Total Pageviews

Tuesday, October 13, 2015

මහා ගින්නක් වන්නට අරඅඳින තේ දල්ලේ අර්බුදය


තේ දල්ලේ අර්බුදය මහා ගින්නක් වන පෙර නිමිති

 

 

 

(ක‍්‍රිෂ්ණ  විජේබණ්ඩාර)

‘මේ විදිහට තේ ඉඩම් නඩත්තු කරන්නත් බෑ. අපි නම් දැන් ඉඩමේ කොටසක තේ ගලවලා ගම්මිරිස් දැම්මා’,
මෙසේ කිියා සිටියේ ඉකුත් දිනක ලියුම්කරුට හමුවූ කුඩා තේ ඉඩම් හිමිකාරිණියකි. ගාල්ල දිස්ත‍්‍රික්කයේ, හියාරේට නුදුරු සරුසාර උස් බිම් ප‍්‍රදේශයක් වන කබරගල ඉසව්වේ  වෙසෙන ඇය, දැන් තේ වගාවෙන් හෙම්බත්ව සිටින්නී ය. ‘අමු තේ දළු මිල රුපියල් 51ට බැහැලා’ ඇය චෝදනා කරයි. ඇය පවසන අන්දමට, ඉන් ලැබෙන ආදායම කුඩා තේ ඉඩම් නඩත්තු කරන්නටත්, කම්කරු කුලී ගෙවන්නටත් කොහෙත්ම ප‍්‍රමාණවත් නැත. වියලි ගම්මිරිස් කිලෝවක් රුපියල් එක්දහස් ගණනක් වන හෙයින්, ඇය දැන් ගම්මිරිස් වගාවට පෙළඹී සිටින්නී ය.
 
ඇගේ අදහස පෞද්ගලික එකක් බව ඇත්ත ය. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන ලාංකේය තේ වගාවේ වර්තමාන ඛේදවාචකය බිහිසුණු ය. රටක් හැටියට එයින් ඉතා දරුණු රැකියා අර්බුදයක් පමණක් නොව, ජාතික ආර්ථික විපත්තියක් ද, හට ගන්නට හොඳටම ඉඩ තිබේ!
 
රටේ ජාතික ආදායමෙන් ඉතා විශාල කොටසක් උපයා දෙන තේ වගාව, අද මහත් අර්බුදයකට මුහුණ පා ඇති අයුරු මේ දිනවල අසන්නට ලැබෙයි. අමු තේ දළු කිලෝවේ මිල, හොඳටම පල්ලම් බැසීම, ඊට හේතුවයි. 2015 ජනවාරි-පෙබරවාරි මාස හා සැසඳීමේදී, වර්තමාන අමු දළු මිල සියයට 50කින් පමණ පහත වැටී ඇතැයි යන්න, තේ වගාකරුවන්ගේ චෝදනාවයි. ඇතැම් පෙදෙසක අමු තේ දළු කිලෝව රුපියල් 40ක් තරම් දරුණු ලෙස පහත වැටී ඇතැයි ද අසන්නට ලැබේ. බලයට පැමිණි දේශපාලනඥයන් ඉකුත් මැතිවරණ සමයේ දී පැවසුවේ, තමන් අමු දළු කිලෝවකට රුපියල් 80ක් ගෙවන බව ය. දැන් ඒ කාරණා ද සුළ‍‍ෙඟේ ගොසිනි. මෙම තත්ත්වයට, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කාරණා රැසක්ම බලපා තිබේ. එබැවින් දැන් තේ ඉඩම් මෙන්ම, තේ කර්මාන්ත ශාලා ද යහතින් පවත්වා ගෙන යාමට බැරි තත්ත්වයක් නිර්මාණය වෙමින් යන ආකාරය දකින්නට පුළුවන. තේ දල්ලේ මිල බැසීම නිසා, අද ඉන් ලැබුණු ආදායම් බිඳ වැටී ගොසිනි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික‍්‍රම මහතා ඔක්තෝබර් 11 වැනි දා ‘සිළුමිණ’ පුවත්පතට පවසා තිබුණු ආකාරයට, ලංකාවේ තේ වගාවෙන් යැපෙන ජන සංඛ්‍යාව මිලියන එකහමාරකට අධික ය.
 
එබැවින් අමු තේ දළු මිල පල්ලම බැසීමේ අර්බුදය, රටක් හැටියට නිතැතින්ම අතිශය බරපතල සමාජ-ආර්ථික ගැටළු මතු කරන්නක් එකක් බවට පත් වේ!

