මැණික් මතුවන අඩවියේ අපූරු විත්ති-04
පොළොන්නරුවෙන් රත්නපුරයට එන
මුක්කරු මැණික්
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-රංජිත් ඉලේපෙරුම සහ ඩිල්ෂාන් හාරීම්-රත්නපුර)
රත්නපුර ඔර්ලෝසු කණුව අසල මැණික් පොළෙහි සැරිසරන අතරතුර කිසියම් පුද්ගලයෙක් ලියුම්කරු වෙත ‘මැණික් ලොට් එකක්’ (කුඩා මැණික් ගල් සමූහයක්) ඉදිරිපත් කළේ ය. ඔහු ලියුම්කරුට හඳුන්වා දුන්නේ මැණික් හිතවතෙකු විසිනි.
‘මේවා තමයි මුක්කරු මැණික්’
ආගන්තුකයා පැවසුවේ කඩදාසි කොලයක ඇතිරූ වර්ණවත් මැණික් ගල් සමූහයක් ලියුම්කරු වෙත පාමිනි. ඒවා මැනවින් කපා ඔප දමා තිබුණේ ය.
මැණික් මතුවන අඩවියේ ජන ව්යවහාරයේ දී, ‘මුක්කරු’ යනු දුර අතීතයේ දී මැණික් වෙළෙඳාම් පිණිස මෙහි පැමිණි ඉසුරුමත් අරාබියානු මැණික් වෙළෙන්දන් ය. එසේත් නැතිනම් ඉන්දියාවේ පැලපදියම්ව සිටිමින් ලංකාවට මැණික් වෙළෙඳාමේ පැමිණි අරාබියානුවන් ය. මුක්කරුවරුන් ලංකාවේ දී කළ මූලික ම කටයුත්ත මැණික් මිල දී ගැනීමයි. ඒ අතර ඔවුහු යම් යම් ස්ථානවල මැණික් ගැරීමෙහි ද නිරතව සිට ඇත. ඔවුන් රත්නපුරය ද ඇතුළුව මැණික් මතුවන ප‍්‍රදේශවල, නො ගැඹුරු මැණික් ඉල්ලම් ගරා මැණික් සෙවූ බවට සාධක තිබේ.
මුක්කරුවරුන්ගේ සම්ප‍්‍රාප්තිය වසර 600ක්, 700ක් හෝ වසර 1000ක් පමණ පැරණි බව පෙනේ. ලංකාව බරපතල ලෙස නාවික යාත‍්‍රා ගමනාගමන සංස්කෘතියකට එළඹුණු වකවානුවේ ඔවුන් මෙහි පැමිණෙන්නට ඇතැයි සිතිය හැකි ය. ක‍්‍රිස්තු වර්ෂ 1344 දී පමණ, ‘ඉබන් බතුතා’ නමැනි අරාබි ජාතික දේශ ගවේෂකයා ලංකාවට පැමිණ ඇත්තේ ද අරාබියානු මැණික් වෙළෙන්දන්ගේ නැවකිනි. ඒ බව ඉබන් බතුතාගේ සංචාර ගැන කතා පුවත්වල ද සඳහන් වේ.
විදේශීය ජන වර්ගයකින් පැවත එන ‘මුක්කුවාර්’ නමින් හැඳින්වෙන පිරිසක් පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් මුහුදුබඩ කලාපයේ දැනුදු ජීවත් වෙති. මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා 2007 වසරේ පළ කළ ‘අපි නොදන්න ලාංකිකයෝ’ නම් අපූරු ග‍්‍රන්ථයේ ද ඔවුන් ගැන සඳහන්ව තිබේ. නුවන් ගන්කන්ද මහතා පවසන අන්දමට, ඔවුන් ඉන්දියාවෙන් සංක‍්‍රමණය වූ ජන පිරිසකින් පැවත එන්නන් ය. රත්නපුරය ද ඇතුළුව ලංකාවේ මැණික් මතුවන ප‍්‍රදේශවලින් අසන්නට ලැබෙන මුක්කරුවන් සහ පුත්තලම දිස්ත‍්‍රික්කයේ සිටින ‘මුක්කුවාර්’ ජනයා එකම පිරිසක් ද?, නැද්ද? යන කාරණය පැහැදිලි කෙරී නැත.
‘මුක්කරු හටන’ නම් පැරණි පුස්කොල කවි පොත ‘මුක්කරුවරුන්’ ගැන කියැවෙන එකම ඓතිහාසික සාක්ෂියයි. එය දැනට බි‍්‍රතාන්‍යයේ කෞතුකාගාරයක තැන්පත්ව ඇති බව කියැවේ. එහි සඳහන් වන අන්දමට, මුක්කරුන් ලංකාවට පැමිණ ඇත්තේ ‘පුණ්ණල දේශයෙනි’. හිටපු පුරාවිද්යා නිලධාරී, ප‍්‍රවීණ ලේඛක ජයන්ත විජේරත්න හේරත් මහතා කියන්නේ ‘පුණ්ණල දේශය’ යනු දකුණු ඉන්දියාවේ යම් ප‍්‍රදේශයක් වියහැකි බවයි.
මුක්කරුවන් මැණික් ගරා ඇත්තේ අද මෙන් සම්ප‍්‍රදායික මැණික් ගැරුම් වට්ටියෙන් නොවේ. ප‍්‍රමාණයෙන් මදක් විශාල මැටි ‘නෑඹිලි’ හෝ මැටි ‘කොරොස්වලිනි’. රත්නපුරයේ නො ගැඹුරු මැණික් ඉල්ලම් පිහිටි ප‍්‍රදේශවල මැණික් ගරන අයට, ඇතැම් විට ඉල්ලම් ද සමග මැටි බඳුන් කැබලි හමුවෙයි. මැණික් පතල්කරුවන් ඒවා හඳුනා ගන්නේ ‘මුක්කරු වළං කැබලි’, ‘මුක්කරු නෑඹිලි කැබලි’ හෝ ‘මුක්කරු කොරොස් කැබලි’ යනුවෙනි. එබඳු මැටි බඳුන් කැබලි හමුවන ස්ථානවලට, ‘මුක්කරු ගොඩැලි’ හෝ ‘මුක්කරු ගරාපු තැන්’ යයි ව්‍යවහාර කෙරේ. ඇතැම් තැනක් ‘මුක්කරු පතල් පොළක්’ වශයෙන් ප‍්‍රකටව තිබේ.
නො ගැඹුරු ඉල්ලම් සහිත භූමිවල මැණික් ගැරීමේ දී ‘මුක්කරු වළං කැබලි’ හමු වෙනවා නම්, එය සැලකෙන්නේ බොහොම වාසනාවන්ත දෙයක් වශයෙනි. එබඳු තැන්වලින් ඉතා වටිනා මැණික් හමුවීම ඊට හේතුවයි. මැණික් මතුවන අඩවියෙන් හමුවන වෛරෝඩි සහ ආර්නූල් යන මැණික් වර්ග, රත්නපුරේ ව්යවහාරයේ දී හැඳින්වෙන්නේ ‘නූල් ගල්’ යන නාමයෙනි. මැණික් ගලේ වර්ණ දීප්තියෙහි, ‘රේඛාවක්’ හෝ ‘නූලක්’ වැනි දෙයක් දර්ශනය වීම ඊට හේතුවයි. අඳුරු තැනක දී එල්ල කළ ටෝච් එළියකට, වෛරෝඩියක නූල දිස්වන්නේ ‘බළල් ඇසක්’ පරිද්දෙනි. වෛරෝඩි ඉංග‍්‍රීසියෙන් ‘හඳුන්වන්නේ ද ‘ක්‍්එි ැහැ’ කියා ය!
නූල් ගල්වලට අනන්යවූ මෙම ලක්ෂණය මුක්කරුවරුන්ගේ අවධානයට ලක්ව ඇත්තේ වෙනස් ආකාරයකට ය. ඔවුන් කල්පනාකර ඇත්තේ ඒ මැණික්වල ‘පණුවන්’ සිටින බවයි. එබැවින් තමන්ට හමුවන ‘නූල් ගල්’ ඉවතට විසි කිරිම ඔවුන්ගේ සිරිත විය!
‘මුක්කරු ගොඩැල්ලක් අහුවුණොත් ඉතින් ආර්නුල්, වෛරෝඩි මැණික් ෂුවර්’ යනුවෙන් ජන ව්යවහාරයක් රත්නපුරයට බිහි වූයේ ද මුක්කරුවරුන්ගේ ‘පණු සිතිවිල්ල’ නිසා ය.
රත්නපුරේ ජන වහරේ එන කතා පුවත් අනුව, මුක්කරුවරුන් මැණික් ගරා ඇත්තේ කතරගම දෙවියන්ට බාරහාර වීමෙනි. මැණික් ගැරීම් සාර්ථක වුවහොත්, මැණික් පිරවූ නැවක් පුදා බාරය ඔප්පු කරන බවට ප‍්‍රතිඥා දීමෙනි. එයින්, ඔවුන්ට ඉතා ඉහළින්ම මැණික් වාසනාව හිමි විය.
එහෙත් ලැබුණු මැණික් ගැන ලෝභ සිතූ මුක්කරුවරු, කතරගම දෙවියන්ට පුදා ඇත්තේ නො වටිනා මැණික් සහ ‘කට්ට කැබලි’ (පාරාන්ධ මැණික්) පිරවු නැවකි. ඉක්බිති, ඉතිරි මැණික් තොගය නැව් හතක පටවා ගත් ඔවුහු ආපසු යන්නට පිටත් වූහ. මුහුදේ දී සැඩ කුණාටුවකට හසුවූ ඔවුන් මුහුදුබත්වූ බව ජන ප‍්‍රවාදයෙහි කියැවේ!
මුක්කරුවරුන් කළු ගඟ නිම්නයේ පමණක් නොව, මහවැලි ගඟ පහළ නිම්නයේ ද මැණික් ගරා ඇත. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත්, අරලගංවිල සහ සෝමාවතිය ආදී ප‍්‍රදේශවල මුක්කරු ගැරුම් පොළවල් රාශියක් ඇති බව, ජන වහරේ එන ප‍්‍රකට කාරණයකි. මුක්කරුවරුන් මෙහි පැමිණ ඇත්තේ කණ්ඩායම් වශයෙනි. ඔවුන්ගේ චාරිත‍්‍ර ද වෙනස් ය. කණ්ඩායමේ යම් කෙනෙකු හදිසියේ මියගිය හොත්, අනෙක් පිරිස එකතුවී ඔහුගේ මළ සිරුර වළලා දැමීම මුක්කරුවරුන්ගේ සිරිතයි. ඊට පෙර, මියගිය තැනැත්තා එතෙක් ගරා ගෙන තිබුණු සියලූම මැණික් ගල් ද මළ සිරුර සමග තැන්පත් කිරීම ද සිරිතක්ව පැවති බව ප‍්‍රකට ය.
පසුගිය කාලයේ හොර රහසේ ම මහවැලි ගඟ පහළ නිම්නයේ ‘මුක්කරු සොහොන්’ සොයා ගිය වැඩි දෙනෙකුට, මැණික් වාසනාව උදාවූ බව රත්නපුරයට සැලවිණි. මැණික් ජන වහරේ කියැවෙන අන්දමට, මුක්කරු සොහොනක් හාරා ගත හොත් නිසැකව ම මැණික් වාසනාව ලැබෙන්නේ ය! එබඳු තැන්වලින් හමුවන මුක්කරු මැණික් පවා රත්නපුරයේ වීදි මැණික් වෙළෙඳපොළට ද පැමිණි අවස්ථා ගැන දන්නෝ දනිති!
කලකට ඉහත රත්නපුරයේ ගිය අවස්ථාවක, ලියුම්කරුගේ හිත මිතුරු පවුලක පුතණුවෙක්, කදිම තොරතුරක් පාවසුවේ ය. රත්නපුරයේ හංගමු ගෙඟ් ඇදුම් පතල් කළ පිරිසකට ‘මුක්කරු වළං’ (නෑඹිලි) දෙකක් හමුවී ඇතැයි යන්න, එම තොරතුරයි. පසුව, අනන්යතාවය හෙළිිදරව් නො කරන පොරොන්දුව පිට ඒවා සියැසින් දැක ගැනීමට ලියුම්කරුට හැකි විය. ඒවා සාමාන්යයෙන් අප භාවිත කරන මැටි නෑඹිලිවලට වඩා වඩා මදක් විශාල ය. නිමාව අනර්ඝ ය! ඒවා දේශීය නිපැයුමක් ද? විදේශීය නිපැයුමක් ද? යන්න පැහැදිලි නැත.
රත්නපුරයේ මැණික් පතල්වලින්, මැණික් කර්මාන්තයේ මෙන් ම රත්නපුරයේ ඉතිහාසය කියාපාන මැණික් නො වන බොහෝ වස්තූන් ද හමුවන බව රහසක් නොවේ. මැණික් පතල්කරුවන් ඒවා හෙළිදරව් කරන්නට දක්වන්නේ බියකි. සොර සතුරු බිය මෙන් ම, තමන් ‘පොලීසියට අල්ලා ගෙන යාවි’ යන සැකයෙන් ද ඔවුන් පෙළෙයි. රත්නපුර, සපරගමු මහ සමන් දේවාලය පිහිටි භූමිය, ලංකාවේ ‘පෘතුගීසි පාලන සමයේ’ බොහෝ සටන් සිදුවුණු ස්ථානයකි. දේවාලය පිටුපස, කළු ගෙඟහි රහසින් කෙරෙන ඇදුම් පතල්වලින් ඉඳහිට පැරණි කඩුවල කොටස් පවා හමුවන බව කියති. ඒවා යළි ගඟට ම විසි කිරීම පතල්කරුවන්ගේ සිරිතයි. මේවා ගැන රැස්කර, සංරක්ෂණය කිරීමේ විධිමත් ක‍්‍රම පිළිවෙතක් ද රත්නපුරයේ නැත!
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය 2018/03/18 ඉරිදා රිවිර පුවත්පතේ පළ විය.)
No comments:
Post a Comment