Total Pageviews

Wednesday, January 13, 2016

ආසියාවේ පැරණිම බ‍්‍රාහ්මී අක්ෂර අනුරාධපුරයෙන්

දකුණු ආසියාවේ අක්ෂර කලාවට ලියැවුණු  ඉන්දු-ලංකා පෙරවදන
 
පැරණිම බ‍්‍රාහ්මී අක්ෂර අනුරාධපුරයෙන්
 
(ක‍්‍රිෂ්ණ විජේ බණ්ඩාර)
අනුරාධපුරයෙන් ඇරඹුණු ලාංකේය ශිෂ්ඨාචාරය, ක‍්‍රිස්තු පූර්ව 543 දී එනම්, අදින් වසර 2500කට ඉහත ‘විජය කුමාරයා’ පැමිණීමෙන් ස්ථාපිත වූවාය යන්න, දැන් බිඳ වැටුණු තර්කයකි. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණිියගල මහතා විසින් 1969 සහ 1984 යන වර්ෂවල, අනුරාධපුරයේ ඇතුළු පුරයේ කළ කැණීම්වලින් විජයට වඩා පැරණි ඉතිහාසයක් මතු වීම, ඊට හේතුවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ කැණීම්වලින් සිරාන් දැරණියගලයන් මතු කළ ඉතිහාසය අදින් වසර 2900ක් පැරණි ය. ඔහු පවසන අන්දමට, අනුරාධපුර ජනාවාසයේ ඉතිහාසය ක‍්‍රි. පූ. 900 වැනි ශත වර්ෂය දක්වා දිවෙන්නේ ය. වර්ෂ 1969න් ඇරඹුණු  පර්යේෂණ මාලාවේ තොරතුරු ඉතාමත් විචිත‍්‍රවත් ය. අද වන විට ඒවා, දකුණු ආසියානු මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක සමය පිළිබඳ අතිශයින් ප‍්‍රබල මං සලකුණු බවට පත්ව ඇත.
 




දැරණියගල සූරීන් අනුරාධපුරයෙන් නිස්සාරණයකර ගත් තොරතුරු සම්භාරයේ අලූත්ම මං සලකුණ, ආසියානු ජන ශිෂ්ඨාචාරවල අක්ෂර භාවිතය සම්බන්ධ කාරණයකි. එනම්, ලංකාවේ ද, ඉන්දියාවේ ද, මුල්ම ලේඛන භාවිතාවන් කෙරුණු ‘බ‍්‍රාහ්මී අක්ෂර’ සම්බන්ධයෙනි. එබැවින් ඇතුළු පුරය කැණීමෙන් හෙළිවූ, ක‍්‍රි. පූ. 600-500 දක්වා වකවානුව බෙහෙවින් සුවිශේෂ ය. එකල අනුරාධපුරය් විසූ ජනයා ‘බ‍්‍රාහ්මී අක්ෂර’ භාවිත කිරීම, ඊට හේතුව ය. එය දකුණු ආසියාවේ අක්ෂර භාවිතය පිළිබඳ පැරණිම සාධකයයි! ඒ කතා පුවත දිග හැරෙන්නේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පළ කරන zAncient Ceylon Vol-24Z සඟරාවේ, 2015 ජූලි කලාපයට ආචාර්ය සිරාන් දැරණියගල මහතා ලියූ ලිපියක් ඔස්සේ ය.
 
පහත පළවෙන සටහන සැකසෙන්නේ ඒ ඇසුරිණි.
 
කාරණය සවිස්තරව තේරුම් ගැනීමට නම්, පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ ගොඩ නැගුණු අනුරාධපුරයේ ඉතිහාසය දෙස එබී බැලිය යුතු ය.
 
අප කවුරුත් දන්නා පරිදි, අනුරාධපුරය  ලංකාවේ ඇති පැරණිම මානව ජනාවාසවලින් එකකි. වර්තමානයෙහි එය ප‍්‍රචලිතව ඇත්තේ, වසර 1500ක පමණ කාලයක් අගනුවරක් සහ රාජධානියක් වශයෙන් පැවතියා වූ ද, බෞද්ධාරාමික නටබුන්වලින් හෙබියා වූ ද, මහා වාරි කර්මාන්ත පද්ධතිවලින් දියවර සපයා ගත් කෘෂිකාර්මික භූමිවලින් ද සජ්ජිත පූජනීය නගරයක් වශයෙනි. එය අප අද මතුපිටින් දකින අනුරාධපුරයයි. එසේ වුවත් පැරණි අනුරාධපුරය, බොහොම සාරවත් මෙන්ම පුළුල් සමාජ වටාපිටාවක් ද පැවති නගරයකි.
 
