Total Pageviews

Tuesday, October 9, 2018

මැණික් ගල් ලක්ෂයක ‘මිණි පළඟක්’ නයිනතිව් නාගදීප පුරාණ රජමහා විහාරයට


මැණික් ගල් ලක්ෂයක මිණි පළඟක්
නයිනතිව් නාගදීප පුරාණ රජමහා විහාරයට 
පූජා කෙරේ


 
නව මිණි පළෙඟහි දැවමය  සැකිල්ල 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-ඉමාෂා මෙත්තානි අතුරලියගම)
අපි මුලින් ම දැවමය නිර්මිතය වැසී යන ආකාරයට මුළු පළඟ රිදීප්ලේට්වලින් ආවරණය කරනවා. ඒ වැඬේට රිදී කිලෝ ග‍්‍රැම් විස්සක් හෝ විසි පහක් විතර යයි කියලා අනුමාන කරනවා. ඊට පස්සේ රිදී ආස්තරණය මත කෙවෙණි’ (මැණික් ගල් බඳින සිදුරු) ලක්ෂයක් සකස් කරනවා. කපා ඔප දමාපු මැණික් ගල් බඳින්නේ එයින් පසුවයි. නාගදීපයේ  චූලෝදර-මහෝදර ගැටුමේ මිණි පළඟයයි කීවාම මිනිසුන්ගේ හිතේ කෙටුණු මිණි පළඟක රූපයක් තියෙනවා. අන්න ඒක උපරිමයෙන්, කලාත්මකව නිර්මාණය කරන්නයි මම කල්පනා කරන්නේයයි, පාරම්පරික මණිකාර සැට්ටර පුරපුර නියෝජනය කරන තරුණ කලාකරුවා අරුණටපැවසුවේ හැඟීම්බරව ය.

ඔහු මෙසේ පැවසුවේ, තව නොබෝ දිනකින් වැඩ ඇරඹෙන නාගදීප මිණි පළඟ පූජාවැඩ සටහනේ නව  මිණි පළඟනිර්මාණය කෙරෙන ආකාරය ගැන අරුණකළ විමසුමේ දී ය.

මැණික් ගල් ලක්ෂයක් ඔබ්බවා සකස් කළ මිණි පළඟක්’ (මැණික් පුටුවක්), යාපනයේ නයිනතිව් දිවයිනේ පිහිටි නාගදීප පුරාණ රජමහා විහාරයට පූජා කිරීමට, රත්නපුරයේ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ මැණික් පතල් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියැලෙන්නන් පිරිසක් මේ දිනවල සූදානම් වෙමින් සිටිති. එම වැඩ සටහන නම්කර ඇත්තේ,  නාගදීප මිණිපළඟ පූජාවයනුවෙනි. නව මිණි පළඟ සැකසෙන්නේ මැණික් කැටයම් කර්මාන්ත ලෝකයේ සඳුන් අඹගහවිටනමින් ප‍්‍රකට කලාකරුවා අතිනි.

මැණික් කැටයම් කර්මාන්ත ලෝකයට සඳුන්  අඹගහවිටයයි ප‍්‍රකට වුව ද, හෙතෙම නමින් අඹගහවිට ගල්ලද්දලාගේ චන්ද්‍රජිත් (35) . රත්නපුරයට නුදුරු මාරපන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සඳුන්’, පාරම්පරික මැණිික් කැටයම් කර්මාන්ත පරපුරක ශිල්පියෙකි. මීට ඉහත ද ඔහු මැණික් ගල් අල්ලා කළ නිර්මාණ ගණනාවකටම තම ශිිල්පීය දායකත්වය ලබා දී ඇති කලාකරුවෙකි.

මැණික් ගල් ලක්ෂයක් බඳින්න කොහොමත් මාස තුනක්වත් යයි’. ඔහු කියන්නේ ය.


මිණි පළෙඟ් දැවමය නිර්මිතය (සැකිල්ල), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර ප‍්‍රාදේශීය කළමනාකාර අධ්‍යක්ෂක කණිෂ්ක අබේනායක මහතා (වම් පේලියේ-වමේ සිට හතරවැනියා) ඇතුළු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ අයුරු. නාගදීප මිණිපළඟ පූජා වැඩසටහනේ ප‍්‍රධාන සංවිධායක සාමවිනිසුරු කපිල චම්පක අතුරලියගම  (දකුණු පේලියේ-දකුණේ සිට හතර වැනියා), රත්නපුර පොලිස් සොකෝ අංශයේ ප‍්‍රධානි, පොලිස් පරීකෂක යූ. සී. මායාදුන්න යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

ජාතික සමගිය පිළිබඳ හැඟීම් තවදුරටත් ශක්තිමත්කර අසමගිකම් දුරුකර ගැනීම, මැණිික් කර්මාන්ත  හා වෙළෙඳ ක්ෂේත‍්‍රයේ නව පුබුදුවක් ඇතිකර ගැනීම සහ ඉපැරණි මණිනාග දිවයින් වැසියන් හා රත්නපුරයේ මැණික් කර්මාන්තකරුවන් අතර පැවති  සංස්කෘතිකමය සබැඳියාව කෘතවේදීව යළි සිහිපත් කිරීම යන කාරණා මුල්කර ගනිමින් නාගදීප මිණි පළඟ පූජාවපවත්වන බව, වැඩ සටහනේ ප‍්‍රධාන සංවිධායක, රත්නපුර මිණිදන පදනමේ නිර්මාතෘ, මිණිපුර මිණි මියුසියම් මැණික් කෞතුකාගාරයේ අධිපති, සාම විනිසුරු කපිල චම්පක අතුරලියගම මහතා පවසයි.

යාපනයේ නාගදීපය යයි කී පමණින් ම ලංකාවාසීන්ට සිහියට නැගෙන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය. අපේ රටේ බෞද්ධයන්ට අනුව නම් නාගදීපය යනු නිකම්ම පුදබිමක් නොවේ. එය ඔවුන්ට  බුදුන් වැඩිය නාගදීපයයි!

අදින් වසර 2600කට පමණ ඉහත, බුදුරජාණන් වහන්සේ සිය දෙවැනි ලංකාගමනයේ දී වැඩම කළේ නාගදීපයට හෙවත් මනිනාග දිවයිනට. එකල එය නාගයන්හෙවත් නාග ගෝත‍්‍රිකයන්ගේ වාස භූමියකි. උන් වහන්සේ එහි වැඩම කළේ, චූලෝදර සහ මහෝදර යන නා රජුන් අතර මිණි පළඟක්අරභයා හටගත් ආරවුලක් සන්සිඳ වන්නට ය. එහි දී ඔවුන්ට දහම් දෙසූ බුදු හිමියන්, කලහකර ගන්නේ නැතිව සමගියෙන්, කරුණාවෙන් සහ මෛත‍්‍රියෙන් විසීමේ වැදගත්කම පෙන්වා දී අරගලය සන්සිඳ වූහ. ඉන් පසුව මිණි පළඟඋන් වහන්සේට පූජා කරනු ලැබිණි. පසුව නා රජවරු එය නිදන්කර නාගදීප රාජායතන චෛත්‍යයඉදි කළහ. මහාවංශය ඇතුළු වංශකතාවලින් පෙන්නුම් කෙරෙන ආකාරයට, නාගයන් වූ කලී නැව් තැනීම සහ සමුද්‍ර ගමනාගමනය විෂයෙහි කෙළ පැමිණියවුන් ය. ඊට අමතරව ඔවුහු මැණික් හා ස්වර්ණාභරණ සම්පතින් ආඨ්‍යව සිටි ඉසුරුමත් මිනිසුන් ය. එහෙමත් නැතිනම්, මැණික්කාරයන් ය!

බෞද්ධ සාහිත්‍යයෙහි සහ වංශකතාවල එන මේ සිද්ධියෙන් පසුව, නාගදීපයට පැරණි ආකෘතියේ මිණි පළඟක්පූජා කෙරී නො තිබිණි. නාගදීප මිණි පළඟ පූජාවැඩසටහනේ ප‍්‍රධාන සංවිධායක, සාම විනිසුරු කපිල චම්පක අතුරලියගම මහතා පවසන අන්දමට, රත්නපුරයේ මැණික් වෙළෙඳ හා කර්මාන්ත ප‍්‍රජාව මැණික් ගල් ලක්ෂයක් ඔබ්බවා නව මිණි පළඟක් පූජා කරන්නට යන්නේ ඒ අඩුව සම්පූර්ණ කරන්නට ය. රත්නපුරයේ මැණික්කාරයන් අතින් මෙවැනි මැණික් පුජාවක්කෙරෙන්නේ ද ප‍්‍රථම වරට ය.
 
  නාගදීප මිණිපළඟ පූජා වැඩසටහනේ ප‍්‍රධාන සංවිධායක සාමවිනිසුරු කපිල චම්පක අතුරලියගම මහතා මිණි පළෙඟ් දැවමය නිර්මිතය අසල

නව මිණි පළෙඟහි දැවමය  සැකිල්ල දැනටමත් තනා අවසන්කර තිබේ. එය තැනවුණේ කුඹුක්දැවයෙනි. දැවමය සැකිල්ල රිදී ලෝහයෙන් ආස්තරණය කරන බවත්, ඉන් පසුව එයට මැණික් ගල් ලක්ෂයක් ඔබ්බවා අලංකාර කරන බවත් සංවිධායකවරු පවසති. මිණි පළඟට බඳින මැණික් ගල්වල වෙළෙඳ වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි සියයක් පමණ වෙතැයි ද ඔවුහු කියති.

මිණි පළඟට මැණික් බැඳීමට පෙරාතුව කෙරෙන්නේ එහි රිදී බැඳීම. එය නාගදීප මිණි පළඟ පූජා වැඩ සටහනෙහි, ‘රිදී බැඳීමේ මංගල්‍යයි’. ‘රිදී බැඳීමආරම්භ වන්නේ ඔක්තෝබර් මස 30 වැනි දා පෙරවරුවේ යෙදෙන සුභ මොහොතිනි. එය සිදු වන්නේ රත්නපුර ඔර්ලෝසු කණුව ඉදිරිපිට තැනවෙන විශේෂ මණ්ඩපයක දී ය, ප‍්‍රදේශවාසී මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ය.

රත්නපුර මිණි දන පදනමේනිර්මාතෘ කපිල චම්පක අතුරලියගම මහතාගේ අදහසක් අනුව නාගදීප මිණිි පළඟ පූජා වැඩ සටහනසූදානම් කෙරුණු බවත්. එයට රත්නපුරයේ මැණික් ව්‍යාපාරික ප‍්‍රජාව උපරිමයෙන් සහාය පළ කරන බවත්, රත්නපුර ඔර්ලෝසු කණුව ඉදිරිපිට මැණික් ව්‍යාපාරික සංගමයේ සභාපති ජාත්‍යන්තර මැණික් වෙළෙඳ ව්‍යාපාරික ජගත් විජේවීර මහතා පැවසී ය.

රත්නපුර ඔර්ලෝසු කණුව ඉදිරිපිට මැණික් ව්‍යාපාරික සංගමය, ලංකාවේ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය යන මැණික් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවිධාන ද, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, රත්නපුර මහ නගර සභාව සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාව යන ආයතන ද නාගදීප මිණිි පළඟ පූජා වැඩ සටහනසඳහා සහාය සහ අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටිති.

මේ පිළිබඳ අදහස් දක්වමින්, උතුරු පළාතේ ප‍්‍රධාන සංඝනායක, නයිනතිව් නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනයෙන් පසුව, පැරණි ආකෘතියට අනුව නිර්මාණය කෙරෙන මැණික් ගල් ලක්ෂයක මිණි පළඟක්නාගදීප විහාරස්ථානයට පූජා කෙරෙන ප‍්‍රථම අවස්ථාව මෙය වන බවයි. එය බුදුරදුන් වෙනුවෙන් කළ හැකි ඉහළම පූජාවක් බවත් උන් වහන්සේ සඳහන් කළහ.

මිණි පළඟට බඳින මැණික් ගල්, රත්නපුරයේ මහජනතාව සහ මැණික් වෙළඳ හා කර්මාන්ත ප‍්‍රජාව විසින් පූජාවක් වශයෙන් පරිත්‍යාග කරන බවත්, ඒවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රසායනාගාර පරීක්ෂාවෙන් පසුව මිණි පළඟට බැඳීම කෙරෙන බවත් සංවිධායකවරු සඳහන් කරති. මැණික් ගල් බැඳීමේ කටයුත්ත සඳහා රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගොඩනැගිල්ලේ විශේෂ ආරක්ෂිත කුටියක් දැනටමත් සකස්කර තිබේ.

මිණි පළෙඟහි නිර්මාණ කටයුතු අවසන් වීමෙන් පසුව එය, බුද්ධ ප‍්‍රතිමා ඇතුළු අනෙකුත් පූජා භාණ්ඩ ද සමගින්, දෙවුන්දර තුඩුවේ සිට මහ පෙරහරින් නාගදීපයට වැඩම කිරීමට කටයුතු යොදා තිබේ.
(මෙම ලිපිය 2018/10/07 සති අග අරුණ පුවත්පතේ පළවිය.)



No comments:

Post a Comment