Total Pageviews

Friday, July 22, 2016

යාපනය සරසවියේ ගැටුම කුමන අවතාරයක් ද?

යාපනය සරසවියේ ගැටුම කුමන අවතාරයක් ද?
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර 2016 ජූලි මස 16 වැනි දා හටගත් ගැටුම, දැන් රට කළඹන දෝංකාරයක් බවට පත්ව තිබේ. ගැටුමෙන් දකුණේ ජන සමාජය තිගැස්සිණි. දකුණේ දේශපාලන සමාජයෙහි විවාදාත්මක කතිකාවක් ද ඇති විණි. ඒ සියල්ල විසින් දැන් දකුණ කළඹන තත්ත්වයක් ද නිර්මාණයකර තිබේ. එය රටට අතිශයින්ම සංවේදී කාරණයකි.
 
ජූලි මස 16 වැනි දා ගැටුම හට ගෙන තිබුණේ, යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළු කෙරුණු නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් අවස්ථාවේ දී ය. ජනමාධ්‍ය ඔස්සේ දිගහැරුණු ආකාරයට, නවක සිසුන් පිළිගැනීමේ උත්සවයට, එහි සිංහල සිසුන් විසින් උූඩරට වෙස් නැටුමක් ඉදිරිපත් කරන්නට යාමෙන් යම් මතභේදයක් හට ගෙන තිබිණි. උත්සවයට සිංහල සංස්කෘතික අංගයක් ඉදිරිපත් කරනවාට දෙමළ සිසුන් අකමැතිවී ඇත. කෙසේ වෙතත්, අවසන වෙස් නැටුමක් ඉදිරිපත් කරන්නට සිංහල සිසුන් කටයුතුකර තිබේ. එය නො රිස්සූ දෙමළ සිසුන් පිරිසක්, සිංහල සිසුන්ට පහර දීමෙන් ගැටුම හටගත් බව මාධ්‍ය මගින් කියැවිණි. තුවාල ලැබූ සිංහල සිසුන් රෝහල්ගත කෙරිණි. සිද්ධියෙන් දෙමළ සිසුන් කිසිවෙකු තුවාල ලැබූ බවක් දැන ගන්නට නැත.
 
යාපනයද ඇතුළුව සමස්ත උතුරුකරය මෙන්ම  රටේ නැගෙනහිර පළාත ද, පුරා තිස් වසරක් පමණ මුළුල්ලේ සිවිල් යුද්ධයට නතුව පැවති ප‍්‍රදේශයකි. සිවිල් යුද්ධය පැවතියේ, වේලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් නායකත්වය දුන් එල්. ටී. ටී’. ඊ. සංවිධානය (කොටි සංවිධානය) සහ ශ‍්‍රී ලංකා රජය අතර ය. කොටි සංවිධානය රටේ උතුරු-නැගෙනහිර භූමියෙහි වෙනම දෙමළ රාජ්‍යයක් බිහිකර ගැනීම පිණිස, ත‍්‍රස්තවාදය ඉස්මතු කරමින් බිහිසුණු ලෙස සටන් කළහ. රජය සිය ආරක්ෂක හමුදා මෙහෙයවමින් ඔවුන්ගේ අරමුණු ව්‍යවර්ථ කිරීමට සටන් කළේ ය.  ඉන් සිවිල් යුද්ධයක් නිර්මාණය විය. පසුව 2009 වසරේ මැයි මාසයේ දී, එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොටි සංවිධානයේ යුද ක‍්‍රියාවලිය පරාජයකර, සිවිල් යුද්ධය අවසන් කර ලදී. එයින් පසුව උතුරේත්, දකුණේත් ජන සමාජයට එල්ලවී තිබුණු විවිධාකාර පීඩාකාරී තත්ත්වයන් ද හමාර විය. ලිහිල්, නිදහස්, සාමකාමී තත්ත්වයක් ඇති විය.
 
කොටි සංවිධානය සිය සමස්ත ක‍්‍රියාදාමය තුළ, අති විශාල විදේශ සබඳතා ජාලයක් නඩත්තුකර ගෙන ගියේ ය. ලංකාවෙන් පිටත වසන උගත් සහ ධනවත් දෙමළ ජන සමාජය මෙන්ම, විවිධ රටවල දේශපාලන ක‍්‍රියාධරයන් පවා ඊට ඇතුළත් විය. ඒ සමගම ඔවුහු ජාත්‍යන්තර තලයේ ත‍්‍රස්තවාදී සංවිධාන, මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම් ආදී නීති විරෝධී සංවිධාන සමග ද සබඳතා ගොඩ නගා ගෙන සිටියහ. ඔවුන්ට නැව් සහ යම් යම් තරාතිරමේ ගුවන් යානා පමණක් නොව, නවීන මාදිලියේ බර අවි පවා තිබිණි. මරා ගෙන මැරෙන්නට පුහුණු කළ කොටි බෝම්බකරුවන්, එකල මුළු සමාජයම භීතියෙන් මුසපත් කිරීමට සමත් විය. ලංකාවෙන් පිටත, ලොව විවිධ රටවල වෙසෙන දෙමළ ජනයා ගෙන් ඔවුන්ට ලැබුණේ විශාල සහායකි. එයින් දිරි ගත් ඔවුහු ලොව අංක එකේ බිහිසුණුම ත‍්‍රස්තවාදී කණ්ඩායම යයි ප‍්‍රසිද්ධියට පත් වූහ.
 
කෙසේ වෙතත් ශ‍්‍රි ලංකා ආරක්ෂක හමුදා විසින් ඔවුන් පරාජය කිරීම, ජාතික සහ ජාත්‍යන්තර තලයේ කොටි හිතවාදීන්ගේ සතුටට හේතු වූයේ නැත. ඊට බලපෑ ප‍්‍රධානම කාරණය වූයේ, වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ සිහිනය බිඳ වැටීමයි. එසේම කොටි සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය නිසා ලංකාවෙන් පිටත දී ලැබෙමින් තිබුණු ආර්ථික සහ සිවිල් ඵල ප‍්‍රයෝජන අහිමිවී යාමයි. බොහෝ දෙමළ වැසියන් යුරෝපීය රටවල පදිංචිව සිටියේ ද, වාසි-වරදාන ලබා ගත්තේ ද, ලංකාවේ දෙමළ ජනයාට හිරිහැර වෙතියි පවසමිනි. ලංකාවේ දෙමළ ජනයාට පීඩා කරමින් සිවිල් යුද්ධයක් ඇතැයි පවසමිනි. දැන් සිවිල් පුද්ධය අවසන් ය. එබැවින් අද එබඳු තර්කයක් මතු කරන්නට පුළුවන්කමක් නැත. අලූත් තත්ත්වය නිසා මතු දිනක ‘යුරෝපීය සැප’ අත්හැර යළි ලංකාවට එන්නට ද සිදු විය හැකි ය. ලංකාවෙන් පිටත වෙසෙන දෙමළ ජනයාගේ පාර්ශවයෙන් බලන කල, මෙය ඔවුන්ට ඉතා අයහපත් තත්ත්වයකි.
 
මේ කාරණා පදනම්කර ගෙන ඔවුහු (කොටි හිතවාදී බලවේග), යුද්ධය හමාර කළ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව අතිශය උපක‍්‍රමික ලෙස සටන් වැදුණහ. ඒ වන විට මහින්ද රාජපක්ෂ දේශපාලන ධාරාව රට ඇතුළේ කුණුවී යමින් පැවතුණි. අවසන 2015 ජනවාරි මස 08 වැනි දා, මහින්ද රාජපක්ෂ මහතා පරාජයවී, මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් විය. ඔහුගේ බලප‍්‍රාප්තිය සඳහා දෙමළ සහ මුස්ලිම් ජනයා සතු ඡන්ද ලැබීම ද ප‍්‍රබල හේතුවක් වූ බව රහසක් නොවේ.
 
යුද්ධය හමාර වීමෙන් පසුව ගෙවුණු මහින්ද රාජපක්ෂ පාලන සමයේ ද, යුද්ධය දිනීමට එරෙහිව බොහෝ බලවේග ඉස්මතු විය. මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා එල්ල වීම, ඉන් ප‍්‍රධාන ය. යුද්ධය හමාර කෙරුණු සමයෙහි දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් කඩ වූයේ යයි ද, රජයේ පාර්ශවයෙන් යුද අපරාධ සිදු විණැයි ද ඉන් කියැවිණි. චෝදනා වැඩිපුරම ඉස්මතු කෙරුණේ, රටින් පිටත ජීවත් වන කොටි හිතවාදී දෙමළ ජනයා වෙතිනි. එයට රට තුළ සටින කොටි හිතවාදී බලවේගවල සහාය ද නො අඩුව ලැබිණි. මේ සඳහා උතුරු-නැගෙනහිර බහුතර දෙමළ ජනයාගේ ද කැමැත්තක් පැවති බව  රහසක් නොවේ!
 
යුද්ධයේ පසුබිම
රටට කොටි යුද්ධයක් පැන නැගුණේ උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා මුහුණ දෙන විවිධ ගැටලූ  මුහුකුරා යාම හේතුවෙනි. ජාතිකත්වය පදනම්කර ගෙන, දකුණ විසින් ඔවුන් නො සලකා හැරීම හේතුවෙනි.  කෙසේ වෙතත් යුද්ධය හමාර කිරීම පිළිබඳ මහින්ද රාජපක්ෂ රජයට පැසසුම් කළ ප‍්‍රගතිශීලී බලවේග, ටික කලකට පසුව ඔහුට එරෙහිව චෝදනා කරන්නට වූහ. ඒ, ඔහුගේ පාලනය විසින් උතුරු-නැගෙනහිර  දෙමළ ජනයාගේ ගැටලූ විසඳන්නට කටයුතු නො කරතියි කියමිනි. ඇත්තටම මහින්ද රාජපක්ෂ පාලනය, ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට පාර කැපුවේ නැත! යුද්ධය හමාර කිරීමෙන් පසුව ඔහුගේ පාලනය විසින් උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයකර විවිධ ඉදි කිරීම් ද කළ බව ඇත්ත ය. එහෙත් ජනතාවගේ විරැුකියාව තුරන් කිරීම, බිඳ වැටුණු ආර්ථික මාර්ග යළි නගා සිටුවීම ආදී කාරනා සඳහා ප‍්‍රමාණවත් තරම් කටයුතු කෙරුණේ නැත. යුද වාතාවරණය නිසා පෑරුණු සිත් සුවපත් කරන, ජාතීන් අතර මානවීය සංහිඳියාවක් බිහි කරන්නට කොහෙත්ම කටයුතු නො කෙරිණි. යුද්ධයෙන් මිදුණු ජන සමාජය බදා අත්පත්කර ගන්නට දේශපාලනය කළා මිස, දෙමළ දේශපාලන නායකයන් ද එවන් ප‍්‍රවේශයකට පැමිණි බවක් දක්නට නොවී ය.
 
බහුතරයක් දෙමළ ජනයා වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ වීරත්වයට ප‍්‍රිය කළහ. එසේම වෙනම දෙමළ රාජ්‍යයක විසීමට ද සිහින මැවූහ. ඔවුන් මේ කාරණයට කොතෙක් ආසක්ත වීද යත්, 2009 වසරේ මැයි මස 19 වැනි දා පැවති අවසන් සටනේ දී ප‍්‍රභාකරන් මියයාම පවා පිළි ගන්නට මැළි වූහ.
 
ජන වාර්ගික අරගලය නමැති යුදමය තුවාලයේ වේදනාවෙන් පෑරුණු සිත් සතන් සුවපත් කරන්නට තරම් ප‍්‍රමාණවත් නො වුව ද, මහින්ද රජය ද යම් ක‍්‍රියාමාර්ග ගත්තේ ය. යුද්ධයේ දී හසුවූ ස්වර්ණාභරණ කොටසක් ජනතාවට බෙදා දෙනු ලැබී ය. හමුදා ක‍්‍රියාමාර්ග ස`දහා අත්පත්කර ගත් ඉඩම්, යළි ජනතාවට දීමේ කටයුත්ත ද ආරම්භ කළේ  ය. නැවත පදිංචි කිරීම්  මෙන්ම නිවාස තැනීම් ද ඇරඹිණි. මේවා කෙරුණේ යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව ය.
 
