Total Pageviews

Saturday, January 27, 2018

වස-විස නැති පොහොර කෝ?


වස-විස නැති පොහොර කෝ?

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පොහොර හිඟය පිළිබඳ කතිකාව තවදුරටත් ඉදිරියට ඇදී යනු පෙනෙයි. පොහොර හිඟවීමේ ප‍්‍රශ්නය හරිහැටි විසඳන්නට රට කරවන බලධාරීන් තවම අසමත් වීම ඊට හේතුවයි. දැන් 2017/2018 මාස් කන්නයේ දුකසේ වගාකර ගත් ගොයම  පූදින්නට තතනන්නේ පොහොර නැතිව ය! දැනට ලංකාවේ කෙරෙන ‘නවීන වී ගොවිතැන’, රසායනික පොහොර නැතිව ගොඩ ගන්නට පුළුවන් කමක් නැත! රට පුරා වගා කෙරෙන නව වැඩිදියුණු කළ වී ප‍්‍රභේද සකසා තිබෙන්නේ, රසායනික පොහොර, රසායනික පළිබෝධනාශක සහ නවීන කෘෂිකාර්මික යන්ත‍්‍ර ආදී නවීන කෘෂිකාර්මික පැකේජවලට ගැලැප්පෙන ලෙසිනි. එබැවින් නවීන ගොවිතැනේ වී වගාවට රසායනික පොහොර දමන්නට සිදු වීම, අනිවාර්්‍යය අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. 
පොහොර හිඟය පිළිබඳ කතිකාව සමගින්, නාගරික බත් කන මිනිස්සු බොහොම වැදගත් ප‍්‍රශ්නයක් මතු කළහ.
 
‘ආණ්ඩුව රටට ප‍්‍රචාරය කළ ‘වස-විස නැති ගොවිතැන’ දැන් කොහි ද? යන්න, ඒ ප‍්‍රශ්නයයි.
 
එයින් වක‍්‍රව කියැවෙන්නේ ‘වස-විස නැති කාබනික කෘෂි යෙදවුම් භාවිතාවක් ඔස්සේ පුළුල් ලෙස පැතිරුණු දේශීය වී ගොවිතැනක් තිබිණි නම්, රසායනික පොහොර හිඟය මේ තරම් බලපෑ නො හැකිය, යන්නයි.
එය අතිශයින්ම සාධාරණ තර්කයකි. වස-විස නැති දේශීය වී ගොවිතැනක් සම්බන්ධයෙන් පැවැත්වූ ‘ඝෝෂාවේ’ තරමට, දැන් රටේ වී ගොවි බිම්වලින් භාගයකවත් දේශීය වී ගොවිතැනක් පැතිරී, තහවුරුවී තිබිය යුතු ය! එවැන්නක් සිදුවී නැත. වස-විස නැති කාබනික පොහොර මහා පරිමාණයෙන් මිලයට ගන්නට හැකි තැන් පිළිබඳව දන්නා කෙනෙක් ද නැත. වස-විස නැති වී ගොවිතැන තවම රට පුරා පැතිරී නැති  බව, 2017/2018 මාස් කන්නයේ වී ගොවිතැන සඳහා මුළු රටම රසායනික පොහොර ඉල්ලා හඬ නැගීමෙන් ම පෙනී යයි. වස-විස නැති දේශීය පාරම්පරික වී ගොවිතැන එහි ඝෝෂාවේ තරමට රට පුරා ව්‍යාප්ත නො වුණු බව ද එයින් පැහැදිලි වෙයි!
 
රසායනික පොහොර ඇතුළු කෘත‍්‍රිම කෘෂි රසායනික යෙදවුම් සහිත නවීන ගොවිතැන ලංකාවේ ද ප‍්‍රචලිත වූයේ, 1960 දශකයේ කරලියට නැගුණු ‘හරිත විප්ලව ක‍්‍රියාදාමය’ සමගිනි. එතැන් පටන් නව වැඩි දියුණු කළ වී වර්ග සහ ඒවාට ගැලැප්පූ කෘත‍්‍රිම පොහොර සහ වල් නාශක, කෘමි නාශක, නවීන කෘෂිකාර්මික  යන්ත‍්‍ර ආදිය ප‍්‍රචලිත කෙරිණි. ඉක්බිති එතෙක් රටේ පැවති දේශීය වී ගොවිතැන අභාවයට ගියේ ය. නවීන වී ගොවිතැන ඔස්සේ ලැබුණු වැඩි අස්වැන්න, ගොවීන්ට මහත් උත්තේජකයක් විය.
 
කෙසේ වෙතත්, කලක් යන විට වැටහී ගියේ, නවීන ගොවිතැන මගින් මහ පොළොවට වස-විස වැටී, මිනිසුන්ට නොයෙකුත් රෝග පීඩා වැළෙඳන බවයි. 1990 දශකය මුල් භාගයේ පටන් රජරට ප‍්‍රදේශයේ පැතිර යමින් තිබෙන මාරාන්තික වකුගඩු රෝගය පවා එයින් හටගත් එකක් බවට ප‍්‍රබල සාක්ෂි මතුවීම ද, එම අදහස ඉස්මතු වීමට හේතුකාරක වුයේ ය.
 
වස-විස නැතිව කළ දේශීය පාරම්පරික වී ගොවිතැන 1960න් පසුව අභාවයට ගිය ද, ගම්බද සමහර ගොවීන් එය අත්හැර නො දැමූහ. පැරණි වගා තාක්ෂණ ක‍්‍රමවේද සහ බිත්තර වී ඔවුන් අත සුරැුකිණි. මේ අතර ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි සහ මතුගම සෙනෙවිරුවන් යන ගොවි ක‍්‍රියාකාරකයන් දෙපළ, 1970 සහ 1980 යන දශකවල පටන් දේශීය වී වගා ක්ෂේත‍්‍රයට මැදිහත් වූහ. මැකී යමින් පවතින දේශීය පාරම්පරික වී ගොවිතැන යළි නගා සිටුවන්නට ක‍්‍රියා කළහ. පැරණි වී වර්ග සංරක්ෂණය කරන්නට උනන්දු වූහ. ඉන් පසුව රාජ්‍ය නො වන සංවිධාන කිහිපයක් ද, වස-විස නැති දේශීය වී ගොවිතැන යළි පුබුදු වන්නට එක් වූහ. (එයින් හටගත් දේශීය පාරම්පරික වී ගොවිතැන දැනුදු ක‍්‍රියාත්මක වෙමින් තිබේ. එය ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එතරම් සම්බන්ධයක් නැතිව කෙරෙන කටයුත්තකි.)
 
වර්ෂ 1960න් පසුව බලයට පැමිණි ආණ්ඩු මෙන්ම, රාජ්‍ය කෘෂිකර්ම යාන්ත‍්‍රණය ද කටයුතු කළේ නවීන රසායනික ගොවිතැන කරපින්නා ගනිමිනි. නවීන කෘෂිකාර්මික යෙදවුම් නිපදවන මහා පරිමාණ ජාත්‍යන්තර සමාගම් ද ඔවුන් සමග එකට සිට ගත්හ. ඔවුන්ගේ බල පරාක‍්‍රමය සහ ඔවුන් ප‍්‍රචලිත කළ මතවාද (‘දේශීය වී වර්ගවල අස්වැන්න අඩුයි’ වැනි) සමග සටන් වැදීම ද බැරෑරුම් විය. දේශීය පාරම්පරික වී ගොවිතැනට රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබුණේ ද නැත.
 
කෙසේ වෙතත් රටේ ගොවීන් සුළු පිරිසක් ක‍්‍රමයෙන් දේශීය පාරම්පරික වී ගොවිතැනට නැඹුරු වූහ. ඉන් නිපැයෙන සහලේ අරුමය දැනගත් මහජනයා ද ඒවා සොය සොයා තම ආහාර වේලට එක්කර ගන්නට පෙළඹුණහ.
 
දෙශීීය පාරම්පරික වී ගොවිතැනට යළි රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබෙන්නට පටන් ගත්තේ, ඉකුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී ය. මාරාන්තික වකුගඩු රෝගය රජරට පුරා වේගයෙන් පැතිරී යාම මුල්කර ගෙන එය සිදු විය. රජරට ගොවීන් අතර දේශීය පාරම්පරික වර්ගවල බිත්තර වී බෙදා දීම, අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ට අලූත් සහල් පිදීමේ සම්ප‍්‍රදායික චාරිත‍්‍රයට දේශීය සහල් ද යොදා ගැනීම, මහා භාණ්ඩාගාරයේ අරමුදල් යොදවා දේශීය වී වර්ගවල ‘රුව-ගුණ’ සෙවීම පිණිස කාර්මික තාක්ෂණ ආයතනය මගින් 2008 වසරේ පටන් මහා පරිමාණ පර්යේෂණ මාලාවක් ආරම්භ කිරීම සහ 2013 වසරේ දී කෘත‍්‍රිම රසායනික වල් නාශක වර්ග කිහිපයක් තහනම් කිරීම ආදිය ඒ අතර විය. එවන් පියවර ගැනුණ ද, දෙශීය පාරම්පරික වී ගොවිතැන රාජ්‍ය වැඩ පිළිවෙලක් බවට ඔසවා තැබුණේ නැත.
 
