අවශ්‍ය නම් එය පාලනය කළ හැකි ය. නැතිනම් ඉවත් කළ හැකි ය. කෙසේ වෙතත් අඩවිකරුවන් වැඩි දෙනෙක් මේවා පාලනය කරන බවක් නො පෙනෙයි.

අන්තර්ජාලයේ සැරිසරන  ඕනෑම කෙනෙකුට කියවිය හැකි කොමෙන්ටු, එක් අතකින් රස සාගරයකි. බුද්ධියේ නිම් වළලූ පුළුල් කරවන දැනුම් පදාසයකි. අනෙක් අතින් අපහාස, අවලාද සහ කුණුහරුප පවා ඇතුළත්  නරකාදියකි! ඇතැම් කොමෙන්ටුවල ලියා ඇති දෑ මෙන්ම, ඒවා ලියා ඇති බස ද ජන මාධ්‍යකට තබා නිකම් කතාබහටවත් නුසුදුසු ය. එහි අපහාස කිරීම් මෙන්ම හෙළා දැකීම් ද එමට ය. ඇත්තටම කොමෙන්ටුකරුවන් වැඩි දෙනෙක් එසේ නොවෙති. එසේ වුව ද කෙනෙක් දෙන්නෙක් කරන නොසරුප් දේවල් නිසා, අර රස සහ දැනුම් සාගරය පල් ගොහොරුවක් බවට පත්වේ. ඇතැම් අඩවිකරුවන් කොමෙන්ටු පාලනය කරන බවක් පෙනෙන්නට ද නැත.

මින් පිළිබිඹු වන්නේ කුමක් ද? නව මාධ්‍යයට වහ වැටී සිටින ඇතැම් කොටසක්, තාක්ෂණය මිස වෙනයම් ප‍්‍රඥා මහිමයක්, සදාචාරයක් නැති නො මේරූ පිරිසක් බවයි. එහෙත් යම් පළ වීමකට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීම අතින් නම් ඔවුන් ඉදිරියෙන්ම සිටිති!

කොමෙන්ටු සම්බන්ධයෙන් ලියුම්කරුට අපැහැදිලි කාරණා කිහිපයක් තිබේ.

x-කොමෙන්ටුවක් යනු වෙබ්, බ්ලොග් හෝ ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා ගිණුමේම කොටසක් ද?, නැද්ද?

x- එසේ නැතිනම් එය වෙනම කොටසක් ද?

x-කොමෙන්ටුවේ පළවන දේවල් සම්බන්ධයෙන් නෛතිකව වගකිව යුත්තා කවුරුන් ද? වෙබ්, බ්ලොග් හෝ ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය ගිණුම හිමි තැනැත්තා ද? නැතිනම් කොමෙන්ටුකරුවා ද?

x-යම් කෙනෙකුට කොමෙන්ටුවකින් අගතියක් විණි නම්, ඊට නෛතිකව වග කියන්නේ කවුරුන් ද?

නව මාධ්‍ය විසින් ගණන් නො ගත්ත ද, මේවා ඉතා බරපතල ගැටළු බව කිව යුතු වේ. මුද්‍රිත මාධ්‍යයෙහි නම් පාඨකයන් එවන ලිපි පළ කෙරෙන්නේ, උප කර්තෘවරයෙකුගේ පාලනය යටතේ ය. නව මාධ්‍ය දැන් පොදු ජන සන්නිවේදන ධාරාවක් බවට පත් වෙමින් යන බැවින් මෙවන් ‘කැලෑ පත්තර’ මොඩලයේ හැසිරීම්, සංවර ඉසව්වකට හික්මවා ගත යුතුය යන්න ලියුම්කරුගේ අදහසයි.
(මතු සම්බන්ධයි)

2016/02/26.


1 comment:

  1. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete