Total Pageviews

Saturday, August 25, 2018

පාසැල්වලින් එළියට වැටෙන තාරුණ්‍යයට ආණ්ඩුවෙන් කනේ පාරක්!

ත‍්‍රී රෝද රථ රියදුරුකමේ අවුරුදු 35ක වයස් සිමාව
පාසැල්වලින් එළියට වැටෙන තාරුණ්‍යයට
ආණ්ඩුවෙන් කනේ පාරක්!






(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කුලී ගමන් යන ත‍්‍රී රෝද රථ රියදුරන් සහා නව නීති හඳුන්වා දීමේ ගැසට් නිවේදනයත් සමගම දශ ලක්ෂයකට අධික කුලී ත‍්‍රී රෝද රථ රියදුරු ප‍්‍රජාව දැන් මහත් කැළඹීමකට ලක්ව සිටිති. සමස්ත ලංකා ත‍්‍රී රෝද රථ රියදුරු සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ, නව නීති ක‍්‍රියාත්මක වුව හොත් ත‍්‍රී රෝද රථ රියදුරන් (ත‍්‍රී රෝද රථ) ලක්ෂ හතරකට හෝ පහකට පමණ රැකියා අහිමි විය හැකි බවයි.

කුලී ගමන් යන ත‍්‍රී රෝද රථ රියදුරන් ගෙන් බහුතරය, බොහොම තරුණ වයසේ අයයි. ඔවුන් අතරින් වැඩි දෙනෙකුගේ රිය පැදවීමේ විනයනම් අන්තිම ය. කොටින් ම මෙලෝ විනයක් නැති තරම් ය! එබැවින් කුලී ත‍්‍රී රෝද රථ රියදුරන් සහා නව නීති හඳුන්වා දීමේ වරදක් නැත. මහ පාරේ දී විනයක් නැති රියදුරුකම, මගීන් කැන්දා ගෙන යන්නේ, එක්කෝ කෙලින්ම මාරයා හමුවට ය. නැතිනම් සදාකාලික අබ්බාගාතභාවයට ය. දඩබ්බර ත‍්‍රී රෝද රථ රියදුරන්, මේ කාරණය සම්බන්ධයෙන් මහත් ප‍්‍රසිද්ධියක් උසුලන්නෝ ය!

ත‍්‍රී රෝද රථ රියදුරන් යම් විනය නීති රාමුවකට නතු කිරීම යහපත් දෙයක් වුව ද, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කරන්නට යන වැඩ පිළිවෙල නම් මහත් ගැටලූ සහගත එකකි. පනවන්නට යන නව නීති මගින්, ත‍්‍රී රෝද රථ පැදවීමෙන් එදා වේල සරිකර ගන්නා විශාල පිරිසකට යන-එන මං නැතිව යන තත්ත්වයක් උද්ගත වීම ඊට හේතුවයි. එය සිදු වන්නේ කුලී ගමන් යන ත‍්‍රී රෝද රථ රියදුරුකමේ අවම වයස් සීමාව, අවුරුදු 35ක් යයි කොන්දේසියක් පනවා තිබීම නිසා ය.

ප‍්‍රවාහන අමාත්‍යංශය, එළඹුණු අගෝස්තු මුල් සතියේ ත‍්‍රී රෝද රථ ධාවකයන් සහා විශේෂ ගැසට් නිවේදනයක් පළ කළේ ය. ඒ අනුව, කුලී ගමන් යන ත‍්‍රී රෝද රථ රියදුරන්, මින් ඉදිරියට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා ගෙන් විශේෂ අනුමැතියක් ලබා ගත යුතු වේ. එය  ලබා දෙන්නේ කොන්දේසි කිහිපයක් සපුරන අයට පමණකි.

ඒ අනුව, කුලී ගමන් යන ත‍්‍රී රෝද රථ රියදුරන් වයස අවුරුදු 35ත් 70ත් අතර වයසෙහි පසුවන්නන් විය යුතු ය. ඔවුන්ට ත‍්‍රී රෝද රථ ධාවනයෙහි වසර දෙකක පළපුරුද්දක් ද තිබිය යුතු ය. තමන්ට ත‍්‍රී රෝද රථ ධාවනය කිරීමට තරම් යහපත් ශරීර සෞඛ්‍යයක් ඇති බව, වෛද්‍ය සහතිකයකින් සනාථ කළ යුතු ය. එසේම, තමන් අපරාධකරුවෙකු නො වන බවට පොලිස් වාර්ථාවක් මගින් සනාථ කළ යුතු ය. මින් ඉදිරියට මගී ප‍්‍රවාහනයට (කුලී ගමන් යාමට) හා අවසර ලැබෙන්නේ එම කොන්දේසි සපුරන ත‍්‍රී රෝද රථ රියදුරන්ට පමණකි. මේ නීති ඔස්සේ වසර 35ක අවම වයස් සීමාව ක‍්‍රියාත්මකවූ විට, ත‍්‍රී රෝද රථ සේවා ක්ෂේත‍්‍රයට එක්ව සිටින විශාල පිරිසකට සිය ජීවන මාර්ගය අහිමි වන බව පැහැදිලි ය.

