බිල් නැත!
රිසිට් නැත! කඩදාසි
ගිවිසුම් නැත!
රත්නපුර පදික වේදිකාවේ කෝටිපතියෝ
අඹගහයට |
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
(ඡායාරූප-රංජිත්
ඉලේපෙරුම-රත්නපුර)
මැණික් හිඟය නිසා
බැරි අමාරුවෙන් හෝ ‘මැණික් ආර්ථිකය’ මත දුවන
රත්නපුරයේ මැණික් වෙළෙඳාම් දිග හැරෙන්නේ කිසියම් රටාවකට අනුව ය.
එය ජීවමාන කරන්නේ ‘වීදි මැණික් වෙළෙන්දන්’ ය.
වීදි මැණික් වෙළෙන්දන් යයි කීවාට ඔවුන් හුදු ‘පේමන්ට්කාරයන්’ නම්
නොවෙති. ඔවුන්
ගෙන් බහුතරය පොදුවේ විවිධ තරාතිරම්වල මැණික් වෙළෙන්දන් ය.
ඒ අතර රුපියල් කෝටි ගණන්වල මැණිික් ගනුදෙණු පවත්වන මහා
පරිමාණ වෙළෙන්දන් ද සිටිති.
රත්නපුරයේ මැණික් වෙළෙඳ වීදි
වූ කලී, පතල්
කම්කරුවන්,
පතල් හිමිකරුවන්, මැණික් එකතු කරන්නන් සහ
වෙළෙන්දන් එකට හමුවන විවෘත මැණික් පොළකි. එය
හරියට හාල්,
පොල්, එළවළු ආදිය අලෙවි කෙරෙන ගමේ
සති පොළකට ටිකක් සමාන ය. රත්නපුරේ
වීදි මැණික් පොළේ අලෙවි භාණ්ඩය ‘මැණික්‘ ය.
අනෙක, එය පැවැත්වෙන්නේ දිනපතා ම උදේ
වරුවේ ය. එය
විශේෂත්වයකි. සෑම
උදෑසනකම පාහේ එහි පැමිණ ගනුදෙණු කිරීම, රත්නපුරයේ සහ අවට ප‍්‍රත්‍යන්ත
නගරවල මැණික් වෙළෙඳ කලාවේ
සම්ප‍්‍රදායකි. වීදියේ
සිටිමින් ගනුදෙණු කළ ද, බේරුවල, බණ්ඩාරගම
හෝ මහනුවර ප‍්‍රදේශයේ කෝටිපති මැණික් වෙළෙන්දන් ද රත්නපුරයේ දී දැකිය හැකි ය.
රත්නපුර නගරය පමණක් නොවේ.
නිවිතිගල, කහවත්ත, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇඹිලිපිටිය, කලවාන, කිරිඇල්ලේ
හැරනියාවක සහ ඇහැලියගොඩ ආදී රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රත්‍යන්ත නගරවල පවා වීදි මැණික් වෙළෙඳ පොළවල්
දෛනිකව පැවැත්වේ. කළුතර
දිස්ත‍්‍රික්කයේ, බේරුවල නගරයේ ද දිනපතාම වීදි වැණික් පොළක්
පැවැත්වේ. රුපියල්
තුන් හාරදාහේ පටන්, රුපියල් කෝටි ගණන් දක්වා විවිධාකාර මැණික්
ගනුදෙණු ඒවායෙහි සිදු වෙයි. මේ වෙළෙඳාම, එහැමපිටින්ම
විශ්වාසය මත පදනම් වූවකි. එහි
බිල්පත් හෝ රිසිට්පත් නැත්තේ ය. කඩදාසිවල
ලියැවුණු වෙළෙඳ
ගිවිසුම් ද නැත්තේ ය. එහෙත්
මැණික් ගනුදෙණු ටක්කෙට ම සිදු වෙයි. මැණිික්
හිඟ වුව ද, රත්නපුරයට
තවමත් ‘පණ
තිබෙන බව’ පෙනී
යන්නේ, නගරයට
රැස්වන වීදි මැණික් වෙළෙන්දන්ගේ උදෑසන ‘ගුමුගුමුව’ හේතුවෙනි!
රත්නපුර නගරයේ වීදි මැණික් වෙළෙන්දන් රැස්වන
ප‍්‍රධාන ස්ථාන තුනක් තිබේ. ඔර්ලෝසු
කණුව අසල, අඹගහයට
හන්දිය සහ දෙමුවාත පාර යනු එම වීදි මැණික් වෙළෙඳ පොළවල්
ය. කලකට
ඉහත නම් රත්නපුර පල්ලිය පාරේ ද වීදි මැණික් වෙළෙන්දන් රැඳුණහ.
දැන් එහි වීදි මැණික් වෙළෙන්දන් නො ගැවසෙන තරම් ය.
රත්නපුර ඔර්ලෝසු කණුව අසල වීදි මැණික් වෙළෙඳාම්
ආරම්භ වන්නේ සෑම දිනයක ම උදෑසන 7.30ට පමණ ය.
ඒ, රත්නපුරයේ ඔර්ලෝසු කණුව
අසලිනි. ඉන් පසුව පෙරවරු 9.00 පමණ වන
විට එහි සිටි බොහොමයක් මැණික් වෙළෙන්දන් මීටර් සියයක් පමණ දුරින් පිහිටි ‘අඹගහයට
හන්දියට’ සංක්‍රමණය
වෙති.
අඹගහයට හන්දිය ද රත්නපුරයේ විශාල වීදි
මැණික් පොළකි. ඉතා
කුඩා ඉඩ පරිශ‍්‍රයක ටකරන් තහඩුවලින් සෑදූ පෙට්ටි
කඩ බඳු වෙළෙඳසැල්වල
ද විවෘත එළිමහනේ ද, පදික වේදිකා, කාණු
ගැටි, කඩපිල්වල
අගු ආදී ස්ථානවල ද වෙළෙඳාම් සිදු
වෙයි.
අඹගහයට හන්දායට ඒ නම ලැබී ඇත්තේ අතීතයේ
එහි පැවති අඹ ගසක් නිසා ය. අද එහි
ඇත්තේ අඹ ගසක් නොව ‘බෝරුකකි’. මැණික්
පොළ පැවැත්වෙන්නේ ඒ අසල ය. එතැනට ‘මැණික්
කොටුව’ යයි ද
ව්‍යවහාර කරති. අඹගහ යට
හන්දිය වඩාත් ප‍්‍රකටව තිබෙන්නේ, ගෙවුඩ, ඔට්ටු, සිල්කි
ගල්, සහ
කොලටි ගල් යනුවෙන් හඳුන්වන මැණික් වර්ග අලෙවිය සඳහා ය.
ඊට අමතරව කුඩා ප‍්‍රමාණයේ මැණික් රැස් කරන (මැණික්
ලොට්) වෙළෙන්දන්
ද එහි ගැවසෙති.
එකිනෙකා හමුවන විට එතැන දී විමසන සුපුරුදු
ප‍්‍රශ්නයක් තිබේ.
‘මොනවත්
ගත්තේ නැද්ද?’
යන්න ඒ ප‍්‍රශ්නයයි!
වෙළෙන්දන් එහි එකතු වන්නේ, තමන්ගේ
වෙළෙඳාමට
සරිලන කුමක් හෝ මැණිකක් මිලයට ගන්නට ය. පතල්කරුවන්
හෝ ගමේ මැණික් වෙළෙන්දන් ‘අඹගහයට හන්දියට’ එන්නේ, තමන්
සතු මැණික් වැඩිම මිලකට විකුණා ගන්නට ය. එබැවින්
වෙළෙන්දන් අතර ‘මොනවත්
ගත්තේ නැද්ද?’
ප‍්‍රශ්නය මතු වෙයි.
ඇතැමුන් මැණික් මිල දී ගන්නේ තවත් සගයෙකු සමග හවුලේ ය.
වර්තමාන අඹගහ යට හන්දිය ඉස්සරට වඩා දියුණු
ය. මැණික්
ගල්වල අගය වැඩි කිරිමේ කටයුතු කෙරෙන කුඩා ‘මැණික් වැඩ පොළක්’ ද එහි
පිහිටා තිබීම,
ඊට හේතුවයි. ‘මැණික්
වැඩ පොළ’ තිබෙන්නේ
මැණික් කොටුවේ ඇති කුඩා ගොඩනැගිල්ල තුළ ය.
එය මැණික් වැඩ පොළක් බවට පත්කර ඇත්තේ මැණික් ගල් ඉරීම, ගෑම, සහ
කැපීම ආදී කටයුතු කරන කිහිප දෙනෙකු විසිනි.
එහි ගොඩ වදින කෙනෙකුට යම් මුදලක් ගෙවා තමන්ගේ මැණික් ගල්
අලංකාරව සකසා ගන්නට පුළුවන.
සාමාන්‍යයෙන් පෙරවරු 10.00 පමණ වන
විට, රත්නපුරයේ
වීදි මැණික් වෙළෙඳාම ‘දෙමුවාත
පාරට’ සංක්‍රමණය
වෙයි. දෙමුවාත
පාර යයි කියන්නේ, ‘අඹගහයට හන්දියට’ පෙනෙන
දුරින් පිහිටි වීදියකි. ඇත්තට ම
එය සැකසී තිබෙන්නේ මැණික් වෙළෙඳාමට නොවේ.
කම්බි පාලම ඔස්සේ කළු ගෙඟන්
එතෙරව මුද්දුව ප‍්‍රදේශයට යාමට ය. එය කෙටි
මගකි. එසේ වුව
ද රත්නපුරයේ මහජනතාව සහ වෙළෙඳ ප‍්‍රජාව, අද එය ‘මැණික්
වෙළෙඳ
වීදියක්’ බවට
පත්කර ගෙන තිබෙනු පෙනෙයි. වීදි
වෙළෙන්දන් වැඩි දෙනෙක් දෙමුවාත පාරට එන්නේ, මිල දී ගත් මැණික් විකිණීමට
හෝ කපා ඔප දමා ගැනීම සඳහා ය.
නැතිනම් දෝෂ පළුදු ඉවත්කර තම මැණික හැඩකර ගැනීමට ය.
මහ පොළොවෙන් මතුකර ගත් ‘රළු මැණිකක්’, කපා ඔප
දමා හැඩ කරනවා යන්නෙහි වෙළෙඳ අරුත, එහි අගය
සහ වටිනාකම වැඩි කිරීමකි. අගය සහ
වටිනාකම එකතු කිරීමකි. ඉංග‍්‍රීසි
බසින් නම් එය ‘වැලියු
ඇඩඞ්’ (Value
Added) ය.
‘වැලියු
ඇඩඩ්’ යනු නූතන වෙළෙඳ කලාවේ
අතිශයින්ම ප‍්‍රචලිත අංගයකි. මැණික්
කර්මාන්ත ක්ෂේත‍්‍රය නියාමනය කරන ‘ජාතික මැණික් හා ස්වර්ණාභරණ
අධිකාරිය’ ද නිතරම
කියන්නේ හැමවිට ම ‘අගය වැඩි කළ’ මැණික් ගල් පමණක් පිටරට යැවිය
යුතු බව ය. ඔවුන්
ඒවා හඳුන්වන්නේ
‘නිමි
මැණික්’ යනුවෙනි.
දැන් ‘රළු මැණික්’ හෝ ‘අමු
මැණික්’ හෙවත්
කපා ඔප නො දැමූ මැණික් ගල්, අපනයනය කිරීම ද නීතියෙන් ම තහනම් ය.
එබැවින් ‘වැලියු ඇඩඩ්’ කිරීම
අනිවාර්ය කටයුත්තකි. අගය
වැඩි කළ මැණික්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ දී
ඉහළම මිලක් ලැබේ.
නූතන වෙළෙඳ කලාවට
අලූත් දෙයක් සේ පෙනුණ ද, රත්නපුරේ සම්ප‍්‍රදායික මැණික් කර්මාන්ත
ක්ෂේත‍්‍රයට නම් ‘වැලියු ඇඩඩ්’ යන
සංකල්පය අලූත් දෙයක් නොවේ. රත්නපුරේ
පැරණි මැණික් කර්මාන්තකරුවෝ අනාදිමත් කාලයක් මුළුල්ලේ තම මැණික් ගල්වලට ‘වැලියු
ඇඩඩ්’ කළහ.
ඒ සඳහා ගත්
ක‍්‍රියාමාර්ග ද බොහොමයකි. කැපීම
සහ ඔප දැමීම,
සම්ප‍්‍රදායික පිළිස්සීමේ ක‍්‍රම මගින් මැණික් ගල්වල
වර්ණය වැඩිකර ගැනීම, ලූණු පොල්කට්ටක උලා ගැනීමෙන් ‘කොරසම්’ ආදිය
ඉවත් කිරීම,
සම්ප‍්‍රදායික හණපෝරු පට්ටලයේ ඇල්ලීමෙන් දෝෂ-පළුදු
ගා ඉවත් කිරීම,
මැණික් ගල්වල සියුම් සිදුරු විදීම සහ කැපූ මැණික්
ස්වර්ණාභරණවලට බැඳීම ආදිය
ඒ අතර විය. එයින්
මැණික් ගල්වලට අතිරේක වටිනාකමක් එකතු කෙරිණි.
පැරැන්නන් තම මැණික් කොතරම් ‘වැලියු
ඇඩඩ්කර’ තිබුණේ
ද යන්න රජවරුන්ගේ ඔටුනු, ආභරණ සහ අනෙකුත් පළඳනා ආදිය
ගැන විමසීමේ දී පෙනී යයි. එකල
ඔවුන් මැණික් පැළඳ ඇත්තේ ‘රළු
මැණික්’ වශයෙන්
නොව, කපා ඔප
දැමූ මැණික් වශයෙනි. ඒ
අර්ථයෙන් ගත් කල, අදට ද ඉතිරිව තිබෙන සාම්ප‍්‍රදායික මැණික්
කැපීමේ උපකරණය වන ‘හණපෝරු පට්ටලය’ ද ‘වැලියු
ඇඩඩ්’ කිරීමේ මෙවලමකි!
එක් අතකට වර්තමාන දෙමුවාත පාර ද
එහැමපිටින් ම ‘වැලියු
ඇඩඩ්’ වීදියකි.
එහි දිනපතාම පාහේ ‘වැලියු ඇඩඩ්’ වැඩ
බොහොමයක් සිදු වෙයි!
කොටින්ම දෙමුවාත පාර දැන් මැණික් ලෝකයේ ‘පංචිකාවත්ත’ වැනි ය. ඕනෑම මැණික් ගලක්, ඕනෑතරම් ‘මස්කර’ අලංකාර
කිරීමට (වැලියු
ඇඩඩ් කිරීමට)
එහි සිටින ශිල්පීහු හපන්නු ය.
ඒ සඳහා සම්ප‍්‍රදායික
ක‍්‍රම ශිල්ප මෙන්ම නවීන තාක්ෂණය ද භාවිතා කෙරෙයි.
(මතු
සම්බන්ධයි)
(මෙම
ලිපිය 2018/03/05 රිවිර
පුවත්පතේ පළ විය.)
2018/02/25.
එකොලහ දෙලහ වෙනකොට රිච්මන්ඩ් එකට
ReplyDeleteසමහර අය පතායා එකට/මේ කාලේ නම් ගංගානි එකට/කොමෙන්ටුවට ස්තුතියි
Delete