අනුරාධපුරය ගැන මුලින්ම පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ, බි‍්‍රතාන්‍ය පාලන සමයේ ය. එකල කෙරුණේ, එහි පැවති මහා බෞද්ධ ස්මාරක සංරක්ෂණය පිණිස ක‍්‍රියාත්මක වීමයි. ඉන් පසුව අනුරාධපුරය දෙසට යළිත් පුරාවිදු ඇස යොමු වූයේ වර්ෂ 1968 දී ය. ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රථම වරට ‘කැණීම් අංශයක්’ පිහිටු වීමත් සමගිනි.
 
නව කැණීම් අංශයේ ආරම්භක සහකාර අධ්‍යක්ෂකවරයා වූයේ, එස්. යූ. දැරණියගලයන් (සිරාන් උපේන්ද්‍ර දැරණියගල) ය. ඒ අනුව වර්ෂ 1969 වසරේ අනුරාධපුරයේ ප‍්‍රථම කැණීම, ඇතුළු පුරයෙන් ඇරඹිණි. එය පැවැත් වූයේ, බි‍්‍රතාන්‍යයේ මහාචාර්ය කේ. ඩී. බී. කොඩ්රින්ටන් මහතා සහ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර වූ සහයෝගිතා කැණීමක් වශයෙනි. ලංකාවේ පාර්ශවයෙන් එය මෙහෙය වූයේ සිරාන් දැරණියගල මහතා ය.
 
කොඩ්රින්ටන් සහ සිරාන් දැරණියගල යන පර්යේෂකයන් නව කැණීම් පිණිස තෝරා ගත්තේ, ඇතුළු පුරයේ, ‘ගෙඩිගෙය වත්ත’ පරිශ‍්‍රයයි. කැණීම් සඳහා එවකට පැවති දියුණු තාක්ෂණ ක‍්‍රමවේදයන් භාවිත කෙරිණි. එසේම, ‘පස් ස්තර වින්‍යාසය’ නමැති (පාංශු ස්තර පිහිටීමේ අනු පිළිවෙල) පුරාවිද්‍යා කැණීම් සංකල්පය, ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට මුල් වරට හඳුන්වා දුන්නේ ද නව කැණීමේ දී ය. කැණීමේ දී, ගල් යුගය නියෝජනය කරන පුරාවිද්‍යාත්මක සාධක මෙන්ම, ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ නියෝජනය කරන සාධක ද ලැබිණි.


1984 කැණීම
ඇතුළු පුරය අරභයා 1969 වසරේ කෙරුණු කැණීම්වලින් අවබෝධ වූයේ, එහි අතීත තොරතුරු සොයා ගැනීම පිණිස තවදුරටත් කැණීම් කළ යුතු බවයි. ඒ අනුව වර්ෂ 1984 දී සිරාන් දැරණියගලයන් ඇතුළු පුරයේ නව කැණීමක් කළේ ය. එහි දී ‘ගෙඩිගේ වත්ත’ කැණීම් වල තවදුරටත් පුළුල් කෙරිණි. වඩාත් විද්‍යාත්මක පදනමක පිහිටා, එහි අතීත සංසිද්ධීන් කාබන් 14 ක‍්‍රමයට කාලනිර්ණ කටයුතු කිරීම කැණීමෙහි එක් අරමුණක් විය.
 
කැණීමෙන් සොයා ගත් තොරතුරු අනුව, අනුරාධපුරය සිය ජනාවාස ඉතිහාසය ආරම්භ කරන්නේ, අදින් වසර 6000කට පමණ ඉහත ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ය. එකල එහි වාසය කළෝ බලංගොඩ මානවයන් ය. ඊළඟට එළඹෙන මානව ජනාවාස අවධිය, අදින් වසර 3000කට ඉහත, එනම් ක‍්‍රි. පූ. 1000 දී ඇරඹෙයි. මානව පරිණාම ඉතිහාසය අනුව, එය ‘පූර්ව ඓතිහාසික යකඩ යුගයයි’. එනම් මනුෂ්‍යයා ගල් යුගය අත්හැර, යකඩ හෝ ලෝහ භාවිතය මුලින්ම හුරු පුරුදුකර ගත් යුගය යන්න, එහි තේරුමයි.
 
