Total Pageviews

Saturday, September 8, 2018

ජපන් ඇමතිවරුන්ගේ ලංකාගමනය

ජපන් ඇමතිවරුන්ගේ ලංකාගමනය
සහ සිවු කොන් ආරක්ෂක කතිකාව (QSD)





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ජපානයට, ලංකාව බෙහෙවින් ම වැදගත් වූයේ දෙවැනි ලෝක යුද්ධය පැවති  වර්ෂ 1939-1945 සමයේ ය. එකල ලංකාව පාලනය කෙරුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අතිනි. කොළඹ වරාය මෙන් ම, ගාල්ලේ, කොග්ගල, ජලචර ගුවන් පථය ද පාලනය කළේ බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවයි.

දෙවැනි ලෝක යුද්ධය සමයේ දී, ජපානයට ආසියාවේ වෙළෙඳපොළජය ගැනීම පිළිබඳ ගැටලූවක් තිබිණි. ඊට බලපෑ  හේතුව වූයේ, ලංකාව ද ඇතුළුව ආසියාවේ රටවල් බොහොමයක පාලනය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය ආදී මිත‍්‍ර පාක්ෂික රටවලට’ (දෙවැනි ලෝක යුද්ධයේ මිත‍්‍ර පාක්ෂික රටවල්) නතුව තිබීමයි. ආසියාවේ රටවල් මිත‍්‍ර පාක්ෂික රටවල යටත් විජිත වශයෙන් පැවතීමයි. එකල ජපානය කල්පනා කළේ, එය තම නිෂ්පාදන ආසියාවට අලෙවිකර ගැනීමට  එරෙහිව පැන නැගුණු බාධාවක් වශයෙනි. එබැවින් ඔවුන්ට එරෙහිව යුද වැදීමට ජපනුන් තීන්දු කළහ.


1942 අප‍්‍රියෙල්  05 වැනි දා උදෑසන 7.30ට පමණ ජපන් ගුවන් හමුදා කොළඹ වරාය සහ අවට ස්ථාන කිහිපයකට  බෝම්බ දැමූහ. ඉන් පසුව අප‍්‍රියෙල් 09 වැනි දා ජපන් හමුදාවෝ යළිත් ලංකාවේ ගුවන ආක‍්‍රමණය කළහ. ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයට ගුවනින් බෝම්බ දැමූහ. ජපාන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු දෙදෙනෙක් ම, ඉකුත් දිනවල ලංකාවේ නිල සංචාරවල යෙදුණහ. ඒ සම්බන්ධ තොරතුරු රූප නාලිකා ඔස්සේ විකාශනය වෙද්දී ඇතැමෙකුට එදා ජපනුන් බෝම්බ දැමූ හැටිසිහිපත් වන්නට ද ඇත.

ජපානය දැන් යළිත් වරක් ලංකාව ගැන මහත් උනන්දුවක් ඇතිකර ගෙන සිටිනු පෙනෙයි. සතියක් වැනි කෙටි කාලයක් තුළ, ජපානයේ ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔන්දේරා (Itsunori Onodera) සහ ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය ඇමති කසුයුකි නකානේ  (Kazuyuki Nakane) යන මහත්වරු ලංකාවේ නිල සංචාරවල යෙදීමෙන් ම, ඒ බැව් පිළිබිඹු වෙයි.

ජපාන ආරක්ෂක ඇමති ඔන්දේරා මහතා ලංකාවට පැමිණියේ ඉකුත් අගෝස්තු 21 වැනි දා ය. ඔහු මෙහි පැමිණෙන්නට පෙර, එනම් 20 වැනි දා ඉන්දියාවට ගොස් එ රට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සහ එ රට ආරක්ෂක ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ද හමුවී තිබිණි. ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති කසුයුකි නකානේ මහතා ලංකාවට පැමිණියේ අගෝස්තු 28 වැනි දා ය. ඔහු සිය චාරිකාවේ දී, සමුද්‍රාරක්ෂක මුර යාත‍්‍රාවක් ද ලංකාවේ ආණ්ඩුවට තෑගි දුන්නේ ය.

ජපානයේ මෙම උනන්දුව, රට වැසියන්ට මහත් කුතුහලයක් දනවන්නේ ය. අනෙක, ඔවුන්ගේ සංචාර සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය වාර්තා පළවූයේ ද අඩුවෙනි. ජපාන ආරක්ෂක ඇමතිවරයාගේ චාරිකාවේ ඇතැම් අවස්ථා මාධ්‍යකරුවන්ට විවෘත වූයේ ද නැත. කොටින් ම, ජපාන ඇමතිවරුන්ගේ ලංකා සංචාරයේ යටි පෙළ, ලංකාවේ මාධ්‍ය ඔස්සේ එතරම් කතිකාවට ලක් නො වුණු තරම් ය.

ජපානයේ NHKරූපවාහිනී නාලිකාවේ වෙබ් අඩවිය ඉකුත් අගෝස්තු 21 වැනි දා සඳහන්කර තිබුණු අන්දමට, ජපාන ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔන්දේරා මහතාගේ ලංකා චාරිකාව දෙ රට අතර සමුද්‍රීය ආරක්ෂාව හා සම්බන්ධ කාරණයකි. ඔහු සිය සංචාරයේ දී කොළඹ වරාය නිරීක්ෂණය කළේ ය. ඊළඟට ත‍්‍රිකුණාමලය සහ හම්බන්තොට ජාත්‍යන්තර වරායයන් ද නිරීක්ෂණය කළේ ය. ඔන්දේරා මහතා එහි දී පැවසුවේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය උපක‍්‍රමික නැව් මාර්ගයක පිහිටා ඇති බවයි.

ඔන්දේරා මහතා සහ  අපේ රටේ පාලක බලධාරීන් සමග කෙරුණු සාකච්ඡාවල දී, ‘දැනට චීනයට බදු දී ඇති ලංකාවේ වරාය ආශ‍්‍රිතව නිදහස් නාවික ගමනාගමන තත්ත්වයන් සහතික කරන බවටඑකඟතාවයක් ද ඇතිකර ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා එහි දී අවධාරණයකර ඇත්තේ, චීනයේ යුද කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවේ වරාය භාවිත කිරීමට අවසර නො දෙන බවයි.

NHKවෙබ් අඩවිය එය වාර්තාකර තිබුණේ, ‘Top defense officials of Japan and Sri Lanka have confirmed that a Sri Lankan port leased to China should be open to all countries to ensure freedom of navigationයනුවෙනි. (NHK_Tuesday, August 21, 22:40)

ඉන්දියාවේ NDTVනාලිකා වෙබ් අඩවිය ජපාන ආරක්ෂක ඇමතිවරයාගේ ලංකා චාරිකාව වාර්තාකර තිබුණේ වෙනස් මුහුණුවරකිනි. , ‘Japan wants Sri Lanka's southern Hambantota port to be "free of military activities", the visiting Japanese Defence Minister Itsunori Onedera has said amid concerns in the region over the leasing of the facility to China.

Mr Onedera, who arrived in Colombo yesterday, is the first Japanese defence minister ever to visit Sri Lanka. His visit comes amid the regional concerns over growing Chinese influence in the island nation. (NDTV-August 22, 2018 15:58 IST)  යනුවෙනි. එනම්, ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය යුදමය ක‍්‍රියාමාර්ගවලින් තොරව පැවතීම ජපානයේ කැමැත්ත බවඔන්දේරා මහතා ප‍්‍රකාශ කළේ යයි වාර්තා කරමිනි.

ජපානය පිහිටා ඇත්තේ දළ වශයෙන් ශ‍්‍රී ලංකාවට කිලෝමීටර් 8280ක් පමණ දුරිනි. එබැවින් ලංකාව සහ ජපානය අතර සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු කාරණාතිබිය නො හැකි බව සරල කාරණයකි. අනෙක, රටක් හැටියට ලංකාවේ නාවික ශක්තිය ජපානය බඳු රටක නාවික ආරක්ෂාව අභියෝගයට ලක් කරන්නට තරම් පොහොසත් එකක් ද නොවේ. ඔවුන් සමුද්‍රීය ආරක්ෂාව යයි අදහස් කරන්නේ, ‘ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාවපිළිබඳ කාරණයයි. ලංකාව, ඉන්දියන් සාගරයේ අතිශයින් ම උපක‍්‍රමික ස්ථානයක පිහිටා ඇති බැවින්, ජපානයට ලංකාවේ සහ ලංකාව අවට මුහුදේ කෙරෙන නාවික ක‍්‍රියාකාරකම් බොහොම වැදගත් ය.

ජපානයෙන් පැමිණි රාජ්‍ය තාන්ත‍්‍රිකයන් එළිපිට කතා නො කළ ද, වර්තමානයේ ඔවුන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන්නේ මන්ද? යන කාරණය අතිශයින් ම පැහැදිලි ය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ, ‘චීනයලංකාව අරභයා ක‍්‍රියාත්මක කරන්නට යන නාවික වැඩ පිළිවෙල කුමක් ද? කියා දැන ගන්නට ය. එසේම, චීනය ලංකාවේ පය ගසා ගෙන ඉන්දියන් සාගරය අරභයා කරන්නට යන නාවික-ආර්ථික මැදිහත් වීම් කවරාකාර ද? යන්න දැන ගැනීමට ය.

මේ කාරණා සම්බන්ධයෙන් දැන කියා ගන්නට කැමැත්තෙන් පසුවන්නේ ජපානය පමණක් නො වේ. අපට අසල්වැසි ඉන්දියාව ද, දුරබැහැර  ඕස්ටේ‍්‍රලියාව ද, ඇමරිකාව ද ඒ සඳහා කැමැත්තක් දක්වයි. , වෙනෙකක් නිසා නොව, ඔවුන් චීනයේ එක් තීරයක්-එක් මාවතක්යනුවෙන් නම් කෙරුණු නව ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලට එරෙහි මතවාදයක පසුවන බැවිනි. ඉන්දියන් සාගරයේ උපක‍්‍රමික කලාපයට පැමිණි වීනය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය බද්දට ගැනීම, කොළඹ වරාය නගරය ඉදි කිරීම සහ නෙළුම් කුළුණ තැනීම ආදී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන වැඩවලට මැදිහත්ව සිටීම, ඔවුන්ට මහත් ගැටලූවකි!

ලංකාවේ එතරම් කතාබහට ලක් නො වුණ ද, ඇමරිකාව, ජපානය,  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව දැන් කලක පටන් ම, චීනයේ එක් තීරයක්-එක් මාවතක්ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලට එරෙහිව, සංවිධානාත්මකව, එකට වැඩ කරමින් සිටින්නෝ ය. ඔවුන්ගේ සංවිධානාත්මක වැඩ පිළිවෙල හැඳින්වෙන්නේ, ‘QSDයන කෙටි නාමයෙනි. එහි තේරුම සිවු කොන් ආරක්ෂක කතිකාව’ (The Quadrilateral Security Dialogue) යන්නයි. එහි අරමුණ වන්නේ චීනයේ නව ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙල සහ  ඔවුන් ඒ ඔස්සේ ව්‍යාප්ත කරන හමුදාමය බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීමයි. චීනයේ වැඩ පිළිවෙල ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීම මෙන්ම, එහි බලපෑම්වලින් මිදීමේ ආරක්ෂක උපායමාර්ග සකස්කර ගැනීම ද එයට අයත් වේ. චීනය, ඉන්දු-පැසිපික් සාගර කලාපයේ පතුරුවන වෙළෙඳ හා නාවික අණසක සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ද එහි එක් ක‍්‍රියාමාර්ගයකි.


අන්තර්ජාලයේ එන තොරතුරු අනුව, ‘සිවු කොන් ආරක්ෂක කතිකාවආරම්භ කෙරී ඇත්තේ වර්ෂ 2007 දී ය. , එවකට ජපානයේ අග‍්‍රාමාත්‍ය ෂින්සො අබේ,  ඕස්ට්‍්‍රලියාවේ අග‍්‍රාමාත්‍ය ජෝන් හොවාර්ඩ් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං යන මහත්වරුන්ගේ මූලිකත්වයෙනි. එවක් පටන් ඔවුහු රාජ්‍ය නායක මට්ටමින් ද, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරී මට්ටමින් ද වරින්වර රැස්වීම් පවත්වති. අලූත් ප‍්‍රවණතා ගැන සාකච්ඡාකර සුදුසු ක‍්‍රියාමාර්ග ගනිති. ජපානයේ ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔන්දේරා මහතා, ලංකාවේ සංචාරයට එන්නට පෙර ඉන්දියාවට ගොස් එ රට පාලකයන් හමු වූයේ නිකම්ම නො වන බවමෙහි දී තේරුම්ගත යුතු කාරණයයි. සිවු කොන් ආරක්ෂක කතිකාවේඋදවිය, චීනය ලංකාවේ කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් ද ඇස ගසා ගෙන සිටින බව ඉන් පෙනී යයි!


2009 වසරේ දෙසැම්බර් 07 වැනි දා ඇමරිකානු සෙනේට් මණ්ඩලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් SRI LANKA: RECHARTING U.S. STRATEGY AFTER THE WARනමින් වාර්තාවක් ඉදිරිපත් කෙරිණි. එයින් කරුණු ඉදිරිපත්කර තිබුණේ, සිවිල් යුද්ධය ජය ගැනීමෙන් පසුව ලංකාව චීනය දෙසට නැඹුරු වීම පිළිබව ය. ඇමරිකාවේ මිත‍්‍ර රටක් වන  ජපානයට ඉන්ධන ප‍්‍රවාහනය කෙරෙන්නේ ද උපක‍්‍රමික පිහිටීමක් සහිත ලංකාවට නුදුරු මුහුද ඔස්සේ ය. ඇමරිකාව ඒ ගැන උනන්දුවෙන් බලා සිටින බව ද වාර්තාවෙහි 12 වැනි පිටුවේ සහන් විය. (SRI LANKA: RECHARTING U.S. STRATEGY AFTER THE WAR  ලියැවිල්ල අන්තර්ජාලයෙන් කියැවීමට පුළුවන)

මින් පෙනීයන කාරණය වන්නේ, ඇමරිකාව මෙන්ම ජපානය ද ලංකාවේ කෙරෙන චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් බොහොම කලක පටන් ම, දැඩි උනන්දුවක්  දක්වමින් සිටින බවයි. සැබෑ ගැටුම ඇත්තේ, ඇමරිකානු කවුර සහ චීන කවුර අතර ය.

කරුණු කොයිහැටි වෙතත්, වර්තමාන ලංකාව චීනය වෙතට නැඹුරුවී හමාර ය. ඒ සහා ගත් ක‍්‍රියාමාර්ග යළි ආපසු හරවන්නට ද නො හැකි ය. දැන් ඉතින් කළ යුත්තේ ඇමරිකානු කවුර ද සමබරකර ගනිමින්, චීන ආර්ථික ක‍්‍රියාවලියෙන් සැලකිය යුතු කෝටාවක් ලංකාවට ද ලබා ගැනීමයි! එය, ලංකාවේ පාලකයන් ඉදිරියේ ඇති අභියෝගයකි!


(පින්තූර අන්තර්ජාලයෙනි)


(මෙම ලිපිය 2018/09/09 දින සැබෑ පුවත්පතෙහි පළවිය)



No comments:

Post a Comment