2017 මහ බැංකු වාර්තාව
ග්ලයිපොසේට් පේ‍්‍රමීන්ට ‘දුෂ්ඨයා’ වෙයි!
(ක‍්‍රිෂ්ණ විජේ බණ්ඩාර)
වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ඉකුත් මැයි මස 02 වැනි දා මාධ්‍ය හමුවේ පවසා තිබුණු ආකාරයට, ආණ්ඩුව ‘ග්ලයිපොසේට් තහනම’ ඉවත් කරන්නට තීරණයකර තිබේ. ‘ග්ලයිපොසේට්’ වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටි ඇමතිවරයා නිතරම පාහේ පැවසුවේ, ඒවා නැතිව මහා පරිමාණ තේ වගාවන් පවත්වා ගත නො හැකි බවයි! ග්ලයිපොසේට් නැති නිසා මහා පරිමාණ තේ වැවිලි කර්මාන්තය අඩාලවී ඇති බවයි!
එය ‘පට්ට කෙප්පයක්’ බව, දැන් ආණ්ඩුවේ ම ලියැවිල්ලකින් හොඳහැටි සනාථවී තිබේ. එම ලියැවිල්ල ‘2017 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවයි’. ලංකාවේ ආර්ථිකය පිළිබඳ නිල විවරණිකාව වන එහි සඳහන් වන අන්දමට, ලංකාවේ තේ නිපැයුම් ක්ෂේත‍්‍රය 2017 වසරේ දී සියයට 5.2කින් වර්ධනයවී තිබේ. එය පෙන්නුම්කර ඇත්තේ 2016 වර්ෂය හා සැසඳීමේ දී ය.
‘ග්ලයිපොසේට්’ නැතිකම නිසා තේ වගාවේ ශ‍්‍රම කුලිය ද ඉහළ ගිය තත්ත්වයක් තුළ සියයට 5.2ක වර්ධනය සිදු වුණු බව මහ බැංකුව කියයි. වර්ෂය තුළ තේ වගාවට හිතකර මට්ටමේ දේශගුණික තත්ත්වයක් පැවතීමත්, තේ කම්හල් වැඩියෙන් විවෘත වීමත් යන කාරණා එයට හේතුවූ බව ද මහ බැංකු වාර්තාවේ (47 වැනි පිටුව) සඳහන්ව තිබේ.
තේ නිපැයුම් ක්ෂේත‍්‍රය සිය වර්ධනය අත්කර ගෙන ඇත්තේ, ‘ග්ලයිපොසේට්’ තහනම් කෙරුණු තත්ත්වයක් යටතේ වීම විශේෂත්වයකි. ‘ග්ලයිපොසේට්’ තහනම් කෙරුණු තත්ත්වයක් තුළ, 2017 වසරේ තේ නිෂ්පාදනය සහ අපනයනය වර්ධනය වුණු බවත්, අලූතින් තේ කම්හල් පවා විවෘත කෙරුණු බවත් මහ බැංකු විග‍්‍රහය අනුව පෙනී යයි. මෙහි යටි පෙළින් කියැවෙන අදහස වන්නේ, ‘ග්ලයිපොසේට්’ තහනම හෝ ඒවා නැතිකම තේ නිෂ්පාදන කර්මාන්තයේ පැවැත්මට බලපා නැති බවයි. එහි වර්ධනය අඩාල කිරීමට ද බලපා නැති බවයි. නවීන් දිසානායක ඇමතිවරයා පවසන අන්දමට, ‘ග්ලයිපොසේට්’ නැති නිසා තේ නිපැයුම් කර්මාන්තයේ බිඳ වැටීමක් සිදු වුවා නම්, 2017 වසරේ කොහෙත් ම සියයට 5.2ක වර්ධනයක් ඇති වන්නට බැරි ය. ඇමතිවරයා පැවසුවේ ඇත්තක් නම්, සිදුවිය යුතුව තිබුණේ පරිහානියකි. එහෙත් දැන් සමස්ත තේ නිපැයුම් ක්ෂේත‍්‍රය ම, සියයට 5.2ක වර්ධනයක් වාර්තාකර තිබේ. එයින් වැවිලි කර්මාන්ත අමාත්යවරයා නිතරම කියන ‘ග්ලයිපොසේට් නැතිව බැරිය’ යන කතාව, ‘බොරුවක්’ බවට පත් වෙයි!
ග්ලයිපොසේට් වල් නාශක රසායනය, ලංකාවට ගෙන්වීම තහනම් කළේ 2015 වසරේ ජුනි මස 11 වැනි දා ය. එයට මුල් වූයේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ය. තහනමට බලපෑ හේතුව වූයේ එය රටේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල දරුණු ලෙස පැතිරෙමින් යන ‘මාරාන්තික වකුගඩු රෝගයට’ එක් හේතුකාරකයක් බවට හඳුනා ගැනීම ය.
ග්ලයිපොසේට් කිවුල් ජලය සමග මුසු වීමෙන් ඇතිවන රසායනික තත්ත්වයන්, වකුගඩු රෝගය හට ගැනීමට හේතුකාරක වන බව රජරට විශ්ව විද්යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ පර්යේෂණ මගින් හෙළිදරව් විණි. ඒ සමග ම, ‘වස-විස සහිත ගොවිතැනට’ සහ ‘ග්ලයිපොසේට් භාවිතාවට’ ද එරෙහිව මහජන උද්ඝෝෂණ පවා හට ගත්තේ ය. රජරටින් ඇරඹුණු වකුගඩු රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේෂණයෙන් ද, එයට ‘ආසනික්’ ඇතුළු කෘෂි රසායන බලපාන බව හෙළිදරව් විය. ග්ලයිපොසේට් ලංකාවට ගෙන්වීම සහ භාවිතය තහනම් කෙරුණේ එයින් පසුව ය.
‘ග්ලයිපොසේට්’ තහනමත් සමග එළියට ආවේ අපූර්ව කාරණයකි. එනම් වස-විසවලට බෙහෙවින් ‘ආදරය කරන’, විශාල පිරිසක් අපේ රටේ ඉන්නා බව ය. ‘ග්ලයිපොසේට් පේ‍්‍රමීන්’ ගෙන් ඇතැමෙක් එහි භාවිතාවට ‘ආදරය’ කරති. ඇතැමෙක් ග්ලයිපොසේට් නිපදවන ඇමරිකානු මොන්සැන්ටෝ සමාගමට ‘ආදරය’ කරති. තහනම ඉවත්කර ගැනීම සඳහා 2015 වසරේ පටන් ඔවුන් ගෙන ගියේ අමුතු ම අරගලයකි!
එයින් ඔවුහු ප‍්‍රධාන කාරණා දෙකක් ඉස්මතු කළහ. ඉන් එකක් වූයේ ‘ග්ලයිපොසේට්’, වකුගඩු රෝගය ඇති වීමට හේතුකාරක වන බව කිසිදු විද්යාත්මක පර්යේෂණයකින් ඔප්පුවී නැති බව ය! වකුගඩු රෝගය ඇති වීම ස`දහා ‘ග්ලයිපොසේට්’ බලපාන බව කියැවෙන පර්යේෂණ තොරතුරු ද ‘පට්ට කෙප්ප’ බව ය! එසේම ඒවා පළවී ඇත්තේ, ලොව පිළිගත් පර්යේෂණ සඟරාවල නොව ‘කැලැ පත්තරවල’ බව ය. ඔවුන් පවසන අන්දමට, ‘රජරටින් ඇරඹුණු වකුගඩු රෝගය’ හට ගැනීමට හේතු තවම සොයා ගෙන නැත. එය තවම හඳුනා නො ගත් රෝගයකි!
ග්ලයිපොසේට් පේ‍්‍රමීන් ඉස්මතු කළ අනෙක් කාරණය වුයේ, ‘ග්ලයිපොසේට්’ යොදා වල් මර්දනය කරන්නට කරන්නට නො හැකි වීමෙන්, දැන් ලංකාවේ ‘තේ වගා සහ නිෂ්පාදන කර්මාන්තය දැඩි පරිහානියකට යමින් තිබෙන බවයි. ඒ මතය කරගසා ගෙන ගියේ වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ය. ඔහු නිරන්තරයෙන් ම පැවසුවේ, ‘ග්ලයිපොසේට් තහනම’ නිසා මහා පරිමාණ තේ වැවිලිකරුවන් විශාල අමාරුවක වැටී සිටින බවයි. ග්ලයිපොසේට් නැතිකම නිසා මහා පරිමාණ තේ වගාවන් නඩත්තු කරන්නට බැරි බවත්, එම හේතුව නිසා වතු ආර්ථිකය බිඳ වැටී, තේ නිෂ්පාදනය පහත වැටෙමින් යන බවත් ඔහු නිතර කීවේ ය.
ආණ්ඩුවේ ඇතුළත ද, එයින් පිටත ද, ඔහු ගෙන ගිය ‘ග්ලයිපොසේට් මතවාදය’ කිසිදු පදනමක් ඇති එකක් නොවේ. ඇමතිවරයා කියන්නේ ‘ග්ලයිපොසේට්’ නැතිව මහා පරිමාණයෙන් තේ වගා කළ නො හැකි බවයි. ‘මහා පරිමාණ තේ වගා කරුවන්’ යයි කියන්නේ, වැවිලි සමාගම් මගින් පාලනය වන හෙක්ටයාර් දහස් ගණන්වල වතු යායන් ය. එහෙත් වර්තමානයේ තේ නිෂ්පාදනයට වැඩිපුර ම දායක වන්නේ මහා පරිමාණ වැවිලිකරුවන් නොව, ‘කුඩා තේ ඉඩම් හිමියන්’ හෙවත් ගම් මට්ටමේ කුඩා ඉඩම් කැබලිවල වගා කරන ‘තේ ගොවීන්’ ය. ජාතික තලයේ තේ නිෂ්පාදනයෙන් සියයට 60-70කට පමණ දායක වන්නේ ඔවුන් ය!
මහා තේ වතු ක්ෂේත‍්‍රයට ‘නැතිවම බෑ’ යයි කීව ද, කුඩා තේ ඉඩම් හිමියන් නම් ග්ලයිපොසේට් ඉල්ලා සිටි බවක් අසන්නට නැත. ග්ලයිපොසේට් නැතත් ඔවුන් වෙනත් විකල්ප ක‍්‍රම මගින් වල් මර්දනයකර ගන්නා බව පෙනේ.
‘තේ’ වූ කලී, යම් තාක්ෂණික පිළිවෙතක් අනුව වගා කළ යුතු ආර්ථික භෝගයකි. සිටුවා ගත් තේ පැලය ‘හොඳ පැතිරුමක් සහිත පඳුරක්’ ලෙස ගොඩ නගා ගැනීම එහි එක් වගා උපක‍්‍රමයකි. එවිට පොළොවට හිරු එළිය නො වැටී යයි. ඉතින් වල් පැලෑටි වැවෙන්නේ නැත. පැලපත කාලයේ යම් තේ පැලයක් මැරී ගියහොත්, ඉතා ඉක්මණින් එතැන නව තේ පැලයක් සිටවිය යුතු ය. මෙය හැඳින්වෙන්නේ ‘පාළු සිටුවීම‘ යනුවෙනි. එසේ නො කළ හොත් එතැනින් වල් පැලෑටි පැන නැගී, අවට ප‍්‍රදේශයේ ව්‍යාප්ත වන්නට පටන් ගනියි. බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත්, හපුතලේට නුදුරුව ඇති ‘නීඩ්වුඩ්‘ වත්තේ තේ වවන්නේ ‘කාබනික වගාවක්’ වශයෙනි. ඔවුහු ග්ලයිපොසේට් හෝ, අන් කිසිදු කෘෂිි රසායනයක් හෝ, කෘතිම රසායනික පොහොර හෝ භාවිතා නො කරති. ඔවුන්ගේ තේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමක් ද ඇත. ඒ අනුව බලන විට ‘ග්ලයිපොසේට්’ නැතිව තේ වවන්නට බැරි යයි කීම විකාරයකි!
