Total Pageviews

Monday, August 24, 2015

මහ දාගැබ්වල අතීත රහස් හෙළිවෙයි


                             පුරාවිද්‍යා කැණීම්වලින් හෙළිවන
                            
                     මහ දාගැබ්වල අතීත රහස්


 
රුවන්වැලි මහ සෑය
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පොළොන්නරුවේ, ‘දෙමළ මහා සෑය’ අරභයා පැවති පැරණි මති මතාන්තර බොහොමයක් දැන් බිඳ වැටී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙය වීමෙන් එහි කෙරෙන කැණීම් ඔස්සේ අලූත් තොරතුරු මතු වීම, ඊට හේතුවයි. කැණීම කෙරෙන්නේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතියක් වශයෙනි.

මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’ කැණීමේ පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළේ, 2014 වසරේ මාර්තු 29 වැනි දා ය. ඒ, අරමුදලෙහි අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගේ මග පෙන්වීමෙනි. කැණීම් මෙහෙය වූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා ය. පර්යේෂණයෙහි අරමුණ වූයේ, සෑය සංරක්ෂණය කිරීම සඳහා එහි ඉදි කිරීම් ව්‍යුහය නිවැරදිව හඳුනා ගැනීමයි. කැණීම් පර්යේෂණය තවමත්, එනම් 2015 වසරේ මැද භාගය වන තුරුත් පැවැත් වෙමින් යන අතර, දෙමළ මහා සෑය පිළිබඳ මෙතෙක් නෑසූ රහස් ගණනාවක්ම ඉන් අනාවරණය වෙමින් පවතී. මහා දාගැබ් නිර්මාණය සම්බන්ධයෙන් පැරණි ශිල්පීන්ට පැවති දැනුම් සම්භාරය කොතෙක් පිරිපුන් ද යන්න, ඉන් පැහැදිලි වන බව ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.

‘මහාවංශය’ පවසන අන්දමට, පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’ ඉදිකර ඇත්තේ මහා පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රිස්තු වර්ෂ-1156-1183) විසිනි. රජුගේ අණින්, ඉන්දීය පාණ්ඩ්‍යයන්ට සහාය පිණිස, ‘ලංකාපුර’ නම් සෙනෙවියා ඉන්දියාවට ගොස් කළ සටනක දී, චෝලයන් 12,000ක් අත්අඩංගුවට පත් විය. සිරකාර පිරිස ලංකාවට කැඳවාගත් පසුව, රජු සෑය ඉදිකරවා ඇත්තේ ඔවුන් මෙහෙවරට ගනිමිනි. එබැවින් එය ‘දෙමළ මහා සෑය’ යයි නම් ලද්දේ ය. පැරණි කතාවල එන හැටියට, සෑයෙහි වට ප‍්‍රමාණය  රියන් 1300කි. උස අඩි 1000ද ඉක්මවයි. වර්තමානයෙහි ද එවන් ප‍්‍රතාපවත් ‘මහා දාගැබ් නිර්මිතයක්’ දැකගත හැකි බව ඇත්ත ය. එහෙත් දැන් එය දිස් වන්නේ, කාලයාගේ ඇවෑමෙන් ගරා වැටුණු පැරණි චෛත්‍යයක රූ සිරියෙනි. අද එහි වට ප‍්‍රමාණය අඩි 1950ක් සේ (මීටර්-594.46ක්) සැලකෙයි.

පොළොන්නරුවේ දෙමහල් දාගැබක්
 
‘දෙමළ මහා සෑය’, සාමාන්‍යයෙන් අක්කර තුනහමාරක පමණ භූමි වපසරියකින් සමන්විතය. එය මෙතෙක් කල් සැලකුණේ, බොරළු සහ තිරුවානා ගල් සහිත ස්වභාවික කඳු ගැටයක් මත ඉදි කළ චෛත්‍යයක් වශයෙනි. 2014 වසරේ සිට කෙරෙන කැණීම්වලින් අද ඒ අදහස වෙනස්වී තිබේ. ඒ අනුව සෑය ගොඩ නගා ඇත්තේ, වෘත්තාකාර ප‍්‍රාකාරයක් මැදට, මීටර් 25ක් පමණ උසට පස් දමා, අඩිය අ`ගලට තලා, පුරවා සකස් කිරීමෙනි. මහා සෑයක් යයි අප සිතන වෘත්තාකාර කොටස, මෙසේ පුරවා සැකසූ ප‍්‍රාකාරයයි. එය එක් අතකට, වට අඩි 1950ක පැතිරුණු, මීටර් 25ක් උසැති වේදිකාවක් හෝ මළුවක් වැන්න! එහි හරි මැද කුඩා චෛත්‍යක නටබුන් දක්නට ලැබේ. ඇත්තටම සෑය එයයි!
 