පර්යේෂණයෙන් හෙළි වූ අන්දමට, අනුරාධපුරයට පූර්ව ඓතිහාසික යකඩ යුගය එළඹෙන්නේ, ඇත්තටම ක‍්‍රි. පූ. 900 දී ය. එක් කාලනිර්ණ වාර්තාවකට අනුව, එය ක‍්‍රි. පූ. 900න් පටන් ගෙන, ක‍්‍රි. පූ. 600ක් දක්වා පැතිර යයි. වසර 300ක් පුරා දිවෙන මේ යුගයෙහි විශේෂ ලක්ෂණ ගණනාවකි. ඉන්දු ආර්්‍යයන්ගේ සම්ප‍්‍රාප්තිය, ඉන් ප‍්‍රධාන ය. ඊට අමතරව අශ්වයන් භාවිතය, යකඩ සහ කාල රක්ත මැටි බඳුන් භාවිතය, වී ගොවිතැන, ගෘහස්ථව එළ හරකුන් ඇති කිරීම, ආදිය ද වෙයි.
 
කැණීමෙන් හමුවූ ඉතා වැදගත් කාරණයක් වූයේ, එහි වැසියන් මුල් වරට ‘යකඩ නගුල’ භාවිත කළ බවට සාධක ලැබීමයි. ඔවුන් යකඩ භාවිත කළ බවත්, වී ගොවිතැන් කළ බවත්, ඒ සඳහා එළ හරකුන් යොදා ගත් බවත් ඉන් පිළිබිඹු වේ. මෙහි දී පෙන්නුම් කෙරෙන අනෙක් කාරණය වන්නේ, ඇතුළු පුරයේ වැසියන් එකල මැටි බඳුන් ද භාවිත කළ බවයි. ගොවිතැනින් ඉපැයූ ශෂ්‍යය මැටි බඳුන්වල උයා-පිහා කෑ බව ඉන් පෙන්නුම් කෙරෙන්නේ ය. සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ ඉතා දියුණු කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක හැඩරුවයි. එහි විශේෂත්වය වන්නේ ඇතුළුපුර ශිෂ්ඨාචාරයේ මුල්වරට, ‘බ‍්‍රාහ්මී අක්ෂර’ භාවිතය පිළිබඳ සාධක ලැබීමයි. ඇතුළු පුරය කැණීමෙන් හෙළිවූ, ක‍්‍රි. පූ. 600-500 දක්වා වකවානුව බෙහෙවින් සුවිශේෂ ය. එකල අනුරාධපුරය් විසූ ජනයා ‘බ‍්‍රාහ්මී අක්ෂර’ භාවිත කිරීම, ඊට හේතුව ය. දැනට සොයා ගෙන ඇති පරිදි, එය දකුණු ආසියාවේ අක්ෂර භාවිතය පිළිබඳ පැරණිම සාධකයයි.
 
‘බ‍්‍රාහ්මී අක්ෂර’ භාවිතය පිළිබඳ කාරණාව කරළියට පිවිසියේ, ඇතුළු පුර කැණීමෙන් ‘පූර්ව (මුල්ම) බ‍්‍රාහ්මී අක්ෂර’ සහිත මැටි බඳුන් කැබලි (වලං කටු) සොයා ගැනීමෙනි. මේවා මතුපිටින් නම් පෙනෙන්නේ, වලං කටුවල කෙටූ සංකේත අක්ෂර හැටියට ය. ඒවා පුරාවිද්‍යාත්මකව හැඳින් වෙන්නේ, පූර්ව හෙවත් මුල්ම බ‍්‍රාහ්මී අක්ෂර වශයෙනි. එබඳු වලං කටු, කැණීම් පරිශ‍්‍ර දෙකකින් සොයා ගැනිණි. පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර සහිත වලං කටු හමුවූ සන්දර්භයන් ක‍්‍රි. පූ. 600-500 වකවානුවට කාලනිර්ණය කෙරිණි. බ‍්‍රාහ්මී අක්ෂර යනු, අපේ සිංහල බසෙහි අක්ෂරවල මූලාරම්භ ස්වරූපයයි. ඒ ගැන තොරතුරු 1990-2000 කාලයේ දී දැරණියගලයන් විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.
 
අනුරාධපුරයේ සභ්‍යත්වය
ඇතුළු පුර කැණීම (1969-1984) කෙරෙන තුරු මුළු රටම දැන සිටියේ, ක‍්‍රි. පූ. 543 දී ඉන්දීය විජය කුමාරයා පැමිණීමෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාරය බිහිවූ බව ය. අනුරාධපුරයේ නව සභ්‍යත්වයක් හට ගත් බව ය. සියල්ල උතුරු ඉන්දියාවෙන්  සම්ප‍්‍රාප්ත වූ බව ය. එහෙත් ඇතුළු පුර කැණීමේ ප‍්‍රතිඵල මගින් ඒ මතය බිඳ වැටුණි. ලංකාවේ හෝ අනුරාධපුරයේ ශිෂ්ඨාචාරය විජයටත් වඩා බොහෝ පැරණි බව, ඉන් හෙළිදරව් විය.
 
ඇත්තටම සිදුව ඇත්තේ කුමක් ද?, අදින් වසර 3000කට පමණ පෙර පටන් පැවත ආ ලාංකේය ශිෂ්ඨාචාරය, ක‍්‍රමයෙන් දියුණුවට පත්වී ක‍්‍රි. පූ. 500 දී බ‍්‍රාහ්මී අක්ෂර භාවිතය සහිත ‘ඓතිහාසික යුගයට’ එළඹුණු බවයි! එහි තේරුම, එම අවධිය වන විට, අනුරාධපුර සංස්කෘතියට ලිඛිත භාෂාවක් රෝපණයවී තිබුණු බවයි. එය අන් කවර හෝ බසක් නොව, වර්තමාන සිංහල බසෙහි මුතුන් මිත්තන් වන ‘ප‍්‍රාකෘත සිංහල’ බස ය. එකල අනුරාධපුරයට ඉන්දීය සහ අනෙකුත් විදේශ සම්බන්ධතා ද පැවතිණි.
 
කැණීමෙන් ලැබුණු තොරතුරු අනුව, ඇතුළු පුරයේ පෞරාණික ජනාවාස වපසරිය හෙක්ටයාර් 100ක් පමණ වේ. ක‍්‍රි. පූ. 900 සිට 500 දක්වා එහි ඉතා පුළුල් මානව ජනාවාසයක් පැවතී ඇත්තේ ය. එය ගමක නොව, නාගරික ලක්ෂණවලින් සමන්විත විය. එය වෙළෙඳුන් පවා නිතර ආ-ගිය, මනා නගර පාලනයක් පැවති, නාගරික ජනාවාසයකි. ඉන්දීය අශෝක අධිරාජයාගේ  (ක‍්‍රි. පූ. 273-236) සමය වන විට, අනුරාධපුරය අක්කර 250ක (හෙක්ටයාර් 100ක) පැතිරුණු මහා නගරයකි. එහි විසූවෝ, ක‍්‍රි. පූ. 500 වන විට අක්ෂර (ප‍්‍රාකෘත සිංහල) භාවිතකර ඇති බවටත්, වී ගොවිතැන් කළ බවටත් ස්ථිර සාධක හමු විය.
 
කැණීමෙන් හමු වූ උත්තර භාරතීය ‘පාත‍්‍රා’ කොටස් සුවිශේෂ ය. ඒවා ක‍්‍රි. පූ. 350ට පෙර වකවානුවට අයත් යයි කාලනිර්ණය විය. මෙය ඉන්දීය ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය යුගයට පෙර වකවානුවයි. ඉන් ඉඟි වෙන්නේ, ධර්මාශෝක යුගයට ඉහත දීත් ලංකාවට බෞද්ධාගමික සම්බන්ධතා පැවතුණු බවයි! පෞරාණික අනුරාධපුරයේ නාගරික ජනාවාස විකාශනය ඒ තරම්ම ප‍්‍රබල ය.
 
