Total Pageviews

Sunday, July 24, 2016

ඉක්බිති, ඔවුහු මගේ බිරිඳගේ දිවි ගලවා දුන්හ!

ඉක්බිති, ඔවුහු මගේ බිරිඳගේ දිවි ගලවා දුන්හ!
 




(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එළඹුණු ජූලි මාසය අපේ පවුලට තිළිණකර දී ඇත්තේ මහත් සැනසීමකි. සංහිඳියාවකි. ඊට හේතුව මගේ ආදරණීය බිරින්දෑට බිහිසුණු අකල් මරණයක අවදානමෙන් ගැලවී ගන්නට හැකි වීමයි!
කලක් තිස්සේ වැළඳී තිබුණු හෘද රෝගය, ඇයට මරණීය අවදානමකට මග විවරකර දුන්නේ ය. ඇය ප‍්‍රතිකාර ගනිමින් සිටියේ ගාල්ල කරාපිටිය රෝහලෙනි. එහි සිටි  එක්තරා  වෛද්‍යවරයෙක් ඇය තවදුරටත් මරණීය මාවතට තල්ලූකර දැමුවේ ය. අපි අසරණ වීමු. කරන්නට දෙයක් නැතිම තැන, කරාපිටිය රෝහලේ හිතවතුන්ට ද, කොළඹ මාධ්‍ය මිතුරන්ට ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිතවතුන්ට ද සියල්ල සැල කළෙමු. ඔවුහු වහා මැදිහත් වූහ. මගේ බිරින්දෑ වෙනුවෙන් කරාපිටිය රෝහල ඇතුළේ යම් මානුෂීය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කෙරුණි.
අවසන මගේ බිරින්දෑ අකල් මරණයක අවදානමෙන් ගලවා ගැනීමට හැකි විය.
 

මේ කතාව හුදෙක් පෞද්ගලික සිද්ධියක් බව ඇත්ත ය. එහෙත් එයින් යමෙකුට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වෙතැයි මට සිතේ. එබැවින් මෙසේ සටහන්කර තබන්නෙමි.
 

0000000000000000000000000000000000000000000000000000000
මගේ බිරින්දෑ වෘත්තියෙන් ගුරුවරියකි. ඇය කලක් තිස්සේ නොයෙක් අසනීපවලින් පෙළෙමින් සිටි අතර, පසුව ඇයට හෘද රෝගී තත්ත්වයක් ද වැළඳී තිබිණි. අපට ළඟම රෝහල, ‘කරාපිටියේ ශික්ෂණ රෝහලයි’. එබැවින් ඇය ප‍්‍රතිකාර ගත්තේ ද එයිනි.
 

වරක් අසනීපවී, රෝහල්ගත කළ අවස්ථාවක අහඹු ලෙස ඇය ඇතුළු කෙරුණේ, ‘සර්වාංග රෝග විශේෂඥවරයෙකු’ වන එක්තරා වෛද්‍යවරයෙකුගේ පාලනය යටතේ පැවති වාට්ටුවකට ය. එය සිදු වූයේ එදින රෝහලේ පැවති රෝගීන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයට අනුව ය. මෙහි දී හෙළි වූයේ ඇය හෘදය සම්බන්ධ යම් රෝගී තත්ත්වයකින් පෙළෙනවා වියහැකි  බවයි. එහෙත් ඇය හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ඉදිරිපත් නො කෙරිණි. ඒ වෙනුවට ‘සර්වාංග රෝග විශේෂඥවරයා’ විසින්ම ප‍්‍රතිකාර මෙහෙයවී ය. 

ඉන් පසුව ඇය යොමු කෙරුණේ ද ඔහුගේ මාසික සායනවලට ය.
ඇයට වරින්වර පපුවේ කැක්කුම් ඇති විය. අධික වෙහෙස සහ හතිය ඇති විය. එසේ තිබියදීත් පාසැල් ගියා ය. නිවසේ වැඩ කටයුතු ද කළා ය. බොහෝවිට ‘දිව යට තබා ගන්නා’ පෙතිවල පිහිට පැතීමට සිදු විය. රෝහල් සායන මගින් ප‍්‍රතිකාර ගත්ත ද රෝගී තත්ත්වයෙහි අඩුවක් වූයේ නැත. රෝහලට ගිය සෑම අවස්ථාවකම ඇය යොමු කෙරුණේ  ‘සර්වාංග රෝග විශේෂඥවරයාගේ’ වාට්ටුවට ය. ඔහු ද කරාපිටියේ ජනප‍්‍රිය විශේෂඥ වෛද්‍යවරයෙකි.
 

ඉකුත් මැයි මාසයේ දිනක ඇය යළිත් තදබල ලෙස රෝගී වූවා ය. පපුවේ රිදුම සහ හතිය පමණක් නොව, කොන්දේ රිදුමක් ද හට ගෙන තිබිණි.  ඇය හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු යයි අපි කල්පනා කළෙමු. ඒ ගැන විපරම් කළ ද,  ගාල්ලේ කිසිදු ‘චැනල් සෙන්ටරයකින්’ අපට යහපත් ප‍්‍රතිචාරයක් නො ලැබිණි. ඊට හේතුව ‘දින’ නැතිකමයි. හෘද රෝග වෛද්‍යවරයෙකු හමු වීමට අඩු තරමින් සතියක්වත් චැනල් පෝලිමේ සිටිය යුතු විය.  බිරින්දෑ පෙළෙන රෝගී තත්ත්වයේ හැටියට, එතරම් කාලයක් බලා සිටින්නට ද නො හැකි ය.
 

