Total Pageviews

Saturday, January 27, 2018

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මග හැරුණු සමනල හිමය


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මග හැරුණු සමනල හිමය
අතීතයේ දී අරණ්‍යවාසී 
භික්ෂූන් වැඩ විසූ බෞද්ධ ජනපදයක්






(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මස්කෙළියේ, ශ‍්‍රීපාද කදු පන්තියට යාබදව පිහිටි  නිව් පොග්මෝර්වතු යායේ කිසියම් ස්ථානයකින් කළු ගලක සලකුණු කළ මනුෂ්‍ය පා සටහන් දෙකක් හමුව ඇති බවත්, ප‍්‍රදේශවාසී වතු කම්කරුවන් විසින් ඒවා කහ දියරෙන් නහවා පුද සත්කාර කරමින් සිටින බවත්, ගෙවී ගිය සතියේ සිට අන්තර්ජාලය මෙන්ම පුවත්පත් ලෝකය ද කළඹන ආරංචියක් බවට පත්ව තිබේ. එය ඇසින් දුටු අය පවසා ඇත්තේ ඒවා විශාල ප‍්‍රමාණයේ පා සටහන් බවයි.  බුදුරජාණන් වහන්සේගේ වම් ශ‍්‍රී පතුල් සටහන පිහිටුවා ඇති සමනල ගිරට ආසන්න ප‍්‍රදේශයකින් මෙවන් ශෛලමය නිර්මිතයක් හමුවීම අතිශයින්ම කුතුහලය දනවන සුළු ය.

මේ සටහන ලියන්නේ ජනවාරි 24 වැනි දා ය. හමුවූ පා සටහන් සලකුණු හරියම ම මොනවා දැයි, තවම නිසි විමර්ශනයක් හෝ පුරාවිද්‍යා ගවේෂණයක් කෙරී නැත. දැනට එය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවධානයට යොමුකර ඇති බව කියැවෙයි. එබැවින් එය කුමක් දැයි තවම කියන්නට හැකියාවක් නැත. එසේ වුව ද, මෙය ශ‍්‍රීපාදස්ථානයේ තවමත් හෙළි නො වුණු ඉතිහාසය පාදා ගැනීම සම්බන්ධයෙන් යම් කතිකාවකට මුල පුරන්නට අවස්ථාවක් බව ලියුම්කරුගේ අදහසයි. මේ සටහන ලියැවෙන්නේ ඒ අනුව ය.

ශ‍්‍රීපාදස්ථානය අරභයා වන ඓතිහාසික කතා පුවත් අනුව බලන කල සමනල කඳුකරය ආශ‍්‍රිතව ඉපැරණි බෞද්ධ ජනපදයක් පැවති බව තේරුම් ගැනීමට පුළුවන. වර්තමානය වන විට ද එයින් අනාවරණය කෙරී ඇත්තේ, ශ‍්‍රීපාද ලාංඡනය සහිත ශ‍්‍රීපාද මළුව හා ඒ ආශ‍්‍රිත බෞද්ධ නටබුන් ඉතා ස්වල්පයක් පමණි. ශ‍්‍රීපාදස්ථානය සහ එය පිහිටි සමනල කන්ද සම්බන්ධයෙන් විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් කෙරී නැතිකම, ඊට හේතුවයි.


සමනල කඳු පන්තිය පිළිබඳ ඉතිහාස පුරාවෘත්තය ආරම්භ වන්නේ, බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට ලංකාවට වැඩම කිරීමේ සිද්ධියත් සමගිනි. අනුරාධපුර යුගයෙහි ලියැවුණු මහාවංශය කියන හැටියට, උන් වහන්සේ මුලින් ම වැඩමවා වදාළේ මහවැලි ගඟ ඉවුරෙහි පිහිටි මහියංගණයට ය. ඒ, යක්ෂයන් (යක්ෂ ගෝත‍්‍රිකයන්?) පිරිසක් දමනය කරනු පිණිස ය. එහි දී බුදුරදුන් බැහැ දැකීමට පැමිණි පිරිස අතර, ‘සමන්තකූට පර්වතයහෙවත් සමනල ගිරටඅධිපති සුමන සමන් දෙවියන් ද වූහ. බුදුරදුන් ගෙන් බණ ඇසු සමන් දෙවියන් එවේලෙහිම සෝවාන් ඵලයට පත් වුණු බව මහාවංශය සඳහන් කරයි.

ඉක්බිති, තමන්ට යම් පූජා වස්තුවක් දෙන්නැයි සමන් දෙවියන් කළ ඉල්ලීම අනුව බුදු හිමියෝ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් දුන්හ. එය මහත් බැතියෙන් ලබා ගත් සමන් දෙවියන් බුදුරදුන්ගේ කේශ ධාතු නිදන් කොට මහියංගණ සෑරදුන් බැඳවුහයි ඉතිහාසයෙහි දැක්වේ. මෙය, සමන්තකූටය හෙවත් සමනල කන්ද පිළිබඳ අපේ බෞද්ධ ඉතිහාසයෙහි එන මුල්ම කතා ප‍්‍රවෘත්තියයි.

මහාවංශ පුවතට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වන්නේ නාගදීපයට ය. තෙවැනි ලංකාගමනය කැලණියට ය. බුදුරදුන් කැලණියට වැඩම කළ අවස්ථාවේ එහි පැමිණි පිරිස අතර සමන් දෙවියන් ද විය. එහි දී සමන් දෙවියන් කළ ඉල්ලීමක් ඉවසූ බුදුරජාණන් වහන්සේ, සමන්තකූටයට වැඩමවා ඉඳුනිල් මිණක් මතුයෙහි සිය වම් ශ‍්‍රී   පතුල් සටහන පිහිටවූ බව මහාවංශය ඇතුළු ඉතිහාස ග‍්‍රන්ථ බොහොමයක සඳහන් වේ.

බුදුරදුන් සමනල ගිරට වැඩම කරන්නේ, අදින් වසර 2600කට පමණ ඉහත එනම් ක‍්‍රිස්තු පූර්වයෙන් 06 වැනි සියවසේ දී ය. සමනල ගිරි මුදුන එතැන් පටන් ම බෞද්ධ ජනයාගේ මහා පූජනීය භූමියක් බවට පත්ව තිබේ. පසුකාලීනව විවිධ ආගම්වල භක්තිකයන් ද එය ඔවුන්ගේ ශාස්තෲවරුන්ගේ පා සටහනක් යයි අදහස් කරමින් සිරිපා වන්දනාවේ පැමිණ තිබේ. ශ‍්‍රීපාදස්ථානයේ ඉතිහාස කතා පුවත සඳහන් වන මහා ග‍්‍රන්ථය, මහාවංශයයි. එයට අමතරව සමන්තකූට වර්ණනාව’ ‘පූජාවලියසහ රාජාවලියඇතුළු පැරණි ග‍්‍රන්ථ කිහිපයකම ශ‍්‍රීපාදස්ථානය පිළිබඳ තොරතුරු එයි. ඊට අමතරව අඹගමුව සහ ගිලීමලේ යන පැරණි ශිලා ලේඛනවල ද ශ‍්‍රීපාදස්ථානය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු සඳහන් වේ. වරක් ශ‍්‍රීපාද මළුව ආශ‍්‍රිතව ගවේෂණයක් කළ පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන්කර ඇත්තේ, එහි ශේෂවූ සෙල් ලිපි කිහිපයක් තමන්ට හමුවූ බවයි. සමනල ගිර පිළිබඳ සඳහන් වන සෑම ඉතිහාස ග‍්‍රන්ථමය හෝ ශිලා ලේඛනමය මූලාශ‍්‍රයක ම, දැක්වෙන්නේ එය බෞද්ධ පූජනීය ස්ථානයක් බව යි.

මහාවංශය ප‍්‍රමුඛ වංශකතා සහ ශිලා ලේඛනමය මූලාශ‍්‍ර මෙන්ම, මෙතෙක් හමුවී ඇති නටබුන් අනුව ද, රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන් ලියූ සපරගමුවේ පැරණි ලියැවිලි සහ සපරගමු දර්ශන යන පර්යේෂණ ග‍්‍රන්ථවල එන කරුණු අනුව ද දිග හැරෙන්නේ, ශ‍්‍රීපාදස්ථානය සම්බන්ධ සුවිසල් කතා පුවතකි. ඒ අනුව එය, කඳු මුදුනක පිහිටි හුදෙකලා බොදු පුද බිමක් පමණක් ම නො වේ. අතීතයේ පටන් එය මහා බෞද්ධ ජනපදයකි. එය, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ලාංඡුනය මුදුන් මල්කඩ සේ තබා ගනිමින්, බොහොම සක‍්‍රියව පැවතුණු බව පෙනී යයි. වර්තමාන සිරිපා වන හිමය වුව, හෙක්ටයාර් 22,379ක් තරම් විශාල මහා වන පියසකි. අතීතයේ එය භාවනානුයෝගී, අරණ්‍යවාසී භික්ෂුන්ගේ ද, බෞද්ධ දර්ශනය උගන්වන මහා තක්සලාවක් හෙවත් මෙකල විශ්වවිද්‍යාලයක් බඳු ආයතන ව්‍යුහයකින් ද සමන්විත වන පියසක්වූ බවට සාධක තිබේ. එහි වැසි භික්ෂුන්ට සිවුපසය ආදී උවටැන් කටයුතු සඳහා කඳු පාමුල ප‍්‍රදේශයේ ජනාවාස ද තිබෙන්නට ඇත.

මහාවංශය මේ සම්බන්ධයෙන් කදිම තොරතුරක් ගෙන එයි. එය සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමා මරණ මංචකයෙහි සිටින අතරතුර තමන් කළ දාන පිංකම් සිහිපත් කරන අවස්ථාව ගැන කියැවෙන විස්තරයේ ය. රජු විසින් දුන් දානයක් පිළිගත් මලියදේව මහ රහතන් වහන්සේ, සමන්කුළු පව්වෙහි නම සියයක් භික්ෂුන් ද සමග එය වැළඳූ බව එහි කියැවේ.
 ‘...ඒ තෙරුන් වහන්සේ පස් දෙනා අතුරෙන් ඇඹුල් සහිත තණ බත් ගත් මලියදේව මහා ස්ථවිර තෙමේ සමන් කුළු පව්හි නම සියයක් භික්ෂුන්ට ද වැළඳූ සේක යයි මහාවංශය මේ පුවත අනාවරණය කරයි.

සිරිපා මළුව නම සියයක් භික්ෂූන් වහන්සේලාට වැඩ වසන්නට තරම් ඉඩ ඇති තැනක් නොවේ. එබැවින් මහාවංශය කියන කතාවේ යටි පෙළ තේරුම්ගත යුත්තේ, එකල සමන් කුළු පව්ව ආශ‍්‍රිත වනයෙහි නම සියයක් භික්ෂූන් වැඩ සිටි මහා අරණ්‍ය සේනාසන පද්ධතියක් පැවතියාය යනුවෙනි. උන් වහන්සේලා එකල සමනල හිමයෙහි ඇති ගල් ලෙන්වල වැඩ වාසය කරන්නට ඇතැයි සිතිය හැකි ය.

ශ‍්‍රීපාදස්ථානය ආශ‍්‍රිතව පැවති බෞද්ධ විශ්වවිද්‍යාලය පලාබත්ගල අරඤ්ඤායතනයයි. කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන් සඳහන් කරන අන්දමට, එය ආරම්භවී ඇත්තේ දුටුගැමුණු රජු (ක‍්‍රි. පූ. 161-137) දවස ය. අනුරාධපුර යුගයෙහි අපේ රටේ උසස් මට්ටමේ බෞද්ධ විද්‍යාස්ථාන දෙකක් තිබිණැයි කියැවේ. ඉන් එකක් නම් දිඹුලාගල අරඤ්ඤායතනයයි’. අනෙක පලාබත්ගල අරඤ්ඤායතනයයි’. මින් පලාබත්ගල අරඤ්ඤායතනය පිහිටා තිබී ඇත්තේ, වර්තමානයේ රත්නපුරා පාරෙන් සිරිපා කරුණා කරන විට හමුවන වර්තමාන පලාබද්දලග‍්‍රාමය ආශ‍්‍රිතව ය. එහි මහා පිරිවෙනක් ද පැවති අතර, එය බ‍්‍රහ්ම විමානොපමවූදෙමහල් ප‍්‍රාසාදයකි. පිරිවෙනෙහි දෙමහල් ප‍්‍රාසාදය ඉදිකර ඇත්තේ  කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පරාක‍්‍රමබාහු රජුගේ (ක‍්‍රි. ව. 1236-1270) ඇමතිවරයෙකු වූ ප‍්‍රතිරාජදේවවිසිනි.

රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන් පවසන අන්දමට, පලාබත්ගල අරඤ්ඤායතනයෙහි ආනන්ද වනරතන සහ ධර්මකීර්ති නම් වියත් හිමිවරු දෙනමක් වැඩ විසුහ. උන්වහන්සේලා දිඹුලාගල අරඤ්ඤායතනයේ වැඩ විසූ  මහා කාශ්‍යපසඟ පෙළපතට අයත් වූවෝ වෙති. සමන්තකූට වණ්ණනා, සිදත් සඟරාව, බාලාවතාර සහ රූපාවතාර, පාලි රසවාහිනී, සද්ධර්ම රත්නාකරය ඇතුළු ග‍්‍රන්ථ ද මහාවංශයෙහි 80 සිට 90 දක්වා පරිච්ඡේද ද රචනාකර ඇත්තේ පලාබත්ගල අරඤ්ඤායතනයේ දී ය.

මේ සියලූ කරුණුවලින් පෙනී යන කාරණය වන්නේ, බුදු පා පහස ලත් සමනල ගිර ආශ‍්‍රිතව, එකල (එනම් ඓතිහාසික යුගයේ) අති විශාල බෞද්ධ පුදබිමක් සහ බෞද්ධ ජනාවාසයක් පැවතුණු බවයි.

දැන් ඒ සියල්ල මහා වනයෙන් වැසී ගොසිනි. සමනල ගිර සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් තරම් පුරාවිද්‍යා පර්යේෂණ කෙරී නැත්තේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමු කාර්යාලයේ සිටි නිලධාරීන්, අවස්ථා ගණනාවක දී සමනල හිමය ගවේෂණය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත්කර තිබේ. එහෙත් කිසිදාක ඒ සඳහා ඉහළින්අනුමැතිය නො ලැබුණු බව, නම හෙළි නො කළ එක්තරා නිලධාරියෙක් ලියුම්කරු සමග පැවසී ය.

දැන් මිනිස් පා සටහන් දෙකක සලකුණු උන්හිටි ගමන් මතුවී, එය අති විශාල ජන අවධානයක් ද දිනා ගනිමින් තිබේ. එය ශ‍්‍රීපාද අඩවිය සම්බන්ධයෙන් සම්පූර්ණ පුරාවිද්‍යා ගවේෂණයක් කිරීමට ලැබුණු හොඳ අවස්ථාවකි. එහෙත් එවැනි පුළුල් ක‍්‍රියාදාමයක් පෙළගැසෙන බවක් දැන ගන්නට නැත.

සමනල හිමය සම්බන්ධයෙන් නිසි පුරාවිද්‍යා ගවේෂණ සිදුවුවා නම්, එහි ඉතිහාස තොරතුරු මීට වඩා හෙළිදරව් වන්නට ඉඩ තිබිණි. කිසිවෙකුට ඒ සඳහා වගේ වගක් ඇති බවක් පෙනෙන්නට නැත!

 (පින්තූර-අන්තර්ජාල)

2018/01/24

No comments:

Post a Comment