Total Pageviews

Thursday, January 7, 2016

ලංකාවේ මිණිකැට තුනක් නිල් මැණික් ලෝකයේ තව්තිසාවට!

ලංකාවේ මිණිකැට තුනක්

නිල් මැණික් ලෝකයේ තව්තිසාවට!
‘ආදම්ගේ තාරකාව’ මැණික සහ තවත් කතා
 


 
ආදම්ගේ තාරකාව (පින්තූර-බීබීසී)

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
බි‍්‍රතාන්‍යයේ බී. බී. සී. ලෝක සේවය 2016 ජනවාරි 04 වැනි දා, ‘ලොව ලොකුම නිල් ආර්නූල’ සේ සැලකෙන ‘ආදම්ගේ තාරකාව’
(Star of Adam)’  මැණික හෙළිදරව් කිරීමත් සමගම, නිල් මැණික්  පිළිබඳ ලංකාවේ කීර්තිය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලොව කපා ඔප දැමූ, විශාලතම නිල් ආර්නූල් ^Star Sapphire& මැණික් ගල් තුනම ශ‍්‍රී ලංකාවෙන් හමුවූ ඒවා වීම, ඊට හේතුවයි.
 
ඒ අනුව, බී. බී. සී. ය කියන ‘ආදම්ගේ තාරකාව’ කැරට් 1404.49ක් බරැති මැණික් ගලකි. දැනට එය කපා ඔප දැමූ ලොව ලොකුම නිල් ආර්නූල් මැණිකයි. දෙවැන්න, ‘ඉන්දියාවේ තාරකාව ^Star of Lanka)’ නම්, කැරට් 563ක් බරැති නිල් ආර්නූල් මැණික් ගලයි. තුන් වැන්න, කැරට් 392.92ක් බරැති ‘ලංකාවේ තාරකාව’ ^Star of Lanka)  යනුවෙන් ප‍්‍රකට නිල් ආර්නූල් මැණික් ගලයි.  මේ මැණික් ගල් තුනම හමුවී ඇත්තේ ලංකාවෙනි. ‘ලංකාවේ තාරකාව’ මාතලේ දිස්ත‍්‍රික්කයෙනි. අනෙක් මැණික් ගල් දෙකම රත්නපුරයෙනි. රටක් හැටියට එය අතිශයින්ම අභිමානවත් කාරණයකි.

‘නිල් මැණික්‘
^Blue Sapphire කියන්නේ ‘කොරන්ඩම්’ ^Corundum පවුලට අයත් ඛනිජමය ස්ඵටික විශේෂයක්. එහි ඇති නිල් වර්ණයත්, දුර්ලභතාවයත්, ඉහළ දැඩියාවත් නිසා වටිනාකමින් අධිකයි. නිල් මැණිකකට, රිදී පාට නූල් හයක් (Ray) පිහිටියාම අපි එයට ‘ආර්නූල් මැණික’ ^Star Sapphire& යයි කියනවා. එය ඉතා අලංකාර මැණිකක්. කොරන්ඩම් පවුලටම අයත් ‘රතු මැණිකකට’ නූල් හයක් පිහිටියාම,  අපි ඒකට ‘රතු ආර්නූල් මැණික’ ^Star Ruby යයි කියනවා. සාමාන්‍යයෙන් වෙළෙඳපොලේ දී ඉහළම මිල වැටෙන්නේ නිල් හෝ රතු ආදී මැණික් ගල්වලටයි. ඒවාට සාපේක්ෂව, ‘ආර්නූල් මැණික්වලට’ වැටෙන මිල ටිකක් අඩුයි. ඔය ආර්නූල් මැණික මමත් දැක්කේ බී. බී. සී. එකෙන් තමයි. ඉතින් ඒක අතට අරන් බලන්නේ නැතිව ඒ ගැන යමක් කියන්න බෑ. කොයිහැටි වෙතත්, මාධ්‍යවල කියන විස්තර අනුව නම් ඒක දුර්ලභ ගණයේ මැණිකක්. දැනට වාර්තාවෙලා තියෙන ගල්වල හැටියට නම්, ‘Star of Adam  මැණික ලෝකේ ලොකුම නිල් ආර්නූල වෙන්න පුළුවන්. ඒක ඉතින් පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි. මොකද, මීට පෙරත් ලංකාවෙන් විශාල ප‍්‍රමාණයේ නිල් මැණික් හමුවී තිබෙනවා. සමහර විට මීටත් වඩා විශාල, වාර්තා නොවූ නිල් මැණික් රත්නපුරයේ තිබෙන්නත් ඉඩ තිබෙනවා’ යයි ප‍්‍රවීණ මැණික් විද්‍යාඥයෙකු වන ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා සඳහන් කළේ ය.
 
