කොළඹ සිට හඟුරන්කෙතට කළ
ලංගම විවාදයේ රස!
දැන් අපි ලංගමෙන් යනවා අපෙ ගමට
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අයිතිය ‘ලංගම’ හෝ ‘පෞද්ගලික’ වුව ද, ‘බස්’ වූ කලී මහ පාරේ දී මගී මහජනතාවගේ ය. දිනපතා ම, දස දහස් ගණන්-ලක්ෂ ගණන් ජනී ජනයා
ඒවායෙහි ගමන් බිමන් යති. එබැවින් ‘බස්’ යනු වෙන ම උප
සංස්කෘතියකි.
බස් සංස්කෘතියෙහි වචන භාවිතය බොහොම අමුතු ය. ඒ සම්බන්ධයෙන් වන ජනප‍්‍රියතම
උදාහරණය, ‘ඔටුව-පිට ඔටුව’ ය. නැතිනම් ‘ඔටුව-පිටෝටුව’ ය. ‘පිටකොටුව’ වූකලී කොළඹ ය. රටේ අගනුවර ය. රටේ හතර දිග්භාගයෙන් ම
කොළඹට ඇදී එන මගී බස් සේවා එකට හමු වන්නේ පිටකොටුවේ දී ය. ඊට නුදුරින් පිහිටියේ
කොළඹ ‘කොටුව’ යි. බස් රථවලට සෙනග එකතුකර
ගැනීම සඳහා කෙරෙන ‘වේගවත් ඇරයුමේ දී’, කොටුව ‘ඔටුව’ බවට පත් වෙයි. වේගවත් ආරාධනයේ
දී වචන නිවැරදිව වැහැරෙන්නේ නැත. ‘පිටකොටුව’ යන්න ටිකක් වේලා යන
විට ‘පිටඔටුව’ හෝ ‘පිටෝටුව’ බවට පත් වන්නේ
නිරායාසයෙනි. පිටකොටුවේ දී ‘පානදුර, පානදුර’ යන්න ‘පාන්දර, පාන්දර’ කියා ඇසෙන්නේ ද, බලංගොඩ දී ‘රාස්සගල, රාස්සගල’ යන්න ‘රාස්ස, රාස්ස’ කියා ඇසෙන්නේ ද, ගාල්ලේ දී ‘කරාපිටිය, කරාපිටිය’ යන්න ‘කාපිය, කාපිය’ කියා ඇසෙන්නේ ද බස් සංස්කෘතියට ආවේණික ‘වේගවත් ඇරයුමේ’ අනුහසිනි. මාර්ග අංක 138 හෝමාගම පෞද්ගලික
බස්වලින් ‘හෝමාගම, හෝමාගම, හෝමාගම කියා ඇසෙන්නේ
මුල හරියේ විතර ය. ඊට පස්සේ එය ‘හෝමාගම, හෝමාගම, හෝමා, හෝමා, හෝමා’ යයි ඇසෙන්නට පටන්
ගනියි!
අලූයම් යාමයට පිටකොටුවේ බැස්ටියන් මාවත බස් නැවතුම්
පොළෙන් තවත් අමුතු ව්‍යවහාරයක් අසන්නට ලැබේ. ඒ, ‘මලේ, මලේ, මලේ,’ යන්නයි. බස්
සේවකකාරකාදීන් ‘මලේ’ යනුවෙන් කෙටි වහරකට
නගා ගෙන ඇත්තේ ‘ත‍්‍රිකුණාමලය’ යන වචනයයි. දඹුල්ලෙන් එහා පිහිටි
හබරණ හන්දියෙන් ඔබ්බට, කන්තලේ ඔස්සේ ත‍්‍රිකුණාමලය
දක්වා ම මහජනයා ‘ත‍්‍රිකුණාමලය’ හඳුන්වන්නේ ‘මලේ’ යන කෙටි නාමයෙනි. ‘මලේ යනවා’, ‘මලේ ගියා’ ආදී වශයෙන් ඔවුහු එය
කට වහරට යොදා ගෙන තිබේ. බහුතරයක් දෙනා ‘මලේ යන්නේ’ බස් රථවලිනි. එබැවින් හබරණින් එහා
වසන මිනිසුන්ගේ ජනවහර, බස් සංස්කෘතියට ද එකතුවී
පිටකොටුවට ද පැමිණියා විය හැකි ය.
