Total Pageviews

Sunday, October 18, 2015

පත්තර මීවිත-මාධ්‍ය ජීවිතයේ රස කතා ටිකක්


හුදී ජන දුක් කම්කටොළු සහ

 පත්තරකාරයන්ගේ මීවිත

 


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පත්තර කන්තෝරු ජීවිතය, හුදී ජන සහෘදයන්ගේ දුක් කම්කටොළු සමග ගැට ගැසුණු එකක් බව රහසක් නොවෙයි. මතුපිටින් බොහොම සුන්දරයි වගේ පෙනුණාට, පත‍්‍ර කලාවේදීන් බොහොම දෙනෙකුගේ ජීවිත දැඩි ආතතියෙන් යුක්තයි. ඔවුන් දවස මුළුල්ලේ ප‍්‍රවෘත්ති, පින්තූර සහ අකුරු සමග කරන හරඹය දැඩි වෙහෙසකරයි. එබැවින් සමහරු හිත් සැහැල්ලූකර ගෙන, හැන්දෑ සල්ලාපයක යෙදෙන්න මීවිතක ඇසුර පතනවා. එබඳු තැන් ගණනාවක්ම කොළඹ නගරයේ දැකිය හැකියි. ලේක්හවුසිය අසල (කොටුවේ) කලින් පැවති ‘නැෂනල් බාර් එක’, ‘ප්‍රෙස් ක්ලබ්’ එක, සහ ‘රිකී සිනමා හලේ අවන්හල’, කොටුව ස්ටේෂන් එක ඉස්සරහා ‘කොලෝනියල් එක’, බොරැල්ලේ ‘ඊ. ඒ. පී. එක’,  සහ ‘ඩියුරෝ’ එක, කලකට ඉහත ඉබ්බන්වල හන්දියේ තිබුණු ‘හොටෙල් ගැලැක්සිය’, බ්ලූමැන්ඩල් පාරේ, ‘උපාලි බාර්’ නමින් ප‍්‍රසිද්ධ වූ අවන්හල, ග‍්‍රෑන්ඞ්පාස් හන්දියේ ‘කචල් පොට් එක’,  ඉඟුරු කඬේ හන්දියේ ‘කිංප්‍රෝන්ස් එක’, සහ කලකට පෙර නුගේගොඩ තිබුණු ‘ඩොමීනියන් බාර් එක’ යන ස්ථාන ඒ අතර ප‍්‍රධානයි. වැඩි දෙනෙක් පඩි දවසටත්, තවත් සමහරු සතියකට හමාරකට දවසකුත්, ඇතැමෙක් දවස ගානේත් මෙබඳු තැන්වලට සෙට් වෙනවා. රටේ තොටේ දේශපාලනය සහ කලා නිර්මාණ ආදිය, ඒ සල්ලාපවල විශාල තැනක් ගන්නවා. සමහරු හුදෙකලාවම  මීවිතෙහි ගිලෙන්නත් කැමතියි. පත්තරකාරයන්ගේ සෙට් වීම්, සහ ඔවුන්ගේ ඇතැම් චර්යාවන් ‘රස කතා ආකර’ බව ද කියන්නට  ඕනෑ. එයින් ටිකක් මෙහි සටහන් කරනවා.
 

 

 

‘බා’ මහත්තයා ගේ සොයා ගත්තු හැටි


‘බා’ නමින් ප‍්‍රකට ඡායාරූප ශිල්පියෙක් හිටියා. සවස් කාලයට ‘කොක්ටේල් පාටි’ වගේ දේවල් කවර් කරන්න වෙන නිසා, එයා හැමදාම ගෙදර යන්නෙත් හුඟක් රෑ වෙලා. ඉතින් බොහොමයක් දවස්වලට මීවිතකිනුත් සප්පායම් වෙනවා. ඔහු පදිංචිව සිටියේ කොට්ටාව පැත්තේ ‘ස්කීම් එකක’. රෑට ඉතින් ‘ඔෆිස් වෑන් එකෙන්’ ගිහින් බස්සනවා.
 

දවසක් රෑ ගෙදර යන කොට ලැබුණේ අලූත් රියදුරෙක්. එයා බාගේ ගෙදර දන්නේ නෑ. සප්පායමේ  මිහිර නිසා දෝ ‘බාට’ වෑන් එකට ගොඩවුණු ගමන් නින්ද ගියා. ඉතින් රියදුරා අර ස්කීම් එකට ගියා. ඒත් ‘පොටෝ මහත්තයා’ නැගිටින්නේ නෑ. රියදුරා ඔහුගේ ගේ දන්නෙත් නෑ. බැරිම තැන ඔහු මහත්තයාට යාන්තම් ඇහරවලා මෙහෙම ඇහුවා.
 

‘සර්, අපි ස්කීම් එක මැද්දට ආවා. සර්ගේ ගේ කොතැන ද?’
 

‘මං දන්නෑ බං’ බා නිදි මරගාතේම උත්තර දුන්නා.
අලූත්  රියදුරා  තක්බීර් වුණා!
 

තමන්ගෙ ගෙදර දන්නෙ නැති මහත්තයෙක්. රියදුරා ආයෙමත් අහනවා, ‘සර්, අපි ස්කීම් එකට ආවා. ගෙදර කොතැන ද සර්?’
උත්තරයක් නෑ. ‘පොටෝ මහත්තයා’ යාන්තම් ඔළුව උස්සලා ආයෙමත් නිදා වැටුණා.


