‘ලක්බිමයි’ මමයි!
නෑ, ‘ලක්බිමයි’ අපියි!-05
පියවරුන්ගේ උරුමය
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලක්බිම පත්තරේ වැඩට ආපු තරුණ පිරිසෙන් ටික දෙනෙක්, පිය උරුමයෙන් පත්තර
කලාවට අත් පොත් තියපු අයයි. කමණී, ‘දවස’ පුවත්පතේ වැඩ කළ
සිරිසෝම හෙට්ටිආරච්චි මහතාගේ දියණියයි. ගීත් ගුණසේකර, ප‍්‍රවීණ ලේඛක නිවුටන්
ගුණසේකර මහතාගේ පුතණුවෙක්. මිහිරි පොන්සේකාගේ
පියා තමයි ‘දිවයිනේ’ හිටපු සිරිමල්
පොන්සේකා මහත්තයා. ශාලික පෙරේරා, ලේක් හවුසියේ ඞී. තෝමස් පෙරේරා මහත්තයාගේ පුතණුවන්. සම්පත් ධර්මප‍්‍රිය
දිසානායකගේ තාත්තා, දිවයිනේ දේශප‍්‍රිය
දිසානායක යි.
නෙරංජලා වික‍්‍රමසිංහ, ලේක්හවුස් ඡායාරූප ශිල්පී ඩඞ්ලි වික‍්‍රමසිංහ
මහතාගේ දියණියයි. ඡායාරූප අංශයට එකතු
වුණු ඉෂාර එස්. කොඩිකාර, ‘දිවයිනේ’ හිටපු ඡායාරූප ශිල්පී
බන්දු එස්. කොඩිකාර මහතාගේ පුතණුවන්. සංඛ විදානගමගේ තාත්තා
තමයි, ප‍්‍රංශ පුවත් සේවයේ ඡායාරූප
ශිල්පී සේන විදානගම මහත්තයා. භක්ති ධර්මප‍්‍රිය
මෙන්ඩිස්ගේ තාත්තා, ‘දිවයිනේ’ සුගතපාල මෙන්ඩිස්
මහත්තයයි. ලක්බිම ඡායාරූප අංශයේ
වැඩ කරපු මලිත් ගමගේගේ තාත්තා පද්මසිරි ගමගේ. ඔහුත් ප‍්‍රවීණ මාධ්‍ය
ඡායාරූප ශිල්පියෙක්. පස්සේ කාලේ එකතු වුණු
රන්මලී සෝමසිරි, ලේක්හවුසියේ දයා සෝමසිරි
මහත්තයාගේ දියණියයි.
ඔන්න දවසක් හැන්දෑවක අපි කිත්සිරි මහත්තයාගේ කාමරේ, වාඩිවී කතාකරමින්
ඉන්නවා. ඒ වෙලාවේ එක තාත්තා
කෙනෙක් එතෙන්ට ආවා. එයා කිත්සිරි
මහත්තයාගේ සමකාලීනයෙක්. බොහොම ප‍්‍රකට
පුවත්පත් කලාවේදියෙක්. අපිත් දන්නා කෙනෙක්.
ආගිය තොරතුරු කතා කරන අතරේ එයා කිත්සිරි මහත්තයාගෙන් ප‍්‍රශ්නයක්
ඇහුවා.
ඒ දෙබස් ටික මෙහෙමයි.
‘මචං, අපේ කොල්ලා කොහොම ද බං
දැන්?’
‘හොඳයි මචං, ඌ වැඩටික අල්ලගෙන යනවා’, කිත්සිරි මහත්තයා
උත්තර දුන්නා.
‘මේ, උඹලාට දැනෙන විදිහට ඌට
ඔය එෆෙයාර් එහෙමත් තියෙනවා ද?’, අමුත්තා ඇහුවා.
අපි ඉතිං නිස්සද්දව හිටියා.
‘නෑ මං මේ ඇහුවේ නිකං
දැනගන්ඩ’, අමුත්තා පැහැදිලි කළා.
කිත්සිරි මහත්තයා දුන්නේ දෙපැත්තට ම නැති උත්තරයක්.
‘මොන මොනවා හරි තියෙන
බව නං පේනවා. ඒත් හරියට ම දන්නේ නෑ’
‘නෑ නෑ ඇති ඇති, ගෙදරටත් ගෑණු ළමයි
කොච්චරවත් කෝල් දීලා මූව අහනවා. මෙහේත් මොකක් හරි තියනවා
වගේ දැනෙනවා’, අමුත්තා කිව්වා.
‘එක ළමයෙක් එක්ක
කිචිබිචියක් තියෙන බව නම් පේනවා’, අපේ කෙනෙක් හෙමින් කිව්වා.
‘එකයි ද?’, අමුත්තා පුදුමයෙන් වගේ
හිනා වුණා.
‘මචං, බලනකොට මුං හොඳයි නේ. අපි ඔය කාලේ වෙන කොට
කී දෙනෙක් නම් පාස්කරලා ද?’,
ඊළඟට හිනැහෙමින් කිව්වා.
‘ ඕවා මචං කෙරෙන වැඩ ද?. ඔය කාලෙට ඔහොම නේ’, කිත්සිරි මහත්තයා
කිව්වා.
‘ඔව්, ඔව්,
ඕවා ඉතින් කෙරුණොත් නං, මං අන්න එදාට පිළි
ගන්නං’, අමුත්තා හිනා වුණා!
‘උඹේම පුතා නේ’, කිත්සිරි මහත්තයාත්
හයියෙන් හිනා වුණා.
පසු කාලයේ මිහිරිගේ (මිහිරි පොන්සේකා) තාත්තා, සිරිමල් පොන්සේකා
මහත්තයා ලක්බිමේ ප‍්‍රවෘත්ති කර්තෘ හැටියට වැඩ කරන්න ආවා. ඔහු නිවැරදි සිංහල ගැන
බොහොම සැලකිල්ලක් දක්වපු කෙනෙක්. ඔය කාලේ මිහිරිත්
ලක්බිමේ වැඩ කළා. දෙන්නා තාත්තයි පුතයි.
පත්තර කන්තෝරුවේ දී ඔවුන් වාද කරගන්නා අවස්ථාත් තියෙනවා. මිහිරි කන්තෝරුවේ දී
තාත්තා ඇමතුවේ ‘සිරිමල් මහත්තයා’ කියලයි!
ඔහු වැඩ කරද්දී මිහිරි තමන්ගේ පුතාය කියලා විශේෂත්වයක්
කළේ නෑ.
(මතු සම්බන්ධයි)
හරිම ආදරණිය සහ සුන්දර මතකයක්. ඒ පින්තුරය ඇතුලේ සතුට වගේම දුකත් පිිරිලා තියෙනවා. මුලින්ම ඉන්න ශ්‍රී ලාල් අයියා අද ජිවතුන් අතර නැහැ. අන්තිමට ඉන්න ආදරණියම සහෝදරිය, මිතුරිය, ජිවිතය බෙදාහදා ගත් මගේ ජිවිතේ හෙවැනැල්ල රිද්මිත් ජිවතුන් අතර නැහැ. හැබැයි ක්‍රිෂ්ණ අයියා තාමත් ජිවත් වෙන මාවත් ජිවිතෙන් පිටමං කරලා. මරලා දාලා කියලා කියන්නේ නැහැ. මොකද ක්‍රිෂ්ණ අයියා බොහෝම ආදරණිය චරිතයක්. හැබැයි එයා මගේ නම මරලා දාලා. ශ්‍රී ලාල් අයියා බොහෝම සෙනෙහසින් උරහිස මත අතක් තියාගෙන ඉන්නේ ගයාත්‍රි නදිකාගේ නෙමෙයි. පද්මිණි මාතරගේ වෙන මගේ. මට දුක හිතුනේ නම් නැහැ හැබැයි පුදුම හිතුණා. මොකද ක්‍රිෂ්ණ අයියා කියන්නේ හොද සිහි බුද්ධියෙන් වගේම ඉතාම රහට ලියන කියන , අපිටත් ලස්සනට ලියපල්ලා කියලා සොදුුරු ආඥාවන් කරන කෙනෙක් නිසා.
ReplyDelete