Total Pageviews

Friday, August 21, 2015

ලාංකේය ජෛව සම්පත් ක්ෂේත‍්‍රයේ සමන්ත ලකුණ

ලාංකේය ජෛව සම්පත් ක්ෂේත‍්‍රයේ සමන්ත ලකුණ
 

සමන්ත ගුණසේකර
 සමන්ත ගුණසේකරගේ රේගු මෙහෙවර ගැන කතිකාවක්
 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කිසිදු අමුත්තක් නැත. එය විදේශීය මත්පැන් බෝතලයකි. වෙනසකට තිබුණේ, මැරුණු ‘නාගයෙකු’  ඒ තුළ බහා තිබීමයි. නාගයා ලාංකිකයෙකි! 


‘ලංකාවෙන් නයි ගෙනියන එක තහනම්. ඉතින් අපි ඒ විදේශිකයාට දඩ ගැහුවා. එයා හිතුවා දඩේ ගෙව්වාම මේක අරන් යන්න පුළුවන් කියලා. ඒක කරන්න බෑ. පස්සේ ඔහු බෝතලය ඉල්ලලා ඇඬුවා’, සමන්ත ගුණසේකරයන් පැවසුවේ ‘නයි මත්පැන්’ බෝතලය මට පෙන්වමිනි.
 
එය 1990 දශකයේ දිනයකි. එකල ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පිහිටියේ, කොළඹ, කොටුවේ බි‍්‍රස්ටල් වීදියේ පැරණි ‘ටයිම්ස්’ ගොඩනැගිල්ලේ ය. එහි පහත මහලක ඔහුගේ කාර්යාලය පැවති අතර, එකල එය ශ‍්‍රී ලංකා රේගුවේ ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ ලෙස හඳුන්වනු ලැබී ය. සමන්ත එහි ප‍්‍රධානියා ය. එවකට හෙතෙම රේගු අධිකාරීවරයෙකි. ලංකාවේ ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීම එයට පැවරී තිබිණි. එහි දී අත්අඩංගුවට ගත් විවිධ විසිතුරු දේවල්වලින් ඔහුගේ කාර්යාලයේ අල්මාරි පිරී පැවතිණි. ‘නයි මත්පැන් බෝතලය’ ද ඉන් එකකි. ජෛව සම්පත් ජාවාරමේ වැටලීම් පිළිබඳ තොරතුරු ගැනීම පිණිස නිතර එහි යන මාධ්‍යකරුවන්ට, සමන්ත ඉතා හොඳ මිතුරෙකු විය. ලියුම්කරු ද ඔහු හඳුනා ගන්නේ ‘ජෛවවිවිධත්ව ආරක්ෂණ ඒකකය’ නිසා ය.
 
 
කොතලහිඹුටු වැටලීම
සමන්ත ගුණසේකර ‘අරුම පුදුම’ මිනිසෙකි. ඔහු කොළඹට නුදුරු දෙහිවල උපන්නේ ය. දෙහිවල මැදි විදුහලින් සිප්සතර හදාරමින්, ජාතික සත්ත්වෝද්‍යානය ආශ‍්‍රිතව පිහිටි, ‘තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය’ ඇසුරේ යෞවනය ගෙවා දැමුවේ ය. ඉක්බිති ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට බැඳෙන හෙතෙම, ටික කලක දී තම උපන් බිමට එරෙහි ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීමේ රේගු කටයුත්ත සියතට ගනියි. ඉන් පසුව ඒ ස`දහා රේගුව තුළ, ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ බිහි කිරීමට ද ඔහු පුරෝගාමී වන්නේ ය. එය මහත් අපූර්ව කාරණයකි. සමන්තලා බිහි කළ නව ඒකකය, රටක ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීම සඳහා, රේගුවක් ඇතුළේ බිහි කෙරුණු ලොව ප‍්‍රථම ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ වීම, ඊට හේතුවයි. එසේම ‘හරිත රේගුවක්’ පිළිබඳ සංකල්පය ලෝකයට හඳුන්වා දුන් ප‍්‍රථම අවස්ථාව ද එය වෙයි. එතැන් පටන් ඔහු ජෛව සම්පත් ජාවාරම්කරුවන් සමග යුද වදියි. ඔවුන්ගේ අංක එකේ ‘සතුරා’ බවට පත් වෙයි. එහෙත් සිය විෂය සම්බන්ධයෙන් අත්පත්කර ගත් අපරිමිත දැනුම් සම්භාරය හේතුවෙන්, ජාවාරමුන්ට සමන්ත ගුණසේකර නමැති දෑ හිතකාමී රේගු නිලධාරියා යටපත්කර දමන්නට නො හැකි වෙයි. 37 වසරක රේගු සේවය නිමවා, 2015 මාර්තු 31 වැනි දා නිහඬව විශ‍්‍රාම යන තෙක්ම ඔහු ඒ සටනේ පුරෝගාමියෙකි. ඔහුගේ ‘අරුම පුදුම’ දිවි සැරිය, මේ සටහනට නිමිත්තයි.

හෘදයංගම පරිසරවේදියා

පුරා වස්තු වැටලීම්
දිනය සහ වේලාව, හරියටම 2015 මාර්තු 31 වැනි දා දහවල් ය. එවේලේ කිසියම් කරුණක් විමසීම පිණිස ලියුම්කරුට සමන්ත ගුණසේකරයන් මතක් විය. ඉකුත් දින කීපයේම ඔහුගේ ජංගම දුරකතනය අක‍්‍රියව පැවතුණ ද, ‘ඉරුදින’ කන්තෝරුවේ දුරකතනයෙන් සමන්ත ඇමතුවෙමි. එහෙත් ඔහුගේ දුරකතනය තවමත් අක‍්‍රිය ය. බැරිම තැන, අප හිතවත් පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට අමතා සමන්ත ගැන විමසුවෙමි. ‘සමන්ත අද පැන්ෂන් යනවා නේ. අද කස්ටම් එකේ පොඩි උත්සවයක්. මමත් එතැන ඉන්නේ. දැන් නම් කොහොමත් පෝන් එක  ඕෆ්කර ගෙනයි ඇත්තේ’, ජගත් ගුණවර්ධන මහතා කීවේ ය.
 

 ‘සමන්ත පැන්ෂන් යනවා!’ එය ඇදහිය නො හැකි තරමේ ආරංචියක් වැන්න. රේගුවේ කළ රැකියාවෙන් ඉසිඹු ලෑව ද, ඔහුවන් හෘදයංගම පරිසරවේදියෙකුට ගහ කොලට, සතා සීපාවාට, පරිසරයට බැඳි පෙම අත්හැරිය හැකි ද? එය කොහෙත්ම කළ නො හැක්කක් බව, ලියුම්කරුගේ විශ්වාසයයි. අප දන්නා කියන සමන්ත ගුණසේකර, ඒ සැම දෙයක් සමගම, ගහට-පොත්ත මෙන් බැඳී සිටියේ ය.
 

සමන්ත පමණක් නොවේ. ලියුම්කරුගේ පත්තර කලා ජීවිතයේ දී එබඳු පරිසර මිතුරන් කිහිප දෙනෙකුම හමුවී තිබේ. ඉන් මුල්ම මිතුරා, ලලිත් ගමගේ (වර්තමානයේ අනුරාධපුර දිසා වන නිලධාරී) සොහොයුරා ය. ඊළඟට, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. අනෙකා, බන්දුරංග කාරියවසම් මිතුරා ය. සමන්තත්, මේ කියන අනෙක් පරිසර මිතුරනුත් සම්බන්ධයෙන් මහා පොදු ලක්ෂණ කිහිපයක් තිබේ. ගහ කොලට, සතා සීපාවාට, පරිසරයට අපරිමිත ලෙස ඇලූම් කිරීම සහ ඒ උරුමයන් සුරැකීම වෙනුවෙන් දිවි හිමියෙන්ම කැපවී සිටීම, ඉන් ප‍්‍රමුඛතම ලක්ෂණයයි. අනෙක, අවශ්‍ය අවස්ථාවන්හි දී තමන් සතු දැනුම නිර්ලෝභීව බෙදා දෙන්නට තරම් නිහතමානී වීමයි. එසේම ඔවුහු, කිසි කලෙකත් මුදල් හෝ ධන සම්පත්වලට පරිසරය පාවා නො දීමේ මහරු ගුණය ද ප‍්‍රගුණකර ගෙන සිටිති! එබැවින් ලියුම්කරුගේ 26 වසරැති පත්තර කලා ජීවිතයේ දී හමුවූ අනේක විධ පරිසර මිතුරන් අතර, ඔවුහු කැපී පෙනෙති. පරිසර වැඩවල දී ඔවුන් එකට වැඩ කරන්නෝ ය.


සමන්තගේ මුල්ම පාරිසරික එළඹුම, දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය ආශ‍්‍රිතව පිහිටි, ‘තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය’ (
YZA’)නමැති ස්වේච්ඡා සංවිධානයයි. 1972 වසරේ ඇරඹුණු එහි විෂය වුයේ වන සතුන් පිළිබඳ විද්‍යාත්මක ගවේෂණ පැවැත්වීමයි. ඒ සමගම තරුණ කණ්ඩායම් ඒ සඳහා පුහුණු කිරීමයි. ඊට එක් වුණු පිරිස අතර එකල, ජගත් ගුණවර්ධන (පසුව පාරිසරික නීතිඥ), පෝල් මැනුවෙල්, සමන්ත ගුණසේකර (පසුව නියෝජ්‍ය රේගු අධිකාරී), සංජීව ප‍්‍රභර්ෂණ රන්වැල්ල (පසුව අභාවප‍්‍රාප්ත, වෛද්‍ය), ශාන්ත ජයවීර, අශෝක ගුණතිලක, ප‍්‍රසන්ත ජයසේකර, ලලිත් ගමගේ (පසුව දිසා වන නිලධාරී), නයනක රන්වැල්ල (පසුව මාධ්‍යවේදී) ඇතුළු විශාල කණ්ඩායමක් සිටියහ. ඔවුහු සිය අධ්‍යයන කටයුතු මැනවින්කර ගෙන ගියහ.

 

 
ඇත් දළ තොගය


මේ අතර ඔවුන්ට එක්තරා ආරංචියක් ලැබිණි. ඉන් කියැවුණේ, ලංකාවේ මිරිදිය මසුන්, ජලජ පැළෑටි වර්ග සහ ගිරවුන් හොර රහසේම එතෙර යැවීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවයි. තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ පිරිස වහාම මේ ගැන සොයන්නට ද, ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ගැන රහසින් තොරතුරු රැස් කරන්නට ද පටන් ගත් හ. මේ අතර, 1978 වසරේ දී සමන්ත දෙවැනි ශේණියේ නිලධාරියෙකු වශයෙන් ශ‍්‍රී ලංකා රේගුවට බැඳුණි. මෙසේ ලැබෙන තොරතුරු රේගු රාජකාරියේ දී ඔහුට මහත් පිටුවහලක් විය.

 
කෙසේ වෙතත්, රේගු රාජකාරියේ දී කළ-එළි බැස්සේ නිකම්ම සමන්ත ගුණසේකර කෙනෙක් නොවේ! තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයෙන් දුන් දැනුමෙන් ද, අත්දැකීම්වලින් ද, පරිසරකාමයෙන් ද හික්මවනු ලැබූ තරුණ රේගු නිලධාරියෙකි. එය පරිසර ක්ෂේත‍්‍රයේ අනේක විධ සොඳුරු සහ කටුක නිම්නයන් ඔස්සේ පා සටහන් ඇඳෙන, දීර්ඝ චාරිකාවක ආරම්භයක් විය. එහි ප‍්‍රථම කඩඉම, වර්ෂ 1981 දී අනවසරයෙන් පිට රට යවන්නට ගිය ‘දෙපුල්ලියා’ (puntius Cumingii) නම් මිරිදිය මසුන් තොගයක් ඔහු විසින් අත්අඩංගුවට ගැනීමයි. ඒ වන විට ක‍්‍රියාත්මක වෙමින් පැවති 1940 අංක 24 දරණ ධීවර ආඥා පනතට අනුව, බුලත් හපයා, ලේ තිත්තයා, හල්මල් දණ්ඩියා, දෙපුල්ලියා, සහ පුලූට්ටා (තල් කොස්සා) යන දේශීය මිරිදිය මසුන් අනවසරයෙන් අපනයනය කරන්නට නුපුළුවන. ඒ ගැන නො තකමින්  දෙපුල්ලියන් අපනයනය කරන්නට තැත්කර තිබුණේ, ‘පර්ල් අයිලන්ඩ් ඇක්වටික්’ නමැති පෞද්ගලික ආයතනයකි.
 

දෙපුල්ලියන් පිළිබඳ සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ ය. මිිරිදිය මසුන් පිට රට යවන සමාගම් කලබල වූහ. ‘කස්ටම් එක තියෙන්නේ මාළු අල්ලන්න ද?’ යයි කියමින් සමන්තගේ වැටලීම හෑල්ලූ කළහ. දෙපුල්ලියන් තොගයට එකල රුපියල් 2000ක රේගු දඩයක් පැන විණි. මසුන් රාජසන්තක කෙරිණි. දෙපුල්ලියන් අත්අඩංගුවට ගැනීම, ලංකාවේ ජෛව සම්පත් හොරෙන් පිට රට යැවීමේ ජාවාරමට එරෙහිව වැට බඳින්නට මුල් වුණු ප‍්‍රථම සිද්ධිය බවට පත් විය.

