Total Pageviews

Tuesday, October 20, 2015

මහාචාර්ය දයානන්ද සෝමසුන්දර සමග පිළිසදරක්

මහාචාර්ය දයානන්ද සෝමසුන්දර 
‘වලස්පතිගේ අඩවියට’ කතා කරයි

රැකියා වෙළෙඳපොළෙහි ඉල්ලූමක් ඇති 
උපාධිධාරීන් බිහි කිරීම
 
විශ්වවිද්‍යාල බලධාරීන්ගේ වගකීමක්



නයිජීරියාවේ, ගෝම්බේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය දයානන්ද සෝමසුන්දර





(සාකච්ඡා කළේ-බලන්ගොඩ-සරත් වීරවංශ)
 
මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා, වර්ෂ 1946 සැප්තැම්බර් මස 11 වැනි දා රත්නපුර, කලවානේ, හඟරංගල දී උපත ලැබී ය. ඉක්බිති, කලවාන සිංහල ජ්‍යෙෂ්ඨ මිශ‍්‍ර පාඨශාලාව, කරවිට මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය,  සහ පැල්මඩුල්ල රූප අරුණ විද්‍යායතනය යන පාසැල්වලින් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා, වර්ෂ 1965 දී ශ‍්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආර්ථික විද්‍යා ශාස්ත‍්‍රවේදි ගෞරව උපාධිය හැදෑරුවේ ය. ඉන් පසුව හෙතෙම පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා  ඕස්ටේ‍්‍රලියාවේ නිව් එංග්ලන්ඞ් විශ්වවිද්‍යාලයට බැඳිණි. ඔහු අන්තර් ජතික විවෘත විශ්වවිද්‍යාලය, සහ සබරගමුව විශ්වවිද්‍යාලය යන විද්‍යායතනවලින් ආචාර්ය උපාධි ලැබූවෙකි.

පසුව ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන්  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එක්වුණු ඒ මහතා, 1996 වසරේ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ, සමාජීය විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් පත් විණි. සෝමසුන්දර මහතා 1995  වසරේ සිට 2001 වසර දක්වා සබරගමුව විශ්වවිද්‍යාලයේ    ප‍්‍රථම උපකුලපති ධුරය ද දැරීය. වසර 2007 දී ඔහු නයිජීරියාවේ ගෝම්බේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට එක් විණි. වර්තමානයෙහි ඔහු එහි ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය, කලා හා සමාජීය විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය යන ආයතනවල පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ ය. ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස ප‍්‍රකටව සිටින සෝමසුන්දර මහතා, ලියා පළකර ඇති ග‍්‍රන්ථ සහ පර්යේෂණ පත‍්‍රිකා ද ගණනාවකි.

 නිවාඩු පිණිස සියරට පැමිණ සිටි මොහොතක, ඔහු ‘වලස්පතිගේ අඩවිය’ සමග පිළිසඳරකට එක් වූයේ මෙසේ ය.


විශ්වවිද්‍යාල ගත්තාම, ඒවායින් පිටවන සිසුන්ට රැකියා නැතැයි යන්න දශක කිහිපයක සිට නැගෙන චෝදනාවක්. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?
අද ලෝකයේ සෑම රටකම පාහේ උපාධිධාරීන්ගේ අතිරික්තයක් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල උපාධිධාරීන් සඳහා ඇති ඉල්ලූමට වඩා උපාධිධාරීන්ගේ සැපයුමක් දක්නට ලැබීම ඊට හේතුවයි. එහෙත් මෙම තත්වය සෑම විෂයයකටම පොදු දෙයක් නොවෙයි. සමහර විෂයයන් සම්බන්ධයෙන් උපාධිධාරීන් අවශ්‍ය තරම් බිහි නො වීමේ තත්ත්වයන් ද දක්නට ලැබෙනවා.
 
සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිනිය  සමඟ

ලංකාවේ විතරක් නොවෙයි,  ඕනැම රටක දිනපතා හෝ සතිපතා පුවත්පත්වල හා අන්තර්ජාලය තුළ, විවිධ රැකියාවන් සඳහා ඇබෑර්තු තිබෙන බව දකින්නට පුළුවන්. සමහර රැකියාවන්ට අවශ්‍ය සුදුසුකම් සපුරාලන පුද්ගලයන් නෑ. එබැවින් එම තනතුරු පිරවීමට නො හැකි වන අවස්ථා ද තිබෙනවා. තනතුරු පිරවීම් ප‍්‍රමාද කිරීමට වන අවස්ථා ද තිබෙනවා. මීට හේතුව රැකියා අවස්ථාවන් හා රැුකියා අපේක්‍ෂාවන් අතර ඇති නො ගැලපීමයි. අනික් අතට, රැකියා අවශ්‍යතාවයන් හා රැකියා අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් නො ගැලපීමයි. මෙම පරස්පරතාවයන් නැතිකර ගැනීමට හෝ අවමකර ගැනීමට හැකි වන සේ, උපාධි පාඨමාලාවන් සංශෝධනය කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් ක‍්‍රියා කළ යුතුයි. රැකියාවක නියුක්ත කළ හැකි, නැතහොත් රැකියා වෙළඳපොළෙහි ඉල්ලූමක් ඇති උපාධිධාරියෙකු බිහි කිරීමට වග බලා ගැනීම, විශ්වවිද්‍යාල බලධාරීන්ගේ එක් වගකීමක්.
 

එවන් වෙනසක් ගැන ඔබේ අත්දැකීම්?
රැසක් තියෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපතිවරයා වශයෙන් මම මේ සම්බන්ධ ක‍්‍රියාමාර්ගයන් ගත්තා. 1991 දී සබරගමු අනුබද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ දී සුදුසු පාඨමාලාවන් හා ඉගැන්වීමේ මාධ්‍යය යෝජනා කරන ලෙස, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම් සභාව ඉල්ලා සිටි අවස්ථාවේ, මා විසින් විශේස පාඨමාලාවන් තුනක් තෝරා ගත්තා. ඒ, ඉංග‍්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව, ගණකාධිකරණ පාඨමාලාව, සහ සංචාරක කළමණාකරණ පාඨමාලාව යන රැකියා ලබාගත හැකි ඩිප්ලෝමා පාඨමාලාවන්. මාධ්‍යය වශයෙන් තෝරා ගන්නා ලද්දේ ඉංග‍්‍රීසි මාධ්‍යයයි. වර්ෂ දෙකක ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ මෙම ඩිප්ලෝමාධාරීන් කිසිදු ප‍්‍රමාදයකින් තොරව රැකියාවන්ට යොමු කිරීමට හැකි වුණා.
 

සබරගමු සරසවිය

සබරගමුව අනුබද්ධ විශ්වවිද්‍යාලය 1996 දී ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් වූ විට, ඌව හා බුත්තල අනුබද්ධ විශ්වවිද්‍යාලයන් ද සබරගමුව විශ්වවිද්‍යාලයට අනුයුක්ත කෙරුණා. එහි දී මා විසින් වෘත්තියාභිමුඛ පාඨමාලාවන් තෝරා යෝජනා කළා. උදාහරණ වශයෙන් සංචාරක කළමනාකරණය, ගණකාධිකරණය, ව්‍යාපාර කළමනාකරණය, ඉංග‍්‍රීසි, ජපන්, ප‍්‍රංශ, ජර්මන් ආදී නූතන භාෂා හා මෙන්ම, සිංහල, දෙමළ, හින්දි ආදී පෙරදිග භාෂාවන්් ද, ආහාර තාක්‍ෂණය හා පෝෂණය, වැවිලි කළමනාකරණය, මිණුම් විද්‍යාව වැනි නවතම උපාධි පාඨමාලාවන් හඳුන්වා දුන්නා. භාෂා අධ්‍යයනාංශය යටතේ නූතන භාෂා රැසක් විදේශීය ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් ඇති කළා. ඒවා සාර්ථක වුණා. අද ප‍්‍රංශ, ජර්මන්, චීන ජපන්, හින්දි වැනි භාෂාවක ප‍්‍රවීණත්වයක් ඇති උපාධිධරයාට ඉතා ඉක්මණින් රැුකියාවක් ලබා ගත හැකියි.
 

ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපනය යම් තරමකට විශ්වවිද්‍යාල තුළට ගේන්න  ඕනෑ කියන එක ද?
අප වෘත්තීයවේදීන් බිහි කළ යුතුයි. ඒ කාලේ මගේ අභිලාශයන් දෙකක් තිබුණා. ඒ, සබරගමු විශ්වවිද්‍යාලය තුළ ‘වෘත්තීය අධ්‍යයන පීඨයක් (
Faculty of Vocational Studies&’ සහ ‘වෘත්තීයවේදී අධ්‍යයන පීඨයක් (Faculty of Professional Studies)  ආරම්භ කිරීමයි. පීඨ දෙක ආරම්භකර, වෘත්තීය අධ්‍යයන පීඨය යටතේ, පෙදරේරු කර්මාන්තය, වඩු කර්මාන්තය, විදුලි කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය, ඇතුළු විවිධ වෘත්තීන් සඳහා විශේෂඥයන් බිහි කරන්නත්, ඔවුන්ට ඒ ක්‍ෂේත‍්‍රයෙන් වෘත්තීය උපාධියක් පිරිනැමීමටත් මම අදහස් කළා. එසේම විශේෂ ඉල්ලූමක් ඇති, දැනට උපාධි පාඨමාලාවන් නො මැති වෘත්තීයවේදීන් සඳහා උපාධි පාඨමාලා හඳුන්වා දී, ඔවුන්ට උපාධි පිරිනැමීමටත් මම අදහස් කළා. එවැනි උපාධිධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තිබෙනවා. ඔවුන්ට ඉහළ වැටුපකට ක්‍ෂණිකව රැකියා ලබා ගත හැකියි. කෙසේ හෝ එම අවස්ථාව විශ්්වවිද්‍යාලයටත් මටත් අහිමි වුණා.  මා දැනට සේවය කරන නයිජීරියාවේ ගෝම්බේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ එවැනි පාඨමාලා ආරම්භ කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා.
 

2006 වර්ෂයේ මගේ යෝජනාවක් අනුව ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයක් සබරගමු විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කළා. ඒ යටතේ ආදිවාසී හා පාරම්පරික තාක්‍ෂණය ආදිය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කළා. මා අදහස් කළේ, මෙවැනි නව්‍ය පාඨමාලා තුළින් සබරගමු විශ්වවිද්‍යාලයීය උපාධි පාඨාමාලා නවීකරණය හා විවිධාංගීකරණය කිරීමයි. එමගින් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්, රැකියාවන්ට යොමු වීමේ ප‍්‍රතිශතය ඉහළ නැං වුණා. ඔවුන් අධ්‍යාපනය ලබන්නේත් ඉංග‍්‍රීසි බසින්.
 

ඇයි ඒ?
මම උපාධි පාඨමාලා සකස් කළේ විශ්වවිද්‍යාල උපාධිධරයා, ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමත්, සිංහල හා දෙමළ භාෂා හැසිරවීමේ ප‍්‍රවීණත්වය ලබා ගැනීමත් අවශ්‍යය යන මතයේ සිටයි. අර්ධ වාර්ෂික විභාග ක‍්‍රමය, අඛණ්ඩ ඇගයීම් ක‍්‍රමය හා පාඨමාලා ඒකක ක‍්‍රමය, 1991 වර්ෂයේ සිට අනුබද්ධ විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා ද, 1996 සිට සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් සඳහා ද හඳුන්වා දුන්නා. එයින් අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පාඨමාලා හා සම සමව පවත්වා ගෙන යාමට පියවර ගත්තා.
 

මෙම පාඨමාලාවන් සියල්ලම පාහේ ආරම්භ කළේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. සිංහල මාධ්‍යයෙන් අනුබද්ධ විශ්වවිද්‍යාල ඩිප්ලෝමාවන් හැදෑරු සිසුන්ගේ පහසුව සඳහා පාඨමාලාවන් දෙකක් පමණක් සිංහල මාධ්‍යයෙන් ආරම්භ කෙරුණා.
 

අපි සෑම ශිෂ්‍යයෙකුටම තෙවන භාෂාව අනිවාර්ය කළා. එනම් සිංහල මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු සෑම ශිෂ්‍යයෙක්ම, දෙමළ භාෂාව හැදෑරිය යුතුයි. සෑම දෙමළ මාධ්‍ය ශිෂ්‍යයෙක්ම සිංහල භාෂාව හැදෑරිය යුතුයි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන්, මගේ සේවා කාලය තුළ දී පිටවූ සෑම උපාධිධාරියෙකුම සිංහල හෝ් දෙමළ තම මව් භාෂාව වශයෙන් ද, ඉංග‍්‍රීසි තම අධ්‍යාපන මාධ්‍යය වශයෙන් ද, තෙවන භාෂාව වශයෙන් සිංහල මව්බස වු ශිෂ්‍යයන් දෙමළ භාෂා ප‍්‍රවීණතාවය ද, දෙමළ මව් බස වූ ශිෂ්‍යයන් සිංහල භාෂා ප‍්‍රවීණතාවයය ද ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවුණා.  මෙම උපාධිධාරීන් කිසිදු ප‍්‍රමාදයකින් තොරව මෙරට හෝ පිටරට රැුකියා ලබා ගත්තා. සමහරවිට සම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වඩා මොවුන් ඉදිරියෙන් සිටියා. අවාසනාවට මගෙන් පසු තෙවන භාෂාව අනිවාර්ය කළ ප‍්‍රතිපත්තිය ඉවත් කර තිබෙනවා.
මීට අමතරව සෑම ශිෂ්‍යයෙකු විසින්ම පරිගණක විද්‍යාව ඉගෙන ගත යුතුයි. සබරගමු අනුබද්ධ විශ්වවිද්‍යාලය සමයේම පරිගණක විද්‍යාගාරයක් ඇති කළා. විශ්වවිද්‍යාලයක් බවට පත් වීමත් සමග සෑම ශිෂ්‍යයෙකුටම පරිගණක විද්‍යාව හැදෑරීම අනිවාර්ය කෙරුණා.
 

ඔබ ලෝකයේ රටවල් ගණනාවක අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ කෙනෙක්. ලෝක මට්ටමේ දි, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට රැකියා ලැබීමේ තත්ත්වය කෙසේ ද?
අද ලෝකයේ සෑම රටකම පාහේ රාජ්‍ය අංශය හැකිළෙමින් පවතිනවා. පෞද්ගලික අංශය ප‍්‍රසාරණය වෙමින් පවතිනවා. මෙම තත්වය ධනවාදී හා මිශ‍්‍ර ආර්ථිකයන් පවතින රටවල පමණක් නොව, සමාජවාදි රටවල ද වෙමින් පවතින අයුරු දැකිය හැකියි. චීනයේ පෞද්ගලික අංශය ශීඝ‍්‍රයෙන් ප‍්‍රසාරණය වෙමින් යනවා. අවසාන කොමියුනිස්ට් රාජ්‍යය වූ කියුබාව ද දැන් ඇමරිකානු ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී රාජ්‍ය අංශයට රැකියා සැපයීමේ අවස්ථාවන් සීමා වේවි. උසස් අධ්‍යාපනයේ දී මේ කාරණය සැලකිය යුතුයි.
 

නිදහස් අධ්‍යාපන ක‍්‍රමය යටතේ රජයේ වියදමින් බිහිවන උපාධිධරයා රැකියා වියුක්තව සිටීම, රජයේ අධ්‍යාපන ආයෝජනය අපතේ යාමක්. රාජ්‍ය ආයෝජනයෙන් බිහි කළ ‘මානව ප‍්‍රාග්ධනය’ වශයෙන් සැළකිය හැකි උපාධිධාරීන්, ඉක්මණින්ම රැුකියාවන්ට යොමු කිරීමේ වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. මේ සඳහා රාජ්‍ය අංශයත්, අර්ධ රජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත් ඒකාබද්ධව තිරසායී වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. ලෝකයේ බොහෙමයක් රටවල එබඳු වැඩසටහන් ක‍්‍රියාත්මක වෙනවා.
 

උගත් පිරිස් අතර විරැුකියාව අවම කිරීම පිණිස ඔබ කරන යෝජනාවක් තිබේ ද? 
සෑම උපාධිධාරියෙකුටම සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි ප‍්‍රවීණතාවයක් විශ්වවිද්‍යාලය තුළ දී දිය යුතුයි. සිංහල මාධ්‍යයෙන් උපාධිය හදාරන්නවුන්ට දෙමළ සහ ඉංග‍්‍රීසි දැනුම ද, දෙමළ මාධ්‍යයෙන් උපාධිය හදාරන්නවුන්ට සිංහල සහ ඉංග‍්‍රීසි දැනුම ද, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් උපාධිය හදාරන්නවුන්ට සිංහල සහ දෙමළ දැනුම ද ලබා දිය යුතුයි. සෑම උපාධිධාරියෙකුටම පරිගණක හුරුව ලබා දිය යුතුයි. එසේම සෑම උපාධිධාරියෙකුටම ව්‍යවසායකත්ව-කළමණාකරන පාඨමාලාවක් ලබා දිය යුතුයි.
 

උපාධියෙන් පසු ප‍්‍රතිඵල පිට වූ විගස උපාධිධාරීන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනයකට වසරක පුහුණු කාලයකට අනුයුක්ත කළ යුතුයි. එම කාලය තුළ අභ්‍යාසලාභී දීමනාවක් දීම යහපත්. විදේශ සේවා අංශයට ද, අධ්‍යාපන විශිෂ්ඨතා අනුව ඔවුන් අනුයුක්ත කළ හැකියි. පුහුණු කාලය තුළ ආයතනික කළමණාකාරිත්වය හෝ ක්‍ෂේත‍්‍ර පුහුණුවක් හෝ ඉගැන්වීම වැනි වෘත්තීය පුහුණුවක් හෝ ලබා දීමට සැලැස්විය යුතුයි.  ඕනැම උපාධිධාරියෙකුට රැකියාවකට යාමට උපාධි සහතිකයට අමතරව පුහුණුව අවසානයේ ලබා දෙන සහතිකය අනිවාර්ය කළ යුතුයි. පුහුණුවීම් කාලය සාර්ථකව අවසන් කරන උපාධිධාරීන් එම ආයතනයට අනුයුක්ත කර ගැනීමට රාජ්‍ය අංශය කටයුතු කළ යුතු අතර පෞද්ගලික අංශයට ද එසේ කිරීමට අනුබලයක් ලබා දිය යුතුයි. විදේශීය තානාපති කාර්යාල  හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් උපාධිධාරීන් විදේශ රැුකියාවන්ට යොමු කිරීමේ ඇති හැකියාව සොයා බැලිය යුතුයි.

