Total Pageviews

Saturday, August 8, 2015

රත්නපුර නිම්නයේ නිල් මැණික් විත්ති-03

නිල් ආර්නූල් මැණිකක්

නිල් පවුලේ සෞම්‍ය මැණික

සුදු නිල්

 (ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ජ්‍යොතිෂයට අනුව ද මැණික් ගල් පැළඳීම පැරණි සිරිතකි. ඈත විශ්වයේ සැරිසරන ග‍්‍රහ - තාරකාවන්, මහ පොළොවේ වෙසෙන මිනිසුන්ගේ දිවි පෙවෙතට යම් යම් බලපෑම් ඇති කරන බව ජොතිෂ්‍ය සංකල්පවලින් කියැවේ. ඒ බලපෑම් අවමකර ගන්නට හෝ ඒවායින් අත් මිදෙන්නට මැණික් පැළඳීමේ සම්ප‍්‍රදායක්, අනාදිමත් කාලයක පටන්ම මිනිසුන් අතර පවතී.

මේ කාරණයේ දී ද, පොදුවේ කොරන්ඩම් පවුලේ මැණික් සහ නිල් මැණික්වලට වැදගත් තැනක් හිමිවන බව පැරණි පතපොත ඇසුරු කරන විට පෙනී යයි. ඒ අනුව නිල් මැණික් පවුලේ එන ‘සුදු නිල්’, සාමදානය මුල්කර ගත් බොහොම සෞම්‍ය මැණිකකි. එසේම සුදු නිලක් පැළඳීමෙන් සිකුරු ග‍්‍රහයා වෙතින් එන අපල උපද්‍රව මග හැරේ. නොයෙකුත් ග‍්‍රහ දෝෂ, අපල උපද්‍රව දුරු කර ගැනීමට පළඳින නවරත්න මුද්දට ද, නිල් මැණික් ගලක් එක්කර ගැනේ. සෙනසුරු ග‍්‍රහයාගෙන් උදා වන අහිතකර බලපෑම් සමනය කර ගැනීම පිණිස, ‘කාක නිල්’ (Dark Blue) පැළඳීම සිරිතයි.




නාග ග්‍රෝතික මැණික්කාරයෝ
නේපාලයේ ලූම්බිණි පුදබිමෙහි 2013 වසරේ කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම පිළිබඳ වැදගත් තොරතුරු රැුසක් හෙළිදරව් විය. බි‍්‍රතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කණින්හැම් මහතා ඇතුළු පිරිසක්, එහි ‘මායා දේවි විහාරය’ (මහා මායා දේවිය නමින් ඉදිකර ඇති විහාරය) නම් ස්ථානයෙහි කළ කැණීම්වල දී, සිද්ධාර්ථ කුමාරයාගේ උපත වූ ස්ථානය නිශ්චිතව සොයා ගත්හ. උපත වූ සල් ගස වටා ඉදිකර බෝධිසරයක් බඳු ගඩොල් බිත්තියක අවශේෂ ද, දැව මය ආවරණයක කොටස් ද කැණීම්වලින් හමු විය. ඒවා අදින් වසර 2550ක් හෙවත් ක‍්‍රිස්තු පූර්ව 550 තරම් පැරණි බව ද සොයා ගැනුණි. හමු වූ පුරාවස්තූන් මගින් ලොව පැරණිම බෞද්ධ සිද්ධාස්ථානය පෙන්නුම් කෙරෙන බව, පර්යේෂකයන්ගේ අදහස විය.

වංශ කතා සහ අනෙකුත් ප‍්‍රකට මූලාශ‍්‍ර අනුව, සිදුහත් කුමාරයාගේ ඉපදී ඇත්තේ, අදින් වසර 2623කට ඉහත, ක‍්‍රි. පූ. 623 දී ය. පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධානි, මහාචාර්ය රොබින් කණින්හැම් මහතා 2013 නොවැම්බර් 25 දින ජනමාධ්‍යට පවසා තිබුණේ, සිදුහත් උපත ක‍්‍රි. පූ. 06 වැනි සියවසේ වූ බව, නව සොයා ගැනීම නිසා පුරාවිද්‍යාත්මකව තවදුරටත් සනාථ වන බවයි. ලූම්බිණි සල් උයනෙහි දී සිදුහත් කුමරුවන් උපත ලැබීම. ගිහි ගෙය හැර ගොසින් බුද්ධත්වයට පත් වීම, ඉන් පසුව දහම් දෙසනු පිණිස චාරිකාවෙහි යෙදීම සහ පිරිනිවීම ඇතුළු බුද්ධ චරිතයට සම්බන්ධ සියලූ කාරණා හට ගෙන ඇත්තේ ක‍්‍රි.පූ. 06 වැනි සියවසේ දී ය. එනම්, අදින් වසර 2600කට පමණ ඉහත කාලයේ දී ය. ලංකාවේ මැණික් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයෙහි ඉතිහාසය සම්බන්ධයෙන් ද මේ කාල වකවානුව මෙන්ම බුදු සිරිත ද ඉතාම වැදගත් වෙයි. බුදුන් දවස, අපේ රටේ මැණික් කර්මාන්තයට සම්බන්ධ බොහෝ සිදු වීම් හට ගෙන තිබේ.

වංශ කතා ඇතුළු අනෙකුත් ඓතිහාසික මූලාශ‍්‍ර අනුව, ප‍්‍රාග් ඓතිහාසික යුගයේ (විජය කුමාරයා ලංකාවට පැමිණීමට පෙර යුගයේ) ‘යක්‍ෂ, දේව, නාග සහ රාක්‍ෂ’ වශයෙන් ජන කොටස් හතරක් ලංකාවේ වාසය කර තිබේ. ඔවුන් හඳුන්වා ඇත්තේ ‘සිව් හෙළ’ යනුවෙනි. මෙම පිරිස් ඇත්තටම මනුෂ්‍යයන් බව වර්තමානයෙහි පිළිගැනීමයි. බුදුන් දවස ලංකාවේ වාසය කර ඇත්තේ ඔවුන් ය.




මහාවංශය ඇතුළු වංශ කතා සහ බෞද්ධ සාහිත්‍යයෙහි කියැවෙන අන්දමට, බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කර ඇත්තේ ‘නාගයන්’ හෙවත් නාග නමින් හැඳින්වුණු මනුෂ්‍යයන් දෙපිරිසක් අතර ‘මැණික් පුටුවක්’ (මිණි පළඟක්) අරභයා හට ගත් කලහයක් සංසිඳ වන්නට ය. ආරවුල හට ගෙන තිබුණේ ‘චුලෝදර’ සහ ‘මහෝදර’ යන නාග ග්‍රෝතික ප‍්‍රධානීන් අතර ය. කලහය සංසිඳවූ බුදුන් වහන්සේ ඔවුන්ට දහම් දෙසූහ. බුදුන් දවස ලංකාවේ ප‍්‍රකටතම නාග ජනාවාස දෙකක් තිබිණි. ඉන් එකක් ‘මනිනාග දිවයින’ හෙවත් නාග ද්වීපයයි. අනෙක ‘කල්‍යාණි’ හෙවත් කැලණියයි. බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩි අවස්ථාවේ, කැලණියේ විසු ‘මණි අක්ඛික’ නම් නා රජු, උන් වහන්සේට පූජා පිණිස ‘මැණික් මණ්ඩපයක්’ කරවා එහි දන් පිළිගැන්වූ බව, බෙද්ධ වංශකතාවල සඳහන් වේ.

චූලෝදර සහ සහෝදරයන්ගේ කලහයට හේතු වූ මැණික් පුටුව, මැණික් ගල් අල්ලා. ඔබ්බවා සැකසූ පුටුවක් (පළඟක්) විය හැකි ය. එසේම මණිඅක්ඛික නා රජු පිළිගැන් වූ මණ්ඩපය, වටිනා මැණික් අල්ලා සැරසිලි කළ එකක් විය යුතු ය. බුදුන් දවස හට ගත් මේ කතාද්වයෙන් පෙනී යන්නේ, එකල විසූ නාග ග්‍රෝතික ජනයා මැණික් සම්පතින් ආඨ්‍යව සිටි පිරිසක් වූ බවයි.

බුදුන් වහස්සේ ජීවමානව විසූ සමයේ ලක්දිවට මැණික් සම්පතින් අඩුවක් නොවී ය. උන් වහන්සේ ප‍්‍රථම වරට ලංකාවට වඩින්නේ මහියංගණයේ දී යකුන් (යක්‍ෂ නමින් ප‍්‍රකට වූ යක්‍ෂ ග්‍රෝතික ජනයා) දමනය කරනු පිණිස ය. එහි දී උන් වහන්සේ සුමන සමන් දිව්‍යරාජයාගේ ඇරයුම පරිදි සමන්ත කූට මස්තකයෙහි (සමනොළ කඳු මුදුනෙහි) වූ ‘ඉඳුනිල් මිණක්’ මතුයෙහි සිරිපා සටහන පිහිටු වූහ. මේ කියන ‘ඉඳුනිල් මිණ’ නිසැකවම ඉස්තරම් තත්ත්වයේ ‘නිල් මැණිකක්’ (Blue Sapphire) වන්නට ඇත.

මාලිංග අමරසිංහ විද්වතාණන් සිය ‘නාග සංකල්පය සහ සිංහල සංස්කෘතිය’ ග‍්‍රන්ථයේ පවසන අන්දමට, නාගයන් යනු අති දක්‍ෂ නාවිකයන් පිරිසකි. නැව් තැනීම ගැන පවා දැනුමක් තිබූ ජන කොට්ඨාසයකි. එමෙන්ම ඔවුන් මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තවලට ද සම්බන්ධව කටයුතු කළ බවත්, ඒ නිසාම මැණික්, රන්, රිදී වැනි ‘මහාර්ය වස්තු සම්පත්’ ඇතිව සිටි බවත්, ඔහු සිය ග‍්‍රන්ථයේ දක්වයි. එය ඉතා වැදගත් මතයකි. බුදුන් වැඩ සිටි සමයෙන් පසුව හටගත් සිදු වීම් ගණනාවකට ද, මැණික් කර්මාන්තකරුවන් සම්බන්ධ වූ බව පෙනේ.

මැණික් කර්මාන්තවල යෙදී සිටි නාග ග්‍රෝතිකයන් පිළිබඳ කරුණු සඳහන් වන, බ‍්‍රාහ්මී අක්‍ෂර සෙල් ලිපි, මිහින්තලේ, ආනෙකුට්ටිකන්ද, ගල්ගමුව සහ අනුරාධපුරය ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් හමුවී තිබේ. සෙල්ලිපිවල එන ‘මණික්‍ය ගාම’ යනු මැණික් සම්බන්ධව කටයුතු කළ ප‍්‍රදේශය යන අරුත ගෙන දෙයි.

ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය නිකුත් කළ ප‍්‍රකාශනයක මෙසේ දැක්වෙයි.

‘අතීතයේ සිටම ශ‍්‍රී ලංකාව මැණික්වලට ඉමහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව, ඓතිහාසික සාක්‍ෂිවලින් අනාවරණය වේ. ‘රත්නද්වීප’ සහ සෙරන්ඩිබි’ ආදී විවිධ නම්වලින් හැඳින්වුණු අපේ රටේ මෑතක සොයා ගන්නා ලද ක‍්‍රි.පූ. 03 වන සියවසට අයත් බ‍්‍රාහ්මී සෙල් ලිපියක, ‘මැණිකර’ (මැණික් කපන්නා) යනුවෙන් සඳහන් වී තිබීමෙන් ද, මහා වංශය හා චූල වංශය වැනි සිංහල වංශකතාවල මැණික් පරිහරණයේ දී ‘රුවන්’. ‘මිණි’ වැනි වචන බහුලව යෙදී තිබූ බවට සාක්‍ෂි තිබීමෙන්, අතීතයේ සිටම මැණික්වලට ප‍්‍රමුඛස්ථානයක් හිමිව තිබූ බව මනාව පැහැදිලි වේ’ (ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් කර්මාන්තයේ ප‍්‍රගතිය - 2011 ජනවාරි) මෙයින් වටහා ගත යුත්තේ, ඈත අතීතයේ සිටම මැණික් ලාංකේය ජනයාගේ ජීවිතය හා බද්ධව පැවතුණු බවයි.

නාග මාණික්‍යය ඇත්තක් ද?

‘නාග මැණික්‍යය’, නාගයන් පිළිබඳ ලාංකේය ජන ශ‍්‍රැතියෙහි එන පැරණි සංකල්පයකි. ඒ අනුව, ‘රාජ නාගයන්’ යයි හඳුන්වන නාගයන් සිය උගුරෙහි ‘නීල මාණික්‍යයක්’ හෙවත් නිල් මැණිකක් සඟවාගෙන සිටියි. ජන වහරේ එන ආකාරයට එය, ‘නාග මාණික්‍යය’ හෝ ‘කණ්ඨ මාණික්‍යය’ යනුවෙන් ද හැඳින්වේ. නාග මාණික්‍යය මහාර්ය වටිනාකමක් ඇති මැණිකකි. ඒවා ඉතාමත් දුර්ලභ ය.




රාත‍්‍රී කාලයේ අහර සොයා ඇවිදින රාජ නාගයෝ, ආහාර ගිල දැමීමට පෙර, නාග මාණික්‍යය වමාරා පසෙකින් තබති. ඉන් පසුව ආහාර ගිලිති. පසෙකින් තැබූ නාග මාණික්‍යයෙන් අතිශය අලංකාර නිල් පැහැයක් විහිදු වන්නේ ය. රාජ නාගයන් අතර වුව නාග මාණික්‍යයන් පිහිටන්නේ කලාතුරකිනි. මනුෂ්‍යයෙකුට එබඳු මාණික්‍යයක් හිමිකර ගැනීම හෝ දැක ගැනීම පවා දුලබ අත්දැකීමකි. ඒ සඳහා මහත් වූ වාසනා මහියක් ද, පින් බලයක් ද තිබිය යුතුයැයි ජන ශ‍්‍රැතියෙහි කියැවේ. යමෙකුට නාග මාණික්‍යයක් හිමිකර ගැනීමට නම්, රාජ නාගයෙකු එය වමාරා පසෙකට තැබූ මොහොතක් සොයා ගත යුතු වෙයි. ඉන් පසුව මාණික්‍යය මතට ‘ගොම පිඩක්’ හෙළිය යුතුවේ. ඉන් මහාර්ය මැණික ‘නීච’ වන අතර එක්කෝ නාගයා පළා යයි. නැතිනම් මිය යයි. එවිට ඒ තැනැත්තාට නාග මාණික්‍යය හිමිකර ගත හැකි ය.

ජන වහරේ සහ ජන ශ‍්‍රැති කතාවල නාග මාණික්‍යයන් ගැන කියැවුණ ද, සැබෑ ලෝකයේ දී එබඳු මාණික්‍යයන් හමු නොවේ. නාග මාණික්‍යයන් හෝ මාණික්‍යයන් දරා සිටින නාගයන් කෙනෙක් ද නැත. මැණික් ගල් උගුරේ රඳවා ගෙන ජීවන වන නාගයන් ඇතැයි කීම, සත්ත්ව විද්‍යාඥයෝ ද ප‍්‍රතික්‍ෂේප කරති. එය හුදු ජනශ‍්‍රැති සංකල්පයක් පමණක්ම වන්නේය.

පින්තූර- ප්‍රෑන්ක් ද සොයිසා, මුෂාන් හරීම්, සහ අන්තර්ජාලයෙනි.
විශේෂ ස්තුතිය-රත්නපුරේ, ‘මිණිපුර මිණි මියුසියම්’ මැණික් කෞතුකාගාරය අධිපති, කපිල අතුරලියගම මහතාට.

(රත්නපුර නිම්නයේ නිල් මැණික් විත්ති සමාප්තයි.)



No comments:

Post a Comment