අපනයන අමතකකර, ආනයන මත යැපීමේ දීර්ඝකාලීන ආර්ථික දර්ශනය!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ඇමරිකානු ඩොලරය ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ රුපියල දිගින්
දිගට ම බාල්දු වීම, මේ කාලයේ බොහොම ප‍්‍රසිද්ධ
මාතෘකාවකි. එය වඩාත් තීව්ර වූයේ
ඉකුත් සැප්තැම්බරය අග භාගයේ දී ඩොලරයේ අගය රුපියල් 170.00ට ආසන්න වීමත් සමග ය. අපේ රුපියල ඉදිරියේ
ඩොලරය ඉහළ නැගීම, ප‍්‍රවෘත්ති සේවා වෙබ්
අඩවි බොහොමයක සඳහන්ව තිබුණේ, තිගැස්සෙන සුළු ස්වරයෙනි. ඩොලරය මේ තරම් ඉහළට
නැගුණේ අපේ රුපියල විශාල ලෙස අවප‍්‍රමාණය වීම නිසා ය.
ඩොලරය ඉදිරියේ ලංකාවේ රුපියල කඩා වැටීම නිසා රටේ එදිනෙදා
පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාම, දැන් මහජනතාවට බරපතල ප‍්‍රශ්නයක් ඇතිකර තිබේ. රුපියල කඩා වැටීම
පාලනය කරන්නට ආණ්ඩුව උත්සාහ කළේ, ආනයනික භාණ්ඩ සඳහා විවිධ බදු සහ
කොන්දේසි ආදිය පනවමිනි. එයින් අපේ රටේ ඩොලර්
සම්පත් පිට රටට ඇදී යාම කෙසේ හෝ පාලනයකර ගැනීම ආණ්ඩුවේ අරමුණ විය.
ඩොලරය ඉදිරියේ ලංකාවේ රුපියල කඩා වැටීම කෙරෙහි බලපාන
හේතු බොහොමයකි. ඒවා අතර ප‍්‍රධාන
තැනක් ගන්නේ, ලංකාවේ අපනයන ආදායම් ප‍්‍රමාණවත්
තරම් ඉහළ තලයක නො තිබීමයි. එනම් ලංකාවට ලැබෙන
ඇමරිකානු ඩොලර් ඇතුළු විදේශ විනිමය සම්පත වර්ධනය නො වීමේ කාරණයයි. අග‍්‍රාමාත්‍ය රනිල්
වික‍්‍රමසිංහ මහතා මෑතක බොහොම ප‍්‍රීති සහගතව ප‍්‍රකාශකර සිටියේ, 2017 වර්ෂයේ දී ලංකාව බඩු භාණ්ඩ අපනයනයෙන් විශාල ආදායමක් ලැබු බව ය. එය 2017 වර්ෂය සම්බන්ධයෙන්
නම් යම් සත්‍යතාවයක් තිබෙන කාරණයකි. එහෙත් රටේ පාලකයන්
කුමක් කීව ද, අපනයන කටයුතු වර්ධනය
නො වීමේ තත්ත්වය නම් සෑහෙන කාලයක් තිස්සේ දක්නට ලැබෙන්නකි. වඩා විපරමෙන් බලන කල
පෙනී යන්නේ, ශ‍්‍රී ලංකාවේ අපනයන ක‍්‍රියාවලිය
සෑහෙන කාලයක් තිස්සේ භාණ්ඩ වර්ග සුළු සංඛ්‍යාවකට සීමාවී ඇති බව ය. එනම්, ‘අපනයන විවිධාංගීකරණයක්’ සිදුවී නැති බව ය.
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2017 වර්ෂයේ ලංකාවෙන්
අපනයනය කෙරුණු භාණ්ඩ වර්ග සංඛ්‍යාව 40ක් පමණ වේ. ඒවා ‘කෘෂිකාර්මික අපනයන’, ‘කාර්මික අපනයන’ සහ ‘ඛනිජමය අපනයන’ ආදී වශයෙන්
මූලික කාණ්ඩ තුනකට වර්ගකර තිබේ. ඒ අනුව, තේ, රබර්, පොල්, කුළුබඩු, එළවළු, සකස් නො කළ දුම්කොළ, සුළු කෘෂිකාර්මික
නිෂ්පාදන සහ මුහුදු ආහාර යන ද්‍රව්‍ය, ‘කෘෂිකාර්මික අපනයන’ ගණයට අයත් වෙයි. ‘කාර්මික අපනයන’ ගණයට අයත් වන්නේ, රෙදිපිළි හා ඇඟළුම්, රබර් නිෂ්පාදන, ඛනිජ තෙල් නිෂ්පාදන, මැණික්, දියමන්ති, ස්වර්ණාභරණ, ආහාර, පාන වර්ග, දුම්කොළ, යන්ත‍්‍ර සූත‍්‍ර හා
යාන්ත‍්‍රික උපකරණ, මුද්‍රණ කර්මාන්තය ආශ‍්‍රිත
නිෂ්පාදන, ප‍්‍රවාහන උපකරණ, සම් භාණ්ඩ, සංචාරක භාණ්ඩ, පාවහන්, පිඟන් මැටිවලින් කළ
ටයිල් ඇතුළු ගෘහ උපකරණ සහ අනෙකුත් කාර්මික අපනයනයන් ය.
අපනයන ක්ෂේත‍්‍රයට මෑතක එක්වූ භාණ්ඩ ද කිහිපයක් තිබේ. ඒවා නම්, මුහුදු ආහාර, දියරමය පොල් කිරි සහ ක‍්‍රීම්
කළ පොල්, පලතුරු වර්ග, මුද්‍රණ කර්මාන්තය ආශ‍්‍රිත
නිෂ්පාදන ආදියයි. කෙසේ වෙතත්,
අපනයන තරකර ගත හැකි විභවයන් කොතෙක් රට තුළ තිබුණ ද, අපේ සමස්ත අපනයන ක‍්‍රියාවලිය
‘විවිධත්වයෙන්’ හීන ය. නව තාක්ෂණික අංශයේ
අපනයන නිපැයුම් ද හීන ය.
2017 ශ‍්‍රී ලංකා මහ බැංකු
වාර්තාවේ දැක්වෙන අන්දමට,
මෙයින් ලංකාවේ සමස්ත අපනයන ආදායමට වැඩි ම දායකත්වයක් දෙන්නේ ‘කාර්මික අපනයන’ අංශයයි. එය සියයට 75.2කි. ඊළඟට වැඩිම දායකත්වයක්
දෙන්නේ ‘කෘෂිකාර්මික අපනයන’ අංශයයි. එහි දායකත්වය සියයට 24.4කි.
කාර්මික අපනයන අංශය ගත් විට වැඩිම දායකත්වයක් දරන්නේ, රෙදිපිළි සහ ඇඟළුම් අපනයනයයි. එය සියයට 44.3කි. රබර් නිෂ්පාදන සියයට 7.4ක දායකත්වයක් ද, මැණික් හා ස්වර්ණාභරණ
සියයට 2.3ක දායකත්වයක් දරන බව ද
සංඛ්‍යාලේඛන මගින් පැහැදිලි වේ.
කෘෂිකාර්මික අපනයන
අංශය ගත් විට, සමස්ත අපනයන ආදායමට
වැඩිම දායකත්වයක් දරන්නේ තේ අපනයනයයි. එහි දායකත්වය සියයට 13.5කි. කුළුබඩු අපනයනය මගින්
සියයට 3.6ක දායකත්වයක් දරයි. මුහුදු ආහාර අපනයනයෙන්
ලැබෙන දායකත්වය සමස්ත අපනයන ආදායමෙන් සියයට 2.1කි. මේවාට අමතරව තවත්
අපනයන භාණ්ඩ රාශියක් තිබේ. එහෙත් ඒවායින්
ලැබෙන්නේ බොහොම සුළු දායකත්වයකි. බොහොම කාලයක් තිස්සේ
රටේ අපනයන ආදායම වැඩි වූවා හෝ අඩු වූවා යයි කියන්නේ මෙම සීමිත අපනයන ක‍්‍රියාවලියේ
එහා-මෙහා වීම්වලට ය!
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවල සඳහන් වන අන්දමට, 2007 වසරේ ලංකාවේ අපනයන
ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7740කි. 2012 වසරේ එය ඩොලර් මිලියන
9773ක් ද, 2014 වසරේ එය ඩොලර් මිලියන
11,130ක් ද විය. 2015 වර්ෂයේ දී රටේ අපනයන
ආදායම ඩොලර් මිලියන 10,504ක් විය. 2016 වසරේ එය ඩොලර් මිලියන
10,309කි. 2017 වසරේ එය ඩොලර් මිලියන
11,360කි. මෙයින් පෙනී යන කාරණය
වන්නේ ලංකාවේ වාර්ෂික අපනයන ආදායම ඉකුත් දස වසර පුරාවට ඇමරිකානු ඩොලර් මිලියන 7740ත්, 11,360ත් අතර දෝලනය වෙමින්
පැවති බව ය. පසුගිය දස පුරාවට
ලංකාවේ අපනයන ආදායම වැඩිවී ඇත්තේ ඩොලර් මිලියන 3620කින් පමණකි.
යහපාලන රජය යටතේ ගෙවුණු 2015 සිට 2017 දක්වා තුන් වසරක කාලය තුළ ද, අපනයන ආදායම වැඩිවී
ඇත්තේ ඩොලර් මිලියන 856කින් පමණි. එනම් වසරකට ඩොලර්
මිලියන 285ක පමණ වැඩි වීමක්
පෙන්නුම් කරමිනි. රටක් හැටියට එය ‘ප‍්‍රමාණවත් තත්ත්වයක්’ නොවේ. ලංකාව දැන් වසර
ගණනාවක් මුළුල්ලේ ම ‘වෙළෙඳ හිඟයකට’ මුහුණ දෙමින් සිටින
රටක් වීම, ඊට හේතුවයි. එහි තේරුම වන්නේ, රටේ අපනයන ආදායම, සමස්ත ආනයන වියදම දරා
ගන්නට බැරි තරම් අඩු මට්ටමක පවතින බව ය.
විදෙස් ආයෝජන ගෙන එනවා යයි කීව ද, දේශීය කර්මාන්ත ජාත්‍යන්තර
තලයට ඔසවා තබන්නේ යයි පැවසුව ද, නිෂ්පාදන කර්මාන්ත දියුණු කරන්නේ යයි කීව ද, ‘ජී. එස්. පී. ප්ලස්’ ආදි සහන ලැබුවා යයි
පැවසුණ ද, අපනයන ක‍්‍රියාවලිය
වර්ධනය නො වුණු බව මෙයින් පෙනී යයි. එසේම, රටේ පාලකයන්ට ඒ ගැන
දැක්මක් ද නැති බව පෙනී යයි. දැක්මක් තිබුණා නම්, ලංකාවේ අපනයන ක‍්‍රියාවලිය
භාණ්ඩ වර්ග සුළු සංඛ්‍යාවකට සීමාවී, ‘එකතැන ලගින’ ස්වභාවයක් ඇති වන්නට බැරි ය!
අපනයන ආදායම ප‍්‍රමාණවත් තරම් ඉහළ නො ගිය ද, ආනයන වියදම නම් වසරින්
වසර වේගයෙන් ඉහළ යනු පෙනෙයි. 2007 වර්ෂයේ ලංකාවේ ආනයන
වියදම ඇමරිකානු ඩොලර් මිලියන 10,253කි. 2017 වර්ෂය වන විට එය
ඩොලර් මිලියන 10,726කින් ඉහළ ගොස්, ඩොලර් මිලියන 20,979ක් වූයේ ය. එයින් සියයට 54.5ක් ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි
උපාංග, දියමන්ති සහ අනෙකුත්
වටිනා ගල් වර්ග සහ වටිනා ලෝහ, රසායනික නිෂ්පාදන, තිරිඟු හා ඉරිඟු, පොහොර ඇතුළු ‘අන්තර් භාණ්ඩ’ ය. සියයට 23.3ක් ආයෝජන භාණ්ඩ ය. එනම්, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප‍්‍රවාහන උපකරණ, යන්ත‍්‍රසූත‍්‍ර සහ
උපකරණ ආදී භාණ්ඩ ය. තවත් සියයට 21ක්, ආහාර සහ පාන වර්ග, සහල්, සීනි සහ රසකැවිලි, කිරි නිෂ්පාදන, පරිප්පු, ආදී ආහාරමය පාරිභෝගික
භාණ්ඩ සහ රථවාහන, ඖෂධ සහ ඖෂධීය නිෂ්පාදන, ගෘහ උපකරණ, රෙදිපිළි හා උපාංග ආදී
ආහාර නො වන පාරිභෝගික භාණ්ඩ ය. මෙයින් රථවාහන ආනයන
වියදම සියයට 3.7කි. ආහාරපාන ආනයන වියදම
සියයට 8.8කි. ඉන්ධන ආනයන වියදම
සියයට 16.3කි.
අපනයන වෙළඳාම, විදේශ ආයෝජන මුදල්, විදේශ ණය සහ ප‍්‍රදාන
ආදියට අමතරව, අපේ රටට විදේශ විනිමය
ලැබෙන තවත් අංශ කිහිපයක් තිබේ. සංචාරක ව්‍යාපාරය, විදුලි සන්දේශ, පරිගණක හා තොරතුරු
සේවා අපනයනය සහ විදෙස් රැකියා නියුක්තිකයන්ගේ ඉපැයීම් ඒවා අතර ප‍්‍රධාන ය. 2017 වර්ෂයේ දී සංචාරක ව්‍යාපාරයෙන්
ඩොලර් මිලියන 3925ක ආදායමක් රටට ලැබිණි. විදුලි සන්දේශ, පරිගණක හා තොරතුරු
සේවා අපනයන ක්ෂේත‍්‍රයෙන් ඩොලර් මිලියන 926ක් ද, විදෙස් රැකියා නියුක්තිකයන් ගෙන් ඩොලර් මිලියන 7164ක් ද ලැබිණි. මේවා ඉහළ ආදායම් ය. එහෙත් ආනයන වියදම අධික
වීමේ පීඩනය සමහන්කර ගන්නට නො හැකි විණි.
ආනයන වියදම වසරින් වසර ඉහළ නැගීමෙන් පිළිබිඹු වන්නේ, වර්තමාන ලංකාව නිෂ්පාදන
ක‍්‍රියාවලියෙන් දුරස් වෙමින් ‘ආනයනික භාණ්ඩ’ මත යැපෙන්නට පටන් ගෙන ඇති බව ය. ලංකාවෙන් අපනයනය කෙරෙන
භාණ්ඩ වර්ග සංඛ්‍යාව 40කට සීමා වීමෙන් ද ඒ
බැව් පැහැදිලි වේ. ආනයන වියදම දරා ගැනීමට
තරම් පොහොසත් අපනයන ආදායමක් නැති කල කුමක් සිදු වේ ද? එවිට සිදු වන්නේ
අපනයනයෙන් දුකසේ උපයන ඩොලර් සොච්චම, මහා භාණ්ඩාගාරයේ රඳවා ඇති ආරක්ෂිත ඩොලර් සංචිත ද සමග වේගයෙන් යළි පිටරටට
ගලා යාමයි!
‘වෙළෙඳ ශේෂය’ යනු රටක ජාත්‍යන්තර
වෙළෙඳාමේ අපනයන ආදායම සහ
ආනයන වියදම අතර වෙනස පෙන්වන සාධකයයි. සාමාන්‍යයෙන් හොඳ ආර්ථිකයක් තිබෙන රටක ‘අපනයන ආදායම’, ඒ රටෙහි ‘ආනයන වියදමට’ වඩා වැඩි ය. එය යහපත් වෙළෙඳ ශේෂයකි. එවිට රටට ‘ඉතිරියක්’ ලැබේ. එයින් අලූත් ආර්ථික ව්‍යාපෘති ද ජනිත වේ. එහෙත් හොඳ ආර්ථිකයක් නැති රටක, අපනයන ආදායම අඩු ය. ආනයන වියදම වැඩි ය. එවිට ලැබෙන්නේ ‘හිඟ වෙළෙඳ ශේෂයකි’. නැතිනම් ‘වෙළෙඳ හිඟයකි’. ලංකාවේ වෙළෙඳ හිඟය 2007 වසරේ දී ඩොලර් මිලියන
3560කි. 2017 වසරේ දී එය ඩොලර්
මිලියන 9619කි. අපනයන ආදායම සහ ආනයන
වියදම අතර පරතරය වසරින් වසර වැඩිවී ඇති බව එයින් පෙනී යයි. ඉකුත් කාලය පුරාවට, අපි අපේ අපනයන ආදායම
වැඩිකර ගෙන නැති බව හා ආනයන මත යැපීම පාලනයකර ගැනීමට උත්සාහ දරා නැති බව එයින්
පැහැදිලි වේ. රටක් හැටියට එය නරක
තත්ත්වයකි.
එය කොතෙක් නරක ද යත්, වර්තමානයේ රුපියලේ අගය දරුණු ලෙස පහත වැටීමෙන් ම එය
පිළිබිඹු වේ. ලංකාවේ අපනයන ආදායම
යහපත් තත්ත්වයක පැවතුණා නම්, එයින් ඩොලර් ආදායම් වැඩිවී තිබුණා නම්, රුපියලේ කඩා වැටීම
මෙතරම් දරුණු නො වන්නට ද ඉඩ තිබිණි!
(පින්තූර අන්තර්ජාලයෙනි)
No comments:
Post a Comment