 ‘මට ඩිලිවරි ඩියුටියකුත් තියෙනවා සර්’ රියදුරා පින්සෙන්ඩු වුණා.
 

‘සර්, අපි ස්කීම් එකට ආවා. ගෙදර කොතැන ද සර්?’ ඔහු ආයෙමත් ඇහුවා.
 

ඒ සැරේ එකපාරටම නැගිටපු බා,
‘මම දන්නෙ කොහොම ද යකෝ!’ යයි සැරෙන් කියලා ආයෙමත් නිදා වැටුණා.
 

කොයි හැටි වුණත් බාට හීනෙන් වගේ යමක් තේරෙන්න ගත්තා. වැඩේ ලොකු අප්සෙට් එකක්. යාන්තම් නැගිටලා වටපිට බැලූවා. වෙරි වැඩිකමට ගේ හොයා ගන්න බෑ. දැන් බැස්සේ නැතිනම් වෙන්නේ ආයෙමත් කන්තෝරු යන්න. ඒ ළග තැනක මළ ගෙයක්. බා රියදුරාට මෙහෙම කිව්වා.
 

‘පුතෝ, මං මෙහෙමම නැමිලා හැංගිලා ඉන්නම්. උඹ අර මළ ගෙදරට ගිහින් අහපන්, ----- පත්තරේ පින්තූර ගන්න ---- මහත්තයාගේ ගේ කෝක ද කියලා’
 

වෙන කරන්න දෙයකුත් නැති හින්දා රියදුරා මළ ගෙදරට ගිහින් ‘පොටෝ මහත්තයාගේ’ ගෙදර තියෙන තැන අසා ගෙන ආවා. ගේ තිබිලා තියෙන්නේ ඒ ළඟමයි. වෑන් එක ගේ ළඟටම ඇල්ලූවා. බා බැස්ස ගමන් වැනි වැනී ගෙට දිව්වා.
 

‘අර මොකද ---- මහත්තයා දුවන්නේ?’ කියලා මළ ගෙදර කට්ටිය කතා වුණාලූ!
 

මේ කතාව මුලින්ම කිව්වේ ඡායාරූප ශිල්පී ලක්රුවන් වන්නිආරච්චි. ඒත් අපි විශ්වාස කළේ නෑ. කලකට පස්සේ ලියුම්කරුට බා හමු වුණා. ඉතින් කතාව ගැන ඇහුවා. ‘ඔව් බං, එදා මාර වැඩේනේ වුණේ’ කියලා ඔහු උත්තර දුන්නා.

පාර වැරදුණු හැටි

 ‘ලක්බිම’ පත්තරේ පැරණි කාර්යාලය පිහිටා තිබුණේ, අශෝකා සිනමා හල් ගොඩනැගිල්ලේම කොටසක් ලෙසයි. සිනමා හලත්, ලක්බිම පළකළ ‘සුමති සමාගමට’ අයත්. අශෝකා සිනමා හලේ උඩු මහලේ මධු විතක් තොල ගෑ හැකි අවන්හලකුත් තිබුණා. ඒක බොහොම ‘ඩීසන්ට්’ තැනක්. ඇතැම් හැන්දෑවක එහි ගොඩ වැදීමේ සිරිතක් ‘ලක්බිමේ ඇත්තන්ටත්’ තිබුණා. ගිනි දහවලේ, ‘කෑමට පෙර’ එහි ගිය අයත් සිටියා. 1994 දි ‘ඉරිදා ලක්බිමට’ එකතු වෙලා ටික කලක් ගිියාට පස්සේ අපූරු කාරණයක් දැන ගත්තා. ‘රැජින’ සහ ‘සමුදුර’ කර්තෘ මණ්ඩල තිබුණේත් ඉරිදා ලක්බිම තාර්යාලයට යාබදව යි. ඒ මැදින් කොරිඩෝවක්. ‘සමුදුර’ පැත්තේ කොරිඩෝවේ වසා දැමූ දොරක් තිබුණා. එය නිතරම වසා දමලයි තිබුණේ. දොර ඇරියාම උස් පියගැට පෙළක්. ඒකෙන් නැගලා ගියාම, කෙලින්ම අසෝකා සිනමා අවන්හලේ ආලින්දයට වැටෙනවා! මේක හොර පාරක්. නැතිනම් ලක්බිම කන්තෝරුවෙන් පාරට බැහැලා, අසෝකා එකේ ‘එන්ට‍්‍රන්ස්’ එකෙන් යන්න  ඕනෑ. හොර පාර සොයා ගත්තු දවසේ ලක්බිමේ කට්ටිය ඒ ගැන කතා වුණා. පත්තර කර්තෘ මණ්ඩලයකට ‘විනාඩි තුනක්’ ඉහළින් අවන්හලක් තිබීමත් අපූරුයි. 

‘මේක හරියට  ඕමාර් ඛයියාම්ගේ ගෙදර වගේ’ යයි කවුදෝ කිව්වා.

