රත්නපුරේ මැණික්කාරයන් නාගදීපයට පුදන
නව මිණි පළඟට රිදී බැඳීමේ මංගල්‍යය 30 වැනි දා
මිණි පළෙඟ් සැලැස්ම |
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ඉමාෂා මෙත්තානි
අතුරලියගම)
‘නාග මාණික්‍යය’ යනු ඇත්තක් ද?, නැතිනම් හුදු
මනංකල්පිත කතා පුවතක් ද? යන කාරණය මේ විසි එක්
වැනි සියවසේ දීත් නො විසඳුණු එකකි. නාග මාණික්‍යය පිළිබඳ
කතා පුවත එන්නේ අපේ ජන ශ‍්‍රැතියේ ය. එයට අනුව, ‘නාග මාණික්‍යයන්’ දරන්නේ උසස් වංශිකයන්
යයි සඳහන් ‘රාජ නාගයන්’ ය. උහු සිය උගුරෙහි අත්‍යලංකාර
නාග මාණික්‍යයක් හෙවත් ‘නිල් මැණිකක්’ සඟවා ගෙන සිටිමින් සැරිසරන්නෝ ය. රාජ නාගයන් එය එළියට
ගන්නේ, උන් රාත‍්‍රී කාලයෙහි
ඇවිදිමින් සොයා ගත් යම් ආහාරයක් බුදින අවස්ථාවේ පමණි!
ජන ශ‍්‍රැතිවල නාග මාණික්‍යයන් ගැන කියැවුණ ද සැබෑ ලෝකයේ
නම් නාග මාණික්‍යයන් හමු වූ බවක් අසන්නට නැත. නාග මාණික්‍යයන් ගැන
අත්දැකීමක් නැතත්, ළඟදී ම රත්නපුර නගරය මුල්කර ගෙන ‘නාග ගෝත‍්‍රිකයන්’ සහ ‘මැණික් ගල්’ අතර පැවති පැරණි බැඳියාව
ඔප වැටෙන පින්කමක් සිදු වන්නට යන්නේ ය. වටිනා මැණික් ගල්
ලක්ෂයක් ඔබ්බවා නිර්මාණය කෙරෙන ‘මිණි පළඟක්’ (මැණික් එබ්බවූ පුටුවක්), යාපනයේ නයිනතිව් දූපතේ
පිහිටි ‘නාගදීප පුරාණ විහාරයට’ පූජා කරන්නට කටයුතු
සකස් වෙමින් තිබීම, ඒ අපූරු පින්කමයි! රත්නපුරයේ
මැණික්කාරයන් එයට නම් තබා ඇත්තේ, ‘නාගදීප මිණිපළඟ පූජා වැඩ සටහන’ යනුවෙනි.
වැඩ සටහන සංවිධානය කෙරෙන්නේ, රත්නපුර මිණිදන පදනමේ
නිර්මාතෘ, රත්නපුර ‘මිණිපුර මිණි
මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ
අධිපති සාම විනිසුරු කපිල චම්පක අතුරලියගම මහතාගේ ප‍්‍රධානත්වයෙනි. රත්නපුර, ඔර්ලෝසු කණුව අසල
මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය, ශ‍්‍රී ලංකාවේ මැණික් අපනයනකරුවන්ගේ සංගමය යන මැණික්
කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවිධාන ද, ජාතික මැණික් හා
ස්වර්ණාභරණ අධිකාරිය, රත්නපුර මහ නගර සභාව, ශ‍්‍රී ලංකා නාවික
හමුදාව යන ආයතන ද ඔහුගේ සහායට ඉදිරිපත්ව සිටිති. වැඩ සටහනේ ප‍්‍රධාන
සංවිධායක කපිල චම්පක අතුරලියගම මහතා පවසන අන්දමට, නව මිණි පළඟට බඳින මැණික් ගල්වල
වටිනාකම රුපියල් කෝටි සියයක් පමණ වෙතැයි ගණන් බලා තිබේ!
බෞද්ධ සාහිත්‍යය සහ මහාවංශය ඇතුළු වංශකතා මූලාශ‍්‍රවල සඳහන් වන අන්දමට, අපේ රටේ අතීතයේ විසූ ‘නාගයන්’ හෙවත් ‘නාග ගෝත‍්‍රිකයන්’
මැණික්කාරයන් ය. ඔවුන් නැව් තැනීම සහ
සමුද්‍රික ගමන් බිමන් විෂයෙහි කෙළ පැමිණි පිරිසක් බවත්, මැණික් හා ස්වර්ණාභරණ
කර්මාන්තවලට ද සම්බන්ධව සිටි බවත් ප‍්‍රකට ය. කිත්සිරිමෙවන් රජු සමයෙහි, හේමමාලාවන් සහ දන්ත
කුමරුන් විසින් දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම වීමේ කතා පුවත්වල ද නාගයන්ගේ
සමුදුරු තරණ කතා පුවත් සඳහන් වෙයි. නාගයන් වූ කලී, මැණික් සම්පතින් ආඨ්‍යව
සිටි පිරිසක් බව, ඔවුන් කළ-කී දෙයින් ද පෙනී යයි.
බුදුරජාණන් වහන්සේ නාගදීපයට (මනිනාග දිවයිනට) වැඩම කරන අවස්ථාවේ
ඔවුන් සිටියේ මැණික්වලින් නිමැවූ පළඟකට (පුටුවකට) කලහකර ගනිමිනි. එසේම බුදුරජාණන්
වහන්සේ තෙවැනි ලංකා ගමනේ දී වැඩම කළේ
කැලණියට ය. ‘මණි අක්ඛික’ නම් නා රජු එහි දී ඔහු බුදුරජාණන් වහන්සේට පූජා පිණිස,
මැණික්වලින් අලංකාර කළ මණ්ඩපයක් කරවා, බුදුරදුන් එහි වඩා හිඳුවා, දන් පිළිිගැන්වූ බව
වංශකතාවල එයි. නාග ගෝත‍්‍රිකයන්, බුදුන් දවස මැණික්
සම්පත් විෂයෙහි මහත් ආඨ්‍යවත්ව සිටි පිරිසක් බව මේ අතීත කතාවලින් පැහැදිලි වේ.
එයින් තවදුරටත් පැහැදිලිකර ගත හැකි කාරණයක් වන්නේ, එකල යාපනයේ මනිනාග
දිවයිනත් (නයිනතිව්), කැලණි ගඟ මෝය ආශ‍්‍රිතව
පිහිටි කැලණියත් නැව් තොටුපොළවල් වශයෙන් පැවතුණු බවයි. මෙයින් මනිනාග දිවයින
සමුද්‍රික දූපතකි. එය පිහිටා ඇත්තේ, වර්තමානයේ කයිට්ස්
නමින් හඳුන්වන දූපතට සමීපයෙනි. කයිට්ස් යනු පුරාණයේ ‘ඌරාතොට වරාය’ පිහිටි දුපතයි.
නයිනතිව් වැසි නාගයන්-නාග ගෝත‍්‍රිකයන්
සමුදුරු තරණය අරභයා ඉහළ සමත්කම් පෙන්නුම් කිරීම සහ ඔවුන්ගේ වාසයට නුදුරු කයිට්ස් දූපතෙහි
‘ඌරාතොට’ නමින් ඉපැරණි ජාත්‍යන්තර
වරායක් පිහිටා තිබුණු බව,
එකිනෙකට සමපාත වන කාරණා ද්විත්වයකි. එය නාග ගෝත‍්‍රිකයන්ගේ
සමුද්‍රික හුරුබුහුටිකම් සමග ද මනාව ගැලපෙන්නේ ය!
‘ඌරාතොට’ වරාය ගැන සඳහන් වන
දෙමළ බසින් ලියැවුණු ශිලා ලේඛනයක් තිබේ. එය දැන් දක්නට
ලැබෙන්නේ ‘නාගදීප’ දූපතේ ය.
වර්තමාන නාගදීපය (නයිනතිව්) බොහෝ ජන වන්දනයට ලක්
වන ඉපැරණි බෞද්ධ විහාරස්ථානයකින් මෙන්ම ඉපැරණි හින්දු කෝවිලකින් ද සමන්විත ජනාවාස
භූමියකි. ලංකාවාසී බෞද්ධයන්ට
නම් නාගදීපය යනු ‘බුදුන් වැඩිය පින්
බිමකි. ඔවුන්ගේ සොළොස්මස්ථාන
අතරින් එකකි. උතුරුකරයට යන බෞද්ධ
වන්දනාකරුවන්ගේ පූජනීය ගමනාන්තයකි. උතුරුකරයේ ඉතිහාසය
සම්බන්ධයෙන් ද යාපනයේ නාගදීප දූපත අතිශයින්ම වැදගත් ය.
නාගදීපයට නුදුරු කයිට්ස් දූපතේ පැවති ඌරාතොට ජාත්‍යන්තර
වරාය, අතීතයේ ‘ඌරාතොට’, ඌරත්තුරෙයි’, ‘සූකරතිත්ථ’ සහ ‘හූරාතොට’ යනුවෙන් ද හඳුන්වා
තිබේ. ඌරාතොට, පොළොන්නරු යුගයේ දී (ක‍්‍රි. ව. 11 වැනි සියවස සිට ක‍්‍රි. ව. 13 වැනි සියවස දක්වා) පැවති දියුණු වෙළෙඳ
වරායකි. නාගදීප දූපතෙහි පිහිටි නාගපූසානි අම්මාන් කෝවිලෙහි ඇති, දෙමළ බසින් ලියැවුණු
සෙල් ලිපියක්, මේ වරාය කෙබඳු එකක්
දැයි අපට පසක් කරවයි. සෙල් ලිපියෙන් දැනට
ඉතිරිව ඇත්තේ කොටසකි. එය ද සොයා ගෙන ඇත්තේ, වර්ෂ 1949 දී ය.
නයිනතිව් ශිලා ලිපියෙහි ඉතිරිව ඇති කොටස, මහාචාර්ය කාර්තිගේසු
ඉන්ද්‍රපාල මහතා විසින් කියවා, ඉංග‍්‍රීසි බසින් සංස්කරණයකර ඇත. පසුව එය පියදාස
වීරසිංහ මහතා විසින් සිංහල බසට පරිවර්තනයකර තිබේ.
ඒ අනුව, සෙල් ලිපිය කරවා ඇත්තේ, මහා පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රි. ව. 1153-1186) විසිනි. ඌරාතොට වරායට පැමිණෙන
නැව් සහ විදේශිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීති රීති එහි දක්වා තිබේ. විශේෂයෙන්ම නැවක් බිඳී ගිය විට බදු අය කළ
යුතු ආකාරය ගැන ද එහි උපදෙස් දී ඇත. මෙය ‘නයිනතිව් සෙල් ලිපිය’ යනුවෙන් ප‍්‍රකටව තිබේ. එකල යාපනයේ සමුද්‍රික දූපත්
සහ ජාත්‍යන්තර වරාය පරිශ‍්‍රයන් මහා පරාක‍්‍රමබාහු රජුගේ පාලනය යටතේ පැවති බව ද
එයින් හෙළි වේ.
