Total Pageviews

Monday, October 3, 2016

සපරගමු සමන් දේවාල බිමේ සිමොන් පිඤ්ඤෝ කවු ද?



සපරගමු සමන් දේවාල බිමේ
සිමොන් පිඤ්ඤෝ කවු ද?


(සීගිරියේ, ජයන්ත විජේරත්න හේරත්-

විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරි)


වලස්පති බ්ලොග් අඩවියේ පළකර තිබූ සපරගමු මහ සමන් දේවාල ඇසළ උළෙල ගැන වෙනස් කියවීමක්ලිපිය සහ විචාරක ඇතුළු කොමෙන්ටු සහෘදයන්ට සුහද පිළිතුරක් යන මැයෙන් ඉතාමත් සාරගර්භ ලිපි දෙකක් පළකර තිබුණා.

        Pra Jay ගේ කොමන්ටුවක සඳහන්ව තිබුණා, දේවාලයේ ඇති ගල් කැටයමේ ඇත්තේ Simao Pinnao විසින් සිංහල හේවායෙකු මැරීම කියල කිව්වට, එහි ලියා තිබෙන්නෙ යාපනයේ ද්‍රවිඩ නායකයෙක් මැරීම ද?’ යනුවෙන් විමසීමක්කර තිබුණා.

පැරා ජේවිමසන පැනය, ඉතිහාසය ප්‍රිය කරන අය අතරේ කලක පටන්ම කතිකා වෙන කාරණයක්. ඉන් මතු වන දේවල් මහත් කුතුහලය දනවනවා. එසේම යම් ශාස්ත්‍රීය විමසුමකට ද මග පාදනවා. එබැවින් මේ සටහන මම වලස්පති අඩවියට යොමු කරනවා. අපට මෙවන් කතිකාවකට දොර හැර දුන් පැරා ජේ, විචාරක ඇතුළු කොමෙන්ටු සහෘදයන්ටද ස්තුති කරනවා.



කොටස් තුනකින් යුත් මෙම සටහන සකස්කර ගන්නේ, ළඟදීම මුද්‍රණයෙන් එළිදැක්වීමට නියමිත, මා විසින් ලියන ලද රත්නපුර ඈත සියවස සහ තවත් කතා ග‍්‍රන්‍ථ මාලාවේ, 04 වන ග‍්‍රන්‍ථය වන සපරගමු මහ සමන් දේවාලය සහ අවට සෙසු දේවාල නම්  කෘතිය ඇසුරිනුයි.



සපරගමු මහ සමන් දේවාල බිමේ

සිමොන් පිඤ්ඤෝකවුරුන් ද?

පළවැනි කොටස



මම ඔහු පරාජය කළෙමි

පසුබිම් පුවත

ක‍්‍රි:: 1505 නොවැම්බර් මස 15 දින, පෘතුගීසීන් හෙවත් පරංගීන් ගාල්ලෙන් මෙරටට ගොඩ බැසීමෙන් පසු අපේ රටේ රාජ්‍ය පාලනය පමණක් නොව, සමාජීය සහ ආගමික ඇදහීම් ද උඩු යටිකුරුවී ගියේ වසර එක්දහස් පන්සියයකට වඩා පැවති සංස්කෘතියට ද කණකොකා හඬමිනි.

        ධර්මපාල රජතුමා කෝට්ටේ රාජධානියේ අවසන් පාලකයා වන අතර, මේ රටේ රජ කෙනෙකු විය යුත්තේ බෞද්ධයකු බවට මෙතෙක් තිබූ සම්ප‍්‍රදාය බිඳ දමමින් ඔහු අවසානයේ කතෝලික දහම වැළඳ ගත්තේ ය. එපමණක් ද නොව 1580 අගෝස්තු 12 වැනි දින අන්තෝනි රොබයිරෝ නැමති නොතාරිස් තැන ලවා ලියාදෙන තෑගි ඔප්පුවකින්, පෘතුගාලයේ පළවෙනි පිලිප් රජුට  කෝට්ටේ රාජධානිය පවරා දුන්නේ ය. 1597 මැයි මස 27 වැනි දින ධර්මපාල රජුගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානියේ හිමිකරුවා බවට පත්වුණු පෘතුගීසීහු තමන්ගේ ආධිපත්‍යය අනෙකුත් ප‍්‍රදේශවලටද ව්‍යාප්ත කළහ. 

         
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ක‍්‍රි:: 1618 දී පමණ සපරගමුව ද ආක‍්‍රමණය කළ පරංගීන්,  රත්නපුර මහ සමන් දේවාලය කඩා බිඳ දමා, ඒ මත ඔවුන්ගේ බලකොටුවක් සහ පල්ලියක් ඉදි කළහ. පල්ලිය ශාන්ත සැල්වදෝර් (St;Salvador) නම් විය. සමන් දේවාලයේ සුන්බුන්, අසලින් ගලා බසින කළු ගඟට ඇද දමන ලදී.  ඔවුන් වසර 43ක පමණ කාලයක් හෙවත් ක‍්‍රි:: 1661 පමණ තෙක්, සපරගමුවේ විවිධ ප‍්‍රදේශ එහි සිට පාලනය කළහ. පසුව දෙවැනි රාජසිංහ රජතුමා (ක‍්‍රි:: 1635 - 1687&  පරංගීන්ට එරෙහිව ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කරමින් ඔවුන් සපරගමුවෙන් පළවා හැරියේ ය.  