එසේ වුව ද යුද්ධය පැවති ප‍්‍රදේශවල ජන සමාජය සම්බන්ධයෙන් කෙරුණු හමුදා බුද්ධි අංශ නිරීක්ෂණ නතර නො කෙරිණි. හමුදා කඳවුරු ද ඉවත් නො කෙරිණි. ඒවා දෙමළ ජනයාගේ සතුටට හේතු වූයේ නැත. මේ අතර උතුරු-නැගෙනහහිර පළාත්වල සිංහලකරණයක් වන බවට චෝදනාවක් ද එල්ල විය!
 
යාපනයේ විශ්වවිද්‍යාලය යනු රටේ උතුරුකරයේ බුද්ධි කේන්ද්‍රයයි. එහි හටගත් ගැටුම විග‍්‍රහකර ගත යුත්තේ, මෙබඳු ඉතා පුළුල් සන්දර්භයක පිහිටමිනි.
 
මහා අපරාධය?
කොයි හැටි වෙතත් යුද්ධය හමාර වීමෙන් පසුව සිදු වුණු බොහෝ දේවල් ගැන සිතන විට එක් දෙයක් පැහැදිලි වේ. එනම්, දෙමළ ජනයා ගෙන් යම් පිරිසක්, දකුණේ සිංහල ජන සමාජය කෙරෙහි කිසියම් වෛරයකින් පසුවන බවයි! එය හරියට, ‘ප‍්‍රභාකරන් විශාල කැපකිරීමක් කරලා අපට රටක් හදලා දෙන්න උත්සාහ කළා. මුන් ඒක නැති කළා’ වැනි සිතිවිල්ලක් බව පෙනී යයි.
 
මෛත‍්‍රී-රනිල් නව ජාතික ආණ්ඩුව මහින්ද පාලනයෙන් නතර වූ තැන පටන් උතුර සහ නැගෙනහිර වෙනුවෙන් කටයුතු කළේ ය. යුද කටයුතු පිණිස අත්පත්කර ගත් පෞද්ගලික ඉඩම් යළි ආපසු දීම සහ නිවාස සාදා දීම ඉන් ප‍්‍රධාන විය. තවත් බොහෝ කටයුතු ඉටුවනු ඇසෙයි. එහෙත් කොටි හිතවාදී දෙමළ ජනයා ගෙන් ඇතැමෙක් තවමත්, මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා මතු කරමින් සිටිනු පෙනෙයි.
 
ඒ අතර සමහරු කොටි සමරු දිනවලට පහන් දල්වති. ඇතැම් දෙමළ දේශපාලනඥයෝ මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළේ ද පහන් දල්වන්නට ගිය ආකාරයත්, යාපනය සරසවියේ දී ද පහන් දැල්වූ බවත් 2015 වසරේ දෙසැම්බර් 01 වැනි දා මාධ්‍ය මගින් අසන්නට ලැබිණි. දෙමළ සන්ධානයේ ඇතැම් දේශපාලනඥයන් පවසන දෙයින් හැඟී යන්නේ, කොටි ත‍්‍රස්තවාදීන් පරාජයවී යුද්ධය හමාර වීම, දකුණ විසින් උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට කළ ‘මහා අපරාධයක්’ යයි ඔවුන් කල්පනා කරන බවකි! මේවා සිදු වන්නේ, මුළු රටක් විසින්ම ත‍්‍රස්තවාදය පිළිකෙව් කළ, නො බෙදුණු රටක් පිළිබඳ මතයකට පැමිණ සිටින වකවානුවක ය. ඉන් පෙනී යන්නේ කුමක් ද, යම් පිරිසක් තවමත් කොටි සංවිධානය ගෙන ගිය මතයට හිස නමමින් ඒ ඔස්සේ ගමන් කරන්නට කැමැත්තෙන් සිටින බව ද?
 
මේ අතර යාපනය සරසවියේ දමිළ සිසුන් පිරිසක්, වෙස් නැටුමක් (සිංහල සංස්කෘතිකාංගයක්) නො ඉවසමින් සිංහල සිසුන්ට පහර දෙති!
 
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ජූලි 20 වැනි දා පැවසුවාක් මෙන් ඉන් ගම්‍ය වන්නේ කුමක් ද? අනෙකාගේ ජාතිය සහ මතවාදය නො ඉවසන කිසියම් ‘ගෝත‍්‍රවාදයක්’ නොවේ ද? එවන් සිතිවිල්ලක් දරා ගෙන සිටින්නේ, බුද්ධිමය මාවතක යන්නට සබුද්ධික වූ යාපනය සරසවි සිසුන් වීම, මෙහි ඇති විශේෂත්වයයි. ඇත්තටම ඒ සිසුන් උසස් චින්තනයක් දරන්නන් නො වෙති ද?
 
ගැටුම හට ගත්තේ ජූලි මස 16 වැනි දා ය. 20 වැනි දා වර්තා වූයේ, ඒ සම්බන්ධයෙන් වගකීම් භාර ගනිමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර හොබවන දමිළ ජාතික ශිෂ්‍යයා, යාපනයේ අධිකරණයට භාර වූ බවයි. ඉන් පසුව ඔහු ඇප මත මුදා හැර තිබිණි. ජූලි 21 වැනි දා පළ වූ පුවත්පත් ඒ බව වර්තාකර තිබුණේ ය. සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින සිංහල ජාතික ශිෂ්‍යයාට, 20 වැනි දා සැත්කමක් ද කෙරුණු බව, ඒ සමගම වාර්තා කෙරුණි.
 
කුපිත කිරීමේ උපක‍්‍රමය
සිිද්ධියේ ස්වභාවය අනුව බලන විට, එය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට පහර දීමකි! එබැවින් දකුණේ  සමාජය තිගැස්සී යාම අරුමයක් නොවේ. ඊට හේතුව වන්නේ, තිස් වසරක් මුළුල්ලේ පැවති සිවිල් යුද්ධ ක‍්‍රියාවලිය තුළ, දකුණ කළඹවන සුළු, කුපිත කරවන සුළු, සිදු වීම් රාශියක්ම හට ගෙන තිබීමයි. ඒවා ඇති කළේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් කොටි සංවිධානයයි.
 
ඔවුන් එය ඇරඹුවේ, වර්ෂ 1983 ජූලි මස 23 වැනි දා රාත‍්‍රියේ යාපනයේ තිරුනෙල්වේලි ප‍්‍රදේශයේ මුර සංචාරයක යෙදුණු හමුදා භටයන් 13 දෙනෙකු ඝාතනය කිරීමෙනි. ඉන් දකුණ කුපිත විය. ‘කළු ජූලිය’ නමින් ප‍්‍රකට, අතිශයින්ම අප‍්‍රසන්න කලබැගෑනියක් ඇති විය. එයින් දෙමළ වැසියන් බොහෝ දෙනෙකු මියගියහ. තවත් විශාල පිරිසකට පලා යන්නට සිදු විය. කඩ සාප්පු සහ නිවාස ද සෑහෙන ප‍්‍රමාණයක් ගිනිබත් කෙරිණි. කොටින් තිරුනෙල්වේලි ප‍්‍රහාරය එල්ලකර තිබුණේ, හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකට පිළිතුරු වශයෙනි.
 
එයින් කොටින්ගේ අරමුණු ඉටු විය. එනම්, දකුණ කුපිතවී දෙමළ ජනයාට හිරිහැර කරන තත්ත්වයක් නිර්මාණය වූයේ ය. දකුණේ සිංහල මිනිසුන් උතුරේ දෙමළ මිනිසුන්ට අමානුෂික ලෙස වධ හිංසා පමුණුවන බවට ලොව පුරා මතයක් පැතිරිණි. දෙමළ තරුණයන් බුරුතු පිටින් කොටි සංවිධානයට එක් වන්නට පටන් ගත්තේ ය. ඉන් පසුව  සිවිල් යුද්ධය පැවති කාලය පුරාවට, ඔවුහු ‘දකුණ කුපිත කිරීමේ උපක‍්‍රමය’ යහමින් භාවිත කළහ. කොටින්  යුද කලාපයේ සිංහල ගම්මානවලට අතිශයින්ම ක‍්‍රෑර ලෙස ප‍්‍රහාර එල්ල කළහ. ආර්ථික මර්මස්ථානවලට පහර දුන්හ. ආරක්ෂක හමුදාවන් කුපිත කරවා ගනු පිණිස හැම දෙයක්ම කළහ! ඉන් ඇති වන ප‍්‍රතිඵල උළුප්පා දක්වමින් ලෝකයේම අනුකම්පාව දිනා ගන්නට සමත් වූහ. කොටි සංවිධානය, ඔවුන්ගේ පාර්ශවයෙන් යුද්ධය ගෙන ගියේ එම උපක‍්‍රමය මගිනි.
 
දැන් කොටි සංවිධානය මෙන්ම එහි නායකකාරකාදීන් ද මිය පරලොව ගොසිනි. එහෙත් ඔවුන්ගේ ‘හෙවනැලි හෝ අවතාර’ තවමත් ඉතිරිව තිබෙනු ඇති දැයි, දකුණේ ජනයා ද සැකයෙන් පසුවෙති. ඊට තුඩු දෙන යම් යම් සිද්ධීන් ගැන ද පසුගිය කලයේ අසන්නට නො ලැබුණාම නොවේ! සමහර දෙමළ දේශපාලනඥයන් කරන-කියන දේවල් ඔස්සේ ද එබඳු සැකයකට පොහොර නො වැටුණාම නොවේ! එබැවින් දකුණේ මිනිසුන්ට ඇති සැකය හිතලූවක් ද නො වන බව කිව යුතු ය.
 
රටේ කරුමයට, යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ඇති වන්නේ ද ජූලි මාසයක ය! ප‍්‍රහාරයට ලක් වන්නේ ද සිංහල ජාතික සිසුන් පමණකි! එය ද උතුර ගැන දකුණට ඇති සැකයට පොහොර වැටෙන සිද්ධියකි. කොටින්ම මෙය, දකුණ කුපිත කිරීමේ කූට අරමුණකින් නිර්මාණය කෙරුණක් ද? යන්න ගැන, සැක සංකාවක් ද පහළ විය හැකි ය. ඒ, යුද්ධයට මැදිව ගෙවුණු අමිහිරි තිස් වසර පුරාවට දකුණ එබඳු සිද්ධීන් රාශියක්ම අත්දැක ඇති නිසා ය.
 
ගැටුම පිළිබඳ අදහස් පළකර ඇති උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ, සිද්ධිය සඳහා පිටස්තර පිරිසක් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. එසේ නම් ඒ පිරිස කවුරුන් ද?, කුමන අරමුණකින් එසේ කළා ද? යන්න ගැටලූවකි.
කරුණු මෙසේ හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් පැවැත්වීම, අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ!
 
ගැටුම සම්බන්ධයෙන් දකුණේ මෙන්ම උතුරේ ද දේශපාලනඥයන් ද අදහස් දක්වා තිබිණි. ඒ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද විය. ඔවුන් සැවොම පවසා තිබුණේ එය ‘නො විය යුතු දෙයකියි’ කියා ය.
සිද්ධියත් සමගින් රජයේ පාර්ශවයෙන් චෝදනා එල්ල කෙරුණේ, පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන්ට ය. යාපනය සරසවි සිද්ධිය මුල්කර ගෙන ඔවුන් ජතිවාදය අවුස්සන බවත්, ඉන් දේශපාලන වාසි ගන්නට යන බවත් ඉන් කියැවිණි. ඇතැම් මාධ්‍ය පවා සිද්ධිය ඇවිස්සෙන ආකාරයට හැසිරෙතියි ද චෝදනා කෙරුණි.
 
සංහිඳියාව 
යාපනය සරසවියේ හට ගත් සිද්ධිය ඉතාමත් සංවේදී එකකි. දැන් රටේ යුද්ධයක් ද නැත. කොටි සංවිධානය හෝ ප‍්‍රභාකරන් කෙනෙක් ද නැත. දැන් රටේ පවතින්නේ ජාතික ආණ්ඩුවකි. ‘සංහිඳියා සහගත’ තත්ත්වයකි. කොටින්ම පාර්ලිමේන්තුවේ නිල විපක්ෂනායකවරයා (ආර්. සම්බන්ධන් මහතා) ද උතුරේ කෙනෙකි. එබඳු වාතාවරණයක් ද පැවතිය දී, යාපනය සරසවියේ සිංහල ජාතික සිසුන්ට පහර දීම විශේෂයෙන් කැපී පෙනෙයි! එය දකුණට සංවේදී ය.
 
එබඳු අවස්ථාවක දකුණේ දේශපාලනඥයන් මත පළ කිරීම ද ස්වාභාවික ය. ඒවා ජාතිවදය ඇවිස්සීමේ කූට දේශපාලන අරමුණින් කරනවා වන්නට ද පුළුවන. එහෙත් විවේචකයන් මතු කරන කාරණය ලෙහෙසියෙන් බැහැර කරන්නට පුළුවන්කමක් නැත! එක් විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් විමසා තිබුණේ ‘සංහිඳියාව’ කොහි ද? කියා ය. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසුවේ, ‘එය සංහිඳියාවට බාධාවක්’ යනුවෙනි. මෙහි දී මතු වන ප‍්‍රශ්නය වන්නේ, සංහිඳියාව බලපවත් වන්නේ දකුණට පමණක් ද? යන්නයි! උතුරු නැගෙනහිරට එය අදාළ නැති ද?.
 
කවුරුත් දන්නා පරිදි, දකුණේ විශ්වවිද්‍යාලවල ද දෙමළ ජාතික සිසුහු අධ්‍යාපනය ලබමින් සිටිති. දකුණේ සිංහල ජන සමාජයෙන් ඔවුන්ට කිසිදු ගැහැටක්-හිරිහැරයක් නැත. අනෙක දකුණේ සරසවියක දී උතුරේ දෙමළ ජාතික සිසුන්ට, සිංහල ජාතික සිසුන් ගෙන් මෙබඳු පහර දීමක් විණි නම්, උතුරේ දමිළ ප‍්‍රජාව කෙසේ හැසිරෙනු ඇත් ද?, කොටි හිතවාදී බලවේග කෙසේ හැසිරෙනු ඇත් ද?, මානව හිමිකම් සංවිධාන කෙසේ හැසිරෙනු ඇත් ද? යන්න, මෙහි දී කල්පනා කිරීම වටී.
 
කෙසේ වෙතත් දකුණ, යාපනය සරසවි සිද්ධියෙන්  කුපිත වූයේ නම් නැත. කරුණු තේරුම් ගැනීම අරභයා දකුණේ සමාජයට දැන් ඇති දැනුම කොතෙක් ද යන්න, ඉන් පිළිබිඹු වේ. එය යහපත් ප‍්‍රවණතාවයකි.
 
ආණ්ඩුව දැන් කළ යුත්තේ, සිද්ධිය ඈඳා ගනිමින් තම විරුද්ධවාදීන්ට දේශපාලන ප‍්‍රහාර එල්ල කරමින් සිටීම නොවේ. ඉතා පුළුල් විමර්ශනයක් පවත්වා, සිද්ධියෙහි ‘පසුබිම’ සහ එහි හට ගත් ‘ක‍්‍රියාවලිය’ කුමක් දැයි නිවැරදිව හඳුනා ගැනීමයි. එහි සැබෑ අරමුණ කුමක්වී දැයි  සොයා ගැනීමයි. එය යම් සැඟවුණු අරමුණක ප‍්‍රතිඵලයක් හෝ සැලසුමක් නම්, ඉන් මතු කෙරෙන කාරණය ඉතාමත් බරපතල ය. එසේ නම්, ඉන් දළුලා වැඩෙන්නේ කුමන ප‍්‍රපංචයක් ද?, කුමන බීජයක් ද? යන්න වහාම සොයා බැලිය යුතු වන්නේ ය.
2016/07/22.






No comments:

Post a Comment