පොහොර නැව් එන තුරු ගොයම් ගස් බලා ඉන්නේ
නැත!
2018 සහල්
හිඟ
අවුරුද්දක් වේ ද?
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
ගෙවුණු ජනවාරි 01 වැනි
දා හරි අපූරු ය. ජංගම
දුරකතනධාරී ලක්ෂ ගණන් ජනී ජනයෝ එදා උදේ පටන්ම එකිනෙකාට කතා කරමින් ‘සුභ
අලූත් අවුරුද්දක්’ යයි පෑතූහ.
සුභ පැතීම කොතෙක් දුරදිග ගියේ ද යත්, එදා
දවසේ ජංගම දුරකතන අරක් ගෙන සිටියේ ‘බිසී රයිට් නව්’ සහ ‘නොට්
රෙස්පොන්ඩඞ්’
නංගිලා ය. පුරුද්දට
හෝ චාරිත්තරේට ‘සුභ
අලූත් අවුරුද්දක්’ යයි පැතුව ද, නව වසර
එතරම් ‘සුභ’ නො වන
බව නම් මිනිස්සු දෙසැම්බර් මාසයේ අන්තිම හරියේ දී, හරියට ම
දැන ගත්හ. ඒ, කන-බොන
බඩුමුට්ටු ටික ගන්නට වෙළෙඳපොළට
ගිය අවස්ථාවේ දී ය. කන්නේ
හාල්, පොල්, එළවළු
ආදිය නොව, ‘සල්ලි’ යයි
සිතෙන තරමට බඩු මිල ඉහළ ගොස් තිබුණු නිසා ය.
රටේ ප‍්‍රධාන ආහාරය වන ‘බත’ සාදන
සහලේ මිල ද දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉහළට එසවුණු ගමන් ය.
මිනිසුන්ට කන්නට පුළුවන් කොයි හාලත් කිලෝව රුපියල් සියය
ආසන්නයේ ය!
සාමාන්‍යයෙන් ලංකාවේ එක් පුද්ගලයෙකුට
වසරකට බත් කෑමට අවශ්‍යය වන සහල් ප‍්‍රමාණය, කිලෝග‍්‍රෑම් 110.2ක් පමණ
වේ. ආර්ථික
හා වාණිජ ක‍්‍රියාවලියේ දී එය හැඳින්වෙන්නේ, ‘වාර්ෂික
ඒක පුද්ගල සහල් පරිභෝජනය’ යන ‘බර’ වචනයෙනි.
දැන් නම් ඒ බර ඇත්තට ම දැනී යමින් තිබෙන්නේ ය.
ඒ, කලක පටන්ම සහල් මිල පහළට බසින්නේ ම නැති බැවිනි.
‘සුභ
අලූත් අවුරුද්දක්’ යයි පුරුද්දට කීව ද, ලැබු 2018 වර්ෂය ‘බත් කෑම’ සම්බන්ධයෙන්
නම් එතරම් සුභදායක වන බවක් පෙනෙන්නේ නැත. රට, මෑත
භාගයේ නොවූ විරූ තරම් සහල් හිඟයකට
ගමන් කරමින් සිටීම ඊට හේතුව ය. ගෙවී
ගිය 2017 වර්ෂයේ
රටේ වී ගොවිතැන නියං සායට සහ ගංවතුරට බිලි විය.
නියං සාය නිසා 2017/2018 මාස්
කන්නයේ ද වෙන දා තරම් වී වගාකර ගන්නට ද බැරි විය.
අහස් දියේ එල්ලී හෝ යාන්තම් වපුරාගත් කුඹුරුවල ගොයම ද
දැන් පොහොර හිඟයකට
බිලිවී තිබේ!
එය, බත් කන මිනිසුන්ට ‘කොරේ
පිටට මරේ’ වැනි
තත්ත්වයකි. පොහොර
හිඟයේ
බලපෑම නිසා 2017/2018 මාස්
කන්නයේ වී අස්වැන්න බෙහෙවින් අඩුවිය හැකි බවට දැන් දැන් මත පළවෙමින් තිබේ.
2016 වසරේ
දී ද වී මෙටි‍්‍රක් ටොන් 6,36,285ක් රටට දුන් අම්පාර දිස්ත‍්‍රික්කයේ
තත්ත්වය වඩාත් බරපතල බව කියැවේ. මෙහි
තේරුම වන්නේ,
මෙවර මාස් කන්නයෙන් රටට එතරම් වී අස්වැන්නක් ලැබෙන්නට
ඉඩක් නැති බව ය. ඉන් නිසැකවම
සහල් හි`ගයකට ද, අධික
ලෙස මිල ඉහළ යාමකට ද පාර කැපෙයි. එය රට
කළඹන ප‍්‍රශ්නයක් වනු ඇත්තේ ය. ප‍්‍රශ්නයෙන්
මිදීම සඳහා
ආණ්ඩුව දැන් පිටරටින් සහල් ගෙන්වීමේ විසඳුමකට
යමින් සිටිනු පෙනෙයි.
දෙසැම්බර් 05 වැනිදා පැවති කැබිනට් රැස්වීමේ
දී සහල් ආනයනය කරන්නට තීන්දු කළ බව රජයේ අන්තර්ජාල පුවත් අඩවියක සඳහන්ව
තිබිණි.
සාමාන්‍යයෙන් මෑතක පටන්, සෑම
මාස් කන්නයකම කුඹුරු හෙක්ටයාර් 7,00,000ක පමණ වී වගා කෙරේ.
එයින් වැඩිපුරම කුඹුරු වැපිරෙන්නේ අම්පාර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, පුත්තලම, කුරුණෑගල
සහ මඩකලපුව ආදී දිස්ත‍්‍රික්කවල ය.
එළඹුණු නියංසායෙන් හටගත් ජල හිඟය නිසා මෙවර (2017/2018) මාස්
කන්නයේ දී එයින් විශාල බිම් ප‍්‍රමාණයක වී
වගා කරන්නට නො හැකි විය.
2017 ජනවාරි
01 වැනි
දා ද, පුරුද්දට
හෝ චාරිත්තරේට අවුරුදු සුභ පැතුම් ගෙන ආවාට, පසුගිය වර්ෂය ද නියංසායට සහ
ගංවතුරට බිලි විණි. කොටින්ම
2017 යල
කන්නයේ වී වගාව ද එයට ගොදුරු විය. සාමාන්‍යයෙන්
යල කන්නයක දී අපේ රටේ හෙක්ටයාර් 4,48,000ක පමණ වී වගා කෙරෙයි.
එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව, ඉකුත්
යල කන්නයේ දී රට පුරා වගා කෙරුණේ හෙක්ටයාර් 2,66,027ක් පමණි.
එසේම ඊට පෙර, එනම් 2016 වසරේ
යල කන්නය සමග සසඳන විට
එය හෙක්ටයාර් 1,19,000ක පමණ
අඩු වීමකි. 2017 යල
කන්නයේ වගා භූමිය අඩු වීමට සාපේක්ෂව, ලැබුණු අස්වැන්න ද පහත වැටුණේ
ය. ඉතින් 2018 වර්ෂය
එළඹෙන්නේ ම,
රටට වී-හාල්
බෙහෙවින් හිඟ
තත්ත්වයක් මධ්‍යයේ ය. දැන්
බලපා ඇති පොහොර හිඟය නිසා, මෙවර
මාස් කන්නයේ (සීමිතව
හෝ වී වගා කෙරුණු භූමියේ) වී
අස්වනු ද සියයට 30ක් හෝ ඊටත් වඩා වැඩි ප‍්‍ර‍්‍රතිශතයකින්
පහත වැටෙනු ඇති බව තතු දන්නා අයගේ අනුමානයයි.
එය දැනටමත් පවතින සහල්මිල ඉහළ යාම, තවදුරටත්
උත්සන්න කරවන සුළු තත්ත්වයකි.
සාමාන්‍යයෙන් ගමේ ගොඬේ කතාබහේ දී කියන්නේ ‘කලට
ගොවිතැන්’ යනුවෙනි.
විශේෂයෙන්ම ලංකාවේ වී වගාව ප‍්‍රමුඛ කෘෂිකර්මාන්තය, රටේ
කාලගුණික රටාව අනුව ගලප්පා ගත් කන්න ක‍්‍රමයක් මත පදනම්ව තිබීම, එහි
අර්ථයයි. බිම්
සකසා ගන්නට (මඩ වැඩ)
මෙන්ම, පැලපත් ගොයම දියවරින්
පොහොණිකර කිරිවද්දා ගන්නට අවශ්‍ය වැසි වැටෙන වකවානුව ගණන් බලා වී වැපිරීම, වගා ක‍්‍රියාවලියේ
ප‍්‍රධාන කටයුත්තයි. සරු
අස්වැන්නක් ලබන්නට නම් නිසි කලට වී වපුරා ගන්නට
ඕනෑ ය.
