රේඩියෝ පණිවුඩ සහාය නෑ!
මාලිමාවේ සහ තරු රටාවල පිහිට පමණයි!
ඕස්ටේ‍්‍රලියාවේ
සිට කොග්ගලට
පැය 28ක ගුවන් ගමනක්
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-‘Qantas Empire Airways’ ගුවන් සමාගමේ වෙබ් අඩවියෙනි)
කොග්ගල ගමන පිළිබඳ ක්වන්ටාස් ගුවන්
සමාගමේ සැලසුම ‘සිත් හිරි වට්ටන’ තරම් පුදුම එළවන සුළු
ය! ඔවුන්ගේ අදහස වූයේ ‘පර්ත් නුවර’ සිට කිලෝ මීටර් 5652ක් දුරට විහිදෙන ‘තනි පිම්මක්’ (අඛණ්ඩ සහ වේගවත්
පියාසැරියක්) මගින් කොග්ගල ජල තලයට
ගොඩ බැසීම ය! ‘කැටලිනාවුන්’ ඒ සඳහා ඔරොත්තු දෙන බව
ඔවුහු දැන උන්හ.
මේ ගමන අමුතුම එකකි. එහි දී ‘කැටලිනාවුන්’ පියාසර කළ යුත්තේ තම
රේඩියෝ සංඥා පවා සම්පූර්ණයෙන් ම ක‍්‍රියා විරහිතකර ගෙන ය! එබැවින් ‘පර්ත්’ සහ අතරමැදි ගුවන්
තොටුපොළ හෝ කාලගුණ මධ්‍යස්ථාන සමග පණිවුඩ හුවමාරුව පවා අඩාල වේ. ගමනට ගොඩබිමින් උපදෙස්
හෝ මග පෙන්වීම් නො ලැබෙන බව එහි තේරුමයි. මෙම තත්ත්වය නිසා
ක්වන්ටාස් නියමුවන්ට සිදු වූයේ, ‘මාලිමාව’ සහ රාත‍්‍රී තරු රටා ආධාරයෙන් මාර්ගය සොයා ගෙන පියාසර
කරන්නට ය! අනෙක ගමනේ රාත‍්‍රී
කාලය ගෙවා ගත්තේ ද අඳුරේ ය. කට්ට කළුවරේ රහසින්
පියාසර කිරීම අසීරු දෙයකි. එහෙත් එය වඩාත් ආරක්ෂා සහිත විය.
කෙසේ වෙතත් රේඩියෝ පණිවුඩ සහාය ද නැතිව මාලිමාවේ
පිහිටෙන් රාත‍්‍රී අන්ධකාරයේ පියාසර කිරීම, සැලකිය යුතු අභියෝගයක් මෙන් ම මවිතය එළවන කාරණයක් ද විය. ගමන පටන් ගන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ‘පර්ත් නුවරට’ නුදුරින් පිහිටි ‘ස්වාන් ගංගාවේ’ (Swan river) ජල තලයෙනි. ඉන් පසුව එය එක දිගට, එනම් නො නැවතී, කිලෝ මීටර් 5652ක් දුර ගෙවා ලංකාවේ
කොග්ගල රාජකීය ගුවන් තොටුපොළට පියාසර කළ යුතු විය. එය ‘බි‍්‍රස්බේන්-ලන්ඩන්’ ගුවන් ගමන මෙන් නොව, වචනයේ පරිසමාප්ත
අර්ථයෙන් ම ‘නො නවතින (Non-stop) ගුවන් ගමනක් වූයේ ය.
ජාත්‍යන්තර ගුවන් ගමනක් සම්බන්ධයෙන් කොග්ගලට එළඹුණු
ඓතිහාසික දිනය 1943 වසරේ ජුනි මස 23 වැනි දා ය. පර්ත් නුවර සිට පැමිණි
ප‍්‍රථම ‘කැටලිනාව’ එදා කොග්ගල ජලචර ගුවන්
පථයට ගොඩ බැස්සේ ය. යානය පදවා ගෙන ආවේ ‘ක්වන්ටාස් සමාගමේ’ ප්‍රවීණ ගුවන්
නියමුවෙකු වන කපිතාන් රෂෙල් ටැප් (Capt.Russel
tap) විසිනි. එදා යානයෙන් පැමිණි
මගීන් ගණන තුන් දෙනෙකි. ඊට අමතරව ලන්ඩනයට
යැවෙන තැපැල් මළු සමූහයක් ද තිබිණි.
