ශ‍්‍රම හිඟය බරපතලයි!
පාලකයන්ට නො පෙනෙන
ගමේ තේ හේන්වල කඳුළු
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර අන්තර්ජාලයෙනි)
කුඩා තේ ඉඩම් හිමියන් බොහොම දෙනෙක් දැන් දවස පටන් ගන්නේ
ම, මහත් කලබලකාරී
විලාශයෙනි. උදේ පාන්දර පටන් ඔවුහු
මෝටර් බයිසිකල් හෝ ත‍්‍රීවීලර් මගින් ගෙවල් ගානේ ඇවිදිති. යම් යම් උදවියගේ නම්
කියමින් විපරම් කරති. ඔවුන් මෙසේ බලවත්
උත්සාහයක යෙදෙන්නේ, තම ඉඩමේ තේ දළු ටික
නෙලා ගන්නට ශ‍්‍රමිකයන් සොයා ගන්නට ය. කුඩා තේ ඉඩම් බහුල ප‍්‍රදේශවල
මෑතක පටන් ‘දළු නෙලන්නියන්’ හිඟ ය. එබැවින් තේ දළු නෙලන
දවසට ශ‍්‍රමිකයන් සොයා ගැනීම, අද ‘යුද්ධයක්’ බවට පත්ව තිබේ!
කුඩා තේ ඉඩම් බහුල පෙදෙස්වල උග‍්‍ර ශ‍්‍රම හිඟයක් පැවතීම, මෑත කාලයේ පැන නැගුණු
අතිශය බරපතල ප‍්‍රශ්නයකි. ශ‍්‍රම හිඟය උග‍්‍රව පවතින්නේ තේ
දළු නෙලීමේ වෘත්තිය සම්බන්ධයෙනි. ඊට අමතරව තේ ඉඩම්වල
අනෙකුත් වැඩ සඳහා ද ශ‍්‍රමිකයන් හිඟ ය. මෙම තත්ත්වය නිසා කුඩා
පරිමාණ තේ ඉඩම් හිමියන් දැන් මහත් අසහනයකට පත්ව සිටිති. කුඩා තේ ඉඩම් පමණක්
නොවේ. මහා පරිමාණ තේ වතු ද
අද ශ‍්‍රමිකයන් හිඟයට මුහුණ දී සිටින බව ප‍්‍රසිද්ධ කාරණයකි.
‘තේ’ වූකලී ලංකාවේ ප‍්‍රධාන
අපනයන භෝගයයි. එසේම එය රටට විදේශ
විනිමය ලැබීම අතින් දෙවැනි තැන ගන්නා ‘අපනයන භාණ්ඩය’ ද වෙයි. තේ නිෂ්පාදන අපනයනයෙන්
ලැබෙන ආදායම දෙවැනි වන්නේ ඇඟළුම් අපනයන ආදායමට
පමණකි.
2017 ශ‍්‍රී ලංකා මහ බැංකු
වාර්තාවේ දැක්වෙන අන්දමට,
දැනට ලංකාවේ ඇති සමස්ත තේ වගා ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 2,03,000ක් පමණ වේ. 2017 දී එයින් නිපැයුණු තේ
ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් මිලියන 307කි. තේ අපනයනය තුළින් ශ‍්‍රී
ලංකාව 2017 දී ලැබූ ආදායම, ඇමරිකානු ඩොලර් මිලියන 1529.8ක් විය. එය ඉහළ ආදායමකි. රටේ සමස්ත තේ වගා
භූමිය ගත් කල, එයින් සියයට 75.4ක් ම කුඩා පරිමාණ
වගාකරුවන් සතු තේ ඉඩම් ය. එය දළ වශයෙන්
හෙක්ටයාර් 1,52,250ක් පමණ වේ. ඉන් බහුතරය, රත්නපුරය, මාතර, ගාල්ල, කළුතර, බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල පැතිර පවතියි. ජන හා සංඛ්‍යාලේඛන
දෙපාර්තමේන්තුව නිකුත් කළ ‘2013/2014 ආර්ථික සංගණන
වාර්තාවට’ අනුව, ලංකාවේ කුඩා තේ ඉඩම්
වැඩියෙන් ම ඇත්තේ දකුණු පළාතේ ය. එය රටේ සමස්ත තේ වගා
භූමියෙන් සියයට 37.3කි. ඊළඟට කුඩා තේ ඉඩම්
වැඩිපුර ම ඇත්තේ සබරගමුව පළාතේ ය. එය සියයට 34.6කි. දිස්ත‍්‍රික්ක
මට්ටමින් ගත් විට, කුඩා තේ ඉඩම් වැඩිම ප‍්‍රමාණයක්
ඇත්තේ රත්නපුරයේ ය. එය සියයට 27.7කි.
