Total Pageviews

Friday, January 29, 2016

ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-01-ඊ පරම්පරාවේ සන්නිවේදන පෙරළිය

ජාතික ජන මාධ්‍ය සහ
නව මාධ්‍යයෙහි අභියෝගය-01
‘ඊ පරම්පරාවේ’ සන්නිවේදන පෙරළිය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘තොරතුරු හෝ ප‍්‍රවෘත්ති තවදුරටත් සැගවිය නො හැකි දෙයක් බව’ වර්තමානයේ ප‍්‍රචලිතව ඇති ‘නව මාධ්‍යවලට’ කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකුගේ අදහසයි. මෙහි දී නව මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි, බ්ලොග් අඩවි සහ ෆේස් බුක් ජාල ඇතුළු ‘සමාජ මාධ්‍ය’ ඔස්සේ ක‍්‍රියාත්මක වන, අන්තර්ජාලය මත පදනම් වූ මාධ්‍ය ධාරාවයි. මේවායින් සමහරක් ‘පුරවැසි මාධ්‍ය’ ලෙස ද හඳුන්වනු පෙනේ. ලංකාවේ සම්මත ධාරාවේ මුද්‍රිත මාධ්‍ය මගින් ඇතැම් තොරතුරු හෝ ප‍්‍රවෘත්ති සඟවන බවත්, නව මාධ්‍ය ඒවා නො පැකිලව නිරාවරණය කරන බවත්, ඒවාට රුචි කරන අය පවසති. එහි දී මුද්‍රිත මාධ්‍ය ජනතාව ගෙන්  ප‍්‍රතික්ෂේප වන බව ද ඔවුහු අදහති. එබැවින් තව වැඩි කලක් නො ගොස් ලංකාවේ මුද්‍රිත මාධ්‍ය සහමුලින්ම අවසන් ගමන් යනු ඇති බවත්, එවිට ඔවුන්ගේ ආස්ථානය නව මාධ්‍ය විසින් අත්පත්කර ගනු ඇති බවත්, ඔවුන්ගේ අලූත්ම  මතවාදයයි.

මෑතක මේ කාරණය පිළිබඳ පෙරළිකාර සටහනක් පළ වූයේ, ‘ලංකා ඊ නිවුස්’ ප‍්‍රවෘත්ති වෙබ් අඩවියේ ය.  2015 නොවැම්බර් 06 වැනි දා පළ වූ සටහන ලියා තිබුණේ, තුෂල් විතානගේ සහෘදයා විසිනි. සම්මත ධාරාවට අයත් සිංහල මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාවට අවශ්‍ය ඇතැම් තොරතුරු සඟවන බැවින්, මහජනයා ඉන් ඉවත්වී ‘නව මාධ්‍ය’ වෙත නැඹුරු වෙමින්  සිටින බව ඔහුගේ ලියැවිල්ලෙහි සඳහන් විය. එසේම එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ, ලංකාවේ චිත‍්‍රකතා  පත්තර අභාවයට ගියාක් මෙන් මුද්‍රිත මාධ්‍ය ද අවසන් ගමන් යාම විය හැකි යයි ද ඔහු පවසා තිබිණි. ‘පුරවැසි වාර්තාකරණය හමුවේ බිඳ වැටෙන ජාතික ජනමාධ්‍යවල අභිමානය’ යන්න ලිපියෙහි සිරස්තලය විය.

ලියුම්කරු, තුෂල් විතානගේ සහෘදයා ගෙන හැර පෑ ඇතැම් කාරණාවලට එකඟ නැත. එසේ වුව ද තුෂල් සිය ලියැවිල්ලෙන් මතු කරන ප‍්‍රධාන කාරණයට ලියුම්කරු ද එකඟ ය. ‘නව මාධ්‍ය විසින්, ඉතා වේගයෙන් මුද්‍රිත මාධ්‍ය අභිබවනය කරමින් සිටින්නේ ය’ යන්න, එම ප‍්‍රධාන කාරණයයි. එය වර්තමාන මාධ්‍ය ලෝකයේ කිසිවෙකුට බැහැර කළ හෝ ප‍්‍රතික්ෂේප කළ නො හැකි තත්ත්වයකි. එබැවින් තුෂල් මතු කළ සංවාදය තවත් අදියරකින් ඉදිරියට ගෙන යාම මෙම සටහනෙහි අරමුණයි. ලියුම්කරු එහි දී සම්මත ධාරාවේ මුද්‍රිත මාධ්‍ය පමණක් නොව, විද්‍යුත් මාධ්‍ය ද (සම්මත ධාරාවේ ජාතික මාධ්‍ය) සිය ලියැවිල්ලට හසුකර ගනියි. සම්මත ධාරාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලට ප‍්‍රවෘත්ති හෝ තොරතුරු ‘සැඟවීමට’ (සැඟවීමක් යයි කියන) සිදුව ඇත්තේ මන්ද? යන්න සහ වර්තමාන ජන සමාජය කෙරෙහි නව මධ්‍ය ධාරාවේ බලපෑම කොතෙක් ද? යන කාරණා එයින් සාකච්ඡුා කෙරේ.