තරුණයන්, පාසැල් අධ්‍යාපනය හමාර කළ ගමන් ත‍්‍රී වීල් දුවන රස්සාවට එන බවත්, ඔවුන් ඊටත් වඩා ඵලදායක ආර්ථික කටයුත්තකට යොමු නො වීම බරපතල ප‍්‍රශ්නයක් බවත්, මෑත කාලීනව ත‍්‍රී රෝද රථ රියදුරන් සම්බන්ධයෙන් කියැවෙන ජනප‍්‍රිය අදහසකි.  ජනප‍්‍රිය මතවාදයකි. එය කරළියට නැගුණේ යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයන් වරින්වර කළ කතා ඔස්සේ ය. හිටපු මුදල් ඇමති රවී කරුණානායක සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරු ඉන් කැපී පෙනුණි. තරුණයන්, පාසැලෙන් නික්මුණු ගමන් ත‍්‍රී වීල් දිවීමේ රස්සාවට එන බවත්, ඔවුන් ඊටත් වඩා ඵලදායක ආර්ථික කටයුත්තකට යොමු නො වීම බරපතල ප‍්‍රශ්නයක් බවත්කීම, ඇතැම් විට ආණ්ඩුවේ නිල මතයවීමට ද පුළුවන. ත‍්‍රී රෝද රථ රියදුරන් සහා අලූතෙන් පනවන්නට යන නීති ද මෙම මතය හා ගැලපී යාම, ඊට හේතුවයි.

තරුණයන්, පාසැලෙන් නික්මුණු ගමන් වෙනත් ඵලදායක ආර්ථික ක‍්‍රියාවලියකට එක් නොවී, ත‍්‍රී වීල් රස්සාවට එකතු වීම බරපතල ප‍්‍රශ්නයක් බව පැවසීම, ‘කොලේ වහලා ගැහිල්ලකි’. එනම් සැබෑ ප‍්‍රශ්නය යටපත් කරවන සහ සවන  ආකාරයේ මතවාදයක් ඉදිරියට දැමීමකි. අතිශයින් ම කටුක වුවත් සැබෑ කාරණය වන්නේ, අඩු අධ්‍යාපනයක් ලැබූ තරුණ තරුණියන් දැන් කලක් තිස්සේ ම උග‍්‍ර රැකියා හියකට මුහුණ දී සිටින බවයි. ත‍්‍රී වීල් රස්සාවට යාම, ඔවුන්ගේ පවුල්වල ආර්ථික ප‍්‍රශ්න විසඳෙන එක් ක‍්‍රමයකි. ඇත්තට ම සොයා බැලිය යුත්තේ, තරුණයන්ට ත‍්‍රී රෝද රථ රියදුරන් වීමට සිදු වූයේ මන් ද? යන කාරණයයි!

පාසැල් හැර ගිය විගස තරුණ පෙළ බුරුතුපිටින් ත‍්‍රී වීල් දිවීමේ රස්සාවටඑකතු වෙනවා නම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක් ද?, ජීවනෝපාය මාර්ගයක් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි පීඩනයකට ගොදුරුව සිටින බවයි. ඇත්තම කතාව නම්, ඔවුන් ත‍්‍රී වීල් දිවීමේ රස්සාවතෝරා ගෙන තිබෙන්නේ, ‘ජීවිතය ගොඩ දමා ගන්නටවෙනත් ක‍්‍රමයක් නැති බැවිනි. එබැවින් ලීසිංහෝ වෙනත් වාරික ගෙවීමේ ක‍්‍රමයකට ත‍්‍රී රෝද රථයක් මිලට ගෙන, කුලී ත‍්‍රී රෝද රථ ගොන්නට එකතු වීම ඔවුන්ගේ කැමැත්තයි. මේ සහා බරපැන දරන්නේ ද බොහෝ විට, මව්-පියවරුන් ඇතුළු පවුලේ අයයි.

මෙසේ ත‍්‍රී වීල් රස්සාවටඑකතු වන වැඩි දෙනෙක් මගී ප‍්‍රවාහනයසහ  මහ පාරේ විනයගැන පුහුණුවක් හෝ ලොකු අත්දැකීමක් ලද්දවුන් නො වෙති. හැකි උපරිමයෙන් හයර්දුවමින් ලීසිං වාරික ගෙවා දැමීම සහ තම ආර්ථික ගැටලූ විසඳා ගැනීමට කටයුතු කිරීම ඔවුන්ගේ අරමුණයි. එයින් සුළු පිරිසක් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය, ගණිකා ව්‍යාපාරය සහ අපරාධකරුවන්ට සහාය වීම ආදී අනිසි ආදායම් මාර්ගවලට යොමු වන අවස්ථා ද තිබේ.


දේශපාලකයන්,  තරුණයන් ත‍්‍රී වීල් දිවීමේ රස්සාවටඑකතු වීම ඵලදායක ආර්ථික ක‍්‍රියාවලියක් නො වේ යයි කීවාට, දැන් කලක පටන් ම රට තුළ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ තවදුරටත් ත‍්‍රී රෝද රියදුරන් බිහි කරනආකාරයේ සමාජ-ආර්ථික රටාවකි. එයින් බිහි කරන තරුණ තරුණියන් ගෙන් බහුතරය, පාසැල් අධ්‍යාපන ක‍්‍රියාවලියේ අ. පො. .  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කඩයිම්වලින් පරාජය වූවන් ය. ඔවුන්ට ආයතනගත රැකියා හෝ වෙනත් ඵලදායක ආර්ථික ක‍්‍රියාවලියකට එකතු වීමට ඉඩක් ලැබෙන්නේ නැත.

විභාග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන ගත් කල, 2017 වසරේ අ. පො. .  සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වුණු අපේක්ෂකයන් පිරිස, සියයට 30ක් පමණ වේ.   අනුව, 2017 වසරේ, (අසමත් හෙවත්) උසස් පෙළ හැදෑරීම සහා සුදුසුකම් නො ලැබූ අපේක්ෂකයන් සංඛ්‍යාව’ 2, 08, 942ක් විය. එම වසරේ ම, . පො. .  උසස් පෙළ විභාගයෙන් අසමත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 90, 226කි. සමත් වීමේ ප‍්‍රතිශතය සියයට 36කි. මෙහි තේරුම වන්නේ, සාමාන්‍යයෙන් වසරකට 3,00,000(තුන් ලක්ෂයක) පමණ තරුණ පිරිසක් සම්මත අධ්‍යාපන ක‍්‍රියාවලියෙන් එළියට වැටෙන බවයි. ඉක්බිති ඔවුන්, ‘අඩු අධ්‍යාපනයක් ලැබූ රැකියා විරහිතයන්ගේ ගොඩටඑකතු වෙති. එසේ වුව ද රාජ්‍ය අංශයේ සියලූම වෘත්තීය පුහුණු ආයතනවල (ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සහ තරුණ සේවා සභාව ආදී) පහසුකම් සැලසී ඇත්තේ, වසරකට 50, 000(පනස් දහසක) පමණ පිරිසක් පුහුණු කිරීමට පමණි!

සම්මත අධ්‍යාපන ක‍්‍රියාවලියෙන් එළියට වැටුණු 3,00,000(තුන් ලක්ෂයක) පමණ තරුණ පිරිසෙන් 2,50,000ක පමණ සංඛ්‍යාවක්, සෑම වසරකම යන-එන මං නැති තත්ත්වයට පත් වන බව, මෙහි ඇති කටුක සත්‍යයයි! ත‍්‍රී වීල් රස්සාවකට, මේසන් හෝ වඩු වැඩකට, කොළඹ හෝටලයක වේටර් වැඩකට හෝ  යන්නේ නැතිනම් ඔවුන් වෙන කුමක් කරන්න ද? යුද්ධය පැවති සමයේ නම් ඔවුන්ට යුද හමුදා සේවයහෝ තිබිණි! ආණ්ඩුව කුලී ත‍්‍රී  රෝද රථ රියදුරුකමේ අවම වයස් සීමාව අවුරුදු 35ක් දක්වා ඉහළ නංවා ඇත්තේ, රටේ තාරුණ්‍යය මුහුණ දෙන විරැකියා පීඩනය සැලකිල්ලට නො ගනිමිනි. තමන්ගේ විරැකියාව අනුන්ට බරක් නොවී ජය ගන්නට යන තරුණයන්ට කනේ පාරක්ගසමිනි.

වර්තමාන ලංකාව සේවා ආර්ථිකයකටබර තබමින් යන රටකි. එහි රැකියාවල නියුතු සමස්ත පිරිසෙන් සියයට 45.5ක්, සේවා අංශයේ රැුකියාවල නියුතු වූවන් බව 2017 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සහන් වේ. නගරයේත්, ගමේත් දුවන ත‍්‍රී රෝද රථ රියදුරන් ද සේවා අංශයේ ලොකු පංගුවක් නියෝජනය කරති. අපේ රටේ මගී ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ චූල සම්ප‍්‍රදායඔවුන් ය.

