සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-01
අන්තර්ජාලයේ සිංහල බ්ලොග් අඩවි 4000-5000ක්!
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
අන්තර්ජාලයෙහි එන ‘හැලප කඩේ’, හරි අපූරු ය. එහි අයිතිකාරයා, ‘හැලපයා’ ය. ඔහුගේ ප්‍රිය බිරින්දෑ, ‘හැලපි’ ය. අන්තර්ජාල හැලප කඩේ (helapakade.blogspot.com) වූකලී, ලංකාවේ ප්‍රකට දේශීය රස කැවිල්ලක්වූ ‘හැලප’ විකුණන තැනක් නම් නොවේ. එය අන්තර්ජාලය තුළ සිංහලෙන් පළ කෙරෙන බොහොම ජනප්‍රිය ‘බ්ලොග් අඩවියකි’.
ඉකුත් (දෙසැම්බර්) 29 වැනි දා ‘ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය’ යනුවෙන් ‘පොස්ටුවක්’ (බ්ලොග්කාරයන්ගේ වහරෙන් ‘පොස්ටුවක්’ (Post)යනු පත්තර භාෂාවෙන් ‘ලිපියක්’ යන තේරුමයි. සිය ‘බ්ලොගයෙහි’ පළ කරන හැලපයා, බොහොම අපූරු කතාවක් කියා තිබේ. ‘ලක්බිම පත්තරය’ නිසා තමන්ට අන්තර්ජාල ‘බ්ලොග්කරණයට’ මග පෑදුණේය යන්න, ඒ කතාවයි!
‘බ්ලොග්කාරයෙකු’ වීම සඳහා ඇඟිලි ගනිමින් සිටින අතරවාරයේ, තමන්ට ‘හිස් අහස’ බ්ලොග් අඩවියෙහි පළ වුණු රසවත් සටහනක් ‘ලක්බිම’ පත්තරය ඔස්සේ කියවන්නට ලැබුණු බවත්, එයින් පසුව ඇතිවුණු උනන්දුව නිසා බ්ලොග් රචකයෙකු බවට පත් වූ බවත්, ඔහු සඳහන්කර තිබිණි. හැලපයා, ‘හිස් අහස’ ගැන පළවූ ‘ලක්බිම’ ලිපිය කියවා ඇත්තේ 2012 වර්ෂයේ ඕමාන් රටේ දී ය. එනම් ඔහු, ඕමාන් රටේ රැකියාව කරන කාලයේ ය. හැලපයා ‘ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය’ යනුවෙන් පොස්ටුව පළකර තිබුණේ, සිය බ්ලොග් අඩවියට පස් වසරක් පිරීම නිමිත්තෙන් එහි මතක සටහන් අවුස්සමිනි.
ඔහු කියන හැටියට, ඉකුත් පස් වසර තුළ ‘හැලප කඩේ’ බ්ලොග් අඩවියෙහි පළකර ඇති ‘පොස්ටු’ (ලිපි) ගණන 250කට අධික ය. පස් වසර සමරන අවස්ථාව වන විට, ‘හැලප කඩේට’ පිවිසි (බ්ලොග් වහරෙන් ‘හිට්ස්’) පාඨක සංඛ්යාව හාර ලක්ෂ පණස් දහසකට වැඩි ය!
‘හැලප කඩේ’ අන්තර්ජාල බ්ලොග් අඩවියේ පළ කෙරුණු මේ විස්තරය මෙහි සඳහන් කළේ ‘හැලපයා’ ගැන ලියන්නට නොවේ. මෑතක පටන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වෙමින් යන ‘සිංහල බ්ලොග් සංස්කෘතිය’ ගැන සටහනක් ලියන්නට ය. අන්තර්ජාලයෙහි සැරිසරන විට දැන් විවිධාකාර සිංහල බ්ලොග් අඩවි හමු වෙයි. ඉන් බොහොමයක් ඉතා විශාල පාඨක පරාසයක් හිමිකර ගෙන සිටිනු ද පෙනෙයි. සිංහල බ්ලොග් අඩවි, දැන් දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, සාහිත්්‍ය, කලා, තාක්ෂණ සහ සංචාරක ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවකම පැතිර පවතියි.
