‘කැටලිනාවුන්ගේ’ කොග්ගල-05-අවසන් කොටස
කොග්ගල හරහා ලන්ඩන් ගමන් වාර 271ක්!
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
කොග්ගල ඔස්සේ කෙරුණු පර්ත්, කරච්චි සහ ලන්ඩන් ජාත්යන්තර ගුවන් ගමන් පුරා වසර දෙකකුත් මාස පහක් පමණ පැවතිණි. මුළු ලෝකයට ම මහත් අස්වැසිල්ලක් ගෙන එමින් දෙවැනි ලෝක යුද්ධය හමාර වූයේ, වර්ෂ 1945 සැප්තැම්බර් 02 වැනි දා ය. එයින් පසුව පර්ත්, කොග්ගල හා කරච්චි ඔස්සේ කෙරුණු ලන්ඩන් ගුවන් ගමන් නතර කෙරිණි. යුද බිය පහව ගියෙන්, බි්රතාන්යය හා ඕස්ටේ්රලියාව අතර පියාසර කිරීම සඳහා ඊට වඩා පහසු ගුවන් මාර්ග විවෘත වීම ඊට හේතුවයි. ‘පර්ත්’ නුවර සිට කොග්ගලට, අවසන් වරට ‘කැටලිනාවක්’ පැමිණ ඇත්තේ 1945 වසරේ ජූලි මස 18 වැනි දා ය. එය කොග්ගල ඔස්සේ කෙරුණු ලන්ඩන් ගුවන් සේවාවේ අවසන් ගුවන් ගමනයි.
ඕස්ටේ්රලියාවේ ‘පර්ත්’ නුවර සිට කොග්ගල සහ කරච්චිය හරහා ලන්ඩනය දක්වා කෙරුණු සමස්ත ගුවන් ගමන් වාර සංඛ්යාව 271කි. ගමන්වාර සියල්ලේ ම, මුල් අදියරේ අතරමැදි ගුවන් තොටුපොළ වූයේ කොග්ගල යි. එම කාලය තුළ කොග්ගල ඔස්සේ මගීන් 860 දෙනෙක් ගමන් කළ බව, අන්තර්ජාලයේ එන පැරණි වාර්තාවල සඳහන් වේ. සමස්ත කාලය තුළ කිලෝ ග්‍රෑම් 51,600ක පමණ තැපැල් මළු ප්‍රවාහනයකර ඇත. කොග්ගල හරහා කෙරුණු ගුවන් ගමන් වාර සියල්ලෙහි ම සමස්ත දුර ප්‍රමාණය, කිලෝ මීටර් 15,39,546කි!
පර්ත් නුවර කැටලිනා සිහිවටනය
කොග්ගල ගුවන් තොටුපොළ, එවකට ලොව දීර්ඝතම නො නවතින ගුවන් ගමන සම්බන්ධයෙන් ඉතිහාසගත වුණු ස්ථානයකි. ඒ ඔස්සේ, ‘දෙවරක් හිරු නැගෙන’ ගුවන් ගමන් පැවති වකවානුව ලංකාවට ද බොහොම වැදගත් ය. කොග්ගල, ලොව නො නවතින ගුවන් ගමන් ඉතිහාසයට එක් වීම ඊට හේතුවයි. එසේම එය ‘ක්වන්ටාස් එම්පයර් ගුවන් සමාගමට’ ද අතිශයින් ම වැදගත් ය. ඊට හේතුව වන්නේ, ලොව ප්‍රථම නො නවතින සහ දීර්ඝතම ගුවන් ගමන, ඕස්ටේ්රලියාවේ ‘පර්ත් නුවර’ සහ ලංකාවේ ‘කොග්ගල’ අතර පැවැත්වීමේ කටයුත්ත ඔවුන් අතින් සිදු වීමයි. එය සිදු වූයේ ද ‘කැටලිනාවුන්’ අතිනි.
