කුණු ට‍්‍රැක්ටරේ-මාළු ලෑල්ලේ
කුලී වැඩට ගිය
රත්නපුරේ මැණික් වෙළෙන්දෝ
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
(ඡායාරූප-රංජිත්
ඉලේපෙරුම සහ මුෂාන් හාරීම්-රත්නපුර)
‘බුදු
හාමුදුරුවෝත් කියලා තියෙනවා නේ තණ්හාව වේදනාවට මුලයි කියලා. රත්නපුරේට අද වෙලා
තියෙන්නෙත් ඒකයි. අර ජන කතාවේ හැටියට, කෙනෙක්
කිකිළිගේ බඩ පළලා රත්තරන් බිත්තර ටික එක සැරේ ගන්න ගියාලූ නේ. මේකත් එරියට
ඒ වගේ තමයි. තණ්හාධිපති මිනිස්සු මහ පොළොව පළලා මැණික් ටික එක සැරේ ගන්ඩ උත්සාහ
කළා නේ. දැන් ඉතින් හැම දෙයක් ම විනාශ වෙලා. දැන් මැණිකුත් නෑ. මැණික් ඉල්ලම්
තියෙන ඉඩමුත් නෑ. පතල් කපන්ඩ තැනකුත් නෑ. ඉතින් මැණික් ලැබෙන්නෙත් නෑ. මැණික් නැති
හින්දා සල්ලිත් නෑ. වැඬේ කියන්නේ බලයට ආපු හැම ආණ්ඩුවකින් ම කළේ මහ පොළොව පළලා මැණික්
ටික එක සැරේ ගන්ඩ ගිය කට්ටියට සපෝට් කරපු එකයි. දැන් ඉතින් හැම දෙනෙක්ම ‘හෝල් සේල්’ විඳවනවා’
රත්නපුරය හෙවත් මැණික් මතුවන අඩවිය වර්තමානයේ මුහුණ දෙන ගැටලූ
ගැන රත්නපුරයේ බණ්ඩාරනායක මාවතේ දී හමුවූ තරුණ මැණික්කාරයෙක් අපට කිව්වේ එහෙම ය!
අවි ආයුධ ගෙන සටන් නො කළාට දැන් රත්නපුරයේ
ඇත්තේ අති විශාල ආර්ථික පීඩනයකි. පතල් කපන්නට තැන් නැත. ගංගා ඇළ දොළවල මැණික්
ගරන්නට තහනම් ය. පතල් කැපීමේ වියදම් ද අධික ය. ඉතින් මැණික් ලැබීම ද අඩු ය. එයින්
අතේ මිටේ සල්ලිත් හිඟ ය. තරුණ මැණික් වෙළෙන්දන් දැන් ක්ෂේත‍්‍රය හැර යමින් සිටිති!
රත්නපුරයේ මැණික් වෙළෙන්දන්ට මෙන්ම, ගම් මට්ටමේ
පතල්කරුවන්ට ද සරුසාර කාලයක් එළඹ තිබුණේ 1980 සහ 1990 යන දශකවල ය.
තායිලන්ත ජාතික මැණික් වෙළෙන්දන් (තායි බයර්ලා) පැමිණීම නිසා, රත්නපුරයේ
බටුගෙදර ප‍්‍රදේශය මහා ‘මැණික් පොළක්’ බවට පත් වීම
ඊට හේතුව විය. එකල එය ‘බයර් රවුම’ නමින් ප‍්‍රසිද්ධව
තිබිණි. බයර් රවුමේ දී ගෙවුඩ, ඔට්ටු, දුම් ගල් සහ කොලටි යනුවෙන් හ`දුන්වන මැණික්
වර්ග සඳහා ඉහළ මිලක්
ලැබිණි. නිල්, රතු, ආර්නූල්, වෛරෝඩි සහ
පසිංගල් ආදී වංශක්කාර මැණික් වර්ගවලට ද ඉහළ මිලක් ලැබිණි. පතල් කැපීම් ද වැඩිපුර
කෙරුණු බැවින් බයර් රවුම පැවති කාලයේ අද තරම් මැණික් හිඟයක් ද නො තිබිණි.
‘ඒ කාලේ ඉතින්
ගමෙන් මිල දී ගත්තු ගල් ටික (මැණික් , බයර් රවුමෙදි විකුණා ගන්නවා. සමහරු උදේට
රත්නපුරෙන් ගන්නා ගල් (‘ජාති ගල්’ යයි ද හඳුන්වන
වංශක්කාර මැණික් වර්ග), කාර් එළවාගෙන
එවේලේ ම කොළඹ අරන් යනවා. කොළඹ තරු හෝටල්වල දී පිටරට බයර්ලාට හරි, ලොකු
වෙළෙන්දන්ට හරි විකුණනවා. සමහරු හිල්ටන්, හොලිඬේ ඉන් සහ වැල්ලවත්තේ සෆායර් වගේ ලොකු
තැනකින් දවල්ට කාලා හවසට ආපහු රත්නපුරේ එනවා. ඒ කාලේ සමහර අය කිව්වේ, රත්නපුරේ
මැණික්කාරයෝ දවල්ට කන්නත් කොළඹ යනවා කියලයි’, අතීත මැණික් සමෘද්ධිය
ගැන ඇතැමෙක් සිහිපත් ආවර්ජනා කරන්නේ මහත් විස්සෝපයෙනි.
‘ඒකට ඉතින් අද!
දවසෙම ටවුමේ හිටියත් එක රුපියල් දෙදාහක් හොයන්න බෑ’ යයි අනෙක් අතට
මැසිවිලි නගති.
ගෙවී ගිය දශකයක පමණ කාලය තුළ රත්නපුරේ
මැණික් කර්මාන්තයෙහි දක්නට ලැබුණේ මහත් ‘හදිසියකි’. නීති විරෝධී ‘සකර් යන්ත‍්‍ර’ දමා, ගංගා ඇළ දොළ
ආදියෙහි පත්ල සාහසික ලෙස සූරා මැණික් ගැරීමත්, ‘බැකෝ යන්ත‍්‍ර’ දමා මැණික්
ඉඩම්වල උදර-අතුණුබහන් පලා ‘සීසර් සැත්කම්’ මගින් මැණික්
ගල් එළියට ගැනීමත් හදිසිකාරයන්ගේ පොදු ලක්ෂණය විය. රටේ පාලකකාරකාදීන් ඒ
සම්බන්ධයෙන් ඇස් කන් පියා ගෙන උන්හ. මැති ඇමතිවරුන් නිර්ලෝභීව ‘අත යට’ අනුග්රහ
දැක්වූහ. අවසන, මැණික් ඉල්ලම්
සහිත ගොඩ ඉඩම් වනසනු ලැබිණි. ගංගා ඇළ දොළ වැහැරී, අප‍්‍රියජනක දර්ශන
සහිත මඩ දිය පදාස බවට පත් විය. සිරිපා හිමයෙන් ගලන කළු ගංගාවේ සුනිල දිය
දහර පවා, මඩ දියෙහි සඟවා
අතුරුදන් කෙරිණි. ඉක්බිති හදිසිකාරයන්ගේ මැණික් ගැරුම් කෙරුවාව, පොලිස් හස්තය
යොදවා උපරිමයෙන් පාලනය කරන්නට රට කරවන්නන්ට සිදු විය!
කෙසේ වෙතත් සමහර දේශපාලනඥයන්ගේ ‘අත යට’ සහාය ලැබුණු ‘හදිසි මැණික්
ගරන්නන්’ සුළු පිරිසකට
නම් ඉන් කිසිදු බාධාවක් නොවී ය. එසේ ම, ‘මොණර කොලවල’ දිස්නයට වහ
වැටුණු ආණ්ඩුවේ ඇතැම් නිලධාරීන්ගේ ‘මැණික් හිතවතුන්ට’ ද තමන් හිතූ හිතූ ලෙස මැණික් ගැරීමේ නිදහස හිමි
විය. ඔවුහු රිසි සේ වැඩ ටික ඇදගෙන ගියහ. කළු ගඟ ඉහළ නිම්නය වර්තමානයේ අත් විඳිමින්
සිටින්නේ ‘හදිසි
මැණික්කාරයන්’ දායාදකර දුන්
නස්පැත්තියයි!
‘රත්නපුර ටවුමේ
හොඳට මැණික් බිස්නස්කර ගෙන හිටපු වෙළෙන්දෙක් දැන් නගර සභාවේ කුණු ට‍්‍රැක්ටරේ
කුලියට වැඩ කරනවා. තවත් මැණික් වෙළෙන්දෙක්, මාළු ලෑල්ලක කුලියට මාළු කපනවා. ‘සිකුරිටි’ ජොබ්වලටයි
කොළඹ බිල්ඩින්වල සිමෙන්ති අනන්නයි ගිය පිරිසත් විශාලයි’ තවත් මැණික්
මිත‍්‍රයෙක් අප හා කීවේ ය.
‘ඒ කතාව ඇත්ත ද?’ කියා අපි
රත්නපුර ඔර්ලෝසු කණුව අසල මැණික් ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් විජේවීර මහතා ගෙන්
ඇසුවෙමු.
‘අපොයි ඒ වගේ
සිද්ධි කොච්චර නම් තියෙනව ද. දැන් මැණික් පතල් කපන්නත් අමාරුයි. රබර් මිලත් බැහැලා. මිනිසුන්ට ආර්ථිකේ අමාරුයි’ කියා ඔහු අපට
උත්තර දුන්නේ ය.
රත්නපුරයේ මැණික් කර්මාන්ත ක‍්‍රියාවලිය මේ
තරම් අර්බුදයට පත් වූයේ, තණ්හාධිපති
සුළු පිරිසක් විසින් අතිශයින්ම සාහසික ලෙස මැණික් කර්මාන්තය නවීකරණය කරන්නට යාම
නිසා ය යන්න, රත්නපුරයේ
ඇතැමෙකුගේ අදහසයි. එබඳු අය,
පොළෝ කුස තුළ තිබෙන සියලූම මැණික් සම්පත් තමන්ගේ මඩියට
රැස්කර ගැනීමේ අරමුණෙන්, යන්ත‍්‍ර සූත‍්‍ර
දමා වේගයෙන් මහ පොළාව හෑරූහ. මැණික් ගරන්නට පවා යාන්ත‍්‍රික ක‍්‍රම භාවිත කළහ.
ගංගා, ඇළ, දොළ පත්ල
කිමිදුම් උපකරණ සහ ‘සකර් යන්ත‍්‍ර’ දමා සූරා
ගත්හ. ටික කලක් යන විට, එතෙක් පැවති
සම්ප‍්‍රදායික මැණික් පතල් කැපීමේ ක‍්‍රමය අතුරුදන් විය!
කළු ගඟ ඉහළ නිම්නයේ මිනිසුන් අනාදිමත්
කාලයක් මුළුල්ලේ මැණික් ගැරුවේ සම්ප‍්‍රදායික ක‍්‍රම-ශිල්ප භාවිත කරමිනි. පතල්
කැපීම කෙරුනේ මිනිස් ශ‍්‍රමයෙනි. ගංගා, ඇළ, දොළවල මැණික් ගැරීම් කෙරුණේ සම්ප‍්‍රදායික ‘ඇදුම් උදැල්ල’ මගින් ඇදීමේ ක‍්‍රමයට
ය. ඔවුන් බලංගොඩ, වලවේ ගඟ ප‍්‍රදේශයේ
දී සම්ප‍්‍රදායික ‘ජපන් ගැහිමේ ක‍්‍රමය’ යොදා ගත්හ.
ගොඩබිම් පතල්වලින් එළියට ගන්නා මැණික් ඉල්ලම් සේදීමට සම්ප‍්‍රදායික ‘ගැරුම් වට්ටිය’ (බට පොතු
වට්ටිය) භාවිත විය. ගරා ගත් මැණික් කැට කපා ඔප දමා ගැනීම සඳහා, අතින් ක‍්‍රියා
කරන සම්ප‍්‍රදායික ‘හණපෝරු පට්ටලය’ යොදා ගැනුණි.
පසුකාලීනව පතල්වල ජලය ඉවත් කිරීම සඳහා, නවීන යාන්ත‍්‍රික, ඉන්ධනමය වතුර
මෝටරය ද, ‘දෝනා පතල්වලට’
පිරිසිදු වාතය සැපයීම සඳහා යාන්ද්‍රික ‘හුළං මැෂින්’ ද භාවිත
කෙරිණි.
පැරණි මැණික් පතල් කර්මාන්තකරුවන් බොහොම
දෙනෙක්, කැපූ පතල් වසා
දමන්නට පුරුදුව සිටියහ. ‘ඇදුම් පතල්’ දැමීමේ දී
ගංගා ඉවුරුවලට හානි නො කළහ. පොළොවේ හාරන පතල් වලවල් ශක්තිමත් කිරීම පිණිස, රබර් ලී කඳන්
යොදා ‘තට්ටු’ ගැසූහ. වලේ
බිත්ති, ‘කැකිල්ල’ නමැති ශාක සහ
පුවක් ලී පටිවලින් ආස්තරණය කරන ලදී. පැරැන්නන් මැණික් පතල් කැපුවේ, මැණික් මතුවන
අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ට බාර-හාරවී, බෞද්ධාගමික පුද පූජා ද පවත්වමිනි. රත්නපුරයේ
මැණික් කර්මාන්ත ලෝකයේ පැරණි තාක්ෂණය හැමවිට ම පාරිසරික හානි අවම බොහොම විශිෂ්ඨ
එකක් වූයේ ය.
කල් යාමේ දී, තණ්හාධික පුද්ගලයන්
විසින් නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන, එතෙක් පැවතුණු සම්ප‍්‍රදායික මැණික් පතල්
කැනීමේ මාදිලිය රත්නපුරයෙන් පලවා හරින ලදී! කළු ගඟ ඉහළ නිම්නය
වර්තමානයේ මුහුණ දෙන දැවැන්ත ආරවුල පිළිසිඳෙන්නේ එයිනි. එය එක් අතකට, ශත වර්ෂ
ගණනාවක් ගණනාවක් මුළුල්ලේ පැවතුණු පතල් කැපීමේ ‘සම්ප‍්‍රදායික මාදිලිය’ මැණික්
භූමියෙන් පලවා හැරීමේ විපාකයක් යයි ද කිව හැකි ය!
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය 2018/03/11 රිවිර පුවත්පතේ පළ
විය.)
0000000000000000000000000000000000
A very good post
ReplyDeleteඅගේ ඇති ලිපියක්. වැඩි තන්හාවට ගිහිල්ල අන්තිමේ පරිසරයත් විනාශ කරල ඔක්කොම නැති කරගත්ත එක තමයි උනේ.
ReplyDelete