දෙමළ මහා සෑය
කැණීම් භාරව සිටින ආචාර්ය නිමල් පෙරේරා මහතා, ‘වලස්පති බ්ලොග් අඩවියට’ මේ ගැන විස්තර කළේ්,


‘දෙමළ මහා සෑය ඇත්තටම දෙමහල් දාගැබක්. මෙහි භූමිය, වෘත්තාකාර ප‍්‍රාකාරයක්. එහි මැදට, මව් පාෂාණයේ පටන් බොරළු සහිත පස්, තිරුවාණා සහිත පස්, මැටි සහිත පස්, රොන් මඩ සහිත පස්, ගඩොල්, ගොඩනැගිලි කඩා දැමීමේ දී ඉවත් කෙරෙන ද්‍රව්‍ය ආදී වශයෙන් පස්වලින්ම පුරවලා, ජලය දමා අඩිය අඟලට තලලා සකස් කරලා තියෙනවා. පරාක‍්‍රමබාහු රජ තුමා එක පස් බිඳක්වත් අපතේ යවලා නෑ. වටේ තිබෙන වෘත්තාකාර ප‍්‍රාකාරය හදන්න ගඩොල් භාවිතකර තිබෙනවා. මේ ප‍්‍රාකාරය මීටර් 25ක් පමණ උසයි. ඒක හරියට වේදිකාවක් වාගෙ. චෛත්‍යය ඉදිකර ඇත්තේ ඒ මැද යි. මේක ඇත්තටම ලංකාවේ දාගැබ් කර්මාන්තයේ සුවිශේෂ ඉදි කිරීමක්’ යයි පවසමිනි.

දෙමළ මහා සෑය පමණක් නොවේ. ලංකාවේ ඉපැරණි මහා දාගැබ් ගණනාවක්ම, ඒවා ඉදිකිරීම් කර්මාන්තයේ අපූර්ව ලක්ෂණ පෙන්නුම් කරන්නේ ය.

ජේතවන දාගැබෙහි අසිරිය
 
අනුරාධපුරය පූජනීය නගරයෙහි පිහිටි ‘ජේතවන විහාරය’ නමැති බෞද්ධ ස්මාරකය, ලාංකේය ස්තූප නිර්මාණ ශිල්පයෙහි සුවිශේෂ පැතිකඩක් ඉතා සියුම් ලෙස අනාවරණය කරන්නේ ය. එය ඉදිවී ඇත්තේ ක‍්‍රිස්තු වර්ෂ 276-313 සමයේ අනුරාධපුරයෙහි විසූ ‘මහාසේන’ හෙවත් ‘මහසෙන්’ රජුන් දවස ය. ස්තූපයෙහි  විෂ්කම්භය අඩි 367කි. වත්මන් උස අඩි 232කි. එහෙත් අතීතයෙහි එය අඩි 400ක් උසැති මහා දාගැබක් වූහයි කියනු ලැබේ. එකල (පැරණි ලෝකයෙහි), එය ලෙව තුන් වැනි උසම ගොඩනැගිල්ල සේ සැලකුණේ ය!

සුවිසල් ‘ජේතවන දාගැබ’ ඉදිකර ඇත්තේ පිළිස්සූ ගඩොල් මිලියන ගණනක්, මැටි බදාමයෙන් බැඳ, හුණු පිරියම් කිරීමෙනි. වත්මන් ගණන් බැලීම්වලට අනුව, අද කාලයේ ගඩොලක වර්ග අඟලක කොටසකට දැරිය හැකි බර ප‍්‍රමාණය රාත්තල් (Pound) 265කි. එහෙත් ජේතවන දාගැබ බැඳුණු පැරණි ගඩොලක, වර්ග අඟලකට සාමාන්‍යයෙන් රාත්තල් 621ක බරක් දැරිය හැක්කේ ය! ජේතවන දාගැබට ගඩොළු කැට දශ ලක්ෂ 62ක් භාවිත කෙරුණු බව ප‍්‍රකට ය.