 

කියන්න යන කතාව ඒක නෙවෙයි. දවසක් හවස ඉරිදා ලක්බිම කාර්යාලයට මහා සද්දෙන් බැණ වැදීමක් ඇහෙනවා. ‘පත්තර කන්තෝරුවක් ඇතුළට ඇවිල්ලා බණින උන්  කවු ද?’ යයි අසමින්,  කට්ටිය දොරවල් ඇරන් එළියට ගියා. මෙන්න, කෙලින් ඉන්න බැරි තරමට සප්පායම් වුණු වයස්ගත මහත්තුරු දෙන්නෙක් කොරිඩෝවේ ඇවිදිමින් කෝපයෙන් කෑගහනවා.
 

‘යකෝ, බොන්ඩ දුන්නා නම් ආපහු යන්ඩ පාර පෙන්නපල්ලා!’
 

අවන්හලෙන් ආපහු යන කොට ඒ දෙන්නා වැරදීමකින් අර හොර පාරෙන් බැහැලා, අතරමංවෙලා. පස්සේ ආරක්ෂක අංශයේ අය ඇවිත් ඒ දෙන්නා පාරට එක්ක ගියා.
 

බ‍්‍රැන්ඩි ශිල්පය

කලකට පෙර එක්තරා කීර්තිමත් ඡායාරූප ශිල්පියෙක් සිටියා. අප දන්නා කාලයේ පටන්ම ඔහු වැඩ කළේ විදේශීය ප‍්‍රවෘත්ති සේවාවකටයි. ඔහු බොහොම සුන්දර මනුස්සයෙක්. ඒ දවස්වල, රටේ ඇති වන සෑම ප‍්‍රබල සිද්ධියක දීම බරසාර කැමරා ආම්පන්න එල්ලා ගෙන සැරිසරන ඔහු ද දකින්නට පුළුවන්. ඔහු මාධ්‍යවේදීන් අතර ද ජනප‍්‍රියයි. කවුරුත් සලකනවා.
 

කැමරා, ලෙන්ස්, බැටරි පැක්, ට‍්‍රයිපෝඩ්, බෙල්ට්, බෑග් සහ ෆිල්ම් ආදී ඡායාරූප ශිල්පයේ ආම්පන්න රැසක්ම ඔහුගේ උපකරණ සංචිතයට අයත්. එහෙත් මේවාට අයත් නො වන යමක් ද, නිතරම පාහේ ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුණා. ඒ බ‍්‍රැන්ඩි කාලක්! (කාලේ කුප්පියක්) සවස් කාලේ යෙදෙන  ඕනෑම ‘එසයිමන්ට් එකක’ දී මේක තියෙනවා. ‘ජනාධිපති කවරේජ්’ එකක් ගියත් මේක තියෙනවා. ඒ කාලේ ආරක්ෂක අංශවල අයත් මේක දන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා යන දෙදෙනාම ජනාධිපතිකම් කළ කාලේත් ඔහු වැඩ කළා. සාමාන්‍යයෙන් ‘ජනාධිපති කවරේජ්වලට’ මධුවිත සපුරා තහනම්. ඒත් කවුරුවත් ඒක ගැන ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නේ නෑ. වැඩේ තියෙන්නේ, ඔහු මේක කටේ හලා ගන්නේ මොන වේලාවේ ද කියා කිසිවෙක් දන්නේ නැති  වීමයි. ඔහු බීපු ගතියක් පෙනෙුණෙත් නෑ. හැබැයි හැමෝම පාහේ එක දෙයක් දැන සිටියා. කවරේජ් එක ඉවර වෙලා ආපහු යන විට ඔහු කොහේ හෝ තැනක දී ‘හිස් කාලේ කුප්පියක්’ වීසිකර දමන හැටි!

සමන් ක‍්‍රමය

විකල්ප පත්තරේක ‘සමන්’ නමින් කෙනෙක් සිටියා. ඔහු වැඩි උනන්දුවක් දැක්වූයේ වෘත්තීය සමිති කටයුතු ආවරණය කිරීමටයි. හොඳට බොන කන මිනිහා. දේශපාලන සතා. ඒත් අතේ සතේ නැති, මීවිතක ගිලෙන්නටම හිතෙන දවස්වලට එයා ‘මධුපාන හැන්දෑවක්’ සංවිධානය කරනවා. ඒ මෙහෙමයි.
 

ඔන්න මුලින්ම, හැන්දෑවට එකතු වන අය කවුරුන් දැයි හඳුනා ගන්නවා. අතේ සතේ නැති නිසා වැඩි දෙනෙක් එන්නේ නෑ. ඊළඟට තව හිත මිතුරෙකුට අමතනවා.
 

‘මචං, හොඳ වල් ඌරු මස් ටිකක් හම්බ වෙනවා. නියම බයිට් එක. අපට එක බෝතලයක් තියෙනවා. උඹ බෝතලේකුත් අරන් හවස එය වෙනකොට අහවල් තැනට වරෙන්’ කියලා ආරාධනා කරනවා.
 

ඉතින් මිතුරාත් ‘වල් ඌරු මස්’ නම් මරුනේ කියා කල්පනා කරනවා ඇති. ඊට පස්සේ ‘හරි මචං මං එනවා’ කියලා කාරණේ ස්ථිර කරනවා.
 

ඊළඟට සමන් තව මිතුරෙකුට මෙහෙම අමතනවා.

