කොළඹ ජනපතිට නෑසෙන
පදවියේ වකුගඩු රෝගීන්ගේ අඳෝනාව!
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-තිලක්
පුෂ්පකුමාර)
මාස ගණනකින් වැහි පොදක පහස නො විඳි ‘පදවිය වැව’, කේඩෑරිව ගොසිනි. එහි යාන්තම් වතුර පදාසයක් දැකගත හැක්කේ, වැව් බැම්මට බොහොම ඈතින් පිහිටි වක්කලම් බඳු ගැඹුරු ඉසව්වල පමණි. වෑ කණ්ඩියට දිස්වන කවර හෝ ඈත පෙදෙසකින් වුව ද, ‘නිල්ලක්’ දැක ගැනීම අසීරු ය! හමන සුළඟ පවා වේලී ගිය ගමන් ය.
අපි වෑ කන්ද දිගේ මද්දහන පසු කරමින් සිටියෙමු.
පහළින් පිහිටි කුඩා ගුරු පාරක් දිගේ එන මෝටර් සයිකලයකි. එහි පිටුපස ලොකු ‘බූලියක්’ ගැට ගසා තිබෙනු පෙනෙයි. එය අතුරු මගකින් වැව් බැම්මට නැගුණි. ඉක්බිති වැව් බැම්මේ ඈත කෙළවරට ගමන් කරනු දිස්විය.
‘වැව තිබුණට, ළිං හාරා ගෙන හිටියට, ඒ වතුර බොන්ඩ බෑ. ඔය බොන වතුර ගේන්ඩ ගිහිල්ලා’,
අපට මග පෙන්වමින් සිටි ගොවි සංවිධාන මිත්‍රයා කීවේ, මෝටර් සයිකලයෙන් ගිය තැනැත්තා පෙන්වමිනි.
බොන වතුර ටික සහ ආහාර පිසින වතුර ටික කඩෙන් ගන්නට සිදු වීම, දැන් පදවිය ගොවි ජන පදිකයන්ගේ එදිනෙදා ජීවිතයෙහි කොටසකි. ඔවුන් එබඳු ඉරණමකට වැටුණේ, ‘මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය’ පදවිය ගොවි ජනපදය පුරා ව්යාප්ත වීමත් සමගිනි.
ලියුම්කරුට ඉකුත් දිනයක (අගෝස්තු 14 වැනි දා) පදවිය ප්‍රදේශයේ සංචාරයක යෙදෙන්නට අවස්ථාවක් ලැබිණි. පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය වැඩමුළුවක්, ඒ සඳහා නිමිත්ත විය. එහි දී ලද සුළු අවසරයෙන්, අපේ කාලයේ පදවිය ගොවි ජනපදිකයන්ගේ දිවි සැරිය ගැන තොරතුරු ටිකක් සොයා බැලීමට ද හැකි විය. බොහෝ කාලයක් මුළුල්ලේ කොටි යුද්ධයෙන් ද, වරින්වර හට ගන්නා නියං සායෙන් ද බැට කෑ පදවියේ ගොවි පියවරුන් සහ ගොවි මව්වරුන් හමු වන්නට ලැබීම, මහත් ලෙන්ගතු අත්දැකීමක් වූයේ ය. ඔවුන්ගේ වර්තමාන දිවිපෙවෙත මහත් දුක්ඛදායක එකකි!
’අපට නම් දැන් ඉතින් මේ ලෙඩෙත් එක්ක මරණ වරෙන්තු ලැබිලයි තියෙන්නේ. තව වැඩි කලක් ඉන්න ලැබෙන්නේ නෑ. ඒත් අපේ දරුවො ටික හරි මේ ලෙඩෙන් බේරා ගන්න ක්‍රමයක් හදන්න කියලයි අපි ඉල්ලන්නෙ’, ලියුම්කරු පත්තරකාරයෙක් බව දැනගත් මොහොතේ ඔවුහු දුක්මුසුව කීහ.
අනුරාධපුරයට කිලෝමීටර් සියයක් පමණ ඊසාන දිගින් පිහිටි ‘පදවිය’, ලංකාවේ ඉපැරණි ගොවි ජනපදයකි. එය ආරම්භ කෙරී ඇත්තේ ‘පදවිය වැව’ බිහි වීමත් සමගිනි. පදවිය වැව ඉදිකර ඇත්තේ අතීත රජවරුන්ගේ පාලන සමයේ ය. ඇතැම් මතයකට අනුව, දෙවැනි මොග්ගල්ලාන රජු (ක්‍රි. ව. 531-555) දවස ය. පදවිය වැව් බැම්ම ආශ්‍රිතව ඇති ශිලා ලේඛනයක දැක්වෙන අන්දමට, මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1153-1186) විසින් එය ප්රතිසංස්කරණයකර ඇත. එකල එය, ‘පැරණි ලංකාවේ තිබුණු විශාලතම වැව’ වශයෙන් ද සැලකුම් ලැබී ය. මුල් කාලයේ එහි ජල තලය අක්කර අඩි තුන් ලක්ෂයක් (3,00,000ක්) පමණ වූ බව පැරණි කතා පුවත්වල එයි. පදවිය වැවේ ජල පෝෂණයට ඊසාන දිග මෝසම් සුළං හැරවුණු පසුව එන ‘අහස් වැස්ස’ විනා, වෙන යම් නිශ්චිත ජල මූලාශ්‍රයක් නැත. රජවරුන්ගේ යුගයෙහි පටන් ම, ‘මුකුණු ඔය’ සහ ‘මොර ඔය’ ඔස්සේ වැසි කාලයට ගලා බස්නා දියවරින් පදී වාපිය පිරී යන්නේ ය.
චෝල ආදී අතීත විදේශ ආක්රමණවලින් පසුව ක්‍රමයෙන් වල් බිහිව ගිය පදවිය ඉසව්ව, යළි කලඑළි කෙරුණේ, 1950 දශකය මුල් භාගයේ ය. එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මහතා ගෙන ගිය ‘ගොවි ජනපද ගොඩ නැගීමේ වැඩ පිළිවෙල’ ඔස්සේ ය. ඒ යටතේ, වර්ෂ 1954 දී පදවිය වැව පිළිසකර කෙරිණි. නියංසායට හසුව දැන් කේඩෑරිව ගිය ද, පදවිය වැවෙහි වත්මන් ජල ධාරිතාවය අක්කර අඩි අසූපන් දහසක් (85,000ක්) පමණ වෙයි. එහෙත් ඒ ජල ධාරිතාවය පිරෙන්නේ, රජරටට ‘ඊසාන දිග මෝසම් සුළං හැරවුණු’ වැසි කාලයට පමණකි. වැව පිරුණු ඉක්බිති, දැනුදු පදවිය වැවෙන් අක්කර 13,800කට පමණ දියවර සැපයීමට පුළුවන.
අතීත පදවිය බොහොම සරුසාර එකකි. එහෙත් අපේ කාලයේ පදවිය, මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් ඔත්පලව, මරණයේ අඳුරු සෙවනැලි පතිත වුණු, වියලි, කර්කශ වටාපිටාවකින් හෙබි දුරබැහැර ගොවි ජනාවාස ඉසව්වකි. එහි වැසියන්ගේ දිවිපෙවෙත එකම දුක්ඛයකි.
පදවිය මහා ගොවි ජනපදය ඔස්සේ බිහිවුණු ප්‍රධාන උප ජනපද දෙකකි. ඉන් එකක්, ‘පදවි පරාක්රමපුර’ යි. අනෙක, ‘පදවි ශ්‍රී පුර’ යි. ‘පදවි පරාක්‍රම පුර’ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වන අතර, ‘පදවි ශ්‍රී පුර’ අයත් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ය. ‘පදවි ශ්‍රී පුර’ යනු, 1990 දශකය මුල් භාගයේ මාරාන්තික නිදන්ගත කෘෂිකාර්මික වකුගඩු රෝගය මුලින් ම වාර්තා වුණු ගොවි ජනපද ප්‍රදේශවලින් එකකි. 2015 වසර වන විට, එයින් හඳුනාගෙන තිබුණු නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්යාව දස දහසකට අධික ය. පදවි ශ්‍රී පුර සිට අනුරාධපුරයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 120කි. එසේම ශ්‍රී පුර සිට පුල්මුඬේ ඔස්සේ ත්‍රිකුණාමලයට ඇති දුර ප්‍රමාණය ද කිලෝමීටර් 78ක් පමණ වේ. අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක දෙකෙහි ම, දුරබැහැර කෙළවරක පිහිටීම නිසා පදවි ශ්‍රී පුර වැස්සන් කෙරෙහි හැමවිට ම ලැබෙන්නේ අඩු අවධානයකි.
ඇස ගැටෙන පරිසරය වියලි ස්වභාවයෙන් පැවතීම, පදවියේ සාමාන්‍ය ලක්ෂණයකි. වර්තමානයේ එයට තවත් අංගයක් අලූතින් එකතුවී තිබේ. ඒවා නම් ‘වතුර කඩ’ ය. පිරිසිදු කළ පානීය ජලය අලෙවි කරන වෙළෙඳසැල් ය. කිලෝමීටරයක් දෙකක් යන විට, ‘පිරිසිදු වතුර ලීටරයක් රුපියල් තුනයි’ හෝ ‘පිරිසිදු වතුර ලීටරයක් රුපියල් හතරයි’ යනුවෙන් සඳහන් බෝඞ් ලෑලි එල්ලූ ‘වතුර කඩ’ ගණනාවක් ම දැකිය හැකි ය. ගෙවතුවල ඉදිවුණු ළිංවල ජලය ආසනික්, කැඞ්මියම් සහ ග්ලයිපොසේට් ආදී විෂකාරකවලින් පිරී ගොසිනි. එබැවින් බීමට සහ ආහාර පිසීමට පිරිසිදු කළ වතුර කඩෙන් ගැනීමට ඔවුන්ට සිදුව තිබේ. දිනකට හෝ දෙකකට වරක් බයිසිකලයකින් හෝ ගොස් බොන වතුර ටික සරිකර තැබීම, දැන් සෑම නිවසක ම අනිවාර්ය කටයුත්තක්ව තිබේ. සෑම නිවසක ම පාහේ වකුගඩු රෝගියෙක් දෙන්නෙක් සිටීම, ඒ ඉසව්වේ සාමාන්‍ය කාරණයකි. පිරිපහදු කළ පානීය ජලය සුලභ කිරීමත් සමගම, අලූත් වකුගඩු රෝගීන් වාර්තා වීම විශාල ලෙස පාලනයවී ඇතැයි ද දැන ගන්නට ලැබුණි.
වකුගඩු රෝගයට ගැහැණු හෝ පිරිමි කියා වෙනසක් නැත. වැඩිහිටි ඕනෑම කෙනෙකු එයට ගොදුරු වීමට පුළුවන. ඔහු හෝ ඇය පවුලේ උපයන්නා ය. නැතිනම් උපයන්නාට උර දෙන තැනැත්තා ය.
සාමාන්යයෙන් යම් කෙනෙකුට නිදන්ගත වකුගඩු රෝගය වැළඳී ඇතැයි හෙළිදරව් වන්නේ, එය යම් උච්ච අවස්ථාවකට පැමිණුනු විට ය. එතැන් පටන් පවුලේ ප්‍රධාන කටයුත්ත වන්නේ රෝගියා ගොඩ දමා ගැනීම ය. ඒ සඳහා ඔවුන් සතු සියලූ සේසත ම කැප කෙරෙයි. වියදම් කෙරෙයි. එයින් ඔවුන්ගේ පවුල් හිඟමනට ම ඇද වැටෙයි. අවසන, රෝගියා ද ඔත්පලව මියැදෙන්නේ ය. එබඳු පවුල්වල දරුවන්ගේ අධ්යාපනය ද අඩාල වෙයි. ඔවුන්ට ඥාතීන්ගේ රැකවරණ යටතේ කටුක දුක් වළඳමින් හැදී වැඩෙන්නට සිදු වෙයි.
‘මේ පැත්තේ ඕනෑම ඉස්කෝලෙක ළමයි 25ක් 30ක් වත් ඉන්නවා, එක්කෝ අම්මා නෑ. එක්කෝ තාත්තා නෑ. නැතිනම් අම්මා-තාත්තා දෙන්නම නෑ. ඔවුන් වකුගඩු ලෙඩෙන් මියගිහින්. දැන් ළමයිනුත් බයයි’, පදවි ශ්‍රී පුර දී අපට මුණගැසුණු විදුහල්පතිවරයෙක් පැවසුවේ ය.
ලියුම්කරුට මුණ ගැසුණු වකුගඩු රෝගීන් ගෙන් වැඩි පිරිස, වයස අවුරුදු 52ත් 69ත් අතර වයසේ පසුවන්නන් ය. ඔවුහු බැරි අමාරුවෙන් හෝ තවමත් ගොවිතැනෙහි යෙදෙති. වර්ෂාව හිඟ බැවින් දැන් කලක පටන් ම, පදවියේ වී ගොවිතැන කෙරෙන්නේ මාස් කන්නයට විතර ය. යල් කන්නයට බඩ ඉරිඟු, පැපොල් ආදී ගොඩ බෝග වගා කෙරෙයි. වකුගඩු රෝගයෙන් ඔත්පලව වැටුණ ද ඔවුන් තවමත් ගොවිතැන් කරන්නේ ග්ලයිපොසේට් අඩංගු වල්නාශක සහ අනෙකුත් කෘෂි රසායන වර්ගවල පිහිටෙනි. ‘අපට වෙන කරන්න දෙයක් නෑ. මේවා නැතිව අස්වැන්නක් ගන්නත් බෑ. වස විස නැති ගොවිතැනක් කියලා කිව්වාට, අපිට නම් කිසිම කෙනෙක් ඒ ගැන කියා දීලා නෑ’, යයි ඔවුහු පැවසූහ.
එහෙත් ලෝකය නම් බොහොම ඉදිරියට ගොසිනි. ඉකුත් අගොස්තු 11 වැනි දා ඇමරිකාවේ, කැලිපෝනියාවේ, ‘සැන්ප්රැන්සිස්කෝ ඉහළ අධිකරණය’, ග්ලයිපොසේට් වල්නාශකවලට එරෙහිව කදිම තීන්දුවක් දුන්නේ ය. ‘ලිම්පෝමා’ පිළිකා රෝගියෙකු වන, ඩිවෙන් ජොන්සන් මහතා කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව, ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවන ලෙස ග්ලයිපොසේට් අයිතිකාර ‘මොන්සැන්ටෝ සමාගමට’ නියෝග කිරීම, එම නඩු තීන්දුවයි.
ජොන්සන් මහතා ලිම්පෝමා පිළිකා රෝගයට ගොදුරුව තිබුණේ දිගු කාලයක් තිස්සේ ග්ලයිපොසේට් අඩංගු වල් නාශක වර්ග භාවිතා කිරීමෙන් බව නඩුවේ දී හෙළිදරව් විය. එහෙත් ග්ලයිපොසේට් ඇතුළු විෂ කෘෂි රසායන සමග එන මරණයේ සීතල ඉවසා ගෙන සිටිනවා විනා, පදවියේ ගොවීන්ට එවන් හයියක් නැත්තේ ය.
පදවි ශ්‍රී පුර වැසි ගොවීන් ලොකු ම මැසිවිල්ල නගන්නේ, ඔවුන්ගේ රෝහල සම්බන්ධයෙනි. එය පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය රෝහලයි. එය වකුගඩු රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර සැපයෙන රෝහලකි. එහෙත් දැනට මාස හයක් හතක් තිස්සේ එයට වකුගඩු රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්යවරයෙක් නැත. මාස හය හතකට පමණ පෙර හිටපු විශේෂඥ වෛද්යවරිය ස්ථාන මාරුවක් ලබා පිටව ගියා ය. එයින් පසුව ඔවුන්ගේ රෝහලට තවමත් වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්යවරයෙකු පත්කර නැත.
‘ඉස්පිරිතාලෙට ගියාම කලින් හිටපු දොස්තර නෝනා ලියලා දීපු තුණ්ඩුව ම අලූත් කරලා බේත් දෙනවා. සමහර බේත් ජාති නෑ. ඒවා කඩෙන් ගන්න ඕනෑ. විශේෂඥ දොස්තර කෙනෙකුට පෙන්වන්න නම් කිලෝමීටර් 120ක් ගිහින් අනුරාධපුරේ ඉස්පිරිතාලෙට යන්න වෙනවා. ‘ස්කෑන් වාර්තා’ ගන්නත් අනුරාධපුරේ යන්න වෙනවා’, ලියුම්කරුට මුණගැසුණු වකුගඩු රෝගීහු කීහ.
පදවිය මූලික රෝහලේ ද රුධිර කාන්දුපෙරණ පහසුකම් සහිත වකුගඩු රෝග ප්රතිකාරඒකකයක් තිබේ. එහි ඇත්තේ විශාල තදබදයකි. අනෙක එය පිහිටා ඇත්තේ පදවි ශ්‍රී පුරට කිලෝමීටර් 14ක් පමණ දුරිනි.
දැනට ශ්‍රී පුර ප්‍රාදේශීය රෝහලේ නව ‘වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයක්’ ඉදිකර තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘතකර වීම, සෞඛ්‍ය බලධාරීන්ගේ අපේක්ෂාවයි.
‘අද එනවා. හෙට එනවා කියලා කියනවා. දැන් සෑහෙන කාලයක්. ජනාධිපතිතුමා තවම ආවේ නෑ. මේක විවෘත කිරීම කල්යාමෙන් අපි තමයි අසරණ වෙන්නේ. අපි ඉතින් බේත් ගන්න මෙහේ රෝහලක් තියෙද්දී තවමත් පදවිය මූලික රෝහලට යනවා. නැතිනම් දුරබැහැර ගෙවා ගෙන, අනුරාධපුරේ යනවා’, ඔවුහු මැසිවිලි කීහ.
ලියාපදිංචි වකුගඩු රෝගියෙකුට මසකට රජයෙන් පිරිනමන සහනාධාර මුදල රුපියල් පන්දහසකි. ඔවුන් පවසන අන්දමට වෛද්‍ය ප්‍රතිකාර කටයුතු පිණිස එය ප්‍රමාණවත් නැත. මේ දිනවල පදවියේ බොහොම දෙනෙක් බලා සිටින්නේ ඊසාන දිග මෝසම් සුළං හරවන තුරු ය. එයින් වැසි ලැබී පදවිය වැව පිරෙන තුරු ය. යාන්තම් කන්නයක් දෙකක් වපුරා ගන්නට අවස්ථාවක් ලැබෙන තුරු ය!
(මෙම ලිපිය 2018/09/02 දින
සැබෑ පුවත්පතේ පළ විය.)
මේත් අපේම උදවිය නේද දෙවියනේ?
ReplyDelete