ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-02
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම කෙරෙහි බලපාන කරුණු කිහිපයකි. ඒවා මෙසේ තේරුම් ගනිමු.
මාධ්‍ය ආයතන සියල්ල පොදුවේ ගත් විට, ඉන් බහුතරයක් පෞද්ගලික අංශයට අයත් ය. ඊට වඩා අඩු සංඛ්‍යාවක් රජයට අයත් ය. තවත් අතලොස්සක් දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති ව්‍යාපාර ඔස්සේ ක‍්‍රියාත්මක වේ. මින් රජයේ මාධ්‍ය ආයතන නිතරම කටයුතු කරන්නේ පවතින ආණ්ඩුවට පක්ෂපාතී ස්වරයක සිටිමින්, ඔවුන්ගේ ප‍්‍රතිපත්ති හා වැඩ ක‍්‍රියාවලිය මෙන්ම ඔවුන්ගේ දේශපාලනය ද සිය න්‍යාය පත‍්‍රය බවට පත්කර ගනිමිනි. එහෙත් පෞද්ගලික මාධ්‍ය ආයතන එසේ නොවේ. ඔවුන් සිය ප‍්‍රවෘත්ති මෙහෙයුම් කරන්නේ, තම හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනය මත පදනම් වෙමින්, යම් වාණිජ අරමුණක් ද ඉදිරියට ගනිමිනි. ඔවුන්ගේ ඇසින් බලන කල, ප‍්‍රවෘත්ති යනු වෙළෙඳ භාණ්ඩයකි. එබැවින් තම පිටු ඉඩකඩෙන් සෑම වර්ග සෙන්ටිමීටරයක්ම, ගුවන් කාලයෙන් සෑම තත්ත්පරයක්ම, මුදල් බවට පත් කරන්නට ඔවුන් කටයුතු කරනු දැකිය හැකි ය. පෞද්ගලික මාධ්‍ය ආයතන ප‍්‍රවෘත්ති මුදා හරින්නේ, සිය හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති හා දේශපාලනය මෙන්ම, ඔවුන් අනුදත් වාණිජ අරමුණුවලට ද යටත්ව ය. ඒ අර්ථයෙන් ගත් කල, කිසියම් ප‍්‍රවෘත්තිමය සංසිද්ධියක් ‘මහජනයා ඉල්ලන තරම්’ වාර්තා නො වීමට ද ඉඩ තිබේ! අනෙක ඇතැම් සංසිද්ධියක් මහත් අභිරුචියෙන් වාර්තා කරනු ද විය හැකි ය. පෙද්ගලික මාධ්‍ය ආයතන තම හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනය බල නො පාන ප‍්‍රවෘත්තිමය සංසිද්ධීන් ද වාර්තා කිරීමට තෝරා ගන්නේ, යම් කොන්දේසියක් සහිතව ය. එනම් එය ප‍්‍රවෘත්ති වෙළෙඳපොළේ අලෙවි කළ හැකි ද? යන කාරණය සලකා බැලීමෙනි. හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනය මෙන්ම තම වාණිජ අරමුණට පිටිවහලක් නො වන සමහර ප‍්‍රවෘත්තිමය සංසිද්ධීන් වුව, වාර්තා නො කෙරෙන්නේ ඒ හේතුව නිසා ය.
කෙසේ වෙතත්, යම් සිද්ධියක වෙළෙඳපොළ පිළිබඳ කාරණය බරපතල නම්, හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති සහ දේශපාලනයට විරුද්ධ දෙයක් වුව, කිසියම් පමණකට වාර්තා කිරීම පෞද්ගලික මාධ්‍ය ආයතනවල සිරිතයි. එසේ නො කළ හොත්, ප‍්‍රවෘත්ති වෙළෙඳපොළෙහි තම අලෙවි කෝටාව කඩා වැටෙන බව ඔවුහු දනිති.
ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම සම්බන්ධයෙන් බලපාන ඊළඟ කාරණය වන්නේ, ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී ‘ඇඩ්වටයිසින්’ යනුවෙන් ප‍්‍රකට වෙළෙඳ දැන්වීම් ක‍්‍රියාවලියයි. රජයේ හෝ පෞද්ගලික හෝ වේවා, ජාතික ධාරාවේ මාධ්‍ය ආයතනවලට වෙළෙඳ දැන්වීම් නැතිව ජීවත් විය නො හැකි ය. මින් විද්‍යුත් මාධ්‍ය එහැමපිටින්ම යැපෙන්නේ, අනුග‍්‍රාහක දැන්වීම්වල පිහිටෙනි. එසේම මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්/සඟරා ආදී) ද යැපෙන්නේ අනුග‍්‍රාහක දැන්වීම් සහ අලෙවි ආදායමෙනි. ඔවුන්ට ඒවා නැතිව පවතින්නට නුපුළුවන.
නව මාධ්‍ය යයි හඳුන්වන පේස් බුක් ඇතුළු අන්තර්ජාලය මුල්කර ගත් මාධ්‍ය, බොහෝවිට ‘පුද්ගල කේන්ද්‍රීය’ (තනි පුද්ගලයෙක් විසින් මෙහෙයවන) ව්‍යාපෘති වේ. එබඳු බොහොමයක් මාධ්‍යට ආයතනික ව්‍යුහයක් නැත. කාර්ය මණ්ඩලයක් ද නැති තරම් ය. ඔවුන් සිය ප‍්‍රවෘත්ති වාර්තා සඳහා තොරතුරු ළඟාකර ගන්නේ, එක්කෝ සිය මාධ්‍ය හිතවතුන් මාර්ගයෙනි. නැතිනම් මාධ්‍ය වෘත්තිකයන්ට යම් මුදලක් ගෙවීමෙනි. තවත් සමහර අය තමන්ට පෞද්ගලිකව ලැබෙන තොරතුරු භාවිත කරයි. වෙබ් අඩවි හැටියට ලියාපදිංචි මාධ්‍ය තම ‘සර්වර්’ සඳහා, අන්තර්ජාල සැපයුම්කාර ආයතනවලට යම් වාර්ෂික මුදලක් ගාස්තු වශයෙන් ගෙවිය යුතු ය. ඊට අමතරව දේශීයව ගෙවිය යුතු වාර්ෂික ලියාපදිංචි ගාස්තු ද තිබේ. වෙබ් අඩවියේ තාක්ෂණික ක‍්‍රියාකරුවන්ට ද මුදල් ගෙවිය යුතු ය. වෙබ් අඩවිකරුවන් මෙම වියදම් සම්පාදනයකර ගන්නේ, එක්කෝ අනුග‍්‍රාහක දැන්වීම් මගිනි. නැතිනම් පාඨක පරිත්‍යාග මගිනි. බ්ලොග් සහ සමාජ මාධ්‍ය ජාල සඳහා නම් එබඳු වැය බරක් නැත. (නව මාධ්‍ය ධාරාව පරිශීලනය කරන මහජනයා ද මුදල් ගෙවන්නේ නැත.) එබැවින් නව මාධ්‍ය සඳහා ඇත්තේ අවම වැය බරකි. අවම වියදමකි. කොටින්ම අන්තර්ජාලය මුල්කර ගත් මාධ්‍ය සඳහා දරන්නට වන වියදම, ජාතික ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක් සඳහා දරන්නට වන වියදමට සාපේක්ෂව බොහොම සොච්චමකි.
සම්ම්ත ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සඳහා එසේ නොවේ. ඒ සියල්ලම ආයතනික ව්‍යුහයන් වෙති. ඒවා ‘වාණිජ මාධ්‍ය කර්මාන්ත’ ලෙස ද ගිනිය හැකි ය. විද්‍යුත් මාධ්‍ය ආයතනවලට කැමරා ඇතුළු විවිධ උපකරණ, රථ වාහන, ගොඩනැගිලි ආදී යෙදවුම් මෙන්ම සේවකයන් විශාල සංඛ්‍යාවක් ද අවශ්‍ය වේ. රජයට ගෙවිය යුතු බදු මුදල් මෙන්ම වාර්ෂික විකාශන බලපත‍්‍ර ගාස්තු ද ඔවුන්ගේ වැය බරට ඇතුළත් ය. මුද්‍රිත මාධ්‍ය ආයතනවලට නම් වෙබ් මොඩලයේ සමතල මුද්‍රණ යන්ත‍්‍ර, තීන්ත, කඩදාසි, පරිගණක යන්ත‍්‍ර ආදිය මෙන්ම ගොඩනැගිලි, රථ වාහන සහ සේවකයන් විශාල සංඛ්‍යාවක් ද අවශ්‍ය වේ. ඔවුන් ද රජයට බදු මුදල් ගෙවිය යුතු ය. ඒ අනුව ගත් කල, ලංකාවේ පමණක් නොව ලොව ඕනෑම රටක විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන යනු මහා පරිමාණ ආයෝජනයකි. වෙළෙඳ දැන්වීම් ගැනීමෙන් තොරව ඒවායෙහි වැය බර පියවා ගෙන, පවත්වා ගෙන යාමට නුපුළුවන. එසේම ඒවායෙහි හිමිකරුවන් ලාභ තීරු ද අපේක්ෂා කරති.
