‘ලක්බිමයි’ මමයි!
නෑ, ‘ලක්බිමයි’ අපියි!-06
ලක්බිම කෑම සමාජය
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලක්බිම පත්තර කන්තෝරුවට ළඟම හන්දිය කොස්ගස් හන්දියයි. ඒකට ‘ග‍්‍රෑන්ඞ්පාස් හන්දිය’ කියලත් ව්‍යවහාර වුණා. කන්තෝරුව ළඟ තිබුණේ
පොඩි කඩයක් විතරයි. කෑම කන්න නම් ටිකක්
දුර ගෙවාගෙන කොස්ගස් හන්දියට යන්න ඕනෑ. දහවල් ආහාරය ගෙදරින්
ගේන්නේ නැති අයට කෑම පාර්සල් ගෙනාවේ කොස්ගස් හන්දියේ කඩවලිනුයි. ඒ වැඬේට දවල්ට
කවුරුහරි කාර්යාල කාර්ය සහායකයෙක් යනවා. කෑම ගෙනැවිත් බෙදා
හරිනවා.
ලක්බිම නිවුස් කෑල්ලේ කට්ටිය දිවා ආහාරය ගන්න යන්නේ
දහවල් 1.30ට විතර. ඒක අමුතුම වැඩක්. ඔන්න කට්ටියම කෑම
ශාලාවේ එක මේසෙකට වට වෙනවා. ගෑණු-පිරිමි කියා බෙදීමක්
නෑ. බහුතරය හිට ගෙන. ගෙවල්වලින් බත් ගෙඩි
ගෙනාපු හැමෝම ඒවා මේසය මත තබනවා. බත් ගෙඩි දහයක්
පහළොවක් විතර. ඒ වෙලාවේ ගෙදරින් ගෙනා
බත් ගෙඩි ටික ‘පොදු දේපලක්’ බවට පත් වෙනවා!
ඉස්සෙල්ලාම එකක් ලිහනවා. කට්ටියම අත් දමා ගෙන
ඒක කනවා. හැමෝටම බත් කටක් හරි
ලැබෙනවා. ඊට පස්සේ තව එකක් ලිහනවා. කට්ටියම ඒක කනවා. ඔය අතරේ කන කෑම එකේ
ගුණ දොස් ගැනත් කතා වෙනවා. ඊළඟට තව පාර්සලයක්
ලිහනවා. ඔය විදිහට එක සැරේකට
එකක් බැගින් බත් පාර්සල් ටික ඉවර වෙනකම් ම, වට වෙලා අත් දමා ගෙන කනවා. මේසෙට ළං වෙන්න බැරි තරම් කට්ටිය පිරුණා ම, ‘ඉඳා කාපන්’ කියලා කෑම කවන්න ඉදිරිපත්
වෙන අවස්ථාත් තිබුණා.
වැඩි දෙනෙක් කෑම
ගෙදරින් ගේනවා. සති අන්තයේ ගමට යන, කොළඹ බෝඩින් වෙලා ඉන්න
සමහරු කෑම ගෙන්වා ගන්නේ කඩෙන්. මේ වැඩෙන් කෑම ගෙනාපු, නො ගෙනාපු හැමෝට ම කෑම
ලැබෙනවා. ඔය කාලේ උන්ගේ ආර්ථික
තත්ත්වය යහපත්ව තිබුණේ නෑ. තරෙඟ් වැඩියි. හැමෝටම හොඳ නිවුස්
ලැබුණෙත් නෑ. ඉතින් හොඳ ආදායමක්
ලැබුණේ නෑ.
දවල් කෑම වෙලාව ළං
වෙනකොට ඇතැමෙක්, ‘මට අද කෑම නෑ’ කියලා ප‍්‍රසිද්ධියේ ම
කියනවා. ඒ කතාවේ ‘යටිපෙළ’, එයාට කෑම එකක් ගෙන්වා
ගන්න සල්ලිත් නෑ කියන එක බව උන් දැන හිටියා. ඒත් කාටවත් කෑම
වැරදුණේ නෑ. කොයිහැටි වෙතත් බත්
ගෙඩිවල තියෙන බිත්තර භක්තිගෙන් බේරා ගැනීමට කවුරුත් වගබලා ගත්තා.
මිහිරි පොන්සේකා සහ ගයාන් කුමාර වීරසිංහ දෙන්නා ‘ලොකු බත් ගෙඩි’ ගේන අය හැටියට ප‍්‍රසිද්ධයි. තිස්ස රවීන්ද්‍රගේ බත්
ගෙඩියත් සරුසාරයි. ඒවා කට්ටියට ම ලොකු
සේවයක් වුණා. අපේ උන් අතරේ හමුදා
පවුලක දැරිවියකුත් හිටියා. සමහර දාට එයාගේ තාත්තා
‘ලොකු පාර්සලයක්’ එවනවා. ඒකත් බොහොම ජනප‍්‍රියයි. සති අන්තයට ගම්වල යන
අය ආයෙමත් වැඩට එන්නේ එක්කෝ ඉරිදා. නැතිනම් සඳුදා. ඒ එන කොට උන් ලොකු බත්
ගෙඩියක් අරන් එනවා. ඒකේ ගමේ රසවත් දේවල්
වරදින්නෙ ම නෑ. වැල්ලාගේ (සමන්ත දිලාන් වැලිගමගේ) බත් ගෙඩියේ ඉස්සෝ නම්
වරදින්නේ නැති තරම්. ‘සමූහ කෑම’ අවසානයේ එතැන අස්පස් කරලා දාන එකත් උන්ගේ පුරුද්දක්.
සමහර දවසට හවසට රුපියල් පහ-දහය සම්මාදම් කරනවා. තියෙන අය දෙනවා. ඔන්න කාර්යාල කාර්ය
සහායකයෙක් කොස්ගස් හන්දියට යනවා. බේකරිවල ‘හවස පාන්’ බාන වෙලාව. ඉතින් උණු පානුයි
පරිප්පුයි එනවා. අර විශාල ‘ප‍්‍රීලාන්ස් ඩෙස්ක්
එක’ එකපාරට ම ‘පාන් මේසයක්’ බවට රූපාන්තරණය වෙනවා. පත්තර කන්තෝරුවේ පාන්
කපන්න පිහි කොයින් ද? පාන් අතින් කඩලා
ගන්නවා. පරිප්පු හොදි පැකට්
කඩලා කෑම ශාලාවෙන් ගෙනා පිඟන් දෙකකට දමා
ගන්නවා.
ඊට පස්සේ ඉතින් ඉන්න
හැමෝම වට වෙලා සමුහ පාන් කැමක්! පාන් සල්ලි ඉතුරු
වුණාම, වඬේ, බැදපු මඤ්ඤොක්කා
එහෙමත් ලැබෙනවා. සමහර දාට ප‍්‍රධාන
කර්තෘ ජටිල වැල්ලබඩ මහත්තයාත්, මියුලන් මහත්තයාත්, ශ‍්‍රීලාලූත් උන්ගේ ඇරයුම පරිදි සමූහ පාන් කෑමට එනවා. ඊට පස්සේ ප්ලේන්ටියකුත් ආපුවාම මාරයි!
බොහොමයක් දවසට උදේ කෑමට සම්පත්, පද්මිණී, කමණී ඇතුළු අපි කීප
දෙනෙක් එකතු වෙනවා.
‘යකෝ, උඹ අනුන්ට බණ කිය කියා
පිටි කෑමමයි ගිලින්නේ’, කියලා සම්පත් මට
බණිනවා.
ඊට පස්සේ උදේ වැඩට එනකොට දෙල්කඳ මාතර බත් කඩෙන් උදේ කෑම
එකක් ගේන්න පුරුදු වුණා.
කමල් ලියනාරච්චි උදේ කෑම එක ගෙදරින් ගේන කෙනෙක්. ඒක යස රහට තියෙන ‘චූටි බත් එකක්’. අපි ඒකෙනුත් බත් කටක්
කනවා. කමල් ඉතින් ගෙදරට චූටි
පුතා වෙන්න ඇති නිසා ඒකට ‘චූටි පුතාගේ බත් එක’ කියලා නමක් පටබැඳුණා.
‘ලක්බිමේ’ කෑම සංස්කෘතිය වගේ
එකක් වෙන පත්තර කන්තෝරුවල තියෙනවා ද මන්දා!
(මතු සම්බන්ධයි)
No comments:
Post a Comment