අනුන්ගේ කන්ටේනර් සුරතල් කරමින්
ආතල් එකක් ගැනීමේ න්‍යාය!
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
පසුගිය කාලයේ, ‘නැව් එන්නේ නැති වරායක්’ යයි අනේක විධ ගැරහුම්
ලැබුවේ හම්බන්තොට ඉදි වුණු ‘මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායයි’. එහෙත් දැන් දැන් කොළඹ
වරායට එන නැව් සංඛ්‍යාව ද අඩු වෙමින් යන බවක් පෙනී යයි. කාරණය සඳහන් වන්නේ 2017 වසරේ ශ‍්‍රී ලංකා මහ
බැංකු වාර්තාවේ ය.
එහි සඳහන් වන අන්දමට, 2016 වර්ෂයේ කොළඹ වරායට පැමිණි නැව් සංඛ්‍යාව 4405කි. 2017 වසරේ දී එය නැව් 76කින් පහත වැටී, සමස්ත නැව් සංඛ්‍යාව 4329ක් බවට පත්ව තිබිණි.
කොළඹට පමණක් නොවේ. රටේ සියලූම වරායවලට එන නැව් සංඛ්‍යාව ද දැන් දැන් අඩුවී යමින්
තිබෙනු පෙනෙයි. 2016 වසරේ දී
ලංකාවට පැමිණි සමස්ත නැව් සංඛ්‍යාව 4998කි. 2017 වසරේ එය 4879ක් දක්වා (නැව් 119කින්) පහත වැටී තිබේ!
තත්ත්වය එසේ වුව ද, ‘ප‍්‍රති නැව්ගත කිරීම් (Transhipment)’ සම්බන්ධයෙන් නම් කොළඹ
වරාය 2017 වසරේ ලබා ඇති
ප‍්‍රගතිය සියයට 8.8කි. එම වසරේ
ඔවුන් කන්ටේනර් (බහලූ) 48,26,000ක් ප‍්‍රති නැව්ගතකර
ඇත. එය 2016 වර්ෂයට වඩා
කන්ටේනර් 3,91,000ක වැඩි වීමකි.
කොළඹ වරායේ දී ‘ප‍්‍රති
නැව්ගත කිරීම්’ යයි කියන්නේ, ‘අනුන්ගේ’ හෙවත් ලංකාවට යාබදව
පිහිටි ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ
මියැන්මාර් ආදී රටවලට යන-එන කන්ටේනර් හුවමාරු කිරීම ය. තවත් ආකාරයකට කිව හොත්
අනුන්ගේ කන්ටේනර් ‘සුරතල්
කිරීමෙන්’ ආතල් එකක්
ගැනීම ය. ඒවායෙහි එන්නේ ද,
යන්නේ ද ඔවුන්ගේ රටවල ‘ආනයන හෝ අපනයන’ නැව් බඩු ය.
මහ බැංකු වාර්තාවේ දැක්වෙන අන්දමට, 2017 වසරේ කොළඹ වරායෙන්
මෙහෙයවා ඇති සමස්ත කන්ටේනර් සංඛ්‍යාව 62,09,000කි. එයින් කන්ටේනර් 48,26,000ක් ම ‘ප‍්‍රති නැව්ගත කිරීම්’ හෙවත් ‘අනුන්ගේ කන්ටේනර්’ ය. ඒ අනුව බලන විට, 2017 වර්ෂයේ හුවමාරුවූ ‘අපේ රටට අයත්’ කන්ටේනර් සංඛ්‍යාව 13,83,000ක් පමණ වේ. වර්ෂ 2015 දී නම්, ‘අපේ රටට අයත්’ කන්ටේනර් සංඛ්‍යාව 19,22,000ක් තරම් ඉහළ අගයක්
ගත්තේ ය. දැන් එය කෙමෙන් පල්ලම් බසින බවක් පෙනී යයි!
අනුන්ගේ කන්ටේනර් මෙහෙයවීම, කොළඹ වරායට නම් ‘රට සල්ලි යහමින් උනන’, ආකර්ෂණීය වැඩකි. එහෙත්
එයින් පමණක් අපේ රටේ පුළුල් ආර්ථික වර්ධනයක් පිළිබිඹු වන්නේ නැත. ලංකාවේ නැව් බඩු
ඇතුළත්, ‘ලංකාවට එන-යන
කන්ටේනර් සංඛ්‍යාව ක‍්‍රමයෙන් අඩුවී යනවා ය’ යන්නෙහි යටි පෙළ අරුත අතිශයින් ම බරපතල ය. එහි තේරුම, ලංකාවේ ‘නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත‍්‍රය’ විශාල බිඳ වැටීමකට
ලක්ව ඇති බවයි! අපේ ම කියා කටක් ඇර කිවහැකි ‘අපනයන’ අඩුවී ඇති බවයි! එසේ ම, අපේ ම කියා කන්ටේනර් සුරතල් කරන්නට තිබෙන
අවස්ථා වේගයෙන් ගිලිහෙමින් යන බවයි!
කොළඹ වරාය ඔස්සේ ‘ලංකාවට අයත් කන්ටේනර්’ විශාල ලෙස හුවමාරු වන්නට නම්,
අපේ රට තුළ අපනයනය මුල්කර ගත් නිෂ්පාදන බහුලව තිබිය යුතු
ය. ලංකාවේ කන්ටේනර් සංඛ්‍යාව අඩු අගයක් ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, වර්තමාන ලංකාව ‘නිෂ්පාදන කර්මාන්ත’ ක්ෂේත‍්‍රයෙන් දුරස්
වෙමින් යන බව ය. වාර්ෂිකව කොළඹ වරායට
කන්ටේනර් ලක්ෂ ගණන් ලැබුණ ද, ලංකාවට අයත්
කන්ටේනර් ගණන අඩු අගයක් ගෙන ඇත්තේ ඒ හින්දා ය!
මෑත කාලීන ප‍්‍රවණතාවයන් ගත් කල, ලංකාවේ ආර්ථිකයට ‘රට සල්ලි’ (ඩොලර්) ලැබෙන ප‍්‍රධාන
මාර්ග කිහිපයක් හඳුනාගත හැකි ය. ඉන් ඉහළම තැනක් ගන්නේ, ‘ඇඟළුම් නිෂ්පාදන’ කර්මාන්තයයි. එයින්
රටට ලැබෙන ආදායමයි. ඊළඟට එන්නේ තේ, පොල්, රබර්, කුරුඳු සහ ගම්මිරිස් ආදී කෘෂිකාර්මික භෝග අපනයනය කිරීමේ
ක්ෂේත‍්‍රයයි. විදේශගත ශ‍්‍රමිකයන් ද විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන එන්නෝ ය.
මැණික් ඇතුළු ඛණිජ ද්‍රව්‍ය අපනයනය මෙන් ම, සංචාරක කර්මාන්තය ද රටට හොඳ ආදායමකි. රට කරවන උදවිය නම්
හැමදාමත් කියන්නේ, මේ හැම දෙයක්
ම ‘යහපත්
තත්ත්වයෙන්’ පවතින බවයි.
ඔවුන් එසේ කීව ද, ඇත්ත කතාව
එහැමපිටින් ම වෙනස් ය. එය ‘ලංකාවට අයත්’ කන්ටේනර් සංඛ්‍යාව
අඩුවී යාමෙන් ම, පෙන්නුම්
කෙරේ!
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, 2012 වසරේ දී ලංකාවේ සමස්ත
අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9774කි. 2014 වසර වන විට එය ඩොලර් මිලියන 11,130ක් දක්වා වැඩි විය. 2016 වසර වන විට එය ටිකක්
පහත වැටී, ඩොලර් මිලියන 10,310ක් විය. 2017 වර්ෂයේ ලංකාවේ සමස්ත
අපනයන ආදායම ඩොලර් මිලියන 11,360ක් දක්වා යළි
මදක් ඉහළ නැගුණේ ය.