කොග්ගලින් ඉන්ධන පුරවා ගත් කැටලිනාව ඊළඟට පියාසර කළේ
පකිස්තානයේ ‘කරච්චි’ ගුවන් තොටුපොළට ය. එය කොග්ගලට කිලෝ මීටර්
2534ක් දුරින් පිහිටියකි. සාමාන්‍යයෙන් බැලූව
හොත්, කොග්ගල සහ කරච්චිය අතර
ඇති දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 2534කි. ඇතැම් ගමන් වාරවල
කොග්ගලින් පිටත් වන ‘කැටලිනාවුන්’ හෝ ගොඩබිම් ගුවන් යානා
කරච්චි නුවරට ගමන්කර ඇත්තේ ඉන්දියාවේ ‘මදුරාසිය’ (වර්තමාන චෙන්නායි) සහ ‘බොම්බාය’ (වර්තමාන මුම්බායි) යන නගරවල ද ගොඩ
බස්වමිනි. එබැවින් කොග්ගල සිට
කරච්චියට පියාසර කිරීමට දින දෙකක් ගතවූ බව, පැරණි තොරතුරුවල සඳහන් වේ.
කැටලිනාවෙන් එන මගීන් රැගෙන ලන්ඩනයට පියාසර කරන්නේ බි‍්‍රතාන්‍යයේ ‘ඉම්පීරියල් ගුවන් සේවයට’ අයත් ගුවන් යානාවලිනි. කරච්චියේ සිට ලන්ඩනයට
ඇති දුර කිලෝ මීටර් 6000ක් පමණ වේ.
පර්ත් නුවර සිට කොග්ගලට නො නැවතී පියාසර කිරීම සඳහා කැටලිනාවකට ගතවුණු
කාලය පැය 28කි. උඩු ගුවනේ සුළං ධාරා
අයහපත් තත්ත්වයක පැවතුණි නම්, එය පැය 30-32ක් දක්වා ප‍්‍රමාද වේ. කොයි හැටි වෙතත් ‘කැටලිනා’ යානාවකට එක දිගට පැය 36ක් පමණ ගුවනේ පියාසර
කිරීමට පුළුවන.
නො නවතින පියාසැරියක් වූ ‘පර්ත්-කොග්ගල’ ගුවන් ගමනේ, තවත් විශේෂත්වයක්
තිබිණි. එනම් සමස්ත පියාසර
කාලය තුළ ‘හිරු උදා වීමේ අවස්ථා’ දෙකක්ම අත් විඳින්නට අවස්ථාව ලැබීමයි!
මේ කාරණය නිසා ක්වන්ටාස්ලාගේ පර්ත්, කොග්ගල සහ කරච්චි හරහා
ලන්ඩන් ගුවන් ගමන ‘දෙවරක් හිරු නැගෙන
ගුවන් ගමන’ (Double
sunrise Journy) යයි හඳුන්වනු ලැබිණි. ගමනට එක්වූ සෑම
මගියෙකුට ම ඔහු ‘දෙ වරක් හිරු නැගෙන
ගුවන් ගමනේ ගිය බව’ තහවුරු කරමින්
ක්වන්ටාස් සමාගමේ සහතිකයක් ද පිරිනැමුණි! එකල එය අතිශයින් ම
දුලබ අත්දැකීමක් වශයෙන් සැලකිණි.
ක්වන්ටාස් සමාගම පර්ත්, කොග්ගල සහ කරච්චි දක්වා ගමන්වලට කැටලිනා
යානා පහක් යොදවා තිබිණි. ඒවා ‘Antares’, ‘Rigel star’, ‘Spica star’, ‘Vega star’, සහ ‘Altair’ යනුවෙන් හැඳින්විණි. සිය ප‍්‍රචාරක
කටයුතුවල දී ඔවුන් කොග්ගල හරහා ලන්ඩන් ගමන තේමා ගැන්වූයේ ‘සිහින චාරිකා ගුවන්
ගමන’ යන අරුත් ඇති ‘Dreamliner flight’ යන වැකියෙනි. ඇත්තට ම, එය ලොව ප‍්‍රථම ‘නො නවතින සහ දීර්ඝතම’ වාණිජ ගුවන් ගමන ද විය!