        සමන් දේවාලය මත ඉදිකර තිබූ පෘතුගීසි බලකොටුව සහ දේවස්ථානය කඩා බිඳ දමා නැවත එම ස්ථානයේම සමන් දේවාලය ස්ථාපිත කිරීමට දෙවැනි රාජසිංහ රජතුමා පියවර ගත්තේය. පෘතුගීසි බලකොටුව සහ දේවස්ථානය කඩා දැමුවත් ශෛලමය පෘතුගීසි නිර්මාණ ද්විත්වයක් පමණක් ඉතිරි විය. මෙයින් එක නිර්මාණයක් (කැටයම් පුවරුවක්) සමන් දේවාල ගොඩනැඟිල්ලේ පහත මාලයේ වම්පස කුරගෙයි බිත්තියටම සවිකර තිබෙනවා දැක ගන්නට ඇති අතර, අනෙක් නිර්මාණය සමන් දේවාල භූමියේ ඇති කෞතුකාගාරයේ (පරණ ඇලපාත වලව්ව) ප‍්‍රදර්ශනයට තබා ඇත.    

ශෛලමය පුවරුව

          සමන් දේවාල ගොඩනැඟිල්ලේ පහත මාලයේ වම්පස, කුරගෙයි බිත්තියටම සවිකර ඇති ශෛලමය පුවරුවේ උස අඟල් 48කි.  පළල අඟල් 32 කි. එය කැටයමකි. පෘතුගීසි යුධ හමුදා නිල ඇඳුමින් සැරසුන, දකුණතෙහි ඉහළට ඔසවා ගත් කඩුවක් ද, වමතෙහි පළිහක් ද දරණ සොල්දාදුවකු සිය වම් කකුලෙන් යම් පුද්ගලයකු පාගා ගෙන සිටින දර්හනයක් කැටයමෙන් නිරූපණය වේ. බිම වැටී සිටින පුද්ගලයා යටිකය වසා ගෙන ඇත්තේ දෝතියක් වැනි ඇඳුමකිනි. හිසෙහි ජටාවක් වැනි දෙයක් පැළඳ ගෙන ඇත. උඩු කය නිරුවත් ය. බිම ඇද වැටී සිටින පුද්ගලයාගේ එක පසෙකින් ඔහු දැරූ අසිපත සහ පළිහ වැටී ඇති අයුරුත්, පෘතුගීසි සොල්දාදුවා ගෙන් එල්ල වන කඩු පහර වැළැක්වීමට සූදානම්වන අයුරුත්, කැටයමින් වැඩිදුරටත් නිරූපණය කෙරේ. එම නිරූපණයට පහළින්

COM-ESTA-RENDI-ESTE-HA-23-ANNOS-QUANDO-NA-INDIA-E-HA-16-QUE-SIRVO-DE-CAPITAO-E-AOQUE- OS-PEIS-VEDES-HE-O-REI-DE-JAFANAPATAO-EU-SIMEN-PINHAO-C-VENCI 

යනුවෙන්  පෘතුගීසි භාෂාවෙන් කෙටූ අක්‍ෂර මාලාවක් ඇත. මෙම පෘතුගීසි සෙල් ලිපියෙහි සඳහන් වන්නේ මෙවැනි අදහසකි.

මෙම කඩුවෙන් මම මොහු මර්ධනය කළෙමි. මම ඉන්දියාවට පැමිණ වසර 23 කි. මින් වසර 16ක් කපිතාන්වරයෙක් ලෙස සේවය කළෙමි. මා පාමුල වැටී සිටිනුයේ යාපා පටුනේ රජතුමා ය.  සයිමන් පිඤ්ඤෝ වන මම ඔහුව පරාජය කළෙමි.’

මේ ගල් පුවරු කැටයම සම්බන්ධයයෙන් මත කිහිපයකි. යාපනයට අදාල අවස්ථාවක් නිරූපණය කෙරෙන මෙම ශෛලමය අභිලේඛනය සමඟ රත්නපුරට ඇති සබැඳියාව කුමකටදැයි පැන නැඟී ඇති ගැටලූවකි. ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙකුම මෙම ශිලා ලේඛනය පරික්‍ෂාකර බලා මත කිහිපයක් ඉදිරිපත්කර ඇත. ‘එච්.සී.පී.බෙල්’, ජේ.පී.ලූවිස්’, විලියම් ස්කින්’, එස්.ජී.පෙරේරා’ (එස්.ජේ.පියතුමා), ‘එෆ්.ඞී.එස්.ෆියර්ස්’,  ඞී.ඩබ්ලියු .ෆර්ග්‍යුෂන්’, පෝල් ඊ.පීරිස්’, පූජ්‍ය කිරිඇල්ලේ ඤණවිමල හිමි, මේ අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගනිති.
(දෙවැනි කොටසට-මතු සම්බන්ධයි)


2 comments:

  1. Replies
    1. මම ඉතිහාසය ගැන කියවන්නේ හා හදාරන්නේ විෂයයක් ලෙස එයට ඇති විශාල කැමැත්ත නිසාය. එයට ජාතිය ආගම හෝ රටවල් මට අදාල නොවේ. මා එයට මගේ prejudices, biases හා හැඟීම් අදාල නොකර ගැනීමට ඉතා තදින් උත්සාහ කරන අතර වර්ථ්මාන අගයන්, ප්‍රශ්න හා අදහස් අතීතයට එලෙසම බලනොපාන නිසා එක් එක් යුගයන් ඒ ඒ context එකෙන් බැලීමට තැත් කරමි. ඔබගේ ලිවීම වෘත්තිමය ලෙස කිරීම හා ඉතිහාසය පිලිබඳව passion එකකින් මිස වෙනත් දේ ගාවගෙන නොමැතිවීම ඉතා අගය කරමි

      Delete