තේ වගාව සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත්ව ඇති මේ තොරතුරුවලින් පෙන්නුම් කෙරෙන කාරණය
සුවිශේෂ ය. එයින් කියැවෙන්නේ, ලංකාවේ සමස්ත තේ
නිපැයුමෙන් සියයට 75කටත් වඩා උපදවා දෙන්නට දායකත්වය දරන්නේ කුඩා තේ ඉඩම්
හිමියන් බව ය. එහි අරුත, කුඩා තේ ඉඩම් හිමියන්
දැන් ලංකාවේ ඉතාමත් ප‍්‍රබල ආර්ථික ක‍්‍රියාවලියක කොටස්කරුවන්වී සිටින බවයි! රටට විදේශ විනිමය රැගෙන
එන එවන් වටිනා ආර්ථික ක්ෂේත‍්‍රයක්, ශ‍්‍රම හිඟයකින් ඔත්පලව වැටීම, අතිශය බරපතල කාරණයකි.
මහා පරිමාණ තේ වතුවල නම්, වැඩ කිරීම සඳහා දමිළ ජාතික කම්කරු
පවුල් පදිංචිව සිටිති. ඔවුන් අනිවාර්්‍යයෙන්
ම වත්තේ වැඩ කළ යුතු ය. කුඩා තේ ඉඩම් හිමියන්ට
එබඳු ක‍්‍රමයක් නැත. ඔවුන් එක්කෝ, තමන්ගේ පවුලේ
සාමාජිකයන්ගේ දායකත්වයෙන් තේ වගාවේ වැඩ ටික බලා ගත යුතු ය. නැතිනම් අසල්වැසි ශ‍්‍රමිකයන්
මගින් වැඩකර ගත යුතු ය. ඇතැම් කුඩා තේ ඉඩම්, වගාකරුවාගේ පවුලේ අයට
පමණක් කළමනාකරණයකර ගැනීමට බැරි තරම් විශාල ය. ඒවාට පිටස්තර ශ‍්‍රමිකයන්
අවශ්‍ය වේ. ඇතැම් පවුලක
සාමාජිකයන් වෙනත් රැුකියා ආදියෙහි යෙදෙනවා ද විය හැකි ය. එවන් අවස්ථාවල ද
පිටස්තර ශ‍්‍රමිකයන් අවශ්‍ය වේ.
තේ දළු නෙලීම, ගමේ ව්‍යවහාරයේ දී ‘දළු කඩනවා’ ය. එය සාමාන්‍යයෙන් සෑම
දින හයකට හෝ හතකට වරක් ම,
නො වැරදී ම කළ යුතු කාරියකි. එබැවින් දළු නෙලන ශ‍්‍රමිකයන්
පිළිබඳ අවශ්‍යතාවය ඉතා ඉහළ ය. කලට වේලාවට නො
කැඩුවහොත් තේ දල්ල පමණට වඩා මෝරයි. එබඳු දළු තේ කම්හල්වලට භාර
ගන්නේ නැත. එබැවින් කුඩා තේ ඉඩම්
හිමියන් සැම කෙනෙක් ම පාහේ,
තම වගාවන්වල දළු ටික නියමිත වේලාවට ම නෙලා ගැනීමට උනන්දු වෙති.