2015 වසරේ ජනවාරියේ පටන් එළඹුණු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ, දේශීය පාරම්පරික වී ගොවිතැන පෙරට වඩා ඉහළ තලයකට එසවිණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් ‘මෙහෙයුම්කරුවා’ බවට පත් කරමින් ‘වස විස නැති රටක්’ නම් සංකල්පය යටතේ ඒ සඳහා විවිධ කටයුතු ක‍්‍රියාත්මක කෙරිණි. 2015 ජූනි මාසයේ දී විෂ සහිත ග්ලයිපොසේට් ද තහනම් කරනු ලැබිණි. වස විසෙන් තොරව දේශීය පාරම්පරික වී වගා කිරීම අරභයා රජයේ රූපවාහිනී නාලිකා සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කෙරුණු වැඩ සටහන් බෙහෙවින් ජනප‍්‍රිය විය. මහජනතාව අතර, ‘වස විස නැති, ගුණයෙන් සපිරි දේශීය සහල්’ ගැන විශාල උනන්දුවක් ඉල්ලූමක් එයින් හට ගත්තේ ය. වස-විසෙන් තොර බතක් පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති වීමට ද එය බලපෑවේ ය. වස විස නැති දේශීය කෘෂි නිෂ්පාදන සහිතව කොළඹ පැවති කෘෂිකර්ම නිපැයුම් ප‍්‍රදර්ශනවලට අති විශාල පිරිසක් පැමිණුනහ.
සියල්ලෙන්ම රටට පෙනී යන්නට ඇත්තේ, ‘වස-විස නැති රටක්’ වැඬේ ‘නැගලා යන’ බව ය! ‘රතන හාමුදුරුවෝ හදාපු කාබනික පොහොර කෝ?’ යයි විමසන්නේ, එසේ කල්පනා කළ මිනිසුන් විය හැකි ය. ඔවුන් නගන ප‍්‍රශ්නය සාධාරණ ය.
 
පිළිගන්නට ටිකක් අකමැති වුවත් ඇත්ත කතාව නම්, ආණ්ඩුවේ වැඩ පිළිිවෙලින් මහජනයා අතර වස-විස නැති බතක් පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති වූවාට, ගොවි බිම්වල නම් වැඩේ නැගලා ගොස් නැති බව ය!

ඇත්තට ම සිදුව ඇත්තේ ‘වැඩේ නැගලා ගිය බව’ රටට පෙනී යාම විතර ය.



වැඩේ නැගලා ගියේ නම් මේ වන  විට රටේ වී වගා බිම්වලින් සියයට 30ක වත්, වස-විස භාවිතා නො කරන දේශීය පාරම්පරික වී වගාවෙන් සරුසාරවී තිබිය යුතු ය. පසුගිය කාලයේ පැවති නියඟ තත්ත්වය නිසා වැඬේ නැගලා නො ගිය බවට උත්තරයක් ලැබෙන්නට ද පුළුවන. එහෙත් නියං සාය එන්නට පෙර ද සිදු වූයේ වැඩේ නැගලා යන බවක් රටට පෙනී ගියා විතර ය!

 දේශීය පාරම්පරික වී ගොවිතැන යනු, වසර දෙදහසකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ ලංකා වාසීන්ගේ කුසගිනි නිවා පෝෂණය කළ ප‍්‍රධාන ආහාරයයි. එය ඔසු ගුණයෙන් ද පොහෝනේ විය. දේශීය වී ගොවිතැන, එයට ම ආවේණික කෙම් පහන් ආදී ආගමික ස්වරූපයේ ඇදහිලි මෙන්ම වාරි ජල සම්පාදන ක‍්‍රම සහ වගා තාක්ෂණ ක‍්‍රම සමගිින් ද බැඳී පැවතුණි. එය එහැමපිටින්ම කාබනික ගොවිතැනක් විය. කල්-යල් බලා බිම් සැකසීමේ පටන් අස්වනු කපා ගෙට ගැනීම දක්වා, යම් තාක්ෂණික ක‍්‍රමවේදයක් අනුව එය සැකසී තිබිණි. 1960 දශකයේ උපන් හරිත විප්ලවය ද සමග එය ක‍්‍රමයෙන් මැකී ගියේ, එම පාරම්පරික දැනුම් සම්භාරය ද සමගිනි. එයින් පසුව හට ගත්තේ නව වැඩි දියුණු කළ වී වර්ග ද සහිත රසායනික ගොවිතැනකි.
 
දේශීය පාරම්පරික වී ගොවිතැන, එහි වස-විස නැති ක‍්‍රමවේද ඔස්සේ යළි පණ ගන්වනවා යයි කීව ද, මහින්ද රාජපක්ෂ රජය මෙන්ම මෛත‍්‍රී-රනිල් රජය ද එය අවංකව සහ නිවැරදිව කළා දැයි සැකයකි. මේ පාලකයන් ‘දේශීය පාරම්පරික වී ගොවිතැන’  ප‍්‍රමුඛ තලයේ රාජ්‍ය වැඩ පිළිවෙලක් බවට පත් නො කළහ. හරි නම් එය රටේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ‘ප‍්‍රමුඛ වැඩ විෂයක් බවට’ පත් කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් තවමත් සිදුව නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවා දේශීය පාරම්පරික වී ගොවිතැන තවම ඔවුන්ගේ ‘ප‍්‍රමුඛ වැඩ විෂයක් බව’ සලකන්නේ නැත. අද පවා ජාතික මට්ටමේ වී වගා වැඩ පිළිවෙල බද්ධවී තිබෙනුයේ රසායනික ගොවිතැන ද සමගිනි.
 
දශක ගණනාවක් තිස්සේ නවීන රසායනික  ගොවිතැනට හුරු කළ රටක්, එක් වරම කාබනික මාදිලියේ දේශීය වී ගොවිතැනකට තල්ලූකර ගෙන යාමට ද පුළුවන්කමක් නැති බව  ඕනෑම කෙනෙකු පිළිිගන්නා කාරණයකි. එය කළ යුත්තේ ක‍්‍රමානුකූල සැලැස්මක් අනුව ය. වත්මන් ආණ්ඩුවේ වස විස නැති රටක් වැඩ සටහනට එවන් සැලසුමක් තිබිණි ද යන්න පැහැදිලි නැත.
 
වස-විස නැති ගොවිතැන පිළිබඳ ආණ්ඩුවේ වැඩ පිළිවෙල මෙහෙයවන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති ‘සෙමා’ ආයතනයයි. ඔවුන්ට ඒ සඳහා ප‍්‍රමාණවත් තරම් සැලසුමක් තිබිණි ද? යන්න ගැටලූවකි. මෙබඳු කටයුත්තක් සඳහා පාරම්පරික දැනුම් පරිචයක් සහ අත්දැකීම් ඇති පාර්ශව දෙකක් වෙයි. ඉන් එකක් වන්නේ් දැනටමත් පාරම්පරික වී වර්ග වගාකරමින් සිටින ගොවීන් ය. අනෙක් පාර්ශවය වන්නේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යි. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උගන්වා ඇත්තේ නව වැඩි දියුණු කළ බීජ වර්ග සහිත රසායනික ගොවිතැනෙහි අනුසස් පමණි. ආණ්ඩුව ප‍්‍රථමයෙන්ම කළ යුතුව තිබුණේ, වස-විස නැති දේශීය පාරම්පරික වී ගොවිතැනක් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දී, ඔවුන්ගේ ආකල්ප සහ දැනුම දියුණු කිරීම ය. ඉන් පසුව වස-විස නැති ගොවිතැන අදියරෙන් අදියර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වැඩ විෂයක් බවට පත් කිරීම ය. එවැන්නක් සිදු වුණු බවක් දැන ගන්නට නැත.
 
ආණ්ඩුවේ වස-විස නැති රටක් වැඩ පිළිවෙල ඔස්සේ දේශීය පාරම්පරික වර්ගවල බිත්තර වී සුලභ නො කෙරිණි. ප‍්‍රාදේශීය මට්ටමෙන් කාබනික පොහොර මහා පරිමාණයෙන් නිපදවන ව්‍යවසායකයන් ප‍්‍රමාණවත් තරම් බිහි නො කෙරිණි. පැරණි වගා තාක්ෂණය පිළිබඳ දේශීය දැනුම් සහ අත්දැකීම් සම්භාරයේ ඉතිරිව ඇති කොටස පවා ලේඛන ගතකර, සංරක්ෂණය නො කෙරිණි. දේශීය පාරම්පරික වී වර්ගවල පෝෂණීය සහ ඖෂධීය ගුණ සම්බන්ධයෙන්, කාර්මික තාක්ෂණ ආයතනය කළ ඉතා විශිෂ්ඨ පර්යේෂණයෙන් පවා වැඩක් නො ගැනුණි. දේශීය පාරම්පරික වී ගොවිතැන අරභයා උපදේශක සේවා ප‍්‍රමාණවත් තරම් බිහි නො කෙරිණි. කොටින්ම, දේශීය පාරම්පරික වී ගොවිතැන සම්බන්ධයෙන් පුළුල් දැක්මකින් කටයුතු කරන රාජ්‍ය ආයතන ව්‍යුහයක් බිහි කෙරුණේ ද නැත!
 
ඉතින් රටට පොහොර හිඟයක් හටගත් අවස්ථාවේ, දැන් වස-විස නැති කාබනික පොහොර කෝ? යයි හඬක් මතුවීම ගැන වැරැද්දක් කියන්නට ද පුළුවන්කමක් නැත!
2018/01/23.

No comments:

Post a Comment