තමන් ප‍්‍රසිද්ධියට පත් කරන ප‍්‍රවෘත්ති සහ වැඩසටහන් සම්බන්ධයෙන්, ඕනෑම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයකට සිය වෙළෙඳ දැන්වීම් අනුග‍්‍රාහකයන්ගේ බලපෑම්වලට මුහුණ දීමට සිදු වෙයි. එබැවින් ජාතික ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය, සෑම විටම සිය දැන්වීම් අනුග‍්‍රාහක ආයතන සමග යම් අවබෝධයකින් කටයුතු කරනු දැකිය හැකි ය. රජයේ මාධ්‍ය ආයතනවලට පවා මේ බලපෑම් එල්ල වනු පෙනෙයි.
මේ කාරණය ජාතික පුවත්පත්වලට ද වලංගු ය. සම්මත පුවත්පත් කලා රීතීන්ට අනුව, යම් පුවත්පතක සමස්ත ඉඩකඩෙන් සියයට 60ක් වෙන් වන්නේ කර්තෘ මණ්ඩලය මගින් කරන පළ කිරීම් සඳහා ය. එනම් ප‍්‍රවෘත්ති හෝ විශේෂාංග පිණිස ය. ඉතිරි සියයට 40ක ඉඩකඩ වෙළෙඳ දැන්වීම් පිණිස වෙන් වෙයි. සම්මතය එසේ වුව ද, වර්තමාන පුවත්පත්වල කියවීමට පළ කෙරෙන ලියැවිලිවල ඉඩ ප‍්‍රමාණය තීන්දු කරන්නේ ඒවායෙහි කර්තෘවරු නොවේ. වෙළෙඳ දැන්වීම් ගැනීම බාරව සිටින ප‍්‍රධානීන් ය! පුවත්පත්වල මුල් පිටුව පවා වෙළෙඳ සමාගම්වලට විකිණෙන්නේ ද, කිරිපිටි සහ සුවඳ විලවුන් කර්මාන්ත, සකස් කළ ආහාර හෝ බෝතල් කළ ඇතැම් පාන වර්ග, පිළිබඳ විවේචන ඒවායෙහි පළ නො වන්නේ ද, නිකම්ම නොවේ. මහා පරිමාණ වෙළෙඳ සමාගම්වල ‘සුහදතාවය’ නිසා ය. ඇතැම් වෙළෙඳ සමාගම්වල කෙරුවාව ගැන ප‍්‍රචාරක මාදිලියේ විස්තර පළ වන්නේ ද ඒ නිසා ය. දැනට වසර කිහිපයකට ඉහත හට ගත් ‘ආසනික්’ පිළිබඳ අරගලය මීට හොඳ නිදසුනකි. එකල ඇතැම් කෘෂි රසායන සමාගම්කරුවෝ, ආසනික් විරෝධී පුවත්පත්වලට සිය වෙළෙඳ දැන්වීම් දීමෙන් වැළකී සිටියහ! ප‍්‍රචාරක කටයුතු විෂයෙහි වෙළෙඳ සමාගම්වල අධිපතිවාදී ක‍්‍රියාකාරිත්වය නිසා, පාඨකයන්ගේ අයිතීන් උල්ලංඝණය වන බව සහ ඔවුන්ගේ තොරතුරු අවස්ථා සීමා වන බව දැන් ඉතාමත් පැහැදිලි ය. තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් එය ගැටළුවකි.
එයින් පත්තර කතුවරුන්ට පමණක් නොව, පාඨක මහජනතාවට ද අගතියක් වන බව ඇත්ත ය. එහෙත් ජාතික තලයේ මාධ්‍ය කර්මාන්තය ‘නිරුපද්‍රිතව’ පවත්වා ගෙන යාමට මුදල් ද අවශ්‍ය බැවින් සියල්ල ඉවසා සිටීමට කර්තෘවරුන්ට සිදු වේ!
