වස විසෙන් තොර ගොවිතැන, සත්යය සහ මිථ්යාව-02
නවීන රසායනික ගොවිතැන
‘නවීන රසායනික ගොවිතැන’ යනු,ලොව ‘හරිත විප්ලවයේ’ කතා පුවතයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, එනම් වර්ෂ 1930-1960 වකවානුවේ දී ලොව වැඩිවන ජනගහණයට ආහාර සපයන්නේ කෙසේ ද? යනුවෙන් ජාත්යන්තර කතිකාවතක් ඇති විය. සුප‍්‍රකට ‘ෆෝඞ්’ සහ ‘රොකපෙලර්’ යන ඇමරිකානු සමාගම්වල සහාය ද ඇතිව කතිකාව ගෙන ගියේ එක්සත් ජාතීන්ගේ ‘ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය’ යි. කතිකාවෙන් කියැවුණේ, එතෙක් පැවති සම්ප‍්‍රදායික බව-භෝගවලට සහ වගා රටාවන්ට ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීමට පුළුවන්කමක් නැති බවයි. එබැවින් නව වැඩි දියුණු කළ බව-බෝග වර්ග සහ රසායනික යෙදවුම් නිපදවිය යුතු බවත් තීන්දු කෙරිණි. මේ සංසිද්ධියත් සමගින් ලෝකයේ ගොවිතැන වෙනස් විය.
වර්ෂ 1960න් පසුව ලෝකයට ‘හරිත විප්ලව කෘෂිකර්මය’ හඳුන්වා දෙනු ලැබී ය. එයින් ‘නව වැඩි දියුණු කළ’ සහ ‘දෙමුහුන් වී වර්ග’ (අලූත් වී වර්ග) ද, ඒවා වගා කිරීමට කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග සහ නවීන වගා උපක‍්‍රම, ට‍්‍රැක්ටර් සහ ඉසින යන්ත‍්‍ර වැනි නවීන උපකරණ ද ප‍්‍රචලිත කෙරිණි. වර්ෂ 1960න් පසුව එය ලංකාවට ද පැමිණියේ ය. එයින් එතෙක් පැවති පාරම්පරික ගොවිතැන් ක‍්‍රම ද, බව භෝග ද අභාවයට යන්නට පටන් ගත්තේ ය.
අලූත් ගොවිතැනින් වැඩි අස්වැන්නක් ලැබිණි. ගොවීන් වේගයෙන් නව ගොවිතැනට ඇබ්බැහි වූහ. රට වැසියන්ගේ කුස ගිනි නිවන්නට නම්, නවීන රසායනික ගොවිතැන අත්‍යවශ්‍ය දෙයක් යයි ජන මතයක් ද පැතිරිණි. 1960 දශකයෙන් පසුව බලයට පැමිණි ආණ්ඩු ද කටයුතු කළේ නවීන රසායනික ගොවිතැන කරපින්නා ගනිමිනි. වර්තමාන ලංකාවේ ගොවීන් වගා කරන්නේ, නව වැඩි දියුණු කළ නවීන වී ප‍්‍රභේදයන් ය.
ප‍්‍රධාන ආහාර භෝගය
බත මෙන්ම සහල ද උපදින ‘වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප‍්‍රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ ‘වී’ වගාව පිණිස ය. ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2016 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 4.4කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 11,14,000කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායිතාව, කිලෝග‍්‍රෑම් 4372කි. නියඟ තත්ත්වය නිසා 2017 වසරේ අපේ රටේ වී වගා භූමිය හෙක්ටයාර් 7,92,000ක් දක්වා පහත වැටුණි. ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වර්තමාන වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ.
වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ වී ප‍්‍රභේදයන් ය. ඒ සඳහා කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක‍්‍රම, නවීන උපකරණ හා යන්ත‍්‍ර ද බහුලව භාවිත කෙරේ. එය එහැමපිටිින් ම පාහේ, කෘත‍්‍රිම රසායනික ගොවිතැනකි. ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ. දැන් මුළු රටම නවීන, රසායනික වී ගොවිතැනින් උපදින වස විස මුසු බත අනුභව කරන බව, මෙහි අර්ථයයි. බත පමණක් නොව, ඊට එක්කර ගන්නා එළවළු ආදියට ද යහමින් වස විස මුසුව පවතී. මේ සියල්ල රටට ප‍්‍රචලිත වූයේ වර්ෂ 1960න් පසුව එළඹුණු සුප‍්‍රකට ‘හරිත විප්ලවයේ’ අනුහසිනි.
අද අපට සිදුව ඇත්තේ කුමක් ද?
මන්දපෝෂණය
අඩ සියවසකට වඩා වැඩි කාලයක් හරිත විප්ලවයෙන් උපන් නවීන බත අනුභව කරන අපට, දැන් සිදුව ඇත්තේ කුමක් ද? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීම සඳහා, ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වර්ෂය අළලා නිකුත් කළ ‘ජන විකාශ හා සෞඛ්‍ය වාර්තාවේ’ (Sri Lanka Demographic and Health Survey-2016) තොරතුරු අධ්යයනය කළ යුතු ය.
01-2016 වසරේ දී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර ‘කුරු වීමේ තත්ත්වය’ (Stunting) සියයට 17.3ක් විය. දැන් ලංකාවේ වයස අවුරුදු පහට අඩු සෑම ළමයින් සියයකට ම 17 දෙනෙක් ‘මිටිභාවයට’ පත් දරුවන් යයි එයින් පෙන්නුම් කෙරේ.
02-ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර ‘Wasting’ හෙවත් ‘කෘෂ වීමේ තත්ත්වය’ 2016 දී එය සියයට 15.1කි.
03-වයස අවුරුදු පහට අඩු දරුවන් අතර, ‘වයසට අනුව බර නැතිකමේ ප‍්‍රශ්නය’ (Under weight) ද, පවතින්නේ ඉහළ තලයක ය. එය 2016 දී සියයට 20.5කි!
04-2016 වසරේ අඩු බර උපත් අනුපාතය (උපත් බර කිලෝ 2.5කට අඩු) සියයට 15.7කි.
වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ශරීර පෝෂණය දුර්වල වීම කෙරෙහි බලපාන හේතු කාරණා ගණනාවක් ම තිබේ. ගැබිණි මව්වරුන්ගේ පෝෂණය දුබල වීම, මව්කිරි දීමේ තත්ත්වය සහ ළමුන්ගේ පෝෂණය තත්ත්වය දුබලව තිබීම ආදී කාරණා ඒ අතර ප‍්‍රධාන ය. ඒ සියල්ල, කලක පටන් ම නරක තත්ත්වයක පවතින බව මෙම දත්ත මගින් පෙන්නුම් කෙරෙන චිත‍්‍රයයි.
කවර තරාතිරමක කෙනෙකුට වුව ද, නිසියාකාර පෝෂණයක් ලැබීම සඳහා ‘සමබල ආහාර වේලක්’ ලැබිය යුතු ය යන්න, බොහොම ප‍්‍රසිද්ධ කාරණයකි. වැඩිහිටි පිරිමියෙකුට අඩු තරමින්, දිනකට කැලරි 2500ක පමණ සහ කාන්තාවකට දිනකට කැලරි 2000ක පමණ පෝෂණයක් ලැබිය යුතු බව පොදු පිළිගැනීමයි. වයස අවුරුදු 6-11 දක්වා දරුවන්ට දිනකට කැලරි 1725-2250ක් පමණ අවශ්‍ය බව කියැවේ. එසේ වුව ද, බොහොම කලක පටන් ම මහජනයාට එවන් කැලරි ශක්තියක් ලැබෙන ආහාර වේලක් නො ලැබෙන බව පෙනී යයි.
ලෙඩ දුක් කන්දරාව
සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්යාලේඛන අනුව, 2016 වර්ෂයේ මුළු රටේ ම රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ලැබූ බාහිර රෝගීන් සංඛ්යාව 5,36,20,249කි. (පන් කෝටි තිස්හය ලක්ෂ විසි දහස් දෙසිය හතළිස් නමයකි.) එහි තේරුම, රටේ හැම කෙනෙක් ම වසරකට දෙවතාවක් පමණ ලෙඩවී ඇති බවයි!
බෝ නො වන රෝග වැඩිවීම
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ ‘National
Survey on self-reported Health in Sri Lanka-2014’ නම් සමීක්ෂණ වාර්තාව අනුව,
01-රටේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්යාව සියයට 39කි.
02-දියවැඩියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්යාව සියයට 30.4කි.
03-හෘද රෝගවලින් පෙළෙන්නන් සංඛ්යාව සියයට 9.0කි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට, ලංකාවේ සිදුවන මරණ සංඛ්යාවෙන් සියයට 75කට ම හේතුව, බෝ නො වන රෝග වැළඳීමයි!
පිළිකා රෝගීන් සංඛ්යාව ඉහළ යාම
2008 වසර වන විට ලංකාවේ අලූතින් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්යාව, 19,309කි. 2013 වසර වන විට අලූතින් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්යාව 25,515ක් විය. 2014 වසරේ දී එය 26,341ක් දක්වා තවදුරටත් ඉහළ ගියේ ය! අපේ රටේ බහුලව වාර්තා වන පිළිකා තත්ත්වයන් අතර, පෙනහළු, ගැබ්ගෙළ, මුඛ, පියයුරු, බඩවැල් සහ මොළය ආශ‍්‍රිත පිළිකා මෙන්ම ලියුකේමියා තත්ත්වයන් ද වේ. (Annual
Health Bulletin-2014)
මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගය
වර්තමානය වන විට, අනුරාධපුරය, පොළාන්නරුව, මඩකලපුව යන දිස්ත‍්‍රික්කවල ද, බදුල්ල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්කවලට අයත් හම්බෙගමුව, වැල්ලවාය, බුත්තල, තණමල්විල, ගිරා`දුරුකෝට්ටේ යන ප‍්‍රදේශවලින් ද, යාපනය දිස්ත‍්‍රික්කයෙන් ද, කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් නිකවැරටිය, මහව, යාපහුව යන ප‍්‍රදේශවලින් ද, පුත්තලම දිස්ත‍්‍රික්කයේ සමහර පෙදෙස්වලින් ද, මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් විල්ගමුව සහ හෙට්ටිපොළ යන ප‍්‍රදේශවලින් ද, හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අයත් ලූණුගම්වෙහෙර සහ තිස්සමහාරාමය යන ප‍්‍රදේශවලින් ද මාරාන්තික නිදන්ගත කෘෂිකාර්මික වකුගඩු රෝගය වාර්තා වේ.
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්වන අන්දමට, 2017 දී එම දිස්ත‍්‍රික්කවලින් හඳුනා ගෙන ඇති නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්යාව 25,512කි. ඔවුන් අතරින් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කවලිනි. එයට අමතරව බදුල්ල සහ අම්පාර යන දිස්ත‍්‍රික්කවල ද රෝග ව්යාප්තිය ඉහළ මට්ටමක පවතින්නේ ය! රජරට විශ්ව විද්යාලයේ මහාචාර්ය චන්න සුදත් ජයසුමන මහතා පවසන අන්දමට, මේ වන විට ලංකාවේ වෙසෙන සමස්ත නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්යාව 80,000ක් පමණ වෙතියි ඇස්තමේන්තුකර තිබේ!
අපේ රටට මෙවැනි නපුරක් සිදු වූයේ ඇයි?
ඉහත සඳහන් කළ කාරණාවලින් පෙන්නුම් කරන්නේ කුමක් ද? 1960 වසරෙන් පසුව, හරිත විප්ලවයෙන් උපන් බත සහ එළවළු ඇතුළු ආහාර අනුභව කරන මිනිසුන්, මන්දපෝෂණයට සහ ලෙඩ දුකට වැටී ඇති බවයි. මනුෂ්යයන්ට ලෙඩ දුක් වැළඳීම කෙරෙහි ඔවුන් ගන්නා ආහාර ද බලපාන බව සාමාන්‍ය කාරණයකි. මෙම තත්ත්වය නිසා, හරිත විප්ලවයේ බත මෙන්ම, බත නිපදවීමට යොදා ගන්නා කෘත‍්‍රිම පොහොර ඇතුළු කෘෂි රසායන සහ මේ ලෙඩ දුක් කන්දරාව අතර බරපතල සම්බන්ධයක් තිබෙන බව සැක කළ හැකි ය. කෘත‍්‍රිම පොහොර ඇතුළු කෘෂි රසායන ඔස්සේ පසට එකතු වන ආසනික්, කැඞ්මියම්, රසදිය, ඊයම් ඇතුළු බැර ලෝහ නිසා මාරාන්තික වකුගඩු රෝගය හට ගන්නා බව පර්යේෂණවලින් හෙළි විණි.
නවීන රසායනික ගොවිතැන වූ කලී, වැඩි අස්වැන්නක් ද සමග හරිත විප්ලවය විසින් අපට දුන් ‘මරණීය ත්‍යාගයක්’ වැන්න!
(මතු සම්බන්ධයි)
2018/11/14
No comments:
Post a Comment