‘හදිසි ප‍්‍රශ්නයක් නම් කරාපිටිය රෝහලට  ඇඩ්මිට් කරන්න!’, චැනල් සෙන්ටර්කරුවෝ කීහ. කරාපිටියේ දී හදිසියේ හෘද රෝග වෛද්‍යවරයෙකු හමු වීමට අන් ක‍්‍රමයක් ද නැත. අපි පෞද්ගලිකව ඔවුන් නො හඳුනන්නෙමු.
 

දිගින් දිගටම මගේ බිරින්දෑට ප‍්‍රතිකාර කරන්නේ ‘සර්වාංග රෝග විශේෂඥවරයා’ ය. ‘කොයි හැටි වුණත් අපි එයාට පෙන්නමු’ යයි අපි කතා වූයෙමු. ඉන් පසුව කරාපිටියේ ජනප‍්‍රිය පෞද්ගලික රෝහලක දී ඔහු ‘චැනල්’ කළෙමු.
 

බිරින්දෑ පරීක්ෂා කළ ‘සර්වාංග රෝග විශේෂඥවරයා’, ඇයට යම් රුධිර පරීක්ෂණයක් නියම කළේ ය. ඉන් පසුව,
‘මේක ‘නෙගටිව්’ වුනොත් ප‍්‍රශ්නයක් නෑ. ‘පොසිටිව්’ වුනොත් ඇඞ්මිට් කරන්න වෙනවා. මොක ද කියන්නේ, මෙහේම ඇඞ්මිට් වෙන්නත් පුළුවන්’ යයි කීය.
 

අපට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීමට තරම් හයියක් නැත. එබැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු වන්නට කැමති බව පැවසුවෙමු.
 

එවිට ඔහු,
‘හරි, ඔය රිපොට් එක එන්න ටිකක් වෙලා යනවා. ඒ වෙන කොට මං ඉන්නේ  ගාල්ලේ අහවල් චැනල් සෙන්ටර් එකේ. රිපෝට් එක ‘පෙසිටිව්’ වුණොත් විතරක්් මේ නම්බර් එකට මට කතා කරන්න. එතකොට කරාපිටියේ ඇඞ්මිට් වෙන්න හදලා දෙන්නම්’ යයි කියා, ඔහුගේ ජංගම දුරකතන අංකය ලියූ තුණ්ඩු කෑල්ලක් ද අපට දුන්නේ ය. ඒ හැර  ප‍්‍රතිකාර නියම කළේ ද නැත.
 

නෙගටිව්-පොසිටිව්! 
අපි රුධිර පරීක්ෂණය කරවා ගතිමු. එහි දැක්වුණේ ‘නෙගටිව්’ කියා ය. ඉතින් වෛද්‍යවරයාට අමතන්නට කාරණයක් නොවී ය. අපි ගෙදර ගියෙමු.
 

කෙසේ වෙතත්, පසුවදා දහවල් වන විට බිරින්දෑගේ තත්ත්වය අයහපත් වන්නට විය. අපි වහාම ඇය කරාපිටිය රෝහලට ඇතුළු කළෙමු. එහි දී ද ඇය යොමු කෙරුණේ  ‘සර්වාංග රෝග විශේෂඥවරයාගේ’ වාට්ටුවට ය. එහි සිව් දිනක් ප‍්‍රතිකාර ලැබීමට ඇයට සිදු විය. එහි දී හෙළි වූයේ රෝගී තත්ත්වයට හේතුව යම් හෘද්‍යාබාධයක් බවයි. ප‍්‍රතිකාර කෙරිණි. එහෙත් පපුවේ රිදුම් තත්ත්වය පහව නො ගියේ ය. ඇය හෘද රෝග වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට යොමු කෙරුණේ ද නැත. ඒ ගැන කළ ඉල්ලීමකට වාට්ටුවේ වෛද්‍යවරුන් දුන්  උපදෙස වූයේ, ‘ඒවා පස්සේ වෙනම කර ගන්න’ යනුවෙනි. එසේ වුව ද සිව් වැනි දිනයේ (2016/05/10 දින) ඇගේ ‘ටිකට් කපනු’ ලැබී ය!
 

‘පපුව නම් රිදෙනවා. ඒක කිව්වට ඩොක්ටර්ස්ලා ගණන් ගත්තේ නැතිව ටිකට් කැපුවා’, ආපසු ගෙදර එන අතර බිරින්දෑ මැසිවිලි කීවා ය.
කෙසේ වෙතත් රෝහලෙන් නිවසට පැමිණ දෙ පැයක්වත් ගත වූයේ නැත. ඇගේ රෝගය යළිත් උත්සන්න වන්නට විය. පපුවේ රිදුම, ක්ලාන්තය සහ දහඩිය දැමීම ඇති විය. අපි ‘දිව යට තබා ගන්නා’ පෙතිවල පිහිට පැතීමු. ඒ අතර, කරාපිටිය රෝහලේ හෙද මිතුරන්ට දුරකතනයෙන් අමතා අලූත් තත්ත්වය පැහැදිලි කළෙමු.
 

‘අයියේ,  ඔය ඊළඟ ඇටෑක් එක ද දන්නෙ නෑ. ඒක හින්දා අක්කව මේ දැන්ම කරාපිටියට ගෙනත් ඇඞ්ම්ට් කරන්න. අපි මෙහෙන් එතෙන්ට එන්නම්’, එක් හෙද මිතුරියක් කඩිනමින් උපදෙස් දුන්නා ය.
 

අපි හැකි ඉක්මණින් බිරින්දෑ ද කැටුව කරාපිටිය රෝහලට ගියෙමු. අප එහි යනවිට හෙද මිතුරන් ද පැමිණ සිටියහ.
 

මෑතක පටන් කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළු කරන්නේ, වෙනම හදිසි ප‍්‍රතිකාර අංශයක් ඔස්සේ ය. ඇතුළු කරන රෝගීන්ගේ තත්ත්වය  එවේලේම පිරික්සා, මූලික වෛද්‍ය ප‍්‍රතිකාර ද සලස්වා, දෙවනුව නියමිත වාට්ටුවකට යොමු කිරීම එම අංශයේ  සිරිතයි. අපි එහි සිටි වෛද්‍යවරුන්ට සියලූ තොරතුරු පැවසුවෙමු. ‘සායන පොත්’ සහ පැරණි පරීක්ෂණ වාර්තා ද ඉදිරිපත් කළෙමු.
 

ඔවුහු මා බිරිඳ  ඉතා කඩිනමින් ‘ඊ. සී. ජී.’ පරීක්ෂණයකට යොමු කළහ. එහි තත්ත්වය බෙහෙවින් අයහපත් ය. ඔවුහු ඇයට යම් යම් ඖෂධ ද දුන්හ.
 

‘මෙයාව ගෙදර යවලා තියෙන්නේ ඇයිදැයි’ කතා වූහ.
 

‘කෝ වාට්ටුවෙදි ගත්තු මෙයාගෙ ‘ඊ. සී. ජී.’ ?’, ඊළඟට ඔවුහු අපෙන් විමසූහ.
 

 එදා දහවල් ටිකට් කපද්දී ඒ කිසිවක් මා බිරිඳට ලබා දී තිබුණේ නැත. අපි ඒ බව කිියා සිටියෙමු.
 

‘සාමාන්‍යයෙන් ඒවා දෙනව නේ’, ඔවුහු කීහ.
 

අවසන, අපේ හෙද මිතුරන් වහාම මා බිරිඳ ප‍්‍රතිකාර ගත් වාට්ටුවට ගියහ. එයින් ඇගේ පරීක්ෂණ වාර්තා ලිපි ගොනුව සොයා ගෙනවුත් දුන්හ.
 

ටික වේලාවක දී දැනගත හැකි වූයේ බිරින්දෑගේ රෝගය, බලවත් හෘද්‍යාබාධ තත්ත්වයක් බවයි!
 

අපි බෙහෙවින් අසරණ වීමු. දැන් හදිසියේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්  ‘චැනල්’ කරන්නට ද පුළුවන්කමක් නැත. ගාල්ලේ දී ඔවුන් චැනල් කිරීමට නම් අඩු තරමින් සතියක්වත් පෝලිමේ සිටිය යුතු වේ. කරන්නට දෙයක් නැතිම තැන, කරාපිටිය රෝහලේ හෙද මිතුරු හිතවතුන්ට ද, කොළඹ මාධ්‍ය මිතුරන්ට ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිතවතුන්ට ද සියල්ල සැල කළෙමු. ඔවුහු වහා මැදිහත් වූහ. මගේ බිරින්දෑ වෙනුවෙන් කරාපිටිය රෝහල ඇතුළේ යම් මානුෂීය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කෙරුණි.
 

අලූත් පේෂන්ට් කෙනෙක්
‘අයියේ, මේක හරියන්නෙ නෑ. සමහර විට හෙට උදේ අක්කව ආයෙමත් අර ඩොක්ටර්ගෙ වෝඞ් එකටම යවන්නත් ඉඩ තියෙනවා. ඒකෙන් තේරුමක් නෑ. අක්කාගේ හාට් ප්‍රොබ්ලම් එකට ප‍්‍රතිකාර කෙරෙන්නෙ නෑ. ඒක හින්දා අපි මෙයාව අලූත් පේෂන්ට් කෙනෙක් විදිහට ‘කාඩියොලොජිස්ට්’ කෙනෙකුට පෙන්න ගම්මු’, හෙද මිතුරෝ කීහ.
 

ඒ යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සඳහා කොළඹ මාධ්‍ය මිතුරන් ද දුරකතන මගින් මැදිහත් වූහ. කරාපිටියේ හෙද මිතුරන් ද වෙහෙසුණහ. එදා රාත‍්‍රියේම මගේ බිරිඳ ‘අලූත් රෝගියෙකු’ බවට පත් කෙරුණි. ඇය වෙනුවෙන් මැදිහත් වීම් ගණනාවක්ම ක‍්‍රියාත්මක විය.
 

පසුවදා උදේ රෝහල් බලධාරීහු ඇය අලූුත් වාට්ටුවකට යොමුකර තිබිණි. එය විශේෂඥ වෛද්‍ය වසන්ත කොඩිකාරආරච්චි මහතාගේ පාලනය යටතේ පවතින වාට්ටුවකි. ඔහු ඉතා කාරුණිකව හැම දෙයක් ගැනම විමසා බැලී ය. ප‍්‍රතිකාර ද ලබා දුන්නේ ය. අවසන මා බිරිඳ, හෘද රෝග විශේෂඥ වෛද්‍ය, පී. පී. සධානන්දන්  මහතා වෙතට යොමු කෙරුණි. ඒ සඳහා වැඩිපුරම වෙහෙසුණේ කොළඹ මාධ්‍ය මිතුරන් සහ කරාපිටියේ  හෙද මිතුරන් ය.
 

සධානන්දන් මහතා එදින (මැයි මස 12 දින) පෙරවරුවේ ඇය ‘එකෝ පරීක්ෂණයකට’ යොමු කළේ ය. ඉන් ඇගේ හෘදයේ රුධිර නාලවල යම් යම් අවහිරතා ඇති බව සොයා ගැනුණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කිරීම පිණිස ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණයක් කළ යුතු බවත්, ‘බයිපාස් හෘද සැත්කමකට’ යොමු කරනවා ද නැද්ද යන්න එහි දී තීරණය වනු ඇති බවත්, සධානන්දන් මහතා පැවසී ය. ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණය ජූනි මස 28 වැනි දින පවත්වන්නට ද දින නියම කෙරිණි. එය ඉක්මන් දිනයකි. ඊට අමතරව ඇයට ඖෂධ පන්තියක් ද නියම කෙරිණි.
 

‘දැන් ඉතින් බොහොම පරිස්සමින් ඉන්න. මහන්සි වෙන්න, වැඩ කරන්න, පඩි නගින්න එපා. බෙහෙත් ටික බොන්න. ආයෙමත් ‘ඇටෑක් එකක්’ එන්ඩ ඉඩ තියා ගන්න එපා’ හෙද මිතුරෝ කීහ. අපි ඇය ගෙදර කැඳවා ගෙන ආවෙමු.
 

එතැන් පටන් ගතවූ කාලය, බොහොම පරිස්සම් සහගත සමයක් විය. මා බිරින්දෑ පාසැල් ගියේ ද බෙහෙවින් ප‍්‍රවේශම් වෙමිනි. වෙහෙසවීම ඇයට තහංචි ය. ආහාර ද පාලනය කෙරිණි. මදක් වෙහෙස වන විට ඇයට පපුවේ රිදුම හට ගත්තේ ය. හතිය ද ඇති විය.
 

මේ අතර කරාපිටියේ හෙද මිතුරෝ අලූත් උපදෙසක් දුන්හ.
‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණය කරන කොට  සමහර විට ‘ස්ටෙන්ට්’ දාන්න වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒවා පිටින් සල්ලි දීලා ගන්න වෙනවා. කොයිකටත්  රුපියල් ලක්ෂ හතරක්වත් ලෑස්ති කරලා තියා ගන්න’ යන්න, උපදෙස විය.
 

‘ස්ටෙන්ට්’ යනු හෘද වස්තුවේ රුධිර නාල අවහිරතා මගහරවන වෛද්‍ය උපකරණයකි. ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණය කරන අවස්ථාවේ දී, අවශ්‍ය නම් ඒවා හෘදයේ රුධිර නාලවල සවිකරනු ලැබේ. එය කෙරෙන්නේ, රෝගියාගේ කැමැත්ත ඇතිව ය. ඒ සඳහා කලින්ම කැමැත්ත විමසීම සම්ප‍්‍රදායයි. ‘ස්ටෙන්ට්’ දැමීමට නො හැකි රෝගීන් බොහෝ විට ‘බයිපාස්’ ශල්‍යකර්මවලට ද යොමු කෙරෙයි. හෘද නාලවලට ‘ස්ටෙන්ට්’ කීයක් දැමීමට සිදු වන්නේ ද? යන්න නිගමනය කෙරෙන්නේ, ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණය කරන අවස්ථාවේ දී ය. එම අවස්ථාවේ  රෝගියාගේ භාරකරුවන්  එහි මිල ගෙවීමට සූදානම්ව සිටිය යුතු වේ.
 

මාසයක් වැනි කාලයක් ඇතුළත රුපියල් හාර ලක්ෂයක් පමණ සොයා ගැනීම අපට ලෙහෙසි කටයුත්තක් නොවේ. මෙය ලියන මට, 2015 ජුනි මස 30 වැනිදා රැකියාව අහිමි විය. ඊට පසුව හරිහමන් රැකියාවක් (හිතට එකඟව වැඩ කළහැකි) ලැබුණේ ද  නැත.
ඒ මදිවාට 2016 මාර්තු 23 වැනිදා මට හදිසියේ අසනීප විය.
 