ලියුම්කරු වරක්, ලංකාවේ ළමා මන්දපෝෂණයෙහි නරක තත්ත්වය ගැන ඔහු එවකට සේවය කළ පුවත්පතට ලිපියක් ලිව්වේ ය. ඔහු ලිපිය ආරම්භ කළේ, කලක පටන්ම රූපවාහිනී නාලිකා ඔස්සේ පට්ටා ගැසෙන එක්තරා කිරිපිටි දැන්වීමක ඇති වචන දෙක තුනක් ද ඈඳා ගනිමිනි. ලියුම්කරු පැවසුවේ රූප පෙට්ටියේ කිරිපිටි දැන්වීම්වලින් පෙන්වන, සුන්දර පුෂ්ඨිමත් ළමා ලෝකය රටේ සැබෑ ළමයින් තුළ නැති බවයි! ලිපිය ප‍්‍රතික්ෂේප විය. ‘මචං, උඹ දන්නවානේ කිරිපිටි ගැන ඕවා දාන්න බෑ කියලා’ යයි එහි බලවතෙක් ඊට හේතු දැක් වූයේ ය. වරක් එක්තරා ඉරිදා පුවත්පතක් මුල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටියේ ය. එය කොතෙක් උග‍්‍ර වී ද යත්, අප‍්‍රියෙල් මාසයේ එළඹි අලූත් අවුරුද්දට සිය සේවකයන්ට අත්තිකාරමක්වත් දෙන්නට නුපුළුවන් විය. ඉතින් ආයතන බලධාරීහු එක්තරා ආහාර වෙළෙඳ සමාගමක් සමග ‘දැන්වීම් ගිවිසුමක්’ අත්සන් කළෝ ය. ඉන් පසුව පිටු ගණන් දැන්වීම් පළ විය. අලූත් අවුරුද්දට ගෙදර යන සේවකයන්ට, වෙළෙඳ සමාගමේ නිෂ්පාදන ඇතුළත් ලොකු ‘බඩු මල්ල’ බැගින් තිළිණ කෙරිණි! ලියුම්කරුටත් ඉන් මල්ලක් ලැබිණි. මේ නිදසුන් දෙක සඳහන් කළේ, මාධ්‍ය ආයතන සහ වෙළෙඳ සමාගම් අතර පැවතිය හැකි ‘සුහදතාවය’ ගැන කියනු පිණිස ය.
ප‍්‍රවෘත්ති ‘පළ වීම’ හෝ ‘නො වීම’ කෙරෙහි බලපාන ප‍්‍රධාන කරුණු තුන, දැන් මෙසේ ගොනුකර ගත හැකි ය.
0 - මාධ්‍ය ආයතන හාම්පුතුන්ගේ ප‍්‍රතිපත්ති හා දේශපාලනය,
0 - ඔවුන්ගේ වාණිජ අරමුණු සහ
0 - වෙළෙඳ දැන්වීම් ක‍්‍රියාවලියෙහි ආධිපත්‍යය යනු ඒවායි.
මේවාට අමතරව, කර්තෘවරුන්ගේ සිතුම් පැතුම්, වාර්තාකරණ ක‍්‍රියාවලියෙහි දෝෂ ආදිය ද, ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම කෙරෙහි බලපායි. ඒවා සංඛ්‍යාත්මකව ඉතා සුළු සිද්ධීන් වේ.
වගකීම පිළිබඳ සංකල්පය
මීට එක් කළ යුතු තවත් අතුරු කාරණයක් ද තිබේ. එනම් පළ කෙරෙන ප‍්‍රවෘත්ති පිළිබඳ ‘වගකීම’ නමැති ප‍්‍රශ්නයයි.
ලංකාවේ පවතින නීති රීති අනුව, ප‍්‍රවෘත්ති පළ කිරීම යනු රටේ පොදු නීතියට යටත් ක‍්‍රියාවලියකි. ඊට අමතරව පුද්ගල අපහාස නීතිය, බුද්ධිමය දේපල පනත ඇතුළු තවත් අණ පනත් කීපයක් ද ඒ හා ගැට ගැසී තිබේ. එබැවින් ඕනෑම මාධ්‍ය ආයතනයක් (විද්‍යුත් හෝ මුද්‍රිත) ප‍්‍රවෘත්ති පළ කළ යුත්තේ, එම නීති රීති උල්ලංඝණය නො වන පරිද්දෙනි. මේ කාරණයේ දී ජාතික ධාරාවේ සෑම මාධ්‍ය ආයතනයක්ම, සිය ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් නෛතික වගකීමකට බැඳී සිටිති. පුවත්පතක නම්, යම් ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වගකිව යුත්තේ එහි ප‍්‍රධාන කර්තෘවරයා, ප‍්‍රකාශකයා සහ මුද්‍රණකරුවා යන තිදෙනා ය. ඔවුන් සිය පාඨක රට වැසියන්ගේ ගෞරවය මෙන්ම ඔවුන්ගේ කීර්තිනාමය පිළිබඳ ගෞරවය ද සුරැකිය යුත්තේ ය. ඔවුන් ප‍්‍රවෘත්ති පළ කරන්නේ එම වගකීම් ද සිතෙහි තබා ගනිමිනි. මෙම තත්ත්වය ද, නිදහස් මාධ්‍ය වාර්තාකරණයකට එරෙහිව ඇති සීමාවක් හෝ වාරණයක් ලෙස යමෙකුට අර්ථ නිරූපනය කිරීමට පුුළුවන!