උපාධිධාරීන් රැුකියාවන්ට බඳවා ගැනීමේ දී සහ පරිපාලන සේවයට බඳවා ගැනීමේ දී එය  තරග විභාගයකින් කළ යුතුයි. එහි සියයට 75ක බරක් ලිඛිත තරගකාරි විභාගයටත්, සියයට 25ක් සම්මුඛ පරීක්‍ෂණයටත් වෙන් කළ යුතුයි. 


අති පූජ්‍ය බලං‍ගොඩ ආනන්ද ‍මෛත්‍රිය නාහිමියන් සමග
උපාධිධාරීන්ගේ ආත්ම ගෞරවයට හෝ ඔවුන්ගේ ආත්මාභිමානයට හානි වන අන්දමින් දේශපාලනඥයින්ගේ නිර්දේශ  ලබා ගැනීමේ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. උපාධිධාරීන්ට රැුකියා සැපයීමේ දී අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ පමණක් සමත්ව, පාසැල් හැර ගොස් රැකියා වෙළෙඳපොළට පිවිසෙන තරුණයන්ට තිබෙන රැකියා අවස්ථාවන් අවහිර නො කිරීමට ද ප‍්‍රවේශම් විය යුතුයි.

ඇමරිකාව හා යුරෝපීය රටවල් ඇතුළු දියුණු රටවල ජනගහන වර්ධනය සීමා වීම නිසා ශ‍්‍රම හිඟයකට මුහුණපාමින් සිටිනවා. එම රටවල ආර්ථිකයන් ඉදිරියේ දී රඳා පවතිනු ඇත්තේ ආගමනික ශ‍්‍රමිකයන් මතයි. මෙම රැකියා අවස්ථාවන් කෙරෙහි රජය විසින් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

උපාධිධරයා රැකියා වියුක්තව සිටීම පිළිබඳව විශ්වවිද්‍යාලත්, රජයත්, අධ්‍යාපන බලධාරිනුත්, එසේම පාසැල් අධ්‍යාපන ක‍්‍රමයත් වගකිව යුතුයි. මේ සිියල්ලන්ම එකතුවී රැකියාවන්ට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයකට සිසුන් යොමු කිරීමට ක‍්‍රියා කළ යුතුයි. රැකියා ලබා ගැනීමට උපාධිධාරියා පාරට බහින තත්ත්වය තුරන් කළ යුතුයි.
   
ඔබ සේවය කරන්නේ නයිජීරියාවේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ රැුකියා ප‍්‍රශ්නයට විසඳුම්  දීමේ දී, ලංකාව හා නයිජීරියාව අතර යම් වෙනසක් හෝ සමානකමක් දකිනවා ද?
ලංකාව හා නයිජීරියාව යන රටවල් දෙකම දියුණු වන රටවල්. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව වසරින් වසර ක‍්‍රමයෙන් ඉහළ යාම, රටවල් දෙකටම පොදුයි. නයිජීරියාව 1960 දී බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගත්තා. ඔවුන් සිය පරිපාලන භාෂාව හා අධ්‍යාපන මාධ්‍යය වශයෙන් අඛණ්ඩව ඉංග‍්‍රීසි භාෂාව භාවිතා කිරීමට තොරා ගෙන තිබෙනවා. මේ නිසා එ රට දරුවන් පළමු වසරේ සිටම අඛණ්ඩව, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවා. එබැවින් නයිජීරියාවේ උපාධිධාරීන් තුළ ඉංග‍්‍රීසි ප‍්‍රවීණතාවය පවතින්නේ ඉහළ මට්ටමකයි. මේ නිසා ඔවුන්ට විදේශීය රටවල ද, ජාත්‍යන්තර සමාගම්වල ද, දේශීය පෞද්ගලික අංශය තුළ ද, රැකියා සඳහා වැඩි අවස්ථාවක් හිමි වෙනවා. එය ලංකාවට වඩා වෙනස් තත්ත්වයක්.
එ රට මධ්‍යම රජයට, ප‍්‍රාන්ත රාජ්‍යයන්ට හා පළාත් පාලන ආයතනයන්ට ලැබෙන මුල්‍ය ප‍්‍රතිපාදනයන් ගෙන් කොටසක්, රැුකියා උත්පාදනයට සහ රැකියා දීමටත් වෙන් කෙරෙනවා. පළාත්පාලන ආයතන සිය බල ප‍්‍රදේශ්‍ය තුළින් බිහිවන උපාධිධාරීන්ට ද, ප‍්‍රාන්ත රාජ්‍යයන් සිය ප‍්‍රාන්තයන්ගෙන් බිහිවන උපාධිධාරීන්ට ද, වැඩි සැලකිල්ලත් දක්වමින් ඔවුන් ට රැකියා ලබා  දෙනවා. මධ්‍යා රජය විසින් ද පොදුවේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා.
 

කෙසේ වෙතත්, උපාධිධාරී රැකියා ප‍්‍රශ්නය කිසිම රටක සියයට සියයක්ම විසඳිය නො හැකියි. මේ නිසා උපාධිධාරීන් අතර ඌණ සේවා නියුක්තියක්, එනම් ‘උපාධි මට්ටමට වඩා අඩු සුදුසුකම් අවශ්‍ය රැකියාවල නිරත වීමක්’ දක්නට ලැබෙනවා. මෙම තත්වය ලංකාවටත් නයිජීරියාවටත් පොදුයි.
 

ඒ රටේත් රැුකියා පුහුණු වැඩ සටහන් තියෙනවා ද?
නයිජීරියාවේ සෑම උපාධිධාරියෙකුම, උපාධි ප‍්‍රතිඵල නිකුත් වූ පසු ‘ජාතික තරුණ සේවා ආධුනිකත්ව පුහුණුවකට’ යොමු කෙරෙනවා. ඒ සඳහා එක් එක් ප‍්‍රාන්ත අගනුවරවල කඳවුරු ඇති අතර, මුල් මාස තුන තුළ ඔවුන් කඳවුරුවල නැවතී පුහුණුව ලැබිය යුතුයි. සතියකට දිනක් ඔවුන් ප‍්‍රජා කටයුතුවල යෙදීමත් පුහුණුවේ කොටසක්. වීදි, මාර්ග, පොදු ස්ථාන ආදිය පවිත‍්‍ර කිරීම, පැල සිටුවීම, උද්‍යාන අලංකරණය ආදිය සඳහා ඔවුන් යොදා ගන්නවා. මේ එක් එක් කඳවුරුවල, විවිධ විශ්වවිද්‍යාලවලින්, සහ විවිධ ප‍්‍රාන්තවලින් තෝරා ගත් ශිෂ්‍යයින් සිටින අතර, කිසිම ශිෂ්‍යයෙකු තමන් අයත් ප‍්‍රාන්තයේ පුහුණුවට යොදනු නො ලැබේ. හැම කෙනෙකුටම පුහුණුව ලැබෙන්නේ  වෙනත් ප‍්‍රාන්තයක ය. පුහුණු කාලය තුළ ඔවුනට මාසික දීමනාවක් ගෙවනු ලැබේ. නයිජීරියාවේ ප‍්‍රධාන භාෂාවන් තුනක් ඇත. උපාධිධාරීන්ට අදාල ප‍්‍රාන්තයේ භාවිතා කරන භාෂාව පිළිබඳව ප‍්‍රවීණතාවයක් ලබා දීමට ද මෙම පුහුණු කාලය යෙදො ගැනේ
මාස තුනක මූලික පුහුණුවකින් පසු උපාධිධාරියගේ විෂය ක්‍ෂේත‍්‍රය අනුව, එක් එක් ආයතනවලට වැඩිදුර පුහුණුව සඳහා යොමු කෙරේ. වර්ෂයක සම්පූර්ණ පුහුණුවකින් පසු සහතිකයක් නිකුත් කරනු ලැබේ. රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ රැුකියාවකට ඉල්ලූම් කිරීමේ දී මෙම සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
 

මෙම පුහුණුවේ දී සුළු වැඩ කිරීමෙන් ශ‍්‍රමාභිමානය ඇතිවන අතර, හීනමානය නැති වෙයි. විවිධ ජන කොටස්වලට අයත් උපාධිධාරීන් සමග සංකලනය වීමෙන් අන්‍යොන්‍ය අවබෝධයක්, සහයෝගිතාවයක්, ගොඩ නැගේ. තමන්ට ආගන්තුක වූ භාෂාවක් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබේ. රැකියාවකට යාම සඳහා පෙර පුහුණුවක් ලැබේ.
 

ලංකාවේ උපාධිධාරීන්ට ද මෙවැනි පුහුණුවක් ලබා දීම සුදුසුයයි මම යෝජනා කරමි.

