Total Pageviews

Saturday, August 8, 2015

රත්නපුර නිම්නයේ නිල් මැණික් විත්ති-01



කොරන්ඩම් පවුලේ නිල් කුමාරයා



Star of Lanka

 (ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘දියමන්ති’ හැරුණු විට, ඛනිජ ලෝකයෙහි ඇති ඉතාමත් ජනප‍්‍රිය සහ අලංකාරම ස්ථිටිකය ලෙස සැලකෙන්නේ, ‘නිල් මැණික්’ (Blue Sapphire )
ය. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙහි නියැලෙන්නන් සහ මැණික් ගැන උනන්දුවක් දක්වන සියල්ලන්ම පාහේ ‘නිල් මැණික්’ සලකන්නේ වාසනාව සහ යස ඉසුරු ගෙන එන අගනා වස්තු සම්පතක් වශයෙනි. මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රිය කරන වැඩි දෙනෙක් එය ‘මැණික් ලෝකයෙහි අග රජු’ ලෙස ද සලකති. ශ‍්‍රී ලංකාවේ භාවිතා වන ආකාරයට, ඉස්තරම් නිල් මැණික් ලෙස සැලකෙන්නේ, මොණර පිලේ ඇති අලංකාර නිල් වර්ණයෙන් යුත් මැණි ගල් ය. අනාදිමත් කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවෙන් හමු වන නිල් මැණික්. ලොව උසස්ම නිල් මැණික් ලෙස පිළිගැනේ. ජාත්‍යන්තර තලයේ දී ඒවාට හිමි වන්නේ ඉහළම තැනකි. නිල් මැණික, ශ‍්‍රී ලංකාවේ ජාතික මාණික්‍යය ද වේ. නිල් මැණික් හමුවන්නේ පොළොවෙහි ඇති ද්වීතික අවසාදිත තැන්පත් සහිත පාංශූ ස්ථරවලිනි.

‘නිල් මැණික්’ යනු ‘කොරන්ඩම්’
(Corundum පවුලට අයත් මැණික් විශේෂයකි. ස්ඵටික ගුණය අතින් ඉතා ඉහළ එයට, නිල් වර්ණය ලැබී ඇත්තේ යකඩ හා ටයිටේනියම් යන මූල ද්‍රව්‍ය දෙක අපද්‍රව්‍ය (ඔක්සයිඞඩ්) ලෙස එක්වීමෙනි. ලා වර්ණයේ සිට ඉතාමත් තද පැහැති ‘කාක නිල්’ දක්වා වෙනස් වර්ණ පරාසයන් සහිත නිල් කැට ලංකාවෙන් හමු වේ.

විද්‍යාඥයෝ ලංකාවේ හමුවන මැණික් වර්ග පවුල් 11කට බෙදා දක්වති. ඒ කොරන්ඩම්, කණක, කිරිංචි, පඩියන්, තරිප්පු, ජාගුන්, රබහ, තෝරමල්ලි, පළිඟු, පෙල්ඞ්ස්පාර් සහ කැල්සයිට් වශයෙනි. මින් නිල් මැණික් අයත් වන්නේ කොරන්ඩම් පවුලට ය. පොදුවේ ගත් කළ, ලොව නිල් මැණික් හමුවන රටවල් බොහොමයකි. ශ‍්‍රී ලංකාව, ඉන්දියාවේ කාශ්මීරය. මියැන්මාරය (බුරුමය),  ඕස්ටේ‍්‍රලියාව, තායිලන්තය, ඇමරිකාව, මැඩගස්කරය, ටැන්සානියාව, පකිස්ථානය, කෙන්යාව, ඇෆ්ගනිස්ථානය, සහ චීන යන රටවල් ඒ අතර ප‍්‍රධාන වේ. එයින් ද තත්ත්වයෙන් ඉතාමත් උසස් යයි කියන්නේ, ශ‍්‍රී ලංකාවේ නිල් මැණික් ය. ඊට අමතරව කාශ්මිරයේ නිල් මැණික් ද තත්ත්වයෙන් උසස් ලෙස පිළිගැනෙයි.

නිල් මැණික් අයත් වන කොරන්ඩම් පවුලේ ස්ඵටිකවල දැඩියාව
(Hardness) 09කි. වර්තන අංකය 1.76 -1.77කි. විශිෂ්ට ගුරුත්වය
(SG 04කි. එහි ස්ථටික පද්ධතිය අයත් වන්නේ ‘ට‍්‍රයිගනල්’ මාදිලියට ය. ආභරණ ලෙස පැළඳීම, වත්කමක් හෝ ධනයක් ලෙස තැන්පත් කර තබා ගැනීම සහ මිලෙන් වැඩි ඔර්ලෝසු නිපදවීම සඳහා ද ලොවව නිල් මැණික් භාවිතා වෙයි. ඇතැමුන් ඒවා සලකන්නේ වංශවත්කමේ හෝ ධනවත්කමේ සංකේතයක් ලෙසිනි.

මොණරපිලේ නිල
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, ඈත අතීතයේ පටන්ම අපේ ජන සමාජයෙහි නිල් මැණික් පිළිබඳ විශේෂ දැන හැඳිනීමක් සහ උනන්දුවක් තිබිණි. ඒවා පළඳනා හෝ ධන සම්පතක් වශයෙන් භාවිත වූ අතර, සමහර අවස්ථාවල දී ආගමික සහ සංස්කෘතික කාරණා සමග ද ගැට ගැසුණේ ය. අතීත ලංකාව, ‘රත්නද්වීපය’ වූයේ ද, මැණික් මතුවන පුරවරය ‘රත්නපුරය’ වූයේ ද. මේ පොළොවෙන් නිල් කැට, රතු කැට ආදී මහාර්ඝ මැණික් සම්පත් මතුවන නිසා ය. ලංකාවේ නිල් කැට, රතුකැට සහ පද්මරාග වැනි මැණික් විදෙස් රටවලට ද අලෙවි වූ බැවින් එකල විදෙස් අය පවා අපේ මැණික් ගැන දැන සිටියහ. එකල පටන්ම ඒවා ගැන විශාල ප‍්‍රචාරයක් ද තිබිණි.

අපේ ජන වහරේ එන හැටියට වඩා උසස් ලෙස සැලකෙන්නේ, ‘ඉන්ද්‍ර නීල මාණික්‍යයි’ එනම් ‘ඉඳුනිල් මැණිකයි’ සමනොළ කඳු මුදුනේ, බුදුරාජාණන් වහන්සේගේ ශ‍්‍රී පාද සටහන ද තබා ඇත්තේ සුවිසල් ඉඳුනිල් මිණක් මස්තකයේ ය. ජන වහරේ දී මේ කාරණය සඳහන් වන්නේ, බොහොම පූජනීය ස්වරයක් ධ්වනිත කරවමිනි. එසේම නාගයන්ගේ සිරුරෙහි ඇතැයි ජන ප‍්‍රවාදයේ කියැවෙන ‘නාග මාණික්‍යය’ ද නිල් මැණිකක් බව කියති. රජවරුන් පැළඳූ ඔටුනු, සිංහාසන මෙන්ම ඔවුන් භාවිතා කළ කඩු - කිනිසි, බස්තම්, සහ නොයෙකුත් අලංකරණ වැඩවලට ද නිල් කැට සහ රතු කැට යොදා ගත් බව වංශකතාවල ද සඳහන් වේ. මේවායින් පෙනී යන්නේ, අපේ රටේ අතීත ජන සමාජයෙහි නිල් මැණික් සම්බන්ධයෙන් බොහොම ගෞරවනීය ආකල්පයක් පැවති බවයි.

මැණික් මතුවන අඩවියේ ජන වහරට අනුව, ‘ඉඳුනිල් මිණ’ හෙවත් ‘ඉන්ද්‍ර නීල මාණික්‍යය’ යයි කියන්නේ ඉතා විශිෂ්ට නිල් වර්ණයෙන් යුත් නිල් මැණික් ගලකට ය. මැණික් ජන වහරේ දී එය විස්තර කෙරෙන්නේ, ‘මොණර පිලේ නිල’ යනුවෙනි. එසේ නැතිනම් ‘පළවැනි තරමේ නිල් පාට’ වශයෙනි. නිල් මැණික් ලෝලයන්ට එය ඉතා ගෞරවනීය වර්ණයකි. මැණික් මතුවන අඩවියේ මහජනයා. ‘නිල’, ‘නිල් කැල්ල’, ආදී නම්වලින් නිල් මැණික් හඳුන්වති.



 ශ‍්‍රී ලංකාව අද, ලොව තත්ත්වයෙන් උසස්ම නිල් මැණික් හමුවන රට ලෙස බුහුමන් ලබන බව, මීට පෙර ද සඳහන් කළෙමු. මේ හා බැඳුණු තවත් අතිරේක කාරණයක් ද තිබේ. එනම්, ශ‍්‍රී ලංකාව ලොව ප‍්‍රමාණයෙන් ඉතා විශාල නිල් මැණික් හමුවන රටක් වශයෙන් ද සැලකුම් ලැබීමයි.

තත්ත්වයෙන් ඉතා උසස්, ප‍්‍රමාණයෙන් ද ඉතා විශාල නිල් මැණික් ලැබීම, අතීතයේ පටන්ම පැවති කාරණයකි. ලංකා පෙළෝතලයෙන් හමු වී, ලෝක මට්ටමේ වාර්තා තබමින්, එතෙර ගිය විශාල ප‍්‍රමාණයේ නිල් මැණික් ගල් 13ක් ගැන තොරතුරු පැරණි ලේඛන, පත පොත සහ අන්තර්ජාලයෙහි එයි. නිල හෙවත් නීල මාණික්‍යය, අපේ රටේ
ජාතික මාණික්‍යය වශයෙන් පිදුම් ලැබීමට ද මේ කාරණා ඉවහල් විය. එය ප‍්‍රකාශයට පත් කිරිම නිමිත්තෙන්, 2003 වසරේ ඔක්තෝබර් මස 21 වැනි දා ශ‍්‍රී ලංකා රජය රුපියල් 4.50ක තැපැල් මුද්දරයක් ද නිකුත් කළේ ය.

පින්තූර-රත්නපුරේ මුෂාන් හරීම් සහ අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තුතිය-රත්නපුර, මිණි මියුසියම් ආයතනයේ, කපිල චම්පක අතුරලියගම මහතාට.

මීළඟට-රත්නපුර නිම්නයේ නිල් මැණික් විත්ති-02




No comments:

Post a Comment