 
ඉහළම ආර්ථික බෝගය
කාරණය සවිස්තරව තේරුම් ගැනීමට නම් ලාංකේය තේ වගාව, ආර්ථික ක‍්‍රියාවලියක් වශයෙන් කොතෙක් වැදගත් ද? යන්න විමසා බැලිය යුතු ය. එය දැන් බොහෝ කාලයක් මුළුල්ලේ අපේ රටේ ඉහළම ආර්ථික බෝගයයි.
 
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ 2014 නිල ප‍්‍රගති වාර්තාව අනුව, එම වසරේ ලංකාවේ සමස්ත තේ වගා භූමිය හෙක්ටයාර් 2,04,095කි. ඉන් හෙක්ටයාර් 1,21,267ක් හෙවත් සියයට 59.4ක්ම, කුඩා තේ ඉඩම් හිමියන් සතු තේ වගාවන් ය. (එනම් ප‍්‍රමාණයෙන් හෙක්ටයාර් 04ට අඩු කුඩා තේ ඉඩම් ය.) ඊළඟට සමස්ත තේ වගා භූමියෙන් සියයට 36ක්, පෞද්ගලික අංශයේ වැවිලි සමාගම් 20කට ද, ඉතිරි සියයට 4.6ක භූමිය, රාජ්‍ය අංශයට ද බෙදී ගොස් තිබේ.
 
2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන ආකාරයට, රටේ  සමස්ත තේ වගා භූමියෙන් එම වසරේ නිපැයුණු තේ ප‍්‍රමාණය, කිලෝග‍්‍රෑම් මිලියන 338කි. ඉන් සියයට 73.2ක්ම නිපදවා තිබුණේ කුඩා තේ ඉඩම් හිමියන් විසිනි. වර්ෂය තුළ තේ කිලෝග‍්‍රෑමයක අපනයන මිල රුපියල් 649.44ක් විය. ඒ අනුව, 2014 වසරේ තේ කිලෝග‍්‍රෑම්  2,97,56,000ක් අපනයනය කෙරිණි. ඉන් ලංකාවට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1628.3කි.  එය කොතෙක් ඉහළ ආර්ථික ප‍්‍රභවයක් යත්, 2014 වසරේ සමස්ත ලාංකේය අපනයන ආදායමෙන් සියයට 14.6ක්ම අත්පත්කර ගෙන තිබුණේ, නිමි තේ විසිනි. ඒවා ලොව ජනප‍්‍රියවී ඇත්තේ ‘සිලෝන් ටී’ යන කීර්තිමත් වෙළෙඳ සන්නාමයෙනි.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ 2014 නිල ප‍්‍රගති වාර්තාව පවසන අන්දමට, ලංකාව ලොව රටවල් 159කට තේ අපනයනය කරයි. 2014 වර්ෂයේ අගෝස්තුව වන විට, අපනයනය කෙරෙන සමස්ත තේ තොගයෙන් සියයට 14.3ක් තුර්කිය විසින් ද, සියයට 14.0ක් රුසියාව විසින් ද, සියයට 9.5ක් ඉරානය විසින් ද, සියයට 5.9ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ද මිලට ගනිමින් සිටියහ. මහ බැංකු වාර්තාවට අනුව, ලකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 59ක්ම යැවෙන්නේ රුසියාවට සහ මැද පෙරදිග රටවලට ය. ඉන් හොඳ ආදායම් ලැබේ.

තේ කෝප්පයට කුණාටුව කඩා වැදීම
එහෙත් 2014 වසරේ අගෝස්තුවේ සිට සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය. තේ නිපැයුමේ මිල පල්ලම් බසින්නට වීම, ඊට හේතුව විය. ලෝක තේ ඉල්ලූම පහත වැටී, ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති විණි. 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට, මෙයට කරුණු දෙකක් බලපා තිබේ. ඉන් එකක් රුසියානු ආර්ථික අර්බුදයයයි. අනෙක, මැද පෙරදිග රටවල ආර්ථික අර්බුදයයි.
 
2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිය 115 වැනි පිටුවේ මෙසේ  සඳහන්  කරයි.
 
‘මේ අතර රුසියාව, ශ‍්‍රී ලංකා තේ සඳහා ප‍්‍රධානතම ගැණුම්කරු වන බැවින්, 2015 වසර තුළ දී රුසියානු රූබලය තවදුරටත් අඛණ්ඩව අවප‍්‍රමාණය වුවහොත් එය ශ‍්‍රී ලංකාවේ තේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත. එසේම, ශ‍්‍රී ලංකා තේ සඳහා මැද පෙරදිග වෙළෙඳපොළෙන් ඇති ඉල්ලූම ද අඩු විය හැකි අතර, මෙම ආර්ථිකයන්හි ඉන්ධන ආදායම අඛණ්ඩව අඩු වීම මෙයට හේතු වේ.’

මහ බැංකු වාර්තාවේ එන විග‍්‍රහය, වැවිලි කර්මාන්ත බලධාරීන් ද පිළිගනිති.
 
‘ලංකාවේ නිපදවන තේවලින් වැඩි කොටස මිල දී ගන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලටයි. රුසියාවේ රූබලය පහත වැටිලා. මැද පෙරදිග තෙල් මිල බැහැලා. ඒ නිසා තේ ඉල්ලූම අඩු වෙලා. ආර්ථික සම්බාධක නිසා ඉරානයේ තේ ඉල්ලූමත් අඩු වෙලා. අර්බුදය මතු වන්නේ එතැනින්’ යයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික‍්‍රම මහතා ද මාධ්‍යයට පවසා තිබිණි.
 


මහ බැංකු වාර්තාවේ සඳහන් වන අන්දමට, 2013 වසරේ ලංකාවෙන් රුසියාවට යැවුණු තේ තොගය කිලෝග‍්‍රෑම් 4,63,72,000කි. එහෙත් 2014 වසරේ එය කිලෝග‍්‍රෑම් 4,41,01,000ක් දක්වා අඩු විය. 2013 වසරේ ලංකාවෙන් මැද පෙරදිග රටවලට යැවුණු තේ තොගය, 16,31,31,000කි. 2014 වසරේ එය කිලෝග‍්‍රෑම් 15,90,74,000ක් දක්වා පහත වැටුණි. ලාංකේය තේ වගා ක්ෂේත‍්‍රය අද මුහුණ දෙන දැවැන්ත අර්බුදය හට ගැනුණේ, මේ ආකාරයට අපේ ප‍්‍රධාන ජාත්‍යන්තර තේ වෙළෙඳපොළවල් අහිමිවී යාම, මුල්කර ගනිමිනි. එබඳු ජාත්‍යන්තර අර්බුද ගැන, රටක් හැටියට අපට කළ හැකි ලොකු යමක් ද නැත. අනෙක, ඒවා කවදා විසඳේවි දැයි කියන්නටත් නුපුළුවන. කෙසේ වෙතත් දැන් එය, ලංකාවේ  මිනිසුන් සිය තේ වගාවන් අත්හැර දමන්නට යාම දක්වා දුර දිග ගොසින් හමාර ය. මැද පෙරදිග සහ රුසියාව යථා තත්ත්වයට පත් වෙතියි කියා බලා සිටිනවා මිස, ආණ්ඩුව ද අලූත් තේ වෙළෙඳපොළවල් සොයා යන බවක් පෙනෙන්නට නැත. ඒ අතර කෙන්යාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව යන රටවල් ඔවුන්ගේ තේ කර්මාන්තය ජාත්‍යන්තරයට පුළුල් කරනු ද පෙනෙයි.
 
ජාත්‍යන්තර වෙළෙඳපොළ අර්බුදයට අමතරව, දේශීයව පැන නැගුණු තවත් ගැටළු කිහිපයක් ද වර්තමාන නො සන්සුන්තාවයට හේතුවී ඇති බව පෙනෙයි. ඉන් එකක් වන්නේ, ජාත්‍යන්තර මට්ටම දක්වා හොර රහසේ කෙරෙන ‘කසල තේ’ ජාවාරමයි. හොඳ තේවලට කසල තේ කලවම් කොට, ‘සිලෝන් ටී’ නමින් කූට ලෙස එතෙර යැවීම, එහි ස්වභාවයයි. කොතෙක් ක‍්‍රියාමාර්ග ගත්ත ද, ජාවාරම නතර කරන්නට තවම නො හැකිවී තිබේ. ඉන් අභියෝගයට ලක් වන්නේ ‘තේ ’ සම්බන්ධයෙන් ලංකාවට ඇති කීර්තිනාමයයි.
 