බස් සංස්කාතිය
තුළ ‘මලේ’ යයි කීවාට, හබරණින් මෙපිට රට මැද
මිනිසුන් දන්නවා ඇත්තේ ත‍්‍රිකුණාමලය හා බැඳුණු පැරණි ජන කවියේ එන ‘මලේ මලේ’ පමණක් වන්නට ද පුළුවන!
‘මලේ මලේ තැඹිලිය වැන්න
පොල් මලේ
රළේ රළේ මුහුදින් හමන දිය රළේ
බලේ බලේ රාසිං දෙවියන්නෙ බලේ
ගලේ කොටුව බැන්දයි
තිරිකුණාමලේ’
ත‍්‍රිකුණාමලය යයි කියන්නේ මහවැලි ගංගාවේ මෝය පිහිටි ඉසව්වයි. මහවැලි ගෙඟ මුහුදට වැටෙන්නේ ත‍්‍රිකුණාමලයේ
පිහිටි කොඞ්ඩියාර් බොක්කෙනි. පැරණි ‘ගෝකණ්න’ වරාය තිබී ඇත්තේ ද
කොඞ්ඩියාර් බොක්ක ආශ‍්‍රිතව ය. එකල එය පැරණි සිංහල
රජවරුන්ගේ පාලනය යටතේ පැවතිණි. ත‍්‍රිකුණාමලය, දැනුදු ලංකාවේ ඇති
විශාලතම ස්වාභාවික වරායයි. බි‍්‍රතාන්‍ය
යටත්විජිත පාලන සමයේ එහි මහා යුද කඳවුරත් තිබිණි. අදත් දැකගත හැකි ‘පෙඞ්රික් කොටුව’ ත්‍රිකුණාමලයෙහි බැඳ වූවෝ, බි‍්‍රතාන්‍යයෝ ය.
ලංකාවේ බස් ගමන් පිළිබඳ වංශකතාව සියවසකටත්
වඩා පැරණි ය. එකල මගී බස් සේවා ක‍්‍රියාත්මක
කළේ, අතමිට සරුසාර පෞද්ගලික
ව්‍යාපාරිකයන් සහ ඉසුරුමත් පෞද්ගලික බස් සමාගම් විසිනි. එකල දිව්වේ ‘කොම්පැණි බස්’ ය.
අපේ රටේ ප‍්‍රථම බස් සේවාව ආරම්භකර ඇත්තේ 1907 වර්ෂයේ දී ය. එහි හිමිකරුවා වූයේ බි‍්‍රතාන්‍ය
ජාතිකයෙකු වන ටී. කොලට් නම් මහතෙකි. එකල ඔහුගේ බස් සේවාව, කොළඹ සිට හලාවත දක්වා
ක‍්‍රියාත්මක විය. 1913 වසර පමණ වන විට, ඔහුගේ බස් සේවාව ගාල්ල, බදුල්ල, මඩකලපුව සහ ත‍්‍රිකුණාමලය
යන දුර බැහැර නගර දක්වා ව්‍යාප්තවී තිබිණි. ඉන් පසුව තවත්
පෞද්ගලික සමාගම් කිහිපයක් ම බස් ධාවනයට අත ගැසුවේ ය. 1948 වර්ෂය වන විට, ශ‍්‍රී ලංකාවේ
පෞද්ගලික බස් සමාගම් 53ක් පැවතිණි. ඒවායින් රට පුරා දිවූ
බස් රථ සංඛ්‍යාව 2583ක් දක්වා ඉහළ නැග
තිබිණි. මගී ප‍්‍රවාහන බස්
සේවා පැවැත්වීම, එකල ද ඉසුරුමත් වෙළෙඳ ව්‍යාපාරයක් වූයේ ය.
පසුව වර්ෂ 1958 වර්ෂයේ දී, අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරණායක මහතාගේ රජය
මගින් ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර බොහොමයක් රජයට පවරා ගෙන ‘ජනසතු’ කෙරිණි. රටේ සියලූම පෞද්ගලික
බස් රථ ව්‍යාපාර ද ඊට ඇතුළත් විය. ඒවා ද රජයට පවරා ගෙන
ජනසතු කෙරුණේ ය. ඉක්බිති වර්ෂ 1958 ජනවාරි මස පළමුවැනි
දා ‘ලංකා ගමනාගමන මණ්ඩලය’ පිහිටුවනු ලැබී ය. ඉන් පසුව රට පුරා මගී
බස් සේවා පැවැත්වීමේ කාරිය ඔවුන්ට පැවරිණි. ‘ලංකා ගමනාගමන මණ්ඩලය’ කෙටියෙන් හඳුන්වන්නට යෙදුණේ. ‘ලංගමය’ යනුවෙනි. එය බස් සංස්කෘතියේ
මුල් ම කෙටි යෙදුම වූවාට සැක නැත.
කෙසේ වෙතත්, ‘ලංගමය’ යන කෙටි යෙදුම අරභයා සිංහල භාෂා පේ‍්‍රමීන් අතර මහත්
විවාද පවා පැන නැගිණි. ශ‍්‍රී චන්ද්‍රරත්න
මානවසිංහ, හක්මන බැන්ටිස් රණවීර, පී. ඇම්. පී. අබේසිංහ රාලහාමි යන
කවීන් සහ සංගීතාචාර්ය සුමනදාස නන්දසේන යන මහත්වරු ඔවුන් අතර කැපී පෙනුණි. රංජිත් අමරකීර්ති
සූරීන් විසින් රචිත, ‘අප‍්‍රමාණ මිනිසෙක්-ශ‍්‍රී චන්ද්‍රරත්න
මානවසිංහ’ නම් ග‍්‍රන්ථයෙහි ඒ
සම්බන්ධයෙන් රසවත් සිද්ධියක් හෙළිදරව්කර තිබේ.
එය සැකෙවින් මෙසේ ය.
‘ලංගමය’ යන යෙදුම වැරදි බවත්, එය ‘ලංගමං’ යනුවෙන් නිවැරදි විය
යුතු බවත්, මුලින් ම හෙළිකර ඇත්තේ
හක්මන බැන්ටිස් රණවීර කවියා ය. ඔහු එය
හෙළිදරව්කර පුවත්පත් ලිපියකිනි. ‘ලංගම’ යන්න, ‘ලංගමං’ යනුවෙන් නිවැරදි වීම
නිසා ඇතිවන පද පෙරළියෙන්,
‘මංගලම්’ වන බවත් ඔහු කියා
සිටියේ ය.
ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වූ කලී, සිංහල භාෂාවෙහි නිරවද්‍යතාවය
ගැන ද. එහි ඌරුව ගැන ද දැඩි
සේ උනන්දුවක් දැක්වූ සාහිත්‍යකරුවෙකි. ලංකාදීපයේ ‘වගතුග’ තීරුවට ලිපියක්
ලියමින් ඔහු පැවසුවේ, බැන්ටිස් රණවීර
කවියාගේ මතයේ ඇත්තක් ඇති නමුදු, ‘ලංගම’ යන්න ‘ලංගමයෙන්’, ‘ලංගමයට’ ආදී වශයෙන් වර ගැගිය හැකි බවයි.
දිනක්, ලංකාදිපයේ දී මුණගැසුණු ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, හක්මන බැන්ටිස් රණවීර, පී. ඇම්. පී. අබේසිංහ රාලහාමි යන
කවීන් සහ සංගීතාචාර්ය සුමනදාස නන්දසේන යන මහත්වරු කුලී මෝටර් රථයකින් හඟුරන්කෙත යන්නට පිටත්
වූහ. හඟුරන්කෙත යනු පී. ඇම්. පී. අබේසිංහ රාලහාමිගේ ගම්
පළාතයි. ඔවුන් මේ යන්නේ ඔහුගේ
ගෙදර ය. ගමනේ අරමුණ මිත‍්‍ර
සමාගමයකි.
ගමනේ කතාබහට තේමා
වූයේ, හෙළ පෙළ සකු බස් වහරයි. ටික වේලාවකින් එයට ‘ලංගමය’
ද?, ‘ලංගමං’ ද? යන කාරණය ඇදී ආවේ ය. දැන් වාහනය ඇතුළේ
බැන්ටිස් සහ මානවසිංහ අතර මහත් විවාදයකි. එය අක්ෂර, ගණ, යෝනි සහ ප‍්‍රස්ථාර
ආදී භාෂාමය කාරණා ඔස්සේ පුළුල් පරාසයක ඇදී යන්නේ ය. වාදය වේගවත් ය.
පෑලියගොඩ දී රථය නතර කෙරිණි.
‘නන්දසේන එන්න ඉස්සරහට. මුන් දෙන්නා ගහගනීවි’ යයි කියූ අබේසිංහ
රාලහාමි පසුපස අසුනට පැමිණ මානවසිංහ සහ බැන්ටිස් මැදින් වාඩි වූයේ ය. එහෙත් වාදයේ නිමක් නැත. ඔවුහු සකු සිලෝ ආදිය
දක්වමින් මහනුවර දක්වා ම වාදයෙහි ගිලී සිටියෝ ය.
අබේසිංහ රාලහාමිගේ නිවසේ දී ඔවුහු රාත‍්‍රී ආහාර ගත්හ. ඉක්බිති පැදුරු එලා
ගෙන නිදන්නට වන්හ.
‘මානවේ උඹ දන්නවා ද?’
පැදුරේ දිගාවී කල්පනාවක නිග්මනව සිටින බැන්ටිස්, හදිසියෙන් ම පැදුරෙන්
නැගිට හිඳගෙන මානවසිංහගෙන් යමක් විමසයි.
‘ලංගමය’ ගැන විවාදය යළි දිග
හැරෙයි! එය දිගින් දිගට ම ඇදී
යන්නේ ය.
‘උඹලා නිදා ගන්නේ නැද්ද?’
අබේසිංහ රාලහාමි එසේ අසන්නේ බැරිම තැන ය. එහෙත් විවාදයේ කෙළවරක්
නැත්තේ ය. එය කොතෙක් වේලාවක්
පැවතියේ ද යන්න ගමන් විඩාවෙන් සිටි නන්දසේනට ද නිනව්වක් වූයේ නැත.
පසුවදා ඔවුහු යළි කොළඹ ඒමට පිටත් වූහ.
‘අයිසෙ, මයිලපිටියට හුඟක් දුර ද?’
බසයක් පමාවන කල මානවසිංහ ඇසී ය.
ඔවුහු පයින් ම ඉදිරියට ඇදුණහ. අතර මග ‘රා පොළක්’ ද තිබිණි. එයින් මද පමණින්
සප්පායම් වුණු ඔවුහු ඉදිරියට ඇදුණහ. ඒ අතර, මගදිගට කතාව පාරේ දකින
ගස්කොලන් ගැන ය. එයට පුරාණෝක්ති, දේව කතා සහ ශ්ලෝක ආදිය
ද ඇදී ආවේ ය.
‘මානවේ, ලංගමට ආයුෂ විසි
අවුරුද්දයි’, බසයක් එන තුරු පයින්
ගාටද්දී බැන්ටිස් අනාවැකියක් කීවේ ය.
බසයක් එන්නට පැය එකහමාරක් පමණ කල්ගත විණි. බසය ඈත පෙනෙද්දී
මානවසිංහත් බැන්ටිසුත් හවුලේ කවි කියන්නට පටන් ගත්හ. ඉන් එක් කවියක, අන්තිම පදය කීවේ
කවුදැයි කියා සුමනදාස නන්දසේනට මතක නැත. එහෙත් කවි පදය නම් මතක
ය.
‘දැන් අපි ලංගමෙන් යනවා
අපෙ ගමට!’
බැන්ටිස් කී බස සැබෑ කරමින් විසි වසරකට පසුව ‘ලංගම’ යන නාමය වෙනස් විය. එය ‘මධ්‍යම ලංකා ගමනාගමන
මණ්ඩලය බවට පත්වී, ‘මලගම’ යනුවෙන් කෙටි වූයේ ය. එයිනුත් පසුව බලධාරීහු
එය ‘මධ්‍යම ගමනාගමන මණ්ඩලය’ හෙවත් ‘මගම’ බවට පත් කළහ!
ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ හෝ බැන්ටිස් රණවීර යන
දෙපළගෙන් කවුරු කිව්වා වුව ද, ‘දැන් අපි ලංගමෙන් යනවා අපෙ ගමට’ කවි පදය නම් අපූරු ය. දැනුදු ලංකාවෙන්
බහුතරයක් ම ගමට යන්නේ ලංගමයෙනි! බොහොමයක් මාර්ගවල ? රාත්තිරියට ගෙදර යන්නට
තිබෙන්නේ ද ලංගමය විතර ය!
දයාබර පාඨකයිනි, එහෙව් ලංගමයේ ද, උන් සමග කරටකර රැඳෙමින් බස් දුවන යහපත්
පෞද්ගලික බස් ධාවකයන්ගේ ද,
අපූර්ව හැඩතල මෙවක් පටන් ‘බස් ලෝලය’ (බස් පේ‍්‍රමයක කටු
සටහන්) ඔස්සේ දිග හැරෙනු ඇත්තේ ය.
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය-බස් ලෝලය-01 නමින් 2018/09/30-සති අග අරුණ පුවත්පතේ
පළවිය)
No comments:
Post a Comment