Total Pageviews

Saturday, January 6, 2018

රුසියානු තේ තහනම ගැන පසු විපරමක්

තේ දල්ලේ ගිනි කන්ද!
රුසියානු තේ තහනම ගැන පසු විපරමක්

පිරිසිදුකම ද රැකගෙන
අලූත් වෙළෙඳපොළවල් සොයා යා යුතු කාලයයි!



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
සතුට සහ අලූත් බලාපොරොත්තු ද සමගින් නව වසර (2018) උදාවූ බව, ඉකුත් දිනවල අසන්නට ලැබුණු කතාවයි. එසේ වුවත් ලංකාවේ තෙත් කලාපීය ප‍්‍රදේශවල මහජනතාව නම්, නව වසර පිළිගන්නට හිත හදා ගෙන සිටියේ  බියමුසු තිගැස්මකින් යුතුව ය. රුසියාව විසින් තේද ඇතුළුව ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන එ රටට ආනයනය කිරීම දෙසැම්බර් 18 වැනි දින සිට තාවකාලිකව තහනම් කිරීම එයට හේතුව විය. තේ වගාව සහ නිෂ්පාදන කර්මාන්තය’, රටේ තෙත් කලාපය පුරා පැතිරුණු, ප‍්‍රධාන ආර්ථික භෝග වගා ක‍්‍රියාවලියයි. එබැවින් රුසියාව පැනවූ තහනම නිසා තේ නිෂ්පාදන ක‍්‍රියාදාමය මහත් අර්බුදයකට ලක් වීමේ අවදානමක් හට ගැනීම, රටටම ඇති කළේ තිගැස්මකි.

එහෙත් දෙසැම්බර් 25 වැනි දිනට යෙදුණු නත්තල් උත්සව දින රාත‍්‍රියේ, රටේ තෙත් කලාපීය පෙදෙස්වල මහජනතාවට යාන්තම් සැනසුම් සුසුම් හෙළීමට හැකි විය. ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් පසුව, රුසියානු බලධාරීන් තහනම ඉවත් කරන්නට පියවර ගැනීම ඊට හේතුවයි. නත්තල් දින රාත‍්‍රියේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, මේ ආරංචිය මාධ්‍ය මගින් රටට පවසා තිබිණි. ඉතින් තේ වගා සහ නිපැයුම් කර්මාන්තයෙන් යැපෙන මහජනතාවට, හිත සතුටින් 2018 නව වසර පිළිගැනීමට හැකිවිණි!

බී.බී.සී. සිංහල පුවත් වෙබ් අඩවියෙහි දෙසැම්බර් 25 වැනි දා පළවී තිබුණු අන්දමට, රුසියානු බලධාරීන් තහනම ඉවත්කර ඇත්තේ ලංකාවට කොන්දේසිකිහිපයක් ද පනවමිනි. එනම්, රුසියාවට අපනයනය කරන තේ තොග, ‘දුම් ගසාවිෂබීජ හරණය, තේ කුඩුවල ප‍්‍රමිතිය සහතික කිරීම සහ අපනයන තේ තොග රඳවා තබන ගබඩා පිරිසිදුව තබා ගැනීම යන කොන්දේසි සහිතව ය. ලංකාවේ බලධාරීන් ඒවාට එකඟවී තිබේ. තහනම පැනවුණේ රුසියාවට අපනයනය කෙරුණු ලංකාවේ තේ ඇසුරුමක Ckhapra beetleනම් වර්ගයක කෘමියෙක් හමුවීම හේතුවෙනි.

ලංකාවේ තේ ගැන ලෝකය හමුවේ නිතරම කියැවෙන විශේෂ නාමකරණයක් තිබේ. එනම්,  Pure ceylon tea’ (පිරිසිදු ලංකා තේ) යන්නයි. රසවත්කමින් ද, ගුණාත්මක බවින් ද පිරිපුන් තේ නිපදවෙන්නේ ලංකාවේ බව සුද්දාගේ කාලයේපටන් (බි‍්‍රතාන්‍ය පාලන සමයේ පටන්) අප රට ලබා ඇති යශෝ කීර්තියකි. එබැවින් ලංකාවේ තේවලට කවදත් පැවතුණේ හොඳ ඉල්ලූමකි.  රුසියාවෙන්  පැනවුණු තේඅපනයන තහනම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ලංකාවේ තේ සඳහා තිබුණු කීර්තිය ද පළුදුකර දැමුවේ ය.

ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 14ක් පමණ ලබා දෙන්නේ තේ නිපැයුම් අපනයනය කිරීමෙනි. එබැවින් තේ අපනයන කටයුතුවල කිනම් හෝ පසුබෑමක් ඇති වුව හොත්, එය මුළු රටේම ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වන තරමේ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එයින් වැඩියෙන්ම බලපෑම් එල්ල වනු ඇත්තේ, තේ වගා භූමි ප‍්‍රදේශවල වෙසෙන කුඩා පරිමාණ තේ වගාකරුවන් සහ වතු කම්කරුවන් ඇතුළු තේ කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ය. පැන නැගීමට ඉඩ ඇති ආර්ථික අර්බුදය, රටේ බහුතර මහජනතාවට දැඩිව දැනෙන ගැටලූවක් වීම වැළැක්විය නො හැකි වනු ඇත්තේ ය!

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් World tea production and trade current and future  devolopment-2015නමින් නිකුත්කර ඇති වර්තාව, ලෝකයේ තේ නිෂ්පාදන ගැන බොහෝ දත්ත ඇතුළත් ලියැවිල්ලකි. එහි දැක්වෙන අන්දමට ලොව ලොකුම තේ නිෂ්පාදකයා චීනයයි. එ රට වාර්ෂික තේ නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 1.9කි. එය ලෝක තේ නිපැයුමෙන් සියයට 38කි. ඊළඟට ලොකුම තේ නිෂ්පාදකයා ඉන්දියාවයි. එ රට නිෂ්පාදනය, වසරකට තේ ටොන් මිලියන 1.2කි. ලෝක තේ නිපැයුමෙහි තුන්වැනි කෙරුම්කාරයා අප‍්‍රිකානු රටක් වන කෙන්යාවයි. ඔවුන්ගේ තේ නිපැයුම වසරකට ටොන් 4,36,300කි. ලෝක තේ නිෂ්පාදන පෙරහැරෙහි හතර වැනියා ශ‍්‍රී ලංකාව යි. ඒ රටවල් තරම් නො වුව ද, වාර්තාවේ දැක්වෙන අන්දමට ලංකාවේ වාර්ෂික තේ නිපැයුම ටොන් 3,43,100කි. (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2016 වසරේ ලංකාවේ තේ නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 2,92,000කි. එනම් කිලෝග‍්‍රෑම් මිලියන 292.6කි.) එම රටවලට අමතරව වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, උගන්ඩාව, මල්ලාවි, ටැන්සානියාව සහ රුවන්ඩාව යන රටවල් ද ලෝක තේ සැපයුමේ කණිටු කොටස්කාරයන් බවට පත්ව  සිටිති. තේ නිපැයුම සම්බන්ධයෙන් ලංකාවේ ආසන්නතම වෙළෙඳ තරඟකරුවා කෙන්යාව ය!

2016 වසරේ දත්ත (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව) අනුව, ලංකාවේ තේ තොග වැඩියෙන්ම මිල දී ගන්නා රටවල් අතරින් ඉහළින්ම සිටින්නේ රුසියාවයි. ලංකාවේ ලොකුම තේ ගැනුම්කරුවා වන ඔවුන්, 2016 වසරේ අපේ රටෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 34,433කි. (එසේම 2017 වසරේ මුල් මාස දහය තුළ ඔවුන් ලංකාවෙන් මිලයට ගෙන තිබුණු තේ තොගය මෙටි‍්‍රක් ටොන් 29,000ක් පමණ වූහයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්විණි.) ඊළඟට ලොකුම  ගැනුම්කරුවා ඉරානයයි. 2016 වසරේ ඔවුන් අපේ රටෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 33,929කි. එසේම, තුර්කිය මෙටි‍්‍රක් ටොන් 27,069ක් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙටි‍්‍රක් ටොන් 18,381ක් ද, ලිබියාව මෙටි‍්‍රක් ටොන් 12,645ක් ද ජපානය මෙටි‍්‍රක් ටොන් 7,764ක් ද වශයෙන් ලංකාවෙන් තේ මිල දී ගෙන තිබේ. තවත් රටවල් කිහිපයක්ම ලංකාවේ තේ මිල දී ගත්ත ද, ඔවුහු සුළු ගැනුම්කරුවන්වෙති!

රුසියාව සහ ජපානය හැරුණු විට, ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ එහැමපිටින්ම පාහේ මැද පෙරදිග රටවල් මත සංකේන්ද්‍රණයවී තිබෙනු පෙනෙයි. එය වසර ගණනාවක් මුළුල්ලේම දැකිය හැකි තත්ත්වයකි. එහි තේරුම වන්නේ, ලංකාව මෑත භාගයේ තම තේ අපනයන වෙළෙඳාම් පිණිස අලූත් රටවල් (අලූත් වෙළෙඳපොළවල්) ප‍්‍රමාණවත් තරම් සොයා ගෙන නැති බවයි! එසේම දැනට ලංකාවේ තේ අපනයනය කෙරෙන රටවලට වුව, ‘තවත් ටිකක් වැඩිපුර විකිණීමටඉඩක් පාදා ගන්නට ද උත්සුකවී නැති බවයි! අපට එබඳු තත්ත්වයක් හිමි විණි නම්, රුසියාවේ තේ තහනම මෙතරම් ඇඟට දැනෙන්නට ද ඉඩ නො තිබිණි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ ඉහත සඳහන් ලියැවිල්ලට අනුව, ප‍්‍රංශය ටොන් 15,200ක් ද, ජර්මනිය ටොන් 28,900ක් ද, පෝලන්තය ටොන් 15,000ක් ද, ජපානය ටොන් 1,19,100ක් ද, බි‍්‍රතාන්‍යය ටොන් 1,16,200ක් ද, ඇමරිකාව ටොන් 1,27,000ක් ද වශයෙන්, විවිධ රටවලින් වාර්ෂිකව තේ තොග ආනයනයකර ගනියි. ලංකාවේ අපට, ඒ රටවලට වැඩි වැඩියෙන් තේ විකිණීම පිණිස ලොකු උනන්දුවක් නැති තරම් ය.

2016 වසරේ දත්ත අනුව ප‍්‍රංශය අපෙන් මිලයට ගත්තේ තේ ටොන් එක් දහසකට අඩු ප‍්‍රමාණයකි. ජර්මනිය අපෙන් ගන්නේ මෙටි‍්‍රක් ටොන් 6854ක් පමණි. පෝලන්තය මෙටි‍්‍රක් ටොන් 2455ක් පමණි. ජපානය මෙටි‍්‍රක් ටොන් 7764ක් පමණි. බි‍්‍රතාන්‍යය මෙටි‍්‍රක් ටොන් 1241ක් පමණි. කොටින්ම ලංකාවේ ඇතැමුන් හිස් මුදුනින් අදහන ඇමරිකාව වසරකට ලංකාවෙන් මිලයට ගන්නේ තේ ටොන් 5000කට වඩා අඩු ගණනකි!

රුසියාව ද, ලංකාව සහ ලොව විවිධ රටවලින් විශාල වශයෙන් තේ ආනයනය කරන  රටකි. ඔවුන් වාර්ෂිකව ආනයනය කරන තේ තොග ප‍්‍රමාණය ටොන් 1,59,000කට අධික ය. 2006 වසරේ දී ඔවුන් ලංකාවෙන් මිල දී ගත් තේ තොගය මෙටි‍්‍රක් ටොන් 66,207කි. 2016 වසර වන විට එය ටොන් 34,433ක් දක්වා පහත වැටී තිබේ. 2006 වසර සමග සසඳන විට එය ටොන් 32,000ක පමණ අඩු වීමකි. ලංකාවේ බලධාරීන් එයට හේතු සොයා බැලූ බවක් හෝ එයට පිළියම් කළ බවක් හෝ අසන්නට නැත!

අප, ලොව ඇතැම් තේ බොන රටවලට ලංකා තේයවන්නේ ද නැත! පකිස්තානය, ප‍්‍රංශය, ග‍්‍රීසිය සහ සිංගප්පූරුවට තේ අපනයනය කළ බවක් ද 2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් නොවේ. දැනටමත් තහවුරුව තිබෙන විදේශ වෙළෙඳපොළවල් පසුගිය කාලයේ තවදුරටත් පුළුල් වුණු බවක් ද දැක ගන්නට නැත.

අර්බුදය සම්බන්ධයෙන් දැන් දැන් හෙළි වන තොරතුරු මගින් පෙනෙන්නේ, මෙය හුදු තේ අපනයන හෝ ආනයන වෙළෙඳාමෙන් ඔබ්බට ගිය දෙයක් ද වියහැකි බවයි. එහෙත් ලංකාවෙන් යැවූ තේ ඇසුරුමක කෘමියෙකු සිටි බව බොරුවක් හෝ මවාපෑමක් නොවේ. රුසියාවේ පැත්තෙන් බලන කල, එය ඔවුන්ගේ රටේ  ජනතාවගේ යහපත් සෞඛ්‍යය කෙරෙහි බලපාන ප‍්‍රශ්නයකි. ලංකාවේ පැත්තෙන් බලන කල, තහනම නිසා අපේ ජාතික ආදායමට මරු පහරක් වදින්නට ඉඩ තිබේ. එහෙත් අපේ තේ තොගවල, ඇසුරුම්වල හෝ බහලූම්වල පවිත‍්‍රතාවය සම්බන්ධයෙන් පැන නගින ප‍්‍රශ්නය, එයින් යටපත් නොවෙයි!

ලංකාවේ තේ, පිටරටින් ගෙනා තේ සමග කලවම්කර සිලෝන් ටීයන කීර්තිමත් සන්නාමය යටතේ අපනයනය කිරීමේ කටයුත්තක් ද සිදු වෙමින් පවතියි. බලධාරීන් පවසන්නේ එය, ‘අගය වැඩිකර ප‍්‍රති අපනයනය කිරීමේවැඩ පිළිවෙලක් බවයි. එසේම නීති විරෝධීව කසල තේපිටරට යැවීමේ අවස්ථා ද වරින් වර අසන්නට ලැබේ. රුසියාවෙන් කෘමියෙක් හමුවී, තහනමක් පැනවෙන්නේ මෙබඳු තත්ත්වයක් ද පවතිද්දී ය. තහනම පැනවුණු විගස, ‘රොයිටර්’, ‘ද හින්දු’, ‘බී. බී. සී.ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවා ගණනාවකම ඒ ගැන අනාවරණය කෙරිණි. ලංකාවේ අනර්ඝ තේසම්බන්ධයෙන් ලෝකය පුරා පවතින අවධානය කොතෙක් දැයි එයින් පැහැදිලි විණි.

කෙසේ නමුත් ලියුම්කරු සිතන්නේ, මෙය ලංකාවේ සමස්ත තේ නිපැයුම් කර්මාන්තය දෙස ආපසු හැරී බලන්නට ලැබුණු අවස්ථාවක් වශයෙනි. රබර් හෝ වෙන යම් කාර්මික නිෂ්පාදනයක් මෙන් නොවේ. තේ යනු ආහාරමය පානයකි. එබැවින් දැන් ඉතින්, තේ වගාව, දළු නෙලීම, ප‍්‍රවාහනය මෙන්ම නිමි තේ වශයෙන් ඇසුරුම් කිරීම දක්වා වන සමස්ත ක‍්‍රියාවලියෙහි පිරිසිදුකම සහ සෞඛ්‍යාරක්ෂිතකම ගැන අලූතින් කල්පනා කිරීම ද යහපත් ය!
2017/12/26.




No comments:

Post a Comment