2012 වසරේ සිට, 2017 වර්ෂයේ අවසානය දක්වා
ලංකාවේ අපනයන ආදායමේ වර්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 1586කි. එහි තේරුම ගෙවුණු වසර හයක කාලය තුළ රටේ
අපනයන ආදායම වසරකට ඩොලර් මිලියන 264.33ක් බැගින් ඉහළ ගොස් ඇති බවයි. 2015 සිට, 2017 වර්ෂය අවසානය දක්වා
ලංකාව ලබා ගෙන ඇති අපනයන ආදායමේ වර්ධනය ඩොලර් මිලියන 814කි. ගෙවී ගිය වර්ෂ
තුනක කාලය තුළ ලංකාවේ අපනයන ආදායම, වසරකට ඩොලර්
මිලියන 271.3ක් බැගින් ඉහළ
ගිය බව එයින් පෙනේ. එහෙත් මෙයට සාපේක්ෂව රටේ ‘ආනයන වියදම’ අධි වේගයෙන් ඉහළ නැග තිබේ. 2012 වසරේ දී ලංකාවේ සමස්ත
ආනයන වියදම, ඇමරිකානු
ඩොලර් මිලියන 19,190කි. 2017 දී එය ඩොලර් මිලියන 20,980කි. එය කොතෙක් බරපතල ද
යත්, 2017 දී ඩොලර්
මිලියන 9619ක ‘සෘණ වෙළෙඳ ශේෂයක්’ හට ගෙන ඇති බව ද මහ
බැංකු වාර්තාව කියයි. 2015 වසරේ සිට 2017 වසර දක්වා බලන කල, අපේ රටේ ආනයන වියදම
ඇමරිකානු ඩොලර් මිලියන 2045කින් පමණ ඉහළ
ගිය බව පෙනී යයි. ඉන්ධන ගෙන්වීම සඳහා දරන්නට වන වියදම, එයින් විශාල කොටසකි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිනෙන් දින අවප‍්‍රමාණ වීම, රටේ මිල මට්ටම් දිනෙන්
දින ඉහළ යාම ආදී අහිතකර තත්ත්වයන් රැසක් උද්ගත වන්නේ ද මෙම තත්ත්වය හේතුවෙනි. ඉහළ
යන ආනයන වියදමට ‘කර දෙන්නට’ තරම් ශක්තිමත් අපනයන
ආදායමක් නැතිකම වර්තමානයේ දැකිය හැකි ලොකුම ගැටලූවයි. රටේ අපනයන ආදායම් වර්ධනය වීම, එක තැන පල්වෙන
ස්වභාවයක් ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.
විදේශගතව සිටින ශ‍්‍රමිකයන් ද, අපේ රටට විශාල වශයෙන්
විදේශ විනිමය ගෙන එන පිරිසකි. මෑතක පටන් විදෙස් රැකියාවලට යන ශ‍්‍රමිකයන් සංඛ්‍යාව
ද බෙහෙවින් අඩුවී ගොස් තිබේ. 2014 වර්ෂයේ විදෙස් රැකියාවලට ගිය සමස්ත පිරිස 3,00,703කි. 2017 වසරේ එම සංඛ්‍යාව ද 2,12,162ක් දක්වා 88,542කින් පහත වැටී තිබේ.
එය ද රටට ලබෙන විදෙස් විනිමය අඩු වීමට එක් හේතුවකි.
පසුගිය කාලයේ අපට ‘ජී. එස්. පී. ප්ලස්’ සහනය ද අහිමිව තිබිණි. රටේ අපනයන ආදායම් අඩුවී යාමට එය ද
ලොකු හේතුවක් වූයේ ය.
ගෙවී ගිය කාලය තුළ, අපනයන වෙළෙඳපොළ පුළුල්කර ගැනීම හෝ රට තුළ රැකියා ජනනය
ආදී අරමුණු ඉටුකර ගැනීම පිණිස කිසිදු අලූත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වුණු බවක්
අසන්නට නො ලැබිණි. මහත් ප‍්‍රසිද්ධියක් ලබා ආරම්භ කළ කුලියාපිටියේ ‘වොක්ස්වාගන් මෝටර් රථ
කම්හල’ ද, හොරණ ‘ටයර් කම්හල’ ද ඵල නො දැරුවේ ය!
අපනයන සම්බන්ධයෙන් වන එක තැන පල්වෙන, නිද්‍රාශීලී ස්වභාවය
ඉවත්ව යන බවක් දකින්නට ද නැත. එබැවින් කොළඹ වරාය ඔස්සේ අනුන්ගේ කන්ටේනර් හුවමාරු
කරමින් රට සල්ලියක් උපයා ගැනීම විනා, තමන්ගේ ම කන්ටේනර් සම්භාරයක් ‘සුරතල් කරන්නට’ හැකි සමයක්
ළඟදී
එතියි
සිතන්නටවත් නුපුළුවන!
(පින්තූර අන්තර්ජාලයෙනි)
2018/05/17
No comments:
Post a Comment