වර්ෂ 1936 දී යාපනය වඩමාරච්චි ප‍්‍රදේශයේ ‘වල්ලිපුරම්’ නමැති ගම්මානයක පිහිටි
විෂ්ණු දේවාල පරිශ‍්‍රයකින් ‘බ‍්‍රාහ්මී අක්ෂර සහිත’ රන් පත්තිරුවක් හමු විය. එය ලේඛනයකි. එය ප‍්‍රකට වූයේ ‘වල්ලිපුරම් රන්පත’ යනුවෙනි. එහි සඳහන්ව ඇත්තේ, ‘වසභ රජුගේ අමාත්‍ය
ඉසිගිරක’, නාගදීපය පාලනය කරමින්
විහාරයක් තැනවූ බවයි. ‘වල්ලිපුරම් රන්පත’ අනුව, එකල යාපනය පැවතියේ වසභ රජුගේ (ක‍්‍රි. ව. 65-109) පාලනය යටතේ ය. මහාචාර්ය සෙනරත්
පරණවිතාන සූරීන් පවසා ඇත්තේ, පුරාණ කාලයේ සමස්ත යාපනය අර්ධද්වීපය ම ‘නාගදීපය’ යනුවෙන් හැඳින්වුණු බව, රන්පත් ලිපියෙන්
තහවුරු වන බවයි.
රත්නපුරේ මැණික්කාර ප‍්‍රජාව ‘මිණි පළඟක්’ තනවා පූජා කරන්නට
සූදානම් වන නාගදීප පුරාණ විහාරය, කෙතරම් වැදගත් සිද්ධස්ථානයක් ද යන්න ඉහත විස්තර කළ
කරුණුවලින් පෙනී යයි.
යාපනයේ නාගදීප පුරාණ රජමහා විහාරයට මිණි පළඟක් තනවා පූජා
කිරීම, රත්නපුර මිණිදන පදනමේ
නිර්මාතෘ, රත්නපුර ‘මිණිපුර මිණි
මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ
අධිපති සාම විනිසුරු කපිල චම්පක අතුරලියගම මහතාට ඇතිවු අදහසකි. එය ද අපූරු කතාවකි.
‘අපි මිණිදන පදනම මගින්
සෑම වසරකම දෙසැම්බර් පෝයට සාම්ප‍්‍රදායික විදිහට ශ‍්‍රී පාද වන්දනා ගමනක් යනවා. වන්දනාවට යන අය ඊළඟ
වෙසක් පෝය එනකල් හැම පෝයකටම සිල් සමාදන් වෙනවා. ඒ අතර ලංකාවේ දුරබැහැර
සිද්ධස්ථානෙකට ගිහින් ‘වන මල් පූජාවක්’ පවත්වනවා. මෙදා සැරේ අපි යන්න
ඉන්නේ නාගදීපෙටයි. ඒ ගැන සොයා බලන්න මම
පහුගිය පෙබරවාරියේ නාගදීපේ ගියා. යුද්ධය නිසා අත්හැරුණු, විනාශ වුණු ගෙවල්
දොරවල් මම දැක්කා. එදා බුදු හාමුදුරුවෝ
නාගදීපෙට වැඩලා, නා රජවරුන්ගේ කලහය
සංසිඳවලා කලහකර ගන්නේ නැතිව සාමයෙන් විසීමේ වැදගත්කම අපට කියා දුන්නා. එය සිහිපත් කිරීමටත්, නාගදීපෙට එන වන්දනාකරුවන්ට ඒ අතීත සිද්ධිය නැවතත් සිතින්
මවා ගන්නත් එක්ක ‘මිණි පළඟක්’ පූජා කළොත් හොඳයි
කියලා මට සිතුණා. මේ කටයුත්ත සංවිධානය
කෙරුණේ ඒ අනුවයි’, කපිල චම්පක අතුරලියගම
මහතා කියන්නේ ය.
රත්නපුර මිණිදන පදනමේ උදවිය කියන හැටියට, ‘නව මිණි පළඟ’ පුජා කරන්නේ අරමුණු
කිහිපයක් පෙරදැරිව ය. ජාතික සමගිය පිළිබඳ හැඟීම්
තවදුරටත් ශක්තිමත්කර අසමගිකම් දුරුකර ගැනීම, මැණිික් කර්මාන්ත
හා වෙළෙඳ ක්ෂේත‍්‍රයේ නව පුබුදුවක් ඇතිකර ගැනීම සහ ඉපැරණි මණිනාග දිවයින්
වැසියන් හා රත්නපුරයේ මැණික් කර්මාන්තකරුවන් අතර පැවති සංස්කෘතිකමය සබැඳියාව කෘතවේදීව යළි සිහිපත්
කිරීම යන කාරණා ඒ අතර වේ.
මිණි පළඟ නිර්මාණය වන්නේ, පාරම්පරික මැණිික් කැටයම් කර්මාන්ත ශිල්පී
පරපුරකින් පැවත එන රත්නපුරේ, මාරපන, සඳුන් අඹගහවිට (අඹගහවිට ගල්ලද්දලාගේ
චන්ද්‍රජිත්) මහතා අතිනි. ඔහු මීට පෙර ද මැණික්
ගල් ඔබ්බවා විවිධ නිර්මාණ කළ ශිල්පියෙකි. මැණික් කැටයම්
කර්මාන්ත ලෝකයට ‘සඳුන් අබේ’ හෝ ‘සඳුන් අඹගහවිට’ යයි ප‍්‍රකට වුව ද, හෙතෙම නමින් අඹගහවිට
ගල්ලද්දලාගේ චන්ද්‍රජිත් (35) ය. රත්නපුරයට නුදුරු
මාරපන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘සඳුන්’, පාරම්පරික මැණිික් කැටයම් කර්මාන්ත පරපුරක ශිල්පියෙකි. මීට ඉහත ද ඔහු මැණික්
ගල් අල්ලා කළ නිර්මාණ ගණනාවකටම තම ශිිල්පීය දායකත්වය ලබා දී ඇති කලාකරුවෙකි.
නව මිණි පළඟ (පුටුව) තැනවුණේ කුඹුක්
දැවයෙනි. එය සම්පූර්ණයෙන් ම
රිදී ලෝහයෙන් ආවරණය කිරීම මීළඟ අදියරයි. ඒ සඳහා රිදී කිලෝග‍්‍රෑම්
විසිපහක් පමණ අවශ්‍යය වෙතියි ගණන් බලා තිබේ. ඒ සඳහා මුල්ම රිදී
කිලෝව පරිත්‍යාග කරන්නේ, කහවත්තේ, නීලගම, එන්. එල්. ආරියරත්න මහතා ය. දෙවැනි රිදී කිලෝව
පරිත්‍යාග කරන්නේ, මැණික් කැපුම් ශිල්පී
රත්නපුරයේ එච්. ඩී. එස්. බී. එම්. රොසයිරෝ මහතා විසිනි.
ඉදිරි කාලයේ එළඹෙන රත්නපුර ඔර්ලෝසු කණුවේ සියවස් පූර්ණය
නිමිත්තෙන්, එහි අභිමානය සහ නගරයේ
පෞරාණික හැඩතල යළි ඉස්මතු කිරීම පිණිස රත්නපුර මහ නගර සභාව මගින් ඔක්තෝබර් 30 වැනි දා පෙරවරුවේ
විශේෂ උත්සව සභාවක් පවත්වයි. රත්නපුර නගරාධිපති
ටිරෝන් අත්තනායක සහ උප නගරාධිපති ලක්ෂ්මන් මුණසිංහ යන මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රීවරු
එය සංවිධානය කරති. නව මිණි පළඟට ‘රිදී බැඳීමේ මංගල්‍යය’ පැවැත්වෙන්නේ ද එම
අවස්ථාවේ දී ය. එය සිදු වන්නේ රත්නපුර
ඔර්ලෝසු කණුව ඉදිරිපිට තැනවෙන විශේෂ මණ්ඩපයක දී, ප‍්‍රදේශවාසී මහා සංඝරත්නයේ සහ අනෙකුත්
ආගමික නායකයන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ය.
නාගදීපයට රත්නපුරෙන් පුදන නව මිණි පළඟ හැඩ කරන්නට බඳින
මැණික් ගල් සංඛ්‍යාව ලක්ෂයකි. එයට රත්නපුරයේ මැණික්
ව්‍යාපාරික ප‍්‍රජාව උපරිමයෙන් සහාය පළ කරන බව, රත්නපුර ඔර්ලෝසු කණුව ඉදිරිපිට මැණික් ව්‍යාපාරික සංගමයේ
සභාපති ජාත්‍යන්තර මැණික් වෙළෙඳ ව්‍යාපාරික ජගත් විජේවීර මහතා පැවසී ය. මිණි පළඟ අලංකාර
කරන්නට බඳින මැණික් ගල්වල වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි සියයක් පමණ වෙතැයි
සංවිධායකවරු කියති.
මේ පිළිබඳ අදහස් දක්වමින්, උතුරු පළාතේ ප‍්‍රධාන සංඝනායක, නයිනතිව් නාගදීප පුරාණ
රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් සඳහන් කළේ, බුදුරජාණන් වහන්සේගේ
ලංකාගමනයෙන් පසුව, පැරණි ආකෘතියට අනුව
නිර්මාණය කෙරෙන මැණික් ගල් ලක්ෂයක ‘මිණි පළඟක්’ නාගදීප විහාරස්ථානයට පූජා කෙරෙන ප‍්‍රථම අවස්ථාව මෙය වන
බවයි. එබැවින් එය බුදුරදුන්
වෙනුවෙන් කළ හැකි ඉහළම පූජාවක් බවත් උන් වහන්සේ සඳහන් කළහ. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන්
නාගදීපයට පැමිණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් උන් වහන්සේ කීහ.
මිණි පළඟට බඳින මැණික් ගල්, පරිත්‍යාග කරන්නේ, රත්නපුරයේ මැණික් වෙළෙඳ
ව්‍යාපාරිකයන් සහ මහජනතාවයි. ඒවා රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ
අධිකාරියේ රසායනාගාර පරීක්ෂාවෙන් පසුව මිණි පළඟට බැඳීම කෙරෙන බවත් සංවිධායකවරු සඳහන්
කරති. එය සිදු වන්නේ මැණික්
විද්‍යාඥ, ජනක හේමචන්ද්‍ර මහතාගේ
අධීක්ෂණයෙනි. මැණික් ගල් බැඳීමේ කටයුත්ත සඳහා රත්නපුර
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගොඩනැගිල්ලේ විශේෂ ආරක්ෂිත කුටියක් දැනටමත්
සකස්කර තිබේ. දැනට කියැවෙන හැටියට, මිණි පළඟට මැණික් ගල්
බැඳීමේ මංගල්‍යය සිදු වන්නේ ලබන දෙසැම්බරයේ ය.
‘මැණික් ගල් ලක්ෂයක් බඳින්න
මට ඉතින් තුන් මාසයක් විතර යයි’, ලියුම්කරු කළ විමසුමේ දී මැණික් කැටයම් ශිල්පී, සඳුන් අඹගහවිට මහතා
කීවේ ය.
මිණි පළෙඟහි නිර්මාණ කටයුතු අවසන් වීමෙන් පසුව, පැල්මඩුල්ලේ උදය කුමාර
බණ්ඩාර මහතාගේ අනුග‍්‍රහයෙන් මැණික් කුඩුවලින් නිර්මාණය කළ බුද්ධ ප‍්‍රතිමාව ඇතුළු
අනෙකුත් පූජා භාණ්ඩ ද සමගින්, දෙවුන්දර තුඩුවේ සිට මහ පෙරහරින් නාගදීපයට වැඩම කිරීමට
සැලසුම් කෙරෙමින් තිබේ.
2018/10/08
00000000000000000000000000000000000000000000000000
No comments:
Post a Comment