වර්ෂ 1960ට ඉහත කාලයේ නම් ලංකාවේ වී ගොවීන් ‘පොහොර
දැමීමක්’ ගැන
එතරම් සැලකුවේ නැත. මඩ වැඩ
ටික හමාර වුණු පසුව ඔවුන් කළේ තම කුඹුරුවලට ‘හරක් කටු පොහොර’ දැමීමයි. දැන් කෙරෙන නවීන වී ගොවිතැනේ
දී එසේ කරන්නට නුපුළුවන. වර්තමානයේ
වගා කෙරෙන ‘නව
වැඩිදියුණු කළ’
වී වර්ගවලට කෘත‍්‍රිම රසායනික පොහොර යහමින් දමන්නට
ම ඕනෑ ය.
රසායනික පළිබෝධනාශක ගසන්නට ම ඕනෑ ය.
වැපිරුමේ දී ‘කැට පෝර’ (මඩ
පොහොර හෙවත් ටී. එස්.
පී.) දැමිය
යුතු ය. ඉන්
පසුව ගොයම් ගස හැදෙන්නට ‘යූරියා’
ඕනෑ ය.
ඊළ`ගට ගොයමේ ‘හීන්
බණ්ඩි’ හට
ගන්නට තතනන කාලයට ‘බණ්ඩි පොහොර’ (එම්. ඕ.
පී.) ගැසිය යුතු ය.
පොහොර යෙදිය යුත්තේ ගොයම් ගස වර්ධනය වන ආකාරය අනුව
අදියරෙන් අදියරට ය. ගොයමේ
එක් එක් අවස්ථාවන් සඳහා
භාවිත කරන පොහොර වර්ගය පවා එකිනෙකට වෙනස් ය.
කුඹුරු වපුරන කාලයට යූරියා හෝ බණ්ඩි පොහොර තිබිලා වැඩක්
නැත. එසේම
බන්ඩි පොහොර අවශ්‍ය කාලයට යූරියා පොහොර තිබිලාත් වැඩක් නැත.
ගොයම් ගසට අවශ්‍ය වන්නේ, එහි
වර්ධනයේ එක් එක් අවස්ථාවන්ට ගැලපෙන පොහොර ය.
කොයිහැටි වෙතත් පොහොර නැව් එන තුරු ගොයම්
ගස් බලා ඉන්නේ නැත. ඒවා
දවසෙන් දවස ‘ලොකු
වෙන බව’ කවුරුත්
දනිති. ගොයම
ලොකුමහත් වීමේ කාල රටාවට අනුව පොහොර ටික කුඹුරට නො වැටුණ හොත්, ‘කරල
සවුත්තු වන බව’
ගොවීහු කියති. එහි
තේරුම පූදින වී කරල් සාරවත් නො වන බවයි. බොල්
වී ඇට සංඛ්‍යාව වැඩි වන බවයි. එයින්
අන්තිමට සිදු වන්නේ, රටේ සමස්ත වී නිෂ්පාදනය පහත වැටීමයි.
ඉන් පසුව එය බත් කන මිනිසුන්ගේ කුසට මෙන්ම සාක්කුවට ද
දැනෙන ප‍්‍රශ්නයක් බවට පත් වෙයි.
අහස් දියෙන් මඩවැඩ ටික කරගෙන, වැව්
පතුල් හෝ වගා ළිං සූරා ලබා ගත් දියවරින් යාන්තම් පැලකර ගත් ගොයමට, මෙවර
කලට වේලාවට පොහොර ලැබුණේ නැත. බොහොමයක්
තැන්වල කුඹුරු වැපිරුවේ මඩ පොහොර ටික නැතිව ය.
කුඹුරුවලට මඩ පොහොර දමන්නේ වපුරන වියැට හොඳින් මුල්
අල්ලා පැලපත හොඳින්
වැඩෙන්නට ය. ඊළඟට ගොයමට
දින 14-28ක්
පසුවන විට,
යූරියා පොහොර දැමිය යුතු වේ. එයින්
කෙරෙන්නේ ගොයම් ගස හොඳින්
වර්ධනය වන්නට සැලැස්වීමයි. මෙදා
ගොවීන්ට නිසි කලට යූරියා පොහොර ටික ද තිබුණේ නැත.
දැන් බොහොමයක් තැන්වල ඇත්තේ පොහොර නැතිවම හැදුණු බන්ඩි
ගොයම ය. එයින්
සාරවත් වී කරලක් බලාපොරොත්තු වීම උගහට ය!
පොහොර හිඟය
හදිසියේ හට ගත් එකක් නොවේ. එය, මෙවර
මාස් කන්නයට අවශ්‍ය තරම් පොහොර තොග කල්තියා ගෙන්වා ගන්නට රටේ පාලකයන් අසමත් වීමේ ප‍්‍රතිඵලයකි.
2017/2018 මාස්
කන්නය හදිසියේ පහළ වූවක් ද නො වන බැවින්, නිසියාකාර ‘ප‍්‍රසම්පාදන
ක‍්‍රියාවලියක්’
ඔස්සේ කල්තියා පොහොර තොග ගෙන්වා ගන්නට ඉඩ තිබිණි.
එහෙත් අසමත්කම නිසා හෝ හිතාමතා හෝ, පාලකයන්ගේ
පැත්තෙන් එය හරිහැටි සිදු වූයේ නැත. පොහොර
හිඟයක් ඇති
වන්නට සලස්වා හදිසි මිල දී ගැනීමේ ක‍්‍රියාවලියකට යාමෙන්, ‘අත යට
ගජ වාසි’ උදාකර
ගනු පිණිස සැලසුම් සහගතව මෙම තත්ත්වය නිර්මාණය කෙරුණා වන්නට ද පුළුවන!
කොයි හැටි වෙතත් අවසානයේ සිදු වුයේ, බැරි
අමාරුවෙන් වගාකර ගත් ගොයමට කලට වේලාවට පොහොර ටික නො ලැබී යාමයි.
පිටරටින් ගෙන්වූ පොහොර තොග රටට ආවේ දෙසැම්බරය අග හරියේ ය.
එයින් වැඩිපුර තිබිණැයි කියන්නේ යූරියා ය.
නව වසර එළඹෙද්දී ඒවා
ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරෙමින් පැවතුණි.
එහෙත් දැන් ප‍්‍රධාන වී වගා ප‍්‍රදේශ බොහොමයක වී වගාවට ‘යූරියා
අවශ්‍ය වයස’
ඉක්මවා යමින් තිබෙන්නේ ය.
නවීන වී ගොවිතැනේ දී, යූරියා නො වැටුණු ගොයම සරුසාර
යයි කියන්නට නුපුළුවන.
කාලගුණික වෙනස්වීම් හෝ, පොහොර
හිඟය හෝ, වෙනයම්
හේතුවක් නිසා හෝ රටේ වී අස්වැන්න අඩු
වෙනවා නම්,
එය ව්‍යාපාරිකයන්ට ගජ වාසියක් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
එක් අතකින් මහා පරිමාණ වී මෝල් හිමියන්ට තමන් සතු වී තොග
කොටා, ටිකෙන් ටික වෙළෙඳපොළට
දමා, හිතේ
හැටියට සහල් මිල ඉස්මත්තේම රඳවා
ගැනීමට පුළුවන. අනෙක්
අතට, පිටරටින්
සහල් ගෙන්වීමේ ක‍්‍රියාවලිය ඔස්සේ උපරිම
ලාභ ලැබිය හැකි ය. එයට
උදව් කරන අයට ‘අත යට
වාසි’ ලබා
ගැනීමටත් පුළුවන. ඒවායින්
යම් කොටසක් රහසින් දේශපාලනඥයන්ගේ සාක්කුවලට වැටෙන බව ද ප‍්‍රසිද්ධ රහසකි!
පෞද්ගලික අංශයට ද පිටරටින් සහල් ගෙන්වීමේ අවසරය ලබාදීමට
ආණ්ඩුව තීන්දුකර ඇතැයි පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත් පිටරටින් සහල් ගෙන්විය යුත්තේ
බොහොම පරිස්සමිනි. සීමිත
බිම් ප‍්‍රමාණයක වුව ද බැරි අමාරුවෙන් වගා කරගත් ගොයමෙහි අස්වැන්න, ලබන
මාර්තුවේ පටන් ලැබෙන්නට නියමිතව තිබීම, ඊට හේතුවයි.
ඒවා ගෙට ගන්නා විට කඩයක් පිලක් ගානේ පිටරට හාල් අඩු මිලට, තොග පිටින්
විකිණෙන්නට සලස්වා තිබේ නම්, ‘ගුලිය ඇඹරෙනු ඇත්තේ’ අහිංසක
ගොවීන්ට ය. එයින්
වී කිලෝවේ මිල පහත වැටී, ඔවුන්ට යන එන මං නැතිව යන තැනට වැඩ
සලස්වන්නේ නැතැයි, රටේ පාලකයන්ට සහතික විය හැකි ද?
(මෙම
ලිපිය 2018/01/07 ඉරිදා
ලක්බිමෙහි පළවිය.)
2018/01/03.
No comments:
Post a Comment