අනෙක් ගැටළුව, තේ නිෂ්පාදන ක‍්‍රියාවලියේ ඇති වගකීම් විරහිත ස්වභාවයයි. එය වැඩිපුරම දක්නට ලැබෙන්නේ, සමස්ත තේ නිපැයුමෙන් සියයට 73.2ක දායකත්වයක් දරන කුඩා තේ ඉඩම් ක්ෂේත‍්‍රයේ ය. ඒවායෙහි ශ‍්‍රමිකයන් වැඩි දෙනෙකුට නිසි ප‍්‍රමිතියට දළු නෙලීමේ දැනුමක් නැත. ඔවුහු මේරූ දළු ද නෙලති. අමු දළු එකතු කරන්නන් ගෙන් ඇතැමෙක්, ඒවා නො තැලෙන සේ ප‍්‍රවාහනය කරන්නට දන්නේ නැති තරම් ය. තේ ගස් කප්පාදුව පවා නිසි  ප‍්‍රමිතියට නැති අවස්ථා බහුලව පෙනෙයි. වැඩි දෙනෙක් නිසි ප‍්‍රමිතියේ දළු නෙලන්නටත්, ඉන් වැඩි මුදලක් උපයන්නටත්, හැඟීමක් නැති තරම් ය. නිසි ප‍්‍රමිතියට නැති අමු දළුවලින් ගුණාත්මක තේ නිපදවිය නො හැකි ය. ගුණාත්මක නො වන තේවලින් ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනන්නට පුළුවන්කමක් ද නැත. එසේ වුවත්, කුඩා තේ වගාකරුවන් බහුතරයක් අතර එවන් ජන මතයක් දැකීම දුෂ්කර ය! මොන යම් හෝ දළු නෙලා, වැඩි මුදලක් ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. මෑතක සිට ප‍්‍රමිතියට නැති අමු දළු කම්හල් විසින් ප‍්‍රතික්ෂේප කෙරෙයි. එවිට ද ඉඩම් හිමියන්ගේ ආදායම අඩු වේ.
 

දැන් තේ ආදායම් අසාර බව ඇත්ත ය. එහෙත් ඒවා සරුසාරව පැවති සමයේ පවා තේ වගා ශ‍්‍රමිකයන්ට හොඳ වැටුපක් ලැබුණේ නැත. මේ වන විට ද දළු නෙලන්නියකගේ දෛනික වැටුප රුපියල් 690කි. පිරිමි කම්කරුවෙකුගේ දෛනික වැටුප බොහෝවිට රුපියල් 800කි. එබැවින් තේ වගා ක්ෂේත‍්‍රයේ දී හමුවන ශ‍්‍රමිකයන් තෘප්තියෙන් යුතුව වැඩ කරන්නන් නොවේ! එය තේ ගුණාත්මක නිපැයුම් ක‍්‍රියාවලියට බාධාවකි.
 

බරපතල තත්ත්වයක්
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015 ජූලි මාසයේ දී ලංකාවේ කෘෂි-ආර්ථික සංගණන වාර්තාවක් නිකුත් කළේ ය. එහි සඳහන් වන ආකාරයට, ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වලින් සියයට 23.4ක්ම (හෙක්ටයාර් 18,20,133) අයත් වන්නේ කුඩා ගොවීන්ට ය. ඉන් හෙක්ටයාර් 1,21,766ක්ම කුඩා තේ වගා ඉඩම් බව හඳුනා ගෙන තිබේ.  ඉන් වැඩිම කුඩා තේ ඉඩම් ප‍්‍රමාණය (සියයට 27.7ක් හෙවත් අක්කර 83256ක්) වාර්තා වන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙනි. මේ කාරණයෙහි ඇති යටි අරුත කුමක් ද?, රටේ තෙත් කලාපීය දිස්ත‍්‍රික්කවල බහුතර හුදී ජනයින් පිරිසක්, තේ වගාව සිය ජීවනෝපායකර ගනිමින් ජීවත් වන බවයි!
 

වර්තමානයෙහි ලංකාවේ තේ කර්මාන්තය මුහුණ දෙන අර්බුදයේ, බිහිසුණුකම ඇත්තේ එතැන ය. අර්බුදය කෙසේ හෝ කළමනාකරණය නො කළ හොත්, කුඩා ගොවීන් අතර මෙන්ම වතු කම්කරුවන් අතරත් ඇවිළ යා හැකි ගින්න නිවා දැමීම පහසු නො වනු ඇත.
2015/10/14.


No comments:

Post a Comment