Total Pageviews

Monday, August 3, 2015

ලංකාවේ රථ ගාය නගී!

ලංකාවේ රථ ගාය නගී!

 (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

ශ‍්‍රී ලංකාව මෝටර් රථ වාහන අතින්, ඉහළම තත්ත්වයට ළඟා වෙමින් පවතියි. 2009 වසරේ දී රට වැසි සෑම පුද්ගලයන් 05 දෙනෙකු ගෙන් එක් අයෙකුටම, කුමක් හෝ මෝටර් වාහනයක් හිමිව තිබිණි. 2014 වසර වන විට එය, සෑම පුද්ගලයන් 03 දෙනෙකු ගෙන් එක් අයෙකුම, කුමක් හෝ මෝටර් වාහනයක හිමිකරුවෙක් වීම දක්වා සීඝ‍්‍රයෙන් වර්ධනයවී ඇත. මෙම කරුණු සඳහන් වන්නේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, 2014 දෙසැම්බරයේ නිකුත් කළ, ‘ජාතික ප‍්‍රවාහන සංඛ්‍යාලේඛන-2014’ ග‍්‍රන්ථයේ සහ ‘2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ’ ය.

ඒ්වායෙහි එන දත්ත අනුව, 2009 වසරේ රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයන් 5.69 දෙනෙකු ගෙන් එක් අයෙක්ම, කුමක් හෝ මෝටර් වාහනයක හිමිකරුවෙකි. 2013 වසරේ දී එය, සෑම පුද්ගලයන් 04 (3.93) දෙනෙකු ගෙන් එක් අයෙක්ම, මෝටර් වාහන හිමිකරුවෙකු වීම දක්වා ඉතා වේගයෙන් වර්ධන විය. 2009 වසරේ රටේ පැවති සමස්ත මෝටර් රථ වාහන සංඛ්‍යාව 35,95,068කි. 2014 වන විට එය වාහන 20,38,166කින් ඉහළ ගොස්, දළ වශයෙන් වාහන 56,33,234ක් බවට පත්ව තිබුණේ ය. ඒ අනුව, 2014 වසරේ රට වැසි ජනගහණයෙන් සෑම පුද්ගලයන් 03 දෙනෙකු ගෙන්ම එක් අයෙක් (3.67ක්), කුමක් හෝ මෝටර් වාහනයක හිමිකරුවෙකු විය. 2009 වසරේ පටන් ගෙවී ගිය 06 වසර තුළ රටේ රථවාහන සංඛ්‍යාව, වසරකට 3,39,694 බැගින් ඉහළ ගිය බව ඉන් පෙන්නුම් කෙරේ. ගෙවී ගිය කාලපරිච්ෙඡ්දය තුළ ලංකාවේ අත-මිට සරු, සැලකිය යුතු ආර්ථික සමෘද්ධියක් පැවති බවත්, ඉන් පිළිබිඹු වන තවත් කාරණයකි. රට තුළ සංසරණය වන සමස්ත මෝටර් වාහන සංඛ්‍යාවෙන් බහුතරය, මෝටර් බයිසිකල්, ත‍්‍රී රෝද රථ සහ මෝටර් රථ (කාර්) වන අතර, 2014 වසරේ පැවති එම රථ වාහන සංඛ්‍යාව, දළ වශයෙන් 44,84,981ක් පමණ වේ. රටේ සමස්ත වාහන කන්දරාව, 2001 වසරේ සිට 2013 දක්වා සියයට 192,5කින් වැඩි විණි. එම කාලය තුළ ත‍්‍රී රෝද රථ සංඛ්‍යාව, සියයට 657.7කින් ඉහළ ගොස් ඇත.

මාර්ග කිලෝමීටරයකට වාහන 45ක්
වාර්තාවල දැක්වෙන ආකාරයට ලංකාවේ සමස්ත මාර්ග ජාලයේ දිග, කිලෝමීටර් 1,16,000කි. ඒ අනුව බලන විට 2013 වසරේ පැවති රථ වාහන සංඛ්‍යාව, කිලෝමීටරයකට වාහන 45ක් බැගින් (44.8ක්) සමස්ත මාර්ග ජාලය පුරා ගාල් කළ හැකි ය! එය දැවැන්ත වාහන සංචිතයකි. ලංකාවේ භූමි වපසරිය, හෙක්ටයාර් 65,61,000කි. 2014 වසරේ රථ වාහන සංඛ්‍යාව එයට ගැලැප්පුව හොත්, එක් හෙක්ටයාරයකට වැටෙන රථ වාහන සංඛ්‍යාව 1.16කි. දැනට රටේ තිබෙන වාහන කන්දරාව කොතෙක් ද යත්, එක් හෙක්ටයාරයකට වාහනය බැගින් මුළු රට පුරාම වාහන ගාල් කළ හැකි බව, එහි තේරුමයි.

ත‍්‍රී රෝද රථ හැරුණු විට, මෝටර් බයිසිකල්, සහ මෝටර් රථ (කාර්) යනු, බොහෝවිට පෞද්ගලික ගමන් සඳහා භාවිත කෙරෙන වාහන ලෙස සැලකිය හැකි ය. ඒවා භාවිතය ඉහළ යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ, රටේ පොදු ප‍්‍රවාහන සේවාවන් ගැන මහජන විශ්වාසය ගිලිහී ඇති බව ය. ප‍්‍රවාහනය පිළිබඳ දත්ත වාර්තා, මේ කාරණය ද ඉස්මතු කරයි. බොහෝ කලක පටන්ම රාජ්‍ය හා පෞද්ගලික යන දෙ-අංශයේම මගී ප‍්‍රවාහන බස් රථ සංඛ්‍යාව, ක‍්‍රමයෙන් පහත වැටුණු අයුරු එහි වාර්තා කොට ඇත.





 ‘ජාතික ප‍්‍රවාහන සංඛ්‍යාලේඛන-2014’ වාර්තාව සඳහන් කරන අන්දමට, 2009 වසරේ රටේ පැවති සමස්ත බස් රථ සංඛ්‍යාව, 81,789කි. 2013 වසර වන විට එය බස් රථ 93,428ක් දක්වා වැඩිවී තිබේ. 2014 දී අලූත් බස් රථ 3851ක් ලියාපදිංචිවූ බැවින්, එම වසරේ සමස්ත බස් රථ සංඛ්‍යාව (බස් රථ ඇණිය) දළ වශයෙන් 97,279ක් දක්වා ඉහළ ගිය බව කිව හැකි ය.

රටේ සමස්ත බස් රථ ඇණිය ඉහළ අගයක් ගත්ත ද, පොදු ප‍්‍රවාහන සේවයේ යෙදෙන මගී බස් රථ සංඛ්‍යාව බෙහෙවින් අඩු ය. 2009 වසරේ පොදු ප‍්‍රවාහනයේ යෙදුණු ලං.ග.ම. බස් ගණන 9125කි. පෞද්ගලික බස් ගණන, 18,665කි. ඒ අනුව එම වසරේ පොදු ප‍්‍රවාහනයේ යෙදුණු බස් ගණන 27,790කි. 2013 දී ලං.ග.ම. බස් 7607ක් ද,  පෞද්ගලික බස් 19,651 ක් ද වශයෙන් බස් රථ 27,258ක් පොදු මගී ප‍්‍රවාහනයේ යෙදුණි. රටේ තිබෙන සමස්ත බස් රථ සංඛ්‍යාව අනුව බලන කල, ඉන් අඩක් වත් පොදු ප‍්‍රවාහන සේවාවට එක්ව නැති බව ඉන් පෙනී යයි. ඒ බස් රථ, පාසැල් සේවා, සංචාරක සේවා ආදී වෙනත් කටයුතුවල යෙදෙනවා විය හැකි ය. කෙසේ වෙතත් පොදු මගී ප‍්‍රවාහන සේවාවේ බිඳ වැටුම, අසීමිතව පෞද්ගලිකව මෝටර් වාහන භාවිත කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති අයුරු අලූත්ම දත්තවලින් පෙන්නුම් කෙරේ. දුම්රිය මගීන් සංඛ්‍යාව ද 2012 වසරේ සිට 2013 දක්වා සියයට 12.2කින් (මිලියන 123.1) වර්ධනය විය. එසේ වෙද්දීත් පෞද්ගලික මෝටර් වාහන භාවිතය වේගයෙන් ඉහළ යන්නේ ය!