නව මාධ්‍යයෙහි පැතිරීම
 කරුණු කාරණා විස්තර කරන්නට මත්තෙන්, අන්තර්ජාලය මුල්කර ගත් සමාජ මාධ්‍ය අද කොතෙක් දුරට ව්‍යාප්තව තිබේ ද? යන්න ගැන දළ අවබෝධයක් ගත යුතුවේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවට අනුව, එම වසරේ ලංකාවේ සිටි අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 33,83,458කි. වර්ෂයේ ජනගහණය සමග ගැලැප්පූ විට, රටේ සෑම හය දෙනෙකු ගෙන් එක් අයෙක් අන්තර්ජාල ග‍්‍රාහකයෙකි! ඊට අමතරව 2014 වසර වන විට ලංකාවේ භාවිත  වන ෆේස් බුක් ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 23ක් පමණ වන බව අසන්නට ලැබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015.12. 10 වැනි දින නිකුත් කළ ලංකාවේ පරිගණක සාක්ෂරතාවය පිළිබඳ තොරතුරු අනුව, රටේ ජනගහණයෙන් සියයට 24.6ක්ම ‘ඩෙක්ස්ටොප්’ හෝ ‘ලැප්ටොප්’ මාදිලියේ පරිගණක භාවිත කරති. ලංකාවේ සමස්ත පරිගණක සාක්ෂරතාව සියයට 26.8කි. පරිගණක සාක්ෂරතාවය වැඩිම බස්නාහිර පළාතේ ය. එය සියයට 38.3කි. වයස් අනුව ගත් විට පරිගණක සාක්ෂරතාවය වැඩිම අගයක් ගන්නේ, අවුරුදු 15-19 අතර කාණ්ඩයේ ය. ඔවුන් ගෙන් සියයට 27.6ක් අන්තර්ජාලය ද, සියයට 21.2ක් ඊමේල් ද භාවිත කරති. අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ අය අතර අන්තර්ජාල භාවිතය ඉහළ අගයක් ගනියි. වර්ෂ 2010-2014 කාලය තුළ, පරිගණක සතු ජනගහණය සියයට 66.9ක් විය.



සංඛ්‍යාලේඛනවලින් අපට කියන්නේ කුමක් ද? දැන් රටේ ජනගහණයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් පරිගණක මෙන්ම අන්තර්ජාලය ද භාවිත කරන බව ය. ඔවුන් විනෝදාස්වාදය, රැකියා කටයුතු, තොරතුරු සොයා ගැනීම, සහ මිතුරු ඇසුර ආදී විවිධ කාරණා සඳහා ඒවා භාවිත කරන බව ඉතා පැහැදිලි ය. මේ භාවිතාවන් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් යන බව ද පෙනේ. දැන් දැන් බොහෝ දෙනෙක් තොරතුරු ලබා ගැනීම සඳහා අන්තර්ජාලයේ පිහිට පතනු පෙනෙයි. ජංගම දුරකතන ඔස්සේ එන කෙටි පණිවුඩ මෙන්ම, අන්තර්ජාල පහසුකම ද දැන් තොරතුරු හුවමාරුකර ගැනීමේ මෙවලමක්වී තිබේ. එය නව භාවිතයකි.

තොරතුරු හෝ ප‍්‍රවෘත්ති ලබා ගැනීම සඳහා මිනිසුන් මාධ්‍ය භාවිත කරන්නේ කෙසේ ද? එහි පරිමාව කුමක් ද? යන්න, බරපතල කාරණයකි. ඒ ගැන හෙළිදරව් කෙරෙන සමීක්ෂණ වාර්තාවක්, 2016 ජනවාරි 27 වැනි දා කොළඹ දී එළි දුටුවේ ය. සමීක්ෂණය පවත්වා තිබුණේ, ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය’ යි. මහජනතාවගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතය ගැන කරුණු සෙවීම, සමීක්ෂණයේ අරමුණ විය. එය බස්නාහිර පළාත මුල්කර ගනිමින් පැවති අතර, පුද්ගලයන් 1743ක නියැදියක් සහභාගිකර ගැනුණි.

o -    සමීක්ෂණයට එක්වූ පිරිමින් ගෙන් සියයට 55.8ක් ද, කාන්තාවන් ගෙන් සියයට 42.2ක් ද, ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා තොරතුරු ලබා ගන්නා ප‍්‍රධානම මූලාශ‍්‍රය වූයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. ෆේස් බුක් ජාල සහ අන්තර්ජාල වෙබ් අඩවි, ඔවුන්ගේ දෙවැනි මූලාශ‍්‍රයයි.

o -    සමීක්ෂණයට සහභාගිවූ පිරිසෙන් අවුරුදු 18-24 වයස් කාණ්ඩයේ අය, ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා සිදු වීම් ගැන තොරතුරු ලබා ගන්නා ප‍්‍රධානම මූලාශ‍්‍රය ෆේස් බුක් ගිණුම් ය. දෙවනුව පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. තුන්වනුව අන්තර්ජාල වෙබ් අඩවි මගිනි.

o -    පොදුවේ ගත් කල, අවුරුදු 18-44 අතර වයස්වල පිරිසගේ අංක එකේ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. ඊළඟට ෆේස් බුක් ජාල හෝ අන්තර්ජාලයයි.

o -    වයස අවුරුදු 45න් ඉහළ අයගේ ද අංක එකේ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. දෙවනුව, අන්තර්ජාලයයි. තුන්වනුව, පෞද්ගලික පුවත්පත්  මාධ්‍යයි.

o -    සමීක්ෂණයට හසුවූ පිරිසෙන් සියයට 57.5ක්ම ෆේස් බුක් (ගිණුම්) ජාල පරිහරණය කරන්නේ මිතුරු ඇසුරට ය. තවත් සියයට 29.15ක් නවතම තොරතුරු සහ ප‍්‍රවෘත්ති දැන ගැනීම පිණිස ය.

o -    අන්තර්ජාලය භාවිත කරන අයගෙන් සියයට 55.9ක්ම තමන්ට ලැබෙන ප‍්‍රවෘත්ති ඊමේල් පණිවිඩ, අන්‍යයන් සමග බෙදා ගන්නට කැමති ය. තවත් සියයට 23.6ක් ඒවා සමාජ මාධ්‍ය ජාලා සමග බෙදා ගන්නට කැමති ය. ජංගම දුරකතනවලට එන එස්. එම්. එස්. පණිවිඩ සම්බන්ධයෙන් ගත් කල සියයට 24.2ක්, තමන්ට ලැබෙන ප‍්‍රවෘත්ති පණිවිඩ අන්‍යයන් සමග බෙදා ගනිති. තවත් සියයට 16.6ක් ඒවා සමාජ මාධ්‍ය ජාල සමග බෙදා ගනිති. තවත් සියයට 16.2ක් ඉහත ක‍්‍රම දෙකම අනුගනය කරති. ප‍්‍රවෘත්තිමය එස්. එම්. එස්. පණිවිඩ බෙදා හදා ගන්නට කැමැත්තක් නැති පිරිස සියයට 22කි.

o -    නියැදියෙන් සියයට 63.1ක පිරිසට, විශ්වාස කළ හැකි ප‍්‍රවෘත්ති මාධ්‍යය එකකට වඩා තිබේ. තවත් සියයට 25.3කට සියලූම මාධ්‍ය  සමාන ය. සියයට 10ක් දෙනා කිසිදු මාධ්‍යක් විශ්වාස නො කරති. යම් පුවතක් මුලින්ම දකින්නේ මිතුරන්ගේ ඊමේල් හෝ සමාජ වෙබ් අඩවි ඔස්සේ නම්, සියයට 37.2ක පිරිසක් එය විශ්වාස කරති.

o -    මැතිවරණ සමයට බහුතරයක් (සියයට 40.3ක්) විශ්වාස කරන්නේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් ය. තවත් සියයට 34ක් පමණ අන්තර්ජාලය සහ ෆේස් බුක් ජාලවල එන තොරතුරු විශ්වාස කරති. පුවත්පත් සහ අන්තර්ජාලය සම්බන්ධයෙන් ගත් කල, පුවත් ලියන ලේඛකයා ද වැදගත් යයි සිතන්නේ සියයට 63.2ක් පමණකි.

සමීක්ෂණ තොරතුරුවලින් මතුවන චිත‍්‍රය ඉතාමත් පැහැදිලි ය. ඉන් කියැවෙන්නේ, ‘ඊ පරම්පරාවේ’ තරුණ පිරිස් (වයස අවුරුදු 18-24), ප‍්‍රවෘත්ති හෝ එදිනෙදා තොරතුරු ලබා ගැනීමේ දී, අංක එකට ෆේස් බුක් ජාල භාවිත කරන බවයි. දෙවනුව හා තෙවනුව පෞද්ගලික රූපවාහිනී නාලිකා මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි තෝරා ගෙන ඇති බවයි. ඒ අය සිය ප‍්‍රධාන සන්නිවේදන මෙවලම ලෙස ෆේස් බුක් ජාල සහ අන්තර්ජාලය භාවිත කරන බවත්, ඔවුන් ඒ ඔස්සේ සන්නිවේදකයන් වශයෙන් ක‍්‍රියා කරන බවත් මින් පෙනී යයි.

ඉන් ඔබ්බට වයස අවුරුදු 25-44 අතර පිරිසෙහි අංක එකේ තොරතුරු හෝ ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය වන්නේ, පෞද්ගලක රූපවාහිනී නාලිකාවන් ය. එතැන දී ෆේස් බුක් හෝ අන්තර්ජාල වෙබ් අඩවි දෙවැනි තැනට වැටී ඇති බව පෙනී යයි. වයස අවුරුදු 45න් එහා අයගේ ද අංක එකේ ප‍්‍රවෘත්ති හෝ තොරතුරු මූලාශ‍්‍රය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවන් වේ. දෙවැන්න අන්තර්ජාල වෙබ් අඩවි වන අතර, තුන් වැන්න පෞද්ගලික පුවත්පත් ය. වයස අවුරුදු 25-45 අතර පිරිස මෙන්ම, ඉන් එහා වයස් කාණ්ඩවල අය ද ෆේස් බුක් හෝ අන්තර්ජාල වෙබ් අඩවි එතරම් ප‍්‍රිය නො කරන බව මින් පැහැදිලි වේ. ඇතැම්විට එය ‘විශ්වාසය’ පිළිබඳ ප‍්‍රශ්නයක් විය හැකි ය. නැතිනම් පරිගණක හෝ අන්තර්ජාල සාක්ෂරතාවය පිළිබඳ ප‍්‍රශ්නයක් ද විය හැකි ය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25න් එහා (එනම් ‘ඊ පරම්පරාවට’ අයත් නොවන) පිරිස් ප‍්‍රවෘත්ති හෝ තොරතුරු මූලාශ‍්‍රයක් වශයෙන්, තවමත් ෆේස් බුක් හෝ අන්තර්ජාල වෙබ් අඩවිවලින් දුරස්ථව සිටින බවක් ද එයින් පෙන්නුම් කරයි. ඔවුන් තවමත් පුවත්පත් ප‍්‍රිය කරන්නෝ ය.

මින් පෙනී යන අනෙක් කාරණය වන්නේ, ලංකාවේ වර්තමාන ප‍්‍රවෘත්ති වෙළෙඳපොළෙන් බහුතර කොටසක් පෞද්ගලික රූපවාහිනී නාලිකා විසින් ඩැහැ ගෙන තිබෙන බවයි. ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය, ඒවාට විශාල අභියෝගයක් එල්ල කරමින් සිටින බව ද ඉන් ගම්‍ය වේ. එසේම වයස අවුරුදු 18-24 කාණ්ඩයේ තරුණ පරපුර (එනම් ‘ඊ පරම්පරාවට’ අයත් පිරිස්), ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය කෙරෙහි වැඩි විශ්වාසයක් දරා සිටින බව, සමීක්ෂණ තොරතුරුවලින් පෙනීයන අනෙක් වැදගත් කාරණයයි.

සමීක්ෂණ ප‍්‍රතිඵල අනුව, නරකම තැනට තල්ලූවී සිටිනුයේ පුවත්පත් හෙවත් මුද්‍රිත මාධ්‍ය ධාරාවයි. තරුණ පරම්පරාවේ (වයස අවුරුදු 18-44) කිසිවෙකු දැන් පුවත්පත විශ්වාස නො කරති! මැදි වයස් අය (වයස අවුරුදු 45-55) පවා පුවත්පත් එතරම් විශ්වාස නො කරති! ඔවුන් පුවත්පත්වලට හිමිකර දී ඇත්තේ, තුන් වැනි තැනයි. එය ද පෞද්ගලික පුවත්පත් වේ.



සමීක්ෂණයෙන් හෙළි වන අනෙක් බරපතලම කාරණය වන්නේ, රජයේ මාධ්‍ය ගැන තිබෙන ජනතා විශ්වාසය නැත්තටම නැතිවී තිබීමයි! කිසිවෙකු දැන් ඒවා විශ්වාස කරන්නේ නැත.

ජන සන්නිවේදනයේ දී රූපවාහිනී මාධ්‍යට හිමි වන්නේ ප‍්‍රබල තැනකි. මාධ්‍යක් වශයෙන් ඊට ආවේණිකවූ ගති ලක්ෂණ නිසා ඒ ප‍්‍රබලතාවය හට ගෙන තිබේ. ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා, ප‍්‍රවෘත්ති සැපයීම අතින් හොඳ ජනතා විශ්වාසයක් ගොඩ නගා ගෙන ඇති බව, සමීක්ෂණයෙන් පැහැදිලි වේ. පුවත්පත් හෙවත් මුද්‍රිත මාධ්‍ය ‘තුන් වැනි ගැලරියට’ තල්ලූ වූයේ, රූපවාහිනී සහ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍යවල ක‍්‍රියාකාරිත්වයෙන් ඇතිවූ බලපෑම හේතුවෙනි. ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය දැන් ඒ ආකාරයටම, පෞද්ගලික රූපවාහිනී මාධ්‍යවලට ද ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටින බව, සමීක්ෂණ වාර්තාව අපට කියයි.

එහි සඳහන් ආකාරයට, මැතිවරණ සමයට සියයට 40ක් දෙනා විශ්වාසය තබන්නේ පෞද්ගලික රූපවාහිනී නාලිකා කෙරෙහි ය. සියයට 34ක පමණ පිරිසක්, ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය කෙරෙහි විශ්වාසය තබා ගෙන සිටියි.

ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය ඉතා වේගයෙන් පැතිරුණු බව ඇත්ත ය. දැන් මහජනතාව සිය සම්ප‍්‍රදායික මාධ්‍ය අත්හරිමින්, වේගයෙන් ඒවාට නැඹුරු වෙමින් සිටිති. අත්හැරීම, ‘විශ්වාසය’ පිළිබඳ ප‍්‍රශ්නයක් බව ලියුම්කරුගේ අදහසයි.

පොදු විවේචනයක්
ලංකාවේ වර්තමාන ජාතික ජන මාධ්‍ය ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් නැගෙන ප‍්‍රබල පොදු විවේචනයක් තිබේ. එනම්, සම්මත ධාරාවේ ජාතික ජන මාධ්‍ය මගින්, ප‍්‍රවෘත්තිමය සංසිද්ධීන් පිළිබඳ සත්‍ය තොරතුරු ප‍්‍රමාණවත් තරම් හෙළිදරව් නො කරන බවයි. බොහොමයක් මාධ්‍ය ආයතන, කුමක් හෝ දේශපාලනික ධාරාවකට පක්ෂපාතී බවත්, දේශපාලන හෝ වෙන යම් හේතූන් මත පදනම් වෙමින් ඔවුන් ජනතාවට ‘ඇත්ත’ නො කියන බවත් එයින් විස්තර කෙරේ. චෝදනාව වැඩිපුරම එල්ල වන්නේ සිංහල පුවත්පත්වලට එරෙහිව ය. එක් අතකින් ඇත්ත හෙළි නො කරන අතරතුර, මහජනතාව මිථ්‍යා විශ්වාස සහ කුණු රසය ආදී තත්ත්වයන්ට තල්ලූ කරවන බවත් ඉන් කියැවේ. චෝදනාව බොරුවක් නොවේ. එහි යම් ඇත්තක් ඇති බව ඉතාමත් පැහැදිලි ය. එබැවින් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය, යම් යම් ප‍්‍රවෘත්ති හෙළිදරව් නො කරන්නේ හෝ, සැර බාලකර හෝ, වෙනස් කෝණවලින් ඉදිරිපත් කරන්නේ මන්ද යන්න විමසා බැලිය යුතු වේ.

වත්මන් ලංකාවේ අන්තර්ජාලය මුල්කර ගත් නව මාධ්‍ය හැරුණු විට, සම්මත ධාරාවේ මාධ්‍ය ආයතන ද ගණනාවකි. ඒ අනුව සිංහල පුවත්පත්  ගණන 15කි. ඉංග‍්‍රීසි පුවත්පත් ගණන 12කි. දෙමළ බසින් පළ කෙරෙන පුවත්පත් සංඛ්‍යාව 05කි. ඒවාට අමතරව ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා 41ක් පමණ ලංකාවේ ක‍්‍රියාත්මක වෙයි. 

මෙය ඉතා පුළුල් තත්ත්වයකි.

(මතු සම්බන්ධයි)
2016/01/27.



No comments:

Post a Comment