ක්වන්ටාස් එම්පයර් ගුවන් සමාගම මේ කාරණය සම්බන්ධයෙන් ඉදි කළ විශේෂ සිහිවටනයක් පර්ත් නුවර, ‘ස්වාන් ගඟ’ ඉවුරේ පිහිටි ජලචර ගුවන් යානා තොටුපොළෙහි අදත් දක්නට ලැබේ. එය සංචාරකයන් අතර ද ජනප්‍රිය තැනකි.
දෙවැනි ලෝක යුද්ධය හමාර වූයේ, වර්ෂ 1945 සැප්තැම්බර් 02 වැනි දා ය. එම වසරේ දී ම බි්රතාන්යයේ ගුවන් සමාගමක් ‘ලැන්කැස්ටි්රයන් ගුවන් යානා’ ( Avro Lancastrian
Air Craft) යොදා ගෙන, ඉන්දියන් සාගරය ඔස්සේ, ‘කොළඹ ගුවන් තොටුපොළ’ (රත්මලාන) හරහා ඕස්ටේ්රලියාව සහ බි්රතාන්යය අතර ගුවන් ගමන් ආරම්භ කළහ. කෙසේ වෙතත්, වර්ෂ 1946 වන විට ‘සිංගප්පූරුව’ යළිත් බි්රතාන්යය සහ ඕස්ටේ්රලියාව යා කළ ගුවන් ගමන්වල අතරමැදි කේන්ද්රස්ථානය බවට පත් විය. එකල ‘සිඞ්නි අගනුවර’ සිට ලන්ඩනය දක්වා පියාසර කිරීමට පැය 77ක කාලයක් (දින තුනක පමණ) ගත විණි!
එයින් පසුව 1949 වසරේ දී බි්රතාන්ය රාජකීය ගුවන් හමුදාව, කොග්ගල ගුවන් තොටුපොළ යළි ශ්‍රී ලංකාවට ම භාර දුන්නෝ ය. එකල ලංකාවේ රාජ්‍ය ගුවන් සේවය ‘Air
Ceylon’ ය. ඔවුහු 1964 වසරේ සිට කොග්ගල ගුවන් තොටුපොළ භාවිත කරන්නට පටන් ගත්හ. පසුව වර්ෂ 1978 දී එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරිණි.
කටුනායක ගුවන් තොටුපොළ ද, දෙවැනි ලෝක යුද සමයෙහි පැවතියේ බි්රතාන්ය රාජකීය ගුවන් හමුදාව යටතේ ය. ඔවුහු 1957 වර්ෂයේ එය නැවත ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී. වර්ෂ 1959 සිට, ‘කටුනායක’ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්යන්තර ගුවන් තොටුපොළ බවට පත් විය.
අපේ කාලයේ කැටලිනාවෝ
දැන් කොග්ගල ගුවන් තොටුපොළට ඉඳහිට හෝ එන්නේ ‘සී ප්ලේන්’ යයි හඳුන්වන නවීන ‘ජලචර ගුවන් යානා’ ය. ඒවා පැමිණෙන්නේ ද කොග්ගල ඔයෙහි ජල තලයට ය. ඒ හැරෙන්නට දැන් ‘කැටලිනාවුන්’ නම් කොග්ගලට එන්නේ නැත. කොග්ගලින් නික්ම ගිය ද, ලෝකයට නම් කැටලිනාවුන් පිළිබඳ මතකය තවමත් අලූත් එකකි! පැරණි කැටලිනාවුන් සමූහයක් තවමත් පියාසර තත්ත්වයෙන් යුතුව ඉතිරිව තිබීම ඊට හේතුවයි.