‘ඔබට ‘පැරලයිස් වීමේ’ (අංශභාගය වැළඳීමේ) අවදානමක් තියෙනවා’ යයි,  මා ‘සී. ටී. ස්කෑන් පරීක්ෂාවකට’ යොමු කළ කරාපිටිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ. 
එයින් පසුව ‘බෙහෙත් පිට’ දුවන ජීවිතයක් උරුම විය. දැන් පෙර මෙන් වෙහෙසී වැඩ කරන්නට පුළුවන්කමක් නැත. එබැවින් වර්තමානයෙහි අපේ නිවසෙහි අගහිඟකම් පිරිමැසෙන්නේ, බිරින්දෑගේ වැටුපෙනි. අපට වෙනත් ආදායම් මාර්ගයක් ද නැත. නිවස සාදා ගැනීමට ගත් බැංකු ණයෙහි වාරික ද ගෙවිය යුතු ය. පුතා විදෙස් රැකියාවකට යවන්නට ඉකුත් ජනවාරියේ වැය කළ රුපියල් ලක්ෂ තුනහමාරක මුදලේ වගකීම් බර ද, අපේ පවුලේ ණය කන්දට අයත් ය.
 

එසේ වුව ද බිරින්දෑගේ දිවි ගලවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ හතරක් සොයා ගත යුතුව තිබේ. පවුලේ ස්වර්ණාභරණ සොච්චම ද බැංකුවට උකස් කළ ගමන් ය. කෙසේ වෙතත්, ඇයට මියයන්නට ඉඩ දිය නො හැකි ය!
 

අවසන අපේ නෑදෑයෝ ද, හිත මිතුරෝ ද පිහිටට පැමිණියහ. යම් මුදලක්  ‘පොලියට’ ද ගතිමු. ඉන් යාන්තම් රුපියල් තුන් ලක්ෂයක මුදලක් සපයාගත හැකි විය. ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණය කරන ජුනි 28 වැනි දා රෝහලට යන විට, අප අතේ තිබුණේ ඒ මුදල පමණි. ඊට අමතරව පවුලේ අය සහ අසල්වැසි හිතවතුන්  සතු ‘ස්වර්ණාභරණ’ ස්වල්පයක් ද රැගෙන ගියෙමු.
 

කරාපිටිය රෝහලේ ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණ කරන්නේ, වෙනම ශල්‍යාගාරයක ය. එදින ඒ සඳහා පැමිණ සිටියේ  පී. පී. සධානන්දන් සහ භාතිය රණසිංහ යන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙපල ය. අපි උදෑසනින්ම කරාපිටියේ රාජ්‍ය ඔසුසලට ගොස් රුපියල් 13,500ක්  ගෙවා, පරීක්ෂණයට අවශ්‍ය ‘කැතීටරය’ මිලට ගෙන ආවෙමු. එය හෘද රෝග ප‍්‍රතිකාර ඒකකයට භාර දුනිමු.
 

එදින කරාපිටියේ ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණ ශල්‍යාගාරයට අතිශයින්ම කාර්යබහුල දවසකි. පරීක්ෂණයට සූදානම් කළ රෝගීන් රෝද පුටුවල නංවා වරින්වර එහි කැඳවා ගෙන එති. ඔවුන්ගේ ඥාතීන් හෝ භාරකරුවා් එළියේ සිටිති. තම අවස්ථාව එනතුරු රෝගීන් රැඳී සිටින්නේ ද එළියේ ය. පරීක්ෂණයට අවශ්‍ය ‘කැතීටරය’ ද අතැතිව ය. එය දිගු ලෑල්ලක් වැනි තුනී කාඩ්බෝඩ් පෙට්ටියකි.
 

‘කැතීටරයකින්’ ජීවිතය දීම 
මට තේරුම් ගිය ආකාරයට, ‘එන්ජියෝ ග‍්‍රෑම්’ බසින් ‘කැතීටරය’ යයි කියන්නේ, සියුම් ‘තන්තුවක්’ වැනි වෛද්‍ය උපකරණයකට ය. අතේ මැණික් කටුවේ හෝ පාද කලවයේ නහරයක් ඔස්සේ එය හෘදය වස්තුවට ඇතුළු කරනු ලැබේ. එය ආධාරයෙන් කිසියම් වර්ණකයක් (ඩයි වර්ගයක්) හෘදයට ඇතුළු කෙරේ. එය පැතිරෙන ආකාරය නිරීක්ෂණය කිරිමෙන් හෘදයේ නාල අවහිරතා තිබෙන තැන් හෙළිකර ගැනීම, ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණයේ ස්වභාවයයි. හඳුනා ගන්නා අවහිරතාවල ස්වභාවය අනුව, ඇතැම් රෝගීන් ‘බයිපාස් හෘද සැත්කම්’ සඳහා යොමු කෙරේ. ඇතැම් රෝගීන්ට, එවේලේම ‘ස්ටෙන්ට්’ හෝ ‘බැලූන්’ දමා, අවහිරවූ රුධිර නාල යථා තත්ත්වයට පත් කෙරේ. එය කරන්නේ ද හෘදයට ඇතුළු කළ ‘කැතීටර තන්තුවේ’ ආධාරයෙනි. දැනට තිබෙන තත්ත්වයේ හැටියට, ‘කැතීටර්’, ‘ස්ටෙන්ට්’ හෝ ‘බැලූන්’, රජයෙන් (රජයේ රෝහල් මගින්) සැපයෙන්නේ නැත. රෝගීන් ඒවා පිටතින් මිල දී ගත යුතු ය. ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණයට රුපියල් හාර ලක්ෂයක්වත් සොයා ගන්නැයි අපේ මිතුරන් පැවසුවේ එබැවිනි.
 

දැන් මගේ බිරින්දෑ ද සිය වාරය එන තුරු ශල්‍යාගාරය ඉදිරිපිට රැඳී සිටින්නී ය. මාත්, මද්දු අක්කාත් (බිරිඳගේ සොහොයුරිය), ඊට නුදුරින් රැඳී සිටියෙමු. ටික වේලාවකින් ඇය ශල්‍යාගාරය තුළට කැඳවනු ලැබිණි.
 

ගෙවී යන කාලය මහත් අසීරු සහ නො සන්සුන් වකවානුවකි. හෙද මිතුරු-මිතුරියන් වරින් වර පැමිණ අප අස්වැසූහ. එහෙත් සිත් පීඩාව පලවා හැරිය නො හැකි ය. මෙය ඇගේ ජීවිතය තීන්දු කරන ක‍්‍රියාවලියකි. අප අතේ තිබෙන මුදල ප‍්‍රමාණවත් වේද? යන්න පවා ගැටලූවකි.
 

ඊළඟ මොහොතේ හෙද මිතුරෙක් ශල්‍යාගාරයෙන් පිටතට පැමිණියේ ය.
 

‘වැඩේ යනවා. අක්කාට ‘බයිපාස්‘ කරන්න බැරිලූ. ඒක නිසා ‘ස්ටෙන්ට්’ දෙකකුත්, ‘බැලූන්’ දෙකකුත් දාන්න කියනවා. ඒ ගැන කැමැත්ත අහන්නයි ආවේ’ ඔහු කීය.
 

අපි කැමැත්ත දුනිමු.
 

කරාපිටිය රෝහලේ ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණ කරන දිනවලට, ‘ස්ටෙන්ට්’ උපකරණ අලෙවි කරන රජය අනුමත වෙළෙඳ සමාගම් දෙකක නියෝජිතයන් ද ශල්‍යාගාර පරිශ‍්‍රයේ රැඳී සිටිති. අවශ්‍ය ‘ස්ටෙන්ට්’ සපයන්නේ ඔවුන් ය. අනතුරුව හෙද මිතුරා ශල්‍යාගාර පරිශ‍්‍රය ඇතුළේ සිටි ‘ස්ටෙන්ට්’ උපකරණ අලෙවි කරන වෙළෙඳ සමාගම් නියෝජිතයෙක් ද අපට මුණගැස්වී ය. හෙද මිතුරන්ගේ ඉල්ලීම නිසා, ඔහු යම් වට්ටමක් ද පිරිනමන්නට එකඟ විය.
බිරින්දෑගේ හෘදයෙහි සවිකරන එක් ‘ස්ටෙන්ට්’ එකක් රුපියල් 1,75,000ක් මිල වන බවත්, ‘බැලූනයක්’ රුපියල් 45,000ක් මිල වන බවත්, වෙළෙඳ සමාගම් නියෝජිතයා කීවේ ය. එහෙත් ඔහු වට්ටමක් වශයෙන් සෑහෙන මුදලක් අඩු කළේ ය. ‘ස්ටෙන්ට්’ එකක් සඳහා වැටුණේ රුපියල් 1,50,000ක් බැගිනි.
 

අපි ඔහුට මුදල් ගෙවන්නට වාචිකව එකඟ වීමු. සමස්ත මුදල රුපියල් 3,97,000කි.
 

දැනට අප අත ඇත්තේ රුපියල් තුන් ලක්ෂයක් පමණකි. ‘ස්ටෙන්ට්’ බිල ගෙවීමට තවත් රුපියල් ලක්ෂයක් අඩු ය. ස්වර්ණාභරණ සොච්චම ද රැගත් මද්දු අක්කා වහාම එතැනින් පිටවී උකස් කඩයක් සොයා ගාලූ දිව්වා ය. එදින සවස 3.30ට පෙර අප ‘ස්ටෙන්ට්’  බිල්පත පියවිය යුතු ය.
 

ටික වේලාවකින් සියල්ල සාර්ථකව හමාරවී, මා බිරිඳ පිටතට ගෙන එනු ලැබී ය. ඇය ඉක්මණින් හෘද රෝග ඒකකයට අනුබද්ධ ‘දැඩි සත්කාර ඒකකයට’ යොමු කෙරිණි. සවස 3.30ට පෙර අපි සියලූ මුදල් ගෙවා බිල්පත පියවීමු.
 

බිරින්දෑ පසුව පැවසූ ආකාරයට, ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණය හෝ ‘ස්ටෙන්ට්’ දැමීම කරන්නේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින්ම ය.  එහි දී රෝගියා නිර්වින්දනය නො කෙරේ. ඒ වෙනුවට,  අතේ මැණික් කටුවෙන් කැතීටරය යවන ස්ථානය පමණක් ‘හිරි වැට්ටීම’ සිරිතයි. සිරුර ඇතුළේ කෙරෙන සියල්ල, පරිගණක තිරයක් ඔස්සේ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට හසු වෙයි. එහෙත් ඒ කිසිවක් රෝගියාට පෙනෙන්නේ නැත. ‘මට එක එක උපදෙස් දුන්නා. ඒත් උහුලන්න බැරි තරම් වේදනාවක් දැනුනේ නෑ’, ඇය පසුව කීවා ය.
 

පසුව දැනගත් පරිදි මගේ බිරින්දෑ ජීවත්ව ඇත්තේ අතිශයින්ම අවදානම් තත්ත්වයක ය. ඇගේ හෘදයේ ‘කිරීටක ධමනි’ ස්ථාන කිහිපයකින්ම අවහිරවී තිබේ. මිනිස් හෘදය යනු සිරුරෙහි රුධිරය පිරිසිදුකර බෙදාහරින ව්‍යුහයයි. එය යැපෙන්නේ පිරිසිදු කරන්නට ගෙන එන රුධිරයෙන් නොවේ. ‘කිරීටක ධමනි’ මගින් සැපයෙන රුධිරයෙනි. යම් හෙයකින් ඒවා අවහිර වුවහොත් හෘදයේ පේශි අක‍්‍රියවී, හෘද ක‍්‍රියාකාරිත්වය ඇණ හිටී. එයින් රෝගියා මියයයි. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව එය ‘හෘද්‍යාබාධ’ තත්ත්වයකි. හෘද මාංශ පේශිවලට රුධිරය සැපයෙන කිරීටක ධමනි අවහිර වන්නේ, ඒවා අභ්‍යන්තරයෙහි ‘කොලෙස්ටරෝල්’ හෙවත් ‘මේදය’ තැන්පත් වීම නිසා ය. එවිට නිසි ලෙස රුධිර සැපයුමට  බාධා එල්ල වේ. හෘද්‍යාබාධ ඇති වේ.
 

බිරිඳගේ හෘදයෙහි එක් රධිර නාලයක් සියයට 80කින් ද, තවත් නාලයක් සියයට 95කින් ද, තවත් නාලයක් සියයට 50කින් ද, තවත් නාලයක් සියයට 99කින් ද අවහිරවී ඇතැයි ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණයෙන් සොයා ගැනුණි!. එය ඉතා බරපතල තත්ත්වයක් බව ද, ‘බයිපාස්’ ශල්‍යකර්ම කළ නො හැකි යයි ද පැවසිණි. ඇය මෙතෙක් ජීවත්ව සිට ඇත්තේ හාස්කමකින් මෙනි. ඇයට ‘ස්ටෙන්ට්’ සහ ‘බැලූන්’ දමා ඇත්තේ එම අවහිරතා, යථා තත්ත්වයට පත් කිරීම පිණිස ය.
 

විශේෂ සංකූලතා නො වුණු බැවින්, පසුවදා ගෙදර ඒමට ඇයට හැකි විය. දෙසතියක ඇඳ විවේකයකින් පසුව දැන් ඇය පාසැල් ද යන්නී ය. එහෙත් කලක් යන තුරු ප‍්‍රවේශම් විය යුතු යයි  ඇයට දන්වා තිබේ. සීනි සහ කොලෙස්ටරෝල් සහිත ආහාර සපුරා තහනම් ය. මසකට වරක් කරාපිටිය රෝහලේ සායනවලට සහභාගි වියයුතු ය. නියමකර ඇති ඖෂධ ද ගත යුතු ය. දැන් වෙනදා මෙන් පපුවේ රිදුම් හෝ හතිය නො දැනෙන බව ඇය පවසයි.
 

අපට ඇති අභියෝගය නම්, ඇගේ ප‍්‍රවේශමයි. අනෙක, නෑදෑයන් සහ හිතවතුන් ගෙන් ණයට ගත් මුදල් සියල්ල ඉක්මණින් පියවා දැමීමයි. උකස් කළ ස්වර්ණාභරණ බේරා දීමයි. ඒ ප‍්‍රශ්නය පැවතිය ද, දැන් අපේ ජීවිතවලට විශාල සැනසිල්ලක් උදාවී ඇති බවක් දැනෙයි. එහි ගෞරවය, ඇයට ජීවිතය දීම පිණිස නන් අයුරින් මැදිහත්වූ කරාපිටිය රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, හෙද මිතුරන්, කොළඹ මාධ්‍ය මිතුරන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිතවතුන් සහ සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයට හිමි විය යුත්තේ  ය. ඔවුන්ගේ මැදිහත් වීම් සහ කාරුණිකභාවය නො වන්නට ඇයට යළි ජීවිතය නො ලැබෙන්නට ද ඉඩ තිබිණි!
 

