Total Pageviews

Sunday, October 18, 2015

යාන් ඔය වාර්තාවේ ගැටළු

 අපට ලැබුණු ලිපියක්

යාන් ඔය ජලාශ වාර්තාවේ ගැටළු

මහවැලි සංවර්ධන සැලැස්මේ එක් පියවරක් වශයෙන් තැනීමට යෝජිතව තිබූ යාන්ඔය ජලාශ ව්‍යාපාරය  ආරම්භ කරලීම උදෙසා සකස් කළ යුතුව තිබූ පරිසර අගැයුම් වාර්තාවේ, පුරාවිද්‍යා ස්ථාන පිලිබඳව නිර්දේශ ඉදිරිපත් කර නොමැති බව දැන ගන්නට ඇත. 

නමුත් 2013 වසරේ දී පුරාවිද්‍යා හානි අගැයුම් වාර්තාවක් සකස් කොට බාර දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  කටයුතු කර තිබුණි. එම වාර්තාව අනුව සෙල්ලිපි  ඇතුළු පුරා විද්‍යා ස්ථාන හැටපහක් ජලාශයට යටවීමට නියමිතය. ඒ අතර පැරණි වාරිමාර්ග අමුණු හා ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් ද වෙති. 1998 පුරාවිද්‍යා සංශෝධන පණත අනුව යම් කිසි සංවර්ධන කටයුත්තක දී සකස් කරන හානි අගැයුම් වාර්තාව අනුව, පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම ප්‍රථමයෙන් සිදු කළ යුතුය. එසේම ප්‍රදේශයේ යම් කිසි කැණීමක් කළ යුතු නම් ඒවා ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවට මුදල් වෙන් කළ යුතුය. නමුත් යාන්ඔය ජලාශ ව්‍යාපාර ඉඳි කිරීම් දැනට ආරම්භ කර ඇති නමුත්, එවැනි සංරක්ෂණ කටයුත්තකට පියවර ගෙන නොමැත.

 මෙම ජලාශ ව්‍යාපෘතිය නිසා, කොටි ත්‍රස්තවාදීන් ගෙන් අඛණ්ඩව පීඩාවට පත් ව සිටි සිංහල පවුල් දෙසීයක් පමණ අවතැන් වන අතර, නිවාස දෙසීයක් පමණද ජලාශයට යටවේ. නමුත් මේ ජනතාව නැවත පදිංචි කිරීමට යෝජිත ස්ථානයන් පිළීබඳව දැනුවත් කිරීමක් මේ වනතුරුත් සිදු වී නොමැත. පරිසර අගැයුම් වාර්තාව පවා ජනතාවගෙන් වසන් කර තිබේ. චීන රජය මෙම ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 85‍ ක ප්‍රමාණයක් දරයි. මෙම ජලාශ ව්‍යාපාරය නිසා පාරම්පරික කුඹුරු ඉඩම් අක්කර 10 000 අධික ප්‍රමාණයක් විනාශ වේ. නමුත් නැවත අස්වැද්දීමට බලාපොරොත්තු වන්නේ කුඹුරු අක්කර හයදහසක් පමණකි. තවත් අක්කර පන්දහසක පමණ උක් වගා කිරීමට හා කෙසෙල් වගාවට සමාගම් කීපයකට බදු දීමට තීරණය කර ඇති බව දැන ගන්නට ඇත.
 
මැතිවරණයට ප්‍රථම වර්තමාන රජය  පිළි ගැනීමට යෙදුනු ,ජාතික පාරිසරික සම්මුතිය, මගින්ද ඉහත විනාශය  නවතා දමන බවට  පොරොන්දු වූ අතර එය මෙතෙක් ඉටුවී නැත.

කැලුම් තුෂාර,
ප්‍රධාන ලේකම්,
තෙත්බිම් උරුමය.

No comments:

Post a Comment