‘බ්ලොග්’ යනු, අන්තර්ජාලය මුල්කර ගත් ‘සමාජ මාධ්‍ය’ මාදිලියකි. අන්තර්ජාල සේවා සපයන ‘ගූගල් සමාගම’ විසින්, නො මිලේ ලබා දෙන ‘සයිබර් අවකාශයක්’ වශයෙන් මූලිකව ඒවා හැඳින්විය හැකි ය. දැනට වසර දහයක පමණ කාලයක් තිස්සේ විවිධ ක්ෂේත්‍ර අරභයා සන්නිවේදන මෙවලමක් වශයෙන් ලෝකය පුරා ‘බ්ලොග්’ භාවිත කෙරෙයි. පරිගණකයක් ඔස්සේ අන්තර්ජාලය පරිශීලනය කළ හැකි ඕනෑම කෙනෙකුට, ‘බ්ලොග් අඩවියක්’ සාදා ගනිමින්, එය පෞද්ගලිකව නිදහසේ හසුරුවමින් සන්නිවේදනයෙහි යෙදිය හැකි වීම, විශේෂත්වයකි. වාණිජ අරමුණුවලින්, සදාචාර විරෝධී සන්නිවේදනයෙන් හෝ අපරාධමය ලියැවිලිවලින් බැහැරව, අන් ඕනෑම කාරණයක් ඒවායෙහි ඇති පදම් අකුරු කරන්නට පුළුවන. ලොව කවර බසක වුව, අන්තර්ජාලයට ගැලපෙන ඕනෑම අකුරු මාදිලියකින් බ්ලොග් ලියන්නට පුළුවන. ඒවා හරියට, සයිබර් අවකාශයේ පළ වෙන ‘විශේෂාංග පත්තර’ වැනි ය. සයිබර් අවකාශයට එන ඕනෑම කෙනෙකුට නො මිලේ කියවිය හැකි ය.
සන්නිවේදන ක්‍රියාවලියේ දී ‘බ්ලොගයක්’, වෙබ් අඩවියකට වඩා වෙනස් ය. එසේම මුද්රිත මාධ්යයකට හෝ රූපවාහිනී සහ ගුවන් විදුලි වැනි සෙසු විද්යුත් මාධ්යයකට වඩා වෙනස් ය. ඒවාට හිමිකරුවන් හෝ හිමිකාර ආයතන සිටිති. එබැවින් ඒවා ක්‍රියාත්මක වන්නේ සිය ස්වාමිවරුන්ගේ ‘අණ දීම්’ හෝ ‘අරමුණු’ අනුව ය. එහෙත් බ්ලොග් අඩවි ස`දහා හිමිකාරිත්වය දරන්නේ, එය ලියා අන්තර්ජාලයේ පළ කරන කවර හෝ තැනැත්තා ය. බ්ලොගයෙහි පළ කෙරෙන සියල්ලේ ම ‘අයිතිය’ මෙන්ම ‘වගකීම’ ද පැවරෙන්නේ ඔහුට ය. බ්ලොගයට කුමන පෝස්ටුවක් ලියන්නේ දැයි තීරණය කරන්නා ද, පොස්ටුව ලියන්නා ද, එය සකසන්නා ද, එය පළ කරන්නා ද ඔහු ම ය! බ්ලොග්කරුවා ම ය. ඒ අර්ථයෙන් ගත්කල බ්ලොග් යනු ‘පුරවැසි මාධ්‍යයක්’ යයි පිළි ගැනේ.
දැනට ලෝකය පුරා ඇති සමස්ත බ්ලොග් අඩවි සංඛ්යාව මිලියන ගණනක් වනවාට නිසැක ය. එසේම, වර්තමානයේ සිංහල බසින් පළ කෙරෙන බ්ලොග් අඩවි 4000-5000ක් පමණ ඇතැයි යන්න, ලියුම්කරුගේ විශ්වාසයයි. ඉන් ඇතැම් බ්ලොග් අඩවි විදෙස් රටවල සිට සිංහලෙන් පළ කරන ඒවා ය!
‘විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයෙහි’ දැක්වෙන අන්දමට ‘බ්ලොග්’ (Blog) යනු තනි පුද්ගලයෙකු විසින් පවත්වා ගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. එය ‘Blog’ බවට පත්ව තිබෙන්නේ, ‘Web-log’ යන්න ‘Blog’ යයි සම්පිණ්ඩනය වීමෙනි. ලොව මුල්ම බ්ලොග් අඩවිය වර්ෂ 1997 දී ‘Jorn Barger ’ නමැති අයෙකු විසින් සැකසූ බව කියැවේ. ‘බ්ලොග්’ යනු සිංහල බසින් ‘වියුණු සටහනයි’.
සිංහල බ්ලොග් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන, ‘නෙලූම්යාය’ වෙබ් අඩවියේ (www.nelumyaya.com), සංස්කාරක අජිත් ධර්මකීර්ති මහතා පෙන්වා දී ඇති ආකාරයට, සිංහල බසින් බ්ලොග් ලිවීමේ ඉතිහාසය වසර 14ක් පමණ පැරණි ය. එනම් ඒවායෙහි ඇරඹුම 2004 වසර දක්වා දිව යයි. මුල් කාලයේ බ්ලොග් අඩවි බිහිව ඇත්තේ, රටේ පැවති දේශපාලනය විමර්ශනය කිරීම තේමාකර ගනිමිනි. යම් යම් තර්ජන නිසා පසුව ඉන් බොහොමයක් නතර විය. ඇතැම් බ්ලොග් අඩවි ‘අන්වර්ථ නම්’ යොදා ගනිමින් විදෙස් රටවල සිට පවත්වා ගෙන යනු ලැබිණි. කෙසේ වෙතත්, 2010 වසර පමණ වන විට සිංහල බ්ලොග් අඩවි බහුල වන්නට පටන් ගත් බව ඔහු පවසයි. (නෙලූම්යාය සම්මාන උළෙලේ දී කළ හැඳින්වීම/‘කොළඹ ගමයා’ බ්ලොග් අඩවිය-2015/04/03)
වර්තමාන සිංහල බ්ලොග් ලෝකයෙහි කප් ගසා සිටින බොහොම දෙනෙක් සිය බ්ලොග් අඩවි ආරම්භකර ඇත්තේ 2009 වසරේ හෝ ඊට සමීප කාලයේ දී ය. ඔවුන් පුරෝගාමී බ්ලොග්කරුවන් ලෙස හැඳින්විය හැකි ය. ‘කතන්දරකාරයා’ (kathandara .blogspot.com /ආරම්භක වර්ෂය-2009), ‘මාරයාගේ හෝරාව’ (ctkumara.blogspot.com/ආරම්භක වර්ෂය-2009), ‘පිස්සාගේ පලා මල්ල’ (pissagepalamalla.wordpress.com/ආරම්භක වර්ෂය-2009), ‘හිස් අහස’ (hisahasa.blogspot.com/ආරම්භක වර්ෂය-2009), ‘w3lanka (www.w3lanka.com)/ආරම්භක වර්ෂය-2009) යන බ්ලොග් අඩවි එයට නිදසුන් ය. පසුව 2010 වසරේ පටන් 2015 වර්ෂය දක්වා බ්ලොග් අඩවි විශාල සංඛ්යාවක් ඇරඹිණි.
මෙය ඉබේටම සිදුවූවක් නොවේ. රටේ අන්තර්ජාල පහසුකම් පුළුල් වීම සහ ‘3-G’ තාක්ෂණ පහසුකම් පුළුල් වීමෙහි ප්රතිඵලයකි. ලංකාවේ වාණිජ පදනමින් ‘අන්තර්ජාල සේවා’ ආරම්භකර ඇත්තේ 1995 වර්ෂයේ ය. ඉන් පසුව එය ක්‍රමයෙන් වර්ධනය විණි.
ශ්‍රී ලංකා මහ බැංකු වර්තාවන්ට අනුව, වර්ෂ 1998 සිට 2005 දක්වා, ලංකාවේ අන්තර්ජාල ග්රාහකයන් සංඛ්යාව 96,016කින් ඉහළ ගියේ ය. එය 2009-2011 කාලය තුළ ග්රාහකයන් 6,04,749කින් ද, 2011-2014 කාලය තුළ ග්රාහකයන් 25,51,546කින් ද තවදුරටත් ඉහළ ගියේ ය. 2014-2016 වර්ෂ තුළ අන්තර්ජාල ග්රාහකයන්ගේ ඉහළ යාම 15,24,259ක් විය. මෙය අන්තර්ජාලයේ දැවැන්ත ව්යාප්ත වීමකි. සිංහල බ්ලොග් අඩවි ව්යාප්තවීම සිදුව ඇත්තේ ද ඊට සමගාමීව ය.
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව, 2017 වසරේ මුල් මාස හය සම්බන්ධයෙන් නිකුත් කළ තොරතුරු අනුව, දැන් ලංකාවේ පරිගණක සාක්ෂරතාවය සියයට 28.3කි. අන්තර්ජාල භාවිතය සියයට 21.3කි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2016 වසර අවසානයේ දී ලංකාවේ සිටි අන්තර්ජාල ග්රාහකයන් සංඛ්යාව, 49,20,554ක් තරම් ඉහළ ගණනක් විය. එයින් කියැවෙන්නේ, 2016 වසරේ රටේ විසූ සමස්ත ජනගහනයෙන්, සෑම පුද්ගලයන් සිවු දෙනෙකුටම එක් අයෙක්, (පුද්ගලයන් 4.3කින්ම එක් අයෙක්) අන්තර්ජාල ග්‍රාහකයෙකු බවට පත්ව ඇති බවයි. මෙය සැලකිය යුතු තරම් ඉහළ අන්තර්ජාල සාක්ෂරතාවයකි. මෙම තත්ත්වය ‘බ්ලොග්’ සඳහා ද හොඳ තල්ලූවක් වූවා නිසැක ය. දැන් ‘බ්ලොග් රචකයන්’ මෙන්ම ‘බ්ලොග් කියවන්නන්’ ද එමට සිටිති. ඒ සමගම, මිනිසුන්ගේ කියැවීමේ මාදිලිය පවා අන්තර්ජාලය වෙත මාරුවී යමින් තිබේ.
‘බ්ලොග් රචනය’ වූ කලී අන්තර්ජාල සන්නිවේදන ක්ෂේත්රයේ දී, අතිශයින්ම කැපී පෙනෙන මාධ්‍ය ධාරාවකි. ජාත්යන්තරයේ දී ‘බ්ලොග් රචකයන්’ හෙවත් ‘බ්ලොග් රයිටර්ස්ලා’ හෝ ‘බ්ලොගර්ස්ලා’, අප දන්නා කියන සම්භාවනීය සාහිත්යධරයන්, ලේඛකයන් සහ මාධ්යවේදීන් වැනි ඉහළ තලයක වැජඹෙයි. දැන් දශකයකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව ද, වේගයෙන් ‘බ්ලොග් සන්නිවේදන ලෝකයට’ පා තබමින් සිටිනු පෙනෙයි. ඒ, සිංහලෙන් අන්තර්ජාලයට ලියන බ්ලොග් රචකයන් හෙවත් ‘සිංහල බ්ලොග් කලාවේදීන්’ රැසක් බිහි වීමෙනි. ‘සිංහලෙන් බ්ලොග්කරණය’ අද වෙනම සන්නිවේදන, කලා සහ සාහිත්‍ය ධාරාවක් බවට පත්ව ඇතැයි යන්න, ලියුම්කරුගේ පිළිගැනීමයි.
‘සිංහල බ්ලොග්’, මුල පටන්ම හරිම අමුතු ය. ඒවායෙහි නාමකරණය, බස් වහර, තේමාවන් සහ විෂය ක්ෂේත්රය ආදිය අප මෙතෙක් අත්විඳි මුද්රිත මාධ්‍ය ලෝකයට (මුද්රිත කඩදාසි ලෝකයට) වඩා වෙනස් ය. කතන්දරකාරයා, මාරයාගේ හෝරාව, පිස්සාගේ පලා මල්ල, මාතලන්, කොළඹ ගමයා, අටම්පහුර, බස්සිගේ නවාතැන, ඉකොනොමැට්ටාගේ බොජුන්හල, ඩ්‍රැකීගේ අඩවිය, ගස් ලබ්බ, පාඨ යකාගේ පිටුව, ට්රාන්ස්සිල්වේනියා, රොටියා, රසිකලොජි, සින්දුඇනෝ, සජ්ජාගේ පඩංගුව සහ මගේ කිචී ආදී වශයෙන් ඉන් බොහොමයක නාමකරණය, මහත් කුතුහලය අවුළුවන, අසම්මත, වෙනස් හැඩයක් ගනියි.
(මතු සම්බන්ධයි)
ඉස්සර පත්තර කියෙව්වා. කාර්‍යබහුල ජීවිතය ඒක නැවත්වපු තැන නැවත පටන් ගත්තේ මෙතැනින්... 2008 - 2012 විතර වෙනකං පොඩි බ්ලොග් එකක් කලා. ඒකත් නැවැත්වුනේ කාර්‍යබහුලත්වය... ඒත් මං දැනුත් හොද සිංහල බ්ලොග් පාඨකයෙක්..
ReplyDeleteහැලපයියට ජයවේවා
ReplyDelete+++++++
ReplyDeletegood one.. Unfortunately the 'Nelumyaya' stopped prematurely but the interested parties are to not to let 'Sinhala Blogging' a halt.. Keep up the promotion via all possible ways.. Thanks!
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteThanks for mentioningwww.w3lanka.com
ReplyDelete