 
මේ අතර, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ, ශාන්ත ජයවීර, නීතිඥ ජගත් ගුණවර්ධන, අශෝක ගුණතිලක යන මහත්වරු, ලංකාවේ මිරිදිය මසුන් හොරෙන් අපනයනය කිරීම ගැන තවදුරටත් අධ්‍යයනය කරන්නට වූහ. 1980 දශකය මැද භාගය වන විට, අපනයනය තහනම් නැති රෑන ගිරවුන් සමග කලවම් කොට, ලංකා ගිරා මලිත්තන් (Ceylon Loriket) සහ ලංකා අළු ගිරවුන් (Layad’s Parakeet), හොරෙන් පිටරට යවන බව තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයින්ට වැටහිණි. සංගමයේ සාමාජිකයෙක් එංගලන්තයේ දී උන් විකිණීමට තබා ඇති බව සියැසින් දැක තිබිණි! ඔවුහු වහාම මේ කාරණය, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවට (වත්මන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව) දැන් වූහ. එහෙත් ප‍්‍රතිචාරයක් නො වීය. කෙසේ වෙතත් තරුණ රේගු නිලධාරී සමන්ත ගුණසේකරයන්, සිය පරිසර මිතුරන් හා එක්ව ජාවාරම දෙස සිය උකුසු ඇස යොමුකර ගෙන සිටියේ ය. ඒ අතර ලංකාවේ දේශීය මිරිදිය මසුන්, තහනම් පක්ෂීන්, ආවේණික ජලජ පැළෑටි ආදිය හොරෙන් පිට රට යැවීමේ ජාවාරමට එරෙහිව, පරිසර සංවිධාන අතර සංවාදයක් ද ඇති විය. තොරතුරු සෙවීමේ ප‍්‍රයත්නයන් ද දක්නට ලැබිණි. සමන්ත ද එහි සහෘදයෙක් වූයේ ය. අවසානයේ ඔවුන්ට අවබෝධ වූයේ, ලංකාව ක‍්‍රමයෙන් ජාත්‍යන්තර ජෛව සම්පත් ජාවාරමට බිලි වෙමින් යන බවයි!
 
 
ගොඩවායේ රේගුව

ලංකාවේ රේගු ක‍්‍රියාවලිය බොහොම පැරණි ය. එය අම්බලන්තොට, වලවේ ගඟේ මෝය ආශ‍්‍රිතව පැවති ඉපැරණි ‘ගොඩවාය ජාත්‍යන්තර වරාය’ තෙක් දිවෙයි. ගොඩවාය වරාය ඇරඹී ඇත්තේ, මාගම රාජධානිය පැවති ක‍්‍රිස්තු පූර්වයෙන් 02-03 වැනි සියවස්වල දී ය. එකල ගොඩවාය වරාය ඔස්සේ රටින් පිට කෙරෙන භාණ්ඩවලට ද, රටට ගෙන එන භාණ්ඩවලට ද, බදු අය කෙරිණි. ඒ බව ගොඩවායේ ඇති සෙල් ලිපි දෙකකින් ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1990 දශකයේ කළ පර්යේෂණවලින් ද, තහවුරු විය. බදු අයකිරීම පිණිස එකල මුලාදෑනීන් ද පත්කර තිබිණි. මෙය ලාංකේය රේගු ක‍්‍රියාවලියේ ප‍්‍රාථමික අවස්ථාවක් බව, වර්තමාන රේගු නිලධාරීන්ගේ පිළි ගැනීමයි. යටත් විජිත පලන සමයේ දී රේගු ක‍්‍රියාවලිය පැවතුණේ, ‘රේන්ද තොටුපොළවල්’ වශයෙනි. පසුව වර්ෂ 1815 දී, බි‍්‍රතාන්‍ය පාලනය යටතේ ලංකාවේ ප‍්‍රථම රේගු ආඥා පනත බිහි විය. ඒ සමගම විධිමත් රේගු යාන්ත‍්‍රණයක් ද ඇති කෙරිණි. ආනයන සහ අපනයන පාලනය කිරීමෙන් රටට ආදායම් ගැනීමත්, රටේ සම්පත් සහ උරුමයන් ආරක්ෂාකර ගැනීමත්, රේගුවේ පරමාර්ථයයි.

 
 
රෝස් වුඩ් පරීක්ෂා කරමින්
අතීතයේ අපේ රටින් අපනයනය කෙරුණු භාණ්ඩ අතර, මුතු-මැණික්, අලි-ඇතුන් සහ ඇත් දළ, කුරුඳු සහ ගම්මිරිස් ආදිය ද විය. ඒ අතර, අලි-ඇතුන් සහ ඇත් දළ ආදිය අපනයනය කිරීම, වර්තමාන ජෛව සම්පත් ජාවාරමෙහි මූලාරම්භක අවස්ථාව බව පරිසරවේදීන්ගේ පිළි ගැනීමයි. රේගු ආඥා පනතින් පසුව, වනාන්තර සහ වනජීවීන් ආරක්ෂා කිරීම පිණිස තවත් අණ-පනත් බිහි විය. 1912 වසරේ එළි දුටු රේගු ආඥා පනතින්, මොණරා, සැළලිහිණියා සහ වලි කුකුළා යන පක්ෂීන් ආරක්ෂා කිරීමටත්, උන් පිටරට යැවීම තහනම් කිරීමටත්, නීති පැන විණි. එය වනජීවීන් පිටරට යැවීමට එරෙහිව පැනවුණු මුල්ම රේගු පනතයි. ඊට පසුව ද රේගු ක‍්‍රියාවලියට බලපාන අණ-පනත් ගණනාවක්ම පැනවිණි. රේගු ආඥා පනතට අමතරව, 1968 ආනයන හා අපනයන පාලක පනත, 1993 අංක 49 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත, 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් ආඥා පනත, 1999 අංක 35 දරණ පැළෑටි ආරක්ෂා කිරීමේ පනත, සත්ත්ව නිරෝධායන පනත සහ වන ආඥා පනත යන අණ-පනත් ඒවා අතර වෙයි. රේගු ආඥා පනතේ 12 වැනි වගන්තිය අනුව, යම් රාජ්‍ය පනතකින් ආනයන-අපනයන කටයුතු තහනම්කර ඇති හෝ පාලනයකර ඇති  ඕනෑම අවස්ථාවක, එම පාලන නීති ක‍්‍රියාත්මක කිරීමේ බලය ද රේගුවට පැවරෙයි. ජෛව සම්පත් ජාවාරමට එරෙහි සමන්තගේ දීර්ඝ චාරිකාව, මේ සියලූ අණ පනත් ඔස්සේ වැටී තිබුණේ ය.
 

දෙපුල්ලියන් පිළිබඳ සිද්ධියෙන් පසුව සමන්ත කළේ, ලංකාව බිලි වෙමින් යන ජෛව සම්පත් ජාවාරම ගැන මැනවින් හැදෑරීමයි. ඉන් පසුව ඔහු සිය ප‍්‍රධානීන් හමුවේ ඒ ගැන කරුණු දැක්වී ය. ඉන් රටට ඇති වන අනතුරත්, ජෛව සම්පත්වලට වන හානියත්, පෙන්වා දුන්නේ ය. එහි දී ඔහු යෝජනා කළේ, නීති විරෝධීව කෙරෙන ජෛව සම්පත් ජාවාරම පාලනය කිරීම සඳහා රේගුව තුළ වෙනම ඒකකයක් පිහිටු විය යුතු බවයි.

එසේ වුව ද, ඒ වන විටත් දේශීය මිරිදිය මසුන් විදෙස්ගත කරන වෙළෙඳ සමාගම් පැවසුවේ අපූරු විවේචනයකි. ස්වභාවික පරිසරයේ දේශීය මිරිදිය මසුන්  ඕනෑ තරම් සිටින බැවින්, උන් අපනයනය කිරීමෙන් ගැටලූවක් ඇති නො වන  බවයි. මෙහි දී ධීවර අමාත්‍යංශය සිටියේ දැඩි පිළිවෙතක ය. ඔවුුන් පැවසුවේ, බලපත‍්‍ර නැතිව මිරිදිය මසුන් අපනයනය කළ හැකි උපරිම කාලය තුන් මසක් පමණක් බවයි. ඉන් පසුව ඒ සඳහා අවසරපත් ගත යුතු බවටත්, රටේ නීතිවලට අනුගත විය යුතු බවටත්, කොන්දේසි පැනවිණි.
 

මේ අතර, ජාත්‍යන්තර ‘සයිටීස්’ (CITIES) සම්මුතිය ගැන දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සමුළුවක්, 1993 වසරේ ශ‍්‍රී ලංකාවේ දී පැවැත් විණි. සම්මුතියට අත්සන් කළ රටවල් 103ක නියෝජිතයන් එයට එක්ව සහභාගි වූහ. සමන්ත සමුළුවට පැමිණි විදේශීය විද්වතුන් ද මුණ ගැසුණු අතර, ලංකාව ජෛව සම්පත් ජාවාරමට එරෙහිව වැඩ කරන ආකාරය ගැන ඔවුන් දැනුවත් කළේ ය. සමුළු නියෝජිතයන් රේගුවට ද පැමිණි අතර, සමන්ත ගුණසේකර මහතා පවසන ආකාරයේ රේගු ඒකකයක් නිර්මාණය කිරීම යහපත් දෙයක් යයි, ඔවුහු ද අවධාරණය කළහ.

 
එකල රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ, පී. වීරසේකර මහතා ය. මේ සියලූ තත්ත්වයන් සලකා බැලූ ඔහු ද, සෙසු ඉහළ නිලධාරීන් ද, සමන්තගේ යෝජනාව පිළිගත්හ. ඉන් පසුව, ශ‍්‍රී ලංකා රේගුවේ ‘වනජීවී කාර්යසාධක බලකාය’ නමින් නව ඒකකය ඇරඹිණි. සමන්ත එහි ප‍්‍රධානියා ලෙස පත් කෙරිණි. 1997 වසරේ එහි නම ‘ජෛව විවිධත්ව කාර්යසාධක බලකාය’ යනුවෙන් වෙනස් කෙරිණි. එයින් කෙරුණු වැටලීම් නිසා එය ඉතා ඉක්මණින්ම ජනප‍්‍රිය විය. 1998 වසරේ දී එහි නම යළිත් වෙනස්වී, ‘ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය’ බව පත් විය. ඒ වන විට ‘රේගු අධිකාරී’ තනතුරට උසස් වීම් ලබා සිටි සමන්ත ගුණසේකර මහතා එහි ප‍්‍රධානියා ලෙස පත් කෙරිණි. පසුකාලීනව එය, ශ්‍රී ලංකා රේගුවේ ‘ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරැමයන් සුරැකීමේ අංශය’ ලෙස නාමකරණය කෙරිණි.
 

ලොව කැළඹූ වැටලීම්

නව ඒකකය ඔස්සේ සමන්තලා කළ වැටලීම් සංඛ්‍යාව දහස් ගණනකි. ඉන් කිහිපයක් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙයි.

වැහි ලිහිණි කූඩු

වැහි ලිහිණියන් හෙවත් ‘කැදලි තුරීත’ පක්ෂීන්ගේ කූඩු කඩා, පිටරට යැවීම ද හොර ජාවාරමකි. ජාවාරම්කරුවන් උන්ගේ කූඩු රැස් කරන්නේ, ඒවා කඩා පැටවුන් විනාශ කිරීමෙනි. එය කැදලි තුරීත පක්ෂීන් වඳවී යාමට හේතුවකි. කැදලි තුරීත කූඩුවලින් සාදන සුප් වර්ග පානය කිරීමෙන්, වාජීකරණ ශක්තිය ඇති වන බවට ඇතැම් රටවල අය විශ්වාස කරති. එබැවින් එතෙර රටවල එය මිල අධික ආහාරයකි. 1995 වසරේ අප‍්‍රියෙල් මාසයේ 09 වැනි දා සමන්තලාගේ ඒකකය මගින් හොර රහසේම සිංගප්පූරුවට යවන්නට උත්සාහ කළ කැදලි තුරීත කූඩු කිලෝග‍්‍රෑම් 44ක් අත්අඩංගුවට ගත්හ. එවකට එහි වටිනාකම රුපියල් පණස් ලක්ෂයකි. මේ සඳහා රේගු නිලධාරීහු රුපියල් ලක්ෂ 149ක දඩයක් පැන වූහ. පසුව අපනයනකරුවා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනා කළ අතර, එහි දී රේගු දඩය රුපියල් ලක්ෂය දක්වා අඩු කෙරිණි. එම තීරණය එකල මහත් ආන්දෝලනයට ද තුඩු දුන්නේ ය.

කොතලහිඹුටු කොල්ලය

1998 වසරේ ජූනි මස 22 වැනි දා ඔවුහු ජපානයට හොරෙන් අපනයනය කරන්නට ගිය ‘කොතලහිඹුටු’ ඔසු තොගයක් අත්අඩංගුවට ගත්හ. සමන්ත ගුණසේකරයන්ගේ ප‍්‍රධානත්වයෙන් වැටලීම කෙරුණු අතර, ඔසු තොගයෙහි බර මෙටි‍්‍රක් ටොන් 4.14කි. එය එතරම් විශාල කොතලහිඹුටු තොගයක් රේගු අත්අඩංගුවට පත්වූ ප‍්‍රථම අවස්ථාව ද විය. ඒවා වහාම තහනම් කෙරිණි. මින් ඉතා ශෝචනීය කාරණයක් හෙළිදරව් විය. ලංකාවෙන් හොරෙන් යැවෙන කොතලහිඹුටු මගින්, ජපානයේ දී දියවැඩියා රෝගය පාලනය කරන ඔසුවක් නිපදවා ඇති බව, ඒ කාරණයයි. සිද්ධියට සම්බන්ධ ජපාන සමාගමේ අය, ඒ සඳහා පේටන්ට් බලපත‍්‍ර ද ලබා ගෙන ඇතැයි විමර්ශනවලින් අනාවරණය කෙරිණි. කොතලහිඹුටු (Salacia reticulata) දේශීය වෛද්‍ය ක‍්‍රමයේ දී රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම පිණිස යොදා ගන්නා ඖෂධයකි.
 

කොතලහිඹුටු සිද්ධිය රට පුරා පරිසර ක්ෂේත‍්‍රයේ පුළුල් ආන්දෝලනයකට මග පෑදී ය. ලංකාවේ දේශීය ඖෂධ ශාක මෙන්ම, ඒවා සමග බැඳුණු පාරම්පරික වෛද්‍ය දැනුම ද, හොරෙන් විදෙස්ගතකර  පේටන්ට් බලපත‍්‍ර ගැනීමේ කූට ජාවාරමක් ඇති බව  ඉන් තහවුරු කෙරිණි. ජාවාරම ගැන මුලින්ම රටට හෙළි කළේ, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. ඒ වන විටත්, ‘පස් පංගුවට’ යොදා ගන්නා ඖෂධ ද ඇතුළුව දේශීය ඖෂධ රැසක්ම ජාවාරමට බිලිවී තිබිණි. ලංකාවෙන් හොරෙන් රැගෙන ගිය ඖෂධීය ශාක සහ සතුන් සම්බන්ධයෙන්, ‘නව ඖෂධ’ නිපදවීමේ පේටන්ට් බලපත‍්‍ර වැඩිපුරම ලබා ගෙන තිබුණේ ඇමරිකාව සහ ජපානය යන රටවල් ය. ඖෂධීය ශාකය ලංකාවේ වුව ද, යමෙක් ඉන් ඖෂධ නිපදවීමේ පේටන්ට් බලපත‍්‍ර ගත හොත්, එහි අයිතිය ඇත්තේ ඔවුන්ට ය. ලංකාවේ අය එයින් ඔසු නිපදවනවා නම්, පේටන්ට් බලපත‍්‍ර හිමිකරුවන්ට මුදල් ගෙවිය යුතු ය! ඉන් රටට ඇති වන අනතුර වැටහුණු සමන්ත ගුණසේකර මහතා, තම ඒකකය යොදවා ජාවාරම පසුපස හඹා ගියේ ය. එහි දී ලංකාවට ආවේණික දිවි මකුළුවන්, සමනලයන්, කූඩැල්ලන් ආදී සතුන් ද, ජාවාරමට බිලිව ඇතැයි අනාවරණය විණි.

කෙකටිය ටොන් එකහමාරක්

‘කෙකටිය’ (Aponogeton sp.) වූ කලී, ලංකාවේ ඇල දොළ සහ ගංගා ආදියෙහි හමු වන අලංකාර ජලජ පැළෑටියකි. එය විසිතුරු මසුන් ඇති කරන්නන් අතර බෙහෙවින් ජනප‍්‍රිය ය. අපේ රටේ කෙකටිය විශේෂ තුනක් හමු වේ. ඉන් දෙකක් ලංකාවට ආවේණික ය. ඒවා වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබේ. 2002 වසරේ ජූලි මස 18 වැනි දා ඔවුහු අනවසරයෙන් පිටරට යවන්නට ගිය ‘කෙකටිය බල්බ’ කිලෝග‍්‍රෑම් 1500ක තොගයක් අත්අඩංගුවට ගත්හ. ඒවා පෙට්ටි 90ක අසුරා තිබිණි. අපනයනකරු තම ලිපි ලේඛණ මගින්, ඒවා ‘පිටරට යවන්නට තහනම් නැති කෙකටිය විශේෂයක්’ ලෙස හඳුන්වා තිබිණි. එහෙත් සමන්තගේ හඳුනා ගැනීම වූයේ, ඒවා අපනයනය තහනම් කෙකටිය විශේෂයක් බවයි. අවසන, කෙකටිය සාම්පල් පේරාදෙණිය උද්භිද උද්‍යානයට යැවූ අතර, එහි අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කළ පර්යේෂණයකින් ‘ඇත්ත කතාව’ අනාවරණය විය. කෙකටිය තොගය නිසැකවම ‘පිටරට යවන්නට තහනම්’ විශේෂයක් බව ඔහු හඳුනා ගෙන තිබිණි. මේ අතර එවකට පැවති රජයේ ඇමතිවරයෙකු සහායකර ගත් අපනයනකරු, රේගු තහනමේ පැවති කෙකටිය තොගය පිටරට යැවීමට සමත් විය. ඉන් නොනැවතී, සමන්ත ගුණසේකර මහතා තමන් ගෙන් අල්ලස් ඉල්ලූවේ යයි පැමිණිල්ලක් ද කළේ ය. පසුව ඔහු වරදකරු වූ අතර, රුපියල් 15,03,058ක රේගු දඩයකට යටත් කෙරිණි. සමන්ත චෝදනාවලින් නිදහස් විය. අපනයනකාර ව්‍යාපාරිකයා ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ පියෙකි.

 ඇත් දළ සහ රෝස් වුඞ්

2012 වසරේ දී සමන්තලා තවත් අපූරු වැටලීමක් කළහ. ඒ, කෙන්යාවේ සිට ඩුබායි දක්වා නැවකින් ප‍්‍රවාහනය කරමින් තිබුණු ටොන් එකහමාරක ‘ඇත් දළ’ තොගයක් අත්අඩංගුවට ගැනීමයි. එයට ඇත් දළ 359ක් ඇතුළත් විය. ජාත්‍යන්තර ‘සයිටීස් සම්මුතිය’ අනුව ඇත් දළ ප‍්‍රවාහනය තහනම් කටයුත්තකි. තොගයෙහි දල වටිනාකම රුපියල් කෝටි 36ද ඉක්ම වීය. ඒවා වහාම රාජසන්තක කෙරිණි. එය රේගු අත්අඩංගුවට පත්වූ ලොව විශාලතම ඇත් දළ තොගයයි!

මැඩගස්කර් සහ අප‍්‍රිකානු රටවල වැවෙන ‘රෝස් වුඩ්’ යනු, ලොව මිල අධිකම දැව වර්ගයයි. එය භාවිත කරන්නේ ලොව ඉහළම ධනවතුන්ගේ මන්දිරවල ගෘහ භාණ්ඩ තැනීම පිණිස ය. තද රෝස පැහැති එය අතිශයින්ම අලංකාර දැවයකි. 2014 වසරේ අප‍්‍රියෙල් 02 වැනි දා, අනවසරයෙන් ප‍්‍රවාහනය කළ ලොව ලොකුම ‘රෝස් වුඩ්’ තොගය අත්අඩංගුවට ගැනීමට සමන්ත ගුණසේකර ඇතුළු පිරිස සමත් වූහ. එහි බර මෙටි‍්‍රක්ටොන් 420කි. වටිනාකම දල වශයෙන් රුපියල් කෝටි 4000කට අධික ය. කොළඹ වරායේ දී රේගු අත්අඩංගුවට ගැනෙන විට, රෝස් වුඞ් තොගය මැඩගස්කර් සහ ටැන්සානියා යන රටවල් හරහා හොංකොං වරාය වෙත ප‍්‍රවාහනය කෙරෙමින් තිබුණේ ය. දැව තොගය තහනම් කෙරිණි.

ශ‍්‍රී ලංකා රේගුව, 2014 ජූලි මස 14 වැනි දා කොළඹ, කොටුවේ, නව ගොඩනැගිල්ලට ගෙන යනු ලැබිණි. එදිනම එහි නව රේගු කෞතුකාගාරයක් ද විවෘත කෙරිණි. ගොඩවාය පැරණි වරායේ පටන් ගොඩ නැගෙන ලාංකේය රේගු ඉතිහාසය එයට ගොනු කරමින්, කෞතුකාගාරය බිහි කරන්නට සමන්ත ගුණසේකරයන් ද ඉහළම දායකත්වයක් දුන්නේ ය.

 

රෝස් වුඩ් පරීක්ෂණය
 සමන්ත රේගු සේවයෙන් විශ‍්‍රාම ගැනීම නිමිත්තෙන්, 2015 මාර්තු 31 වැනි දා පැවති චාම් උත්සවයට ‘TRIBUTEZ’ නමින් සමරු කලාපයක් ද නිකුත්කර තිබිණි. ඔහුගේ රේගු සහෘදයෙකු වන රංජිත් ලමාහේවා (රේගු අධ්‍යක්ෂක-ප‍්‍රාදේශීය) මහතා, එහි ලියා ඇති සඳහනක කොටසකින් සමන්තගේ දිවි සැරිය ගැන සටහන අවසන් කරමි.
 
‘... ඉතා සුළුවෙන් පරිසර ලැදියෙක් ලෙස ගමන ආරම්භ කළ ඔබ, අද පැමිණ ඇත්තේ ඉතා දිගු ගමනකි. ඔබ ගෙන් අපගේ දෙපාර්තමේන්තුවට හා අප රටට දැයට ඉටුවූ සේවාව මුළු රටම දැන් දනී. එහෙත් සමහර නිවටයන් ඔබගේ ගමනට අකුල් හෙලූ බව ද මම දනිමි. එම බාධක සියල්ල මැඩ ගෙන අද ඔබ ලත් විජයග‍්‍රහණය මේ මොහොතේ මා සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි. එම නිවටයන් හට අද දින ඔබ නිසි පිළිතුරු ලබා දී ඇත. කුඩා මිනිසෙකු වුව ද ඔබ ක‍්‍රියාවෙන් පතාක යෝධයෙකි. ඉදින් පිය සබඳ, ඔබ විසින් අප දැයට කරන ලද මහඟු සේවය මෙවැනි හදිසි කෙටි සටහනකින් පවසිය නො හැකි ය...‘ඔබ අප දේශයේ උරුමයන්ගේ අව්‍යාජ මුරකරුවාණන් ය’.
 
2015/08/22.

1 comment:

  1. එවන් නිලදරුවන් රටට වාසනාවන්... අපගේ උත්තමාචාරය ඔහුට..!! ඔහු ගැන ඉදිරිපත් කල ඔබට..
    ජයවේවා..!!

    ReplyDelete