ලක්ෂ හැටක නිල් මැණිකක් දෙකට ඉරා දමති!
අපි රත්නපුර නගර සභා ගොඩනැගිල්ල
ඉදිරිපිටින් ඇවිද ගෙන ගොස් දකුණට හැරී දෙමුවාත පාරට වැටුණෙමු.
වේලාව පෙරවරු 9.30 පමණ වන්නට ඇත.
දෙමුවාත පාර රත්නපුරයේ බොහොම ප‍්‍රසිද්ධ මැණික් වෙළෙඳ
වීදියකි. අපි එහි
හැඩතල නරඹමින් කම්බි පාලම දෙසට ඇවිද ගියෙමු.
‘අපි’ යයි
කීවේ මටත් බුද්ධිකටත් ය. බුද්ධික
යනු කලින් මා සමග ඉරිදා ලක්බිමේ ද, පසුව කොළඹ රොයිටර් ආයතනයේ ද
වැඩ කළ ඡායාරූප මාධ්‍යවේදී බුද්ධික වීරසිංහ ය.
දැනට ජපානයේ පදිංචිව සිටින ඔහු පසුගිය දා ලංකාවට පැමිණ
තිබුණේ ‘බ්ලූම්බර්ග්’ නම්
ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රවෘත්ති
සේවාවට රත්නපුරේ මැණික් කර්මාන්තය ගැන පින්තූර කතාවක් ගොනු කරන්නට ය.
‘අන්න රුපියල් ලක්ෂ හැටක් විතර වටිනා නිල් මැණිකක් දෙකට ඉරනවා. ඔයාලාට පින්තූර ගත්තෑකි!’
වීදිය අයිනේ සිටි මැණික් මිත‍්‍රයෙක් අපට ආරංචියක් දුන්නේ ය. ඔහු අපි කලින් හඳුනන කෙනෙකි. එසේ නැති නම් මේ මැණික් වෙළෙඳ වීදියේ තොරතුරු නන්නාඳුනන අයට කියන්නේ නැත.
රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා නිල් මැණික් ගලක් කැබලිවලට ඉරන්නේ මොන මරු විකාරෙන් දැයි මෙය කියවන පාඨකයන් කල්පනා කරන්නට පුළුවන. අපට එසේ සිතුණ ද රත්නපුරේ මැණික් කර්මාන්ත ලෝකයට නම් ඒවා අතිශයින් ම සාමාන්‍ය දේවල් ය! ඕනෑම මැණික් ගලක්, එහි දෝෂ-පළුදු ඉවත්කර, දීප්තිය සහ වර්ණය ඉස්මතු වන තෙක් කපා කොටා, ඔප මට්ටම්කර අනර්ඝ මැණික් කැටයක් බවට පත් කිරීම නූතන වෙළෙඳාමේ ස්වභාවයයි. මැණිකක රුව (වර්ණය සහ හැඩය ආදී) ඉස්මතු වන තරමට, එයට ලැබෙන මිල ද ඉහළ යන බව මැණික් කර්මාන්තකරුවෝ දනිති. කොතෙක් ‘වංශවත් මැණික් කැටයක්’ වුව ද ඒවායෙහි දීප්තියට බාධා කරන ‘කොරසම්’ හෙවත් පිටතින් බැඳුණු ඛනිජමය කොටස් තිබීමට ඉඩ තිබේ. ඇතැම් මැණික් ගලක, පළුදු (ගල ඇතුළත පිහිටන ඉතා සියුම් බිඳුම් රේඛා) හෝ ඉතා සියුම් වායු බුබුළු තිබෙන්නට පුළුවන. ඒ සියල්ලම මැණිකෙහි වටිනාකම දුබල කරවන සාධක වේ. ගෙදර කුස්සියේ දී අර්තාපල් අලයක නරක්වූ කොටස් ඉවත්කර දමන්නා සේ, මැණික් කර්මාන්තකරුවන් ද මැණිික් ගල්වල ඇති පළුදු සහ කොරසම් ආදිය ඉවත් කරති. ඔවුන් ඒවා කරන්නේ නවීන විද්‍යුත් යන්ත‍්‍ර මගින් ‘ගෑම’ හෝ ‘ඉරීම’ මගිනි. රත්නපුරේ මැණික් ජනවහරෙන් ‘ගෑම’ යයි කියන්නේ ගමේ ව්‍යවහාරයේ දී යම් දෙයක් ‘ගල ගෑම’ වැනි සංසිද්ධියකි. රුපියල් හැට ලක්ෂයක් පමණ වටිනා නිල් මැණික් කැටයෙන් කොටසක් ඉරා දැමුවේ ද, එහි තිබුණු පළුදු සහිත ස්ථරයක් ඉවත් කිරීම පිණිස ය.
රත්නපුර නගර සභා ගොඩනැගිල්ලට පෙනෙන මානයෙන් පටන් ගන්නා දෙමුවාත පාර, රත්නපුර නගරයේ ඇති ප‍්‍රධිනතම මැණික් කර්මාන්ත වීදියකි. මැණික් ගල් විකිණීමේ පටන්, ඒවා කපා කොටා, ඉරා, ඔප මට්ටම් කිරීම දක්වා කටයුතු එහි දී සිදු වෙයි. දෙමුවාත පාර අවසන් වන්නේ කළු ගඟ ඉවුරේ පිහිටි මුද්දුව කම්බි පාලමට පිවිසෙන ස්ථානයෙනි. බලංගොඩ පැත්තෙන් එන ‘වේ ගඟ’ කළු ගඟට එක් වන්නේ ද එතැනිනි. දෙමුවාත පාර මැණික් ලෝකයට වැදගත් වන්නේ එක්තරා කාරණයක් නිසා ය. එනම්, රත්නපුරයට උරුම වුණු සම්ප‍්‍රදායික පාරම්පරික මැණික් කර්මාන්ත ශිල්ප ක‍්‍රම ස්වල්පයක් තවමත් එහි ඉතිරිව තිබීමයි!
කවුරුත් දන්නා පරිදි රත්නපුරය යනු මැණික් උපන් පුරවරයයි. එය මුළු ලෝකයේ ම ප‍්‍රසිද්ධවූ කාරණයකි. රත්නපුරයේ මහ පොළොවෙන් මැණික් මතුවීම එක් කාරණයකි. ලංකාවේ කොතැනකින් මැණික් ගලක් හමු වුව ද, එය රත්නපුරයේ දී අලෙවි වන්නට වැඩි ඉඩක් තිබීම අනෙක් කාරණයයි. එසේ වුව ද වර්තමාන රත්නපුරය ඉස්සර තරම් යස ඉසුරින් පිරුණු පුරවරයක් නොවේ.
රත්නපුරයට දැන් මැණික් හිඟ ය. අලූත් මැණික් නිධි (ඉඩම්) සොයා නො ගැනීම, මැණික් පතල් කැපීම සඳහා පනවා ඇති නීති රීති දැඩිකර තිබීම, පතල් කපන්නට අධික වියදමක් දරන්නට සිදු වීම සහ මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රය වැඩි දියුණු කිරීම සඳහා දිගු කලක් මුළුල්ලේ ම නිසි රාජ්‍ය අනුග‍්‍රහයක් නො ලැබීම ආදී කාරණා රාශියක් හේතුවෙන් අපේ කාලයේ රත්නපුරයේ මැණික් දිස්නය වියැකී ගොසිනි. කොටින්ම අද රත්නපුරයේ මැණික් වෙළෙඳපොළ සහ කර්මාන්තය දුවන්නේ මැඩගස්කරය හෝ ටැන්සානියාව ආදී රටවලින් ගෙන එන රළු මැණික්වලිනි. ඇතැම් අය තම ඇනවුම් සපුරා ගැනීම පිණිස තාපිලන්තයේ බැංකොක් නුවරින් ද මැණික් ගෙන්වා ගන්නා බව ද රහසක් නොවේ!
අතීතයේ දී ග‍්‍රීක වෙළෙන්දෝ ද නිල් මැණික් සොයා රත්නපුරයට පැමිණියහ. කළු ගඟ නිම්නයේ ඉහළ කොටසට ‘සපරගමුව’ යයි නම්වර ලැබී ඇත්තේ ද, ඔවුන් නිල් මැණික් හැඳින්වූ ‘සැපිරෝස්’ යන වචනය මුල්කර ගෙන බව, රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නා හිමියෝ සිය පර්යේෂණ ග‍්‍රන්ථවල සඳහන්කර ඇත. නිල් මැණික්වලට ඉංග‍්‍රීසියෙන් කියන්නේ, ‘Blue sapphire’ (බ්ලූ සැෆයාර්) යනුවෙනි. එය ද ග‍්‍රීක වචනය තුළින් සැකසුණු එකකි. ‘මැණික් මැණික්’ යයි කීවාට ලංකාව ද, විශේෂයෙන් ම රත්නපුරය ද ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘නිල් මැණික්’ නිසා ය. දැන් රත්නපුරයට නිල් මැණික් පවා හිඟ ය!
මැණික් හිඟ වීම නිසා
ඒවායෙහි වෙළෙඳාම්වලට ද
මැණික් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්තයට මෙන්ම ස්වර්ණාභරණ නිපදවීමේ කර්මාන්තයට ද
වැදී ඇත්තේ මරු පහරකි. බැරි
අමාරුවෙන් හෝ වෙළෙඳපොළට
ගෙන එන මැණික් ටික සාධාරණ මිලකට විකුණා ගැනීම ද අසීරු ය.
ලොකුම ප‍්‍රශ්නය ඇත්තේ, කපා ඔප
දමා සකස් කළ මැණික් විදේශ වෙළෙඳපොළට
යැවීම ය! අඩු
තරමින් ලංකාවට එන විදෙස් සංචාරකයන් රත්නපුරයට ද ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් ද නැත.
දුරාවාරයේ හෝ රත්නපුරයට එන්නේ විදෙස් සංචාරකයන් ටික
දෙනෙක් පමණි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ
අධිකාරිය යනු ලංකාවේ මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ උන්නතිය සහ නියාමනය සඳහා වර්ෂ
1971 දී ඇති
කළ (එකල
රාජ්‍ය මැණික් සංස්ථාව) රාජ්‍ය
ආයතනයයි. රත්නපුරයේ
ජනතාව අද ඔවුන් කෙරෙහි දක්වන්නේ අතිශයින්ම උත්ප‍්‍රාසවත් ආකල්පයකි.
‘ඒ ගොල්ලෝ ඉන්නේ පතල් ලයිසන් දීලා සල්ලි ගන්නය,ි හොරෙන් පතල් කපන ඒවා අල්ලලා දඩ ගහන්නයි විතරයි’ යයි ඔවුහු කියති!
මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් මහජනයාගේ
කලකිරීම, පසුගිය
පළාත් පාලන මැතිවරණයෙන් ද පිළිිබිඹු විය. යහපාලන
ආණ්ඩුව රත්නපුරයෙන් පරාජයට පත් විය.
වරක් ලියුම්කරුට රත්නපුරයේ දී හමුවූ එක්තරා මැණික් ව්‍යාපාරිකයෙක් ‘මෙහේ මැණික් නැතැයි කියන්නේ කවුද?’ කියා සැරෙන් විමසී ය. ඉක්බිති සිය මෝටර් රථයෙන් දෙහි ගෙඩියක් තරම් විශාල ‘වෛරෝඩි’ (Cat’s eye) වර්ගයේ කපා ඔප දැමූ මැණික් ගලක් අපට පෙන්වූයේ ය! එය බොහොම අලංකාරයට ‘නූල වැඩ කරන’ මැණික් ගලකි. බැලූ බැල්මට ම එය රුපියල් කෝටි ගණනක් වටිනා වෛරෝඩියක් බව පෙනේ. ව්‍යාපාරිකයා මැණික අපට පෙන්වූයේ සමච්චල් සිනාවක් ද මුවග දවටා ගනිමිනි!
‘ළඟකදි ද ගත්තේ ?’ ඇසුවේ ය.
‘නෑ මේක මැණිකක් නෙවෙයි, ‘සින්තටික්’ ගලක්. ඒ කියන්නේ ව්‍යාජ මැණිකක්. දැන් ඉතින් අපි කාටහරි මැණික් පෙන්වන්න ඕන වුණාම මේ වගේ කෘතිම වීදුරු ගල් බලන්න දෙනවා. හැබැයි විකුණන්නේ නෑ’ ඔහු උත්තර බැන්දේ ය!
(මතු
සම්බන්ධයි)
(මෙම ලිපිය 2018/02/25 රිවිර පුවත්පතේ පළ විය.)
(මෙම ලිපිය 2018/02/25 රිවිර පුවත්පතේ පළ විය.)
2018/02/20.
No comments:
Post a Comment