(සීගිරියේ ජයවි හේරත්)
රාවණා රජතුමාගේ යළි පිබිදීමක් ගැන නැවතත් කතාබහ ඇතිවී තිබේ. ඉහත මාතෘකාවට පිවිසීමට පෙර රාවණා සහ ඔහුගේ පරපුර ගැන කෙටියෙන් හෝ අධ්‍යයනය කිරීමට වැදගත් වේ. රාවණා රජතුමා විසුවේ අදින් වසර දහස් ගණනකට පෙර හෙවත්, ලක්දිව ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් කාල සීමාවේ ය. කෙනෙකු එය අදින් වසර හය දහසකට පමණ පෙර යයි කියත් දී තවකෙ‘කු කියන්නේ එයටත් වඩා පැරණි බව ය. රාමායණයට අනුව රාවණා රජතුමා මිය ගියත්, වර්ග පූර්ණිකාව නම් ලක්දිව පැරණි පුස්කොළ ග‍්‍රන්‍ථයට අනුව, එතුමා මිය ගොස් නැත. විෂ හී ශර පහරක් වැදීමෙන් මේ වනවිටත් එතුමන් පසුවන්නේ සිහිමූර්ජාවෙන් ය. මෙම කාලසීමාවේ එතුමා සිහි මූර්ඡුාවෙන් අවදිවන බවට බොහෝ දෙනෙකු තුළ විශ්වාසයක් පවතී.
රාවණා ගැන කතා කිරීමේදී පළමුවෙන්ම සඳහන් කළ යුත්තේ, අප මෙම කරුණු ගෙන හැර දක්වන්නේ, ජනප‍්‍රවාදයේ එන තොරතුරු ඇසුරු කරගෙන ය. ඒ හැර මේ පුවත සනාථ කිරීමට අවශ්‍ය පුරාවිද්‍යාත්ත්මක සාධක සාක්‍ෂි මෙතෙක් සොයා ගෙන නොමැත.
රාම, රාවණා සහ සීතා පුවත ගැන සඳහන් වනුයේ, රාමායණය සහ මහාභාරතය යන ඉන්දියාවේ සංස්කෘත කාව්‍ය සංග‍්‍රහයන්වල ය. රාමායණය සංස්කෘත කවි 24000කින් සමන්විත වන අතර, මහාභාරත කාව්‍ය සංග‍්‍රහයේ මෙම පුවත කවි 750කින් සමන්විත බව කියති.
ක‍්‍රිස්තු පූර්ව 04 වන සියවසේදී පමණ, වාල්මිකී මුනිවරයා, රාමායණය ලියූ බව සලකනු ලබයි. එම සඳහනට අනුව, රාවණා රජතුමා ජීවත්ව සිට ඇත්තේ අදින් වසර පන් දහසකට පමණ පෙර ය. රාමායණය සළකන්නේ ඉන්දියානුවන්ගේ සංස්කෘත වීර කාව්‍යයක් ලෙස ය. මෙය ගී‍්‍රක මහා කවි හෝමර්ගේ ඉලියඞ් සහ ඔඩිසි වැනි ශ්‍රේෂ්ඨ කාව්‍යයන් හා සමකරන්නේ ය.
රාම රාවණා පුවත, ඇතුළත් ග‍්‍රන්‍ථයන් මනඃකල්පිත සංස්කෘත කාව්‍ය සංග‍්‍රහයන් මිස, එය සනාථ කිරීමට අපට පුරාවිද්‍යාත්ත්මක වශයෙන් සාක්ෂි හෝ අපගේ වංශ කතාවල හෝ සෙල්ලිපිවල හෝ සඳහන්ව නොමැති බව පවසා අත සෝදා ගැනීමට ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට නොහැකි බව මෙන්ම, නොකළ යුතු බව ද සඳහන් කළ යුතුය.
එසේ සඳහන් කිරීමට හේතුවනුයේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ඊ.ගොඩකුඹුර මහත්මා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ නිලධාරියෙකු වශයෙන් සේවය කළ, චන්‍ද්‍රසේන තැන්නේ මහතා විසින් රචිත ”සිහිගිරි” නම් වූ ග‍්‍රන්‍ථයට, 1965 ජුනි මාසයේදී, ලියන ලද ප‍්‍රස්ථාවනාව අනුව ය.
ආචාර්ය ගොඩකුඹුර ශූරීන් සඳහන් කරන්නේ, ”ජනකතා පුරාවිද්‍යාවේ ප‍්‍රධාන අංගයක් ය. රටක, පෙදෙසක හෝ ගමක වැසියන් අතර පවතින කතා අනුව, ඇතැම් වැදගත් පුරාවෘත්ත සොයාගත හැකිය. එසේ පුරාවස්තු ද සොයාගත හැකිය. ඇතැම් පුරාතන ස්ථාන, පැරණි දේ සම්බන්‍ධ තොරතුරු, පැරණි පුරාවස්තුවක තොරතුරු තේරුම, ගොඩනැගිල්ලකින් ගත් ප‍්‍රයෝජන ආදි කරුණු සොයාගත හැකිය. ඇතැම් රටවල විශාල පුරාණ විස්තර, ජනකතා අනුසාරයෙන් සොයාගත හැක.
එසේ වුවත්, හැම ජනකතාවක්ම එබඳු ප‍්‍රයෝජන ඇතැයි නොකියමි. එහෙත් ප‍්‍රයෝජන ඇති වේවා හෝ නැති වේවා ලෝකයා අතරේ පවතින කතා එක්කර ගත යුතු ය. ඇතැම්විට මතු කාලයක දී දැනට අර්ථයක් නොපෙනෙන කතාවකින් පලක් ඇති වන්නට පුළුවන.
රට පමණක් නොව, ලොවම පිළිගත් බහුශ‍්‍රැත පඬිවරයකු මෙන්ම පුරාවිද්‍යාඥයකු එසේ ප‍්‍රකාශ කරත්දී, ලොවම නොව, මෙරටවත් පිළිනොගත්, එහෙත් තමන්ට වඩා පුරාවිද්‍යාඥයන් නැතැයි කියා සිතා කටමැත දොඩන, මෙරට සමහර ළිං මැඬියන්, ආචාර්ය ගොඩකුඹුර මහතාගේ ප‍්‍රකාශය ගැන ද අවධානය යොමු කළ යුතු ය. එමෙන්ම අප මතකයේ තබාගත යුතු වැදගත් කරුණක් ඇත. එනම්, ඉතිහාසය, ඉතිහාසයක් මිස, පුරාවිද්‍යාවක් නොවන බවත්, පුරාවිද්‍යව යනු, ඉතිහාසය නිවැරදි කරන, ඉතිහාසය ගවේෂණය කරනු ලබන ප‍්‍රබල සාධකයක් පමණක් බවත් ය.
එසේම, රට හෝ ලොව පිළිගත් පඬිවරයෙක් යම් කරුණක් සම්බන්ධන්යෙන් තමන්ගේ පෞද්ගලික මතයේ එල්බ ගෙන සිට කරණු ලබන ප‍්‍රකාශය බොහෝවිට සාවද්‍ය වුව ද, එය බුද්ධ භාෂිතයක් හෝ දේව භාෂිතයක් වශයෙන් හෝ පිළිගැනීම අප සමාජයේ බහුතරයකගේ පුරුද්දක්වී ඇත. එවැනි අය විසින් කරනු කියනු ලබන ප‍්‍රකාශයන් සහ ක‍්‍රියාවන් මතම යැපෙන බුද්ධිමතුන් යයි කියා ගන්නා හෝ කියවා ගන්නා සමහරුන්, තර්කානුකූලව ඒ දෙය ගැන සිතන්නේ හෝ ක‍්‍රියා කරන්නේ නැත. පෙර සඳහන් කළ පිළිගත් පඬිවරයෙක් ඉදිරිපත් කරනු ලබන මතය, සාවද්‍ය මතයක් වුවත්, එයට විරුද්ධ මතයක් යමෙකු ඉදිරිපත් කරන්නේ නම්, එම මතය පිළිගැනීමට බොහෝ දෙනෙක් අකැමති ය. විරුද්ධ මතය ඉදිරිපත් කළ අය ගැන උපහාසයෙන් යුතුව හඳුන්වන්නේ ”පංඩිතයා” හෝ ”අතිපංඩිතයා” නමින් ය.
රාවණා, රාම, සහ සීතා වෘත්තාන්තය ගැන කතා කරනවිටදී, මේ ”පණ්ඩිත හෝ අති පණ්ඩිත” නොවන එහෙත් ”බක පංඩිතයන්” රාවණා, රාමා ආදීන් මිත්‍යාවක් යයි පවසති. ”රාවණාගේ රාජධානිය” ඇතුළත්, වාල්මිකී මුනිවරයාගේ රාමායණය කතාව, සාහිත්‍යමය ප‍්‍රබන්ධයක් බව ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වති. රාවණා සොහොයුරු දේශද්‍රෝහි, භාතෘද්‍රෝහි විභීෂණයන් මෙන්ම, රාම සෙහොයුරු ලක්ෂ්මනයන් ද, ලාංකේය දෙවිවරුන් වශයෙන් ඇදහීමට උල්පන්දම් දෙන බව සහ දුන් බව ද පැහැදිළි ය. රාමාගේ සොහොයුරු ලක්ෂ්මන, සබරගමු බින්තැන්නට අධිගෘහිත දෙවියන් වශයෙන් හෙවත්, ”ලක්සමන්” වශයෙන් ස්ථාපිතකර ඇත්තේ ද අපගේ ම පංඩිතයන් ය. මෙ ඉන්දියානු ගැතිවීමක් හැර සත්‍යාවබෝධයකින් තොරව කරණු ලබන ඇදහීමකි.
මෙම පුද්ගලයන්ගේ මතයට අනුව නම්, ලක්දිව ප‍්‍රථම බෞද්ධ මහෝපාසක, සෝවාන් මාර්ග ඵලයට පත්ව ඇති සුමන සමන් දෙවියන්, ලාංකික දෙවි කෙනෙකු නොව, මහා භාරතයෙන් මෙරටට සංක‍්‍රමණය වී දේවත්ත්‍වයට පත්කරන ලද ඉංදියානුවෙකි. එහෙත් සත්‍යය නම්, සුමන සමන් හෙවත් ලක්සමන් යනු, ආදි සබරගමු බින්තැන්න ප‍්‍රදේශය පාලනය කළ යහපත් වූ ලාංකික ජන ප‍්‍රධානියෙකි. මහියපොක්ඛල හෙවත් මහියංගණ ප‍්‍රදේශයේ සිට සබරගමු බින්තැන්න ප‍්‍රදේශ පාලනය කළ මෙතුමාගේ මරණයෙන් පසු, එතුමාණන් දේවත්ත්‍වයට පත්කර සිරීපාදයට අධිගෘහිත දෙවියන් වශයෙන් ඇදහීමට හා වැඳුම් පිදුම් කිරීමට තරම් අපගේ ආදිකාලීන මුතුන් මිත්තන් කෘතගුණ වූහ.
ගෞතම බුදු රජාණන් වහන්සේ සමනල කඳු මස්ථකයෙහි සිය වම් සිරිපා සටහන තැබීමට තරම් කාරුණික වූයේ, සුමන සමන් නම් වූ යහපත් පාලකයාගේ ඇරයුම නිසා ය. සමන් දෙවියන් පිළිබඳ කතා ප‍්‍රවෘත්තිවලට අනුව, එතුමන් විවාහවී ඇත්තේ, දඹදිව සුද්ධෝදන මහරජතුමන්ගේ නැගණිය වූ, ප‍්‍රමිතා කුමරිය සමඟින් ය. එය එසේ නම් සමන් දෙවියන් සිද්ධාර්ථ කුමාරයාගේ ඇවැස්ස මාමණ්ඩිය යි.
රාවණා කතා පුවතට අනුව, ඔහුගේ පරපුර සූර්ය වන්දනාව හෙවත් හිරු දෙවියන් ඇදැහූ පිරිසක් ය. එමෙන් ම ඔවුන් සත්ව හිංසනය හෝ සත්ව ඝාතනය දැඩි සේ ප‍්‍රතික්‍ෂේප කළහ. ශිව භක්තික බ‍්‍රාහ්මණයන් පවත්වන සත්ව බිලි පූජා, යාගහෝම දැඩි ලෙස පිළිකෙව් කළහ. එමෙන්ම ශිව දෙවියන් ඇදහූ මහාභාරතයේ, බ‍්‍රාහ්මණයන් හා ශිව අනුගාමිකයන් එලෙස සිදු කරණ, පුද පූජා කඩාකප්පල් කිරීමට ද රාවණාවන්ගේ පිරිස් කිසිම අවස්ථාවක පසුබට වූයේ ද නැත. සිය පුද පූජාවන්ට විරුද්ධව කටයුතු කරමින් ඒවා කඩාකප්පල් කරණ රාවණාවන් ගැන, ශිව භක්තිකයන් පසු වූයේ දැඩි වෛරයකින් ය. මේ නිසාම රාවණාවන්ගේ ක‍්‍රියා කලාපයට විරුද්ධව බ‍්‍රාහ්මණයන් යම් යම් කුමන්ත‍්‍රණ කළහ. මේ සඳහා ඔවුන් රාජකීය උදව් උපකාර පැතුවේ දශරථ රජතුමන් ගෙන් ය.
මහාභාරතයේ ද රාවණාගේ බලයට යටත් වූ ප‍්‍රදේශ කිහිපයක්ම විය. අයෝධ්‍යාවට ආසන්න ජනස්ථාන් පුරය ද එසේ ඔහුගේ පාලනයට නතු වූ ප‍්‍රදේශයකි. එක්තරා දිනෙක රාවණා පාලනාධිකාරියට දැන ගන්නට ලැබුණේ, කඩු සහ දුනු ඊතල ආදිය රැුගත්, තවුසන් දෙදෙනෙකු සමඟ කාන්තාවක් ජනස්ථාන් පුර, දණ්ඩකාරන්‍ය වනයේ අසපුවක් තනා ගෙන එකට රැුඳී සිටින බව ය. තවුසන් දෙදෙනෙකු සමඟ කාන්තාවක් එකට රැුඳී සිටීම සදාචාරාත්මක නොවන නිසාත්, ඔවුන් ළඟ කඩු, දුනු, ඊතල තිබීම ගැනත් කරුණු කාරනා සොයා බලන්නට, රාවණා රජතුමා භාරදුන්නේ ඔහුගේ සොහොයුරිය වූ ශුපර්ණඛාට ය. ඇය රාවණා රාජ්‍යයේ කාන්තා සේනාංකයේ සේනාධිපතිනිය යි. ඇය ඉතාමත් රූමත් ය. නීල වර්ණ දෙනෙත් මීනාක්‍ෂි මෙන් ය. දුටුවන් වශී කරන්නේ ය. මීනාක්‍ෂි යනු මත්ස්‍යයෙකුගේ දෙනෙත් ය.
තවුසන් ලෙසින් වෙස් මාරුගෙන සිටියේ, රාම සහ ඔහුගේ වේමාතෘක සොහොයුරු ලක්‍ෂ්මනත්, රාම කුමාරයාගේ බිරිඳ වන සීතා කුමරියත් ය. මෙම කරුණ සොයා බැලීමට ශුපර්ණඛා ප‍්‍රථමයෙන්ම පැමිණෙන්නේ තවුසියකගේ වෙස් ගෙන ය. එහෙත් ලද තොරතුරු සනාත කර ගැනීමට ඇයට එදින නොහැකි විය. එයට හේතුවනුයේ, ඇය අසපුව සමීපයට යනවිට අසපුවේ සිටියේ රාම කුමාරයා පමණක් වීම ය. පලවැල නෙළීමට යන බව අඟවමින්, ලක්‍ෂමන සහ සීතා කුමරිය, අවල කෙළියේ යෙදීමට මහ වනයට ගොසින් ය. ශුපර්ණඛා ඇස ගැසුණු රාම කුමාරයා ඇයට වශී වුනා පමණක් නොව, සීතා අතහැර දමන්නට තරම් සිතක් පහළ වූ බව කියන්නේ රාමායන කතුවරයා ය.
වන වැදුන සොහොයුරාත් සිය බිරිඳත් ආපසු පැමිණි පසු, රාම කුමාරයා ශුපර්ණඛාගේ රූපශ‍්‍රිය ගැන වර්ණනා කරන්නේ ය. කාන්තාවන් ගැන වැඩි ඇල්මක් නොදක්වන සොහොයුරු රාම කුමාරයාගේ මේ වෙනස්වීම ගැන ලක්‍ෂමණ, බ‍්‍රහ්මණයන්ට දැනුම් දෙන්නේ ය. බමුණන් ඔහුට උපදෙස් දෙන්නේ, නැවතත් වතාවක
ශුපර්ණඛා පැමිණි විටක ඇයට කළ යුතු දෑ ගැන ය.
ශුපර්ණඛා තවත් දිනක අසපුවට ගොස් මේ ගැන විමසීමේදී, එක්වරම ඇය ඉදිරියට කඩා පීනු ලක්‍ෂමන, ශුපර්ණඛාගේ නාසය, දෙතොල්, කන් ආදිය කපා දැමීමට තරම් සැහැසි විය. කාන්තාවකට එසේ සැහැසිකම් කළ සහ එමෙන්ම සිය සොයුරාගේ බිරිඳ වූ සීතා සමඟ අනියම් ඇසුරක් ද පැවැත්වූ ලක්‍ෂ්මන වැනි පුද්ගලයකු, මතු බුදුවන්නට දස පාරමී පෙරුමන් පුරණ, සෝවාන් මාර්ග ඵලයට පත් දෙවි කෙනෙකුන් වශයෙන් යමෙකු අර්ථ දක්වන්නේ නම්, ඔවුන් බුද්ධාගම ගැන යම් තරමකින් හෝ දැනුමක් තිබෙන පුද්ගලයන්දැයි, විමසීම වැදගත් ය.
කෙසේ වුවද ”මහාවංශය” අපගේ ඉතිහාසය ලියැවූ වංශ කතාවයි. මහාවංශය ද ලියා ඇත්තේ විජයාගමනයෙන් ද වසර 600කට පමණ පසුව ය. අනුරාධපුර යුගයේ ධාතුසේන රජ දවස, දික්සඳ පරිවේනාධිපති, මහානාම හිමියන්, අපේ ඉතිහාසයේ මූලාරම්භය ලීවේ ද ජනප‍්‍රවාද තොරතුරු හා කටකතා ද ආශ‍්‍රයකර ගෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. උන්වහන්සේ එය ලිවීමේදී පක්‍ෂග‍්‍රාහි වූ බවද පැහැදිළි ය. එම නිසා අපගේ ඉතිහාසයේ බොහෝ තැන්වල හිදැස් ඇති බවද පෙනේ. උන්වහන්සේ පැවිද්දකු නොවී ගිහි පඬිවරයකු වී, හෝ මහාවිහාරික භික්‍ෂුවක නොවී, මැදිහත් මතධාරි භික්‍ෂූවක ලෙසින් හෝ මහාවංශය ලීවේ නම්, පක්‍ෂග‍්‍රාහි නොවෙනවා පමණක් නොව, හිදැසකින් තොරව මහවංශය ලියනු ඇත. මහවංශ කතුවර හිමියන්ට මේ මහා වංශ කතාව ලිවීමට රාජ්‍යානුග‍්‍රහය මෙන්ම, මහා විහාරයෙන් ද පූර්ණ අනුග‍්‍රහය සහ උපදෙස් ද ලැබෙන්නට ඇත.
මේ නිසාම අපේ රටේ යම් යම් තොරතුරු ලිවීමේදී මහාවංශ කතුවරයාට අවශ්‍ය පරිදිම නොව, මහාවිහාරයට අවශ්‍ය පරිදි ලීවීමේ සීමාවන් ද අද වගේ පනවන්නට ඇත. නිදසුනක් වශයෙන් ගතහොත්, උන් වහන්සේ සීගිරි කාශ්‍යපයන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කෙටි තොරතුරකි. මහාචාර්ය ගුණපාල මලලසේකර ශූරීන් ද සඳහන් කරන අන්දම ට, මහවංශ කතුවරයාට ලියන්නට සිදුවුනේ, කිසියම් වූ සීමාවකට යටත්ව ය. මේ නිසා උන් වහන්සේ මහාවංශය ලීවේ ද පක්‍ෂග‍්‍රාහි වූ බව, මධ්‍යස්ථ මතධාරීන්ට අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ.
ඒ කෙසේ වුවද රාවණා නැමති යක්‍ෂ ගෝත‍්‍රික රජ කෙනෙකු, ලක්දිව ලංකාපුර අග රාජධානිය කරගෙන තුන් ලෝකයම තමන් නතු කරගෙන, පාලනය කළ බව මහාවංශයේ හෝ අපගේ වෙනත් වංශකථාවල සඳහන් නොවුව ද, රාමායණය සහ මහාභාරතය නැමති ග‍්‍රන්ථ ද්විත්වයෙහි මේ බව සඳහන් වේ. එම ග‍්‍රන්‍ථවල සඳහන්වෙන ආකාරයට, එදා අප දිවයිනම ඔවුන් හඳුන්වා ඇත්තේ, ”ලංකාපුර රාජධානිය” යනුවෙන් බව අප අමතක නොකළ යුතු ය.
වාල්මිකී මුනිවරයා විසින් රචිත රාමායණයේ සඳහන්, ”ලංකාපුර රාජධානිය” හෙවත් ”රාවණා රාජධානිය” කවියකුගේ මනඃකල්පිත රාජධානියක් නොවන බව දේශීය මෙන්ම විදේශීය මධ්‍යස්ථ මතධාරී විද්වතුන්ගේ පිළිගැනීමයි. ස්පෙන්සර් හාර්ඞ් නැමති විදේශ විද්වතා ප‍්‍රකාශකර ඇතැයි කියන්නේ ද, ලංකාපුර රාජධානිය මනඃකල්පිත නඟරයක් නොවන බවත්, එය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත‍්‍රික්කයේ තිබෙන බවත් ය. එමෙන්ම ඉන්දියාවේ, පුරාවිද්වතකු වන ලාල් ශී‍්‍ර නිවාස් මහතා,”සීගිරියේ ගල මතුපිට දැක ගන්නට ලැබෙන ඉතිහාසයට වඩා අගනා ඉතිහාසයක්, පර්වතය යට තිබෙන බවට” 1983.05.08 වැනි ඉරු දින වීක්එන්ඩ් ඉංග්‍රීසි පුවත්පතට ප‍්‍රකාශකර ඇති බව සඳහන් ය.
අද අපි සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් යනාදි වශයෙන් හෝ ගොවි කුල, කරාව, දුරාව, රොඞී ආදි වශයෙන් වූ විවිධ වූ කුල ගෝත‍්‍රවලට බෙදී වෙන්ව සිටිනවා මෙන්, විජයගේ ලංකා ගමනයට පෙර මෙරට ජීවත් වූ වැසියන් ද, දේව, යක්‍ෂ, රාක්‍ෂස හා නාග වශයෙන් කුල ගොත්වලට වෙන්ව සිටියා ය. ඒ හැර ඉන්දීය ආභාෂය ලත්, බලි තොවිල්, යාග හෝම හා යන්ත‍්‍ර මන්ත‍්‍රවල සඳහන්වන ආකාරයේ දෙවියන්, යක්‍ෂයන් හෝ නාගයන් නොවන බව සඳහන් කළ යුතු ය. එකල දේව ගෝති‍්‍රකයන් යනු, රට, පළාත හෝ ගම පාලනය කළ පාලක පැලැන්තිය යි. යක්‍ෂ සහ රාක්‍ෂස යනු ගොවිතැන් සහ විවිධ කර්මාන්තයන්හි යෙදුන ගෝත‍්‍රිකයන් ය. නාග ගෝත‍්‍රිකයන් යනු ධීවර හා වෙළඳ කර්මාන්තයේ යෙදුන උන් ය. නාග ගෝත‍්‍රිකයන් බොහෝ දුරට ජීවත් වූයේ මුහුද ආශ‍්‍රිත කලාපයේ ය. සිව් හෙළයන් වශයෙන් සලකන්නේ මෙම ගෝත‍්‍රිකයන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු ද නොවේ. එමෙන්ම මෙම ගෝත‍්‍රිකයන්ට ද ගෝත‍්‍රික නායකයන් සිටි අතර, ඔවුන් ද රජවරු වශයෙන් පළාත් පාලනය කළ බව ඓතිහාසික තොරතුරුවලින් සනාත වේ. ලක්දිව බෞද්ධ ශාසන ඉතිහාසයට අනුව, ප‍්‍රාග් බෞද්ධ සමයේ සබරගමුව බින්තැන්නේ සුමන සමන්, නාගදීපයේ චූලෝදර සහ මහෝදර, කැලණියේ මණිඅක්‍ඛිත කතා පුවත් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
බුදුන් වහන්සේ ප‍්‍රථම වරට ලක්දිව මහියංගණයට වැඩම කොට, යක්‍ෂයන් අතර ඇති වූ ගැටුමක් සමථයට පත්කර ඔවුන් ගිරි දිවයිනට පලවා හැර, පිරිත් පැන් ඉසින ලද බව බෞද්ධ සාහිත්‍යයේ සහ වංශ කතාවල දැක්වේ. බුද්ධ චරිතය නිවැරදිව හැදෑරු කිසිවකු මෙම කතාව පිළි ගන්නේදැයි සැකයක් ඇතිවේ. ලක්දිව පාරම්පරිකව ජීවත් වූ එක්තරා ජන ගෝත‍්‍රයක් තමන්ගේ මාතෘ භූමියෙන් පලවා හැරීමට තරම් උන් වහන්සේ අකාරුණික වූයේ ද?. නැත. උන් වහන්සේ සිදු කළේ ගෝත‍්‍රිකයන් අතර පැවති, අවසානයක් නොමැතිි ගහ මරා ගැනීමක් සමථයට පත්කර, දිවයින කොටස් වශයෙන් බෙදා ගෙන පාලනය කරන ලෙසට ඔවුන් දැනුවත්කර ඔවුන් අතර සාමය උදා කිරීමයි.
බුදුරජාණන් වහන්සේ එම යක්‍ෂ ගෝත‍්‍රිකයන් සඳහා අරිට්ඨ පබ්බත, මිස්සක, සමන්ත කූඨ, තණ්ඩුලෙය්‍යක පබ්බත, ඕදුම්බර, මාරගල්ලක, යක්ඛදාස ගිරි, හරිකණ්ඩක, ලග්ගල සහ ලොග්ගල යන ගිරිදීප ඇතුළු තවත් ගිරි පෙදෙස් බෙදා දුන් බව සමන්ත කූඨ වර්ණනාවෙහි සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රථම ලංකාගමනය සහ විජය කුමාරයාගේ ලංකාවතරණය අතර කාල පරාශය අඩ සිය වසරකටත් අඩු ය. උන්වහන්සේ යක්‍ෂයන් ගිරි දිවයිනකට පලවා හැරියේ නම්, විජය කුමාරයා ලංකාවට ගොඩ බසින අවස්ථාවේ, යක්‍ෂ ගෝත‍්‍රික කුවේණිය හමු වුනේ කොහොම ද ?. ඇයගේ ඥාතීන් හෙවත් එවකට යක්‍ෂ ගෝත‍්‍රික පාලකයාගේ දියණිය වූ පොලමිත්තා කුමරිය, සිරසවස්ථුපුර මහා කාලසේන නම් පාලකයාට විවාහකර දීමේ මංගලෝත්සවයක් පවත්වන්නේ කෙසේ ද ? කියා කල්පනා කළ යුතුය. සිය පියා විසින්ම මාතෘ භූමියෙන් පලවා හරිනු ලැබූ විජය කුමාරයා, සත් සියයක් වූ සහපිරිවර සමඟින් අයාලයේ ලංකාවට ගොඩබසින අවස්ථාවේ කපු කටිමින් සිටි කුවේණිය ඇතුළු පිරිස, රාවණා පරපුරේ මුනුබුරු මිනිබිරියන් ය. එයින් පැහැදිලිවන තවත් කරුණක් නම්, කපු වගාකර, කපු කටිමින් ඇඳුම් නිර්මාණයකර ගැනීමට තරම් තාක්‍ෂණික දියුණුවක් ඔවුන් ලබා තිබූ බවයි.
රාවණා ගැන කතා කිරීමේදී ලංකාවේ බොහෝ ස්ථාන නාමයන්, රාවණා පුවත හා බැදෙන්නේ, මෙම පුවතේ කිසියම් සත්‍යතාවයක් ඇති නිසා ය. වෙස්සගිරිය, සීගිරිය, පිදුරන්ගල, බම්බාව, ලග්ගල, ලොග්ගල, බලංගොඩ, බලකොටුන්න, කොණ්ඩගල, රැුවුලාදොළ, බොල්තුඹේ, බඹරබොටුව, කූරගල, දෙතනගල, රත්නපුර, වාරියපොල, රාවණා ඇල්ල, අත්තනගල්ල, සීතාඑළිය, දොළුකන්ද, උනවටුන, උස්සන්ගොඩ ඒ ආදි වශයෙන් තවත් ස්ථාන රාශියක් මෙම කතා පුවතට අදාලව නම්කර ඇත. ( රාවණා පුවතට අදාල බොහෝ තොරතුරු සම්බන්ධවන්නේ රත්නපුර සහ මධ්‍යම පළාත ආශ‍්‍රිතව ය.) එපමණක් ද නොව, රාවණා දේශය පසු කලෙක රෝහණ දේශය බවට පත් වූ බවට ද ජන ප‍්‍රවාද තොරතුරු ඒ ඒ ප‍්‍රදේශවලින් අසන්නට ලැබේ. ලග්ගල ආදි මධ්‍යම කඳුකරයට අයත් ප‍්‍රදේශවල රාවණා රජු අදහන්නේ බණ්ඩාර දෙවියන් වශයෙන් ය.
රාවණා රජතුමාට ගිරි රාජධානි 07ක් තිබුණු බව ද සඳහන් වේ.
1- සිව ගිරි රාජධානිය, ( සීගිරිය )
2- හෙළ ගිරි රාජධානිය, ( දෙවුන්දර)
3- මහේන්‍ද්‍ර ගිරි රාජධානිය, ( රුහුණු කතරගම)
4- ඉන්‍ද්‍රගිරි රාජධානිය, ( කූරගල)
5- මූලගිරි රාජධානිය, ( මුල්ගිරිගල)
6- චන්‍ද්‍රගිරි රාජධානිය, ( රත්නපුර, බලකොටුන්න)
7- මලය ගිරි රාජධානිය, ( මහනුවර හන්තාන)
රාවණා පුවතට අදාලව හෙවත් රාවණා රජතුමා, සීතා දේවිය පැහැර ගෙන ආවේ යයි කියනු ලබන වෘත්තාන්තය ගැන දීර්ඝ විස්තරයක් නොකළ ද, කෙටියෙන් හෝ සඳහන් කිරීම වැදගත් වනු ඇත.
කකුසඳ, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම යන සිව් බුදුවරයාණන් වහන්සේලාම ලක්දිවට වැඩම කළ බව අප බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව, මහාවංශය සහ දීපවංශය වැනි වංශකථාවල ද සඳහන් වේ. එකල්හි අප දිවයින, ඔජද්වීප, වරද්වීප, මණ්ඩද්වීප සහ ලක්දිව ආදි වශයෙන් හැඳින් වූ බවද කියති. එයින් පැහැදිලි වන්නේ, බුදු දහමේ සත්‍යතාවය අනුව, සිව් බුදුවරයාණන් වහන්සේලාගේ සමයේ ද මෙරට කිසියම් වූ මිනිසුන් පිරිසක් මෙහි වාසය කළ බවයි.
ලක්දිව බුද්ධාගම ස්ථාපිත වූයේ, දෙවන පෑ තිස් රජ සමයේ ( ක‍්‍රි:පූ: 250 - 210) මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට බුද්ධාගම රැුගෙන ඒමෙන් පසුව ය. මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේ ද බෞද්ධාගම ගැන මෙරට වැසියන් දැන සිටි බව ද නොරහසකි. එයට හේතුව බුදුරජාණන් වහන්සේ තෙවරක්ම ලක්දිවට වැඩමකර වැසියන්ට ධර්මය දේශනාකර තිබීම යි. ”ලක්දිව ප‍්‍රාග් බෞද්ධ සමය” වශයෙන් හඳුන්වන්නේ එම කාල පරාශය යි .
රාවණා රජුගේ පෙලපත
මහානාම හිමියන්ගේ මහාවංශයට අනුව, ලක්දිව පළමු රජතුමා නම්, සත් සියයක් සහපිරිවර ද රැගෙන දඹදිවෙන් මෙරට ට සංක‍්‍රමණය වුන විජය කුමාරයා ය. එහෙත් අපේ පවතින ජනප‍්‍රවාද සහ වර්ග පූර්ණිකව නම් පැරණි පුස්කොළ ග‍්‍රන්‍ථයට අනුව, විජය ට පෙර ලක්දිව, සූර්යපුත‍්‍ර, ධර්මරාජ, හේතිරාක්‍ෂ, විශ්වකේෂ, සහ බ‍්‍රහ්මන් යන රජවරුන් රජ කළ බව සඳහන් වේ. මොවුන් මෙරට රජකර ඇත්තේ පියා ගෙන් පුතාට හිමිවන උරුමය පරිදි ය. එහෙත් එසේ නොවී ලේ නෑකමට රජකම ගිය අවස්ථා ද නැත්තේම නොවේ. බ‍්‍රහ්මන් ගෙන් පසු රජකමට පත්වන්නේ පුලස්ති ඍෂිවරයා ය. ඔහු රජ කළේ පුලස්ති පුර හෙවත් පොළොන්නරුවේ ය.
මේ බ‍්‍රහ්මන් නැමති ආර්ය ගෝත‍්‍රික මුනිවරයාට දරුවන් සත් දෙනෙකි. මේ සත් දෙනාම පිරිමි දරුවන් වූ අතර, දේවාර්ෂි නමින් මොවුන් ප‍්‍රකට වූහ. මරිචි, අතී‍්‍ර, පුලහ, පුලස්ති, ක‍්‍රතු, අංගීරස් සහ වශිෂ්ඨ නම් වූ, මෙම සත් දෙනාගෙන් සිව් වැනියා වූ පුලස්ති විවාහ වුනේ, භවිර්භූ නැමති උසස් කුල කුමරියක සමඟ ය. ඇය කර්දම නම් පාලකයාගේ දියණිය යි. පුලස්තිට දාව ඇයට පුතෙක් උපන් අතර, ඔහුට විශ‍්‍රවත් යනුවෙන් නම තැබීය.
විශ‍්‍රවස් ද රට පාලනය කළ අතර, ඔහුගේ බිසව වූයේ ඉඩා හෙවත් ඉළා දේවිය යි. ඇය මහා භාරතයේ රාක්‍ෂ ගෝත‍්‍රික කුමරියකි. ඇය තෘණබින්‍දු මුනිවරයාගේ දියණියක වන අතර, වෛශ‍්‍රවණ හෙවත් කුවේරයන්ගේ මෑණියන් ය. විශ‍්‍රවපුත‍්‍ර, ධනපති ආදි නම්වලින් ද කුවේර හඳුන්වති. ඔවුන් විසුවේ වෛ¥ර්ය නම් ගිරි මස්ථක නුවර ය. මෙම නුවර පිහිටියේ, දඹදිව නර්මදා නදී තීරයේ ය. ඉළා දේවිය අකාලයේ මිය ගිය අතර, විශ‍්‍රවස් මුනිවරයා සිය රජකම ද හැර දමා තපස් රැකීමට වන වැදුනේ ය. ඔහුගෙන් පසු රජකමට පත් වූයේ ඔහුගේ පුත‍්‍ර කුවේර යන් ය.
රාවණා රජුගේ උප්පත්තිය ද රසබර කතාන්තරයකි. සුමාලි යනු, රාවණා පෙළපතෙහි රාජකීය ලේ උරුමක්කාර ගෝත‍්‍රික ප‍්‍රදේශ පාලකයෙකි. යක්‍ෂ ගෝත‍්‍රිකයෙකු වූ හෙතෙම බලවත් අධ්‍යාත්මික ශක්තියකින් හෙබි පුද්ගලයෙකි. මොහු සිය අධ්‍යාත්මක බලය ප‍්‍රයෝජනයට ගනිමින් ලක්දිව අනාගතය විමසා බැලූවේය. ඔහුට පෙනී ගියේ, අනාගතයේදී මෙරට සෞභාග්‍යමත් දේශයක් වන බව ය. තමන්ගේ දියණිය වන කෛකේෂියට ඉපදෙන දරුවා මෙරට රජකමට පත්වෙන බවත්, ඔහු තුන් ලෝකයම විජයග‍්‍රහණය කර තමන් සතු කර ගන්නා බවත්, ඔහුගේ අධ්‍යාත්මික ඥානයට පෙනී ගියේ ය. ඔහු බුද්ධිමත් බවෙන් පරිපූර්ණ, භාග්‍යවත්, බලසම්පන්න, සියලූ ශිල්ප ඥානයන්ගෙන් පරිපූර්ණ වන පුද්ගලයකි. එය එසේවීමට නම් දියණිය විවාහ කර දිය යුත්තේ, මේ වනවිට වන වැදී උග‍්‍ර තපස් වෘතයක් රකින විශ‍්‍රවස් මුනිවරයාට ය. ඔහු එම තපස් වෘතයෙන් මුදවා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන බවද ඔහුගේ අධ්‍යාත්මික ඥානයට පෙනී ගියේ ය. නමුත් එය කෙසේ හෝ කළ හැකිවන්නේ ද සිය දියණිය වූ කේෂණී හෙවත් කෛකේෂි ට ය.
ඔහු කේෂණීට සියලූ කරුණු පැහැදිළිකර, කෙසේ හෝ විශ‍්‍රවස් මුනිවරයා සිය වසඟයට ගෙන, ඔහුට දාව දරුවකු ලබන්නැයි උපදෙස් දුන්නේ ය. ඇය සිය පියාණන්ගේ උපදෙස් පරිදි මුනිවරයා අබියසට ගොස් විවිධාකාර රංගනයන්, අභිනයන් ඉදිරිපත් කළත්, විශ‍්‍රවස් මුනි ඇය දෙස නෙතක් හැර නොබැලූවේ ය. එහෙත් සත් වැනි දිනයේ දී් ජයග‍්‍රහණය කළේ කෛකේෂි ය. ඔහු තපස් වෘතයේ රැුදී සිටින නීග්‍රෝධ (නුග) රුක මුලට ගිය ඇය, සිය ගත වසා ගෙන සිටි සියලූම ඇඳුම් පැළඳුම් ගලවා දමා නිරුවත් රංගනයක යෙදුනා ය. පිපුන නාරිලතා මලක් දැකීමෙන්, තවුසන්ගේ ද දැහැන බිඳ වැටෙනවා සේම, ඇයගේ නිරුවත ඉදිරියේ ඔහුගේ උග‍්‍ර තපස් ශීලය බිඳ වැටුනේ ය. ඔහු ඇයට වශී විය. තමන් සුමාලි රජුගේ දියණිය කේෂණී වන අතර, මෙහි පැමිණියේ ඔහුට සේවය කිරීමට බවත් පැවසී ය. තමන්ට සේවය කිරීමට නම්, පළමුව දිය නා පිරිසිදු විය යුතු බව මුනිවරයා සඳහන් කළේ ය. ඇය ප‍්‍රකාශ කළේ, තමන් තවමත් කන්‍යාවියක බැවින් උණු දිය නෑමට කැමති බවත් ය. ඍෂිවරයා තම අත තිබූ සැරයටියෙන් පොළොවට ඇන්නේ ය. පුදුමයකි. එතැනින් ඉහළට පැන නැංගේ උණු දිය උල්පතකි. අද එය නමින් කන්‍යා (කින්නියා) උණු දිය උල්පත යි.
සුමාලි රජතුමාගේ බලාපොරොත්තුව ඉටු විය. විශ‍්‍රවස් ඍෂිවරයාට දාව කෛකේෂි කුමරිය පුතකු බිහි කළ අතර, ඔහුට නම තැබුවේ රාවණා යනුවෙන් ය. ඇයට පසුව ඔහු තවත් විවාහයන් දෙකක් සිදුකර ගත්තේය. මෙම තිදෙනාම විවාහකර ගත්තේ ලක්දිවින් ය. ඔවුන් හැඳින්වූයේ රිදී දෝලි වශයෙන් ය. මෙයින් පළමුවැනි සහ දෙවැනි රිදී දෝලීන් යක්‍ෂ ගෝත‍්‍රයට අයත් වූ අතර, තෙවැනි රිදී දෝලිය අයත් වූයේ කල්‍යාණ පුරවර ප‍්‍රදේශයේ නාග ගෝත‍්‍රයට ය.
එම දෙවැනි විවාහයේ පළමු බිසව, නමින් පුෂ්පොත්කටා, කෛකේෂී හෙවත් මහබිය දේවිය වශයෙන් හඳුන්වයි. ප‍්‍රධාන රිදී දෝලිය වශයෙන් ඇයට සැලකූ අතර, ඇය විශ‍්‍රවවස් මුනිවරයාට දාව පුත‍්‍රයන් දෙදෙනෙකු බිහිකළ අතර, රාවණා සහ කුම්භකර්ණ යනු එම පුතුන් දෙදෙනා ය.
රඛා බිසව විශ‍්‍රවවස් මුනිවරයාගේ දෙවැනි රිදී දෝලිය වශයෙන් සලකති. රකී, රඛිය ආදි නම් වලින් ද හඳුන්වන මැය, ඛර, දූෂණ සහ ශුර්පණඛා යන දරුවන් තිදෙනාගේ මෑණියන් ය.
මාලිනී නම් වූ නාග ගෝති‍්‍රක කුමරියක් විශ‍්‍රවවස් මුනිගේ තෙවැනි බිරිඳ වූ අතර, ඇය විභීෂණගේ මව ය. ගෝත‍්‍රය කෙසේ වුවද, ඇය රාවණාවන්ගේ සුළු මවු කෙනෙකි.
එසේ වුවද රාවණා, රාම යුද්ධයේදී, විභීෂණයන්, තම සොහොයුරු වූ රාවණාට විරුද්ධව රාමාගේ පක්‍ෂය ගෙන ක‍්‍රියා කළ භාතෘ ද්‍රෝහියෙකි. ඔහු එසේ කරන්නට හේතු වූයේ, අනාගතයේදී, රාම කුමාරයාගේ ආධාරෝපාකාරයෙන් ලක්දිව රජවීමේ අනාගත බලාපොරොත්තුවෙන් ය.
අම්මාවරුන් වෙනස් වුවද, කුවේර මේ සොයුරු සොයුරියන් හය දෙනගේම වැඩිමහල් සහෝදරයා ය. පියා විශ‍්‍රවස් මුනිවරයා ය.
රාවණා රජතුමා නම් කිහිපයකින්ම හඳුන්වයි. රවුලා, රාවන්, දසිස්, යගු කෞරාණ මන්‍ඨක, ලංකේෂ්වර, රාවනේශ්වර ඉන් කිහිපයකි. රාවණා යන්නෙන්, සූර්යවංශික යන අර්ථය ගෙන දෙන බව කියයි.
රාම කුමරුගේ පෙළපත
මේ වකවානුව වනවිට මහා භාරතයේ අයෝධ්‍යා පුරවරය පාලනය කළේ දශරථ නම් රජ කෙනෙකි. මෙම රජතුමාට කෞෂල්‍යා, කෛකේයි සහ සුමිත‍්‍රා යනුවෙන් රජ මෙහෙසියන් තිදෙනෙක් වූහ. විවාහවී කලක් ගෙවුන ද, මොවුන් තිදෙනාටම දරුවන් නොසිටි බැවින්, රජතුමා පමණක් නොව රටවැසියන් ද සිටියේ, ඉතාමත් දුකින් යුතුව ය. රජතුමාගේ ඇවෑමෙන් රට පාලනය කිරීමට පුත් කුමරුවකු නොසිටීම එයට හේතුවයි. පසුව රජතුමා ප‍්‍රමුඛ රටවැසියන්, විෂ්ණු දෙවියන් වෙනුවෙන් විශාල යාග හෝමයක් පවත්වමින් ඉල්ලා සිටියේ, රජතුමාගෙන් පසු රටෙහි යහපාලනයක් ගෙන යාමට පුත් කුමරුවකු හෝ ලබා දෙන ලෙසයි. විෂ්ණු දෙවියන් ඔවුන්ගේ අයැදීම ප‍්‍රතික්‍ෂේප කළේ නැත.
ඒ අනුව දශරථ රජතුමාගේ රන්දෝලිය වූ කෞෂල්‍යා බිසවට පුත් කුමරුවකු උපන් අතර, ඔහුට රාම යනුවෙන් නම තැබුවේ ය. රිදී දෝලියක වූ කෛකේයී බිසවට ද පුත් කුමරුවකු උපන් අතර, ඔහුට තැබූ නම භරත ය. දෙවැනි රිදී දෝලිය වූ සුමිත‍්‍රා බිසව නිවුන් පුත් කුමරුවන් දෙදෙනෙකු ම වැදුවා ය. ඔවුන්ට ලක්ෂ්මන සහ ශතැඝ්ණ යනුවෙන් නම් තැබූහ.
මෙම කුමරුවන් සිව් දෙනාගේ ගුරුවරයාණන් වූයේ වශිෂ්ඨ මුනිවරයා ය. වශිෂ්ඨ මුනිවරයා බ‍්‍රහ්මන්ගේ බාල පුත‍්‍රයා හෙවත්, පුලස්ති දේවාර්ෂිවරයාගේ බාල සොහොයුරා ය. නැතහොත් රාවණාවන්ගේ සුළු පියා ය. ඔහුගේ අධ්‍යාපනායතනය පිහිටුවා තිබුණේ, භාරතයේ දණ්ඩකාරණ්‍යයේ ය. පුලස්ථි ඍෂිවරයා දෙවන වරට විවාහ වූ කාන්තාවන්ගේ ගෝත‍්‍ර සම්බන්ධයයෙන්, පුලස්ති සහ වශිෂ්ඨ යන අය්යා මලෝ අතර, ඇති වුනේ විශාල මත ගැටුමකි. එහි අවසන් ප‍්‍රතිපලය වූයේ, වශිෂ්ඨ මුනිවරයා, මහාභාරතයේ දසරථ රජතුමාගේ අග‍්‍ර පුරෝහිතයා වශයෙන් සේවයට බැඳීම ය. තමා දන්නා කියන යන්ත‍්‍ර මන්ත‍්‍ර සහ තන්ත‍්‍ර ඇතුළු සියලූ ශිල්ප ඥානයන්, දශරථ සිව් පුත‍්‍රයන්ට ඉගැන් වූයේ පුලස්ථි සොහොයුරු වශිෂ්ඨයන් ය.
නිසි කල වයස එළඹුන පසු දශරථ රජු මොවුන්ට විවාහයන් කරදීමට සූදානම් වූ අවස්ථාවක, විශ්වාමිත‍්‍ර නම් වූ ඍෂිවරයා රජතුමාට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ, නන්දනෝද්‍යානයේ පැවැත්වීමට නියමිත යාග හෝම, යක්‍ෂයන් විසින් කඩාකප්පල් කරනු ලබන බැවින්, එය මැඬ පැවැත්වීමට රාම කුමාරයාගේ සහය ලබා දෙන ලෙසයි. රාම කුමාරයාගේ උදව් උපකාරයෙන් යක්‍ෂයන් පළවා හැර, යාග හෝමය සිදු කිරීමට විශ්වාමිත‍්‍ර ඍෂිවරයා සමත් විය. යක්‍ෂයන් යනු රාවණා රජ පරපුරේ ගෝත‍්‍රය යි.
රාම කුමරුගේ සහ සහෝදරයන්ගේ විවාහය.
මිථිලා නුවර ජනක රජතුමා සිය දියණි තනතුරේ තබා හදා වඩාගත්තේ සීතා කුමරිය යි. සීතාවගේ මව කවුරුදැයි කිසිවකුත් නොදන්නේ ය. ජනක රජතුමා එවකට පැවති වප් මඟුල් උත්සවයක කූඹුරක් සීසාමින් සිටියදී, මහී කාන්තාව රජතුමාට අපූරු තෑග්ගක් තිළිණ කළේය. ඒ වෙන කිසිවක් නොව, නඟුලෙන් හෑරෙන පස් තීරුවෙහි හෙවත් හීවිටෙහි සිටි කුඩා බිළිඳියෙකි. නඟුලෙන් හෑරෙන පස් තීරුව සකු බසින් හඳුන්වන්නේ ”සීතා”නමින් ය. ඒ අනුව ඇයට සීතා යන නම තැබුවේය. ”පොළොවෙන් උපන් දියණිය” යන අර්ථයෙන් නගුලිය වශයෙන් ද, ජනක රජතුමාගේ දියණිය නිසා ඇය ජානකී නමින් ද, හැඳින්වී ය. (අද ද ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි දරුවන් හමුවන බව නොරහසකි. ගස් ගල් යට, කුණු බාල්දිවල, මහමඟ මෙලෙස අතරමංකර හෝ දමාගිය දරුවන් මේ ධර්මද්වීපයෙන් ද ඕනෑ තරම් හමුවේ.)
රාම කුමාරයාට ජනක රජතුමාගේ දියණිය වූ සීතා කුමරිය විවාහකර දීමට කපුකම කළේ විශ්වාමිත‍්‍ර ඍෂිවරයා ය. ලක්‍ෂ්මන කුමාරයාට විවාහ කරදුන්නේ, ජනක රජතුමාගේ බාල දියණිය වන උර්මිලා කුමරියයි. ජනක රජුගේ බාල මලණුවන්ගේ දියණියන් දෙදෙනා සරණ පාවා දුන්නේ භරත සහ ශතැඝ්ණ යන දෙකුමරුවන්ට ය. ඉන්දියානුවන්ගේ පිළිගැනීමට අනුව, රාම කුමාරයාගේ පරපුර පැවත එන්නේ දේව ගෝත‍්‍රිකයන් ගෙනි. යක්‍ෂ ගෝත‍්‍රිකයන් ගෙන් පැවත එන්නේ, රාවණාගේ පරපුර යි.
ත්‍රෛලෝකාධිපති රාවණා අධිරාජයා
විශ‍්‍රවවස් මුනිගේ දරුවන් සය දෙනාම ත‍්‍රිවේදයම හොඳින් ඉගෙන ගත්තෝ ය. විශේෂයෙන් ම රාවණා කුමාරයා මොවුන් අතරින් දක්‍ෂයන්ගේත් අති දක්‍ෂයකු විය. නිර්මාණශීලිත්වයට සහජ හැකියාවක් තිබුනේය. ”ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍ර” නැමති ආගමික ග‍්‍රන්‍ථයේ මෙන්ම, චතුර්වේදයේ එක් කොටසක් වන ”සාම වේදය”ද, කුමාර තන්ත‍්‍රය, යන්ත‍්‍ර මන්ත‍්‍ර තොරතුරු ඇතුළත් ”අග්නි තන්ත‍්‍රය” ඇතුළු තවත් ග‍්‍රන්‍ථ කිහිපයකම කතුවරයා රාවණා රජතුමා යයි විශ්වාස කරති. දඩු මොණරය නම් වූ ගුවන් යානයේ නිර්මාතෘවරයා ද රාවණාවන් ය. එමෙන්ම මොහු දඩබ්බරයකු ද විය. එහෙත් මොහු යුක්තිය අගයන සාධාරණත්වයට නිතර ගරු කළ පුද්ගලයකි.
නමුත් රාවණා පුවත හරිහැටි අධ්‍යයනය නොකළ පුද්ගලයන්ට රාවණා රජතුමා සල්ලාලයකි. එමෙන්ම තම සොහොයුරාගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවයක් ඇතිකර ගෙන සිටි, කාන්තාවනට නිසි ආරක්‍ෂාව සහ ගරුත්ත්‍වය නොදුන්, කාන්තාවකට ඉතාමත් නින්දනීය ලෙස අමානුෂික අන්දමින් දරුණු වධ හිංසා කළ ලක්‍ෂ්මන කුමාරයා දෙවියෙකි. සිය සහෝදරයාට මෙන්ම වර්ගයාට ද, දේශයට ද ද්‍රෝහි වූ විභීෂණයන් ගෞරව බහුමානයට පාත‍්‍ර වූ දෙවියෙකි.
රාවණාගේ පිය පරපුර හෙවත් විශ‍්‍රවවස් මුනිවරයාගේ පරපුර මෙන්ම මව් පරපුර ද රජකමකට උරුම හිමිකම් ඇති පරපුරකි. විශ‍්‍රවවස් මුනිවරයා ගෙන් පසු ලක්දිව රජකමට පත්වන්නේ, ඔහුගේ දෙටු පුත් කුවේර යන් ය. ඔහු විශ‍්‍රවවස් මුනිවරයාගේ පළමු විවාහයේ හෙවත් ඉඩා දේවියගේ පුත‍්‍රයා ය. ඔහු රාජ්‍යත්වයට පත්වන විට රාවණා කුමාරයා කුඩා කොලූ ගැටයෙකි. කුවේර හෙවත් වෛශ‍්‍රවණ ලක්දිව රජකම තම අතට ගෙන ගිරි මස්ථකයක් මත මාලිගාවක් ඉදි කළේය. ඉදිකරන ලද එම මාලිගයට නම තැබූයේ ආලකමන්දාව යනුවෙන් ය.
තරුණ වියට පත් රාවණා කුමාරයා, තම වේමාතෘක සොහොයුරු කුවේර ගෙන් රජකම පැහැර ගත්තේය. ඒ තම මව් සහ පිය පාර්ශවයෙන් දෙකෙන්ම ලක්දිව රජකමට නියම උරුමකම් හිමිකම ඇත්තේ තමන්ට කියමින් ය. රාවණා ඒ වනවිට සියලූ ශිල්ප ශාස්ත‍්‍රයන් ඉගෙන ඒවායින් කෙළ පැමිණියෙකු විය. එහෙත් ඔහු සිය සොහොයුරා වූ කුවේරයන් ට අසාධාරණයක් කළේ නැත. මහා භාරතයේ සිය පියාණන්ගේ පාලනයට අයත්, යටත් ප‍්‍රාන්තයක රාජ්‍යත්වය ඔහුට පවරා දුන්නේය.
රාවණා රජතුමා අතිදක්‍ෂ රණ ශූරයෙකි. කලාකාමි හදවතක් තිබූ එතුමන් වීණා වාදනයෙහි කෙළ පැමිණියෙකු ද විය. වීනාවේ නිර්මාතෘවරයා ද එතුමන් බව කියන අතර, එහි මුල් නම රාවණාහත්ත බව කියයි. රාවණා මහා බ‍්‍රහ්මයා ගෙන් අමරණීයත්වය හෙවත් අමෘතය ලබාගත් පුද්ගලයකු බවද සඳහන් ය.
රාවණා රජතුමා සීතා කුමරිය පැහැර ගෙන එන අවස්ථාව වනවිට ඔහු විවාහක ය. ඔහුගේ බිසවගේ නම මන්දෝදරී ය. ධ්‍යානමාලිනී, ඇයට තවත් අපර නමකි. සීගිරි සිත්තම්වල දැක්වෙන්නේ ඇයගේ රුව බව ද සඳහන් වේ. ඒ බව ප‍්‍රදේශයේ පවතින කවියක මෙසේ සඳහන් වේ.
ප‍්‍රශ්ණය,
සීගිරි ගලේ විල සැදුවෝ කවුරුන් දෝ
සීගිරි ගලේ රූ ඇන්දෝ කවුරුන් දෝ
සීගිරි රුවෙන් දිස්වන්නේ කවුරුන් දෝ
මෙතුන් පදේ විසදන්නේ කවුරුන් දෝ
පිළිතුර,
සීගිරි ගලේ රාවණ දෙවි විල සැදු වා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරු වා
සීගිරි රුවෙන් මන්දෝදරි දිස්වෙන වා
මෙතුන් පදේ නිසි ලෙස මම විමසන වා
සීගිරි චිත‍්‍ර පස් වන සිය වසේදී අඳින ඒවා නොව, ක‍්‍රි:ව: පළවෙනි සියවසට ද වඩා පැරණි බව සමහර ප‍්‍රාඥයෝ සඳහන් කරති.
රාවණා රජතුමා අමෘතය ලබා ගැනීම සඳහා ඉතාමත් අතිදුෂ්කර වූ තපස් වෘතයක් රකින ලද බව හින්දු සාහිත්‍යයෙහි සඳහන් වේ. රාවණා අමරණීයත්වය ලබා ගැනීම සඳහා සිදුකළ උග‍්‍ර තපස් රැුකීමේදී දස වතාවක් හිස සිඳගත් බවත්, ඒ සෑම අවස්ථාවකදීම අලූත් හිසක් පහළ වූ බවත් කියයි. හිස සිඳගත් දස වැනි අවස්ථාවේදී මහා බ‍්‍රහ්මයා ඔහුට අමෘතය ලබාදුන් අතර, මේ වනවිට රාවණා හිස් දහයකින් සහ අත් විස්සකින් සමන්විත වූ බව කියයි. මේ නිසා රාවණා රජතුමාගේ තවත් එක් අපර නාමයක් වූයේ, ”දසිස්” ය. දසිස් යයි නම් කළත්, එතුමන් හිස් දහයකින් යුතු අපූරු සත්වයෙකු වූයේ නැත. ඉහත සඳහන් උග‍්‍ර තපස් වෘතය සමාදන්වීමෙන් එතුමන් සිත දියුණු කර ගනිමින් ගුණ ධර්ම දහයක් වර්ධනය කර ගත්තේ ය.
1- ආත්ම විශ්වාසය,
2- ඥාණය,
3- ශක්තිය,
4- එඩිතර බව,
5- දූරදර්ශි බව,
6- ඍජුව ක‍්‍රියා කිරීම,
7- සුදුස්සාට ගරු කිරීම,
8- උත්සහය,
9- සංවරකම,
10- අපරාජිත බව,
ඉහත සඳහන් කරුණු නිසා රාවණාවන් දසිස් වූවා ය. එසේ නොමැතිව එතුමා ඇත්තටම හිස් දහයකින් සමන්විත වූවා නම්, ස්කන්‍ධ දෙවියන්ටත් වඩා, එතුමන්ට ගෞරව බහුමානයෙන් යුතුව පුද සත්කාර කරන්නේ භාරත වැසියන් මිස ශ‍්‍රී ලාංකිකයන් නොවේ.
මහා බ‍්‍රහ්මයා විසින් දෙන ලද අමෘතය, සියලූ දෙනාටම රහසින් රාවණාවන් සිය නාභියෙහි තැම්පත් කර ගෙන එය බඳ පටියකින් වසා ගෙන ඇතත්, විභීෂණ නම් වූ භාතෘ ද්‍රෝහියා මෙම රහස දැන ගෙන ඇත. රාවණාවන්ගේ විණාශයට මුල වූයෙත් මේ භාතෘ ද්‍රෝහියා මෙම රහස දැන සිටීමයි.
රාම රාවණා පුවත ගැන තවදුරටත් කතා කළ යුතු දෑ බොහෝමයක් ඇතත්, ඒ ගැන තවදුරටත් කතා නොකර, කරුණු ඉදිරිපත් කරන්නේ, රාවණාගේ ලංකාපුර රාජධානිය සීගිරිය යන අදහස පෙරදැරිකර ගෙනය. ලක්දිව තවත් ස්ථාන කිහිපයකම රාවණා රජතුමාගේ මාළිගා ඇතැයි කියන අතර, මෙම ලිපියේ පරමාර්ථය වනුයේ රාමායනයේ සඳහන් ලංකාපුර රාජධානිය පිහිටියේ සීගිරියේ බව පැහැදිලි කිරීමට ය. එයට හේතුව සීගිරියේ විශ්මකර්ම නිර්මාණය සහ සැඟවුන පුරාවිද්‍යාත්මක සාධකයන් ය.
සීගිරිය
සතර දිග් භාගයෙන් ම කඳුවැටිවලින් වටවී ඇති හෙවත්, නැගෙනහිරින් නුවරගල සහ ගල්ළිඳ කඳුවැටිවලින් ද, දකුණින් ඇ?වුල කන්ඩලම කඳු වැටියෙන් ද, බස්නාහිරෙන් ලෙනදොර අරංගල කඳු වැටියෙන් ද, උතුරු දිශාවෙන් රිටිගල කඳුවැටියෙන් ද වට වූ භූමි භාගයක දැක ගන්නට ඇත්තේ, වැතිර හිස ඔසවා ගෙන සිටින සිංහයකුගේ විලාසය විදහා දැක්වෙන, අහස උසට පැන නැඟුන මනෝරම්‍ය වූ පර්වත රාජයෙකි. මෙම පර්වත රාජයා නිකම්ම නිකන් වූ ගිරි ශිඛරයක් නොව ජාතික උරුමයකි. මේ පර්වත රාජයා සහ ඒ වටා වූ නටඹුන් වර්තමාන ලෝකයේ 08 වැනි පුදුමය ලෙසින් හඳුන්වනවා පමණක් නොව, යුනේස්කො ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ලෝක උරුමයකි.
වර්තමානයේ මෙම පර්වත රාජයා හඳුන්වන්නේ සීගිරිය නමින් ය. සීගිරිය පිහිටා ඇත්තේ, මාතලේ දිස්ත‍්‍රික්කයේ, ඉනාමළුව කෝරළේ, වගපනහ පල්ලේසිය පත්තුවේ ය.
එමෙන්ම මේ පර්වත රාජයා උරුම කරගත් ඉතිහාසය, වත්මනෙහි දිවයන්නේ, වසර එක් දහස් පන්සියකට තරමක් වැඩි ඈත අතීතයකට ය. නොඑසේ නම් පළවෙනි කාශ්‍යප හෙවත් සීගිරි කාශ්‍යප රජ දවස දක්වා ය. එහෙත් එයටත් වඩා වසර දහස් ගණනක ඈතට දිව යන, සැඟවුන ඉතිහාසයක් මෙයට ඇති බව දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ගේ පිළිගැනීම යි. (වර්තමානයේ සීගිරියේ සහ ඒ අවට ප‍්‍රදේශයන්හි සිදු කරණු ලබන පර්යේෂණ කැණීම්වලින් ඒ බව සනාථ වේ.)
මෙම පර්වත රාජයාගේ උස පොළෝ මට්ටමේ සිට අඩි 700ක් පමණ වේ. අනුරාධපුර යුගයේ මෙරට පාලනය කළ, එහෙත් පීතෘ ඝාතකයකු වශයෙන් මහාවංශ කතුවරයා විසින් හංවඩු ගැසූ, පළවෙනි කාශ්‍යප රජතුමා සිය රාජධානිය වශයෙන් තෝරා ගත්තේ සීගිරිය යි. ඔහු මෞර්ය වංශිකයෙකි. සීගිරි කාශ්‍යප රජතුමා ගැන මහාවංශයේ ගාථා දෙක තුනකට වඩා ලියා නොමැති වුවත්, මහාවංශ කතුවර, මහානාම හිමියන්, කාශ්‍යප රජතුමාගේ මුත්තනුවන් කෙනෙකි. ක‍්‍රි:ව: 477 සිට වසර 18ක පමණ කාලයක් මෙරට පාලනය කළ කාශ්‍යප රජතුමා, සීගිරිය නිර්මාණය කළ බව මහාවංශයේ සඳහන් වේ.
එහෙත් සීගිරියේ අද දැක ගන්නට ඇති පැරණි මහා නඟරය, වසර 18ක් වැනි කෙටි කාලයක් තුළදී, මේ රටේ සමස්ථ ජනතාවම සේවයට යොදාගෙන වුවද නිර්මාණය කරන්නට නොහැකි බව, ලොව පිළිගත් වාස්තු විද්‍යාඥයන් මෙන්ම බහුශ‍්‍රැතයන් ප‍්‍රකාශ කරති. ඒ එසේ වුව ද අපගේ පැරණි මුතුන් මිත්තන්ගේ, ශක්තිය, නිර්මාණ කුසලතාවය, ලඝු කළ යුතු නොවේ. එම නිසා මෙම ප‍්‍රකාශය අපගේ ආදි මුතුන් මිත්තන්ට කළ නිගරුවකි. අද බොරු මත ප‍්‍රකාශ කරන විද්වතුන් යයි කියා ගන්නා සමහර පුද්ගලයන්ට වඩා අපේ මුතුන් මිත්තන් දක්‍ෂ ය. සීගිරිය කාශ්‍යපයන් ට පෙර කරණ ලද නිර්මාණයක් බව අද වනවිට බහුතරයක් පිළිගනිති. එහෙත් එතුමන්ට පෙර මෙහි නිර්මාපකයන් ගැන මහාවංශයේ හෝ වෙනත් පැරණි වංශ කතාවක සඳහන් නොවන නිසා, හෝ ශිලා ලේඛන මෙතෙක් හමුවී නොමැති නිසා සීගිරි කාශ්‍යපයන්ට පෙර මෙහි තිබූ ඉතිහාසය වළලා දැමීමට අප සූදානම් නොවිය යුතුය.
මෙම ලිපිය ආරම්භයේම සඳහන් කළ ආචාර්ය ගොඩකුඹුර ශූරීන්ගේ ප‍්‍රකාශය වැදගත් වනුයේ මෙම අවස්ථාවේදී ය. ඒ ජනප‍්‍රවාදයෙන් එන තොරතුරු ය. සීගිරිය කාශ්‍යපයන්ට පෙර, නිර්මාණයක් ය යන කරුණ ගැන අදහස් ඉදිරිපත් කිරීමට බොහෝදුරට මම කරුණු එක් රැස්කර ගත්තේ අපේ ගම් ප‍්‍රදේශයේ ජීවත්ව සිටි, එහෙත් අද වනවිට මිය පරලොව ගොස් සිටින වැඩිහිටි අත්තලා, අත්තම්මලා ගෙන් ය. එතුමන්ලා ද එම කතා පුවත් දිග හැරියේ, උන්දලාගේ මුතුන් මිත්තන් කියා දුන් පරවේනිගතව පැවත ආ කතා පුවත් ය. මහානාම හිමියන් ද මහාවංශය ලීවේ ඒ ආකාරයෙන් පැවත ආ කතා පුවත් අනුසාරයෙන් ය. එපමනක් ද නොව, වළගම්බා රජ දවස ත‍්‍රිපිඨකය ග‍්‍රන්‍ථාරූඪ කළේ ද ගුරු ගෝල මුඛ පරම්පරාවෙන් පැවත ආ ආකාරයට ය.
මෙම වැඩිහිටියන් අතර, මගේම අත්තා වන, එච්.එම්.ඩිංගිරි බණ්ඩා, අත්තම්මා වන ගමගෙදර කළුමැණිකේ ත්, මගේ අප්පච්චි වන එච්.එම්.විජේරත්න පමණක් නොව, ඥතිත්ත්‍වයෙන් සහ ගමේකමට නෑකමින් හඳුන්වන, කිරිබණ්ඩා අත්තා, ඇඹුල්අඹේ හිංබණ්ඩා අත්තා, ගල්ළිඳේ අත්තප්පා, කායංවල කපුරුහාමි අත්තප්පා, තල්කොටේ හේරත්හාමි අත්තප්පා ආදි වශයෙන් වූ තවත් වැඩිහිටියන් රාශියකි. එයට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරියේ සේවයට බැඳුණ පසු, ලැබෙන දිවා ආහාර විවේකයේදී සීගිරිය ගැන පැරණි කතා අහන්නට මාත් සමඟ තවත් තරුණ ගැටයන් කිහිප දෙනෙක්ම එක් වූයේ, එවකට වැඩබිමේ සිටි සේවයේ යෙදුන වැඩිහිටියන් කිහිපදෙනෙකු ළඟට ය. ඔවුන් ද එම කතා අසා තිබුනේ ඔවුන්ගේ අත්තා, අත්තම්මලා, මුත්තප්පලා ගෙන් ය. ඔවුන් අතර, මගේ අප්පච්චිගේ සම වයසේ මෙන් වූ, පොල්අත්තාවේ කිරිබණ්ඩා මාමා, හේරත්හාමි මාමා, දියකැපිල්ලේ, හීංබණ්ඩා මාමා, තල්කොටේ යසපාල මාමා, හේරත්හාමි මාමා, අවුඩංගාවේ එල්.කේ බාසුන්නැහැ වැනි වැඩිහිටි මාමණ්ඩිලා ද වැඩි රුචිකත්වයක් දැක්වූයේ අපට සීගිරිය ගැන නොයෙක් කරුණු කතාන්දර කියා දීමට ය.
අපේ අත්තා, ගල්ළිඳේ අත්තප්පා, තල්කොටේ හේරත්හාමි අත්තප්පා, කායංවල කපුරුහාමි අත්තප්පා, වැනි බොහෝ වැඩිහිටියන් කීවේ, ”.... අපි ඔය ඉංදියාවෙන් ආපු විජේ කියන ගෙහෙඬියාගේ එවුන් නෙමේ......අපේ අත්තලා මුත්තලා, අපි පැවතෙන්නේ රාවණාගේ පරම්පරාවෙන්....කාස්සප රජ්ජුරුවන්ගේ අම්මාගේ පැත්තෙන්.....රාවණාගේ පරම්පරාවෙන්...... කාස්සප රජ්ජුරුවන්ගේ අම්මා යස්ස කුමාරිකාවක්නේ.....ඒකනේ කාස්සප කුමාරයාට රජකමට උරුම නැහැ කියන්නේ.......” ආදි වශයෙනි. විශේෂයෙන්ම ගල්ළිඳේ අත්තප්පා, කායංවල කපුරුහාමි අත්තප්පා, දකිත් දී මතකයේ ඇඳෙන රූපය නම්, නොදැක්කත් රාවණා රජතුමා ය. ඔවුන් ඒ තරම් හැඩි දැඩි ය. ගල්ළිඳේ අත්තප්පා, වර පොට මන්දත් රැුගෙන කැලෑ වදින්නේ කුළු මී හරකුන් අල්ලා ගැනීමට ය. කැලෑ වැදුන අත්තප්පා ආපසු ගෙදර එන්නේ කුළු මී හරක් දෙතුන් දෙනෙක් අල්ලා ගෙන ය. රැුගෙන එන කුළු හරක් ඒ වනවිට බලූ කුක්කන් මෙන් හීලෑ වෙලා ය. උන්දෑ ඉතාමත් දක්‍ෂ සර්ප වෙද මහත්මයෙක්. සර්පයෝ කාලා මැරුනයි කියපු ලෙඞ්ඩු කී සීයක් උන්දෑගේ බෙහෙත් බලෙන් අත් ගුණෙන් ගොඩ ආව ද?.... එතකොටත් මගේ මතකයට ආව් දක්‍ෂ වෛද්‍යවරයෙක් යයි කියන රාවණා රජ්ජුරුවෝ. කායංවල කපුරුහාමි අත්තප්පා, ඉර එළිය පොළොවට වැටෙන කොට කුරහන් රොටී හරි පිට්ටු හරි, වැව් මාළු හරි, දඩමස් හොද්දක්, පළා ඇඹුලක් එක්ක කොටා බාලා කැත්ත, උදැල්ල, නඟුල ගෙන කුඹුරට, හේනකට බැස්සොත් ආයෙ ගොඩ එන්නේ බිම් කරුවල වැටුනට පස්සේ ය. උන්දලාගේ හයි හත්තිය මට කියා පෑවේ, පරම්පරා සිය ගණනාවකට ඉස්සර වෙලා සීගිරිය නිර්මාණය කළේ මේ වගේ මිනිස්සු නේද කියලා ය.
එතුමන්ලා ගෙන් අසා දැන උගත් කරුණු පසු කලෙක විමසා බැලීම සඳහා, සීගිරිය, මාපාගල සහ පිදුරංගල ද තවත් ඒ අවට ගම් කිහිපයක සැරිසැරුවෙමි. විශේෂයෙන්ම සීගිරිය, මාපාගල සහ පිදුරංගල මගේ පයට නොපෑගුණ වැලි කැටයක් නොමැති තරම් ය. සමාවන්න !, ඔබ මේ කියවන ලිපියට පාදක වන කරුණු කාරණා බොහෝමයක් මගේ පැටි සහ තරුණ අවධියේ ඇසූ කතා සහ පසු කලෙක පොතපත කියවා ලබා ගත් කරුණුවලින් උකහා ගත් ඒවා ය. මේවාට ලිඛිත ඉතිහාසයක් නැත.
අපේ රටේ බහුතරයක් තවමත් අපේ දෙයට වඩා, පිටරටින් ගෙන එන දෙයට මෙන්ම බටහිර චින්තනය අදහන උන් වෙති. අපේ දෙයට නිගරු කොට සළකති. අපේ පැරණි මුතුන් මිත්තන්ගේ හපන්කම් දක්‍ෂකම් ලඝුකොට දැක්වීමට තරම් වූ හීනමානයෙන් ඔවුන් පෙළෙති. ඔවුන් ඒ තරමටම පිටරට දැයට ගරු කරති. රාවණා පුවත ගැන ද එසේම ය.
කාශ්‍යපයන් සීගිරියේ රජවීමට පෙර සීගිරිය බෞද්ධාගමික සිද්ධස්ථානයක් වශයෙන් පැවතුන බව පෙනේ. සීගිරියේ කරනු ලබන කැණිම්වලින් ඒ බව මනාව පැහැදිලි වේ. එතුමාගේ මව් පාර්ශවය ජීවත් වුනේ සීගිරියේ වන අතර, ඔවුන් යක්‍ෂ ගෝත‍්‍රිකයන් බව කියැවේ. යක්‍ෂ ගෝත‍්‍රිකයන් යනු, බලි තොවිල් පවිල්වල අසන්නට ලැබෙන යකුන් යක්ෂණියන් නොව, එකල ලක්දිව විසූ මානව ගෝත‍්‍රයක් ය.
කාශ්‍යප රජතුමාට පෙර, මකලන්තිස්ස සහ මහදැළිතිස්ස නමින් රජවරු දෙදෙනෙක් සීගිරියේ රජකළ බව ජනප‍්‍රවාදයේ සඳහන් ය. ඉතිහාසයට අනුව නම්, මෙයින් එක් අයෙකු වනුයේ, අනුලා බිසව (ක‍්‍රි:පූ:48-44) මරා දමා රජවුන, කූඨකණ්ණ තිස්ස ය. මකලන්තිස්ස හෙවත් කාලකණ්ණිතිස්ස (ක‍්‍රි:පූ:44-22) යන අපර නාමයන් ගෙන් ද ඔහු හඳුන්වන අතර, මහාදාඨික මහානාග රජතුමා (ක‍්‍රි:ව:19-29) හඳුන්වන ලද අපර නාමයක් වූයේ, මහදැලියා මානා හෙවත් මහදැළියාතිස්ස ය. ඔවුන් ද සීගිරියේ රජ කළ බව ජනප‍්‍රවාදවල සඳහන් ය. ඒ කෙසේ වුවද, වසර 18ක් වැනි කෙටි කාලයකට කාශ්‍යප රජතුමාට සීගිරිය නිර්මාණය කිරීමට නොහැකි බවද පෙර සඳහන් කළෙමි. එසේ නම් එයට පෙර සීගිරිය නිර්මාණය කළේ කවුද යන ගැන විමසා බැලීම වැදගත් ය.
සිහිගිරියේ ගල මස්ථකයේ නිර්මිත මාළිගාව, උගුල් ගල, ජල උද්‍යාන, ගල පාමුල තිබෙන සීතල මාළිගා, මෙන්ම ගල පාමුල සිට ගල මස්ථකයට නැගීමට නිර්මාණය කරන ලද ගල් පඩි පෙළ, ඇතුල් දිය අගල්, පිට දිය අගල් එපමණක් ද නොව, සිගිරි ගල වටා මෙන්ම මාපාගල වටා සුවිසල් ගල් කුළුවලින් බැඳ ඇති ප‍්‍රාකාර බැමි ආදිය විශ්මිත නිර්මාණයන් ය. සීගිරිය සිව් දිශාවෙන්ම කඳු පංතියකින් වටවී ඇති වඩාත් ආරක්‍ෂිත ස්ථානයකි. මහ සීගිරි වැවේ සිට ගල මුදුනට ජලය ලබා ගත් ආකාරය තවමත් කිසිවකුටත් අදහා ගැනීමට හෝ සිතා ගැනීමටත් බැරි විශ්මජනක නිර්මාණයක් ය. එමෙන්ම සීගිරි මාළිගා භූමිය ද ජල මූලාශ‍්‍රිතව ආරක්‍ෂාව ද සකස්කර ඇත. තුන් පැත්තකින් මඩ අගල් සහ දිය අගල්වලින් ද, එක් පැත්තක් මහ වැවකින් ද වටවී සිටිනාකාරයෙන් නිර්මාණය කර ඇති සීගිරිය ඇත්තෙන්ම ආරක්‍ෂිත බලකොටුවක් පමණක්ම නොව කලාගාරයකි. කාශ්‍යප රජතුමා කුවේරයාගේ ආලකමන්දාව මෙන් සීගිරිය සකස් කළා පමණක් නොව, පර්වත රාජයකු සේ රාජ්‍ය පාලනය ද කළ බවද කියති.
” සිහිගිරිය මුලින්ම රාජධානියක් වශයෙන් සකස් කළේ රාවණා රජතුමා” ය. රාවණා රජතුමාගේ ලංකාපුර රාජ්‍යය, සිහිගිරිය බව බහුතරයක් වූ දේශීය විදේශීය විද්වතුන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ද විශ්වාසයයි. ත‍්‍රිකූඨ ගිරිකන්දර මස්තකයෙහි යක්‍ෂයන්ගේ ලංකා පුරය පිහිටා තිබුන බව මහා භාරතයේ සඳහන්වේ.
එමෙන්ම තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ද මනා දැණුමක් ලබා ගෙන සිටි රාවණා රජතුමාගේ ආකාශවස්තු පර්යේෂණාගාරයක් ද ලංකාපුර රාජධානියේ පිහිටුවා තිබූ බව සඳහන් ය.
රාවණා පුරය ඉදිකර තිබුනේ, ගිරි දුර්ගයක් මස්තකයේ බව, රාමායනය සහ මහභාරතය පවසන්නේ වරක් දෙවරක් නොව ඔවුන් එය කියන්නේ පුනපුනා ය. අපේ උන් ද, රාම රාවණා යුද්ධය අවසානයෙන් පසු හෙවත් රාවණා සීතා පැහැර ගෙන ඒම ගැන කෝපයෙන් සිටි දෙවිවරුන්, අවසානයේ මුහුද ගොඩ ගලන්නට සලස්වා රාවණාපුර රාජධානිය මුහුදුබත් කළ බව සඳහන් කරන්නේ, රාවණා රජතුමා අගතිගාමි, දුෂ්ඨයකු පමණක් නොව ස්තී‍්‍ර දූෂක සල්ලාලයකු බවට ද පත්කරමින් ය. ඔවුන් මෙය සනාථ කිරීමට ගිනිකොණ නොගැඹුරු මුහුදේ පිහිටි රාවණා කෝට්ටේ, රාවණා රාජධානිය බව සඳහන් කරති. රාමායණය මැනවින් අධ්‍යයනය කළ අයකු කිසිම අවස්ථාවක රාවණා රජතුමා සල්ලාලයකු හෝ ස්ත‍්‍රී දූෂකයකු වශයෙන් නම් නොකෙරෙනු ඇත. මගේ මේ අදහස යමෙකු ගැටලූවක් නොකර ගත යුතු අතර, එයට පිළිතුර ද මෙම ලිපිය අවසානයේ දී හමුවනු ඇත.
සීගිරියේ නිර්මාණ
ත‍්‍රිකූඨ ගිරිකන්දර යනු කඳු මුදුන් තුනකි. ඒ අනුව සීගිරිය ආශ‍්‍රිතව ද ගිරි මුදුන් තුනකි. සීගිරි ගල, මාපාගල සහ පිදුරංගල එම පර්වතයන් ය. එසේත් නැතිනම්, සීගිරිය, දඹුල්ල සහ රිටිගල යන පර්වතයන් ය. සිගිගිරි රාජධානියේ මාළිගා භූමියට අයත් වපසරිය අක්කර දහස් ගණනක් පුරා විහිද යයි. සිහිගිරියේ ගල මුදුනේ සහ ගල පාමුල නටඹුන්වලට අමතරව, වර්තමාන මාපාගල, පිදුරන්ගල, පෙතන්ගල, රාමේකැලේ පමණක් නොව අක්කර දහස් ගණනක් විශාල මහ සීගිරි වැව ආදි නම් වලින් හඳුන්වන ස්ථානවල පිහිටි නටඹුන්වලින් කියා සිටින්නේ, 18 වසරක් වැනි කෙටි කාලයකට පළවෙනි වැනි කාශ්‍යප රජතුමාට පමණක් මෙම නිර්මාණයන් කළ නොහැකි බවයි. රාම කැලේ ගැන කතා කරනවිට, සමහර අය මතයක් ඉදිරිපත් කරමින් කියන්නේ, රාවණා-රාම යුද්ධයේ දී රාම කුමාරයා මෙම කැලයේ සැඟවී සිටි නිසා මෙම කැලය ”රාමකැලේ” යනුවෙන් හඳුන්වන බවයි. එහෙත් රාමකැලේ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසා නොවේ. අනුරාධපුර යුගයට අයත් සුවිසල් ආරාම සංකීර්ණයක නටඹුන්් රාෂියක් මෙම කැලය තුළදී දැක ගන්නට ඇත. එම නටඹුන් අතර චෛත්‍යයක් ඇතුළු සුවිසල් නටඹුන් වූ ගොඩනැගිලි කිහිපයකි. දාගැබ, රාමයක් වශයෙන් ගැමි භාෂාවෙන් හඳුන්වන නිසා, එය පිහිටි කැලය ”රාමේ කැලේ” වශයෙන් හඳුන්වති.
සීගිරි ගල මත වපසරියේ විශාලත්ත්‍වය අක්කර 04කට ආසන්න ය. මේ අක්කර 04 පුරාම විසිරී පැතිරී ඇත්තේ, මාළිගාවක නටඹුන් ය. මාළිගා නටඹුන්වලට අමතරව, ශෛලමය ආසනයක්, පොකුණු කිහිපයක් සහ මුර ගෙවල් කිහිපයක් සහ ගලේ දකුණු දිශාණුගතව දැක ගන්නට ඇත්තේ, සීගිරි මහ වැවේ සිට ගල මස්තකයට ජලය ලබා ගත්තා යයි විශ්වාස කරන ස්ථානයක් ය.
සීගිරියේ ගල උඩ මාළිගාව, ගල පාමුල පිහිටි සීතල මාළිගා ඇතුළු අනෙකුත් ගෘහ නිර්මාණ, වර්තමාන කැඩපත් පවුර හෙවත් ආරක්‍ෂිත වට ප‍්‍රාකාර බැම්ම ආදි වශයෙන් වූ සමස්ත ගොඩනැගිලි නිර්මාණයට කොතරම් ගඩොල් මිලියන ප‍්‍රමාණයක් අවශ්‍යදැයි ගණනය කිරීමට නොව සිතා ගැනීමටවත් නොහැකි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එපමණක් ද නොව ගඩොල් ප‍්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා කොතරම් මිනිස් ශ‍්‍රමයක් අවශ්‍ය ද ?, මේවා නිෂ්පාදනය සඳහා මැටි ලබා ගත්තේ කොහෙන් ද ?, මෙම ඉදිකිරීම් සඳහා පෙදරේරුවන්, වඩු කාර්මිකයන් ඇතුළු අනෙකුත් කර්මාන්තකරුවන්, කාර්මිකයන් කොපමණ අවශ්‍ය ද මෙන්ම මෙම නිර්මාණ කාර්යයන් සඳහා කොපමන කාලයක් අවශ්‍ය ද ? යන්න ගැන කල්පනා කිරීමේ දී, කුඩා දරුවකුට වුව ද වැටහෙන දෙයක් නම් වසර 18ක් වැනි කෙටි කාලයකදී සීගිරි කාශ්‍යපයන්ට මෙම ඉදිකිරීම් සියල්ලම කළ නොහැකි බවයි.
සීගිරි මහ වැව, මඩ අගල්, දිය අගල්, සුවිසල් ඇතුළු ප‍්‍රාකාර, පිට ප‍්‍රාකාර පමණක් නොව ජල උද්‍යානය තුළ ඇති පොකුණු ආදිය නිර්මාණය කරන්නට ගත වුණු කාලය හෝ ශ‍්‍රමිකයන් ප‍්‍රමාණය සිතා ගැනීමටවත් නොහැකි තරම් ය. එපමණක් ද නොව මහ සීගිරි වැවේ සිට ගල මස්ථකයට ජලය ලබා ගෙන ඇත්තේ කෙසේ ද යන්න ගැන විද්‍යාවෙන් මෙතරම් දියුණු ලෝකයේ ඉංජිනේරුවන්ටවත් තවමත් සිතා ගැනීමටවත් නොහැකි ය. අද චිත‍්‍ර කිහිපයකට පමණක් සීමාවී ඇති බිතු සිතුවම්, සීගිරි ගල වටාම ඇඳ තිබූ බවත්, එයට අමතරම සීගිරියේ සෑම ගල් ලෙනක ම මෙලෙස බිතු සිතුවම් ඇඳ තිබුන බවත්, සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණයකර ගෙන ඇත. මේ නිර්මාණ සියල්ලම ආවට ගියාට කරන ලද ඒවා නොවන බවත්, සියලූම දෑ විද්‍යාත්මක ඉංජිනේරු ශිල්පය සහ වාස්තු විද්‍යානුකූලව කරන ලද ඉදිකිරීම් ය. මේ නිර්මාණයන් සියල්ලම විශ්මකර්මයාගේ සැලසුම් අනුව, කුවේර විසින් කළ බව කියති. බොහෝ දෙනෙකුගේ තවත් විශ්වාසයක් නම්, ග‍්‍රහ තාරකා මණ්ඩලය ඇසුරු කර ගෙන සීගිරිය සහ එයට අවශේෂ වූ අනෙකුත් නිර්මාණයන් ඉදිකර ඇති බව ය.
කුවේරයාගේ ආලකමන්දාව හා සම වූ, රාවණා පුරය දුටු හනුමාට, මෙතරම් ශී‍්‍ර විභූතියක් සහිත බලසම්පන්න ශිෂ්ඨාචාරයක් ඇති රාවණා රජතුමා පැරදවිය හැකිදැයි සැකයක් ඇති වූ බව රාමායනය සඳහන් කරයි.
සීගිරිය මාළිගාවට ඇතුල්වීම සඳහා සිව් දිශාවෙන්ම ප‍්‍රධාන දොරටු 04ක් තිබෙන බව මෙතෙක් කරන ලද පුරාවිද්‍යා පර්යෂණවලින් අනාවරණයවී ඇත. දකුණු සහ බස්නාහිර දොරටුවලින් වර්තමානයේ සීගිරිය නැරඹීමට ඇතුළු වුව ද, උතුරු දොරටුව එතරම් ප‍්‍රයෝජණයක් නොගනී. සොයා ගෙන ඇතත් නැගෙනහිර දොරටුව, තවමත් සංරක්‍ෂණ කටයුතු ආරම්භකර නැත. මෙම ඇතුල්වීමේ දොරටු සියල්ලම එකිනෙකට යා වනසේ සකස්කර ඇති අතර, මේසා විශාල ඉදිකිරීමක් සඳහා වැය වූ ගඩොල් ප‍්‍රමාණය සහ මිනිස් ශ‍්‍රමය සිතා ගැනීමටවත් නොහැකි ය. සීගිරියට ප‍්‍රවිශ්ඨවීම සඳහා එකල ප‍්‍රධානම දොරටුව වශයෙන් භාවිතා කරන්නට ඇත්තේ උතුරු දොරටුව බව විශ්වාස කරති.
ගල උඩ මාළිගාව
සීගිරියේ ගල මුදුනේ වපසරිය අක්කර 04කට ආසන්න භූමි ප‍්‍රමාණයකින් යුක්ත ය. මෙම සමස්ත භූමි ප‍්‍රමාණයම වැසී යන පරිද්දෙන්, විසල් ගඩොල් භාවිතා කරමින් සුවිසල් මාළිගා සංකීර්ණයක් ඉදිකර ඇත. මෙම මාළිගා සියල්ලම තට්ටු කිහිපයකින්ම සමන්විත වූ බව පැහැදිලි ය. මෙම ගල උඩ මාළිගාව සෑදීමට කොපමණ ගඩොල් මිලියන ප‍්‍රමාණයක් වැය වැය වුනා දැයි සිතාගත නොහැකි ය. සාදා ගත් ගඩොල් මෙතරම් ප‍්‍රමාණයක් ගල උඩට ගෙන ගියේ කෙසේ ද ?, මාළිගාවට අවශ්‍ය දොර, ජනෙල්, උළුවහු සඳහා කොතරම් දැව ප‍්‍රමාණයක් අවශ්‍ය විණි ද?, ඒවා ගල උඩට ගෙන ගියේ කෙසේ ද ?, මේ කාර්යයන් සිදු කිරීමේදී කොතරම් මිනිස් ශ‍්‍රමයක් වැය කළා ද?. උභයතෝකෝටික ප‍්‍රශ්ණයකි. එහෙත් පිළිතුර සරල ය. මෙම ලිපිය අවසානයේ පිළිතුර ඇත.
සිංහ පාදය
සීගිරිය යන නම මෙතනට තබන්නට හේතුව, වර්තමානයේ අපට දැක ගන්නට ලැබෙන සිංහ පාදය යි. සිංහයාගේ නිය පොතු නිර්මාණයකර තිබෙන ආකාරය දෙස බැලූවිට පෙනී යන්නේ, විවේක සුවයෙන් වැතිර හිස ඔසවා සිටින සිංහයකුගේ හැඩය යි. සමහර වියත් පඬිවරුන් සඳහන් කරන්නේ, සීගිරියේ සිංහ පාදය ද කාශ්‍යපයන්ට පෙර නිර්මාණය කළ එකක් බවයි. තවත් සමහරුන් ප‍්‍රකාශ කරන්නේ, සිංහයෙකුගේ නිර්මාණය කාශ්‍යපගේ නිර්මාණයක් බවයි. මෙහිදී අප අධ්‍යයනය කළ යුත්තේ, කාශ්‍යපයන්ට පෙර සීගිරියට, රාවණා පුරය හෝ ලංකාපුරයට යන ප‍්‍රාග් නම්වලට අමතරව, වෙනත් කිසියම් නමක් තිබුනාද යන වගයි. එහෙත් වංශ කතාවල ද සඳහන් වන්නේ, කාශ්‍යපයන් සීගිරියේ මාළිගාවක් ඉදිකර එහි රාජ්‍යය විචාළ වගයි. කාශ්‍යපයන්ගේ මවගේ පාර්ෂවයේ ඥාතීන් විසුවේ යැයි කියන්නේ සීගිරියේ වන අතර, ඔවුන් යක්‍ෂ ගෝත‍්‍රයට අයත් බව ප‍්‍රවාද තොරතුරුවල සඳහන් වේ. පවතින තොරතුරුවලට අනුව නම්, කුවේරයන් ආරම්භ කළ, රාවණා රජතුමා විසින් පූර්ණව ඉදිකරන ලද සීගිරිය, පසු කලෙක පළවෙනි කාශ්‍යපයන් විසින් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කරන්නට ඇති බවයි. කාශ්‍යපයන්ට පෙර ද මෙම ප‍්‍රදේශය සීගිරිය යනුවෙන්ම හඳුන්වන්නට ඇති බව වියත් මතයයි. එහෙත් සමහර විද්වතුන්, අක්‍ෂි ශෛල පබ්බත යනුවෙන් හැඳින් වූ බවය. තවත් සමහරුන් කියන්නේ, මැලෑඳුර නමින් ද හැදින් වූ බවයි.
උගුල් ගල
සීගිරියේ සිංහ පාදයට පහළින් දැකගන්නට ඇති උගුල් ගල විශ්මිත නිර්මාණයකි. ගල් කණු 18ක් හෝ ආසන්න ප‍්‍රමාණයක ගල් කණු සංඛ්‍යාවක් මත, සුවිශාල වූ ගලක් ඔසවා තබා මෙම උගුල් ගල නිර්මාණයකර ඇත. මෙම ගල දළ වශයෙන් අඩි 18ක් පමණ දිගින් යුක්ත වන අතර, පළල ද අඩි 12ක් පමණ වේ. උස ද අඩි 10ක් පමණ වේ. මෙම උගුල් ගල නිර්මාණයකර ඇත්තේ, පහළ සිටින සතුරන් ගල මස්ථකයේ පිහිටි මාළිගාව ආක‍්‍රමණයට පැමිනෙන්නේ නම්, සතුරන්ට නොදැනෙනාකාරය ට ගල පෙරලීමේ අදහස ඇතුව ය. මෙවන් විශාල ප‍්‍රමාණයේ කළුගලක් ඉහත සඳහන් ආකාරයේ ගල් කණු මත ඔසවා තැබුවේ කෙසේදැයි තවමත් සිතා ගැනීමට අපහසු ය. වර්තමානයේ ඇති නවීන බර ඔසවනයකට (දොඹකරය) හෝ මෙවන් විසල් ගලක් එසවීමට නොහැකිවනවා නොඅනුමාන ය. අපේ මුතුන් මිත්තන් මෙවන් විශ්මකර්ම වැඩවලට කියන්නේ, යකාගේ වැඩක් කියලා ය. ඔව් !.... මෙය ද යකුන්ගේ වැඩක් මය. එහෙත් මේ යකුන් නම්, වැඩ කළ හැකි යක්‍ෂ ගෝත‍්‍රික මිනිසුන් ය.
මාපාගල
සීගිරි ගලට නුදුරින් දකුණු දිශානුගතව දැක ගන්නට ඇති මාපාගල ද රාවණා යුගයට නෑකම් ඇති ස්ථානයක් වශයෙන් සළකති. රාවණා රජතුමාගේ ආරක්‍ෂක සේනාංක මෙහි රඳවා සිටියාක් මෙන්ම, ලංකාපුර රාජ්‍යයේ සිට, රජතුමා ලොව පුරා ගමන් කළේ යයි කියන දඬු මොණරය නම් වූ ගුවන් යානා නවතා තැබුවේත්, රාවණා රජතුමාගේ, ආකාශවස්තු පර්යේෂණාගාරය පිහිටුවා තිබුණේත්, මෙම මාපාගල මස්ථකයේ යයි විශ්වාසයක් පවතී. මෙම පර්වත රාජයා වටා ද සුවිසල් කළුගල් උපයෝගිකර ගෙන ආරක්‍ෂිත ප‍්‍රකාර බැම්මක් බැඳ ඇත. මෙම ප‍්‍රකාර බැම්ම බැඳීම සඳහා ද යොදා ගෙන ඇත්තේ සුවිසල් කළුගල් කුට්ටි ය. මෙම ඉදිකිරීම ද විශ්මකර්ම නිර්මාණයකි.
මහ සීගිරි වැව
සීගිරි පර්වත රාජයා පා මුල දැක ගන්නට ඇත්තේ මහ සීගිරි වැව යි. අද එම වැව අක්කර කිහිපයකට පමණක් සීමා වූ කුඩා වැවකි. මෙම වැව සම්බන්ධයෙන් කර ඇති අධ්‍යයනයේ දී අනාවරණය වී ඇත්තේ, මෙහි වැව් බැම්ම පමණක් කිලෝමීටර් 10කට මඳක් වැඩිව දිගින් යුතු බවයි. නුවරගල කඳුවැටියෙන් ආරම්භවන කිරිඔය සහ කුඩා ගෝණඔය මහ සීගිරි වැවේ ප‍්‍රධාන ජල මූලාශ‍්‍රයන් ය. කිරිඔය, මින්නේරි වැව දක්වා ජලය ගෙන ගිය ජල මාර්ගයක් වූ අතර, වෑවල මහ වැවට ජලය ලබා ගෙන ඇත්තේ, එය වෑවල දී හරස්කර වේල්ලක් බැඳ ගැනීමෙන් ය. වෑවල සිට මහ සීගිරි වැව දක්වා, ඇළ මාර්ගයකින් ජලය ගෙනයාමට කටයුතුකර ඇත. කිලෝමීටර් ගණනාවක් දිග මේ ඇළ අද හඳුන්වන්නේ ”කැප්පූ ඇළ” නමින් ය. කුඩා ගෝණඔය, පුස්වැලිගොල්ල වැව හරහා ලේනව ගමේ දී මහ සීගිරි වැවට එකතු වේ. මේ තොරතුරු පසුකාලීන සිදු කළ අධ්‍යයනයන් හෙළි වූ කරුණු ය. මේ ආකාරයෙන් බලනවිට මහ සීගිරි වැව, තෙරක් නොපෙනෙන මහා සාගරයක් බඳු වැවකි.
ඒ කෙසේ වුවද, සමහර විද්වතුන් සඳහන් කරන්නේ, මෙම මහා වාපිය, රාවණා රජ දවස ඉදිකළ එකක් බවයි. ස්වභාවිකව පිහිටි ජලාශයක්, රාවණා විසින්, මහා වාපියක් බවට සකස්කර අලංකාර කරන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසය යි.
රාවණා රජතුමා විසින්, සීතා කුමරිය රඳවා ගෙන ඇද්දැයි සොයා ඔත්තු බැලීමට, සුගී‍්‍රව නැමති වානර සේනාධිපතියා විසින් එව්වේ හනුමා නැමති වානරයා ය. ඔත්තු බැලීමේ චෝදනාව මත හනුමා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. චෝදනාව විනිශ්චය කළ, ප‍්‍රහස්ත නැමති විනිසුරුවරයා හනුමාට මරණ දඬුවම නියම කළේය. එහෙත් රාම කුමාරයාගේ පාර්ෂවය ගෙන සිටි, රාවණා සොහොයුරු විභීෂණ, හනුමා වෙනුවෙන් අභියායචනයක් ඉදිරිපත් කළ අතර, එය විභාග කළ රාවණා රජතුමා, හනුමාට දූත දණ්ඩනය නියම කළේය. දූත දණ්ඩනයට අනුව, හනුමාගේ වාලධියට පාන්කඩ ඔතා ගිනි තැබීමට නියෝග කළේය. වල්ගයට ගිනි තැබීම නිසා හනුමා, එහෙට මෙහෙට දුව පනිමින් මාළිගාව ඇතුළු අවට නිවෙස්වලට ද ගිනි තබමින් මුහුදට පැන වලිගයේ ගින්දර නිවා ගත්තේය. ඒ රාමායනයේ සඳහන් කරුණු ය.
හනුමා යනු වානර වෙස් ගත් අඟුටුමිට්ටකු බව පෙර සඳහන් කළෙමි. ඒ අනුව ඔහුගේ වාලධිය ද කෘතිමව සෑදූ එකකි. ගිනිගත් වල්ගයක් සහිතව මාලිගාව පුරා දුව පැන දැගලූ හනුමා නිසා, ලංකාපුර මාළිගාව සම්පූර්ණයෙන්ම නොවුනත් සමහර කොටස් ගිනි ගත්තේය.
සීගිරිය හෙවත් ලංකාපුරයේ සිට මහ මුහුදට දුර කිලෝමීටර් 150කටත් වැඩිය. එතරම් දුරක් ගිනිගත් වල්ගයක් සමඟ හනුමා මුහුදට ගියේ නම්, එය හනුමාගේ ද අවසානය වනු ඇත. සිදු වූයේ මහා සාගරයක් වැනි මහ සීගිරි වැවට පැන හනුමා සිය ගිනි ගත් වල්ගය නිවා ගැනීමයි.
උතුරු දොරටුව සහ පිදුරංගල
සීගිරි ගලට කිලෝමීටරයක් පමණ උතුරු දෙසින් පිහිටා ඇති අනෙක් පර්වත රාජයා නමින් පිදුරංගලයි. කාශ්‍යප රජතුමා සිය දියණියන් දෙදෙනාගේ නමින් කරවන ලද මෙම විහාරස්ථානය එකල හැඳින්වූයේ, ”බෝධි උපුල්වන් කසුබ් ගිරි වෙහෙර” නමින් ය. සීගිරිය නම් වූ, ගිරි රාජධානියට එකල ඇතුල්වන ප‍්‍රධාන දොරටුව වශයෙන් භාවිතා කළේ, පිදුරංගල දෙසින් ඇති උතුරු දොරටුවයි.
රාම කුමාරයාගේ උපදෙස් පරිදි සීතා කුමරිය ගැන ඔත්තු බැලීමට ලංකාපුරයට පැමිණි හනුමන්තා නම් වූ වානරයා ( මොහු වඳුරු හමක් පොරවා ගත් අගුටු මිටි මිනිසකු බව සමහරුන්ගේ අදහසයි.) පළමුවෙන්ම ඔත්තු බැලීම සඳහා පැමිණ සැඟවී සිටියේ යයි කියන්නේ, පිදුරංගල පර්වත මස්ථකයේ සිට බව කියති. පිදුරංගල ගල මුදුනට නැගුන පසු, සීගිරියේ සිංහ පාදය හා ගල උඩ ඇතුළු විශාල ප‍්‍රදේශයක් දැක බලා ගැනීමට හැකිවනු ඇත.
එමෙන්ම උතුරු දොරටුව ඇතුළු අනෙකුත් ද්වාර සහිත මේ මහා ප‍්‍රාකාර බැම්මේ, කොටස් කිහිපයකට නිර්මාණය කළ රහස් කුටි සහිතව තිබෙන්නට ඇති බව විශ්වාස කරති. මාළිගයට පහරදීමට පිටතින් පැමිණෙන සතුරු සේනාවන්ට නොපෙනෙන්නට, එහෙත් සතුරු සේනාවගේ පැමිණීම හොඳ හැටි දැක බලා ගැනීමට හැකිවන පරිදි මෙම කුටි නිර්මාණයකර තිබුණු බව පැහැදිළි ය. රහස් ඔත්තු බැලීමට පැමිණි හනුමා ද ඒ බව සනාථ කරයි. ඔහු පවසන්නේ, මෙම කුටිවල චර පුරුෂයන් රැුඳී සිටින බව තමන් දුටු බවයි.
නයි පෙණ ගල හෙවත් නගුලියගේ පෙණය
රාවණා රජතුමා සීතා රඳවා තැබුවේ, ආලකමන්දාව පාමුල අශෝක වනයේ ගල් ලෙනක ය. මෙම ගල්ලෙන පිහිටා ඇත්තේ, නයකුගේ පෙණය මෙනි. ගල් ලෙනෙහි ඉතාමත් අලංකාර ලියකම් සහිත චිත‍්‍ර කිහිපයක් ඇඳ ඇති අතර, කටාරමට පහළින් කොටා ඇති සෙල්ලිපියක් ද දැක ගන්නට ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ ‘ඉන්ස්ක්‍රිප්ෂන් ඔප් සිලෝන්-01” නම් ග‍්‍රන්‍ථයේ, සීගිරියේ සෙල්ලිපි ගැන ලියවී ඇති 67 පිටුවේ, 869 වශයෙන් සඳහන් එම සෙල්ලිපිය මෙසේ දක්වා ඇත.
869 ( 3 ) පරුමක - නගුලිය ලෙණෙ,”ප‍්‍රමුඛ නගුලියගේ ලෙණ” වශයෙන් එහි අර්ථය දැක්වේ.
මෙම ලෙන් ලිපිය ක‍්‍රි:පූ: 02 වන සියවසට අයත් ය. ඒ කාශ්‍යප සමයට සියවස් 06කට පමණ පෙර දවස ය. ලංකාවේ ඉහත කාල පරිච්ෙඡ්දය වනවිට ලෙන් පිදුවන්, එම කාර්ය සිදුකර ඇත්තේ කෙටි ලෙන් ලිපියකිනි. එම ලෙන් ලිපිවල, ”සතර දිග් භාගයෙන් පැමිණි නොපැමිණි” ආදි වශයෙන් සඳහන්කර නොමැති බව අභිලේඛන විශේෂඥයෝ සඳහන් කරති. ඒ අනුව මෙම ලෙන ”නගුලිය” වශයෙන් හඳුන්වන ප‍්‍රමුඛ කාන්තාව විසින් මහා සංඝරත්නයට පූජාකරන්නට ඇති බව සඳහන් කරති.
එහෙත් මේ ලෙන් ලිපිය සම්බන්ධයෙන්, තවත් සමහර විද්වතුන් අර්ථ දක්වන්නේ, වෙනස් ආකාරයකට ය. ඔවුන් කියන්නේ, රාවණා රජතුමා සීතා හෙවත් නගුලිය රඳවා තැබුවේ මෙම ගල් ලෙනේ බවය.
සිංහල අපට ”නගුල” හුරුපුරුදු ය. නගුල් හී විටෙන් උපන් ඇය ”නගුලිය” යි. නගුලිය රඳවා තිබුනේ නයි පෙණයක හැඩැති ගුහාවක ය. මේ සියලූම නස්පැත්තීන්ට මුල ”නගුලියගේ නයි පෙණයයි” යනුවෙන් ශුර්පණඛාගේ පාක්‍ෂිකයන් සීතාවන්ට අවලාද නොනැගුවේ ද?. රාවණාගේ පාර්ශවයට නිරන්තරයෙන්ම ඇය ”නගුලිය” විය. නගුලිය රඳවා තැබූ ගල්ලෙන කාලාන්තරයක් තිස්සේ ”නගුලිය ලෙන” වශයෙන් හඳුන්වන්නට ඇත. කෙසේ වුවද ඇය ”පරුමක”ය. වචනයේ පරිසමාප්තියෙන්ම ඇය පරුමක ය. ඇය ප‍්‍රධාන කාන්තාවකි.
රාවණා රජතුමා අන්සතු බිරිඳක හෙවත්, රාම කුමාරයාගේ බිරිඳ පැහැර ගෙන ආවේ සල්ලාලකමට නොවේ. සිය සොහොයුරිය වූ ශුර්පණඛාට, ලක්‍ෂමන විසින් කරන ලද අපරාධයට හෙවත් කන්, නාසය, තොල් සඟළ කපා දැමීම නිසා උපන් කේන්තියෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාවණා රජතුමා කිසිදු අවස්ථාවක සීතා අපහරණය කළේ හෝ වරදට පොළඹවා ගැනීමට කටයුතු නොකළේ ය.
ඇය බලහත්කාරයෙන් පැහැරගෙන ආවත්, ඔහු ඇයට සියලූම පහසුකම් ලබාදීම පමණක් නොව, ආරක්‍ෂාව ද සපයන ලදී. එපමණක් ද නොව, තමන් දැන සිටි යම් යම් ශිල්ප ශාස්ත‍්‍ර ද ඇයට ඉගැන්වීය. ඇය ”ගිනි සිසිල” නම් වූ මංත‍්‍රය පාඩම්කර ගත්තේ ආශාවෙනි. ඒ තමාගේම වාසියට බව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ.
ඒ කෙසේ වුව ද, තම සොහොයුරා වූ රාවණා රජතුමා විසින් සීතා වෙත සපයනු ලබන ආරක්‍ෂාව ගැන නම් ශුර්පණඛා සහ ඇයගේ හිතවතුන් හිතවතියන් කිසිවිටකත් මනාපයක් දැක් වූයේ නැත. ඒ එසේ වුව ද රාවණා රජතුමා සීතාවන් රඳවා තැබුවේ, ඉතාමත් අලංකාරව සකසන ලද නයි පෙණයක් බඳු වූ ගල් ලෙනක ය. මෙම ලෙන හැඳින්වූයේ ”නයි පෙණ ගල” නමින් ය. ශුර්පණඛාගේ පාක්‍ෂිකයන්, සීතා කුමරිය දකින දකින මොහොතේ ඇයට අවලාද නැගුවෝය.
සීතා නිසා රාවණා සහ රාමා අතර, යුද්ධයකට ද මේ වනවිට අඩිතාලම වැටී තිබුණ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මේ හේතුවෙන් ලංකාපුර රාජධානියම ගුප්ත කැළඹීමකින් යුක්ත විය. සැමතැනම දෙපාර්ශවයේම ඔත්තුකරුවන් ය. රාවණා සොහොයුරු විභීෂණයන්, රාම කුමාරයාගේ පාර්ශවය ගෙන තිබීම ද මෙම කැළඹීමට තවත් හේතුවක් විය. මෙම සියලූම නස්පැත්තීන්ට මුල සීතාවන් ය.
පසුකලෙක හෙවත් අනුරාධපුර මුල් යුගයේ මෙම ගල්ලෙන සංඝයාට පූජා කිරීම සඳහා හෝ රාවණා මුත්තණුවන් සිහිපත් කිරීම සඳහා හෝ ලංකාපුරයට ම විණාශය ගෙන ආ නගුලිය සිහිකිරීම් වස්, ඇය රඳවා තැබූ ලෙන අනාගත පරපුරට ද මතකයේ රඳවා තබා ගැනීම සඳහා ”පරුමක - නගුලිය ලෙණෙ ” වශයෙන් ලෙන් ලිපියක් කොටන්නට ඇත.
සීතා පතිවත රැක්කා ද ?
රාවණා රජතුමා සීතා අපහරණය කළා ද?. සීතා පතිවත රැක ගත්තා ද? රාමායනය පවා හරිහැටි අධ්‍යයනය නොකළ, ඉන්දියාවට ගැතිකම් දක්වන, අපේම උන් කියන්නේ රාවණා රජතුමා සීතාට බලහත්කාරකම් කරන්නට රැගෙන ආ බවත්, උතුම් පති භක්තිය අගය කළ ඇය රාවණා ප‍්‍රතික්‍ෂේප කළ බවත් ය. එහෙත් එය කොතරම් දුරට නිවැරදි දැයි විමසීම වැදගත් ය.
රාම කුමාරයාට සීතාවන් විවාහකර දෙන විට ඔහුගේ වයස අවුරුදු දහතුනක් බවත්, ඇයගේ වයස අවුරුදු හයක් බවත්, රාමායණයේ සඳහන් වේ. කාලය කෙමෙන් ගෙවී යත්දී, රාම කුමාරයාගේ පියාණන් වූ, දශරථ රජතුමා රාම කුමාරයාට රජකම පැවරීමට කැමති වුවත්, ඔහුගේ පළමු රිදී දෝලිය වූ කෛකේයි බිසව එයට විරුද්ධ වුණ අතර, ඇය සඳහන් කළේ, තමන්ගේ පුතා වූ, භරත කුමාරයාට රජකම පැවරිය යුතු බවයි. එතනින් නොනැවතුන ඇය තවදුරටත් රජතුමාගෙන් ඉල්ලා සිටියේ රාම කුමාරයා රාජ්‍යයෙන් පිටමන් කරන ලෙස ය. රජතුමාගේ රන්දෝලිය වූ කෞෂල්‍යා බිසව, තම පුත‍්‍රයා වූ රාම කුමාරයාට රජකම නොදී, රිදීදෝලියගේ පුත‍්‍රයා වූ භරත කුමාරයාට රජකම පවරා දෙනවාට විරුද්ධ විය. එහෙත් ක‍්‍රියාත්මක වූයේ රිදීදෝලිය වූ කෛකේයි බිසවගේ ඉල්ලීමයි.
කෛකේයි බිසවගේ සිහිනය සැබෑ කරමින් රාම කුමාරයා සීතා කුමාරිය ද කැටුව රාජ්‍යයෙන් පිටමන් විය. එහෙත් කිසිවකුත් බලාපොරොත්තු නොවුනු දෙයක් මෙතැනදී සිදු විය. දශරථ රජතුමාගේ දෙවැනි රිදී දෝලිය වූ, සුමිත‍්‍රාවන්ගේ දෙපුතුන් ගෙන් වැඩිමලා වූ ලක්‍ෂමන සිය බිරිඳ වූ, උර්මිලා කුමරිය ද අතහැර දමා සිය වේමාතෘක සොයුරු රාම සහ සීතා සමඟින් වන වැදීමයි. ඔහුගේ වන වැදීමට සියලූ දෙනාම විරුද්ධ විය. උර්මිලා කුමරිය සහ රාම කුමරු ද ලක්‍ෂමනගේ වන වැදීම නතර කිරීමට උත්සහ කළත්, එය ගඟට කැපූ ඉණි මෙන් විය. මෙතනදී ගැටලූවක් මතු වේ.
සියලූ දෙනාම විරුද්ධ වුවත්, ලක්‍ෂමන සිය අදහස වෙනස් කළේ නැත. ඔවුන් සමඟ වන වැදුනේය. මෙය ගැටලූටවකට තුඩු දෙන කරුණක් නොවන්නේ ද ?. ඔවුන් තිදෙනා තාපස වෙස් ගෙන ජනස්ථාන පුරයට ගොස් දණ්ඩක වනයේ අසපුවක් ඉදිකර ගත්හ. තාපස වෙස් ගත්, පිරිමින් දෙදෙනෙකු සහ කාන්තාවක දණ්ඩක වනයේ කුටියක් ඉදිකර එකට වාසය කරන බව රාවණාවන්ට දැන ගන්නට ලැබුණ අතර, වැඩිදුරටත් කියැවුනේ, ඔවුන් අත කඩු සහ දුනු ඊතල ආදිය ද තිබෙන බවයි.
ඒ වනවිට ජනස්ථාන පුරය රාවණා රජතුමාගේ යටත් විජිතයකි. තවුසන් දෙදෙනෙකු සමඟ කාන්තාවක් සිටින නිසාත්, ඔවුන් ළඟ කඩු, දුනු, හීතල තිබීමත් සැක සහිත ය. මේ නිසා ඒ ගැන සොයා බලන්නට රාවණා රජතුමා භාරදුන්නේ ඔහුගේ සොහොයුරිය වූ ශුර්පණඛා හෙවත් මීනාක්‍ෂි ට ය. ඇය රාවණා රාජ්‍යයේ කාන්තා බල ඇණියේ නායිකාව යි. ශුර්පණඛා අසපුවට ගොස් මේ ගැන විමසීමේදී, සිදු වුනේ බලාපොරොත්තු නොවූ දෙයක් ය. එක්වරම ඉදිරියට කඩා පීනු ලක්‍ෂ්මන, ශුර්පණඛාගේ නාසය, දෙතොල්, කන් ආදිය කපා දැමීමට තරම් සැහැසි විය.
තමන්ගේ අණසක පවත්වා, තමන්ගේ යටත් විජිතයක රැඳී සිටිමින් තමන්ගේ නැගණියට සිදු කළ අපරාධය දුටු රාවණා රජතුමා දැඩි ලෙස කෝපයට පත් විය. කාන්තාවක් බවවත් නොසලකා හැර තම සොහොයුරියට සිදුකරන ලද අපරාධයට පළි ගත යුතුය යනු, ඔහුගේ ඒකායන පරමාර්ථය විය. ඔහු පුෂ්පක නම් වූ දඬුමොණර (ගුවන්) යානයෙන් ජනස්ථාන පුරයේ දණ්ඩක වනයට ගොස්, සීතා පැහැර ගෙනවිත් ලක්දිව සිය රාජධානිය වූ ලංකාපුරයේ රඳවා තැබුවේය. ඇය රඳවා තැබුවා මිස ඇය සිරකර තැබුවේ නැත. ඇයට සියලූ සැප පහසුකම් සැපයුවා පමණක් නොව, තමන් උගත් යම් යම් ශිල්ප ශාස්ත‍්‍රයන් ද ඇයට ඉගැන්වීමට තරම් ඔහු කාරුණික විය. ඇය ද ඒවා හොඳින් ඉගෙන ගත්තීය. යම් යම් ගුප්ත ශාස්ත‍්‍රයන් ඇය හොඳින් හැදෑරුවා ය.
රාවණා කිසිවිටකත් රාම කුමාරයා සමඟ යුද වැදීමට අපේක්‍ෂා නොකළේ ය. සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳා ගැනීමට උත්සහ කළත්, බ‍්‍රාහ්මණයන් සහ විභීෂණගේ දැඩි බලපෑම් හේතුවෙන් රාම කුමාරයට ද සිදු වූයේ ඔවුන්ගේ කැමැත්තට ඉඩ දෙමින් යුද්ධයකට පිවිසීම ය.
සීතාවන් පැහැර ගෙන යාමෙන් අනතුරුව සිදු වුනේ, රාම කුමාරයා විශාල හමුදාවක් ද රැුගෙන ලංකාපුරයට පැමිණ රාවණා සහ සටන් වැදීමයි. රාම කුමාරයාට සහය ලැබුණේ, ශිව භක්තික බමුණන්ගෙන් සහ සුගී‍්‍රව ප‍්‍රමුඛ වානර හමුදාවකගෙන් ය. වසර දොළහක පමණ කාලයක් යුද්ධය ඇදී ගිය අතර, රාවණා රජතුමාගේ වේමාතෘක සොහොයුරු, විභීෂණයන් සහය ලබාදුන්නේ රාම කුමාරයාට ය. ඒ රාවණා පරාජයට පත්කර, රාම කුමාරයාගේ සහයෝගයෙන් ලක්දිව රජකම ලබාගැනීමේ පරම පවිත‍්‍ර චේතනාවෙනි.
රාවණා රජතුමා මරා දැමීමෙන් අනතුරුව වසර ගණනාවක් පැවති රාම රාවණා යුද්ධය නිමා විය. රාවණා රජතුමා අමෘතය සඟවා ගෙන සිටියේ නාභියේ ය. මෙය දැන ගෙන සිටි විභීෂණ ඒ බව සහ රාවණාවන්ගේ සියලූ යුද රහස් රාමට සැළකිරීමෙන් පසු, රාවණාගේ නාභියට ඊතලයකින් විද ඔහු මරා දැමීමට රාමා සමත් විය. මේ අවසන් යුද්ධය සිදුවුනේ රත්නපුර, බලන්ගොඩ ප‍්‍රදේශය ආශ‍්‍රිතව ය. දෙතනගල, බලකොටුන්න, බොල්තුඹේ, ඕලූගන්තොට මෙම යුද්ධයට සම්බන්ධ පෙදෙස් ය.
විභීෂණයන් සිය සොහොයුරාට පමණක් නොව, රට, ජාතිය සහ ආගමත් විදේශිකයකුට පාවාදීමට තරම් ද්‍රෝහියකු විය. රාම කුමාරයා, විභීෂණට කළගුණ සැළකීමට අමතක නොකළේ ය. ලක්දිව පාලනය ඔහුට භාර කළේය. එහෙත් මෙරට වැසියන් ඔහු රජකු ලෙස පිළි නොගත් අතර, විභීෂණ ද ලංකාපුර රාජධානිය අතහැර කල්‍යාණ පුර ප‍්‍රදේශයට පල්ලම් බැස්සේ ය. එයට හේතු වූයේ ඔහුගේ මැණියන් වන, මාලිනී බිසව, කල්‍යාණ පුරවරයේ වීම ය. විභීෂණයන්ගේ් මරණින් පසු ඔහු එම ප‍්‍රදේශයට අධිගෘහිත දේවතාවකු වශයෙන් අදහති. රාමායණයට අනුව, මෙරට ඉතිහාස ගත පළමු දේශ ද්‍රෝහියා, විභීෂණ බව අවිවාදයෙන් යුතුවම පිළි ගත යුතුව ඇත.
බල්ලෝ ලෙව කෑ ගිතෙල් යාග හෝමවලට ගන්නේ නෑ...
යුද්ධය අවසානයේ එක් මහලූ බ‍්‍රාහ්මණයෙක්, රාම කුමාරයාට කීවේ සීතාවන් භාර ගන්නා ලෙස ය. ඇය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ රාමා පැවසුවේ, ”බල්ලෝ ලෙව කෑ ගිතෙල් යාග හෝමවලට ගන්නේ නෑ...” යනුවෙන් ය. මෙය ඇසූ සීතා සිහිසුන්ව ඇද වැටුණා ය. රාවණා රජතුමා තමාට අතක් නොතැබූ බවට සීතා පුන පුනා ප‍්‍රකාශ කළත්, රාමා හෝ පිරිස එය පිළිගත්තේ නැත. ඇයට පක්‍ෂපාතිව කතා කළේ ලක්‍ෂමන සහ පෙර සඳහන් කළ බ‍්‍රාහ්මණයා පමණක් ය. ලක්‍ෂමන ඇයට පක්‍ෂව කතා කළේ ඔවුන් දෙදෙනාගේ අතීතය අමතක කළ නොහැකි නිසා ය. අවසානයේ තමන්, රාවණා රජතුමා අතින් කිලූටක් හෝ අවකල් ක‍්‍රියාවක නොයෙදුන බව සපථ කිරීම සඳහා ”අග්නි පූජාවක්” පැවැත්වී ය. ඇය සපථ කළේ, තමන් කිසිම අවස්ථාවක රාවණා රජතුමා සමඟ වරදට පෙළඹුනේ නොමැති බවට ය. එය සත්‍ය කරුණක් හෙයින් ඇයට ගින්නෙන් කිසිදු හානියක් සිදු වුයේ නැත.
ඇත්තෙන්ම රාවණාවන්ගෙන් ඇයට කිසිදු කිළුටක් වුනේ නැත. රාවණාට අවශ්‍යතාවයක් තිබුණේ නම්, සීතා අපහරණය කිරීමට පසුබට නොවනු ඇත. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ තමන්ගේ නැගණිය වූ ශුර්පණඛාට සිදු කරන ලද අපරාධයට පාඩම් ඉගැන්වීම ය. සීතාට රාමා ඇතුළු පිරිස ඉදිරියේ සිය පති භක්තිය පෙන්වීමට අග්නි පූජාවක් තැබීමට හැකි වූයේ රාවණාවන්ගේ යහපත් ගතිගුණ නිසා මිස, ඇගේ සුපිරිසිදුකම නිසා නොවන බව රාමායණයෙන්ම පැහැදිලි වේ.
රාම කුමාරයා සහ පිරිස සීතාව ද රැගෙන මහාභාරතයට ගියත්, ගැටළු රාශියකට මුහුණ දෙන්නට සීතාවට සිදු විය. මෙම ගැටළු ඇති කළේ රාම සහ ලක්‍ෂමනයන් ට උපදෙස් දෙන බමුණන් ය. දස වසරකට අධික කාලයක් රාවණාවන්ගේ සිර අඩස්සියේ (රැකවරණය යටතේ) සිටි සීතාවන් පතිවත රැුක ගෙන සිටියා ද? යනුවෙන් ඔවුන් නිරන්තරයෙන්ම ප‍්‍රශ්ණ කරන්නට විය. අග්නි පූජාවක් තැබූ බව රාමා සහ පිරිස කියා සිටියත්, බ‍්‍රහ්මණයන් සඳහන් කළේ, ඇය රාවණාවන් ගෙන් ”ගිනි සිසිල” මන්ත‍්‍රය ඉගෙන ගන්නට ඇති බවත්, එහි පිහිටෙන් ඇයට ගින්නෙන් හානි සිදු නොවුණ බව ය. මේ වන විට සිය ස්වාමියා වන රාමා සමඟ යහන්ගත වීමෙන් සීතා ගැබ්බර වූවා ය. එහෙත් එම ගැබ්බරවීම රාමට ද සැකයක් ඇති විය. සිය වේමාතෘක සොහොයුරු ලක්‍ෂමන එයට හේතු විය.
රාම කුමාරයා තීරණයකට එළඹියේ ය. බ‍්‍රහ්මණයන්ගේ තීරණයට හිස නමමින් ඔහු සිය බිරිඳ වූ සීතා කුමරිය, දණ්ඩකාරණ්‍ය වනයේ අතරමන් කර එන ලෙස ලක්‍ෂමනට නියෝග කළේය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඔහු සිය නෑනණ්ඩිය වනයේ අතරමන්කර දැමුවේය. වනයේ වල්මත් වුන සීතාවට හමුවුනේ රත්නකාර නම් අයකුට ය. ඔහු ඇය කැඳවා ගෙන යන්නේ තමන්ගේ තිප්පොළ (අසපුව) ට ය.
රත්නකාර ශුද්‍ර කුලයට අයත් පුද්ගලයෙක් ය. විවාහයෙන් පසු ඔහු වයස්ගත දෙමව්පියන් සහ සිය දරු පවුල රක්‍ෂා කිරීම සඳහා මං පැහැරීම, සොරකම් කිරීම සහ මිනී මැරීම් ද සිදු කළ බව රාමායණයේ සඳහන් වේ. මොහු යහමඟට ගෙන ඇත්තේ නාරද ඍෂිවරයා ය. අනතුරුව මොහු නාරද ඍෂිවරයාගේ ශිෂ්‍යයෙකු වශයෙන් තපස් මඟට පිළිපන් අතර, රත්නකාර එක්තරා ගසක් යටට පැමිණ එරමිණිය ගොතාගෙන සිය ගුරු දේවයන්ගේ උපදෙස් පරිදි ඉතාමත් ප‍්‍රබල වෘතයක් රැකීම ආරම්භ කළේය. ඔහු කොතෙක් දුරට ධ්‍යාන බල වඩමින් සිටියේ ද යත්, වේයන් ඔහු මැඳිවන සේ තුඹසක් ද බඳින ලදී. එහෙත් ඔහු එතනින් නොනැඟිට්ටේ ය. වසර ගණනාවක් ගෙවී ගියේ මේ ආකාරයට ය. එක්තරා දිනක අලූයම් හෝරාවක දී ඔහුට ශ‍්‍රවණය වුනේ, ”දැන් නැඟිටින්න....ඔබගේ ප‍්‍රයත්නය සාර්ථකයි.....”යනුවෙන් ය. ඔහු වෙර ගෙන තම සිරුර ද මැඳිකර ගෙන තිබූ තුඹස බිඳ ගෙන නැඟී සිටියේ ය.
සකු බසින් වාල්මක යනුවෙන් තුඹස හඳුන්වන අතර, තුඹසින් නැඟිට්ටා යන අරුතින් ඔහු ඉන්පසු වාල්මිකී නම් විය. ඉන්පසු රත්නකාර, හැඳින්වූයේ වාල්මිකී නමින් ය. මොහු උගතෙකි. පණ්ඩිතයෙකි. ඔහු ඍෂිවරයෙක් වශයෙන් ද ප‍්‍රසිද්ධ විය. ශිෂ්‍යයන් දහසකට වඩා වැඩි පිරිසක් ඔහුගේ අනුගාමිකයන් බවට පත්ව සිටියහ.
ඉන්පසු සීතාගේ ආරක්‍ෂකයා බවට පත්වූයේ වාල්මිකී ය. මේ වනවිට ගැබිණියක්ව සිටි සීතාවන්ගේ එකම ආරක්‍ෂකයා ද ඔහු ය. ඔහු සීතාවන් ගෙන් රාම රාවණා යුද්ධය ගැන විමසුවේ ය. ඇය සියලූ විස්තර ඔහු හා පැවසුවා ය. රාවණාවන් ගෙන් තමන්ට කිසිදු අකටයුත්තක් සිදු නොවුණ බව ද සඳහන් කළා ය.
කාලය කෙමෙන් ගෙවෙත්දී දස එකඩ මසක් සම්පූර්ණ වූ සීතා, නිවුන් දරුවන් දෙදෙනෙකු ප‍්‍රසූත කළා ය. තුශ සහ ලව වශයෙන් ඔවුන්ට නම් තබනු ලැබිණි. මේ අතර සීතා ගෙන් රාවණා රාම යුද්ධය ගැන තොරතුරු දැන සිටි වාල්මිකී පඬිවරයා එම පුවත කවියට නැගුවේ ය. කවි කළ එම පුවත, ළපටි වියේ සිටම දරුවන් දෙදෙනාට කට පාඩම් කරවීමට වාල්මිකී සහ සීතා යුවළ කටයුතු කළහ. රාමායණය යනුවෙන් හඳුන්වන්නේ එම කතා පුවත යි.
කාලය එසේ ගෙවී යත්දී රාම කුමාරයාට සිදුවන්නේ, ප‍්‍රබල මානසික ගැටුළුවකට මුහුණ දීමට ය. ඒ තමන්ගේ අතීත යුධ ක‍්‍රියාවලිය යි. බමුණන්ගේ උපදෙස් මත රාවණා සමඟ, යුද කිරීම එම මානසික ගැටළුව යි. ලොව පිළිගත් යුධ ආචාර ධර්මවලට පටහැණිව, විභීෂණගේ සහයෝගයෙන් තමන් ජයග‍්‍රහණය කළත්, එය නියම ජයග‍්‍රහණයක් නොවන බවට ඔහුගේ මනස නිතර නිතර වද දුන්නේ ය. එමෙන්ම සීතා ගැබ් ගත් බව දැන දැනත්, බමුණන්ගේ කීම් බස් පිට ඇය වනයේ අතරමන් කර දැමීමට කටයුතු කිරීම ඔහුගේ මනස අවුල්කර දැමීමට හේතු විය. එමෙන්ම ඇය මේ වන විට මිය ගොස් ඇතැයි යන සිතුවිල්ල ද ඔහුට වද දෙන්නට විය. විශේෂයෙන්ම විභීෂණයන් ගෙන් ලැබුන උදව් උපකාර වෙනුවෙන් ප‍්‍රති උපකාර වශයෙන් ලංකා රාජ්‍යයේ රජකම ඔහුට පවරා දුන්නත්, තමන් විසින් විණාශ කළේ මේ වන විට ලෝකයේ ඉතාමත් දියුණුම හෙළ ශිෂ්ඨාචාරය යන හැඟීම ඔහුට මානසික වදයක් විය.
බමුණන්ගේ උපදෙස වූයේ, සිත එකලස්කර ගැනීම සඳහා ප‍්‍රායග්චිත්ත වෘතය සමාදම් විය යුතු බවයි. මේ සඳහා අශ්වමේධ යාගය ද පැවැත්විය යුතු අතර, මෙය කළ යුත්තේ සිය බිරිඳගේ ද සහය ලබා ගෙන ය. මේ වනවිට, රාම කුමාරයා සීතාවන් අතහැර ගෙවී ගිය කාලය දොළොස් වසරකි. සීතාවන්ට කුමක් වී ඇත්දැයි රාම කුමරු නොදන්නේ ය. බ‍්‍රාහ්මණයන් ඒ සඳහා උපදෙස් ලබා දෙමින් කියා සිටියේ, කළ හැකි එකම දෙය නම්, සීතාවන්ගේ හැඩ රුවට සමානාකාරයට පඹයෙක් සාදා ඒ කාර්ය සම්පූර්ණකර ගත හැකි බවයි. එම උපදෙස් අනුව, සීතාගේ හැඩ රුවට සමාන ආකරයට පඹයෙක් සාදා මෙම අශ්වමේධ යාගය පැවැත්වීමට කටයුතු කළ අතර, මෙය නැරඹීම සඳහා රටේ ප‍්‍රභූ වරුන් බොහෝ දෙනෙක් ද පැමිණ සිටියහ. වාල්මිකි පඬිවරයා මෙය නැරඹීම සඳහා යාග භූමියට පැමිණියේ සීතා සහ දරුවන් දෙදෙනා ද සමඟ ය. එතැනදී ඔහු තුශ සහ ලව දරුවන් දෙදෙනාට උපදෙස් දුන්නේ තමන් විසින් උගන්වන ලද රාමායණයේ කවි ගායනා කරන ලෙස ය.
තුශ සහ ලව යන දරුවන් දෙදෙනා සභා මැදට ගොස් කට පාඬම් කරගත් රාමායණයේ කවි ගායනා කළේ වීණාවක් ද වාදනය කරමින් ය. රාම කුමරු සහ රැස්ව සිටි ප‍්‍රභූවරුන් දරුවන් දෙදෙනා ගෙන් ඔවුන් කවුරුදැයි විමසූහ. තමන්ගේ මව සහ පියා සීතා සහ රාම බව ළමුන් පැවසූහ. වාල්මිකී පඬිවරයා එතැනට පැමිණ එය සත්‍ය බව ප‍්‍රකාශකර, දරුවන් දෙදෙනා සමඟ සීතාවන්, රාම කුමාරයාට භාර දුන්නේ ය. රාවණා මරා දමා, සීතා ගෙනවිත්, තෙමසකට පසු ඇය වනයේ අතරමන් කළ පසු, ඇය හමුවුනේ දොළොස් වසරකට පසු දරුවන් දෙදෙනෙකු සහ වාල්මිකී ඍෂිවරයා ද සමඟින් ය.
ඇය වෙනත් අයකු සමඟ ගෙවූ කාලය වසර දොළහකි. මේ කාලය තුළ ඇය පතිවත රැක්කා ද? යාග භූමිය පුරා පැතිර ගියේ, ඇගේ පතිවත පිළිබඳ කතිකාවත කි. රාවණා සමඟ සිටි කාලය තුළ ඇය පතිවත සුරැකි බවට ඔප්පු කළ ද, මෙවර සිය පති ධර්මය ප‍්‍රත්‍යක්‍ෂ කිරීමට ඇයට බිය ගෙන දෙන්නක් විය. තමන්ගේ ඥාතීන් සහ රැස්ව සිටි ප‍්‍රභූන් හමුවේ පසුගිය වර මෙන් මෙවර ද, තමන්ගේ පිරිසිදුකම ඔප්පු කරණ ලෙස ඇයට උපදෙස් දුන්නේ, රාම කුමරු ය. ඇය අකමැත්තෙන් වුවත් රාම සහ ඔහුගේ ඥාතීන්ගේ බහට අවනත විය. ඇය අග්නි පූජාවට කැමැත්ත පළ කළේ වෙනත් විකල්පයක් නොමැති නිසා ය. ඇයගේ පිහිටට තිබුණේ, රාවණා රජතුමාගෙන් උගත් ගිනි සිසිල මන්ත‍්‍රයේ ආරක්‍ෂාව පමණි. ඇය ගිනි සිසිලේ අනුහසින් මෙවර අග්නි පූජාව පැවැත්වීය. ගිනි සිසිල මන්ත‍්‍රය නොවන්නට ඇයට සිදුවන්නේ, ගින්නෙන් පිළිස්සි මිය යන්නට ය.
අවසානයේ නැවතත් මේ තිදෙනාම වාසය කළේ එකට ය. කෙසේ වුව ද තවත් ටික කලකදී රාම සහ සීතා අතර පමණක් නොව, ලක්‍ෂමන අතර ද ඇති වූයේ සිත් නොහොඳ නෝක්කාඩු ය. එහි එක් ප‍්‍රතිඵලයක් වූයේ සීතා කුමරිය, අයෝධ්‍යාවේ කන්දකින් පහළට පැන සිය දිවි හානිකර ගැනීම යි.
සීතාගේ දිවි නසා ගැනීම නිසා, ලක්‍ෂමන සිටියේ සිය වේමාතෘක සොහොයුරු රාමා ගැන දැඩි ශෝකයෙන් සහ කලකිරීමෙන් යුතුව ය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ, ලක්‍ෂමන ද අයොධ්‍යාව හරහා ගලා බසින සරයු නදියට පැන සිය දිවි හානිකර ගැනීම යි. තවත් ටික දිනකදී රාම කුමාරයා ද එම නදියටම පැන සිය දිවි නසා ගත්තේ ය.
සීගිරිය නිර්මාණය කළේ කොහොම ද?....
සීගිරියේ විශ්මකර්ම ජල උද්‍යානය සහිත සීතල මාළිගා, සීගිරි චිත‍්‍ර සහිත කැඩපත් පවුර, වෙනත් ආරක්‍ෂිත කොටු පවුරු සහිත ගොඩනැගිලි, ආසන ගල, ආසන ගුහාව, රාමකැලේ, පිදුරන්ගල ගල උඩ නිර්මාණ මෙන්ම නුවරගල සහ ගල්ළිඳේ ඇති නිර්මාණ ද රාවණාවන්ගේ බවට බොහෝ දෙනා මත පළ කරති.
රාවණා රජතුමාගේ ලංකාපුර හෙවත් රාවණා රාජධානිය ගැන විවිධ අර්ථකථන ගෙන හැර දක්වති. කෙසේ වුව ද, සීගිරියේ ගල උඩ මාළිගාව, ඉදිකිරීමට ගල්, ගඩොල් මෙන්ම දොර ජනෙල් ආදි දැව නිර්මාණ ගෙන ගියේ කෙසේ ද ?, ගල් කුලූනු කිහිපයක් උඩ සුවිසල් ගල් පර්වත තබා උගුල් ගල් නිර්මාණය කළේ කෙසේ ද ?, මහ සීගිරි වැවෙන් සීගිරි ගල උඩට ජලය ගත්තේ කෙසේ ද?, ආදි වශයෙන් මහා පරිමාණයේ ගැටලූ රාශියකි. මේවාට ඇත්තේ සරල පිළිතුරක් බව මේ ලිපියේ මුලින් සඳහන් කළෙමි.
මිනිසා හඳට යාමට තරම් නවීන තාක්‍ෂණය අද දියුණු ය. මේ සියවස අවසන් වනවිට මිනිසා අඟහරු හා සිකුරු ග‍්‍රහයන් ද තරණය කරනවා නොඅනුමාන ය. එය විද්‍යාවේ දියුණුවයි. ගුවන් ගමන් ගැන කතා කිරීමේදී නිතැනින්ම අපගේ මතකයට නැගෙන්නේ රාවණා රජතුමා සහ රයිට් සහෝදරයන් ය. වර්තමානයේ ගුවන් ගමන්වලට මූලික අඩිතාලම දමමින්, මුල්ම ගුවන් යානය නිර්මාණය කළේ රයිට් සහෝදරයන් ය. එහෙත් ගුවන් යානයේ ආදි කතෘවරයා වූයේ රාවණා රජතුමා ය. අදටත් වඩා රාවණා රජ දවස ලෝකය දියුණුවී තිබුන බව පෙනේ.
රාවණා රජතුමා සීතා පැහැර ගෙන ආවේ දඬු මොණරය නමින් හැඳින් වූ ගුවන් යානයකින් ය. (සීතා පැහැර ගෙන ආවා නොව, ඇය රාවණා සමඟ පැමිණියේ කැමැත්තෙන්ම ය) ඔහුට එක ගුවන් යානයක් නොව ගුවන් යානා කිහිපයක්ම තිබුණේ ය. සමහර ගුවන් යානා ඔහු යොදවා ගත්තේ බඩු ප‍්‍රවාහනය කිරීම වැනි කාර්යයන් සඳහා ය. සීගිරි ගල මස්ථකයට ගල්, ගඩොල් ආදිය ගෙන ගියේ මෙම ගුවන් යානා මඟින් ය.
ගුවන් යානා සාදන්නට තරම් රාවණා යුගය තාක්‍ෂණයෙන් දියුණුවී සිටියේ නම්, සීගිරිය මහ වැවේ සිට ගල උඩට ජලය ලබා ගැනීමට තාක්‍ෂණික ක‍්‍රමයක් යොදා ගැනීම එතරම් අපහසුවක් නොවේ. එමෙන්ම සුවිසල් ගල් එසවීම සඳහා බර ඔසවන යන්ත‍්‍ර ද යොදාගන්නට ඇත. ගුවන් යානා නිපදවූවන්ට දොඹකරයක් වැනි බර ඔසවන යන්ත‍්‍රයක් නිර්මාණය කිරීම ද එතරම් අපහසු දෙයක් නොවේ. එමෙන්ම මෙම පුද්ගලයන් ගෝත‍්‍රික වශයෙන් යක්‍ෂයන් ය. පොදු ව්‍යාවහාරය අනුව යක්‍ෂයන් යනු, කම්මැළිකමක් නොමැති සවි ශක්තියෙන් පිරිපුන් මිනිසුන් කොටසක් ය. එම නිසා මිනිසුන්ගේ කාය ශක්තිය වගේම ශිල්පීය ඥාණය උපයෝගිකරගත් පසු මෙවැනි නිර්මාණ කිරීම අපහසු දෙයකුත් නොවේ. ඒ අනුව බලනවිට සීගිරි රාජධානිය හෙවත් ලංකාපුරය නිර්මාණය කෙසේ සිදු කළේදැයි යන ගැටලූවට නිතැනින්ම පිළිතුරු ලැබී ඇත. එහෙත් කුමන හෝ හේතුවක් නිසා, එදා තිබුන ශිල්පීය ඥානය නම් පසුකාලීනව සැඟව ගිය බවද පැහැදිළි ය. ඒ අපේ ඇත්තන් ”ගුරු මුෂ්ඨිය ” තබා ගැනීමයි.
රාවණා රජතුමාගේ මාළිගාව ඉදිකර තිබූ ලංකාපුර රාජධානිය පිහිටියේ ඓතිහාසික සීගිරියේ බව සඳහන් කළෙමි. එයට උපකල්පනය කළේ එහි ඇති නටඹුන් ය. ඒවා රාවණා සමයට අයත් යැයි පුරාවිද්‍යාත්මකව නිල වශයෙන් කිසිවකු ප‍්‍රකාශකර නැත. රාවණා තොරතුරු සමූහය නිතැනින්ම ජනප‍්‍රවාද තොරතුරු නිසා මේ සියලූ කරුණු කාරණා, ජනප‍්‍රවාදය බව කියමින්, බැහැර නොකර, හෙළයන් වශයෙන් අපගේ රාවණා මුත්තණුවන් පිළිබඳ පර්යේෂණයකර සොයා බැලීම අපගේ පුරාවිද්‍යාඥයන්ගේත්. ඉතිහාසඥයන්ගේත් අනිකුත් විද්වතුන්ගේත් වගකීමයි.
ආදම්ගේ පාලම
මෙම කතාන්දරය අවසන් කිරීමට පෙර, රාවණ-රාම කතා පුවතට සම්බන්ධ ”ආදම්ගේ පාලම” ගැන ද කතා කළ යුතු ය. ආදම්ගේ පාලම යනුවෙන් හඳුන්වන්නේ, ශී‍්‍ර ලංකාවත්, ඉන්දියාවත්, පෝක් සමුද්‍ර සන්ධිය හරහා යා කෙරෙන වැලි පර පන්තියයි. ලංකාවේ තලෙයිමන්නාරම් තුඩුවෙන් ආරම්භ වන මෙම පාලම නිමා වන්නේ දකුණු ඉන්දියාවේ, ධනුෂ්කොඩියෙන් ය.
පාලම, වර්තමානයේ ආදම්ගේ පාලම, හනුමාගේ පාලම , රාවණාගේ පාලම, රාමාගේ පාලම, සේතු සමුද්‍රම්, පෝක් සමුද්‍ර සන්ධිය යන නම්වලින් හදුන්වනු ලබයි. එහෙත් කුමන හේතුවක් නිසා මෙම පාලමට ආදම්ගේ නම යොදා ඇත්දැයි ගැටලූවකි.
මෙම පාලම රාම කුමාරයාගේ වානර හමුදාව විසින් ලක්දිවට ගොඩ බැසීම සඳහා ඉදි කළ බවට මතයක් ඇති අතර, තවත් මතයකින් කියන්නේ, එකල මහාභාරතයේ අඩකටත් වඩා වැඩි ප‍්‍රදේශයක් රාවණා රජතුමාගේ පාලනය යටතේ පැවති බැවින්, එතුමාගේ හමුදාව විසින් මෙය ඉදි කළ බවයි. ඉන්දියානු විද්වතුන් සඳහන් කරන්නේ ද මෙය රාවණා රජු විසින් ඉදිකරන ලද බවයි.
මේ වැලිපර දූපත් සමූහය මිනිස් අතින් නිර්මාණය වුණු බවට භූගෝලීය සාක්ෂි තිබෙන බව ද කියති. එසේ පවසන්නේ ද එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. මෙම පාලම ගැන විද්‍යාත්මත පර්යේෂණයක් සිදු කළ, ඉන්දියාවේ භූගෝලීය මැනුම් කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ, ආචාර්ය බද්රි නාරායනන් ය.
මෙම පාලමට ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළෙන් එන වැලි එකතු වී අද දක්නට ලැබෙන අන්දමේ වැලිපර දූපත් පෙළක් බවට පත්ව තිබෙන බව ඔහු තවදුරටත් සඳහන් කරයි. ඔහු එසේ සඳහන්කර ඇත්තේ, ආදම්ගේ පාලමේ වැලිපරවල අඩි දහයක් පමණ ගැඹුරු කැනීම් කිරීමෙන් අනතුරුව ලබා ගත් දත්ත අනුසාරයෙන් ය.
මෙහි මතුපිට ස්ථරයේ සිට අඩි පහත්, දහයත් අතර භූමි ස්ථරයේ ඇතිරූ ඝනකම් කළුගල් ආදිය පවතින බව ඔහුගේ සොයා ගැනීම යි. එසේ නම් කවදාක හෝ දිනෙක මිනිසුන් විසින් මේ පාලම ඉදිකරනු ලබන්නට ඇත යන මතය සනාථ වන්නේ ය.
එමෙන්ම 1480 වසරේ දී ඇතිවුනු දරුණු සුළි සුළඟකට මෙම පාලම ගොදුරු වූ බවද ඓතිහාසික තොරතුරුවල සඳහන් ය. එම සුළි සුළෙඟන් මෙම පාලම කැඞී විනාශවී ඇත. එම තොරතුරු අනුව, අද වැලිපරයක් ලෙස පෙනෙන්නේ එදා විනාශ වූ පාලමේ සුන්බුන් මතුපිටට එකතු වූ වැලි ද යන්න විසඳාගත යුතු ප‍්‍රශ්නයකි.
මෙම පාලම සෑදීමට යොදාගෙන ඇත්තේ ඉතාමත් දියුණු තාක්‍ෂණයකි. එය ඉන්දියාවට නොතිබුණ බවත්, එවැනි දියුණු නිර්මාණ තාක්‍ෂණයක් තිබුණේ රාවණාට මිස රාමට නොවන බවට ඉන්දියානුවන් ද පිළි ගනිති.
ඇමරිකාවේ ජාතික ගගන හා අජටාකාශ ආයතනය හෙවත් නාසා ආයතනය, ආදම්ගේ පාලම හෙවත් රාවණා පාලම සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, මෙය ස්වභාවික නිර්මාණයක් නොව, මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ මානවයින්ගේ නිර්මාණයක් බවයි. (නාසා වෙබ් අඩවිය)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකරණ ලද පර්යේෂණ කැනීම් අනුව, ශී‍්‍ර ලංකාවේ මානවයාගේ ජනාවාස ව්‍යාප්තියේ ආරම්භය, අදින් වසර 1,25,000කට වඩා වැඩි ඈතකට දිව යයි. අප රටත්, ඉන්දියාවත් අද රටවල් දෙකක් වශයෙන් වෙන්ව පැවතුණත්, මෙයට වසර 7000කට පමණ පෙර මුහුදින් බෙදී වෙන් වුණු රටවල් දෙකක් නොව එකම රටකි. පෝක් සමුද්‍ර සන්ධිය වශයෙන් අද හඳුන්වන්නේ, එම වෙන්වුණ කොටස අතර ඇති මුහුද වන අතර, එම කොටස එතරම් ගැඹුරු මුහුදක් නොවන බව ද සඳහන් ය.
රාවණා රජතුමා ජීවත් වූයේ පවතින විශ්වාසයට අනුව, අදින් වසර හය දහසකට පමණ පෙර ය. එම අවධියේ ඉතාමත් දියුණු ශිෂ්ඨාචාරයක් මෙරට තිබෙන්නට ඇතැයි විශ්වාස කරන නාසා ආයතනය ද සඳහන් කරන්නේ, ලංකාවත් ඉන්දියාවත් යා කරන රාවණා පාලම, මානව නිර්මාණයක් බවයි. එය සනාථ කිරීමට ඔවුන් වැඩිදුරටත් උපයෝගි කර ගෙන ඇත්තේ, චන්ද්‍රිකා ඡායාරූප ය.
මෙම තොරතුරු සත්‍ය නම්, ලෝකයේ ඉපැරණිම පාලම නිර්මාණය කර ඇත්තේ, අපේ හෙළයන් ය. ඒ හෙළදිවත්, ඉන්දියාවත් යා කිරීමට ය. එහෙත් ලංකාවේ පුරාවිද්‍යාඥයෝ මේ අදහස් පිළිගැනීමට පැකිළෙන අතර, ඔවුන් කියන්නේ මෙය ස්වභාවික නිර්මාණයක් බවයි.
ගැටලූ විසඳමු ද?....
රාවණා රජතුමා ශ්‍රේෂ්ඨයෙකි. අපේ හෙළයෙකි. සක්විති රජෙකි. මම මෙම ලිපිය ලියන්නට කරුණු ගොණු කළේ, ඔහු ”අපේ මිනිසෙකි” යන කරුණ මූලික කර ගෙන ය. අන්ධ විශ්වාසය සහ වැසී තිබෙන තිමිර පටලය ඉවත් කිරීමට ය. ඉන්දියානුවන්ට මෙන්ම අපගේ සමහර ඇත්තන්ට ද ඔහු සල්ලාලයෙකි. අසත් පුරුෂයෙකි. එහෙත් රාමායනයෙන්ම නොකියා කියන්නේ ඔහු සල්ලාලයකු නොවන බවයි.
වාල්මිකී රාමායනය ප‍්‍රබන්ධ කළේ, රාමාගේ සහ ලක්‍ෂමනගේ අකටයුතුකම් සාධාරණීකරණය කිරීම සඳහා ය. එයට ප‍්‍රධාන හේතුව වූයේ, අන්සතු හෙවත් රාමාගේ බිරිඳ වසර දොළහකට ආසන්න කාලයක් තමන්ගේ අසපුවේ තබා ගනිමින් අපහරණය කිරීම ය. යම්කිසි දවසක රාමාට දෙදරුවන් සමඟ සීතා භාරදීමට සිදු වුවහොත්, එතනදී නැගෙන චෝදනාවෙන් ගැලවීමට සහ කළගුණ සැලකීමට ය. එහිදී ඔහු රාවණා රජතුමා සහ ඔහුට හිතැති පිරිස් දුෂ්ඨයන් බවට පත්කර, රාම පාර්ෂවයේ සියලූම දෙනා දේවත්වයට ද පත් කළේය.
රාමා, සීතා, ලක්‍ෂමන සහ හනුමන්, ඉන්දියානුවන් බහුතරයක් සලකන්නේ දේවත්වයෙනි. ඉන්දියාවේ රාමා සහ හනුමන් වෙනුවෙන් ඉදි කළ කෝවිල් බොහෝමයකි. සීතා වෙනුවෙන් ඉදිකළ ලෝකයේ එකම කෝවිල පිහිටා තිබෙන්නේ, ලංකාවේ සීතාඑළිය ප‍්‍රදේශයේ ය. සිය දිවි නසා ගැනීම බරපතල පාප කර්මයක් බව බුදු රජාණන් වහන්සේ දේශනාකර ඇත. එම පාප කර්මයේ විපාකය නම්, ඔවුන් පේ‍්‍රතයන් වශයෙන් ඉපදීමයි.
මාතලේ ලග්ගල ආශ‍්‍රිත ප‍්‍රදේශවල රාවණා රජතුමා, බණ්ඩාර දෙවියන් වශයෙන් අද ද අදහති. එමෙන්ම මෑතක් වනතුරු, බලන්ගොඩ ආශ‍්‍රිත බොල්තුඹේ ප‍්‍රදේශයේ ද රාවණා ඇදහූ බවට තොරතුරු ඇත. බොල්තුඹේ සමන් දේවාලය මුලින්ම ආරම්භ කර ඇත්තේ රාවණාට (දෙවියන්) වැඳුම් පිදුම් කිරීමට ය. පසුකාලීනව මෙම දේවාලය සුමන සමන් දෙවියන් වෙනුවෙන් කැපකර ඇත.
ඉන්දියාවේ සමහර ප‍්‍රාන්තවල වැසියන් මෙන්ම ගෝත‍්‍රික වැසියන් ද රාවණාවන් දේවත්වයේ ලා අදහමින් වැඳුම් පිදුම් කරති. ඔහු වෙනුවෙන් කෝවිල් ද ඉදිකර ඇත. ඉන්දියාවේ කන්පූර් සහ ජෝත්පූර් යන නගරවල රාවණා වෙනුවෙන් ඉදිකරන ලද කෝවිල් ඇත. රාවණා රජතුමාගේ බිසව වන මන්දෝදරි දේවියගේ ජන්ම භූමිය ජෝත්පූර් වශයෙන් සලකති.
අවසානය
මෙම කතාන්තරය ආරම්භ කළේ, ”රාවණා රජතුමාගේ යළි පිබිදීමක් ගැන නැවතත් කතාබහ ඇතිවී තිබේ” යනුවෙන් ය. රාමායනය, මහාභාරතය සහ සමහර ජනප‍්‍රවාද අනුව රාවණා මිය ගොසින් ය. ලංකාවේ එක්තරා පිරිසක් විසින් රහසිගතව ආරක්‍ෂා කරන්නේ යයි කියන, ඉපැරණි පුස්කොළ ග‍්‍රන්‍ථයක් වන, වර්ග පූර්ණිකාවට සහ සමහර පුරාවෘතවලට අනුව, රාවණා රජු සිටින්නේ විෂ හී ශරයක් වැදීමෙන් සිහිසුන් ව ය. එයට හේතුව ඔහු අමරණීයත්වය ලබා ගෙන තිබීම හෙවත් අමෘතය සිය සිරුරේ තැම්පත්කර තබා ගැනීමයි. මේ නිසා ඔහු මියගොස් නැත. මෙය කොතරම් දුරට නිවැරදි ද?.... යනු ගැටලූවකි.
රාවණා යුගයක් හෙළදිව තිබෙන්නට ඇතැයි සිතමු. එහෙත් කිසිවක් සදාකාලික නැත. ඒ බුදුවදන යි. එයට අභියෝග කිරීමට කිසිවකුටත් නොහැක. සීගිරි පර්වත රාජයා ද කවදා හෝ දිනක විනාශ වී යන්නේ ය. මේ පෘතුවිය ද කවදා හෝ දිනක විනාශ වී යනවා නොඅනුමාන ය. අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද පිරිනිවන් පෑවේ නම්, මොන තරම් දස්කම් විස්කම් පෑවත් රාවණා රජ සදාකාලික වන්නේ කෙසේ ද?...ඔහු අපගේ තිලොවට තිලක වූ බුදු පියාණන් වහන්සේටත් වඩා උතුම් ශ්‍රේෂ්ඨයෙක් ද?...
රාවණාවන් මිය ගොස් නැත.....ඔහු සිටින්නේ සිහි මූර්ඡාවෙන් ය. ඔහුගේ ශරීරය තැම්පත්කර තිබෙන්නේ පොළොව යට (පාතාලයේ) ය. පොළොව යට තැන්පත්කර තිබෙන්නේ නම් හුස්ම ගැනීමට වාතය ලැබෙන්නේ කෙසේ ද?. රාවණා ජීවත්ව සිටියේ නම්, අද වන විට ගෙවී ගිය කාල පරාසය බලන්න. එය වසර හය හත් දාහක් පමණ වනු ඇත. සිහිමූර්ඡා වූ අයෙකු මෙතරම් කාලයක් ජීවත්ව සිටිනු ඇත් ද?. සත්‍යය නම්, මේ වනවිට ඔහු සිහිමූර්ඡාවෙන්ම මිය ගොසින් ය.
මෙහි ඉතාමත් කණගාටුවට කාරණය නම්, සංවිධානාත්මක වූ පැවිදි සහ ගිහි පිරිසක්, ”රාවණා මිය ගොස් නැත...ඔහු සිටින්නේ සිහිමූර්ඡා වෙලා...ඔහු සදාකාලිකයි” යන මුසා බස් ප‍්‍රාචාරණය කිරීම යි. උගත් බුද්ධිමත් ප‍්‍රාඥයන් යයි සමාජය ද පිළිගන්නා සමහර පිරිස්, මෙම මුලාවට අසුවී තිබීමෙන් පෙනී යන්නේ ඇත්තෙන්ම ඔවුන් බුද්ධිමත් ද ? යන පැනය යි.
අමරණියත්වය ඉන්දියානුවන්ගේ සංකල්පයකි. මෙම මුලා බස්වලට රැවටුන පිරිස බොහෝ ය. නුවණින් සිතන්න. බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරණ භික්‍ෂූන් වහන්සේ නමක් නම්, කිසිම අවස්ථාවක රාවණා සදාකාලික යයි දේශනා කරන්නේ නැත. අමතක නොකරන්න. බුද්ධ චීවරය ගත දැරූ පමණින්ම යමෙක් භික්‍ෂූන් වහන්සේ නමක් නොවේ. බුද්ධ චීවරය වනාහි ඝන කැලෑවකි. මේ ඝන කැලෑව තුළ විවිධ පුද්ගලයන් සිටින බව ද අමතක නොකරන්න.
(ඡයාරූප අන්තර්ජාලයෙනි)
ආශ‍්‍රිත ග‍්‍රන්ථ සහ ලිපි ලේඛන
01-සිහිගිරි - චන්‍ද්‍රසේන තැන්නේ, ( සරසවි මුද්‍රණාලය - මහනුවර) 1965
02-සීගිරිය - ආර්.එච්. ද සිල්වා, (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව) 1974
03-රාවණා රජුගේ මාළිගාව පිහිටියේ සීගිරියේ ද? - එච්.එම්.ජයන්ත විජේරත්න. (රාවණා: ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨ රජු - සංස්කරණය, මහාචාර්ය දයානන්ද සෝමසුන්දර)
04-රාවණා: ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨ රජු - සංස්කරණය, මහාචාර්ය දයානන්ද සෝමසුන්දර (සමනල අධ්‍යාපන කේන්‍ද්‍රය, බෙලිහුල් ඔය- 2014.)
05-සීගිරියේ වාරි තාක්‍ෂණය - ගාමිණී දොඩම්වල ( ලක්බිම / සාකච්ඡාව - සමන්ත දිලාන් වැලිගමගේ- 2003.05.22)
06-රාවණා විජය මිත්‍යාවන්ද? - මහාචාර්ය විජය දිසානායක ( සරසවි ප‍්‍රින්ටර්ස්, කොළඹ) 1981
07-වාල්මිකී රාමායණය - ඩබ්ලිව්.ඒ.සිල්වා (එස්.ගොඩගේ සහ සහෝදරයයා්)- 2013
08-විවිධ පුවත් පත්, තීරු ලිපි ආදිය.
09-අන්තර්ජාලය.
0000000000000000000000000000000000000000000000
රාවණා රජුගේ මාළිගාව පිහිටියේ සීගිරියේ ද?
රාවණා, රාම සහ සීතා කතාන්තරය සඳහන්වන්නේ, මහා භාරතයේ රාමායණය නම් සංස්කෘත සංග‍්‍රහයේ ය. පිරිසකට එය සත්‍ය පුවතක් වන අතර, තවත් පිරිකට එය මිත්‍ය ප‍්‍රබන්‍ධයකි. මේ පිළිබඳව මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් ද සිටිති.
ඉහත මාතෘකාව, මා විසින් ලියමින් සිටින ග‍්‍රන්‍ථයක එක් පරිච්ඡේදය කි. රාවණා පුවත ඉතාමත්ව සංක්‍ෂිප්තව ඇතුළත් කරමින්, පවතින මිත්‍යාවන් ද ග‍්‍රහණය කරමින්, ඉතාමත් මැදිහත් සිතින් යුතු ලියූ මෙම ලිපිය කියවීමට, ආරාධනය කරමි.
මෙය කියවන ඔබ ගෙන් මම ඉල්ලා සිටින්නේ, ඔබගේ මැදිහත් විවේචනය යි. ඔබගේ සාධාරණ විවේචනය, මෙම ලිපිය නැවත සකස් කිරීමට ඉවහල් වෙන බව කාරුණිකව සලකනු මැනවි.
මම
සීගිරියේ ජයවි හේරත්
කොච්චර කට්ටක් කෑවද මේ ටික ලියන්න? මම නොදන්න ගොඩක් දේ කියෙව්වා. ස්තූතියි ඔබේ කාලය මෙවන් දෙයක් ලියන්න කැප කලාට.
ReplyDeleteප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි.
Delete//ඒ කෙසේ වුවද රාවණා නැමති යක්‍ෂ ගෝත‍්‍රික රජ කෙනෙකු, ලක්දිව ලංකාපුර අග රාජධානිය කරගෙන තුන් ලෝකයම තමන් නතු කරගෙන, පාලනය කළ බව මහාවංශයේ හෝ අපගේ වෙනත් වංශකථාවල සඳහන් නොවුව ද//
ReplyDeleteලංකාවේ පුරා විද්යාත්මක සාධක නැත. ඉන්දියාවේත් සාහිත්‍යමය සාධක හැර වෙනත් මොනවත් නැත. තුන්ලෝකෙම යටත් කරගෙන සිටියේ නම් මේ ලෝකයේ වෙනත් රටවල හෝ තිබිය යුතුය. රාවණාවාදීන් ඊජිප්තු සිට දකුණු ඇමරිකාව දක්වා සියලු ශිෂ්ඨාචාර රාවණාගේය කියන්නෙ එනිසා විය යුතුය.
අවාසනාවකට ඒ ගැන සාධකද නැත. මේ ලෝකෙ නැති නිසා තුන්ලෝකවලින් වෙනත් ලෝකවල තිබේදැයි අපි දන්නේද නැත.
මහා භාරතය හා රාමායණයේ (විශේෂයෙන් සුර අසුර කතා) සමහර කතා සහ හෝමර්ගේ වීර කාව්‍ය පමණක් නොව ග්‍රීක් මෙන්ම නෝර්ස් මිත්යා කතාවලටද සමානකම් ඇත. ඒවා පිටසක්වලින් ආ අය ගැන ඇති මතකයින් මිත්යා කතාවලට පරිවර්තනය වී ඇති බවටද අනුමාන ඇත.
එත් ඔය කිසිවක් ගැන ඔප්පු කල හැකි කෙසේවෙතත් සීයට 50ට වඩා විය හැකියයි අනුමාන කිරීමටවත් සාධක නැත.
කෙසේවෙතත් ඔබ මෙන් විග්‍රහශීලිව ලියනු වෙනුවට සාධක ඇති පරාක්‍රමබාහු විජයබාහු ගැන කිසිවක් නොදන්නා අය වුණත් සාධක නැති රාවණාගේ මී මුත්තා සිට නංගී බාප්පා නැන්දා සිටි තැන්, කල දේ, කෑ දේ, බී දේ ඔප්පුකල දේවල් ලෙස ලියනු පෙනේ.
නීල්...Pra JAY...ස්තුතියි ඔබ දෙදෙනාටම....අප යමක් ලිවිය යුත්තේ කියවන පාඨකයන් ට මනසට හරවත් දෙයක් ලබාදීමට මිස ලිපිය කියවීමෙන් අනතුරුව ඔවුන් අතරමන් කිරීමට නොවෙි. Pra JAY...සදහන් කළා මෙන් රාවණාගේ හත්මුතු පරම්පරාව පමණක් නොව එයටත් එහා ගිය පරම්පරා විස්තර සදහන් කරන්නේ තමන් ඇසින් දුටුවාක් මෙන් ය. මේ නිසා බොහෝමයක් පාඨකයන් දැන් රාවණා ගැන ලියවෙන කතා කියවීමත් ප්‍රතික්ෂේප කර ඇත. අපි බලමු අනෙක් අයගේත් ප්‍රතිචාර...ඉන්පසු අපි තවදුරටත් මේ ගැන කතා කරමු...
Deleteමම මේ ළිපියේ භාගයක් කියවලා ප්‍රා ජේට ලින්ක් එකේ මේල් එකක් දාන්නයි ගියේ... මෙන්න ඌ මෙතන කොමෙන්ට් එකකුත් දාලා.. කොහොම හරි මේක අළුත් විදියකට ලියන්න පුළුවන් නම් හැරි පොටර්ලට දුවන්න ඉඩ නැති වෙනවා.. යකෝ රාවණාගේ හත් මුතු පරම්පරාවම දන්න උන් ඩී එස් ලගේ මහින්දලගේ පරම්පරාව නොදන්න ඒ නේ පුදුමේ..
Deleteඑහෙම කියන්නත් බෑ ජැකා කිව්වේ මහින්ද බුදුහාන්දුරුවන්ගේ නෑයෝය කියාලා හිටං. ඉතින් ඒ කාළෙත් ජැකා වගේ ආතල් පොරවල් ඉන්න ඇති..
ප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි.
Deleteප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි.
Deleteකරුණු ගෙනහැර පාමින් ඔබ ඉදිරිපත් කෙරූ ලිපිය අගෙයි.
ReplyDeleteජයවේවා!!!
ප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි.
Deleteක්‍රිෂ්ණා..ලිපිය අගනේය. පත්තර වලින් අයින් වෙලා පත්තර වගේ බ්ලොග් ලියන්නට වෙහෙසීම අගයමි.
ReplyDeleteප්‍රතිචාර දැක්වූවාට ස්තුතියි. ඒ වගේම සන්තෝෂයි. ඉතිහාසය හා පුරාවිද්‍යාව සිත් කළඹන ඇබ්බැහියක් වෙලා. අතීත ලංකාව කොයිතරම් නම් ලස්සනටත් සබුද්ධිකවත් තියෙන්න ඇති ද කියා නිතරම සිතෙනවා. වලස්පති අඩවියට ලියන ජයන්ත හිටපු පුරාවිද්‍යා නිලධාරියෙක්. ලේඛකයෙක්. සීගිරිය ගමේ උපන් කෙනෙක්.
Deleteකරුණු ගෙනහැර පාමින් ඔබ ඉදිරිපත් කෙරූ ලිපිය අගෙයි.
ReplyDeleteජයවේවා!!!
ේරී කුකුල්
ReplyDelete