කරුණු මෙසේ හෙයින් සම්මත ජාතික ධාරාවේ ජනමාධ්‍ය ආයතන, ‘තොරතුරු සඟවනවා’ කියා හෝ ‘ප‍්‍රමාණවත් තරම් හෙළිදරව් නො කරනවා’ කියා හෝ චෝදනා එල්ල වීම අසාධාරණ ද නොවේ! ‘පත්තරවල බොරු පළ වෙනවා ය’ යන අදහසක්, ජන සමාජය තුළ රෝපණය වන්නට ඇත්තේ ද එබැවිනැයි ලියුම්කරුට සිතේ. ඇත්තටම මාධ්‍ය ලෝකයෙන් පිටස්තර ජනයා, මෙබඳු අභ්‍යන්තර කාරණා ගැන සහ සුද්දෙන් නො දනිති. ඔවුන් දන්නේ පත්තරවල ‘ඇත්ත’ පළ නො වන බව පමණකි. ඒ අතර ‘නව මාධ්‍ය’ විසින් සියල්ල හෙළි කරනු ලැබේ. එවිට ජාතික ධාරාවේ මාධ්‍ය ‘ඇත්ත’ නො කී බව පිළි ගැනීමට සිදු වේ. මෙම තත්ත්වය නිසා පාඨකයා සහ මාධ්‍ය ආයතනය අතර පැවති විශ්වාසය පළුදු වේ. ඉන් පාඨකයන් බුරුතු පිටින් ගිලීහී යයි!
සියල්ල සහ සුද්දෙන්ම දැන ගත යුතු ද?
අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය ධාරාව ප‍්‍රචලිත වීමත් සමගම, ‘මහජනතාව විසින් සියල්ලම, එනම් සියලූම තොරතුරු සහ සුද්දෙන්ම දැන ගත යුතුය’ වැනි අදහසක් නව තාක්ෂණික සමාජයෙහි රෝපණය වී තිබේ. ජනමධ්‍ය ඔස්සේ කෙරෙන ‘ප‍්‍රවෘත්ති වාර්තාකරණය’ යයි කියන්නේ එයට නම්, සම්මත ජාතික ධාරාවේ මාධ්‍යට, නව අන්තර්ජාල මාධ්‍ය සමග හැරෙන්නටවත් බැරි ය! ඒ ඔවුන්ට ලැබෙන සෑම තොරතුරක්ම ක්ෂණිකව සිය මාධ්‍යට මුදා හැරිය හැකි බැවිනි. ඔවුන්ගේ තොරතුරු සමාජයට, රටේ පොදු නීති හෝ මාධ්‍ය ආචාරධර්ම ආදිය බලපාන බවක් ද පෙනෙන්නට නැත. තොරතුරු පෙළගැස්වීමක් නො කෙරෙන බැවින් මාධ්‍ය ගැන දැනුවත් භාවයක් ද අවශ්‍ය නැත. එබැවින් ඔවුන්ට සීමා රහිතව තොරතුරු මුදා හැරීමට පුළුවන.
නව මාධ්‍ය ගැන අභිරුචියෙන් කතා කරන අය පවසන්නේ, එය අති විශාල නිර්භීතකමක් හෝ, අති විශාල සමාජ මෙහෙවරක් හෝ, අති විශාල සමාජ කාර්යභාරයක් හැටියට ය. එය තාක්ෂණික සමාජයෙහි අලූත් ප‍්‍රවණතාවයකි.
අන්තර්ජාලය මුල්කර ගෙන නව මාධ්‍ය ඉස්මතු වීම තුළ, ඉතා වැදගත් කාරණා දෙකක් පැන නැගෙයි.
0 - ඉන් පළමු වැන්න වන්නේ, නව මාධ්‍ය ඉස්මතු වීම නිසා සම්මත ධාරාවේ ජාතික මාධ්‍යවලට (මුද්‍රිත මාධ්‍ය ද ඇතුළුව) හෙට දවසේ දී කුමන ඉරණමක් අත්වේ ද? යන්නයි.
0 - දෙවැන්න, ඉස්මත්තට පැමිණි නව මාධ්‍යවල වගකීම සහ සදාචාර සම්පන්න භාවය කොතෙක් දුරට සමාජ ගෝචරවේ ද? යන්නයි.
කාරණා දෙකම අතිශයින්ම සංකීර්ණ ය. සංවේදී ය.
(මතු සම්බන්ධයි)
2016/01/28.
No comments:
Post a Comment