ලියුම්කරු දන්නා එක්තරා තේ ඉඩම් හිමියෙක් දෙනියාය ප‍්‍රදේශයේ
පිහිටි තම ඉඩම්වල දළු නෙලීම සඳහා කාන්තාවන් ගෙන්වා
ගන්නේ, කිලෝමීටර් 70ක් පමණ දුර ගෙවා ගාල්ලේ ගමකිනි. දළු නෙලන දිනවලට අලූයමෙහි
පැමිණෙන වැන් රථයකින් ඔවුන් දෙනියායට ගෙන්වා ගැනීම සිරිතයි. දවසේ වැඩ අවසන, ඔවුන් යළිත් ගාල්ලට
ඇරලවයි. රත්නපුරයේ සිට
කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි
ගිලීමලේ ප‍්‍රදේශයේ ඉඩම්වල දළු නෙලීම සඳහා ශ‍්‍රමිකයන් රැගෙන
යන්නේ රත්නපුර මහවලවත්ත සහ නගරය අවට ගම්වලිනි. කලකට ඉහත නම් තේ දළු
නෙලීම කළේ කාන්තාවන් ය. ශ‍්‍රම හිඟය නිසා දැන් පිරිමින්
ද එයට එක්ව සිටිති. ශ‍්‍රමිකයන් කොතෙක් හිඟ ද යත්, ගම්වල දළු නෙලන අය, සතියේ දින හත ම පාහේ
එක් එක් තේ ඉඩම් හිමියන් සඳහා වෙන්කර ගෙන සිටිති. කෙතෙක් ඇවිටිලි කළ ද, එයින් පිටස්තරව වෙනත්
ඉඩමක දළු කඩන්නට ඔවුන් එන්නේ නැත!
කුඩා තේ ඉඩම් සඳහා ශ‍්‍රමිකයන් හිඟ වීම, උන්හිටි ගමන් සිදු
වුණු ක‍්‍රියාවලියක් නොවේ. එය ඉකුත් දශකයක දෙකක
පමණ කාලයේ පටන් පිළිසිඳුණු, සමාජ-ආර්ථික වෙනස් වීම්
අනුව හට ගත් තත්ත්වයකි. ග‍්‍රාමීය තරුණ ප‍්‍රජාව, තේ ඉඩම්වල කුලී වැඩ
කිරීමට වඩා වැඩියෙන් මුදල් ඉපයිය හැකි, ඊට වඩා සමාජ පිළිගැනීමක් සහිත රැකියාවලට යොමු වීම, මේ සඳහා බලපා ඇති ප‍්‍රධානතම
කාරණයයි. පාසැල් හැරගිය තරුණ
ගැහැණු ළමුන්ට ඇඟළුම් කම්හල් හෝ වෙනත් නිෂ්පාදන කර්මාන්ත
ආයතනවල අලූත් රැකියා විවෘත වීම, ගම් මට්ටමේ ශ‍්‍රම හිඟයක් ඇති වීමට බලපෑ
අනෙක් හේතුවයි. ඇතැම් ගැහැණු සහ
පිරිමි සමෝසමේ විදෙස් රැකියාවලට ද ආකර්ෂණය වූහ. ගමේ තරුණයන්ට වඩු, පෙදරේරු, රියදුරු සහ අනෙකුත්
කාර්මික ක්ෂේත‍්‍රවල නාගරික රැකියා අවස්ථා විවර විය.
මේ වෙනස් වීම මහා පරිමාණ වතුවලට පවා බලපෑවේ ය. වතුකරයේ දරුවන් වෙනදාට
වඩා අධ්‍යාපනයට යොමු වීම සහ එයින් පසුව වෙනත් රැකියාවලට යාම, තරුණ පිරිස් වත්තෙන්
බැහැරවී වැඩි වැටුප් ලැබෙන නාගරික රැකියා
සොයා යාම සහ විදේශ රැකියාවලට යාම ආදිය නිසා වතුවලට ද යම් ශ‍්‍රම හිඟයක් ඇති විය. ශ‍්‍රමිකයන් හිඟ වීම නිසා අද මහා
පරිමාණ තේ වතු පවත්වා ගෙන යාම ද දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, ශ‍්‍රම හිඟය පිළිබඳ ප‍්‍රශ්නය, මහා පරිමාණ තේ වතුවලට
වඩා බරපතල ස්වරූපයක් ගන්නේ කුඩා තේ ඉඩම් ක්ෂේත‍්‍රයේ ය.
ගම්වල දළු නෙලන්නියන් හෝ නෙලන්නන් සතිය පුරාවට කාගේ හෝ කුඩා තේ ඉඩමක ශ‍්‍රමය
වැගිරුව ද ඔවුන්ට ලැබෙන්නේ එදිනෙදා අවශ්‍යතා හෝ සපුරාගත නො හැකි සොච්චම් වැටුපකි. ඔවුන් වැඩ කරන්නේ ද ‘දවස් කුලියට’ ය. තේ ඉඩම් හිමියන් බහුතරයක් දෙනා ඔවුන්ට ගෙවන දෛනික කුලී මුදල, දිවා ආහාර සහ තේ වේල්
දෙකක් ද සහිතව රුපියල් 600කි. ඇතැම් පෙදෙසක එය
රුපියල් 700ක් හෝ 800කි. රත්නපුරේ, ගිලීමලේ ප‍්‍රදේශයේ
දළු නෙලන්නියකගේ දෛනික වැටුප රුපියල් 1000කි. ඔවුන්ට තේ වේල් හෝ
දිවා ආහාර නො සැපයේ. ඔවුන් අනිවාර්්‍යයෙන්
ම දිනකට තේ දළු කිලෝග‍්‍රෑම් විස්සක් නෙලිය යුතු ය. එය කොන්දේසියකි. ගාල්ල වඳුරඹ ප‍්‍රදේශයේ දළු
නෙලන්නියක්, දිනකට රුපියල් 600ක හෝ 700ක කුලියට කැඩිය යුතු
අවම දළු ප‍්‍රමාණය (අත්තම) කිලෝග‍්‍රෑම් 26කි. සමහර පෙදෙස්වල පිරිමි
ශ‍්‍රමිකයෙකුට දිනකට ගෙවන කුලිය රුපියල් 800ක් පමණ වෙයි.
කුඩා තේ ඉඩම් බහුල ගම්වල තත්ත්වය එසේ වුව ද, මහා පරිමාණ වතුවල
තත්ත්වය තරමක් වෙනස් ය. ඒවායෙහි දළු
නෙලන්නියන්ට ලැබෙන දෛනික වැටුප, රුපියල් 140ක පැමිණීමේ දීමනාවක් ද, තවත් රුපියල් 30ක දීමනාවක් ද ඇතුළත්ව, රුපියල් 670කි! ඔවුන්ට දිවා ආහාර හෝ
තේ වේල් නො සැපයෙයි. එහෙත් ඔවුන්ට සේවක
අර්ථසාධක අරමුදල් දායකත්වය හිමි ය. අතිශයින් ම කටුක වුව ද, ඔවුන්ට වතු නිවාසවල (ලැයිම්වල) විසීමේ අවස්ථාව ද ලැබේ. ශ‍්‍රමිකයන් හැටියට
ඔවුන්ගේ ක‍්‍රියාවලිය සංවිධිත ය. ඔවුන්ගේ අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනී සිටින්නට වෘත්තීය සමිති ආදී සංවිධාන ද තිබේ.
එහෙත් ග‍්‍රාමීය කුඩා තේ ඉඩම්වල දළු නෙලන කාන්තාවන්
ඇතුළු ශ‍්‍රමිකයන්ගේ ක‍්‍රියාවලිය අසංවිධිත ය. ඔවුන්ගෙන් බහුතරයකට
කම්කරු අයිතිවාසිකම් ලැබෙන්නේ ද නැත. දෛනික කුලිය මිස සේවක
අර්ථසාධක අරමුදල් දායකත්වය ලැබෙන්නේ ද නැත. ඔවුන් වෙනුවෙන් පෙනී
සිටින්නට වෘත්තීය සමිති ආදිය ද නැත. කුඩා තේ ඉඩම්
හිමියන්ගේ ක්ෂේත‍්‍රයෙහි දළු නෙලන්නියකට හෝ නෙලන්නෙකුට ගෙවිය යුතු අවම දෛනික වැටුප
(කුලිය) කොපමණ ද? කියා පිළිගත් සම්මතයක්
ද නැත. නීතියක් ද නැත. වැටුප කොපමණදැයි
තීන්දු කරන්නේ ඉඩම් හිමියා ය. ඔවුන්ගේ දෛනික වැටුප ප‍්‍රදේශයෙන්
ප‍්‍රදේශයට ද වෙනස් ය.
මේ කරුණු ගලපා ගත් විට, මහා පරිමාණ වතුවල තේ දළු නෙලීම මෙන්ම, කුඩා පරිමාණ ඉඩම්වල තේ
දළු නෙලීම, දරු පවුල් සරි කිරීමට
තරම් ආදායමක් ලැබෙන ඉපැයීම් ක‍්‍රියාවලියක් යයි කියන්නට පුළුවන්කමක් නැත. වැටුප සහ කම්කරු වරප‍්‍රසාද
අරභයා සුළු වෙනස්කම් තිබුණ ද, මහා පරිමාණ වතුවල මෙන්ම, කුඩා තේ ඉඩම්වල ද ශ‍්‍රමිකයන්ගේ තත්ත්වය
අතිශයින් ම දුක්ඛිත ය. එයින් ද කුඩා තේ
ඉඩම්වල ශ‍්‍රමිකයන්ගේ තත්ත්වය බෙහෙවින් නරක ය. එසේ වුව ද, වර්තමානයේ තේ වගාවේ
ආදායම් නරක නැත. මහ බැංකු වාර්තාවේ සඳහන් වන අන්දමට, 2017 වසරේ අමු දළු කිලෝවකට
ලැබුණු මිල (වසරේ සාමාන්‍යය) රුපියල් 90.69කි. මේ දිනවල ද තේ දළු
කිලෝවේ මිල රුපියල් 70ත්, 95ත් අතර යහපත් පරාසයක තිබෙනු
පෙනෙයි. එසේ වුව ද දළු නෙලීමේ
කුලිය වැඩි වන්නේ නැත!
තේ දළු නෙලන කතුන්ගේ අතැඟිලි, නියපොතු ආදියෙහි
නිරන්තරව ම ‘දළු කහට’ තැවරී දුර්වර්ණ වේ. ඔවුන් වැස්සේ ද තෙමිය
යුතු ය. ගිනි කූටක අව්වේ ද
පිළිස්සිය යුතු ය. ඔවුන්ගේ සිරුරු කළු
ගැහී යන්නේ ඉක්මණිනි. ඇතැමෙක් නිතර බුලත්
විට සැපීමට ද ඇබ්බැහි වෙති. කූඩැල්ලන්, සර්පයන් සහ
කිනිතුල්ලන්ගේ මෙන්ම, ඇතැම්විට බඹරුන්ගේ
අතවරයට ද මුහුණ දිය යුතු ය. අන්තිමට සිදු වන්නේ
කතුන්ගේ රූප සම්පත්තිය පවා තේ හේන්වලට ම වියැකී, අකලට මහළු වූවාක් බඳු පෙනුමක් උරුම වීමයි.
මේ කාරණය නිසා ‘අලූත් පරම්පරාවේ’ තරුණියන් තේ දළු නෙලීමේ කුලී රස්සාවට නො පැමිණෙති. ඇඟළුම් කම්හලක හෝ රැකියාවට
යාම ඊට වඩා හොඳ බව ඔවුහු දනිති. එයට වැඩි වැටුපක්, යහපත් පෙනුමක් මෙන්ම, සමාජ පිළිගැනීමක් ද තිබේ. තේ දළු කැඞීමේ
වෘත්තියෙහි ඒ කිසිවක් නැත්තේ ය. මහා පරිමාණ වතුවල වේවා, කුඩා තේ ඉඩම්වල වේවා, තේ දළු නෙලන්නියන් දෙස
විපරමෙන් බලනවිට මේ කාරණය ඇස්පනාපිට දැකගත හැකි ය. ඒවායෙහි දළු නෙලන
බහුතරය, වයස අවුරුදු 40-50 තරමේ කාන්තාවන් ය! ඔවුන්ගෙන් පසුව තේ දළු
නෙලන්නට ඉතිරි වන්නේ කවුරුන් ද? යන්න ගැටලූවකි. තේ වගාවේ ශ‍්‍රම
ගැටලූව බැහැර කළ නො හැක්කේ එය රටට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රබල ආර්ථික ක‍්‍රියාවලියක්
වන බැවිනි.
අර්බුදයෙන් ගොඩ යන්නට නම්, තේ වගාවේ ශ‍්‍රමික ප‍්‍රජාවට ලැබෙන වැටුප්
ඉහළ නැංවිය යුතු ය. ඒ අතර, තේ දළු නෙලීමේ වෘත්තිය
සඳහා ආකර්ෂණීය හැඩයක් සහ සමාජ පිළිගැනීමක් ගොඩ
නැගිය යුතු ය.
එහෙත් රටේ
පාලකකාරකාදීන් වැඩි කැමැත්තක් දක්වන්නේ, ‘ග්ලයිපොසේට්’ ආදී විෂ සහිත වල් නාශක හිස් මුදුනේ තබා ගෙන
තේ වගා සහ කර්මාන්ත ක්ෂේත‍්‍රය නංවන්නට ය!
(මෙම ලිපිය 2018/09/06 වැනි දා සැබෑ
පුවත්පතේ පළවිය.)
ඔබ උනන්දුවක් දක්වනවා නම් තේ පර්යේශණ ආයතනයේ ආචාර්‍යය විජේරත්න මහතාට කථා කරන්න. ශ්‍රමික හිඟයට පිළිතුරක් ලෙස ඔවුන්ගේ මූලිකත්වයෙන් තේ නෙලීමේ යන්ත්‍ර ප්‍රචලිත කිරීමට ඔවුන් උත්සාහ කරනවා. අවශ්‍යනම් ඔහුගේ දුරකථන අංකය දිය හැකියි. FB මෙසේජ් එකක් හෝ ඊමේල් ලිපිනය දැන්වුවොත්.
ReplyDeleteඔබගේ ලිපිය නැවත වතාවක් කියෙව්වා. ඔබ තේ දළු නෙලන අයගේ හිඟය ගැනත් ඔවුන්ගේ වැටුප ගැනත් කථා කරනවා. තේ කර්මාන්තයේ වැටුප් අඩු නම් කාන්තාවන් වෙන රැකියා සඳහා යනවා. ඒ කියන්නේ ඔවුන්ට වෙන රැකියා අවස්ථා තියෙනවා කියන එක නේද? තේ සඳහා ලැබෙන මිල තීරණය වෙන්නේ තේ වෙන්දේසියේ ඒවා විකිණෙන මිල අනුවයි. ඔබ කියන ආකාරයේ සේවක වැටුප් සහ පහසුකම් ලබා දෙන විශාල තේ ආයතන සමහරක් පාඩු වෙන්නේ ඒ නිසා. තේ මිලේ ප්‍රතිශතයක් ලෙස සේවක වැටුප් ප්‍රමාණය ටැන්සානියාව, කෙන්යාව, බංගලා දේශය වැනි රටවල ලංකාවට වඩා ඉතා අඩුයි. එහෙම තියෙද්දිත් ලංකාවේ තේ නෙලීමේ රැකියාවට ඉල්ලුම අඩු නම් කල යුත්තේ තේ නෙලීමට වෙන ක්‍රම සොයා ගැනීමයි. එක ප්‍රශ්ණයක් විසඳන්න තව ප්‍රශ්ණ ඇති කර ගැනීම නෙවෙයි පිළිතුර.
ReplyDeleteඉයන්ට සහ නිමල්ට
Deleteලංකාවේ ජිවන වියදමේ හැටියට දලු නෙලන අයට ගෙවන වැටුප කොහෙත්ම ප්ර මාණවත් නෑ. දලු නෙලන්නට හදා ඇති යන්ත්රන මගින් වැඩේ හරියට කෙරෙන්නේ නැති බව වගාකරුවන්ගේ අදහසයි. තේ දලු නෙලීමේ දී, නෙලන විලාශය දලු වර්ධනය වීම කෙරෙහි බලපානවා. සමහරු දලු කැඩුවාම යළි දලු එන්නේ මන්දගාමීවයි. ඒකට දලු මොට වෙනවාය කියලා කියනවා. එහෙම අයට දලු කඩන්න දෙන්නේ නෑ. කුඩා පිහියෙන් දලු කැපීම සුදුසු නැති බව කියනවා. යන්ත්රය මගින් කැඩීමේ දී කඩන්නට ඕන දල්ල-නො කඩන දල්ල වෙන්කර ගන්නේ කෙසේ ද යන ප්ර ශ්නය මතු කෙරෙනවා. තේ වගාවේ පදුරුවල දලු ස්තරයේ පැතිරුම සමමිතික නැති බවයි වගාකරුවන් කියන්නේ. මේකට යමක් නො කළොත් මතුවිය හැකි ගැටලු නම් අතිවිශාලයි.
කොමෙන්ටු දැමීම සම්බන්ධයෙන් ඉයන්ට සහ නිමල් දිසානායකට ස්තුතියි.
අපේ මල්ලී ඉන්නේ බලංගොඩ සීතගල, පොඩි තේ වත්තක් තියෙනවා. එහෙ දළු නෙලන අය දළු කඩන්නේ නැහැලු. පිහි පොඩ්ඩකින් දළු කපන එකලු කරන්නේ. එහෙම වගක් ඔබතුමාගෙන් කියවිලා නැති නිසයි දැනුවත් කරන්න හිතුවේ.
ReplyDelete