සමුද්‍රික මුරසේවා සහ ආරක්ෂක කටයුතුවලට ද, අවශ්‍ය අවස්ථාවල සතුරු
ඉලක්කවලට බෝම්බ හෙළීමට ද,
සමත්කම් දැක්වූ ‘කැටලිනාව’ හෙවත් ‘පියාඹන බෝට්ටුව’, දැනුදු සැලකෙන්නේ
බොහොම අපූරු ගුවන් යානා මාදිලියක් වශයෙනි. එය සාමාන්‍යයෙන් ජලචර
ගුවන් යානයකි. එහෙත් එය ගොඩබිම්
ගුවන් පථයකට ගොඩ බැස්සවීමේ හැකියාව ද සහිතව නිර්මාණය කළ යානයකි. ‘කැටලිනා’ යානා මුලින්ම නිපදවා
ඇත්තේ 1930 වසරේ, ඇමරිකාවේ ය. ඒවා වැඩි හරියක් ම
නිපදවූයේ ඇමරිකානු නාවික හමුදාවේ ප‍්‍රයෝජනයට ය. ලොව ප‍්‍රථම ‘කැටලිනාව’ ගුවන් ගතකර ඇත්තේ 1935 වසරේ මාර්තුවේ ය. ඉන් පසුව එය ලොව රටවල්
බොහොමයක ව්‍යාප්ත විණි. දෙවැනි ලෝක යුද සමයේ
එයින් සිදුවූ සේවාව විශාල ය. එකල ගුවන් යානා ක්ෂේත‍්‍රයේ
එය කොතෙක් ජනප‍්‍රිය වූයේ ද යත්, නම් ගණනාවක් ද පටබැඳී තිබිණි. ‘Canso’, ‘Cat’, ‘Black cat’, ‘Mad cat’, ‘Dumbo’ සහ ‘Pig Boat’ ආදී නම් ඒ අතර විය!
‘කැටලිනාවක’ දිග මීටර් 19.46කි. උස මීටර් 6.15කි. හිස්ව තිබෙන යානයක
සමස්ත බර කිලෝ ග‍්‍රෑම් 9485ක් පමණ වේ. එයට බලය සැපයෙන්නේ
එන්ජින් දෙකකිනි. ඒවා, අශ්වබල 1200ක ශක්ති ධාරිතාවකින්
යුක්ත ය. එවන් ‘කැටලිනාවකට’ කිලෝ ග‍්‍රෑම් 16,000ක බර ප‍්‍රමාණයක් ඔසවා
ගෙන, මීටර් 4000ක පමණ ඉහළ අහසින්
පියාඹන්නට පුළුවන. ඒ අතර කිලෝ ග‍්‍රෑම් 2000ක් බරට ‘බෝම්බ’ ගෙන යන්නට ද හැකියාව
ඇත. යානාවෙහි සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 183ක් පමණ වේ!
පසු කාලීනව ‘කැටලිනා’ යානාවල ශක්තිය තවදුරටත් වැඩි දියුණු කෙරිණි. ඒ අනුව, දෙවැනි පරපුරේ ‘කැටලිනාවුන්ට’ සවි කෙරුණේ එකක්
අශ්වබල 825ක් බැගින් වූ එන්ජින්
ය. එයින් යානාවේ ශක්තිය තවත් වැඩි විය.
