Total Pageviews

Tuesday, May 17, 2016

නීලගිරි සෑ වරුණ-05 - මහ වන මැද ආරාම සංකීර්ණයක්

නීලගිරි කන්දට පිවිසෙන ස්ථානයේ  ඉපැරණි  පියගැට පෙළ
හැඩ ඔය නිම්නයෙන් මතුවන රුහුණු-මාගම් ලකුණ

 
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-ප‍්‍රෑන්ක් ද සොයිසා)

සිහිල් අරුණෝදය හැඩ ඔය නිම්නයට බැලූම් හෙලූවේ සිනා රැල්ලකින් මුවග සරසා ගත් පරිද්දෙනි. පුරාවිද්‍යා වාඩියේ ටාටා කැබ් රථය හරියටම උදේ අටේ කණිසමට අපේ නඩය නීලගිරි සෑය අබියසට ගෙනවිත් දැමුවේ ය. ගමනට පැමිණි සම්පත් සහ පාලිත, සෑය අසල දී තරුණයන් දෙදෙනෙකු අපට හඳුන්වා දුන්හ.
 
ඉන් එක් අයෙකු තරංග සංජීව ය. අනෙකා, අමිල චන්දික ප‍්‍රසන්න ය. ඔවුන් දෙදෙනාම ලාහුගල ගමේ පදිංචිකරුවන් ය.
 
‘මේ දෙන්නා අපිත් එක්ක වැඩ කරනවා. දෙන්නාටම කැලේ හොඳට පුරුදුයි’, සම්පත් පැවසුවේ ඔවුන් දෙදෙනා අපට හඳුන්වා දෙමිනි. වන මැද පිහිටි නීලගිරි කන්ද නැග එහි ඇති ලෙන් ගුහා නිරීක්ෂණය අපේ ගමනේ ඉලක්කය විය
 
අපේ නඩය කුඩා එකකි. ඊට අයත් වූයේ මම, ප‍්‍රෑන්ක්, බණ්ඩාර, සම්පත්, පාලිත සහ ගමේ තරුණයන් දෙදෙන පමණ ය. වන දෙවියන්ට කොල අත්තක් කඩා එල්ලා, අපි සෑය අසලින් වනයට පිවිසියෙමු. ඒ මොහොතේ තරංගත් අමිලත් ගසකින් අත්තක් කපා, අපට එක් පැත්තක් මැනවින් උල් කළ හැරමිටි සාදා දුන්හ. ඒ සඳහා තියුණු පොරොව කෙටි සහ ලොකු පිහියා ඔවුන් ගෙනවිත් තිබිණි. පැත්තක් හොඳින් උල් කළ හැරමිටි කුමට දැයි විමසුව ද තරුණයෝ පිළිතුරු නො දුන්හ.
 
වනය තුළ විසිරඇති මැටි බඳුන් කැබලි සහ පැරණි ගඩොළු කොටස්

‘මේ කැලේ වලස්සු ඉන්නවා. පොරවයි උල්කරපු හැරමිටියි ගෙනියන්නේ ඒකයි’, සම්පත් මට ළංවී රහසින් මෙන් කීය. එහෙත් මේ කතාව තරුණයන් දෙදෙනාට ඇසුණි!
 
‘චී මහත්තයා, ඔය වචන මේ කැලේ දි කියන්ඩ එපා. හතුරෝ ඉන්නවයි කියන්ඩ!’ එක් තරුණයෙකු අපට කීවේ ය.
වනය තුළ විසිරඇති මැටි බඳුන් කැබලි
 හැඩ ඔය නිම්නයේ වෙසෙන මිනිස්සු වනය දකින්නේ බොහොම ගොරබිරම් ලෙසිනි. ඒ නිසා ඔවුන් වනයේ දී භාවිත කරන්නේ, ගමේ සමාජයේ කතා නො කරන වෙනස් වචන මාලාවකි. විශේෂයෙන්ම, වන සතුන් හැඳින්වීම සඳහා ඔවුන් භාවිත කරන්නේ වෙනමම වචන සමූහයකි. ඒ අනුව, වනයේ දී හමුවන  දිවියා, ‘හපුවා’ ය. වන ඌරා ‘හොටබරියා’ ය. වන අලියා ‘බොටක`දා’ හෝ ‘මහ බෝලා’ ය. නැතිනම් ‘මහ එක්කෙනා’ ය. වඳුරා ‘ගස් ගෝනා’ වන අතර, මීමින්නා, ‘යකඩයා’ ය. තලගොයා ‘කෑරැස්සා’ ය. ඔවුන් වනයේ දී වලසුන් හඳුන්වන්නේ ‘හතුරා’ හෝ ‘පරියා’ යනුවෙනි. තරුණයන් දෙදෙන, කැලේ හතුරෝ ඉන්නවා යයි අපට පැවසුවේ මේ හේතුව නිසා ය. මින් ඇතැම් වචන වනාන්තර ආශ‍්‍රිත ගම්වල ජන වහරේ ද, ආදි වාසී ගම්මානවල ජන වහරේ ද එයි. කොයි හැටි වෙතත් අපි ලාහුගල තරුණයන්ගේ බසට අවනත වූයෙමු.
 

සම්පත්-වැදි චිත්‍ර ලෙන අසල

නීලගිරි සෑයේ සිට නීලගිරි කන්දට ඇති දුර, දළ වශයෙන් සැතපුම් තුනහමාරක් පමණ වේ. ඒ දුර ගමන් කළ යුත්තේ වන සතුන් ගැවසෙන, හරිහැටි වැටුණු අඩි පාරක්වත් නැති මහ වනය මැදිනි. ගමන යා යුත්තේ ද අමුතුම ක‍්‍රමයකට ය. අප ගමන ඇරඹුවේ නීලගිරි සෑයට පිටුපා ගෙන ය. එවිට ඉදිරිපස බොහෝ ඈතින් නීලගිරි කන්ද සෙන්පතියෙකු සේ ප‍්‍රතාපවත්ව නැගී සිටිනු පෙනෙයි. එහි මුදුනේ ඇති යෝධ ගල් බැම්ම ඈතට දිස් වන්නේ කඳු මුදුන වටා බැඳි තලප්පාවක් පරිද්දෙනි. සෑයට පිටුපා, කන්ද දෙස බලා ගමන් කළ විට නීලගිරි කන්දට පිවිසෙන මහා ගල් තලාව අබියසට යා හැකි ය. ආපසු එන විට කන්දට පිටුපා, ඉදිරි පස බලා ගෙන ගමන් කළ විට සෑය අබියසට පැමිණිය හැකි ය. එසේ කීව ද, අඩි පාරක් හෝ නැති මහ වනයේ ගමන කොහෙත්ම පහසු නො වන බව සම්පත්ලා පැවසූහ.
කවාකාර රේඛාවක සිටුවා ඇති ගල් පුවරු
 ‘මේ බලන්ඩ, කැලේ හැමතැනම ‘පොටරි’ කෑලි තියෙනවා’, වියැලී ගිය එක් ‘ආරක්’ (දිය කඳුරක්) අසල විසිර තිබුණු ඉපැරණි මැටි බඳුන් කැබලි අහුරක් අහුලා අපට පෙන්වමින් පාලිත අත්තනායක මහතා  කීවේ ය. 

සැබෑවකි. වන බිමෙහි මතුපිට වැටී ඇති කොල රොඩු තට්ටුව ඉවත් කළ විට මැටි බඳුන් කැබලි සහ පැරණි ගඩොළු කැබලි විසිර ඇති සැටි දක්නට ලැබේ. ඒ සමගම ගල් කණු, හතරැස් ගල්, ශෛලමය සඳකඩ පහන්, මල් ආසන බඳු ගල් පුවරු වැනි දේවල් ද ඇස ගැටේ. 

කවාකාරව සිටුවා ඇති ගල් පුවරු

‘කැලේ පුරාවට අපි දකින වෙනසක් තියෙනවා. මේ වගේ නටබුන් බහුල වීම, ඒ වෙනසයි. මේක අතීතයේ දී අති විශාල බෞද්ධ  ජනපදයක්-නගරයක් වෙන්න ඇති’, සම්පත් ගුරුසිංහ මහතා පැවසී ය.
 
වන මැද ගමන ලෙහෙසි නොවී ය. වරෙක ‘කටුව’ හෙවත් කටු පඳුරු සහිත වන බූටෑව අතරින් රිංගමින් ද, ගස් අතු අතරින් නැමී රිංගා යමින් ද, වල් ඌරන්ගේ කෙළි බිම් සහිත මඩවගුරු මග හරිමින් ද, වල් අලි ගමන් කළ  හුදෙකලා මාවත් ඔස්සේ ඇවිදිමින් ද, වියැලී ගිය දිය මං ඔස්සේ ගාටමින් ද නීලගිරි කන්ද හමුවන තුරු ගමන් කළ යුත්තේ ය.
 
අපට පියමං වන වනයෙහි ද විශේෂත්වයක් දැනුණි. වනය ඇතුළත විශාල වනස්පතීන් දක්නට නො වීම, ඒ විශේෂත්වයයි. බොහෝ කලකට ඉහත ඒවා ‘ලී මෝල්’ සොයා යැවුණු බවට සලකුණු හෙවත්, කපා හෙලූ ගස්වල මුල් කොටස් තැනින් තැන හමු විණි. ඒවා ඉවත් වූ පසුව ලොකු මහත් වුණු දහස් ගණන් කණිටු වනස්පතීහු අද මේ වනය සරසන්නාහ.
 
ගල් පුවරු සමූහය මැද පිහිටි ගල් කණු

ගමනට පැය එකහමාරක් පමණ ගත වෙද්දී, නීලගිරි කන්ද පාමුලට පැමිණීමට අපට හැකි විය. කන්ද පාමුල යයි කීවාට එය අති විශාල ගල් පර්වත සමූහයකින් සැදුම් ලත් භූමියකි. එහි අතර මැද කොටස් පවා සිහිල් වන රොදින් සජ්ජිත ය. ගල් පර්වත සමූහය ක‍්‍රමයෙන් උස්ව නැගී ගෙන ගොස් කඳු ගැටයක් බවට පත්ව ඇති සැටි දැන් අපට පෙනෙයි. ඒ උස් මුදුන නීලගිරි කන්ද ය. අප සිටි ස්ථානයේ ගල් පර්වතයට නැගීමට ගලේම කපා ඉදි කළ පැරණි පියගැට පෙළකි. එය දෙපස හාරා තිබුණු කුඩා වලවල්, අතීතයේ දී එහි අත් වැටක් හෝ පියැස්සක් පැවති බවට අපට ඉඟි කළේ ය.
 
ගල් පුවරු සමූහය මැද පිහිටි ගල් කණු

‘මෙතැනින් නැගලා උඩට ගියාම වැදි චිත‍්‍ර තියෙන ලෙන බලන්ඩ පුළුවන්’, තරංග සහ අමිල කීවෝ ය.
 
ඒ අතර, සම්පත් සහ පාලිත පර්වතයට පහළ වනයේ ඇවිදිමින් යමක් සොයන ආකාරය දැකගත හැකි විය. 

‘වැදි චිත‍්‍ර තියෙන ලෙනට යන්ඩ කලින් තව බලන්ඩ දෙයක් තියෙනවා.එතැනට යන ඉසව්වයි අපි හෙව්වේ. අපිත් එක්ක එන්ඩ’, ඔවුහු කීහ.
 
අපි ඔවුන් පසුපස වැටී, කන්දට සමාන්තරව ඇවිද ගෙන ගියෙමු. අපේ කලබලය නො ඉවසූ වඳුරු රැුළක් කෑගසමින් ඉවතට පැන ගියහ. විනාඩි විස්සක් පමණ ඇවිදගෙන ගිය අප පිවිස සිටියේ, වන මැද පිහිටි තැනිතලා භූමියකට ය.
 
‘මේ බලන්ඩ. මේ ගැන මොකද හිතෙන්නේ?’, තැනිතලා භූමියෙහි ගස් කොලන් අතර විසිර තිබුණු නටබුන් සමූහයක් පෙන්වමින් සම්පත් ඇසී ය.
තැනිතලා භූමියේ මැදට වන්නට, කවාකාරව පිහිටවූ ගල් පුවරු සමූහයකි. සාමාන්‍යයෙන් අඩි හතරක් පහක්වත් උස එබඳු පුවරු විශාල සංඛ්‍යාවක් තාප්පයක් හෝ වැටක් පරිද්දෙන් කවාකාරව සිටුවා තිබුණේ ය. 


තැනිතලාව මැද අඩි 150ක් පමණ දිගට ඒවා විහිද ඇති අයුරු අපට පෙනුණි.  ගල් පුවරුවලින් වට කළ භූමිය මැද චතුරශ‍්‍රාකාරව පිහිටවූ ගල් කණු සමූහයකි. ඉන් එක් කණුවක් අඩි පහක් වත් උස ය. ගල් කණු සිටුවා තිබුණේ ද පේලි කිහිපයකට ය. 
‘මෙතැන ගල් කණු 19ක් තියෙනවා’, පින්තූර ගැනීම පිණිස එහි ගිය ප‍්‍රෑන්ක් කෑගසා කීවේ ය. 
ගල් කණු සමූහය මැද, කෙටි ගල් කණු කිහිපයක් ද විය.
 
අපි මවිතයට පත් වීමු.
 
‘මේක මොකක් හරි සුවිශේෂ ගොඩනැගිල්ලක් බව පේනවා. මැද තියෙන ගල් කණු මොකක් හරි මණ්ඩපයක වගේ. එහි මැද ආසනයක් වගේ දෙයක්  තියෙන්න ඇති. පිටත ගල් පුවරු විශාල සංඛ්‍යාවක්  තියෙන්න ඇති. සමහර පුවරු බිමට පෙරළිලා. සමහර ඒවා පසින් වැහිලා ඇති. මේ තරම් ආරක්ෂා සහිතව, බුහුමන් සහිතව හදලා තියෙන්නේ සමහර විට ධාතු මන්දිරයක් වගේ එකක් ද කියලා සැක කරන්න වෙනවා’, තැනිතලාවේ ඇවිදින අතර සම්පතුත් පාලිතත් කිව්වෝ ය.
 
මෙතැන යම් සුවිශේෂ ගොඩනැගිල්ලක් තියෙන්න ඇති

මහ වනය මැද දැන් අප දකින්නේ, අතීතයේ පැවති මහා බෞද්ධ ආරාමික සංකීර්ණයක නටබුන් බව අපට ද පසක් විය.
 
(මතු සම්බන්ධයි)
(ඡායාරූප ලක්බිම පුවත්පත අනුග‍්‍රහයෙනි.)
2016/05/17.

2 comments:

  1. නටබුන් ඔයතරම් සුලබව හැම තැනම විසිරිලා ගිය තවත් බිම් තියෙන්න පුලුවන්ද කියලත් සැකයි. ඔය මුලු කැලෑවම සංරක්ෂණය කරලා නැතිනම් ලෝක උරුමයක් හැටියට ප්‍රකාශ කරලද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔය ඉසව්ව ලාහුගල වනජීවී රක්ෂිතයට අයත්. ඒ හැරෙන්නට නිසි ගවේෂණයක් කෙරී නෑ. කැණීම් නිලධාරීන් ඔය ටික හරි කළේ විවේක අවස්ථාවල වනයට රිංගා තොරතුරු සෙවීමෙනුයි. ඔවුන් වාර්තාවත් බලධාරීන්ට දුන් බව දැන ගන්නට ලැබුණා. නිදන් හොරුන් නම් ගවේෂණ කර ඇති සැටි අපිත් දැක්කා. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete