Total Pageviews

Thursday, August 6, 2015

වෑල්ඩින් වෙද මහත්තයා ගැන ලිපියට පසු වදනක්

වෑල්ඩින් වෙද මහත්තයා ගැන ලිපියට පසු වදනක්
විශ්මිත කැඩුම්-බිඳුම් වෙදකම


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මරදන්කඩවල, දම්පැලැස්සාගම වෙසෙන ‘වෑල්ඩින් වෙදමහත්තයාගේ’ විශ්මිත කැඩුම්-බිඳුම් වෙදකම පිළිබඳ වලස්පති බ්ලොග් අඩවියේ ලිපිය, පළ වූයේ 2014 වසරේ ඔක්තෝබර් 05 වැනි දා ය. එයට අන්තර්ජාල පාඨකයන් ගෙන් ඉතා විශාල ප‍්‍රතිචාරයක් ලැබිණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇතැම් දෙනා, විවිධ ප‍්‍රශ්න ද යොමුකර තිබිණි. ඒවාට පිළිතුරක් ලෙස මෙම සටහන එක් කරන්නෙමි.
වම් අතේ මැණික් කටුව හන්දිය පීඩාවට පත්කරමින්, මා අනතුරට පත් වූයේ (පය ලිස්සා වෑන් රියෙන් ඇද වැටුණේ) 2014 වසරේ අගෝස්තු මස 15 වැනි දා පෙරවරුවේ ය. එදා සවස සිට ගමේ දේශීය වෛද්‍යවරයෙකු ගෙන්, ප‍්‍රතිකාර ගතිමි. ඔහු පැවසුවේ, මැණික් කටුව සන්ධිය කෙටී, ඇඹරී ඇති බවයි. එහෙත් සති තුනකට අධික කාලයක් ගිය ද, ඔහුගේ ප‍්‍රතිකාරවලින් නිසි සුවයක් නො වීය. එබැවින් අතේ ‘එක්ස් රේ’ ඡායාරූප ගෙන, හිතවත් බටහිර වෛද්‍යවරයෙකුට පෙන්වූයෙමි. අනතුර නිසා මැණික් කටුව සන්ධියේ එක් අස්ථියක් පිපිරී, බිඳී ඇති බව ඔහු කී ය. මා වෑල්ඩින් වෙද මහත්තයා හමු වන්නට තීරණය කළේ ඉන් පසුව ය.
 
2014 සැප්තැම්බර් 08 වැනි දා රාත‍්‍රියේ මරදන්කඩවල ගිය මට, පසුව දා (09) වෑල්ඩින් වෙද මහත්තයාගේ පුත්, රංජිත් දිසානායක වෙදැදුරාණන් හමු වීමට හැකි විය. අත පිරික්සූ ඔහු, මුලින්ම මා යොමු කළේ මහජනයා ‘වෑල්ඩින් ප‍්‍රතිකාරය’ නමින් හඳුන් වන, තෙල් ගා, සන්ධි පෑස්සීමේ ප‍්‍රතිකාරයට ය. එයින් පසුව ඔහු මට, දින 18ක ගෙල් ගා පත්තු බැඳීමේ ප‍්‍රතිකාර පන්තියක් නියම කළේ ය. ඊට අවශ්‍ය තෙල් සහ බෙහෙත් ද්‍රව්‍ය ද එතැනින්ම මිල දී ගතිමි. ඒ සඳහා රුපියල් 900ක් වැය විය. තමන් දුන් තුණ්ඩුවල සඳහන් පරිදි ප‍්‍රතිකාරය අකුරටම කරන ලෙසත්, නැවත එහි එන්නට අවශ්‍ය නො වන බවත්, රංජිත් දිසානායක වෙදැදුරාණන් කීය. යම් හෙයකින් සුවයක් නො ලද හොත් පමණක්, දින තුනක් අමු පැපොල් තම්බා බැඳ, ඊළඟ දිනයේ තමන් හමු වන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය.
 
මගේ බිරිඳත්, අම්මාත්, අයියා සහ අක්කලාත් එක්ව ප‍්‍රතිකාර මාලාව අකුරටම ඉටු කළෝ ය. දින 18ක දී එය අවසන් වන විට, අත හොඳින් සුවවී තිබිණි. 19 වැනි දිනයේ යළිත් ‘එක්ස් රේ’ ඡායාරූප ගෙන, මිතුරෙකු මගින් ගොස් කරාපිටිය ශික්ෂණ රෝහලේ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය  උමාපති මහතා හමු වූයෙමි. එහි දී වෑල්ඩින් වෙද මහත්තයා ගෙන් ප‍්‍රතිකාර ගත් බවක් නො කීවෙමි. සිංහල වෙදකම් කළ බව පමණක් පැවසුවෙමි. ‘එක්ස් රේ’ ඡායාරූප ද බලා, මගේ අත ද පරීක්ෂා කළ ඔහු පැවසුවේ, ඉතා සුළු අඩුපාඩුවක් සහිතව බිඳුණු අස්ථිය පෑහී ඇති බවයි. ‘දැන් අපට කරන්නට දෙයක් නැති බවත්, අත යළි සක‍්‍රිය තත්ත්වයට හුරු කිරීම පිණිස ව්‍යායාම ප‍්‍රතිකාරයකට යොමු කරන බවත්’, වෛද්‍ය උමාපති මහතා කීවේ ය. අනතුර ගැන විස්තර ඇසූ ඔහු පැවසුවේ, එය සිදුවූ ගමන්ම තමන් හමුවට ආවා නම්, ශල්‍යකර්මයක්කර එය සුව කරන බවයි. කෙසේ නමුත් මැණික් කටුව සන්ධියේ දැනට ඇති තත්ත්වය, අතේ සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට බාධාවක් නො වන බව ද ඔහු පැවසී ය. කලක් යන තුරු අත පරෙස්සම්කර ගැනීම වැදගත් බව ද ඔහු අවධාරණය කළේ ය. මා අසා ඇති ආකාරයට වෛද්‍ය උමාපති මහතා, අස්ථි සම්බන්ධයෙන් දැනට ලංකාවේ සිටින හොඳම වෛද්‍යවරයෙකි. අතට සිංහල වෛද්‍ය ප‍්‍රතිකාර ගත්තැයි ඔහු මට දොස් කීවේ නැත! වෛද්‍ය උමාපති මහතාගේ නිරීක්ෂණයේ අරුත, වෑල්ඩින් වෙද ගෙදර දී මට කළ ප‍්‍රතිකාරය හරියටම හරි ගිය බවයි.
 
මේ සටහන ලියන අද, 2015 වසරේ අගොස්තු මස 07 වැනි දා ය. අනතුර සිදුවී දැන් වසරකට ආසන්න ය. දැන් මගේ අත හොඳටම සුව ය. වේදනාවක් ද නැත. එහෙත් ඉන් බර දැරීම් ආදිය නො කිරීමට තවමත් පරෙස්සම් වෙමි. දැනුදු මම කල්පනා කරන්නේ, බටහිර වෙදකමෙන් ශල්‍යකර්මයකින් කළ යුතු දෙයක්, තෙල්-පත්තු බැඳීමෙන් කළ වෑල්ඩින් වෙද ගෙදර ප‍්‍රතිකාරයේ අපූර්වත්වය කොතෙක් ද? යන්නයි. මා සුවපත් කළ ඔවුන්ට පින් සිදු වේා! දිගාසිරි ලැබේවා!
 
ප‍්‍රතිකර ගැන විමසීම සඳහා වැල්ඩින් වෙද ගෙදර දුරකතන අංකයක් තිබේ. 077-3746675 වන එයට ඇමතුම් ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. සාමාන්‍යයෙන් පසලොස්වක පොහොය දින හැර, අනෙක් සෑම දිනකම එහි ප‍්‍රතිකාර කෙරේ. ඒ සඳහා මරදන්කඩවලටම යා යුතු ය.
 
මා එහි කැඳවා ගෙන ගිය ත‍්‍රී රෝද රථ රියදුරු විජේදාස හෙට්ටිආරච්චි මහතා නම්, නිතරම පාහේ ගාල්ලේ රෝගීන් රැගෙන වැල්ඩින් වෙද ගෙදර යන කෙනෙකි. ඔහු තම රථය හයර් කරන්නේ, ගාල්ල, මාපලගම පාරේ, තලගහ හන්දියට නුදුරු, නියාගම පාලම අසල ය. 077-9061586, ඔහුගේ දුරකතන අංකයයි. යම් විස්තරයක් ඔහු ගෙන් ද අසා ගත හැකි ය.   

 (2015/08/07)


(වලස්පති බ්ලොග් අඩවියේ, 2014 වසරේ ඔක්තෝබර් මාසයට ගොස් මුල් ලිපිය කියවන්න.)

2 comments:

  1. ඉතිං අත හරියටම හොඳ වෙලා නෑ නේද

    ReplyDelete
  2. 100% නිසි ලෙස සනීපවූ අය කවුරුත් නෑ, අවුට්යන අය ගණන අඩුයි, එත් අවුට් ගිය අයත් නැත්තෙමත් නෑ. අපේ රටේ ප්ලාස්ටර් /බැන්ඩෙජ් එක දිගට දින කීපයක් තියා ඉන්න බෑ, ප්ලාස්ටර් ඇතුලේ දාඩිය දානවා කසනවා, ඒ නිසා තමයි බටහිර ක්‍රමය අසාර්තක.

    ReplyDelete