‘මචං, අපට අද හවසට බෝතලයක් හම්බ වෙනවා. බයිටුත් තියෙනවා. උඹ කාලෙකින් සෙට් වුණෙත් නෑනේ. බෝතලේකුත් අරන් වරෙන්කෝ. හවසට උඹේ යාළුවා -- ත් එනවා’
මිතුරා එකඟ වෙනවා. ‘හරි මං සෝඩා එකකුත් ගේන්නම්’
 

දැන් බෝතල් දෙකක් තියෙනවා. එතකොට බයිට්? කට්ටිය කතා වෙනවා.
 

ඔන්න සමන් දැන් තව මිතුරෙකුට අමතනවා.
 




‘මචං, පඩිත් තාම නෑනේ බං. අපට බෝතල් දෙකක් හම්බවෙලා තියෙනවා. බයිට් තමයි නැත්තේ. බොරැල්ලේ මාතර බත් කඩෙන් ‘පෝක් ඩෙවල්’ එකකුත් දා ගෙන වරෙන්කෝ, ටිකක් කතා කරන්නත් එක්ක’ කියා ඇරයුම් කරනවා. හැමදාමත් නෙවෙයිනේ. ඒ මිතුරාත් එකඟ වෙනවා.
 

ඊට පස්සේ අතේ සතේ නැති මිතුරන්, බොහොම ජයට ‘මධුපාන හැන්දෑවක්’ දානවා. ඒ එන කවුරු කවුරු හරි සිගරුටුත් ගන්නවා! ‘පෝක් ඩෙවල්’ තියෙන නිසා කවුරුවත් ‘වයිල්ඩ් බෝ’ ගැන අහන්නෙත් නෑ!
 

මේක ‘සමන් ක‍්‍රමය’ යනුවෙන් ප‍්‍රසිද්ධයි!

පඩි දවසේ වෝක් එක 

ඔහු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට සම්බන්ධකම් තියෙන, මැදි වයසේ පත‍්‍ර කලාවේදියෙක්. වැඩකරන දවස් ටික ගත කරන්නෙත් පත්තර කන්තෝරුවේමයි. පඩි දවසේ හැන්දෑවට ඔහු කිලෝමීටරයක් විතර පයින්ම ඇවිද යනවා. මරදානේ සුදු වැල්ලේ තැනකින් කාලේ කුප්පි දෙකක් ගන්නවා. බයිට් එකට කඩල ගොට්ටයි. ෂැන්ඩිත් නෑ. එකක් එතැනදීම බස්සා ගන්නවා. ඊට පස්සේ ටවුන් හෝල් එකට පයින්ම එනවා. ඉන් පස්සේ වෙන දෙයක් කවුරුවත් දන්නේ නෑ. හැබැයි ‘කාලේ කුප්පියක්’ ඩස්බින් එකකට වැටෙනවා නම් පේනවා. ඊට පස්සේ කඩල කකා පත්තර කන්තෝරුවට යන මහත්තයෙක් දකින්න පුළුවන්!

ටවුන්හෝල් බස් නැවතුම

ටවුන්හෝල් කියද්දී තවත් කතාවක් මතක් වුණා. ලංකාදීපේ ඉන්න කාලේ මිරිසවැටිය සෑයේ පිළිසකර වැඩ බලන මාධ්‍ය චාරිකාවකට එක් වුණා. සුනිල් දයා අල්විස් මහත්තයාත් ඒකට ඇවිත් හිටියා.රෑ කතාබහට සෙට් වෙච්ච වෙලාවේ ඔහු මගෙන් මෙහෙම ප‍්‍රශ්නයක් අහනවා.
 

‘මචං දැං උඹලගේ ‘අරූට’ කොහොම ද?’
(මෙතැන ‘අරූය’ කිව්වේ එක ජ්‍යෙෂ්ඨ පත‍්‍ර කලාවේදියෙකුටයි.)
 

ඉතිං මං කිව්වා, එයා හොඳින් ඉන්න බව. ඒ ගමන සුනිල් මහත්තයා පරණ කතාවක් කිව්වා.
 

‘දිවයිනේ ඉන්න කාලේ  දවසක් රෑ අපි කට්ටිය වැඩ ඇරිලා යන්න ගියා. මොකක් හරි දේකට අපි ගියේ මරදාන පැත්තෙන්. මෙන්න ‘අරූ’ හොඳටම වැඩි වෙලා වැනි වැනී යනවා. අපි ඉතින් වාහනේ නවත්තලා ඌව දාගත්තා. අපේ එකෙක් නේ. ඊට පස්සේ එයාගේ ගෙදරට එක්ක ගිහින් වයිෆ්ට බාර දීලා අපි ගියා. එදායින් පස්සේ අපි එයාව දැක්කේ නෑ’ සුනිල් මහත්තයා පැවසුවා.

පස්සේ කන්තෝරු ආවාම මං ඒ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියාට, ‘අන්න සුනිල් දයා අල්විස් මහත්තයා ඔයාව මතක් කළා. එදා මරදානෙදි හම්බ වුණාට පස්සේ හමු වුණේ නෑ කියලත් කිව්වා’ කියා කීවා. හැබැයි කතාව කිව්වේ නෑ. ඒක එතැනින් ඉවරයි.
ඊට වසර කීපයකට පස්සේ එක තැනක දී අර ජ්‍යෙෂ්ඨ පත‍්‍ර කලාවේදියා සමග සෙට් වෙන්න අවස්ථාව ලැබුණා. තවත් කට්ටිය හිටියා. එතෙන් දී මං ඔය සුනිල් දයා අල්විස් කී කතාව කිව්වා.