‘කැටලිනාවුන්’ මගී ප‍්‍රවාහනය පිණිස
යොදා ගැනීමත් සමග, ක්වන්ටාස් සමාගම ඒවා
යම් යම් වෙනස්කම්වලට ලක් කළහ. ඒවායෙහි රැගෙන යා හැකි
ඉන්ධන ධාරිතාවය වැඩි කිරීම,
එයින් එක් වෙනස්කමකි. පියාපත් යට ඒ සඳහා අමතර ටැංකි සවි කරන
ලදී. ‘පර්ත්-කොග්ගල’ ගමනට එක් වුණු ‘කැටලිනාවක’ ලීටර් 6623ක ඉන්ධන ප‍්‍රමාණයක්
ගබඩා කළ හැකි ය. ඉන් කිලෝමීටර් 6623ක් පමණ දුරක් ඉතා
පහසුවෙන් පියාසර කළ හැකි ය. යානයෙහි සාමාන්‍ය වේගය
පැයකට කිලෝ මීටර් 183ක තත්ත්වය යටතේ, පැයකට දහනය වන ඉන්ධන ප‍්‍රමාණය
ලීටර් 105-135ක් අතර වෙතැයි, ‘pbycatalina.com’ නම් වෙබ් අඩවියෙහි සඳහන් වේ. වර්ෂ 1943 දී ඕස්ටේ‍්‍රලියාවේ සිට කොග්ගලට පැමිණියේ ද මෙබඳු ‘කැටලිනාවකි’.
ඕස්ටේ‍්‍රලියාව
සහ බි‍්‍රතාන්‍යය අතර නව ගුවන් ගමනක් ආරම්භ වන්නට මුල පිරුණේ ‘දෙවැනි ලෝක යුද්ධයේ
මිත‍්‍ර පාක්ෂික හමුදා’ අණසක යටතේ පැවති
සිංගප්පූරුව, 1942 වසරේ පෙබරවාරියේ දී
ජපන් හමුදාවල ග‍්‍රහණයට නතුවූ පසුව ය. ඒ වන විට,
ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර කෙරෙන ගුවන් ගමන්වල ප‍්‍රධාන
අතරමැදි නැවතුම බවට පත්ව තිබුණේ සිංගප්පූරුවයි. එකල ඔවුන් ඉන්ධන ලබා
ගත්තේ ද එයිනි. සිංගප්පූරුව ජපන්
හමුදා අතට පත් වීමත් සමග ම, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ගුවන්
ගමන්වලට ද වැට බැඳුණි. ලන්ඩන් යන අතර, ඉන්දියාවේ කල්කටා
නුවරට පියාසර කිරීම පවා ඇණ හිටියේ ය. ඕස්ටේ‍්‍රලියාව සිංගප්පූරුව වෙනුවට තෝරා ගත්
‘විකල්පය’ වූයේ, ලංකාවේ ‘කොග්ගල රාජකීය ගුවන්
තොටුපොළයි’.
ක්වන්ටාස් සමාගමේ ‘කැටලිනාවුන්’ කොග්ගලට පියාසර කළ සමයේ, ඔවුන් කොළඹ නගරයේ ද කාර්යාලයක් පිහිටුවා ගෙන
තිබිණි. එය පවත්වා ගෙන ගොස්
ඇත්තේ, කොළඹ (පිටකොටුව) කුමාර විදියේ ‘Prince Building’ නම් ගොඩනැගිල්ලක ය. කොග්ගල හරහා සිදු වන
ගුවන් ගමන් සහ තැපැල් මළු ප‍්‍රවාහන කටයුතු, එයින් සම්බන්ධීකරණය කෙරෙන්නට ඇත. ක්වන්ටාස් සමාගමේ
තවත් කාර්යාලයක් පකිස්තානයේ කරච්චි නුවර ද පිහිටුවා තිබිණි.
‘කැටලිනාවේ’ කාර්යමණ්ඩලයේ ප‍්‍රයෝජනය
සඳහා ඔවුන් ගාල්ල, මාගාල්ල, ක්ලෝසන්බර්ග් ප‍්‍රදේශයෙන්
නිවාස දෙකක් ද ලබා ගෙන තිබිණැයි කියැවේ. ඔවුන් වරින්වර ගාලූ
කොටුවේ පිහිටි ‘නිව් ඔරියන්ටල්’ හෝටලයේ (වර්තමානයේ අමන්ගල්ල
හෝටලය) නවාතැන් ගත් බව ද
පැරණි තොරතුරුවල එයි.
(මතු සම්බන්ධයි)
2018/05/05.
No comments:
Post a Comment