සෑම 36කින් එක් අයෙකුටම කාර් එකක්
 දැන් (2014) රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයන් 07 දෙනෙකුගෙන් (6.91) එක් අයෙකුම, මෝටර් සයිකලයක හිමිකරුවෙකි. සෑම පුද්ගලයන් 22කින් (22.24) එක් අයෙකුම, ත‍්‍රී රෝද රථ හිමියෙකි. සෑම පුද්ගලයන් 36කින් (36.47) එක් අයෙකුම මෝටර් රථ (කාර්) හිමිකරුවෙකි. 2013 වසරේ තත්ත්වයන් අනුව, සෑම පුද්ගලයන් 67කින් (67.21) එක් අයෙකුම, ද්විත්වකාර්ය වාහන හිමිකරුවෙකි. සෑම පුද්ගලයන් 62කින් (62.13) එක් අයෙකුම, ලොරි රථ හිමියෙකි.



 මේ ඉලක්කම් සියල්ල මගින් කියැවෙන්නේ, අතිශයින්ම සුභදායී කතාවකි. එසේ වුවත්, සමස්ත බස් රථ සංඛ්‍යාව සම්බන්ධයෙන් නම් තත්ත්වය ශෝචනීය ය. 2009 වසරේ දත්ත අනුව, සෑම පුද්ගලයන් 250කින් එක් අයෙකුටම බස් රථය බැගින් තිබිණි. 2013 වසර වන විට එම සංඛ්‍යාව, එකි බස් රථයකට පුද්ගලයන් 219ක් දක්වා හොඳ පැත්තට සුළු වර්ධනයක් ලබා තිබිණි. පොදු මගී ප‍්‍රවාහන බස් සේවා සම්බන්ධයෙන් නම් තත්ත්වය, බැරැරුම් ය. 2013 වසරේ දත්ත අනුව, එක් පොදු මගී ප‍්‍රවාහන (ලං.ග.ම. සහ පෞද්ගලික බස්) බස් රථයක් වෙනුවෙන් සිටින ජන සංඛ්‍යාව, 751ක් (751.44ක්) විය! පොදු ප‍්‍රවාහන සේවා අර්බුදයෙහි තරම එයින්ම පෙනෙයි. වසර 2006 දී අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාවට, බස් රථ 3526ක් තිබිණි. 2009 වසරේ එය 2983ක් දක්වා අඩු විය. 2014 දී එය බස් රථ 3221ක් බවට පත්වී, සුළු වර්ධනයක් පෙන්නුම් කළේ ය.

රටක මෝටර් රථ වාහන සංඛ්‍යාව වැඩි වීම, ඒ රටේ දියුණුව පෙන්වන එක් සාධකයක් බව ඇත්ත ය. එහෙත් මෙම රථ වාහන කන්දරාව සඳහා මහජනයා කොපමණ මුදලක් ණයවී (ලීසිං සහ ෆිනෑන්ස්) සිටින්නේ ද? යන්න, වෙනම කල්පනා කළ යුතු වේ. එසේම රට, මේ තරම් වාහන සමෘද්ධියකට එසවී තිබෙන්නේ, ‘ඡන්දයෙන් පැරදී ගිය’ හෙවත් ජනතාවගෙන් ප‍්‍රතික්ෂේපවූ සංවර්ධන වකවානුවක වීම ද, විශේෂත්වයකි!
2015/06/28-ඉරුදින



No comments:

Post a Comment