 

ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් විසින් වවිධ පර්යේෂණ කරනවා. ඒවා කොතෙක් දුරට රටේ ප‍්‍රගමනයට දායක වෙනවා ද?
ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණයන් බොහොමයක් කරනුයේ, උසස් වීම් අරභයා ලකුණු රැස්කර ගැනීමේ හෝ අමතර ආදායමක් ලබා ගැනීමේ හෝ, විභාග අවශ්‍යතාවයන් අරමුණුකර ගනිමිනුයි. ජාතික අවශ්‍යතාවයන් අනුව සහ රටේ අවශ්‍යතාවයන් අනුව පර්යේෂණ ක්‍ෂේත‍්‍රයන් හඳුනා ගෙන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එවැනි පර්යේෂණ ව්‍යාපෘති කෙරෙහි යොමු කරන්නේ නම්, යහපත්. එමගින් ජාතික අවශ්‍යතාවය ඉටු වන අතරම, ආචාර්යවරුන්ට අමතර ආදායමක් ලැබීම ද, උසස් වීම් සඳහා ලකුණු එකතු වීම ද යන අවශ්‍යතාවයන් සියල්ලම ඉෂ්ඨවනු ඇතැයි යන්න මගේ අදහසයි.
රාජ්‍ය අංශයේ සමහර ආයතන, ඔවුන් උනන්දුවක් දක්වන පර්යේෂණ ව්‍යාපෘති සඳහා අනුග‍්‍රහයන් දක්වනවා. මෙම ව්‍යාපෘතිවල නිර්දේශ කෙතෙක් දුරට ප‍්‍රායෝගික ද, උචිත ද, යන්න පිළිබඳව සොයා බලා ඒවා ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම එම බලධාරීන්ගේ වගකීමයි.
ජාත්‍යන්තර කීර්තියටපත් විද්‍යාඳයින්, ආචාර්යවරුන් සහ විද්වතුන් ලංකාවේ සිටිනවා, ඔවුන්ගේ පර්යේෂණයන් සඳහා රාජ්‍ය අනුග‍්‍රහය දිය යුතුයි.  විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් වයස 65 දී විශ‍්‍රාම ගිය පසු ඔවුන්ට අකර්මණ්‍ය වීමට ඉඩ නො දී, වැඩ කළ හැකි, දක්‍ෂ උගත් මහාචාර්යවරුන්ගේ සේවය තවදුරටත් රටේ අධ්‍යාපන සංවර්ධනයට හා ආර්ථික සංවර්ධනයට ලබා ගැනීම සඳහා ජාතික වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. ඔවුන්ගේ දේශපාලන මති මතාන්තර හෝ දේශපාලන සමබන්ධතා නො සලකා, ඔවුන්ගේ විශේෂඥතාවය සහ දක්‍ෂතාවය ගැන සලකා  ඔවුන්ගෙන් රටට සේවයක් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි.
 

ලංකාව හා නයිජීරියාව අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ  විනය සහ හැසිරීම් සම්බන්ධයෙන් දැකිය හැකි සමානකම් හෝ වෙනස්කම් තිබෙනවා ද?
නයිජීරියාවේ ප‍්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල වර්ග තුනක් තිබේ. ඒ, මධ්‍යම රජයට අයත් විශ්වවිද්‍යාල, ප‍්‍රාන්ත රාජ්‍යයන්ට අයත් විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල යනුවෙනි. එ රට ජාතික විශ්වවිද්‍යාල කොමිෂමේ කාර්්‍යය වන්නේ, මේ සෑම විශ්වවිද්‍යාලයකම එකාකාර ප‍්‍රමිතීන් පවත්වා ගෙන යාමයි.
විශ්වවිද්‍යාලයට ඇතුළු වීම සඳහා සිසුන් තරගකාරි විභාගයකට පෙනී සිටිය යුතු අතර, විශ්වවිද්‍යාල ප‍්‍රවේශය නයිජීරියාවේ ජාතික විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ මධ්‍යගත කෙරුණකි. එ රට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වයස් සීමාවක් නැත. කිහිප වරක් වුව, ප‍්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැකි ය. පාසැල් හැර ගොස් වසර ගණනාවකට පසුව වුව ද විශ්වවිද්‍යාල ප‍්‍රවේශ පරීක්‍ෂණය සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළු විය හැකි ය. ලංකාවේ ද වැඩිහිටි ශිෂ්‍යයන්ට අභ්‍යන්තර වශයෙන් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබා දීම වැදගත් ය.
 

නයිජීරියාවේ  නිදහස් අධ්‍යාපනයක් නොමැත. ප‍්‍රාථමික පන්තියේ සිටම ගාස්තු අය කෙරේ. රජයේ පාසැල්වල සහ විශ්වවිද්‍යාලවල ගාස්තු සාපේක්‍ෂ වශයෙන් පහත් වන අතර, පෞද්ගලික පාසැල්වල හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගාස්තු ඉහළ ය. විශ්වවිද්‍යාලවලට අමතරව උපාධි ප‍්‍රධානය කරනු ලබන උසස් තාක්‍ෂණික විද්‍යාල හා උසස් අධ්‍යාපන විද්‍යාල ද ඇත.
 

පොදුවේ විශ්වවිද්‍යාලවල  ඉහළ මට්ටමේ විනයක් පවතී. එහි කිසිදු අන්දමේ නවක වදයක් නැත. නවක වදය ඔවුන් නොදන්නා වචනයකි. නවක සිසුන් සුහදව පිළිගැනීමත් ඔවුන්ට විශ්වවිද්‍යාල පරිසරයට හුරුවන තෙක් මග පෙන්වීමත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරනු ලැබේ. ශිෂ්‍යයන්ට හෝ ශිෂ්‍යාවන්ට උසුළු විසුළු කිරීම් හෝ ශිෂ්‍ය ගැටුම් හෝ දක්නට නැති තරම් ය. සාමාන්‍යයෙන් ශිෂ්‍ය පෙළපාලි හෝ උද්ඝෝෂණ නොමැති අතර පෝස්ටර් ඇලවීම් ආදිය නොමැත. බොහෝ ප‍්‍රශ්න ශිෂ්‍ය සංගම් හා කළමනාකාරිත්වය අතර සාකච්ඡා මගින් විසඳා ගනියි. දැඩි ශිෂ්‍ය අරගල දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
 

එ රට සිසුන් ඉතා සුළු පිරිසක් අතර විභාග අක‍්‍රමිකතාවයන් දකනට ලැබේ. විභාග අක‍්‍රමිකතතාවයන්ට හසුවන සිසුන් විශ්වවිද්‍යාලයෙන් නෙරපනු ලැබේ. මේ නිසා විභාග අක‍්‍රමිකතාවයන්ට පෙළඹෙන ශිෂ්‍ය පිරිස ඉතා අල්ප ය.
 

සාමාන්‍යයෙන් එ රට ජන සමාජයෙහි හැඩතල කොහොම ද?
නයිජීරියාවේ හා ලංකාවේ මහජන විනය සම්බන්ධයෙන් එතරම් වෙනසක් දක්නට නැත.
 

ලංකාවේ වාහන පදවන්නේ පාරේ වම් පසිනි. නයිජීරියාවේ වාහන පාරේ දකුණු පසින් පදවනු ලැබේ. මිනිිසුන් සහ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම සඳහා මෝටර් සයිකල් යොදා ගැනීම නයිජීරියාව් බහුල ය, පිටුපසින් මගියෙකු හා ඔහුගේ භාණ්ඩ පටවා ගෙන ගෙන අතර, ගමන් දුර අනුව ගාස්තුවක් අය කෙරේ. හෙල්මට් පැළඳීම අනිවාර්ය නොවේ. එය නීතිගත කිරීමට උත්සහා කළ ද විරෝධතා නිසා නො හැකි විය. රියැදුරන්ගේ ඉවසීම, ලංකාවට  වඩා වැඩි ය. රියැදුරන් එකිනෙකා බැණගනු දැක නැත. අනතුරක් වූ විට රියැදුරන් දෙදෙනා සාකච්ඡාකර ප‍්‍රශ්නය විසඳා ගනී. බරපතළ අනතුරක දී පමණක් පොලීසිය කැඳවයි.
 

එ රට පොදු ප‍්‍රවාහන මාධ්‍යයන් වශයෙන් කාර් සහ වෑන් බහුලව යොදා ගනිති. එහි අපේ මෙන් දියුණු සංවිධානාත්මක පොදු ප‍්‍රවාහන සේවාවක් නොමැත. පෞද්ගලික වාහන භාවිතය වැඩි ය. තීරුබදු රහිත හෙයින් වාහන ඉතා ලාබ ය. කම්කරුවෙකුට වුව ද වාහනයක් තබා ගත හැක. ඉන්ධන නිපදවන රටක් හෙයින් ඉන්ධන ද ලාබ ය.
වැටුප් මට්ටම් ලංකාවට සාපේක්‍ෂ වශයෙන් ඉහළ වුව ද, භාණ්ඩ මිළ ලංකාවට වඩා ඉතා ඉහළ ය. ලංකාවේ මෙන්, වැටුප් නියමිත දිනට ගෙවීමක් නැත. වැටුප් සමහරවිට සතියක් දෙකක් ප‍්‍රමාද වෙයි. සමහර ස්ථානවල මාස කීපයක් පවා ප‍්‍රමාද වන අවස්ථා ඇත. එහෙත් වැටුප් ප‍්‍රමාද වූවා යයි කියා කම්කරු විරෝධතා නැත. නයිජීරියානුවන්ට ඇති ඉවසීම පුදුම සහගත ය.

 
බොහෝ සුළු වෙෙළෙන්දන් තවම පැරණි මිණුම් ක‍්‍රම භාවිතා කරයි. හුණ්ඩුවෙන් සහල් සහ පිටි ආදිය මැනීමත්, එළවළු පළතුරු ගොඩවල් වශයෙනුත් මිළ නියමකර විකිණීමත් තවම දැකිය හැකි ය.
සමාප්තයි.
2015/10/21. 

සරත් වීරවංශ මහතා




 

No comments:

Post a Comment