2017 මහ බැංකු වාර්තාවේ එන කරුණු ‘ග්ලයිපොසේට් පේ‍්‍රමීන්ට’ සැපයුණු කදිම පිළිතුරක් ය යන්න, ලියුම්කරුගේ කල්පනාවයි. මහ බැංකු වර්තාවෙන් කියන්නේ, ‘ග්ලයිපොසේට් ඕනෑ’ යයි හඬ නගන උදවිය පෙන්වන තත්ත්වයට වඩා වෙනස් දෙයකි. එනම්, ග්ලයිපොසේට් තහනම් කළ තත්ත්වයක් යටතේ තේ නිපැයුම අඩාල වෙනවා වෙනුවට, එය තවදුරටත් වර්ධනයවී ඇති බව යි.
එහි කියැවෙන අන්දමට, 2016 වසරේ රටේ සමස්ත තේ වගා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 2,02,000කි. 2017 වර්ෂයේ එය හෙක්ටයාර් 2,03,000ක් දක්වා හෙක්ටයාර් දහසකින් වැඩිවී තිබේ. 2016 වසරේ ලංකාවේ සමස්ත තේ නිපැයුම කිලෝග‍්‍රෑම් මිලියන 292.6කි. 2017 වසරේ එය කිලෝග‍්‍රෑම් 307.7ක් දක්වා වැඩිවී තිබේ. ග්ලයිපොසේට් නැතිව වල් මර්දනය සඳහා වැඩි ශ‍්‍රම කුලියක් ගෙව්වා යයි කීව ද, තේ නිෂ්පාදන වියදම ද ඉහළ ගොස් නැත. 2016 වසරේ තේ කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 469.24කි. 2017 දී එය රුපියල් 466.98කි. තේ අපනයන මිල (අපනයන මිලෙහි සාමාන්යය), 2016 දී කිලෝවකට රුපියල් 639කි. 2017 දී එය රුපියල් 807කි!
සැබෑ තත්ත්වය මෙසේ නම්, ග්ලයිපොසේට් නැතිව තේ වගා කරන්නට බැරිය යන මතවාදය, පදනම් රහිත නිකම් පුහු කතාවක් බවට පත් වේ. එහෙත් නවීන් දිසානායක ඇමතිවරයා තවමත් උත්සාහ කරන්නේ ‘ග්ලයිපොසේට් තහනම’ ඉවත්කර ගැනීමට ය. මාධ්‍ය ඔස්සේ දිග හැරෙන පුවත් අනුව, ආණ්ඩුව හෙට අනිද්දා ම තහනම ඉවත් කරන්නට යන බව කියැවෙයි.
වස විසෙහි සම්බන්ධයක් නැතැයි පවසමින් ‘ග්ලයිපොසේට් පේ‍්‍රමයෙන්’ පසු වූවා මිස, මාරාන්තික වකුගඩු රෝගය ව්යාප්ත වීම පාලනයකර ගන්නට අපට තවමත් හැකි වුයේ නැත. ආණ්ඩුව, ‘ග්ලයිපොසේට්’ නැවතත් මහ පොළොවට ගෙන එන්නට යන්නේ එබඳු තත්ත්වයක් ද පවතින අවස්ථාවක ය.
නවීන් දිසානායක ඇමතිවරයා සහ ඔහු කියන මහා පරිමාණ තේ වැවිලිකාර ප‍්‍රජාව, ‘ග්ලයිපොසේට්’ සමග මේ තරම් පේ‍්‍රමයෙන් පසුවන්නේ කුමන අබිරහස් හේතුවක් නිසා ද? යන්න පැහැදිලි නැත. එක්කෝ ඔවුන් ඇත්තට ම ‘වස-විස’ සපිරි ගොවිතැනකට කැමැත්තෙන් පසුවනවා ද විය හැකි ය. එසේ නැතිනම්?
2018/05/07.
No comments:
Post a Comment