මඩකලපුවට නුදුරින් කල්කුඩා මුහුදේ කිමිදුණු දර්ශන ජයවර්ධන මහතා ඇතුළු ගවේෂකයන් පිරිසකට, 2013 වසරේ දී මුහුදු පත්ලේ තිබුණු අමුතු වස්තුවක් හමුවී තිබිණි. වැඩිදුරටත් කළ ගවේෂණයේ දී අනාවරණය වුයේ, එය දෙවැනි ලෝක යුද්ධ සමයේ එල්ලවුණු ප්‍රහාරයකින් මුහුදට ඇද වැටුණු ‘කැටලිනාවක්’ බව ය. යානයේ සැකිල්ල මෙන් ම එන්ජින් සහිත කොටස් ද ගවේෂකයන්ට හමු විය.
දැනට මාධ්‍ය මගින් හෙළිදරව්වී තිබෙන තොරතුරු අනුව, එය දෙවැනි ලෝක යුද්ධ සමයේ ලංකාවට ඉහළ අහසේ දී ජපන් හමුදාවේ ප්‍රහාරයට ලක්ව විනාශ වුණු එකම කැටලිනා යානාවයි. දෙවැනි ලෝක යුද්ධ සමය හැරුණු විට, ලංකාවේ අවශ්යතා සඳහා කැටලිනාවුන් භාවිත කළ බවක් අසන්නට නො ලැබේ! දෙවැනි ලෝක යුද්ධය පැවති වකවානුවේ පවා කැටලිනාවුන් දුර්ලභ ය.
කැටලිනා පේ්රමියෝ
ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රයෝජනය පිණිස ‘කැටලිනාවුන්’ මුලින්ම නිපදවූයේ වර්ෂ 1935 දී ය. ඒ බව මීට පෙර ද සාකච්ඡා කළෙමු. එකල නිපදවුණු සමස්ත ‘කැටලිනාවුන්’ සංඛ්යාව 3305ක් පමණ වෙතැයි ‘කැටලිනා පේ‍්‍රමීන්ගේ’ වෙබ් අඩවිවල සඳහන්ව තිබේ. ඉන් 2661ක් ම ඇමරිකාවේ දී නිපැයිණි. කැනඩාවේ දී තවත් 620ක් ද, සෝවියට් සමූහාණ්ඩුවේ දී තවත් යානා 24ක් ද නිපදවිණි. ඒ කාලයේ, ඇමරිකාවට අමතරව බි්රතාන්යය, ඕස්ටේ්රලියාව, කැනඩාව, සෝවියට් සමූහාණ්ඩුව, නෙදර්ලන්තය සහ නවසීලන්තය යන රටවල් ද ‘කැටලිනාවුන්’ භාවිත කළහ. මුල් නිපදවීමෙන් වසර 22ක දී පමණ, එනම් 1957 වසරේ දී ‘කැටලිනා යානා’ භාවිතයෙන් ඉවත් කරන ලදී. වර්ෂ 1979 දී ද යානා යම් සංඛ්යාවක් ඉවත් කෙරිණි.
මුල් නිපැයුමෙන් වසර 83ක් පමණ ගෙවී ගිය ද, ‘කැටලිනාවුන්’ සැලකිය යුතු සංඛ්යාවක් තවමත් නිරුපද්රිතව ඉතිරිව තිබෙන බව පෙනේ. ‘වර්ල්ඞ් නැටලිනා නිව්ස්’ (World Catalina News Magazine) යනු කැටලිනාවුන් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළ කෙරෙන සඟරාවකි. එහි කර්තෘ ‘ඬේවිඞ් ලෙග්’ (David Legg) විසින් 2017 වසරේ සකසා ඇති ලයිස්තුවකට අනුව, දැනට ලොව ඉතිරිව ඇති ‘කැටලිනාවුන්’ සංඛ්යාව 95කි. ඉන් 21ක් පමණ තවමත් පියාසර කළ හැකි හොඳ තත්ත්වයේ පවතී. ඉතිරි යානා කෞතුකාගාරවල ද, අලූත්වැඩියා කරමින් ද පවතින බව ඔහු කියයි. පියාසර තත්ත්වයේ පවතින යානා, නිරුපද්රිතව ලොව පුරා භාවිතයේ පවතින බව ද පෙනී යයි.
