Total Pageviews

Sunday, July 17, 2016

නීලගිරි සෑ වරුණ-අවසන් කොටස

හැඩ ඔය නිම්නයෙන් මතුවන
රුහුණු-මාගම් ලකුණ-06-07

නීලගිරි සෑ වරුණ-අවසන් කොටස

සීගිරි අප්සරාවක් බඳු නළඟන සිතුවමක්
සධාතුක කරඬු 320ක්!
 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා,සමන්ත දිලාන් වැලිගමගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි)

නීලගිරි කන්ද පාමුල පිහිටි ගල් තලාව, දරණ ලා ගත් නාගයෙකු පරිද්දෙන් කන්ද වටා පැතිර පවතිනු පෙනෙයි. වඳුරු බුකු බුකුවක් ද ඈතින් ඇසෙයි. ගල් තලාවේම කෙටූ ඉපැරණි පියගැට පෙළ නැග අපි එහි ප‍්‍රථම කොටසට  පිවිසියෙමු. මදක් ඈතින් දිස්වන සුවිසල් ගල් පියැස්ස වනගත පරිසරයට එක් කළේ චමත්කාරයකි. කන්දේ මැදින් ද ගල් තලාවේ කොටස් ඇස ගැටුණු අතර, එහි වැවී තිබුණු කැලය තද කොල පැහැයෙන් යුතු විය. කන්ද මැද ඇති ‘ගල් කෙම්’ ඒවාට දියවර සලසතියි අපි සිතුවෙමු.
 

‘මේක තමයි වැදි චිත‍්‍ර තියෙන ලෙන’, දුරින් පෙනුණු ගල් පියැස්ස දක්වමින් පුරාවිද්‍යා මිතුරෝ කීහ. අපි එහි ගියෙමු.
 


එය ගල් තලාවෙන් මතු වූ මහලයක් බඳු ගල් තැල්ලකි. දහයක් දොළහකට නො තෙමී සිටින්නට හැකි තරම් පුළුල් ඉඩක් සලසමින් එය පියැස්සක් සේ නැගී සිටියේ ය. දෙපසින් බැඳි ගඩොල් බිත්තිවල ගරා වැටුණු කොටස් නිහඬව කියා පෑවේ අතීතයේ එහි යමෙකු වාසය කරන්නට ඇති බවයි. ලෙන් බිත්තියේ කිහිප තැනකම වැදි ජනයා (ආදිවාසීන්) ඇන්දා යයි සැක කළ හැකි චිත‍්‍ර සටහන් විය. ඒවායෙහි දක්වා තිබුණේ සතුන්ගේ රූ සටහන් ය. එක් ලෙන් බිත්තියක ගුරු ගල් වර්ණයෙන් ඇඳි නෙළුම් මලක රූපයක් ද විය. වැදි චිත‍්‍ර ඇඳ ඇත්තේ, අලූ බදාම මත ගස් මැලියම්වලින් වියහැකි යයි පාලිත අත්තනායක මහතා කීවේ ය.
 



‘මේ ලෙන වැදි යුගයේ පටන් ඓතිහාසික යුගය දක්වා, එහෙම නැතිනම් අනුරාධපුර යුගය දක්වා පාවිච්චි වුණාය කියලා සිතන්න පුළුවන්. මේක කටාරම් කෙටූ ලෙනක්. බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපියකුත් තියෙනවා. ඒකේ ‘සගෂ’ කියන වචනය කියවන්නත් පුළුවන්. ඔය සෙල් ලිපිය, කටාරම් කෙටීම වගේ දේවල් අයත් වන්නේ ඓතිහාසික යුගයටයි. මේ ලෙන ඇත්තටම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ඓතිහාසික යුගය දක්වාම පාවිච්චි වුණා ද? කියලා සැකයක් මතු වෙනවා’, සම්පත් ගුරුසිංහ මහතා කීය.
 