ඔහු මේ බව සඳහන් කළේ, 2016 ජනවාරි 04 වැනි දා බි‍්‍රතාන්‍යයේ බී. බී. සී. ලෝක සේවය වාර්තා කළ ‘ලොව ලොකුම නිල් ආර්නූල් මැණික’ සේ සැලකෙන ‘ආදම්ගේ තාරකාව’ පිළිබඳ විමසීමේ දී ය. බී. බී. සී. ය සඳහන්කර තිබුණු ආකාරයට, එය ශ‍්‍රී ලංකාවේ රත්නපුරයෙන් හමුවුණු මැණික් ගලකි. එය කපා ඔප දැමූ පසුව කැරට් 1404.49ක් බරැති බව, මැණික පරීක්ෂා කළ  zThe gemology institute in the capital ColomboZ ආයතනය පවසා ඇත. මැණිකෙහි හිමිකරුවන් එය ‘ආදම්ගේ තාරකාව’ ^Star of Adam  යයි නම්කර තිබේ. බි‍්‍රතාන්‍යයේ, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ඛනිජ විද්‍යාඥයෙකු වන zSimon Redfern මහතා ද මැණික ගැන අදහස් පළකර ඇත. ජාත්‍යන්තර තලයේ මැණික් විද්‍යාඥයන් කියන්නේ, එය ලොව මෙතෙක් හමුවූ විශාලතම නිල් ආර්නූල් මැණික බව ය.

මීට පෙර වාර්තා වූයේ, ලොව ලොකුම නිල් ආර්නූල් මැණික කැරට් 1395ක් වන බවත්, එය රත්නපුර, කහවත්තේ ගුරුගේ මැණික් සමාගම සතුව ඇති බවත් ය. එහෙත් ඒ ගැන වැඩි තොරතුරක් හෙළිදරව් වී නැත. ඒ අනුව බලන විට, බී. බී. සී. ය හෙළි කළ ‘ආදම්ගේ තාරකාව’ ඊට වඩා විශාල මැණිකකි.


 
ඉන්දියාවේ තාරකාව
ඉන්දියාවේ තාරකාව
මෙතෙක් කපා ඔප දැමූ  ලොව විශාලතම නිල් ආර්නූල ලෙස සැලකුණේ, ‘ඉන්දියාවේ තාරකාව
^Star of India&Z නම්, කැරට් 563ක් බරැති මැණික් ගලයි. එය ද අදින් වසර 300කට පමණ ඉහත ශ‍්‍රී ලංකාවෙන් හමු වූ බව සඳහන් වේ. ඉන්දීය ව්‍යාපාරිකයෙකු අතින් විදෙස්ගත වූ නිසා එය ‘ඉන්දීය තාරකාව’ යනුවෙන් නම් කෙරුණු බව කියයි. එය දැනට ඇමරිකාවේ නිව්යෝක් නුවර, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ^American Museum of  Natural History& සුරක්‍ෂිතව තැන්පත් කර ඇත. පසුගිය දා ‘ආදම්ගේ තාරකාව’ ^Star of Adam මැණික හෙළිදරව් වීමත් සමගම, එය ලොව දෙවැනි විශාලතම නිල් අර්නූල බවට පත් විය.

ලංකාවේ තාරකාව
තවත් විශාල නිල් ආර්නූල් මැණිකක් 1973 වසරේ ශ‍්‍රී ලංකාවෙන් හමු විණි. එය නම් කෙරුණේ, ‘ලංකාවේ තාරකාව
^Star of Lanka) යනුවෙනි. ලංකාවේ තාරකාව, කැරට් 392.92ක් බරැති නිල් ආර්නූල් වර්ගයේ ^Star  Sapphire& කපා, ඔප දැමූ මැණිකකි. එය හමුවී ඇත්තේ මාතලේ දිස්ත‍්‍රික්කයේ, හත්තොට අමුණ ප‍්‍රදේශයෙනි. මැණිකෙහි වත්මන් හිමිකරුවා, ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි.

 
ලංකාවේ තාරකාව
 එය මිල දී ගැනීමේ දී, මැණික පරීක්ෂාකර තක්සේරුකර ඇත්තේ, එවකට රාජ්‍ය මැණික් සංස්ථාවේ (දැන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය) මැණික් විද්‍යාඥයෙකු ලෙස සේවය කළ ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා ය. ඔහුගේ තක්සේරුව පරිදි, මැණික් සංස්ථාව එකල එය මිලයට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 15කට ය. එය, කපා ඔප දැමූ ලොව තුන් වැනි විශාලතම නිල් ආර්නූල් මැණික ලෙස සැලකෙයි. ගලෙහි වර්ණය තද නිල් ය. හොඳින් දර්ශනය වන රිදීවන් රේඛා 06ක් දක්නට ඇත. Star of Lanka"  ඉතා දුර්ලභ මැණිකකි.

ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා පවසන අන්දමට, නිල් මැණික් අතිශයින්ම මිල අධික ය.
 

‘සාමාන්‍යයෙන් කැරට් 10ක ඉස්තරම් තත්ත්වයේ නිල් මැණිකක්, කැරට් එක රුපියල් ලක්ෂ 50ක් විතර වෙනවා. ගල ලොකු නම් කැරට් එකක මිල ඊටත් වඩා වැඩියි. මේ ළඟදි පැල්මඩුල්ලේ කැරට් 30ක විතර නිල් ආර්නූලක් රුපියල් එක්කෝටි ගාණකට විකිණුනා. ගල කුඩා වුණත් එහි තත්ත්වය ඉස්තරම් නම් මිල වැටෙනවා වැඩියි. ළඟ දී මං සඟරාවක දැක්කා, මියැන්මාරයේ කැරට් 08ක රතු මැණිකක් රුපියල් කෝටි තුනකට (ඩොලර් මුදල ගැලපූ විට) විතර විකිණුනා කියලා. ගල දුර්ලභ නම්, ගැණුම්කාරයාට වදිනවා නම්, මිල ඉහළ යනවා’, ඔහු කියන්නේ ය.

 
ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා (පින්තූරය-රංජිත් ඉලේපෙරුම)

 ‘නිල් මැණික්’ යනු ‘කොරන්ඩම්’ ^Corundum& පවුලට අයත් මැණික් විශේෂයකි. ස්ඵටික ගුණය අතින් ඉතා ඉහළ එයට, නිල් වර්ණය ලැබී ඇත්තේ යකඩ හා ටයිටේනියම් යන මූල ද්‍රව්‍ය දෙක අපද්‍රව්‍ය (ඔක්සයිඩ්) ලෙස එක්වීමෙනි. ලා වර්ණයේ සිට ඉතාමත් තද පැහැති ‘කාක නිල්’ දක්වා වෙනස් වර්ණ පරාසයන් සහිත නිල් කැට ලංකාවෙන් හමු වේ.

ඛනිජ විද්‍යාඥයෝ ලංකාවේ හමුවන මැණික් වර්ග පවුල් 11කට බෙදා දක්වති. ඒ කොරන්ඩම්, කණක, කිරිංචි, පඩියන්, තරිප්පු, ජාගුන්, රබහ, තෝරමල්ලි, පළිඟු, පෙල්ඩ්ස්පාර් සහ කැල්සයිට් වශයෙනි. මින් නිල් මැණික් අයත් වන්නේ කොරන්ඩම් පවුලට ය. පොදුවේ ගත් කළ, ලොව නිල් මැණික් හමුවන රටවල් බොහොමයකි. ශ‍්‍රී ලංකාව, ඉන්දියාවේ කාශ්මීරය, මියැන්මාරය (බුරුමය),  ඕස්ටේ‍්‍රලියාව, තායිලන්තය, ඇමරිකාව, මැඩගස්කරය, ටැන්සානියාව, පකිස්ථානය, කෙන්යාව, ඇෆ්ගනිස්ථානය, සහ චීන යන රටවල් ඒ අතර ප‍්‍රධාන වේ. එයින් ද තත්ත්වයෙන් ඉතාමත් උසස් යයි කියන්නේ, ශ‍්‍රී ලංකාවේ නිල් මැණික් ය. ඊට අමතරව කාශ්මිරයේ නිල් මැණික් ද තත්ත්වයෙන් උසස් ලෙස පිළිගැනෙයි.
(විශේෂ-කැරට් 5000ක් යනු, කිලෝග‍්‍රෑම් 01කි)
2016/01/07.

6 comments:

  1. හැමදාමත්.. වටිනා යමක්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මැණික් තියෙන අයට කොහොමත් ජයයි.

      Delete
  2. බොහොම ස්තුතියි හැමදාමත් අලුත් යමක් ඉගෙන ගන්නට ලැබීම වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. අනගි ලිපියක්.
    නව රත්න මැනික් ගල් කට්ටලයකට අව්ස්ස මැනික් වර්ග මොනවද ?.

    ReplyDelete
    Replies
    1. නවරත්න කට්ටලයට-රතු (අඟහරු)/නිල්(සෙනසුරු)/පුෂ්පරාග(බ්‍රහස්පති)/පද්මරාග(හිරු)/පච්ච(බුධ)/ගෝමේද(රාහු)/සුදු නිල්(සිකුරු)/වෛරෝඩි(කේතු) යන මැණික් වර්ග සහ මුතු(සඳු)යොදා ගන්නවා.එය නව ග්‍රහයන්ට කරන පූජාවක් ලෙසයි සැලකෙන්නේ. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete