රත්නපුරයෙන් හෙළිදරව් වූයේ
ලොව ලොකුම ඒකනයිට් මැණික ද?
කැරට් 498.10ක ඒකනයිට් මැණික/Star Ekanite of Munasinghe Gemstone-498.10 kt. |
ලොව ඉතාමත් දුර්ලභ යයි සැලකෙන, දැඩි විකිරණශීලී මැණික් වර්ගයක් වන ‘ඒකනයිට්’ (Ekanite) වර්ගයට අයත් විශාල මැණික් ගලක්, 2016 ජනවාරි 23 වැනි දා සවස රත්නපුරයේ දී මාධ්‍යට අනාවරණය කරනු ලැබී ය. කපා, ඔප දමා ඇති එහි බර කැරට් 498.10කි.
එය ලොව ලොකුම ‘ඒකනයිට්’ මැණික යයි සැලකෙන මැණික් ගල මෙන්, තුන් ගුණයකටත් වඩා විශාල මැණිකක් වීම, මෙහි විශේෂත්වයයි.
ලක්ෂ්මන් මුණසිංහ මහතා ඒකනයිට් රළු මැණික අතැතිව |
එහි වර්ණය ඉස්තරම් ‘පැණි’ පැහැයයි. මැණික ඇතුළත, දෝෂ පළුදු රහිත පැහැදිලි පෙනුමකි. මැණික ඇතුළත බෙහෙවින් වර්ණවත් ය. එහි ආර්නූල් මැණිකක මෙන් ‘රේඛා’ හෙවත් ‘නූල්’ 08ක් ද පැහැදිලිව දක්නට ලැබේ. මැණික කපා, ඔප දමා ඇත්තේ ‘කැබිෂන්’ මෝස්තරයෙනි. ප‍්‍රවීණ මැණික් විද්‍යාඥයෙකු වන ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා, 2016 ජනවාරි 23 වැනි දින මැණික පරීක්ෂාකර තත්ත්ව සහතිකයක් නිකුත්කර ඇත. එය ද ‘Star Ekanite’ වර්ගයේ මැණිකකි. මැණික හිමිකරු එය Star Ekanite of Munasinghe යනුවෙන් නම්කර ඇත. කපා ඔප දැමූ අනෙක් ඒකනයිට් මිණි කැටය, කැරට් 195ක් බර මැණිකකි.
ඒ අනුව බලන විට, රත්නපුරයේ දී මාධ්‍යට හඳුන්වා දුන් ඒකනයිට් මැණික් ගල් දෙකම, ඇහැලියගොඩ ඒකනයිට් මැණිකට වඩා විශාල ය.
ඒකනයිට් මැණික කපා ඔප දමන්නට පෙර-කැරට් 1058යි |
ඒකනයිට් මැණික් ගල්වලින් විකිරණ නිකුත් වන බැවින්, මනුෂ්‍ය භාවිතාවට නො ගැනේ. ඒවා තැන්පත්කර තබන්නේ ද, මිනිස් වාසයෙන් බැහැර, දැඩි ආරක්ෂක විධික‍්‍රම යටතේ ය.
ඒකනයිට් ඛනිජය ලොව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1953 දී, ශ‍්‍රී ලංකාවෙනි. ඉන් පසුව ශ‍්‍රී ලංකා රේගුවේ සේවය කළ මැණික් විද්‍යාඥයෙකු වන එෆ්. එල්. ඞී. ඒකනායක මහතා ඒ ගැන පර්යේෂණ කළේ ය. ඉන් හෙළි වූයේ එය ඉතා දුර්ලභ නව මැණික් විශේෂයක් බවයි. පසුව වර්ෂ 1961 දී නව මැණික් විශේෂය මුලින්ම සොයා ගත් එෆ්. එල්. ඞී. ඒකනායක මහතාගේ නම ද සම්බන්ධකර, එය ‘ඒකනයිට්’ යනුවෙන් නම් කෙරිණි. මේ සම්බන්ධ පර්යේෂණ ලිපියක්, zNatureZ නමැති ජාත්‍යන්තර සඟරාවේ, ‘190,997 (1961 June 10)’ කලාපයෙහි පළවී තිබේ.
දුර්ලභ මැණිකක් වන ඒකනයිට්, දැනට ශ‍්‍රී ලංකාව, රුසියාව, ඇමරිකාව සහ කැනඩාව යන රටවලින් හමුවී ඇත.
2015/01/26.
අපූරු තොරතුරු එකතුවක්. විකිරණශීලී මැණික් තිබෙන බව කලින් දැනසිටියේ නැහැ. මෙය මනුෂ්‍යයාට හානිදායක ලෙස යොදාගැනීමට පුළුවන් නේද?
ReplyDeleteලංකාවෙන් විකිරණශීලී මැණික් වර්ග කිහිපයක් හමුවෙනවා. ඒකනයිට්/තෝරියනයිට්/මෙටාමික්ට් ඇලනයිට් යනු ඒවායි. මේවා පරිහරණය කරන්‍නේ නෑ. මේ මැණික් නිසා තිදෙනෙක් පිළිකා හැදී මැරුණු බව කියැවෙනවා. ඒත් විස්තර සොයා ගන්න නෑ. බෙලෙක්කයක බහා, පොළොවේ වළලා තැබීමයි කරන්‍නේ. අනෙක මෙබඳු මැණික් හැමෝම හදුනන්‍නේත් නෑ. යමෙක් නො දැන පැළඳුවොත් හානි වෙන්න පුළුවන්. ඒ වුණත් 23 වැනිදා රත්නපුරේ දී ඔය ඒකනයිට් ගල මමත් අතට ගත්තා. සුළු වේලාවක් එසේ ගත්තාට හානි නො වන බව මම සිතනවා. ගල විනාඩි තුනක් විතර අතේ තියා ගෙන හිටියොත් අත යම් ගැස්මකට ලක් වන බව අසන්නට ලැබුණා. අපි අත්හදා බලන්නට ගියේ නෑ. ඔබේ කොමෙන්ටුවට ස්තුතියි.-ක්‍රිෂ්ණ.
Deleteමේ ආකාරයේ මැනික් වලින් ගන්නා ප්‍රයෝජන මොනවාද...?(මැනික් හෝ වෙනත් වටිනාකමින් ඉහල ආභරන පැලදීම නොසලකමි)
ReplyDeleteමේවා පළදින්න නම් බෑ. ඒත් මැණික් සහ ඛනිජ ප්‍රදර්ශනාගාර සහ මැණික් රසායනාගාර සඳහා ඒවා ගන්නා බව සැලයි. අනෙක, විකිරණශීලී මැණික් වර්ග බහුලව හමුවන බවක් ද අසන්නට ලැබෙන්නේ නෑ.ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.-ක්‍රිෂ්ණ.
Deleteශ්‍රී ලංකාවෙන් ඉහත කී විකිරණශීලී අනෙක් මැණික් වර්ගත් හමුවී තියෙනවාද?
ReplyDeleteලංකාවේ ඛණිජවැලි පිලිබඳ යම් විස්තරයක් (පැවතීම හා වර්තමානයේ ප්‍රයෝජනයට ගන්න ආකාරය.) ඉදිරිපත්කල හැකිද?
ජයවේවා..!!
තෝරියනයිට් සහ මෙටාමික්ට් ඇලනයිට් නම් හමුවී ඇති බව මා අසා තිබෙනවා. මා ඒවා දැක නෑ. ඒවා හමුවූ අයත් පරිහරණය කරන්‍නේ නැතිව ඇති. ඛනිජ වැලි ගැන ඉදිරියේ දී බලමු. ප්‍රතිචාරයට ස්තුතියි.-ක්‍රිෂ්ණ.
Deleteekanite කැරට් එකක් කීයකට වගේ දෙන්න පුලුවන්දඒ
ReplyDeleteඒකනයිට් මැණික් ගැන විස්තර ටිකක් ඕන මට
ReplyDeleteකොච්චර වටිනවද කියල
කියල