ත‍්‍රී වීල් රස්සාව කරන තරුණයන් සම්බන්ධයෙන් මහජනයා තුළ ඇත්තේ මිශ‍්‍ර ආකල්පයකි. ඇතැමෙකුට අනුව, ත‍්‍රී රෝද රථ පදවන බහුතරයක් දෙනා අනිසි කටයුතුවලටඑක් වුණු අයයි. සමහරෙක් මහ පාරේ දී කිසිදු විනයක් නැතිව, අධික වේගයෙන්, අපරීක්ෂාකාරීව  රිය පදවන්නන් ය. ඔවුහු නිතර අනතුරුවලට ද ලක් වෙති. තවත් සමහර අය කියන හැටියට, මහ පාරේ දී උපරිමයෙන් මනුස්සකම් පෙන්වනපිරිස වන්නේ ද ත‍්‍රී රෝද රථ රියදුරන් ය. ඔවුහු රාත‍්‍රියේ වුව, මහ පාරේ දී දුකට පිහිට වීමේ ගුණය ප‍්‍රගුණ කළ වුන් ය. ඇතැම් නගරයක හෝ ගමේ හන්දියක ත‍්‍රී රෝද රථ සංගම්’, සමාජ සත්කාරක වැඩසටහන් පවා සංවිධානය කරති. ත‍්‍රී වීල් රස්සාවේ හමුවන තරුණයන්, ඇත්තට ම වෙනත් ග‍්‍රහලෝකයකින් පැමිණි පිරිසක් ද නොවේ. ඔවුන් අපේ ම, අපේ රටේ ම, අපේ හුදී ජන පන්තියේ ම, තරුණයන් ය.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව, 2008 වසරේ ලංකාවේ පැවති ත‍්‍රී රෝද රථ සංඛ්‍යාව 4,06,531කි. යුද්ධය හමාර වීමෙන් පසුව, 2010 දී එය 5,29,543ක් දක්වා ඉහළ ගියේ ය. 2015 වර්ෂය වන විට රට තුළ තිබෙන ත‍්‍රී රෝද රථ සංඛ්‍යාව 10,59,042ක් විය. මේවාට උරා ගන්නට ඇත්තේ සම්මත අධ්‍යාපන ක‍්‍රියාවලියෙන් එළියට වැටෙන තරුණ ප‍්‍රජාව බවට සැකයක් නැත.

ත‍්‍රී වීල් දිවිමේ රස්සාවේ යෙදෙන යම් පිරිසක්, මහ පාරේ දී නිසි විනයක් නැතිව හැසිරීමත්, අපරාධවලට සහාය දැක්වීමත් සමාජ ගැටලූවක් බව ඇත්ත ය. එය ජාතික තලයේ කතිකාවකට ගත යුතු බවත් ඇත්ත ය. එහෙත් ඔවුන්ගේ දඩබ්බර හැසිරීම් සහ අනිසි වැඩ කටයුතු පිටු දැකිය යුත්තේ, ‘රටේ නීතියහරියට ම ක‍්‍රියාත්මක කිරීමෙනි. එය කළ යුත්තේ, වයස අවුරුදු 35ක සීමා පනවමින්, ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වන තැනට වැඩ සැලැස්වීමෙන් නම් නොවේ. ඔවුන් නිසි පුහුණුවකට යොමු කිරීමෙනි.

අනෙක, රටේ සම්මත අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණයකර, වෘත්තීය පුහුණු පහසුකම් යු ටර්න් ගසාපුළුල් නො කරන තාක් කල්, රටේ තරුණ පෙළ ත‍්‍රී රෝද රථ රියදුරු රස්සාවට එකතු වීම නම් නො නවතිනු ඇත්තේ ය.

(පින්තූරය-අන්තර්ජාලයෙනි)

(මෙම ලිපිය 2018/08/26 දින සැබෑ පුවත්පතතේ පළවිය)

.






1 comment:

  1. ඇත්ත ගම්බද පලාත්වල ළමයි ඉස්කෝලෙ ඇරිල හවසහයර් දුවන අයත් ඉන්නව.එයාල මත් ද්‍රව්‍ය වලට යොමුවෙලා තියෙන්නෙ එතනින්. ජා තික පාසල් වල හැර බහුතරයක් පලාත්පාසල් වල 11 පන්තිවලත් ඉන්නව අකුරු නොතේරෙන අය.ප්‍රාථමික අධ්‍යාපනයෙන්ම යූ ටර්න් එක ගහන්න ඕන හරිනම්.අර වසර 13ක පාසල් යාමේ ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුනොත් නම් පොඩි පැච් වැහිල්ලක් හරි වෙයි.ළමයි ගිරවු වෙලා.නිර්මාණශීලී හෝ ප්‍රාෙයා්ගික නෑ ගොඩක් අය.
    මට බය මේ යූ ටර්න් ගහන්ඩ ගිහිල්ල ඇක්සිඩන්ට් එකක් වත්වෙයිද කියල.

    ReplyDelete