සෙල් ලිපියක් පිටපත් කරමින්


දිවා හිරු රැස් කෙමෙන් කෙමෙන් සිය කෝපය මුදා හරින්නට පටන් ගත්තේ ය. ගල් තලාව රත්වේ ගෙන එයි. අපි ඉන් පල්ලම් බැස යළිත් ගමන් ඇරඹීමු. හැඩ ඔය නිම්නය අරක් ගත් වියලි කලාපීය වන පෙත බොහොම සුන්දර දසුන් මැව්වේ ය. බුරුත, මිල්ල, පළු, වීර, ඇටඹ ආදී වනස්පතීහු, හිරු රැස් මුවා කරමින් වියනක් මෙන් සෙවණ සැලසී ය. වන සතුන් නිතර යන එන අප‍්‍රකට වන මං, අපේ ගමනට ද මාවත විය. පා පියැවිල්ලෙහි තැනින් තැන බිං කොහොඹ, ඇත් අඩි, සහ තවත් විවිධාකාර වන ඔසු පැලෑටි දක්නට ලැබිණි. එරමිණියා සහ වෙනත් කටු පඳුරු වරින්වර අපේ ගමනට බාධා ඇති කළේ ය.
වැදි චිත‍්‍ර සහිත ලෙනෙන් පිටත්ව පැය එකහමාරක් පමණ ගමන් කළ විට දළ බෑවුම් සහිත භූමියකට පිවිසියෙමු. ‘ඔන්න ඉතින් තැනට ආවා’, තරංග සංජීව සිය උර මල්ල ගල් තලාවක් මත තබමින් පැවසී ය. භූමිය පුරාවට වැවී ඇති රූස්ස ගස්කොලන්, බොහෝ ඉහළින් පෙනුණු ගිරි ශිඛර සමූහයට ආරක්ෂාව සලසනු වැන්න. අප සිටින දළ බෑවුම් සහිත භූමිය, නීලගිරි කන්දේ පාමුල ය. එහි එක් උස් බිමක් ඉතා කුඩා තැනිතලාවක් බඳු ය. එතැන් සිට ඉහළ බැලූ විට, වනයෙන් වසන්වී ඇති ගිරි ශිඛර සමූහය, ලෙන් ගුහා සංකීර්ණයක් බව පසක් වෙයි.
 
රාත්‍රී ආරක්ෂාවට ගිණිමැලයක්
රාත්‍රී කතිකාව-හෙට දින කැණීම් ගැන නිමල් මහත්තයා ගෙන් උපදෙස්



එහි ගමන් තිරීමට අතීතයේ ඉදි කළ ශෛලමය පියගැට පෙළ ගරා වැටී ගොසිනි. උස් බිමක පිහිටි ඉතා කුඩා තැනිතලා භූමියේ මුරගල් සහ සඳකඩ පහන් ද, තවත් ගලින් කළ නිමැවුම් රාශියක් ද ඇති බව ඇස ගැටෙයි. අප දැන් පය ගසා සිටින භූමිය, තවම හරි හැටි හඳුනා නො ගත් ඉපැරණි බෞද්ධ ශිෂ්ඨාචාරයකට පිවිසෙන දොරටුවක් වැන්න!
 

අපි කන්ද පාමුල සිට පුදුමයෙන් බලා සිටියෙමු.
‘හරියට රිටිගල වගේ නේ ද?’, සම්පත් ඇසී ය.
 

ඔහු කියන්නේ ඇත්තකි. දැන් අප ඉදිරියේ තිබෙන ශෛලමය පියගැට පෙළ සහ අනෙකුත් නිර්මාණ, අනුරාධපුරයේ රිටිගල කන්දේ ඇති සුවිසල් ශෛලමය පියගැට පෙළවල් සහ නැවතුම් මළු සිහිපත් කරවන්නේ ය. අතීත රූසිරිය ගරා වැටී තිබුණ ද, එකල මෙහි පැවති අසිරිය කොතෙක් දැයි දැනුදු සිතා ගන්නට පුළුවන. මේ තරම් විශාල නටබුන් භූමියක් වන මැද කෙසේ සැඟවී තිබුණා දැයි සිතෙන තරම් ය.
 

ලෙන් සංකීර්ණය නැරඹීමට නම් ගරා වැටුණු පියගැට පෙළ ඔස්සේ තවත් මීටර් සියයකට වඩා ඉහළ නැගිය යුතු ය. එබැවින් අපි ගල් ඇන්දක් මත මදක් ගිමන් හැරියෙමු. වේලාව දැන් දහවල් 1.00 පමණවී තිබිණි. ‘අපි පාන් ටික කාලා ඉම්මු’ පාලිත කිව්වේ ය. පාන්, රතුළුෑනු සහ අමු මිරිස් එදා දහවල් රජ බොජුනක් බවට පත් විණි.
අපේ කලබලය ඇසුණු වඳුරු රැළක් ගස් මතින් පැන ඈතටවී බලා උන්හ. වන වැසි කුරුල්ලෙක් ‘හොරෙක්-හොරෙක්’ යයි වරින් වර හඬ නැගී ය. පාන් කන අතරතුර බණ්ඩාර ඇසුවේ, ‘ඌ කොහොම ද හරියටම දැන ගත්තේ?’ කියා ය. ‘කලාඳුරු වදයක්’ ඇවිස්සී ගොස්, අපට පහර දුන්හ. ගස් කිණිතුල්ලෝ ලේ උරා බොන්නට උත්සාහ කළහ. අපි යළිත් ගමන් ඇරඹීමු. ගරා වැටුණු ශෛලමය පියගැටපෙළ නැගිය යුත්තේ මහත් අසීරුවෙනි.
 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීලගිරි කන්ද ගවේෂණය කරන්නට පටන් ගත්තේ, නීලගිරි සෑය කැණීම් ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි. එහි දී සෑය ආශ‍්‍රිත වනගත භූමියෙහි ඇති පුරා වස්තු සහිත ස්ථාන බොහොමයක් ලේඛනගත කෙරිණි. කැණීම් ව්‍යාපෘතිය මෙහෙය වන සම්පත් ගුරුසිංහ සහ පාලිත අත්තනායක යන නිලධාරීන් දෙපළ ගවේෂණය සඳහා නායකත්වය දුන්හ. ගවේෂණයේ දී ඔවුන්ට නීලගිරි කන්දෙන් ගල් ලෙන් 12ක් හමුවී තිබේ. එයින් 10ක බ‍්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපි ඇති බව ද සොයා ගැනුණි. ඒවා දළ වශයෙන් ක‍්‍රිස්තු වර්ෂ 01 සහ 02 වැනි සියවස්වලට අයත් වියහැකි බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ  පිළිගැනීමයි. ශිලා ලිපි බොහොමයකින් කියැවෙන්නේ මේ ලෙන් ගුහා සිවු දිගින් පැමිණි-නො පැමිණි මහ සඟනට පූජාකර ඇති බව යි.
 