ආචාර්ය සිරාන් දැරණියගලයන් පෙන්වා දෙන අන්දමට, ක‍්‍රි. පූ. 500 දී, එනම් අදින් වසර 2500ක් පමණ වන විට අනුරාධපුරය දියුණු නගරයකි. කැණීම්වලින් සොයා ගත් පුරාවස්තු අතර, උත්තර භාරතීය උද්දීප්ත කාල වර්ණ මැටි බඳුන් කොටස් ද විය. ඒවා බුදුරදුන් විසූ සමයේ ඉන්දියාවේ භාවිත කෙරුණු පාත‍්‍රා සම්ප‍්‍රදායට අයත් කොටස් බව හඳුනා ගැනුණි. එහි තේරුම කුමක් ද?, බුදුරදුන් ජීවමානව වැඩ සිටි සමයේ සිටම අනුරාධපුරයේ ජනයාට බෞද්ධාගමික සබඳතා තිබුණු බවයි. දැරණියගල සූරීන් පෙන්වා දෙන අන්දමට, ක‍්‍රි. පු. 300 දී (අදින් වසර 2300) වන විට අනුරාධපුරය තවදුරටත් දියුණුවට පත් නවීන නගරයකි. එමෙන්ම එය ඉන්දියාවේ උදේනි පුරයෙන් (උජ්ජයිනී) දකුණු දෙසට පැවති එකම විශාල නගරය යයි ද ඔහු කියයි. මෙය විශේෂ කාරණයකි. ඊට හේතුව වන්නේ, එයින් විජය කුමාරයා ලංකාවට සැපත්ව ජනාවාස බිහි කිරීමේ කතා පුවත යල් පැන ගිය ඉතිහාසයක් බවට පත් වන බැවිනි.
 
වංශකතා සහ ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී කියන්නේ, අනුරාධපුරයෙහි ඇරඹුණු දියුණු ශිෂ්ඨාචාරය සහ සභ්‍යත්වය, විජය කුමරුන් සමග උතුරු ඉන්දියාවෙන් ආනයනය කෙරුණක් බවයි. එසේ වුව ද පුරාවිද්‍යා පර්යේෂණ අපට කියන්නේ එහැමපිටින්ම වෙනස් කතාවකි. එනම්, ක‍්‍රි. පූ. 543 දී විජය මෙහි එන විට ද, අපේ අනුරාධපුරය මහා නගරයක්ව පැවති බවයි. විජය කුමරුන්ගේ ආගමනයත් සමගම, උතුරු ඉන්දීය මාදිලියේ ශිෂ්ඨාචාරයක් අනුරාධපුරයෙහි රෝපණය වූ බව කියන අදහස, ඉන් බිඳ වැටේ.
 
අනුරාධපුර, ඇතුළු පුරයේ පුරාවිද්‍යා කැණීම් මගින් හෙළි වුණු තොරතුරු අනුව, උතුරු ඉන්දීය ප‍්‍රදේශවල මෙන්ම අනුරාධපුරය ඇතුළු ලංකාවේ නගර ද බිහිවී ඇත්තේ, සමකාලීනව, එකම වකවානුවේ, එකට ගොඩ නැගීමෙනි!
 
අක්ෂර කලාවේ ඇරඹුම
දැරණිගලයන්ගේ බ‍්‍රාහ්මී අක්ෂර සොයා ගැනීම, දෙස්-විදෙස් විද්වතුන් අතර කුතුහලයට මෙන්ම සංවාදයට ද ලක් විය.
 
බි‍්‍රතාන්‍යයේ  කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එෆ්. ආර්.  ඕල්චින් මහතා ද, ඒ සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කළේ ය. ජේම්ස් ප‍්‍රින්සෙට් නමැති විද්වතා විසින් මීට ශත වර්ෂ එකහමාරකට පෙර, ‘අශෝක අක්ෂර’ සොයා ගෙන, කියවා තේරුම්-බේරුම්කර ඇති බවත්, එහෙත් දැරණියගලයන් සොයා ගත් අක්ෂර, අශෝක සමයටත් වඩා පැරණි බවත්,  ඕල්චින් මහතාගේ මතය විය.
 


 ඒ සමගම එය, බ‍්‍රාහ්මී අක්ෂර පිළිබඳ මුල් පෙළේ ඉන්දීය විශේෂඥයෙකු වන මහාචාර්ය ඉරවාතම් මහාදේවන් මහතාගේ (ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ශිලා ලිපි විශේෂඥ) අවධානයට ද ලක් විය. ඔහු පවසා තිබුණේ, දැරණියගලයන් අනුරාධපුරයේ ඇතුළු පුරයෙන් සොයා ගත් පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර, ඉන්දීය අශෝක අධිරාජයාගේ පාලන යුගයටත් වඩා වසර 200ක් පමණ පැරණි බවයි. පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර සහිත ඊට සමකාලීන මැටි බඳුන් කැබලි, ඉන්දියාවේ ‘කොඩුමනල්’ සහ ‘පෙරුන්තාල්’ යන ප‍්‍රදේශවලින් ද හමුවී ඇති බවයි. ලංකාවෙන් සහ ඉන්දියාවෙන් හමුවී ඇති මෙම මැටි බඳුන් කැබලි, බ‍්‍රාහ්මී අක්ෂරවල මුල්ම යුගය සනිටුහන් කරන බව, මහාචාර්ය ඉරවාතම් මහාදේවන් මහතා 1997 වසරේ අගෝස්තු 06 වැනි දා, ආචාර්ය සිරාන් දැරණියගලයන්ට එවූ ලිපියක සඳහන් වේ. දැරණියගලයන් මේ කතා පුවත, zAncient Ceylon Vol-24 සඟරාවේ, 2015 ජූලි කලාපයෙන් හෙළිදරව්කර ඇත.
 
ඉන්දියාවේ, පොන්ඩිචේරි විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් මහාචාර්ය කේ. රාජන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් තමිල්නාඩුවේ,  ‘කොඩුමනල්’ සහ ‘පෙරුන්තාල්’ යන ස්ථානවල  කළ කැණීම්වලින් ද පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර සහිත, ඊට සමකාලීන මැටි බඳුන් කැබලි හමු විය. ඒවා ක‍්‍රි. පූ. 408, 330 සහ 490 වශනේ කාලනිර්ණය කෙරිණි. මහාචාර්ය ඉරවාතම් මහාදේවන් මහතා පවසන අන්දමට, මේවා ද ඉන්දීය අශෝක අධිරාජයාගේ පාලන යුගයටත් වඩා වසර 200ක් පමණ පැරණි ය. ^New evidences on scientific dates for Brahmi Script as revealed from Porunthal and Kodumanal Excavations K. Rajan and V.P.Yatheeskumar/ http://georgehart.net/resources/k-rajan.pmd.pdf)  
දැරණියගලයන් අනුරාධපුරයෙන් සොයා ගත් පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර සහිත වලං කටු කාලනිර්ණය වූයේ, ක‍්‍රි. පූ. 600-500 වකවානුවට ය. මෙහි අරුත කුමක් ද? දකුණු ආසියාවේ රටවල අක්ෂර කලාව බිහි වීම පිළිබඳ පැරණිම, සාධක, ලංකාවෙන් හමුවී ඇති බව නොවේ ද?
 
කෙසේ වෙතත් බොහොම දෙනෙක් කල්පනා කරමින් සිටියේ, ‘ලේඛන කලාව’ බිහි වූයේ ක‍්‍රි. පූ. 06 වැනි සියවසේ දී බවයි. එබැවින් ඇතුළු පුරයේ ‘පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර’ සොයා ගැනීම විද්වතුන් අතර මහත් විවාදාපන්න විය.  එබැවින් ආචාර්ය සිරාන් දැරණියගලයන් කළේ, අනුරාධපුරඇතුළු පුරයේ නැවත කැණීමක් සඳහා බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයට ඇරයුම් කිරීමයි.
 
ඒ අනුව, 1988 වර්ෂයේ දී බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එෆ්. ආර්.  ඕල්චින් සහ මහාචාර්ය රොබින් කණින්හැම් යන විද්වතුන් දෙපල ලංකාවට පැමිණියහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග ගිවිසුමක් ඇතිකර ගෙන, අනුරාධපුරයේ ඇතුළු පුරයේ කැණීම් ආරම්භ කළහ. එහි දී ඔවුහු ඇතුළු පුරයේ ‘සල්ගහවත්ත වල’ ඇතුළු වලවල් 13ක කැණීම් කළහ. කැණීමේ දී  ඕල්චින් සහ කණින්හැම් දෙපලට ද, දැරණියගල මහතාට හමුවූ මාදිලියේ ‘පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර’ සහිත වලං කටු හමු විණි. ඒවා ක‍්‍රි. පූ. 450ට කාලනිර්ණය විය. (Cambridge Archaeological Journal 6:1 (1996), pp. 73-97/Passage to India? Anuradhapura and the Early Use of the Brahmi Script/R.A.E. Coningham, RR. Allchin, CM. Batt & D. Lucy)
 
 
ආචාර්ය සිරාන් දැරණියගල (පින්තූරය-සන්ඩේ ටයිම්ස්)

ඕල්චින් සහ කණින්හැම් විද්වතුන්ගේ නව සොයා ගැනීමත් සමගම, 1984 වසරේ දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා ‘පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර’ මතුකර ගැනීමේ සිද්ධිය, විද්‍යාත්මක සොයා ගැනීමක් බවට තහවුරු කෙරිණි. එය එතෙර-මෙතෙර පුරාවිද්‍යා ලෝකයේ මහත් සම්භාවනාවට ද පාත‍්‍ර විය.
 
දකුණු ආසියාවේ අක්ෂර කලාව බිහි වීම අරභයා, සම්ප‍්‍රදායික අදහසක් තිබේ. ඉන් කියැවෙන්නේ, ක‍්‍රි. පූ. 03 වැනි සියවසේ අශෝක අධිරාජයාගේ සමයෙහි, මූල ඓතිහාසික යුගයේ ඇරඹුමත් සමගම, අක්ෂර බිහිවූ බවයි. එහෙත් අනුරාධපුරයේ කළ සොයා ගැනීම අනුව, බ‍්‍රාහ්මී අක්ෂර භාවිතය පිළිබඳ සාධක හමුව ඇත්තේ ඊට වසර 200කට පමණ ඉහත, එනම් ක‍්‍රි. පූ. 600-500 අතර සමයේ දී ය. ඉන් දකුණු ආසියාවේ අක්ෂර කලාව බිහි වීම අරභයා මෙතෙක් පැවති සම්පදායික අදහස අභියෝගයට ලක් වේ!
 

 ඕනෑම සංස්කෘතියක, තොරතුරු තාක්ෂණය සහ සංවර්ධනය දියුණු වීමට නම් ‘අක්ෂර කලාව’ ද තිබිය යුතු වේ. එබැවින් යම් ජන සමාජයකට අක්ෂර ක‍්‍රමයක් අත්කර ගැනීම, විශාල ඉදිරි පිම්මකි. ඒ අර්ථයෙන් ගත් කල, ආචාර්ය සිරාන් දැරණියගලයන් අනුරාධපුරයෙන් ‘පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර’ සොයා ගැනීම ඉතාමත් වැදගත් ය. එය දකුණු ආසියාවේ අක්ෂර කලාව බිහි වීම පිළිබඳ, ආදිම සාධක යයි තහවුරු වීම ඊට හේතුව යි. එබැවින් එය දකුණු ආසියානු පුරාවිද්‍යා පර්යේෂණවල ද වෙසෙස් කඩඉමක් බවට පත් වෙයි.
 
‘මහා නගර බිහි වීම’, ඉන්දියාවේත් ලංකාවේත් සමකාලීනව කෙරුණාක් මෙන්, ‘අක්ෂර කලාව’ ද දෙ රටෙහිම සමකාලීනව, එකම වකවානුවක, එකට බිහිවූ ව, මෙහි අර්ථයයි.
 
මින් පෙනී යන්නේ කුමක් ද? දියුණු නාගරික සභ්‍යත්වයක ගති ලක්ෂණ, ඇත්තටම ඉන්දියාවේ බිහිවී ලංකාවට ගලා ආවා නොවේ. දෙ රටෙහිම එකම වකවානුවක බිහිවී, ගොඩ නැගී ඇති බවයි. අක්ෂර කලාව ද, දෙ රටෙහිම එකම වකවානුවක බිහි වීමෙන් පෙනී යන්නේ, සමකාලීනව ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද දියුණු මනුෂ්‍ය සමාජයක් පැවතුණු බවයි.
එය ලංකාවට විශාල ගෞරවයකි!
 
(පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (කැණීම්), ආචාර්ය නිමල් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් අසුරිණි)
 
2016/01/14.


No comments:

Post a Comment