දැන් කැටලිනාවුන් වැඩිහරියක් ම භාවිත කෙරෙන්නේ සංචාරක කර්මාන්තය සහ ‘කැටලිනා පේ‍්‍රමීන්’ වෙනුවෙනි. ‘කැටලිනා පේ‍්‍රමීන්’ යනු ගුවන් යානා විෂයෙහි දැනුවත්කම් ඇති, ‘කැටලිනාවුන්ට’ ආදරය කරන සහ දෙවැනි ලෝක යුද සමයෙහි එයින් සිදුවුණු සේවාව වීරත්වයෙන් අගයන උදවියට ය. ඕස්ටේ්රලියාවේ ක්වන්ටාස් ගුවන් සමාගම ද, සිය කීර්තිමත් ගුවන් ගමන් ඉතිහාසයෙහි ‘කැටලිනාවුන්’ වෙනුවෙන් ‘විශේෂ පිටුවක්’ වෙන්කර තිබේ. නවසීලන්තයේ කැටලිනා පේ‍්‍රමීන් පිරිසක්, ‘කැටලිනා සංරක්ෂණාගාරයක්’ (The Newzealand catalina preservation
society) ද පවත්වා ගෙන යයි.
එයට අමතරව කැටලිනාවුන් සංරක්ෂණය වෙනුවෙන් වැඩ කරන ආයතන, සංවිධාන සහ කෞතුකාගාර මෙන් ම වෙබ් අඩවි ද බොහෝ ය. ඉන් කිහිපයක් පහත දැක්වේ.
01-PBY Catalina International Association (www.pbycia.org)
02-PBY Memorial Foundation (Oak
Harbor, Washington, USA)
03-Aviation Heritage Museum-West Australia
04-Rathmines Catalina Memorial Park-Macquarie Lake, Melbourne, Australia
05-Rathmines Catalina Festival- Macquarie Lake, Melbourne, Australia
06-Catalina Flying Memorial Ltd,
Bank stown Air port-Sydeny, Australia
08-World Catalina News Magazine-by David Legg (From 1987)
09-Canada Aviation and Space Museum,Canada
10-Lake Boga Flying boat Museum, Victoria, Australia
11-PBY Naval Air Museum, Washington, USA
12-www.seaplanenagozine.com
13-www.pbycatalina.com
ඔවුන් පැරණි කැටලිනා යානා නිසි පරිදි අළුත්වැඩියා කොට, පියාසර තත්ත්වයෙන් යුතුව පවත්වා ගෙන යති. වාර්ෂිකව කැටලිනා ප්‍රදර්ශන හා සන්දර්ශන ආදිය ද පවත්වති. ‘කැටලිනාවුන්’ සම්බන්ධයෙන් වෙබ් අඩවි 6,40,000ක් පමණ අන්තර්ජාලයෙහි එයි! අන්තර්ජාලයේ කැටලිනාවුන් ගැන දැක්වෙන ‘වීඩියෝ ක්ලිප්’ සංඛ්යාව ද 50,000ක් පමණ වේ! ඒවා දැනුදු එතරම් ම ජනප්‍රිය ය. 2018 වසරේ අප්‍රියෙල් 11 වැනි දා අන්තර්ජාලයේ ‘Catalina aircraft koggala’ යයි සෙවුම් කළ විට, ‘ගූගල් අඩවියේ’ ඒ ගැන පෙන්නුම් කරන පිටු 12,800ක් ඇති බව දක්නට ලැබිණි!
කැටලිනාවුන් පිළිබඳ පුරාවෘත්තයන් කරපින්නා ගෙන ලෝකයට ගෙන යන්නේ ‘කැටලිනා යානා සංරක්ෂණය කරන සමාජ’ (කැටලිනා සමාජ) සහ ගුවන් යානා කෞතුකාගාර විසිනි. ඔවුන් අන්තර්ජාලයේ පළ කරන වෙබ් අඩවිවල, ඒ ගැන තොරතුරු රාශියක් සඳහන්කර තිබේ. ඉන් ලොකුම ආයතනය වන්නේ නවසීලන්තයේ ‘කැටලිනා සංරක්ෂණ ආයතනයයි’. අන්තර්ජාලය තුළ ‘www.nzacatalina.org’ යන ලිපිනයෙන් පෙනී සිටින ඔවුහු පැරණි කැටලිනා යානා සංරක්ෂණාගාරයක් ද පවත්වා ගෙන යති. ඕස්ටේ්රලියාවේ ක්වන්ටාස් සමාගම ද සිය පැරණි ගුවන් යානා කෞතුකාගාරයේ දී කැටලිනාවුන්ට පිරිනමා ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. ඇතැම් කැටලිනා සංගම් විසින් වාර්ෂිකව ‘කැටලිනා යානා පියාසර කරවීමේ උත්සව සහ සැණකෙළි’ ද පවත්වයි. ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන ‘Rathmines
Catalina Festival’ එයට නිදසුනකි.
‘කැටලිනාවුන්’ සිය දස්කම් පෙන්වූයේ දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ ය. එකල ඒවා මුලින් ම භාවිත කෙරුණේ සමුද්‍ර ආරක්ෂක සහ බෝම්බ හෙළන ප්‍රහාරක ගුවන් යානයක් වශයෙනි. දැන් ලෝකයෙහි එවන් යුද්ධයක් නැත. මුහුදු ආරක්ෂාව පිණිස ගුවනින් බෝම්බ හෙළීමේ තත්ත්වයක් ද නැත. එහෙත් කැටලිනා යානා තවමත් ගුවන අරා අභිමානවත්ව පියාසර කරයි! කැටලිනාවුන් අත්පත්කර ගෙන සිටින වර්තමාන පරපුර ඒවා ආදරයෙන් රැුකබලා ගන්නා බව හොඳට ම පැහැදිලි ය. කොටින් ම වර්තමානයේ ද ඒවාට යම් වෙළෙඳපොළක් සහ ඉල්ලූමක් තිබේ! කැටලිනාවුන් විකිණීම සඳහා පළ කෙරෙන දැන්වීම් පවා අන්තර්ජාලයෙහි වරින්වර හමු වෙයි. ඉන් එක් දැන්වීමක සඳහන්ව තිබුණේ, සම්පූර්ණයෙන් ම අලූත්වැඩියා කෙරුණු පියාසර තත්ත්වයේ ඇති පැරණි කැටලිනාවක් ඇමරිකානු ඩොලර් 6,75,000කට විකිණීමට තබා ඇති බව ය!
කොග්ගලට අලූත් ජාත්යන්තර අවධානයක්
මේ අතර, 2018 වසරේ මාර්තු මාසය අග භාගයේ දී ‘කැටලිනාවුන්’ සහ ලංකාවේ ‘කොග්ගල’ ගැන ජාත්යන්තර මට්ටමෙන් අවධානයක් හට ගත්තේ ය. එය සිදු වූයේ ලෝකයේ දෙවැනි ‘අන්තර් මහද්වීපික දීර්ඝ ගුවන් ගමනට’ මුල පිරීම නිමිත්තෙනි. ගමන සිදු වන්නේ ඕස්ටේ්රලියාවේ ‘පර්ත්’ නුවර සහ බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර (හීත්රෝ ගුවන් තොටුපොළ) අතර ය. එය මෙහෙය වන්නේ ඕස්ටේ්රලියාවේ සුප්‍රකට ‘ක්වන්ටාස්’ ගුවන් සමාගමයි. එය නො නවතින තනි ගුවන් ගමනකි. ගමන් දුර කිලෝමීටර් 14,498කි. මෙතෙක් සිඞ්නි සහ ලන්ඩන් අතර ගුවනින් යන්නට, අතරමග නැවතෙමින් දින හතරක් ගත විණි. එහෙත් නව ගුවන් ගමන සඳහා ගත වන්නේ පැය 17ක කාලයක් පමණකි. ක්වන්ටාස් සමාගම එයට යොදවා ඇත්තේ ‘බෝයිං-787’ වර්ගයේ නවීන ගුවන් යානා ය. එහි මංගල ගමන පැවති 2018 මාර්තු 25 වැනි දා එයින් ලන්ඩනයට ගිය මගීන් සංඛ්යාව 200 දෙනෙකි. ඒ සඳහා තනි ගමනකට ගාස්තුව (සාමාන්‍ය පන්තියේ) ඇමරිකානු ඩොලර් 2270 කි. නව ගුවන් ගමන සම්බන්ධයෙන් ක්වන්ටාස් සමාගම කළ ප්රචාරක කටයුතුවල, පැරණි ‘ඩබල් සන්රයිස් ගුවන් ගමන’ ලංකාවේ කොග්ගලට පැමිණි ආකාරය ගැන ද සඳහන්කර තිබිණි.
ලෝකයේ දැනට තිබෙන ගුවන් ගමන් තත්ත්වයන්ට අනුව දීර්ඝතම ගුවන් ගමන මෙහෙයවන්නේ ‘කටාර් එයාවේස්’ ගුවන් සමාගමයි. එය පියාසර කරන්නේ කටාරයේ ‘දෝහා’ ගුවන් තොටුපොළේ සිට නවසීලන්තයේ ‘ ඕක්ලන්ඞ්’ නගරයට ය. එහි ගමන් දුර කිලෝමීටර් 14,535කි. ගමන් කාලය පැය 16කි. කටාර් ගුවන් සමාගම එයට යොදවා ඇත්තේ ‘බෝයිං 777’ වර්ගයේ නවීන ගුවන් යානා ය. ලොව ඊළඟට ඇති දීර්ඝතම ගුවන් ගමන වන්නේ ‘ක්වන්ටාස්ලා’ ඉකුත් මාර්තුවේ ආරම්භ කළ ‘සිඞ්නි-ලන්ඩන්’ චාරිකාවයි.
ඕස්ටේ්රලියාවේ ක්වන්ටාස් ගුවන් සමාගම, සිය නව දීර්ඝතම ගුවන් ගමන හැඳින්වීමේ දී පැරණි ‘කොග්ගල ගමනාන්තය’ ගැන සිහිපත් කළේ මහත් අභිමානයෙනි. එහෙත් ලංකාවේ පාලකයන්ට නම් කොග්ගල හරහා කෙරුණු ජාත්යන්තර ගුවන් ගමන් ගැන වගේ වගක් නැත. දෙවැනි ලෝක යුද සමයේ පෙරදිග ලෝකයේ පැවති ප්‍රධාන ම ‘ජලචර ගුවන් තොටුපොළ’ පිහිටියේ කොග්ගල බව ඔවුන්ට මතක නැත. කොග්ගල ගුවන් තොටුපොළ සහ ජලචර ගුවන් පථය තවමත් එලෙස ම තිබේ. එසේ වුව ද සංචාරක ව්යාපාරය සඳහා හෝ එහි පැරණි යශෝකීර්තියෙන් වාසියක් උදාකර ගන්නට ඔවුන්ට කල්පනාවක් නැත. කොටින් ම, දැනුදු දෙස්-විදෙස් සංචාරකයන් නිතර ම ගැවසෙන වර්තමාන කොග්ගලට සිය පැරණි ‘කැටලිනා උරුමයෙන්’ ඉතිරිව ඇත්තේ ‘කැටලිනා’ යන නාම ශේෂය පමණකි. එය භාවිත කෙරෙන එක් තැනක් වන්නේ, ඒ නමින් පවත්වා ගෙන යන සංචාරක හෝටලයකි. අනෙක කොග්ගල ගුවන් තොටුපොළ අසල (පංච මාර්ග හමුවන ස්ථානයේ) ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පවත්වා ගෙන යන ‘කැටලිනා ග්‍රිල්’ අවන්හලයි. එතැන මහජන ආකර්ෂණය සඳහා රඳවා ඇත්තේ ද ‘කැටලිනාවක්’ නොවේ. පැරණි ‘ඇව්රෝ’ ගුවන් යානයකි!
එතැන ‘කැටලිනාවක’ ආකෘතියක් හෝ ඉදිකර තබන්නට, අපේ රටේ සංචාරක කර්මාන්ත ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය බලධාරීන්ට කල්පනා නො වන හැටි! තවමත් ‘කැටලිනාවුන්’ භාවිත කරන විදෙස් සමාගමක හෝ සහායෙන්, කොග්ගල ජල තලයෙන් ගමන් අරඹා දකුණු පළාතේ වැව් සහ සමීප මුහුදේ තල්මසුන් නැරඹීමේ ‘ජලචර සංචාරක ගුවන් චාරිකාවක්’ හෝ ආරම්භ කරන්නට කල්පනා නො වන හැටි!
(පින්තූර-ක්වන්ටාස්
සමාගම සහ කැටලිනා වෙබ් අඩවිවලිනි)
(සමාප්තයි)
2018/04/10
ඔබගේ කැටලිනා විස්තර වලට ස්තුතියි. ඔබගේ කැටලිනා කෞතුකාගාර ලයිස්තුවේ 10 වන තැන තියන ලේක් බොගා ෆ්ලයින් බෝට් කෞතුකාගාරය මම නරඹා තියනවා. ඒකෙ තියන කැටලිනා එක දැක්කාම නම් මේක ගුවන් ගත වෙන්නේ කොහොමද කියන එක තමයි මුලින්ම හිතෙන්නේ. එච්චරටම ප්‍රාථමික මට්ටමේ යානාවන්. ඒවායෙන් ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තයට ගිය මිනිස්සුන්ට වෙනිවැල්ගැට බොන්න වෙන්නේ නැත්තේ ඇලුමිනියම් වලට පිටගැස්ම හැදෙන්නේ නැති නිසා වෙන්න ඕනෑ . ඒ වගේම ඒ කාලයේ Aerodynamics කියලා දෙයක් අහලාවත් නැති බවත් මේවා දැක්කාම තේරෙනවා.
ReplyDeleteඔබගේ ලිපියේ අවසානයට කියවෙන කොන්ටාස් දීර්ඝතම ගුවන් ගමන පර්ත් සිට ලන්ඩන් මිසක් සිඩ්නි සිට නොවේ. ඒවාගේම සිඩ්නි සිට ලංඩන් වලට මෙතෙක් කල් පැවතුනේ (තවදුරත් පවතින්නේත්) දින හතරක නොව පැය 22 පමණ සිට ඉහලට ගතවන ගුවන් ගමනක් බවත් කියන්න වෙනවා .ස්තුතියි
ප්රලතිචාර දැක්වූවාට ස්තුතියි. කරුණු නිවැරදිකර දුන්නාටත් ස්තුතියි. එය පර්ත් යනුවෙන් නිවැරදි කරන්නම්.මෙබඳු ගුවන් යානාවක් එදා රේඩියෝ සපෝට් එකක් නැතිව මාලිමාවෙන් සහ තාරකා ආධාරයෙන් කොග්ගලට ආ එක ම පුදුම සහගතයි.
Deleteකැටලිනා ලිපි පෙළට ප්ර තිචාර දැක්වූ සියලු දෙනාට ස්තුතියි.