ගරා වැටුණු ශෛලමය පියගැට පෙළ පටන් ගන්නේ, මුර ගල් සහ සඳකඩපහන් ආදියෙනි. පියගැට පෙළ නගින කෙනෙකුට ගිමන් හරින්නට මෙන් තැනින් තැන ඉදි කළ චතුරශ‍්‍රාකාර මළු ද, ඒ දෙපස හිඳ ගැනීමට සැකසුවාක් බඳු ගල් පුවරු ද තිබෙනු පෙනෙයි. පියගැට පෙළ ගරා වැටී, පෙරළී ගොසිනි. අතරින්පතර වැවුණු ගස් කොලන්වල එල්ලෙමින් අපි ගිරි ශිඛරය ඉහළට නැංගෙමු. අතරමග හමුවන කටාරම් කෙටූ ගල් ලෙන් එකල ගඩොළු බිත්තවලින් ආවරණයකර තිබූ බව, ගරා වැටුණු ගඩොළු කැබලි අපට කියයි. ඒවා ඉතා පුෂ්ඨිමත් පැරණි ගඩොළු බව බැලූ බැල්මටම පෙනෙයි. පැයක පමණ කාලයක් වෙහෙසීමෙන් පසුව ගිරි කුළෙහි ප‍්‍රථම මාලයේ ලෙන් සංකීර්ණය පිහිටි ඉසව්වට ළඟා වීමට අපට  හැකි විය.
ගමන අතරතුර හමුවන සෑම ගිරි ලෙනක්ම තියුණු ලෙස පරීක්ෂා කිරීමට සම්පත් සහ පාලිත දෙපළ අමතක නො කළෝ ය. ඔවුහු ඒවායෙහි ඡායාරූප ද ගත්හ. 1965 සහ 1981 යන වර්ෂවල මෙහි පැමිණි පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන් ද (හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී) ලෙන් සංකීර්ණයට නැග ඇත්තේ මහත් අසීරුවෙනි. ඒ බව උන් වහන්සේ ලියූ ‘උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය’ කෘතියෙහි ද සඳහන්කර තිබේ.
 

අප ඇස ගැටුණු ඇතැම් ගල් ලෙන් නිදන් සොරුන්ගේ ග‍්‍රහණයට හසුව ඒවායෙහි ගෙබිම් වනසා ඇති සැටි දුටුවෙමු. නිදන් සොරුන් සිතන්නට ඇත්තේ වනගතව පවතින ලෙන් ගුහාවල මහාර්ඝ වස්තූන් තැන්පත්කර ඇතැයි කියා ය. මේවා එකල බෞද්ධ භික්ෂුන් වැඩ සිටි ලෙන් ආරාම බව බැලූ බැල්මටම පෙනේ. ලෞකික ජීවිතය පිළිකෙව් කළ පැවිද්දන්ට මහාර්ඝ වස්තු සම්පත් කුමට ද?
 

‘අන්න අර පේන්නෙ චිත‍්‍ර සටහන් තියෙන ගල් ලෙන’, ගිරි ශිඛරය ඉහළ කොටසේ ඇති එක්තරා ලෙනක් පෙන්වමින් සම්පත් අපට කීවේ ය. වනයට පුරුදුකාරයන්වූ තරංග සංජීවත්, අමිල චන්දික ප‍්‍රසන්නත් ඒ වන විටත් ලෙනට පිවිස, එහි ඉදිරිපස පටු ගල් තලාව මත ගිමන් හරිමින් සිටියහ. එහෙත් අප තවම සිටින්නේ ඔවුන්ට මීටර් 10-15ක් පමණ පහළිනි.
 

චිත‍්‍ර ලෙනට පිවිසීම දුෂ්කර කාරියකි. ලෙන් මිදුල පිහිටි ගල් පර්වතය, දැඩි බෑවුම් සහිත වීම ඊට හේතුවයි. ලෙනට පිවිසීමට නම් අසීරුවෙන් හෝ බෑවුම තරණය කළ යුතු ය. බෑවුම් ගල් බිත්තියෙහි තැනින් තැන එක පේලියකට විදින ලද සිදුරු සමූහයකි. ඒවා හෙළි කරන්නේ, චිත‍්‍ර ලෙන පිළිබඳ පැරණි කතාවකි. චිත‍්‍ර ලෙන බෞද්ධ ආරාමයක්ව පැවති අතීත සමයෙහි දැවයෙන් නිර්මිත පියගැට පෙළක් එහි සවිකර තිබෙන්නට ඇති බව, ඒ කතා පුවතයි.
 