මහා පරිමාණ දාගැබ් බැඳීම ලෙහෙසි වැඩක් නොවේ. එහි පාදම සැකසීම, ගර්භය හා එහි මධ්‍ය ලක්ෂයට ලම්බකව චූඩා මාණික්‍යය ස්ථානගත කිරීම, ආදී බැරෑරුම් කටයුතු රාශියක් එහි එයි. ඒවා නිවැරදිව මිණුම්ගත නො කළ හොත්, දාගැබ ගරා වැටීමට ද ඉඩ තිබේ. අද මෙන් ‘ඩිජිටල් මෙවලම්’ නො තිබුණ ද, ඒ කාලයේ, පුරාණ ශිල්පීහු සියල්ල නූලටම කිරීමෙහි සමතුන් වූහ. අඩි සිය ගණන් උස වෙහෙර විහාර අදී මහා පරිමාණ ඉදි කිරීම් අරභයා ඔවුන් සතුව පැවති ඥාණ සම්භාරය ඉතා විශිෂ්ඨ ය. අතීතයේ තැනූ මහා දාගැබ් විශාල සංඛ්‍යාවක් අදත් නිරුපද්‍රිතව තිබීමෙන් ඒ  බව පැහැදිලි වේ.

 
නීලගිරි සෑයෙන් හමුවූ රන් කරඬුවක්
විශේෂයෙන් වෙසක්, පොසොන් ඇතුළු අනෙකුත් පොහොය පින්කම් පිණිස ද, සාමාන්‍ය ආගමික ජීවිතයේ දී ද, ලංකාවාසී බෞද්ධ ජනතාව රට පුරා ඇති මහා දාගැබ්, මහත් සැදැහැයෙන් වන්දනා-මාන කරනු ඇත්තේ ය. දාගැබ් වන්දනය බුදුන් පිදීමක් හා සමාන වීම, ඊට හේතුව ය. ඒ අතර තුර, තමන් කැටිව යන දූ දරුවන්ට ද ඒවා පෙන්වමින් ඔවුහු පැරණි නිර්මාණ ශිල්පීන්ට ද කෘතවේදී වනු ඇත. එබැවින් සෑම වන්දනා සමයක්ම පාහේ, අපේ පැරණි ස්තූප ගැන කතිකා කිරීමට ද අවස්ථාව උදාකර දෙයි.

ස්තූප නිර්මාණයෙහි යටගියාව
 
නීලගිරි සෑයේ පළිඟු කරඬු
අතීත භාරතයෙහි මුලින්ම ‘ස්තූප’ ආකාරයේ ගොඩනැගිලි ඉදි වූයේ, ‘සොහොන් ගැබ්’ වශයෙනි. පසුව බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අවශේෂ තැන්පත්කර ස්තූප තැනීමත් සමගම, බෞද්ධ ස්තූප නිර්මාණ කලාව ඇරඹිණි. ලංකාවේ ස්තූප නිර්මාණය ඇරඹුණේ, ක‍්‍රි. පූ. 03වැනි සියවසේ දී මිහිඳු මාහිමියන් විසින් මෙහි බුදු සසුන පිහිටුවීමත් සමගිනි. ලංකාවේ මුලින්ම ඉදි වූ බෞද්ධ ස්තූපය, අනුරාධපුරයේ පිහිටි ‘ථූපාරාමය’ යි. එසේ වුව ද වංශකතා සහ සාහිත්‍ය මූලාශ‍්‍ර අනුව බලන කල, ‘මහියංගණයේ මහා සෑය’ සහ ත‍්‍රිකුණාමලයේ ‘ගිරිහඩු සෑය’ යන ස්තූපයන් ඉදිවී ඇත්තේ බුදුන් ජීවමාන සමයේ දී ය.


‘ස්තූප’ යන්න, පාලි බසෙහි ‘ථූප’ යන්නෙන් බිඳී ආවකි. එහි සරල සිංහල තේරුම, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අවශේෂ තැන්පත්කර ඇති ‘ධාතු ගර්භයක්’ (සංස්කෘත බසින් ‘ධාතු ගබ්බ’) යන්නයි. ධාතු ගර්භ, සරල සිංහලයට නැගී ඇත්තේ ‘දාගැබ’ යනුවෙනි. ‘චේතිය’, ‘වෙහෙර’, ‘සෑය’ ආදී වදන් ද, දාගැබ යන වචනයට පර්යාය නාමයන් ය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අවශේෂ තැන්පත්කර ඇති ‘දාගැබ’, අතීතයේ පටන්ම භික්ෂු ආරාමයක ඇති වැදගත්ම අංගය වේ. මිනිසුන් එය වන්දනය කරන්නේ, ජීවමාන බුදුන්ට වන්දනය කරනවා යන හැඟීමෙනි. කොටින්ම ඉන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේ ය.

 
නීලගිරි සෑය කැණීම්
ස්තූපවල ‘අණ්ඩය’ හෙවත් බඳෙහි (ගර්භය පිහිටි කොටස) හැඩය අනුව, ස්තූප වර්ග හතකි. ඒ, ඝණ්ඨාකාර (ඝණ්ඨාවක හැඩය), ඝඨාකාර (කලයක හැඩය), බුබ්බුලාකාර (බුබුලක හැඩය), ධාන්‍යාකාර (වී ගොඩක හෙවත් වී රාහියක හැඩය), පද්මාකාර (නෙළුමක හැඩය), ආම්ලාකාර (නෙල්ලි ගෙඩියක හැඩය) සහ පලන්ද්වාකාර (සුදුලූණු ගෙඩියක හැඩය) යනුවෙනි. ලංකාවේ තැනූ ප‍්‍රථම ස්තූපය වන ‘ථූපාරාමය’, ධාන්‍යාකාර ය.

ස්තූපයක් ඉදි කිරීමේ දී, එය ගොඩ නගන්නේ ඉතා ශක්තිමත් ‘පාදමක්’ හෙවත් අත්තිවාරමක් මත ය. එය පොළොව ගැඹුරට හාරා සකස්කර ගැනීම සිරිතයි. සාමාන්‍යයෙන් දාගැබෙහි සමස්ත බර උසුලන්නේ පාදමෙනි. එබැවින් එය ඉතා ශක්තිමත් විය යුතු බව පැරැන්නෝ දැන සිටියහ. පැරණි ලොවෙහි තුන්වන උසම ගොඩනැගිල්ලවූ අනුරාධපුර ජේතවන දාගැබෙහි පාදම (අත්තිවාරම) අඩි 28 ක් ගැඹුරු බව පුරාවිද්‍යා පර්යේෂණවලින් අනාවරණය විය. නියමිත ගැඹුර එන තෙක් පොළොව හාරා, ඉන් ලැබෙන භූමිය පුළුස්සා, ඒ පොළොව කොටා, කළු ගල් අතුරා මට්ටම්කර පාදම සකසා ගැනේ. ස්තූපය හෙවත් දාගැබ ඉදි කෙරෙන්නේ, සකස්කර ගත් පාදම මත ගඩොළු බැඳීමෙනි. අනුරාධපුරයේ අභයගිරි දාගැබට, ගඩොළු දශ ලක්ෂ 54ක් ද, රුවන්වැලි සෑයට ගඩොළු දශලක්ෂ 38ක් ද යොදා ගන්නට ඇතැයි කියති. පැරණි සම්ප‍්‍රදායට අනුව, මුලින්ම ඉදි කෙරෙන්නේ ගර්භය සහිත අණ්ඩයයි. ඉන් පසුව පේසා වළලූ, මාලක, ප‍්‍රාකාර, දොරටු ආදිය ඉදි කෙරේ. ඒවා කෙරෙන අතර, හතරැස් කොටුව, දේවතා කොටුව, සහ කොත් කැරැල්ල ද තැන වෙයි.

ලංකාව අදත් පෞරාණික මහා පරිමාණ බෞද්ධ ස්තූප ගණනාවකටම උරුමකම් කියයි. ඉදි කිරීම් සම්පූර්ණ වූවා නම්, එවකට ලොව විශාලතම බෞද්ධ ස්මාරකය විය හැකි පොළොන්නරුවේ ‘දෙමළ මහා සෑය’, අනුරාධපුරයේ, ‘ජේතවන දාගැබ’, ‘අභයගිරිය’ (වට අඩි 370යි/උස අඩි 235යි), ‘රුවන් වැලි සෑය’ (වට අඩි 300යි/උස අඩි 300යි), ‘මිරිසවැටිය’ (වට අඩි 141යි/උස අඩි 192), ‘මහියංගණයේ මහා සෑය’, අම්පාරේ ‘දීඝවාපිය’ (දැනට උස මීටර්-21/ වට මීටර්-205), ‘තිස්සමහාරාමයේ දාගැබ’, රඹුක්කන ‘දැලිවල කොට වෙහෙර’ (වට අඩි 540යි/උස අඩි 54යි) සහ කතරගම ‘කිරි වෙහෙර’ ආදිය ඉන් කිහිපයකි. ඒවායෙහි ඉදි කිරීම් බෙහෙවින් බැරූරුම් ය. ඒවායෙහි පාදම සකසා ගැනීම, ගර්භයේ වට ප‍්‍රමාණය සකසා ගැනීම මෙන්ම, එහි මධ්‍ය ලක්ෂයට ලම්බක වන සේ චූඩා මාණික්‍යය පිහිටුවා ගැනීම වැනි කටයුතු මෙහෙයවා ඇත්තේ ඉතා සූක්ෂම අන්දමිනි.

ශිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන එම්. එච්. සිරිසෝම මහතා ‘දාගැබ් පුරාණය’ නමැති සිය කෘතියේ පෙන්වා දෙන අන්දමට, දාගැබක පේසා වළලූ සහ මාලක ආදිය ඉදිකෙරෙන්නේ ‘අණ්ඩය’ ඉදි කිරීමෙන් පසුව ය. මින් ‘පේසා වළලූ’ ඉදි කෙරෙන්නේ අණ්ඩය හෙවත් බඳට පහළිනි. මුල් කාලයේ දී ඒවා මලසුන් වශයෙන් භාවිත කෙරිණි. එහෙත් පසුකාලීනව, දාගැබ වැඳීමට එන සැදැහැවතුන්  ඒවා ‘ප‍්‍රදක්ෂිණා පථ’ ලෙස භාවිත කරන්නට වූහ. පැරණි දාගැබ්වල පේසා වළලූවලට පහළින් දක්නට ඇත්තේ ‘මාලක’ ය. එහි උසම මාලකය ‘සලපතල මළුවකි’. පහත මාලකය වැලි මළුවකි.

කෑගල්ලේ, රඹුක්කන, දැලිවල, ‘කොට වෙහෙර’, ක‍්‍රි. පූ. 250 දී පමණ දෙවැනි පෑතිස් රජුන් දවස ඉදි වූවකි. එහි ගර්භයෙහි කළ පුරාවිද්‍යා කැණීම්වලින්, සේද රෙදිකඩක එතූ ලෝහ කරඬුවක් හමු විය. රෙදිකඩ පිළිබඳ පර්යේෂණ කළ  ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජුඩිත් කැමරන් මහත්මිය සඳහන් කළේ, එය අදින් වසර 2250ක් පැරණි බවයි. මේ රෙදිකඩ, දැනට ආසියාවෙන් හමුවී ඇති පැරණිම රෙදිකඩයි. දාගැබ් ගර්භවලින් හමු වන දෑ ඒ තරම් මවිතය දනවන සුළු ය.

 
නීලගිරි සෑයෙන් කරඬු 300ක්
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට 2014 වසර දක්වා, මොණරාගල දිස්ත‍්‍රික්කයට අයත්, සියඹලාණ්ඩුවට නුදුරු ලාහුගල, හැඩ ඔයෙන් එගොඩ මහ වන මැද කළ කැණීමකින්, තවත් විශ්මයජනක මහ දාගැබක රහස් සමූහයක් මතුකර ගත්තේ ය. එය සුප‍්‍රකට ‘නීලගිරි මහා සෑයයි’.

