Total Pageviews

Monday, January 4, 2016

සිගිරි ළඳුන්ට නිදහසේ හුස්ම ගන්න දීල බලමු ද?






           සිගිරි ළඳුන්ට සතියකට වරක්වත් 
එක දවසක් නිදහසේ හුස්ම ගන්න දීල බලමු ද?





 (ගාල්ල-නන්දසිරි වැලිගමගේ)
 දශක එක දෙකක් පුරා දවස් තුන්සිය හැටපස් දවසේම සොදුරු සුන්දර රුවැති සීගිරි ළඳුන් සමග හිත මිතුරු දමින් බැදි ඔවුන්ගේ ජිවන හුස්ම සමග නිබඳවම සිටි පුරා විද්‍යාඥයින් හා ගවේශකයින්, දැන්වත් මේ සොදුරු සුන්දරියන්ට සතියකට  එක් වරක්වත් නිදහසේ හුස්ම ගන්නට ඉඩ හරින්නට දෙන්නේ නම්, මතුවට ඔවුනට සිදුවිය හැකි බොහෝ අතුරු ආන්තරාවන් ගෙන් බේරාගත හැකි යයි පෙන්නා දෙති.


ලෝක උරුම සීගිරි ළඳුන් ජේත්තුවට හේත්තු වි සිටින කැටපත් පවුරේ බදාම තට්ටු ගැලවී ගිය බවක් පත්තරවලින් දුටු අප ද පත්වුවේ මහත් කම්පාවකටය.


ඒ නිසාම මේ සම්බන්ධයෙන් උරුමක්කාරයින් හා බාරකාරයින් එකි නෙකට පරස්පර දේවල් ප්‍රකාශ කිරිම නිසාම, සීගිරියට ආදරය කළ ඉහත කි පිරිස් කීප දෙනකුගෙන් මේ සිදුවන්නට යන මහ විපැත්තිය ගැන යමක් දන්නේ නම් දැයට හෙළිකිරිම ජාතික යුතුකමක් නොවන්නේ දැයි අප ඇසු විට, මෙයට පිළිතුරු දුන් බොහෝ දෙනකු පවසා සිටියේ, අපේ අනන්‍යතාවයන් හෙළි නොකොට සිටින්නේ නම්, යමක් කමක් මේ සම්බන්ධයෙන් කිවහැකි බවය.


ඒ අන් කිසිවක් නිසා නොව, අදහස් හොද වුවත් කියන්නා ගැන අහන්නට සිටින වගකිව යුතු අය දරන ආකල්පයන් නිසා, සමහර විට නොහොද නෝක්කඩුකම් පවා ඇති වි, විකල්ප ප්‍රශ්න ඇතිවිය හැකි බවය.

  
ඇමැතිතුමා සමග ගිය පුරා විද්‍යාවේ ලොක්කෝ  කීවේ, මෙහෙම වීම ගැන විද්‍යාත්මක සොයා බැලිම් නොකළ බවත්ය. ඇමැතිතුමා කිවේ මෙහේ ඇත්තෝ දන්නේනැතිනම් පිටරටින් හෝ ගෙනවිත් මෙයට විසදුම් සෙවිය  යුතු බවය.


එහිදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යෂක ජනරාල්වරයා කියා සිටින්නේ, මේ සම්බන්ධයෙන් සොයා බැලූ වාර්තා කීපයක් තිබුණත් මේ පිළිබඳව වගකිව යුතු අය මෙතෙක් කිසිවක් නොකර ඇති බවය.



මේක මහ පුදුම රටකි. ලෝක උරුම සිගිරියහි  අයිතිය ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලටය. මෙහි ගුහාව හා සුංදර ලලනාවන් අයිතිය ඇත්තේ පුරා විද්‍යාවටය. සිගිරිය නරඹන දෙස් විදෙස් අයගෙන් අය කරන මුදල් බැර වෙන්නේ අරමුදලේ ගිණුමටය. එයින් කොටසක් පුරා විද්‍යාවට දෙන්නට නියම වුවද, එය ද හරියට සිදු නොවෙතියි ඒ අය කියති.

ලංකාවේ වැඩිම ආදායම් මාර්ගයක් වි ඇත්තේ ද මේ ව්‍යාපාරයටය. පසුගිය ආණ්ඩුවේ අනියම් මුදල් ඇමැතිවරයකු මේ අරමුදලේ ගිණුම තමන් යටතට ගන්නට වෙර දරුවේ ද මේ නිසාය.


පුරා විද්‍යාව අයිති අධ්‍යාපන ඇමැතිතුමාටය .ඒත් අරමුදලේ සභාපති කම අගමැතිතුමාටය.ඇමැතිතුමා කියන දේට වඩා කළ යුතුවි ඇත්තේ අගමැතිතුමා කියන දේයටය.


දැන් සිදුවි ඇත්තේ කුමක්ද? දුන්න දුනුගමුවේය.-ඊතල කිතල ගමුවේය. රාළ මීගමුවේය. මුවැත්තියන් අඩන්නේ  සබරගමුවේය, යන්නය.


 කමෙක් නැත. අපේ මාතෘකාව ද පිට පැන්නා සේය.


සිගිරියට මේ වෙන්නට යන  වි ඇති විපැත්තියට අප මුහුණ දිය යුතුය. ඒ සඳහා ආයිමත් ඉතාලි ජාතික ලුසියානා මරෙන්සිලා ගෙන්න ගත්තට කමක් නැත . එහෙත් එයට පෙර අපේ මිනිසුන් ලඟද අත් බෙහෙත් නැතුවා නොවේ. දැනුම් ද නැත්තේ නොවේ.

මේ විද්වත් පිරිස මෙසේ පවසති.


සිගිරිය කියන්නේ ගලක් .මේ ගලත් අව්වට රත්වෙයි. ඒ සමගම වැස්සට තෙමෙයි.  ඒ නිසාම ඉතා ඉක්මනටම  ජල වාෂ්ප මේ ගලට උරා ගැනීමද වැළක්විය නොහැක.මේ ගල‍ෙහි තෙතමනය මනින්නට ඕනෑ තරම් උපකරණ අපේ රටේ නැත්තේ නොවේ. උණුසුම ද මැන ගන්නට ද එහෙම ය. මේ සියල්ල මෙසේ වෙද්දී දවස ගානේ කි දාහක් මේවා නරඹන්නට එන්නේද . මේ එන මිනිසුන් ගෙන් පිටවෙන උෂ්ණත්වය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයන් කොතෙක්ද?. මෙයින්ද උනුසුම් වන්නේ ගල නොවේද?. මේ එකාකර මානව ක්‍රියාකාරි කම්වලින් මේ ගලට උරාගන්නා තෙත් වායුව හා උණුසුම් රත්විම ගැන මෙතෙක් සොයා බැලුවේද?.


එපමණක් නොවේ මෙම ළඳුන් නරඹන්නට උඩට යන්නට සවි කොට ඇති පඩි පෙළවල් තනා තියෙන්නේ, ගල හිල්කොට යොදා තියෙන්නේ, යකඩ කූරුය. මේවායින් නගින දෙස් විදෙස් සංචාරකයින්ගේ පාද තිවිල්ල කෙසේ විය හැකි ද?. එවිට ඇතිවන ඩුං ඩුං ශබ්දයන් ගෙන් මතුවන දෝංකාරයහි ශබ්ද තරංගවල  ධාරිතාව මෙයට ඔරොත්තු දේද ?.

හමුදා කණ්ඩායමක් වුව සිය සන්දර්ශනයක දි පාළමක් උඩින් යන්නේ නම් යන්නේ මාච් පාස් ක්‍රමයට නොවේ . මේ සියල්ල මනින්නට  යම් තාක් දුරකට  උපකරණ මේ රටේ ඇත.


එහෙත් මේ දේවල් දිනපතා හෝ සතිපතා හෝ මාස්පතා හෝ සිදු වන්නේ දැයි අපි නොදන්නෙමුයි,  විද්වත් පිරිස අප සමග කීහ.


 එපමණක් නොවේ. දිනපතා ඉර බැස යන බටහිර අහස් කුසින් මේ ගලට එල්ලවන අව්රශ්මිය මුවා කිරීමට රෙදි යොදා ඇත .එහෙත් මේ ව්‍යාපාරයෙන් කොතෙක් දුරට බලාපොරොත්තුවන දේ ඉටුවෙනවාද? යන්න සොයා බැලුවේද?. ඒ අවසන් වාරය කවදා ද? යන්න විමසිය යුත්තකි.


ජායාරූප ගැනීම ගැන ද අවධානය යොමුවිම ඉතා හොඳය.



මේ සියල්ල ගැන සලකා බලන කල, මේ වසර ගණනක් මුළුල්ලේ අපේ මේ සුන්දර ළලනාවන් මොනතරම් දුක් කන්දරාවක් විදින්න ඇත් ද.  මොන තරම් දහදිය කදුළු මේ ඇත්තන්ගේ ගතට ඇතුළු වෙලා ඇත්ද. එහෙම බලන විට ඔහේ මේ සියල්ල විද දරා ගෙන අකම්පිතව මේ ළඳුන් සිටිය ද මොන තරම් දහදියෙන්  අව් රශ්මියෙන් පිච්චී මේ ළඳුන්ට හා ළඳුන්ගේ ජේත්තුවට හේතු වි සිටින පවුරට සිදු වි ඇති හානිය කියාපාන්නට නො හැකි වි මොන තරම් කදුලු වගුරමින් ඇත්ද? පුරා විද්‍යාවේ ලොක්කනි. අරමුදලේලොක්කනි මේ විපැත්තියට ඉහළ පෙළෙ ප්‍රති කර්ම හොන්නට යන්නට පළමුව මේ සුන්දරියන් මාසයකට නොව සතියකට එක් වතාවක්වත් නා කියා ගෙන ඇගපත සිසිල්කර ගන්නට, ලීලට- චම්පල- රේකල-  භානුමතීලා- ලිඳ ලගට වෙලා කවට කථාබස් කිය කියා කාන්සිය මාන්සිය හැරිය වගේ, එක දවසක්වත් නිදහසේ හුස්ම ගන්නට ඉඩ හැරියොත් හොඳයි නේද? යන්න කල්පනාකරන්නයි දන්වා සිටිමු.

2016'01'05'






 

1 comment:

  1. පොටෝ ගත්තම ඔය චිත්‍ර වලට වෙන හානිය මොකද්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද (විද්‍යාත්මකව )

    ReplyDelete