පහළ කුඩා තැනි බිමෙහි සිට බලන විට, චිත‍්‍ර ලෙන පිහිටා ඇත්තේ මීටර් 100කටත් වඩා උසිනි. චිත‍්‍ර ලෙන වූ කලී එක් ලෙනක් පමණක්ම නොවේ. දැවැන්ත ගිරි ශිඛරයෙහි එකිනෙකට යාබදව පිහිටි ලෙන් ගුහා තුන හතරක එකතුවකි. ඒවා ද කටාරම් කෙටූ ගල් ලෙන් ය. මේ ලෙන් පරිශ‍්‍රය හමු වන්නේ නීලගිරි කන්දේ මැද හරියට වන්නට ය. චිත‍්‍ර ලෙනට ඉහතින් තවත් ඉහළට ගිරි කුළු පැතිර ඇති බව වන වදුළු අතරින් පෙනෙයි. එහි ද ලෙන් ගුහා ඇති බව පුරාවිද්‍යා මිතුරෝ කීහ.
අපි ඉතාමත් අසීරුවෙන් චිත‍්‍ර ලෙනට පිවිසියෙමු. එය ගල් පර්වතයේ කෝණාකාරව පිහිටි කටාරම් කෙටූ ලෙන් ද්විත්වයකි. ලෙන් විවරය එකල ගඩොළු බිත්තියකින් ආවරණයකර ඇති බව, ඉතිරිව ඇති බිත්ති කොටස් සාක්ෂි දරයි. චිත‍්‍ර ලෙන, පහළ සිට ඉහළට විහිදෙන ශෛලමය පියගැට පෙළට මුහුණලා පිහිටි අතර, එහි බෑයා වූ අනෙක් ලෙන, ගිරි කුළේ අනෙක් බෑවුමට මුහුණලා පිහිටියේ ය. ලෙන් ද්විත්වය, ස්වාභාවිකව තැනුණු කෙටි ගල් කුළකින් ද, ගඩොල් බිත්තියකින් ද, එකිනෙක වෙන්කර තිබිණි. චිත‍්‍ර ලෙන අඩි 10-12ක් පමණ පළල ය. එය සිය බැතිබර අතීතයේ දී ‘පිළිම ගෙයක්’ ලෙස භාවිත වන්නට ඇතැයි, සම්පත් සහ පාලිත කීවෝ ය. එහි ශෛලමය අසුනක් මත බදු පිළිමයක් තැන්පත්කර තිබුණු බවක් ද පෙනී යයි. පිළිමයට තැනූ ආවරණය ඇතත්, දැන් එහි බුදු පිළිමයක් දක්නට නැත. සියල්ල බොහෝ කලක සිට නිදන් හොරුන්ට බිලිවී තිබේ.  අලංකාර චිත‍්‍ර සටහන් ඇත්තේ ලෙන් වියනේ ය. එය කිසියම් බදාමයකින් ආස්තරණයකර, ඒ මත චිත‍්‍ර ඇඳ ඇති බව පෙනී යයි.

 
නළගන රුව දැක්වෙන චිත්‍රය

ලෙන් වියනෙහි ඇඳ ඇත්තේ විශාල චිත‍්‍රයකි. ලෙන ඉදිරිපිට  සිට ගත් විට එහි වම් පසින් වූ වියන් තලයෙහි විශාල ලියවැලක් ඇඳ ඇති බව පෙනෙයි. ඒ ආශ‍්‍රිතව අතිශයින් සුන්දර නාරි රුවකි. එය බැලූ බැල්මටම ‘සීගිරි අප්සරාවකගේ’ රුවට සමාන ය. රුවෙහි උඩු කය නිරාවරණ ය. යටි කයට කෙටි ඇඳුමකි. ඇඳුම් ආයිත්තම් ද සීගිරි අප්සරාවන්ගේ රුවට සමාන ය. ඇය නළඟනකි. රූපයෙහි ඈ සිටින විලාශය, නර්තන ඉරියව්වකි. වියන් චිත‍්‍රයෙහි නාරි රුව වර්ග අඩියක් පමණ විශාල ය. ලෙන් වියනෙහි දකුණු පස ලියවැල්, නෙළුම් මල් ආදිය ඇඳ තිබේ. ලෙනෙහි දකුණු පස වියනෙහි අශ්වයෙකු යයි සිතිය හැකි සතෙකුගේ රුවක් සිතුවම්කර ඇත. ලෙන් වියනෙහි ඇඳ ඇති චිත‍්‍ර, අතීතයේ දී ඉතා හොඳින් වර්ණ ගන්වා තිබුණු බවක් පෙනෙයි.
කාශ්‍යප රජ්ජුරුවන් විසින් අනුරාධපුරයේ සීගිරියකර වූහයි කියන්නේ ක‍්‍රිස්තු වර්ෂ 447 දී පමණ ය. නීලගිරි සෑය සමග නම කියැවෙන භාතිකාභය තිස්ස රජ්ජුරුවන් විසුවේ ඊට වසර 400කට පමණ ඉහත, ක‍්‍රිස්තු වර්ෂ 01 වැනි සියවසේ ය. මේ කාරණය මහත් කුතුහලය උපදවයි. චිත‍්‍ර ලෙනෙහි ඇති සීගිරි අප්සරාවක් බඳු නළඟන රුව, සීගිරිය නිර්මාණය කරන්නට පෙර අඳින ලද්දක් ද?, නැතිනම් සීගිරියටත් පසුකාලීනව අඳින ලද්දක් ද? යන්න ඒ කුතුහලයයි.
කෙසේ වෙතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප‍්‍රමුඛ පුරාවිද්‍යා නිලධාරීහු නීලගිරි කන්දේ නළඟන රුව, සීගිරිය සමග සම්බන්ධ කරනවාට කැමති නැත.
 

වියනෙහි සිතුවම්



‘මේ චිත‍්‍ර සොයා ගැනීම ඉතා වටිනා, වැදගත් අවස්ථාවක්. අපි ඉදිරියේ දී ලෙන් චිත‍්‍ර පිළිබඳ  විද්වත් පිරිසක් මගින් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කරන්න යනවා. එතකල් වැඩිදුර යමක් කියන්න බෑ’ යන්න, ආචාර්ය සෙනරත් දිසානායක මහතා එකල මාධ්‍යට කීවේ ය.
 

ලෙන් වියනෙහි චිත‍්‍ර ඇඳ ඇති කොටසෙහි මෑතක ලියූ කුරුටු සටහන් ද දක්නට ලැබේ. ඉන් චිත‍්‍රවලට විශාල හානියක්වී ඇති බව ද පෙනෙයි.
‘රටේ රාළ-1946’,
‘සුදු බණ්ඩි මැංචි නෝනා-1934’,
‘වී. මුදලිහාමි’
‘බබා නෝනා’
සහ ඉංගිරිසි බසින් ලියූ- තවත් වග වාසගම් බොහොමයක් ඒවා අතර වේ. යුද්ධය එන්නට පෙර, නීලගිරි කන්දේ නටබුන් බලන්නට මිනිසුන් පැමිණි බවක් ද කුරුටු සටහන්වලින් පැහැදිලි වෙයි.
 
චිත්‍ර ලෙනට ගිය පිරිස

1965 සහ 1981 යන වර්ෂවල නීලගිරි කන්ද ගවේෂණය කළ පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ, සිය ‘උතුරු නැගෙනහිරි හෙළ බොදු උරුමය’ කෘතියෙහි මෙසේ සඳහන් කරති.
 

’මේ ලෙන් මනා ලෙස බිත්ති බැඳ ඇත. මෙයින් එකක බිත්ති බැඳ ඇත්තේ ගල් කුට්ටිවලිනි. බිත්තිය නෙරා ගොස් දොරටුව ද ඇලවී ඇත. පුරාතනයේ බිත්ති මනා ලෙස කපරාරුකර තිබේ. ඒවා තවමත් බෙහෙවින් ආරක්ෂාවී ඇත. බදාම මත තවරන ලද සායමකි. යම් යම් පුද්ගලයන් මේ බිත්තිවල මෑත දී ලිවීම නිසා ඒවායෙහි තත්ත්වය කෙලෙසී අවලක්ෂණවී තිබේ. ලෙන තුළ කරවන ලදැයි සැලකෙන ප‍්‍රතිමාවල ගඩොළු ශේෂ හා ආසනවල හේෂ මිස වෙන කිසිවක් දක්නට නැත. ඒවා නිදන් හොරුන් විසින් විනාශ කරන්නට ඇත’ (පිටුව-17)
 

ගරා වැටුණු යූපස්ථම්භය
උන් වහන්සේ මේ විස්තර කරන්නේ චිත‍්‍ර ලෙන ගැන ය. අද එය එදාටත් වඩා විනාශවී ගොස් ඇති අයුරු අපි දුටුවෙමු. ලෙන් වියනෙහි ඇති චිත‍්‍ර සටහන් එකල ද මිනිස් ඇසින් සැඟවී තිබෙන්නට ඇත.
ගිරි කුළ කටාරම් සහිත, සෙල් ලිපි කෙටූ ලෙන් ද සමගින් නිහඬව බවුන් වඩනු වැන්න. කන්දේ මුදුනටම යාමට නම් තව පැය තුන හතරක්වත් ඉහළට නැගිය යුතු ය. කන්දේ මුදුන් මාලයට වන්නට මීටර් දෙකක් පමණ උසට, මීටර් එකහමාරක් පමණ පළලට තැනූ ප‍්‍රාකාර බැම්මක් බඳු ව්‍යුහයක් ඇති බව සම්පත් සහ පාලිත කීවෝ ය. කන්ද ඉහළට වන්නට තවත් ලෙන් ඇති බව ද ඔවුහු කීහ.
 

ගරා වැටුණු ගල් පඩි පෙළ බැස ගෙන අපි ආපසු එන්නට පිටත් වීමු. වන මැද ගමන මහත් දුෂ්කර එකක් විය. සලකුණු තබමින් ගිය ද ආපසු එන අතරතුර දී අපට පාර වැරදුණේ ය. උණු උණු අලි බෙටි ද, තැනින් තැනවූ වලස් පා සටහන් ද සිතට එක් කළේ භීතියකි. එක් වගුරු බිමක් බඳු තැනක මේ දැන් දැන් බොර කැලැත්තුණු මඩ වලකි. මඩ වල වටේටම කැලෑ පඳුරුවල පවා මඩ ඉහී තිබිණි.
 

’මේක අලින්ගෙ බාත්රූම් එකක්, දැන් නම් ඌරො නාල ද කොහෙද’, සම්පත් අප හිනස්සමින් කීය.
 

නීලගිරි සෑය මුල්කර ගෙන පැතිර ඇති ඉපැරණි නටබුන් සහිත භූමිය අති විශාල එකකි. එහි සෑම තැනකම ඇත්තේ බෞද්ධ විහාරාරාම සංකීර්ණයක පැරණි ශේෂයන් ය. ඒවා හැඩ ඔය නිම්නයට ද පැතිරුණු අතීත රෝහණය හෙවත් ‘පැරණි මාගම රාජධානියේ’ සලකුණු බව ඉ`දුරාම කිව හැකි ය. කුමන රජෙකුගේ සමයෙහි ඉදි වූවා ද? යන්න තවම හරි හැටි සොයා ගෙන නැතත්, නීලගිරි සෑය ඉසව්වේ ඇති පෞරාණික නටබුන් අතීතයේ පැවති මහා බෞද්ධ ආරාම සංකීර්ණයක් පෙන්නුම් කරන බව පැහැදිලි ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෙට දවසේ දී ඒ සියල්ල හෙළිකර ගනු ඇත.
 

ආපසු ගමනේ දී හො`දටම පාර වැරදුණු පසුව, තරංග සංජීවත්”‘ අමිලචන්දික ප‍්‍රසන්නත් ගස් මත නැගී නීලගිරි සෑය තිබෙන ඉසව්ව සොයා ගන්නට තැත් කළහ. කැලය නිසා නීලගිරි සෑය නො පෙනෙයි. අපි සවස 2.30 පමණ වන තුරු වනයේ ඇවිද්දෙමු. කොයි හැටි වෙතත් දැන් අප සෑය කිට්ටුවටම පැමිණ සිටිය යුතු බව සම්පත් සහ පාලිතගේ නිගමනය විය.
 

සම්පත්, නීලගිරි සෑය කැණීම් භූමියේ පුරාවිද්‍යා සේවකයෙකුට සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් දුන්නේ ය.
‘හලෝ, මේ අපි පාර හොයා ගන්න බැරුව ඉන්නවා. ඔතන ඉඳන් හූවක් කියන්ඩ. එතකොට අපට ඉසව්ව සොයා ගන්ඩ පුළුවන්’, ඔහු කීවේ ය.
 

ඊළඟ මොහොතේ අපට බොහොම ළඟින් හූ දෙක තුනක්ම ඇසුණි. පාර සොයා ගන්නට අපහසු වුව ද, අප සෑයට ඉතා කිට්ටුවෙන් ඉන්නා බව ඉන් පැහැදිලි විය. අපි ද පිළිතුරු හූ කිව්වෙමු. ඊළඟ මොහොතේ කැණීම් භූමිය දෙසින් නරි රැලක් මෙන් හූ කියනු ඇසුණි. ‘ඒ හූ කියන්නෙ නම් අපට පල් එකට’, බණ්ඩාර හිනැහෙමින් පැවසුවේ ය!
තවත් විනාඩි විස්සක දී පමණ සෑය අසලට යාමට අපට හැකි විය.
 

0000000000000000000000000000000000000000000


හැඩ ඔය නිම්නයෙන් මතුවන රුහුණු මාගම් ලකුණ- (අවසන් කොටස)
සධාතුක කරඬු 320ක්!

දැන් ගෙවී යමින් තිබෙන්නේ 2016 වර්ෂයයි. පර්යේෂණ කැණීම් අවසන් කෙරුණු නීලගිරි සෑය, අද පවතින්නේ සංරක්ෂණ අදියරේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශයේ නිලධාරීහු දැන් එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ලහි ලහියේකර ගෙන යමින් සිටිති. නීලගිරි සෑරදුන්ගේ පෞරාණික හැඩතල, ඒ ආකාරයෙන්ම ජීවමාන කරමින් එහි පිළිසකර කටයුතු කරන්නට තරම් ඔවුන්ගේ ශිල්ප ඥාණය පොහෝනේ ය. සෑයෙහි පැරණි නිර්මිතය සොයමින් කළ පර්යේෂණ කැණීම, සංරක්ෂණ කටයුත්ත සඳහා මහත් පිටිවහලක් විය. හැඩ ඔය ඉවුරේ තැනූ පුරාවිද්‍යා වාඩියෙහි ලැගුම් ගෙන සිටින සංරක්ෂණ ශිල්පීහු, එහි මුල් අදියරෙහි සෑරදුන්ගේ පේසා වලලූ යළි ඉදි කිරීමට යුහුසුළු වූහ.

රන් කරඬු සොයා ගත් අවස්ථාවන් ජායාරූපවලින් 

(ඡායාරූප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි)
 





ලියුම්කරු නීලගිරි සෑය ඉසව්වේ සැරිසැරූ 2012 වර්ෂය මෙන් නොවේ. බැති සිත් ඇතිව නීලගිරි සෑය වන්දනා කිරීම සඳහා දැන් දිවයිනේ නන් දෙසින් මහජනයා එහි පැමිණෙමින් සිටිති. රජය පසුගිය කාලයේ හැඩ ඔය හරහා කුඩා පාලමක් ද ඉදි කරන්නට කටයුතු කළේ ය. එබැවින් දැන් එහි යන අයට හැඩ ඔයේ බැස දුෂ්කර ක‍්‍රියා කරන්නට අවශ්‍ය නැත. දැන් සෑරදුන් ආසන්නයටම වාහනයකින් යාමට පුළුවන. පුරාවිද්‍යා නිලධාරීන්ගේ කටයුතුවලට බාධා නො වන සේ සෑරදුන් වන්දනා තිරීමට බාධාවක් නැත. සෑයෙහි ඉපැරණි ශ‍්‍රී විභූතිය, වර්තමානයට ජීවමාන කරන්නට පුරාවිද්‍යා නිලධාරීන් අපමණ වෙහෙස වන ආකාරය සියැසින් දැක බලා ගැනීම ද පින්කමක්ම වන්නේ ය.
 

සෑය කැණීමේ දී එහි වැවී තිබුණු වන බූටෑව සහ රූස්ස ගස් කොලන් ඉවත්කර, සෑ ගොඩැල්ල නිරාවරණයකර ගන්නට සිදු විය. ඉන් පසුව එය කැලෑව ඉවත් කළ කුඩා කඳු ගැටයක් ලෙසින් දිස්විණි. එම තත්ත්වය වර්ෂා සමයට ගැටලූවකි. ඉන් සෑ ගොඩැල්ල සේදී යාමට ද ඉඩ තිබේ. එබැවින් පුරාවිද්‍යා නිලධාරීහු සෑ ගොඩැල්ල වැසී යන සේ තාවකාලික ‘ටකරන් වහලයක්’ ඉදි කළහ. ඒ සඳහා ටකරන් තහඩු මෙන්ම යකඩ බට ද විශාල සංඛ්‍යාවක් භාවිත කෙරිණි. සෑයෙහි සංරක්ෂණ කටයුතු නිම වීමට ද බොහෝ කලක් ගත විය හැකි බැවින්, මෙබඳු තාවකාලික පියැස්සක් ඉදි කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
නීලගිරි සෑය කුමන සමයකට අයත් වූවක් ද යන්න, බොහෝ කලක් තිස්සේ විශාල ගැටළුවක්ව පැවතුණි. එය කුමන සමයකට අයත් ද යන්න ගැන කියැවෙන එකම මූලාශ‍්‍රය වූයේ, සෑය අසලින් හමුවූ ශිලා ලේඛනයයි. භාතිකාභය තිස්ස (ක‍්‍රි. පූ.22-ක‍්‍රි. ව.07) රජුගේ බිසව වූ ‘චූල සීවලී දේවිය’, උත්තර සීවලී පබ්බත විහාරයට කළ පූජාවක් ගැන එහි සඳහන් වේ.  ඉන් පෙනී යන කාරණය වන්නේ, නීලගිරි සෑය භාතිකාභය තිස්ස රජුගේ කාලයෙහි ද පැවතුණු බවයි. සෑයෙහි පැරණි නාමය ‘උත්තර සීවලී පබ්බත විහාරය’ වන්නට ද ඇත! (මේ කාරණය මීට හත ද සඳහන් කෙරිණි)
 

කෙසේ හෝ වේවා, 2016 වසරේ මුල් භාගයේ දී නීලගිරි සෑය කුමන සමයකට අයත් වූවක් ද? යන ප‍්‍රශ්නයට යම් පිළිතුරක් සැපයී තිබිණි. එය හෙළිදරව් වූයේ සෑය කැණීමෙන් සොයා ගත් පුරාවස්තු විද්‍යාත්මක කාලනිර්ණ පර්යේෂණවලට යොමු කිරීමෙනි. පර්යේෂණ කෙරුණේ, ඇමරිකාවේ ‘බීටා ඇනලිටික් කාලනිර්ණ රසායනාගාරයේ’ ය.
 

පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, කැණීමෙන් හමුවූ අඟුරු සාම්පල් කාබන් 14 කාලනිර්ණ  පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ඒවා හමුවී තිබුණේ, මැටි බඳුන්වල තැන්පත් කෙරුණු කරඬුවලිනි. අඟුරු සාම්පල් ක‍්‍රි. ව. 100යේ වකවානුවට අයත් බව ඉන් නිගමනය විය. මෙහි අරුත කුමක් ද?, නීලගිරි සෑය නිසැකවම භාතිකාභය තිස්ස රජුගේ පාලන සමයට අයත් වන බවයි! එසේම සෑයෙන් හමුවූ ස`ධාතුක කරඬු ද ඔහුගේ පාලන කාලයෙහි තැන්පත් කරන්නට ඇති බවයි!
 

එපමණක් ද නොවේ. නීලගිරි සෑය අසලින් සොයා ගත් ශිලා ලේඛනයෙන් කියැවෙන පුවත පවා කාලනිර්ණ දත්ත මගින් සනාථ කෙරෙන්නේ විශ්මිත ලෙසිනි!
 

වංශකතාවල දැක්වෙන ආකාරයට ‘භාතිකාභය තිස්ස’ යනු බොහෝ විදේශ සම්බන්ධතා පැවති නරපතියෙකි. නීලගිරි සෑයෙහි පුරාවිද්‍යා කැණීම් ඔස්සේ ඒ බව තහවුරු කෙරෙන සාධක ද ලැබිණි. විදේශීය පබළු මෙන්ම වීදුරුවලින් සෑදූ කරඬු ද ඒ අතර විය.
 




කැණීම් මගින් තවත් ඉතා වැදගත් කාරණයක් ද අනාවරණය විය. සෑය තැනවුණු වකවානුවේ හැඩ ඔය පහළ නිම්නයෙහි මහත් සැදැහැති බෞද්ධ ජනතාවක් විසූ බවත්, ඔවුන් අතිශයින්ම ඉසුරුමත් දිවිපෙවෙතක් ගත කළ බවත් හෙළි වීම, ඒ වැදගත් කාරණයයි.
පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, කැණීම් මගින් සොයා ගත් රන් කරඬු සංඛ්‍යාව 57කි. රිදී කරඬු සංඛ්‍යාව 05කි. වීදුරු කරඬු සංඛ්‍යාව 13කි. පළිඟු කරඬු සංඛ්‍යාව 240කි!
 

 ඒ අනුව කැණීමෙන් සොයා ගත් සමස්ත සධාතුක කරඬු සංඛ්‍යාව 320කි! මින් පෙර කෙරුණු කිසිදු කැණීමකින් සධාතුක කරඬු මේතරම් විශාල සංඛ්‍යාවක් හමුවූ බවක් දැන ගන්නට නැත. සෑය ඉදි කෙරුණු සමයෙහි හැඩ ඔය  නිම්නය ආශ‍්‍රිතව සහ රුහුණේ ඉතා සැදැහැවත් ජනතාවක් විසූ බව එයින්ම පසක් වේ. අනෙක, මෙතරම් සුවිසල් ස්තූපයක් ගොඩ නගන්නට තරම් සශ‍්‍රීකත්වයක් එදා එහි තිබෙන්නට ද ඇත. එබැවින් භාතිකාභය තිස්ස රජ සමය රුහුණේ ඉතාමත් සශ‍්‍රීක වකවානුවක් බව පිළිගැනීමට ද සිදු වේ.
 

සෑයට එපිටින් නීලගිරි කන්ද ආශ‍්‍රිතව මහ වනය මැද ඇති පෞරාණික නටබුන් සමූහය ද ඉහත කී කාරණයට සාක්ෂි සපයයි. ඒ සියල්ල දළ වශයෙන් හෙක්ටයාර ගණනක පැතිර තිබේ. ඒවා ඉපැරණි මහා බෞද්ධ නගරයක හෝ බෞද්ධ ජනපදයක අතීත රූ සිරිය නිහඬවම අපට පසක්කර දෙයි!

(ස්තුතිය-පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ට සහ නීලගිරි සෑය කැණීම් භූමියේ සියලූම හිත මිතුරන්ට)
(‘නීලගිරි සෑ වරුණ ලිපි පෙළ‘ සමාප්තයි)
(ඡායාරූප ලක්බිම පුවත්පත අනුග‍්‍රහයෙනි)

2016/07/18.

6 comments:

  1. පැමිණෙන මහජනයා අතර සැඟවී නිදන් හොරුත් එයිද කියා හිතෙනවා.

    වෙනදා වගේම ඔබේ විස්තරය බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. පුරවිද්‍යාව, මම කැමතිම දෙයක්. ඔබ තුමාගේ ලිපිය වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. ඔබතුමාගේ බ්ලොගය ගොඩක් වටිනවා. බෙහෙවින් ස්තූතියි ...

    ReplyDelete