‘නීලගිරි සෑය’, තිස්සමහාරාමයේ ‘මහා ථූපය’, කතරගම ‘කිරි වෙහෙර’, අම්පාරේ ‘දීඝවාපිය’ වැනි රුහුණේ මහා ස්තූප අතරට ගැනෙන දාගැබකි. එහි ගරා වැටුණු තත්ත්වයේ උස අඩි 75කි. දළ වට ප‍්‍රමාණය මීටර් 600ක් පමණ වේ. විශාලත්වය අතින් එය දෙවැනි වන්නේ, ‘දීඝවාපී’ සෑ රදුන්ට පමණක් බව විද්වතුන්ගේ මතයයි. සෑය ඉදි කළැයි පැවසෙන්නේ, ක‍්‍රිස්තු පූර්ව යුගයේ ය. ඒ ගැන නිශ්චිත සාක්ෂියක් නැත. එහෙත් ක‍්‍රිස්තු වර්ෂයෙන් 01 වැනි ශත වර්ෂයෙහි විසූ, භාතිකාභය තිස්ස රජු සහ ඔහුගේ බිසව විසින් චෛත්‍යයට කළ පුද පූජාවන් ගැන සඳහන් සෙල් ලිපි කිහිපයක් නම් නීලගිරි සෑය අවටින් සොයා ගෙන තිබේ. නීලගිරි සෑය භාතිකාභය රජ සමයේ ද පැවති බව ඉන් පෙනී යයි.

 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2011 වසරේ දී නීලගිරි සෑයේ කැණීම් ආරම්භ කළේ, රුහුණේ මහා පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් අනුව ය. එවකට පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂවරයා වූ අචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙය වීමෙන් එය ක‍්‍රියාත්මක විය. ස්ථාන භාර නිලධාරී සම්පත් ගුරුසිංහ සහ පර්යේෂණ සහකාර පාලිත අත්නායක යන මහත්වරු, කැණීමෙහි ක්ෂේත‍්‍ර මෙහෙයුම් ප‍්‍රධානීහු වූහ. කැණීම ඔස්සේ හමුවූ පුරාවස්තු සම්භාරය අතිශයින්ම කුතුහලය දනවන්නේ ය!

 
නීලගිරි සෑය
කැණීමෙන් හමුවූ රන්, මැණික් සහ පළිඟු කරඬු සඛ්‍යාව 300ක් පමණ වේ. ඉන් බොහොමයක ‘සර්වඥ ධාතූන්’ යයි සැක කළ හැකි අවශේෂ තිබිණි. කැණීම් කළ ඉතා සුළු කොටසින් පමණක් ‘සිරි පතුල් ගල්’ 50ක් පමණ හමු විය. හමුවූ ආසන ගල් සංඛ්‍යාව 15ක් පමණ වේ. සොයා ගත් අනෙකුත් පුරාවස්තු අතර, ඡත‍්‍ර 10ක කොටස් ද, ‘යූප ස්ථම්භ’ දෙකක කොටස් ද, විදේශීය කාසි ද විය. මේ සියල්ල සුවිශේෂ ය. මෙතෙක් කළ කිසිදු පැරණි චෛත්‍ය කැණීමකින්, කරඬු හෝ සිරි පතුල් ගල් මෙතරම් සංඛ්‍යාවක් හමු නො වීම, ඊට හේතුවයි! සෑය අවට ඇති වනයෙන් වැසුණු විශාල ප‍්‍රදේශය පුරා, ඉපැරණි බෞද්ධ ආරාමික නගරයක නටබුන් දක්නට ලැබේ. සෑය හැරුණු විට, ඒ කිසිවක් තවම ගවේෂණයකර නැත.

නීලගිරි සෑය පිහිටි හැඩ ඔය නිම්නය අයත් වන්නේ,  රුහුණට ය. එහි ඉපැරණි බෞද්ධ ස්මාරක බොහෝ ය. නීලගිරි සෑය යනු, මහාවංශයේ සඳහන් ‘මහනුග්ගල චෛත්‍යය’ (පරිච්ෙඡ්දය-24) විය හැකිය යන්න, විද්වතුන්ගේ අදහසයි.
(නීලගිරි සෑය පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා)
2015/08/25.

1 comment:

  1. වටිනා ලිපියකි.
    ජයවේවා..!!

    ReplyDelete