‘අම්මට සිරි යකෝ’
ජ්‍යෙෂ්ඨ පත‍්‍ර කලාවේදියාට එක් වරම කියැවුණා.
‘මච, උඹ ඉස්සරත් දවසක මට  ඕක කිව්වානේ. මං එදාත් මතක් කළා. මට අවුරුදු කීපයකින් සුනිල් හම්බ වෙලා නෑ. හරි මචං, තාමත් අපේ ගෑනි මට කියනවා, තමුසේට ඉතින් බීලා වැඩි වුණාම ගෙදර ගෙනත් දාන්න සුද්දොත් ඉන්නවා නේ කියලා. ඊයේ ? ඔයාව ගෙනාපු සුද්දා කවුද කියලා ඒ කාලෙත් ඇහුවා. මං දන්න සුද්දෙක් නැති හින්දා මං අවුරුදු ගාණක් කල්පනා කළේ මේ සුද්දා කවුද කියලයි. හරි මට දැනුයි තේරුණේ. සුනිලූත් ඉතිං සුද්දෙක් වගේ සුදුයි නේ!’ කියමින් ඔහු මහ හඬින් හිනා වුණා.

ටවුන් හෝල් කතාව මෙහෙමයි.

මේ ජ්‍යෙෂ්ඨයා දවසක්, වැඩ ඇරිලා යන ගමන් එක්තරා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙනෙක් හමුවන්න තිඹිරිගස්යාය පැත්තේ ගෙදරකට ගිහින්. මන්ත‍්‍රීවරයා මෙයාගේ මිතුරෙක්. දෙන්නා හොඳටම සප්පායම් වුණා. හුඟක් රෑත් වුණා. රියදුරුත් සමග තමන්ගේ වාහනයෙන් ගෙදර ඇරලවන්න මන්ත‍්‍රී මිතුරා කොතෙක් උත්සාහ කළත්, ජ්‍යෙෂ්ඨයා ඒකට කැමති වුණේ නෑ. ‘තවම බස් තියනවා නේ. මං බස් එකේ යන්නම් මචං’ කියමින් ඔහු ගෙදර යන්න ගියා.
 

දැන් ඔන්න ජ්‍යෙෂ්ඨයා එක පාරටම නින්දෙන් ඇහැරුණා. ඇඳෙන් බහින්න හදන කොටම, කකුල මොකක්දෝ තහඩුවක වැදිලා සද්දෙකුත් ආවා. එතකොටම වාහන සද්ද, හෝන් ගහන සද්ද වගේම කපුටු සද්දත් ඇහෙනවා. දනිපනි ගහලා බලන කොට තමන් බස් හෝල්ට් එකක් ඇතුළේ ඉන්න බවක් තේරුණා. ජංජාලයයි. මේ ටවුන් හෝල් එකේ බස් හෝල්ට් එක. අම්මට සිරි. පර්ස් එකයි ඔරලෝසුවයි නෑ. අතේ තිබුණු ෆයිල් එක නම් තියෙනවා. සපත්තුත් තියෙනවා. ‘යකෝ මං මෙතෙන්ට ආවේ කොහොම ද?’ ජ්‍යෙෂ්ඨයා කල්පනා කරන්න ගත්තා. ඒත් කිසිවක් මතක නෑ. ඔරලෝසුව නැතත් වෙලාව හයට කිට්ටු බව තේරුණා. අන්තිමේ ත‍්‍රීවීල් එකකට අතදාලා ගෙදර ගිහින් සල්ලි දුන්නා!
 

එදා මොකද වුණේ කියන එක, තවමත් දන්නේ නැතැයි ජ්‍යෙෂ්ඨයා කියනවා.

සිරා ඩ‍්‍රයිවින්

දවසක් එක පත‍්‍ර කලාවේදියෙකුට ‘ගෙදර යන ගමන්’ සෙට් වෙන්න සිද්ධ වුණා. එයා බොන ගමනුත් කල්පනා කළේ දැන් කාර් එකත් අරන් තනියම යන්නේ කොහොම ද? කියන එකයි. මෙයා දැන් රෑ දොළහට විතර කොටහේන පැත්තේ ඉඳලා පිළියන්දල කිට්ටුවට යන්න  ඕනෑ. ඉතින් සෙට්විල්ල හමාර වෙලා, බොහොම හිතේ පරිස්සමෙන් කාර් එක එළවන්න පටන් ගත්තා. ඞීසන්ට් විදිහට එලෙව්වොත් මග දී පොලීසියෙන් නවත්වන්නේ නැති බව එයා අත්දැකීමෙන්ම දන්නවා. ඒත් මේ තරම් බීලා කවදාවත් කාර් එලවලා නෑ. ඒත් ඉතින් ගියා. පහුවදා ආයෙමත් වැඩට එන්නත් එපායැ.
ඔන්න පහුවදා උදෙන්ම ඇහැරුණා. ‘යකෝ, මං පිළිවෙලට නිදා ගෙන තියෙනවා නේ’ මිත‍්‍රයා කල්පනා කළා. ? ඇවිල්ලා, ඇඳුම් මාරු කරලා, ඇඟත් හෝදලා තමයි නිදා ගෙන තියෙන්නේ. එයා විගහට මිදුලට බැහැලා බැලූවා. කාර් එකත් හරියටම පාක් කරලා තියෙනවා. ඒක වටේම ඇවිදලා බැලූවත් අප්සෙට් එකක් නෑ. මේ හැසිරීම දැකලා එයාගේ බිරින්දෑටත් අමුතුයි. ‘ඇයි මොකක් හරි ප‍්‍රශ්නයක් ද?’ ළමයි ඉස්කෝලේ යවන්න සූදානම් කරන ගමන් ඇයත් ඇසුවා.
මිත‍්‍රයාට බය හිතුණා.
 

‘කොටහේනෙන් ආවා මතකයි. ඊට පස්සේ එච්චර දුරක් ආපු හැටි මොකවත් මතක නෑ. කලර් ලයිට්ම කොච්චරක් ද? ඇයි කී තැනක පොලීසියෙන් ඉන්න ඇද්ද? හැබැයි ඇවිල්ලා, පිළිවෙලට නිදාගෙනත් තියෙනවා. කාර් එකත් පුරුදු විදිහටම පාක් කරලා’ පසුවදා කන්තෝරුවේ මිතුරන්ටත් කිව්වා.
 

දැන් එයා බීලා කාර් එළවන්නේ නෑ. දැන් වැඩේ කෙරෙන්නේ, ‘ගෙදර යන ගමන් නෙවෙයි, ගෙදර ගිය ගමන්!

ටොප් මළගේ මචං

බොහොම පරිණත, බොහොම ගුණ යහපත් එක්තරා ජ්‍යෙෂ්ඨ පත‍්‍ර කලාවේදියෙක් සිටියා. රෑට වැඩ ඇරිලා යන සමහර දවස්වලට, නුවර පාරේ අවන්හලකට ගොඩ වෙලා යන සිරිතක් ඔහුටත් හිත මිතුරන්ටත් තිබුණා. ඒ සැවොම පත‍්‍ර කලාවේදීන්. කට්ටිය බොන්නේ ‘සින්ඩිකේට්’ කරලයි. හැම දෙනෙක්ම හැකි මුදලක් ස්වේච්ඡාවෙන්ම දානවා. ඒත් අර ජ්‍යෙෂ්ඨයා කවරදාකවත් කීයක්වත් දාන්නේ නෑ. අනෙක් අය ඔහුට ඇති ගෞරවේට ඒක ගැන තකන්නේත් නෑ.
ඒත් මාර ප‍්‍රශ්නයක් තිබුණා. ජ්‍යෙෂ්ඨයා බොන්නේ බොහොම ටිකයි. ඒකත් හොර පොළක වගේ ඉක්මණටම ගහලා දානවා. ඊට පස්සේ ‘හරි ෂෝක් ඩි‍්‍රන්ක් එක’ කියනවා. ඊළඟට එයාට යන්නත් හදිස්සියි. කට්ටියම එකම වාහනේ යන නිසා එයා අනෙක් අයට යන්න උනන්දු කරනවා. ‘ඔයා ඇයි ඉක්මණට බිව්වේ කියලා ඇහුවාම, ‘වැඩි කාලයක් බොන්න නම් මද පමණින් ගන්ට  ඕනෑ’ කියලාත් කියනවා. ඒ කතාවේ ලොකු අරුතක් තියෙන බව ඉතින් ‘බයිට් එකටත්’ ගැනෙනවා.
 

ඉතින් දවසක් තව ජ්‍යෙෂ්ඨයෙක් ‘ටොප් මළගේ’ කියලාත් කිව්වා නේ. ඒ කතාව මෙහෙමයි.
 




 ඔන්න ගම්පහ දිස්ත‍්‍රික්කයේ උපන් එක්තරා ජ්‍යෙෂ්ඨයෙකුගේ මව මියගියා. මළගම තිබුණේ ගමේ. ඒ කියන්නේ ගම්පහින් හැරිලා යන දුර බැහැරකයි. ඔහුගේ පත්තර කන්තෝරු සගයන් එක් හැන්දෑවක වාහනයකුත් අරන් මළ ගෙදර යන්න පිටත් වුණා.
 


දන්නවානේ ඉතින්. අතරමගදී නවත්වලා, සල්ලි එකතුකරලා සියලූ අඩු-වැඩිය ගත්තා. කට්ටිය මළ ගෙදරට යන කොට කළුවරත් වැටිලා. ඒක ලොකු පොල් ඉඩමක මැද තිබුණු පැරණි නිවසක්. වාහන පාක් කරන්නත්  ඕනෑතරම් ඉඩ තිබුණා. ඉතින් මළගේට මදක් ඈතින් පොල් රුප්පාවේ වාහනේ පාක් කෙරුණා. දැන් කට්ටිය නිල වශයෙන් මළ ගෙදරට ගියා. මිතුරාගේ මෑණියන්ට අවසන් ගෞරව දක්වලා ටිකක් වාඩි වෙලා හිටියා. ඔය අතරේ ‘මළ ගෙදර පත්තර මිතුරා-ජ්‍යෙෂ්ඨයා බොහොම රහසින් අහනවා,
 

‘මොකවත් කරන්නේ නැද්ද?’
 

‘හරි හරි ඒ ඔක්කොම හරි’ කට්ටිය උත්තර බඳිනවා.
 

‘හ්ම්!’
 

ඊට පස්සේ එයා කොහේට ද ගියා.
 

ඉන් පස්සේ එකා දෙන්නා පොල් රුප්පා මැදින්, හොරෙන් වගේ වාහනේ ළඟට ඇදුණා. දැන් වැඩේ යනවා. කතා කළේ නම් හෙමින්. මොකද, මළගෙදරට ඇහුණොත් හොඳ නෑනේ. ටික වේලාවක් යනකොට කට්ටියට එක ගාණකට පදම් වෙලා.
 

ඔය අතරේ මළගෙදර පත්තර මිතුරා කළු පොලිතීන් බෑග් එකකුත් අරන් එතැනට ආවා. ‘මේකත් ගනිල්ලා’ කියලා සගයන්ට දුන්නා. ඒක තව බෝතලයක්. සගයන් එක්ක කතාවට එකතුවෙන ගමන් ඔහුත් දෙක තුනක් දාගත්තා. ‘උඹලට කෑමත් ලෑස්ති කරලා තියෙන්නේ’ කියමින් ඔහු පිටවී ගියා.
 

දැන් කට්ටියට බඹර පදම්. ඒත් ඉතින් සින්දු කියන්නත් බෑනේ. ඉතින් රස කතා කියන්ඩ පටන් ගත්තා. ටික වේලාවකිත් මළ ගෙදර ජ්‍යෙෂ්ඨයා ආයෙමත් ආවා. මෙන්න තවත් බාගයක්!
 

ඒක දීලා ඔහුත් ෂොට් දෙක තුනක් දාගත්තා. කතාබහටත් සෙට් වුණා. ඔතන හිටියා තවත් එක්තරා ජ්‍යෙෂ්ඨයෙක්. පත්තරේ රස්සාවට අමතරව පොත්, ටෙලි නාට්‍ය, චිත්‍රපට කතා  එහෙම ලියන කෙනෙක්. එයා කලක් හිටියේ පිටරට. එයාට හොඳටම වැදිලා. ඉතින් මළගෙදර පත්තර සගයාගේ උරහිසට අත තියලා බොක්කෙන්ම සුහදතාවය පළ කළා.
 

‘ටොප් මළගේ මචං!’

 

ඉංගිරිසි පත්තරේ සගයා

ඔහු ජනප‍්‍රිය ඉංගිරිසි පුවත්පතක දීප්තිමත්, ඒ වගේම බොහොම ප‍්‍රසිද්ධ තරුණ පත‍්‍ර කලාවේදියෙක්. හොඳට බොන කන කෙනෙක්. සිංහල පත්තරවල සෑහෙන පිරිසක් ඇසුරු කළ කෙනෙක්. පදිංචිය කැළණිය පැත්තේ. කතාව පැවසීමේ පහසුවට අපි ඔහු ‘ඉංගිරිසියා’ කියල හඳුන්වමු.
 


දවසක් කොළඹ තැනක පාටියක් තිබුණා. වැඩේ ඉවර වෙන කොට හුඟක් රෑ වුණා. එතැන හොරණ පැත්තේ පත්තර මිතුරෙකුත් හිටියා. ඉතින් ‘ඉංගිරිසියා’ එදා රෑ, හොරණ මිතුරාගේ ගෙදර ගියා. හෙට උදේ ආයෙමත් කොළඹ එන්නත්  ඕන නේ.
 

හොරණ පත්තර මිතුරාගේ ගෙදර ඉන්නේ, ඔහුගේ අම්මයි, කුඩා නැගණියන් දෙන්නයි විතරයි. ඔවුන් ආවෙත් අන්තිම බස් එකේ. එතකොටත් ඒ අය නිදි. ඉතින් මේ දෙන්නත් පොඩි වොෂ් එකකුත් දා ගෙන නිදා ගත්තා. නිවසේ එහා පැත්තේ කාමරේ, අම්මයි නංගිලයි නිදි. මෙහා පැත්තේ කාමරේ පත්තර මිතුරන් නිදි. කාමර දෙක අතර කොරිඩෝවේ ‘ගඩාපියා’ නිදි. ඒකා මහ සැර බල්ලෙක්. අම්මාට විතරයි වලංගු.
 

ටික වේලාවක දී උන් හිටි ගමන් මර හූවක් ඇහුණා. හොරණ මිතුරා ගැස්සිලා ඇහැරුණා. මළා, ‘ඉංගිරිසියා’ නින්දෙන් හූ කියනවා!
හොරණ මිතුරාට එතකොටයි මතක් වුණේ, රෑට බත් කෑවේ නෑ නේ ද කියලා. ඇයි පාටියෙදි කෑවේ කොත්තු නේ. බීලා, රෑට බත් නො කෑවොත් ‘ඉංගිරිසියා’ රෑට නින්දෙන් හූ කියනවා කියලා මතක් වුණාම, හීන් දාඩිය දැමමා. මෙන්න ටික වෙලාවක් යන කොට ‘ඉංගිරිසියා’ දිගින් දිගටම හූ කින්න පටන් ගත්තා.
 

දැන් ගෙදර එකම ජංජාලයයි. හූවට බය වෙලා නංගිලා දෙන්නා අම්මගේ ඇඟේ එල්ලිල අඬනවා. ඒ අස්සේ ‘ගඩාපියා’ කුලප්පු වෙලා මෙලෝ සිහියක් නැතිව කාමරේට බුරනවා. අම්මා නංගිලා දෙන්නා අස්වසලා පත්තර මිතුරාගේ කාමරේට ආවා. මිතුරාට කරකියා ගන්න දෙයක් නෑ. ‘මුන් මළ ජරාව බීලා ඇවිත්’ අම්මා කෝපයෙන් දෙස් තිබ්බා!
 

ඒ අස්සේ කලබලේ මොකද කියලා බලන්න, අල්ලපු ගෙදර අයත් ඇවිත්! ෂේප් වුණේ බොහොම අමාරුවෙන්.
 

‘ඉංගිරිසියාගේ’ හූ චර්යාව දන්නේ ඔහුගේ ළඟම මිතුරන් විතරයි. ඉතින් රෑට කොහේදි හරි බිව්වොත්, කොහොම හරි එයාට බත් කවන එක ඔවුන්ගේ පුරුද්දක්. ඒත් ඉතින් සමහර දාට  ඕක අමතක වෙනවා. කොච්චර හූ කිව්වත්, නින්දෙන් ඇහැරුණාම, ‘ඉංගිරිසියාට’ ඒ කිසිදෙයක් මතක නෑ.
 

‘ඉංගිරිසියාට’ බේරුවල පැත්තේ පදිංචි මිතුරෙක් ඉන්නවා. ඔහුත් ජ්‍යෙෂ්ඨ පත‍්‍ර කලාවේදියෙක්. ඩීසන්ට් විදිහට ජීවත්වන, නමක් තියා ගත්තු කෙනෙක්. දවසක් දෙන්නාම කොළඹින් පිට පළාතක වැඩකට ගිහින් කොළඹට එනකොට රෑ වුණා. ඉතින් යම් තැනකින් සප්පායමකුත් වෙලා ගෙදර යන්න පිටත් වුණා. රෑ වෙච්ච හින්දා ‘මචං, අපේ බාප්පා කෙනෙක් ඉන්නවා සේදවත්තේ. අපි එහේ ගිහිල්ලා නිදා ගම්මු’ කියා බේරුවල මිතුරා කිව්වා.
 

 ‘හරි එහේ යං’ ‘ඉංගිරිසියාත්’ එකඟ වුණා.
 

ඔන්න ත‍්‍රී වීල් එකකකින් දෙන්නාම බාප්පලයි දිහාවේ ගියා. යන කොට ඒ ගෙදර කට්ටිය නිදි. ඒත් ? බෝවෙලා ආපු දරු දෙන්නා පිළි අරන්, ඇතුළු කාමරේක නිදා ගන්න සලස්වලා දුන්නා. දෙන්නා බීලා හිටපු බව තේරුණත් බාප්පා මොකවත් කිව්වේ නෑ. දැන් දෙන්නා කාමරේ ලොකු ඇඳක නිදි.
 


ටික වෙලාවයි ගියේ. ඔන්න එකපාරටම ‘හීන් හූවක්’ ඇහුණා. බේරුවල මිතුරාට ටක් ගාලා ඇහැරුණා. මේන්න තව හූවක්. අම්මට සිරි, රෑට බීලා බත් කෑවේ නෑ කියලා මතක් වුණේ ඒ වෙලාවෙයි. ‘ඉංගිරිසියා’ දැන් නින්දෙන් හූ කියන්න පටන් අරන්. ඒ සැරේ බාප්පා කාමරේට එබුණා. බේරුවල මිත‍්‍රයා ඔලූවත් එක්කම පොරවනයෙන් වහගෙන, මොකවත් ඇහුණේ නෑ වගේ නිදා සිටියා. බාප්පා කේන්තියෙන් මොන මොනවා දෝ කියමින් හිටියා. පුංචි අම්මාත් බණිනවා ඇහුණා. නිදි වගේ හිටියාට නින්ද ගියේත් නෑ.
පහුවදා උදේ බේරුවල මිත‍්‍රයාට බාප්පා ගෙන් හොඳ ‘දේශනයක්’ අහන්නට වුණා. ‘බොනවා නම්, ජරාව නැතිව වැදගත් එකක් බොන්න ඉගෙන ගනිල්ලා!’ ඔහු සැරෙන් කිව්වා.
 

තවත් දවසක් ? නමයට විතර කිරිබත්ගොඩ හන්දිය මැදින් පාර පනින කොටත් ‘ඉංගිරිසියා’ හූ කිය කිය ගිය හැටිත් මිතුරන් අතර ප‍්‍රසිද්ධයි.
 

බීලා බත් නො කෑ දවස්වලට නින්දෙන් හූ කිව්වාට, ‘ඉංගිරිසියා’ හිත හොඳ එකෙක්. ඔහු දැන් ලංකාවේ නෑ!
2015/10/15.





1 comment:

  1. හපෝයි රස කථා... මෙව්වා බෝතල් අස්සෙම තියෙන කතන්දර නෙව...
    ජයවේවා..!!

    ReplyDelete