කෙසේ වෙතත් මා බිරිඳට හෘද රෝගයක් ඇති බව දැන දැනත්, ඇය හෘද රෝග වෛද්‍යවරයෙකු වෙත යොමු නො කළ, හෘද්‍යාබාධ තත්ත්වයක් තිබිය දීත් ටිකට් කපා ඇය ගෙදර එවන්නට කටයුතු කළ, කරාපිටිය රෝහලේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයා සමග ද අපේ තරහවක් නැත. ඔහු එසේ කරන්නට ඇත්තේ, ‘තමන් දන්නා තරම’ අනුව වන්නට ද පිළිවන!
 

පසු සටහන
මෙබඳු රෝගාබාධ වැළඳුනු විට යහමින් මුදල් අවශ්‍ය වේ. මුදල් නැතිනම් සිදු වන්නේ මැරෙන්නට ය.
 

මගේ බිරිඳ ගෙදර එන දවසේ, කරාපිටිය රෝහලේ හෘද ප‍්‍රතිකාර ඒකකය ඉදිරිපිට ආලින්දයේ මදක් රැඳී සිටියෙමි. එදින ද ‘එන්ජියෝ ග‍්‍රෑම්’ පරීක්ෂණ කරන දිනයකි. ඒ සඳහා රෝද පුටුවල හිඳවූ රෝගීන් ශල්‍යාගාරයට ගෙන යන ආකාරයත්, පරීක්ෂණය අවසන් කළ රෝගීන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ආකාරයත් මට දැකගත හැකි විය. 

ශල්‍යාගාරයෙන් ගෙනා එක් වියපත් පිරිමි රෝගියෙක්, ඇඳකට නොව, පුටුවකට බස්සවනු දුටුවෙමි. අසීරුවෙන් එහි හිඳගත් ඔහු, පුටුව යටින් බෑගයක් එළියට ගත්තේ ය. එය අවුස්සා ජංගම දුරකතනයක් ගෙන කාටදෝ ඇමතුමක් ගත්තේ ය. අනතුරුව දුබල හඬින් මෙසේ කීවේ ය.
 

‘පුතේ අරන් ගියාට වැඩේ කළේ නෑ. අපේ අතේ තියෙන සල්ලි මදියි කිව්වා. ඔයා බඩු උකස් තියලා හරි සල්ලි ගේන්න පුතේ!’
 

එකත් එකටම මුදල් නැතිකමින් ඔහුට ‘ස්ටෙන්ට්’ දැමීම ගිලිහී තිබේ!
මුදල් සොයා ගත්ත ද, යළි ඔහුට කවදා දිනයක් ලැබෙනු ඇත් ද?
000000000000000000000

2016.07.22.





10 comments:

  1. බොහොම කණගාටුදායක විස්තරයක්. සෞඛ්‍ය සේවය නොමිලේ ලැබුනත්, එහි ඇති යම් යම් සීමා, අපේ ඉරණම තීන්දු කරන තරම් බලවත් ඒවා බව, මෙයින් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. මුදල් සහ සම්බන්ධකම් නැතිනම් සියල්ල අකාලයේ හමාර වෙනවා. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. ඇඟ හිරිවැටුනා කියවලා.. වෙන මුකුත් නෙමෙයි,ගස්ලබ්බගෙම පුද්ගලික අත්දැකීම් මතක් වෙලා.මුදල් සහ සම්බන්ධකම් නැත්තම් උරුම අපහාසත්මක,අපහසු මරණය පමණයි.සිස්ටම් එක එහෙම තමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. මේ බ්ලොග් එකේ පළවුන ඉතාමත්ම සංවේදීම සටහන. මින් මතුවට වත් මෙවන් කරදර නොවී නිරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා, ක්‍රිෂ්ණ.

    ReplyDelete
  4. මෙය පැහැදිලිවම නෙග්ලිජන්ස් වර්ගයට වැ ්ටන වැරැද්දක් බව කියමි. (නමුත් ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ. එහි වැඩවසම් බව , වෘත්තීන් අතර කුලල්කාගැනීම් , වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම් , රෝගියා සමග සන්නිවේදනයේ හීන බව කැපී පෙනෙයි. රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි. ලංකාවේ වෛද්‍යවරු සියල්ල මෙසේ රෝගීන් ඉදිරියේ හැසිරෙනවා කියාමම නොකියමි. එහෙත් බොහෝ විට මේ තත්වය රෝගීන් විසින් අත් දැක තිබේ. ) Read More : https://transyl2014.blogspot.ca/2016/07/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. හැමෝම නෙවෙයි. ඒ වගේ පිරිසකුත් ඉන්නවා. හොඳ අය දෙවිවරෙු වගේ. ඔබේ අදහස මසුරන්. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. දුප්පත් මනුස්සයෙකුට ලෙඩක් හැදුනොත්???

    ReplyDelete
    Replies
    1. එක්කෝ කොලෙස්ටරෝල්-සීනි-ප්‍රෙෂර් හදා ගන්නෙ නැතිව ඉන්න ඕනෑ.නැතිනම් සල්ලි තියෙන්න ඕනෑ. ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete